The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොලිටිකල් පාපමිත්‍රයන් 4 දෙනා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 12, 2023 • 9:35 AM

පොලිටිකල් පාපමිත්‍රයන් 4 දෙනා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ගෝඨාභයව බේරගන්න අපි එයාගේ දිශාවට දුවගෙන යනකොට අපිට පේනවා ගෝඨාභයගෙන් තනතුරු වරප්‍රසාද අරගෙන හිටපු උන් ගෝඨාභයව දාලා අපිට විරුද්ධ දිශාවට දුවනවා.” සහතික ඇත්ත.
  • එය ඇතැම් විට විවෘතව ප්‍රකාශ වෙන අතර ඇතැම් විට අප්‍රකාශිත ඇඟවීමකි.
  • පසුව එම පිරිවැය වෙනුවෙන් ඔබට අනාගතයේ ඔවුන් ඉල්ලන අවස්ථාවක ඉල්ලන වන්දියක් ගෙවිය යුතු බව ඔබ මතක තබාගත යුතුය.
  • ඔය ඇතැමුන් “ළඟින් හිටපු අය” කියා කියන්නේ ඔවුන්ටය.
අකුරු ප්‍රමාණය (Font Size):

“ගෝඨාභයව බේරගන්න අපි එයාගේ දිශාවට දුවගෙන යනකොට අපිට පේනවා ගෝඨාභයගෙන් තනතුරු වරප්‍රසාද අරගෙන හිටපු උන් ගෝඨාභයව දාලා අපිට විරුද්ධ දිශාවට දුවනවා.” සහතික ඇත්ත. ඒ තරම් නිවට පාවාදීමක් මගේ ජීවිතේට දැකලා නැහැ.

මිලින්දත් මාත් අතර දේශපාලන මතවාදීය වෙනස්කම් තිබෙනවා. නමුත් අපේ කඳවුර සහ අපේ නායකයන් අර්බුදයට මුහුණ දෙන වෙලාවේ අපි උරෙන් උර ගැටිලා එක පැත්තට දිව්වා. ඒ නිසාම මට මිලින්ද ගැන විශේෂ පැහැදීමක් තිබෙනවා. නමුත් මේ කතාව මිලින්ද ගැන නොවෙයි.

මිනිස්සුන්ගේ හැසිරීම් පුරෝකථනය කරන්න හරිම අමාරුයි. දේශපාලනයේ නම් ඒක කරන්නම බැහැ කියා මට හිතෙනවා. නමුත් මගේ අත්දැකීම්වලින් පුළුවන් එහි ඉන්න පාපමිත්‍රයන් වර්ග කරලා හඳුනාගන්න.

1. ගනුදෙනුවා

මෙම මිත්‍ර ප්‍රතිරූප කයා දේශපාලනය කියා කරන්නේ ගනුදෙනුවකි. ඔබට නිශ්චිත යමක් පොරොන්දු වෙන ඔවුන් ඒ වෙනුවෙන් ඔබෙන් නිශ්චිත කිසිවක් ඉල්ලා සිටී. එය ඇතැම් විට විවෘතව ප්‍රකාශ වෙන අතර ඇතැම් විට අප්‍රකාශිත ඇඟවීමකි. ඔවුන් පළමුව ඔබට සමීප වී ඔබගේ අවශ්‍යතාවයන් හඳුනාගනී. එම අවශ්‍යතාවයන් බලෙන්ම පිරිනමමින් ඔවුන් ඔබට නාස් ලනුව දමා බැඳ ගනී. පසුව එම පිරිවැය වෙනුවෙන් ඔබට අනාගතයේ ඔවුන් ඉල්ලන අවස්ථාවක ඉල්ලන වන්දියක් ගෙවිය යුතු බව ඔබ මතක තබාගත යුතුය.

ඔවුන් දුන් දෙයට ඉල්ලන ප්‍රතිලාභයක් ඔබට දෙන්නට බැරි වුණොත් ගනුදෙනුවත් හිතත් දෙකම බිඳේ. එවිට බොහෝ ගනුදෙනුවන් කරන්නේ ඔබත් සමග වෛර බැඳගැනීමයි. ජීවිතාන්තය දක්වා ඔබගෙන් පළි ගනියි. නැවත කිසිදාක ඔබට සහාය දෙන්නේ නැත. එක්කෝ ගනුදෙනුව පියවිය යුතුය. නැත්නම් ගනුදෙනු නොකර සිටිය යුතුය.


2. කේලමා

දේශපාලකයන් සමග නිතර ගැවසෙන පිරිසක් සිටී. ඔය ඇතැමුන් “ළඟින් හිටපු අය” කියා කියන්නේ ඔවුන්ටය. ඔවුන් අතර ඇතැමුන් ඔබට කේලාම් කියයි. එනම් ඔබට හෝ වෙනත් අයෙකුට හිංසාවක් කිරීමේ අදහසින් නපුරු කතා කියයි. අරයගේ මෙයාගේ නැති වැරදි කියමින් ඔවුන් කෙරෙහි ඔබේ හිත බිඳියි. නොඑසේ නම් ඔබගේ සතුරන් ගැන හොඳ කියමින් වැරදි තොරතුරු දෙමින් ඔබව නොමග යවයි. ඔබව භාවිතා කර ඔවුනොවුන් අතර ඇති කෝන්තර පිරිමසා ගන්නට බලයි.

මෙහිදී ඔබ තේරුම් ගත යුත්තේ ඔබට කියන්නාක් මෙන් වෙනත් අයටත් ඔබට එරෙහිව මෙම මිත්‍ර ප්‍රතිරූප කයා ඔබ ගැන බොරු කියන බවයි. කේලාම් වන්නේ මොනවාද, කේලාම් නොවන්නේ මොනවාද කියා හඳුනාගැනීමට ඔබ පුද්ගල විෂයෙහි දක්ෂ විය යුතුය.


3. අවස්ථාවාදියා

මෙම වර්ගය අතිශය ආත්මාර්ථකාමීය. කොයි වෙලාවේත් ඔවුන් බලන්නේ තමන්ට වාසියක් වෙන පැත්තට සුටුස් ගා පැන ගැනීමටයි. ඔබත් සමග කිරියි පැණියි වගේ මේ ඉන්න අවස්ථාවාදියා ඊළඟ මොහොතේ ඔබට අර්බුදයක් පැමිණි වහාම ඔබව පාවා දී විරුද්ධ පක්ෂයට පැන යයි. පැන ගොස් විරුද්ධ පැත්තේ සිට “නැවත ඉපදුනාක්” මෙන් කතා හද හද ඔබට බැන වදියි.

මෙම මිත්‍ර ප්‍රතිරූප කයා දැඩි මමත්වයෙන් පෙළේ. සෑම විටම තමා නිවැරදි යැයි සිතන ඔවුන් බලන්නේ තම මව පියා රට ජාතිය ආගම බැරි නම් සිය ස්ත්‍රී/පුරුෂ නිමිත්ත හෝ පාවා දී ලකේ ජනාධිපති වීමට පමණී. ඔවුන්ගෙන් ඔබට කිසිම විටෙක පක්ෂපාතිත්වයක් බලාපොරොත්තු විය නොහැකිය. එවැන්නවුන්ගෙන් ඔබ වඩාත් ප්‍රවේශම් විය යුත්තේ අර්බුදයකදී ඔබව මුලින්ම පාවා දෙන්නේ ඔවුන් නිසාය.


4. ගුණමකුවා

ඔබ මොනතරම් සේවයක් කළත් මේ වර්ගයේ මිත්‍ර ප්‍රතිරූප කයන්ට එම සේවය කලකින් අමතක වී යයි. ඔබගේ ගුණ මකමින් ඔබට අභූතයෙන් චෝදනා කරමින් ඔබගේ චරිතය ඝාතනය කර දමන ඔවුන් උපන් පසු මව් තනකින් කිරි බී නැති නිසාදෝ කිසි කෙළෙහිගුණයක් නොදනී.


දේශපාලනය කිරීමෙන් ඔබට අවසානයේ හිමිවන්නේ නූගුණම පමණී. මෙම පාපමිත්‍රයන් ඇසුරු නොකර දේශපාලනය කිරීමට නොහැකිය. එබැවින් දේශපාලනය ගතටත් සිතටත් අගුණය. දේශපාලනය කරනවා නම් ඒ බව දැනගෙන උපේක්ෂාවෙන්ම දේශපාලනය කළ යුතුය.


ධර්මය අපට මග වේවා!



eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 මාර්තු 12


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...