The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රිෂාඩ් බද්යුද්දීන්: රාජපක්ෂවාදය හඳුනාගැනීමේ අපූරු දර්ශකයක් - ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

October 9, 2020 • 7:43 AM

රිෂාඩ් බද්යුද්දීන්: රාජපක්ෂවාදය හඳුනාගැනීමේ අපූරු දර්ශකයක් - ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑම භාෂාවක පහසුවෙන් පැහැදිලි කළ හැකි වචන මෙන්ම, මොන විදිහකින්වත් පරිපූර්ණ නිර්වචනයක් සැපයිය නොහැකි වචන සමුදායකුත් තිබේ.
  • උදාහරණයක් වශයෙන්, මීට කලකට ඉහතදී රිෂාඩ් බද්යුද්දීන්ගේ සහෝදරයා ගැන බොරු කියා රට නොමඟ යැවූ පොලිස් ප්‍රකාශක ජාලිය සේනාරත්න, වහා ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් දැන් ඉවත් කොට තිබේ.
  • ඉතිං, මීට පසු රිෂාඩ් බද්යුද්දීන් සම්බන්ධයෙන් 'වැරදි' තොරතුරු සමාජයට සම්ප්‍රේෂණය නොවනු ඇත.
  • සිංහරාජය හරහා පාරක් කැපීම නිසා පරිසර හානියක් සිදුවන බවට බොහෝ දෙනා කෑකෝගැසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

වචනයක් යනු, යම් අදහසක් ප්‍රකාශයට පත්කරන සංකේතයකි.

'බඩගින්න' යන අදහස ගැන ගැටළුවක් නැත.

 එහෙත් 'ආදරය' යන වචනය එසේ නොවේ.

එකක් සරල ය. කායික ය. අනෙක, සංකීර්ණ ය. මානසික ය.

'රාජපක්ෂවාදය' යන වචනය මේ සරල සහ සංකීර්ණ ද්විත්වයේ සංයෝගයකි.

 ඒ නිසාම එය නිර්වචනය කිරීම පහසු නැත.

උදාහරණයක් වශයෙන්, මීට කලකට ඉහතදී රිෂාඩ් බද්යුද්දීන්ගේ සහෝදරයා ගැන බොරු කියා රට නොමඟ යැවූ පොලිස් ප්‍රකාශක ජාලිය සේනාරත්න, වහා ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් දැන් ඉවත් කොට තිබේ.

ඒ වෙනුවට, උපන්තේකට බොරු නොකියන අජිත් රෝහණ නමැති පොලිස් නිලධාරියා එම තනතුරට පත්කොට තිබේ.

ඉතිං, මීට පසු රිෂාඩ් බද්යුද්දීන් සම්බන්ධයෙන් 'වැරදි' තොරතුරු සමාජයට සම්ප්‍රේෂණය නොවනු ඇත.

උදාහරණයක් වශයෙන්, මීට කලකට ඉහතදී රිෂාඩ් බද්යුද්දීන්ගේ සහෝදරයා ගැන බොරු කියා රට නොමඟ යැවූ පොලිස් ප්‍රකාශක ජාලිය සේනාරත්න, වහා ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් දැන් ඉවත් කොට තිබේ. ඒ වෙනුවට, උපන්තේකට බොරු නොකියන අජිත් රෝහණ නමැති පොලිස් නිලධාරියා එම තනතුරට පත්කොට තිබේ.

සිංහරාජය හරහා පාරක් කැපීම නිසා පරිසර හානියක් සිදුවන බවට බොහෝ දෙනා කෑකෝගැසූහ.

එහි ඇත්ත නැත්ත සොයා බැලීමට සිංහරාජයට ගිය ජනාධිපතිවරයා සියලූ කරුණු සැලකිල්ලට ගෙන, 'පරිසරයට හානි නොවන ආකාරයෙන්' පාර කපාගෙන යන්නැයි උපදෙස් දුන්නේය.

සිංහරාජය පිළිබඳ ප්‍රශ්නය එතැනින් විසඳුණි.

 ඒ, රාජපක්ෂවාදයේ සරලමතික විසඳුම් ක්‍රමය හඳුනාගත හැකි නිදර්ශන දෙකකි.

R Brothers''සමහරුන්ට මෙය පෞරාණික රාජත්වයේ සොඳුරු අපේක්ෂාවකි.''

ඊට වඩා දුෂ්කර කාරණාද තිබේ:

මහින්ද රාජපක්ෂට නොතිබුණු 'දැක්මක්' ගෝඨාභය රාජපක්ෂට තිබේ.

එහෙත් මහින්ද වටේ සිටින දූෂිතයන් සහ හොරු ඒ  'දැක්ම' ක්‍රියාවට නැඟීමට ගෝඨාභයට ඉඩ නොදෙති.

ඒ  නිසා මහින්ද පාර්ශ්වය පරාජය කොට ගෝඨා පාර්ශ්වය ශක්තිමත් කළ යුතුය.

අනිත් අතට, ගෝඨාභය යනු හමුදා මානසිකත්වයක් සහ උග්‍ර ජාතිකත්වයක් සහිත කෙනෙකි. බැසිල් රාජපක්ෂ එසේ නොවේ.

ඒ නිසා, මේ මොහොතේ අප කළ යුත්තේ, බැසිල් පාර්ශ්වය ශක්තිමත් කිරීමයි.

මේ සියල්ල එකට ගත් විට, සමහරුන්ට එය, පෞරාණික රාජත්වයේ සොඳුරු අපේක්ෂාවකි.

තවත් අයට, සීග්‍ර සංවර්ධනයේ මාවතකි.

තවත් අයට, නූතන අධිකාරීවාදී තන්ත්‍රයක බියකරු අනාවැකියකි.

රාජපක්ෂවාදය දෙස ඒ ඒ අය බලන ආකාරය සහ තැන අනුව, විවිධාකාරයේ රෝග විනිශ්චයන්වලට එලැඹීමට තරම් 'රාජපක්ෂවාදය'  නමැති සංකල්පය මේ වන විට ප්‍රවර්ධනය වී තිබේ.

''රාජපක්ෂවාදය දෙස ඒ ඒ අය බලන ආකාරය සහ තැන අනුව, විවිධාකාරයේ රෝග විනිශ්චයන්වලට එලැඹීමට තරම් 'රාජපක්ෂවාදය'  නමැති සංකල්පය මේ වන විට ප්‍රවර්ධනය වී තිබේ.''

Slaves 'රාජපක්ෂවාදය' යනු, නොවිසඳුණු කේන්ද්‍රීය ප්‍රශ්නයක අනිවාර්ය ප්‍රතිවිපාකයකි.

මේ ලියුම්කරු දකින විදිහට, 'රාජපක්ෂවාදය' යනු, නොවිසඳුණු කේන්ද්‍රීය ප්‍රශ්නයක අනිවාර්ය ප්‍රතිවිපාකයකි.

ඒ නොවිසඳුණු ප්‍රශ්නය කුමක්ද?

ඉහතින් කී, රාජත්වය, සංවර්ධනය සහ අධිකාරී තන්ත්‍රය පිළිබඳ කල්පනා එකිනෙකට ගැටගැසී ඇති අතර, ඒ සියල්ල නැවතත් එක හුයකින් ජාතිය/ආගම සමග ගැටගැසී තිබේ.

නොවිසඳී පවතින්නේ, ඒ ජාතිය/ආගම පිළිබඳ ප්‍රශ්නයයි.

නිදහසින් පසු ලංකාවේ බලයට පත් පවුල් අතරින්, රාජපක්ෂලා තරම් මේ ප්‍රශ්නය, ස්වකීය පැවැත්මේ උල්පතක් කරගත් වෙනත් පවුලක් නැත.

''නිදහසින් පසු ලංකාවේ බලයට පත් පවුල් අතරින්, රාජපක්ෂලා තරම් මේ ප්‍රශ්නය, ස්වකීය පැවැත්මේ උල්පතක් කරගත් වෙනත් පවුලක් නැත.''

ඔවුන්ට කරන සාධාරණයක් වශයෙන්, වෙනත් විදිහකින් කිවහොත්, මේ ප්‍රශ්නය ආශීර්වාදාත්මක වූ වෙනත් පවුලක් නැත.

එය එම පවුලේ ආවේනික දෝෂයක් වශයෙන් සැලකිය යුතු නැත.

 ඇත්තෙන්ම එය, අරටුව වශයෙන් ගත් විට, පවුලක් පිළිබඳ ප්‍රශ්නයක් නොව, නොවිසඳී පවතින ප්‍රශ්නයක පවුල් ප්‍රකාශනයකි.

Old Leaders of lankaඑහෙත්, සේනානායක, බණ්ඩාරනායක, ජයවර්ධන සහ ප්‍රේමදාස යන පවුල්වලින් වෙන් කොට රාජපක්ෂ පවුල වෙත කෙනෙකුගේ ඇඟිල්ල දිගු වන්නේ, ඉහතින් කී කිසි පවුලකට නොලැබුණු වරයක් සහ අවසරයක් යුද්ධය අවසන් කිරීම හරහා මේ ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් ලැබී තිබියදීත් රාජපක්ෂලා හිතාමතාම එම ප්‍රශ්නය සමාප්තියකට පත්නොකළ බැවිනි.

ජාතික ප්‍රශ්නය යනු කුමක්දැයි තවමත් අසන බොහෝ දෙනා සිටිති.

ඒ  ගැන පසුගිය දශක හතක කාලය තිස්සේ විවිධ විද්වතුන් මෙන්ම, ලංකාවේ සියලූ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් පවා, පමණටත් වඩා පැහැදිලි කිරීම් ඉදිරිපත් කොට තිබේ.

එහෙත්, ඒ සියල්ල පැත්තකින් දමා, ''මොකක්ද ඔය කියන ප්‍රශ්නය හැබෑටම?'' යැයි කෙනෙකුට මැරෙන තෙක්ම ඇසිය හැකිය.

ප්‍රශ්නයක් වටහාගැනීම ප්‍රතික්ෂේප කිරීමේ පූර්ව නිගමනයක ඉන්නා කිසිවෙකුට එම ප්‍රශ්නය මොන ආකාරයෙන් විස්තර කොට පෙන්නුවත්, වැටහෙන්නේ නැත.

හේතුව, එවැන්නන් ප්‍රශ්නය මතුකරන්නේම, පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවන බැවිනි.

එසේ නොමැතිව, කෙනෙකුට අවංකවම මේ ප්‍රශ්නයේ බරපතලකම මේ දක්වා නොවැටහී ඇත්නම්, ඒ අය සඳහා පමණක්, වෙනත් මානයකින්, සමහරවිට සිල්ලර ආකාරයකින් විස්තර කිරීමට, රිෂාඩ් බද්යුදීන් චරිතය සහ භූමිකාව මේ අවස්ථාවේ පාවිච්චියට ගත හැකිය.

ඒ ගැන සාකච්ඡාවට කලින් තවත් කාරණයක් පැහැදිලි කරගත යුතුව තිබේ.

ලංකාවේ සමාජ/දේශපාලනික භූසිතියම තුළ, තමා සහ 'අනෙකා' යන දෙඛෙදුම, වෙනත් බොහෝ රටවල් සමග සසඳද්දී, පරම සතුරු ස්වභාවයක් ගනී.

''ලංකාවේ සමාජ/දේශපාලනික භූසිතියම තුළ, තමා සහ 'අනෙකා' යන දෙඛෙදුම, වෙනත් බොහෝ රටවල් සමග සසඳද්දී, පරම සතුරු ස්වභාවයක් ගනී.''

(සිංහලයන් සම්බන්ධයෙන් ගත් විට, තමා යනු බහුතරයයි. 'අනෙකා' යනු සුළුතරයයි. දෙමළ/මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් ගත් විට, 'අනෙකා' වන්නේ සිංහල බහුතරයයි).

ඒ සතුරු බවේ ස්වභාවය හෝ එහි හේතුඵල දාමය ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ.

එහෙත් නිදහසේ පටන්, 'අනෙකාගේ' පැවැත්ම තමාගේ පැවැත්ම සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් වශයෙන් සලකා ඇත්තේ ඊනියා ධනවාදීන් සහ ප්‍රතිගාමීන් පමණක් නොවන බව කිව යුතුය.

 වාමවාදීන්, සමාජවාදීන් සහ මාක්ස්වාදීන් යන බොහෝ ප්‍රගතිශීලි කොටස්ද, විවිධ අවස්ථාවල, විවිධ ආකාරයෙන්, මේ කියන 'අනෙකා' නඩත්තු කිරීම ස්වකීය දේශපාලනය කරගෙන තිබේ.

Dudly NM''ඩඩ්ලි සේනානායක දෙමළ පක්ෂ සමග 'හත් හවුල්' ආණ්ඩුවක් ඇති කරගත් අවස්ථාවේ, ලංකාවේ මාක්ස්වාදයේ පියෙකු වන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පවා, 'ඩඩ්ලිගේ බඩේ මසාල වඩේ' යැයි කියමින් පෙළපාලි ගියේය. ''

ඩඩ්ලි සේනානායක දෙමළ පක්ෂ සමග 'හත් හවුල්' ආණ්ඩුවක් ඇති කරගත් අවස්ථාවේ, ලංකාවේ මාක්ස්වාදයේ පියෙකු වන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පවා, 'ඩඩ්ලිගේ බඩේ මසාල වඩේ' යැයි කියමින් පෙළපාලි ගියේය.

 (මසාල වඩේ යන්නෙන් ගම්‍ය කෙරුණේ, පහත් මට්ටමක ජාතිවාදී අපහාසයකි).

මීට පෙර බොහෝ අවස්ථාවලදීත් පෙන්වා දී ඇති පරිදි, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ, බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙන ප්‍රතිපාදනය ඇතුළත් කෙළේ, ධනවාදී, ප්‍රතිගාමී, ආගමික අන්තවාදී පුද්ගලයෙකු නොව, මාක්ස්වාදියෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ය.

පසුගිය යුද්ධ කාලය තුළ, නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකරටත් වඩා නොවේ නම්, ඒ හා සමානම ජාතිවාදී දේශපාලනයක් ගෙන ගියේ, මාක්ස්වාදී සහ ප්‍රගතිශීලි යැයි ගැනෙන ජනතා විමුක්ති පෙරමුණ ය.

''පසුගිය යුද්ධ කාලය තුළ, නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකරටත් වඩා නොවේ නම්, ඒ හා සමානම ජාතිවාදී දේශපාලනයක් ගෙන ගියේ, මාක්ස්වාදී සහ ප්‍රගතිශීලි යැයි ගැනෙන ජනතා විමුක්ති පෙරමුණ ය.''

 (නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර යනු හිටපු උග්‍ර මාක්ස්වාදීන් දෙන්නෙකු බවත් මෙහිදී සිහිපත් කරගැනීම වටී. වර්තමානයේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාතිවාදීන් සියල්ලන්ම පාහේ, මුල් කාලයේදී මාක්ස්වාදීන් වුණු බව, මාක්ස්වාදය සහ ජාතිවාදී පරිණාමය අතර යම් සහසම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමට තරම් වටිනා කාරණයකි).

මා මේ කියන්ට උත්සාහ කෙළේ, රාජපක්ෂලා යනු, අපේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත් විට, අමුතු වර්ගයක සාතන්ලා පිරිසක් නොවන බව පෙන්නුම් කිරීමයි.

 

දැන්, රිෂාඩ් බද්යුද්දීන් ගැන:

Rajapaksha Rizad

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය, ඉස්ලාම් ආගමික අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවකි.

කොටි සංවිධානය හැරුණු කොට, ලෝකය පුරා මරාගෙන මැරෙන ප්‍රහාර බොහොමයක් දියත් කෙරුණේ ඉස්ලාම් ආගමික අන්තවාදීන් විසිනි.

එම ත්‍රස්තවාදී ක්‍රියා තුළ, දේශපාලනය සේම ආගමද තිබේ.

පාස්කු ප්‍රහාරයත්, පැහැදිලිවම ආගමික වන අතර, කුමන්ත්‍රණකාරී දේශපාලනයකුත් එහි ගැබ්ව තිබුණාදැයි අනාගතයේදී සොයා බැලිය යුතුව තිබේ.

කෙසේ වෙතත්, ලංකාව කුඩා රටක් වීම නිසා, සමාජ ක්‍රියාකාරීත්වයක නියැලෙන බොහෝ දෙනාට තවත් බොහෝ දෙනා හමුවෙති.

ඒ නිසා, ත්‍රස්තවාදී ක්‍රියාවකට කලින්, එකී ත්‍රස්තවාදියා කෙනෙකුට හමු වී ඇති පමණින් දෙවැන්නා ත්‍රස්තවාදියෙකු වන්නේ නැත.

එසේම, පවුලේ අයෙකු යම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ වූ පමණින්, පවුලේ අනෙක් අය අනිවාර්යයෙන් ඊට සම්බන්ධ වී ඇති බවක් අදහස් වන්නේද නැත.

රිෂාඩ් බද්යුද්දීන්ගේ සහෝදරයා පාස්කු ත්‍රස්තවාදී ක්‍රියාවට සම්බන්ධ බව අප දැනගත්තේ රාජපක්ෂලාගේ එදා  කරුණු දැක්වීම් මත පදනම් වෙමිනි.

දැන් ඔහු ඊට සම්බන්ධ නැතැයි අප දැනගන්නේද, රාජපක්ෂලා අද කියන කරුණු මත පදනම් වෙමිනි.

''රිෂාඩ් බද්යුද්දීන්ගේ සහෝදරයා පාස්කු ත්‍රස්තවාදී ක්‍රියාවට සම්බන්ධ බව අප දැනගත්තේ රාජපක්ෂලාගේ එදා  කරුණු දැක්වීම් මත පදනම් වෙමිනි. දැන් ඔහු ඊට සම්බන්ධ නැතැයි අප දැනගන්නේද, රාජපක්ෂලා අද කියන කරුණු මත පදනම් වෙමිනි.''

මේ සහෝදරයා ගැන එදා රාජපක්ෂලා කී කතාව සත්‍යයක් වූවත්, රිෂාඩ් බද්යුද්දීන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට කිසි සාක්ෂියක් එදාවත් අදවත් අපට දැනගන්නට ලැබී නැත.

විල්පත්තුව සම්බන්ධයෙන් නැඟුණු විරෝධයත් එසේමයි.

ඒ විල්පත්තු ව්‍යාපෘතියේ සැබෑ නියමුවන් වූ බැසිල් රාජපක්ෂ ඇතුළු එවක (2013) පාලන බලයේ සිටි රාජපක්ෂලා නිදොස් වී, 'යහපාලන' කාලයේ විල්පත්තුවේ 'ද්‍රෝහියා' වශයෙන් රිෂාද් බද්යුද්දීන් අභිෂේක කෙරුණේත් ඒ  ආකාරයෙනි.

(මෙය, රිෂාඩ් බද්යුද්දීන්ට සුදුහුනු ගෑමක් යැයි මොහොතකටවත් නොසිතන්න: ඔහුගේ දේශපාලනය තුළ විටෙක දකින්ට ලැඛෙන ජාතිවාදයත්, නිතර දකින්ට ලැඛෙන අවස්ථාවාදයත්, බොහෝ විට, ඉතා මෑතකදී දැකීමට නියමිත ද්‍රෝහී අවස්ථාවාදයක රඟසොබාව ගැනත් මේ ලියුම්කරු හොඳින් දැනුවත් ය. ඒ ගැන ලිවීම පසුවට තබමි).

 

මගේ කතාව මෙයයි:

Lanka tamilකොටි අපට 'අනෙකා' වුණේ ඔවුන් ත්‍රස්තවාදීන් වූ නිසාම නොවේ. ඔවුන් 'දෙමළුන්' වූ නිසා ය.

කොටි සංවිධානය අපට 'අනෙකා' වුණේ ඔවුන් ත්‍රස්තවාදීන් වූ නිසාම නොවේ. ඔවුන් 'දෙමළුන්' වූ නිසා ය.

1987-90 කාලයේ ලංකාවේ ඇති වූ විනාශය තුළ ජනතා විමුක්ති පෙරමුණ විප්ලවවාදීන්, කැරලිකරුවන් හෝ ත්‍රස්තවාදීන් වුණා මිස අපේ 'අනෙකා' වුණේ නැත.

 

'සිංහ' සෙය්‍යාව හා 'හම්බ' ගතිය :

තවත් විදිහකින් කිවහොත් සිංහරාජය, විල්පත්තුවක් නොවේ. සිංහරාජයට ඇත්තේ 'සිංහ' සෙය්‍යාවකි. විල්පත්තුවට ඇත්තේ 'හම්බ' ගතියකි.

ලංකාවේ ජාතික ප්‍රශ්නයේ මතුපිට මුහුණුවර හඳුනාගැනීමට, මේ මොහොතේ රිෂාඩ් බද්යුද්දීන් ආදර්ශකයකැයි මා කියන්නේ එබැවිනි.

 

දැන් අපි මේ කතාව තව ටිකක් ඉදිරියට ගෙන යමු:

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු යැයි කියන සහරාන්ටත් වඩා, අලි සබ්රි හැරුණුකොට, ජීවතුන් අතර සිටින මුස්ලිම් වරිගයාම, පාස්කු ප්‍රහාරය හරහා දකුණේ  'අනෙකා' බවට පත්වූහ.

එය කෙළේ කවුද? කෙසේද? කුමක් සඳහාද?

ඒ ප්‍රශ්නාවලියට පිළිතුර, පිළිවෙලින්, රාජපක්ෂලා, (විද්‍යුත්) මාධ්‍ය සහ (රාජ්‍ය) බලය වන්නේය.

ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට කලින්, පාස්කු ප්‍රහාරය අරභයා රිෂාඩ් බද්යුද්දීන් ඉලක්ක කෙරුණේ, දකුණේ ඡන්දදායකයට  'අනෙකා' පෙන්වා රාජපක්ෂලා වෙනුවෙන් සිංහල ඡන්ද ගෙඩිය පිටින් ඩැහැගැනීමටයි.

එය කෙරුණේ, වැඩියත්ම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ය.

දැන් ඒ රාජපක්ෂලාගේ අනාගත පවුල්වාදය තහවුරු කරගනු වස් ගෙන ඒමට නියමිත 20 වැනි සංශෝධනය සඳහා තවත් ඡන්දයක් අවශ්‍ය කෙරේ.

එහිදී රිෂාඩ් බද්යුද්දීන් සිටින්නේ පාර්ලිමේන්තුව තුළ සිටින 'ඡන්දදායක' පිරිසක් අතරේ ය.

ඉතිං, රාජපක්ෂලාගේ පවුල්වාදයේ ඒ කඩඉම පැනගැනීම සඳහා රිෂාඩ් බද්යුද්දීන් නමැති 'අනෙකා' වහාම 'තමාගේ' කරගත යුතුව තිබේ.

Chamal Rishadඉතිං, රාජපක්ෂලාගේ පවුල්වාදයේ ඒ කඩඉම පැනගැනීම සඳහා රිෂාඩ් බද්යුද්දීන් නමැති 'අනෙකා' වහාම 'තමාගේ' කරගත යුතුව තිබේ.

 

ටිකක් නවතින්න:

මේ කතාව භාවාතිෂය කරගත යුතු නැත.

රෑ වැටුණු වළක දවාලටත් වැටෙයි නම්, වරද ඇත්තේ වැටුණු එකාගේ මිස වළ කැපූ එකාගේ නොවේ.

රිෂාඩ්ගේ 'ත්‍රස්තවාදී' සහෝදරයා එක රැයකින් 'අහිංසකයෙකු' වී හිරෙන් නිදහස් වීම නමැති ක්‍රියාවලිය පසුපස තිඛෙන්නේ, හුදෙක් අවස්ථාවාදී ජඩ දේශපාලනයක් පමණක් යැයි ගත්තොත්, නැවත නැවතත්, මහජාතිය වන අපටත්, සුළුජාතීන් වන සෙසු ජන කොටස්වලටත්, මෙවැනි ප්‍රශ්න රාශියකට අනාගතයේදීත් මුහුණදීමට සිදුවනු ඇත.

ඒ නිසා ප්‍රශ්නයේ හරය තේරුම්ගන්න:

ලංකාව වැනි රටක, ජාතීන් සහ ආගමිකයන් අතර සැකය එක රැයකින් ඇවිළවිය හැකි සේවනූලක් වශයෙන් සමාජ අවකාශයේ තිඛෙන තාක් කල්, මහජාතිය නියෝජනය කරන රාජපක්ෂලා පමණක් නොව, සුළු ජාතිය නියෝජනය කරන රිෂාඩ් බද්යුද්දීන්ලාද, ඔබව වරින්වර අන්දවනු ඇත.

නොවිසඳී පවතින ලංකාවේ 'ජාතික ප්‍රශ්නයේ' අන්දමන්ද ස්වභාවය එබඳු ය.  

Gamini V

 (ගාමිණි වියන්ගොඩ විසිනි)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විශ්ලේෂක
gviyangoda@hotmail.fr

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රිෂාඩ් බද්යුද්දීන්: රාජපක්ෂවාදය හඳුනාගැනීමේ අපූරු දර්ශකයක් - ගාමිණී වියන්ගොඩ | The Leader