The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

කාන්තාවක දූෂණය කළ බවට චෝදනා ලැබූ පිරිමින් 50 දෙනෙකුගේ පාපොච්ඡාරණය

T

The Leader Desk

December 13, 2024 • 10:12 AM

කාන්තාවක දූෂණය කළ බවට චෝදනා ලැබූ පිරිමින් 50 දෙනෙකුගේ පාපොච්ඡාරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුහු තරුණ, මහලු, තරබාරු, කෙසඟ, කළු සහ සුදු මිනිසුන් වෙති.
  • මේ, දශකයක කාලයක් තිස්සේ, නිදි පෙති දී ජිසෙල් පෙලිකොට්ව මත් කළ, ඇගේ සැමියා වන, 72 හැවිරිදි ඩොමිනික් පෙලිකොට්ගේ අනුදැනුම මත ඇයව දූෂණය කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින් 50 දෙනා ය.
  • මෙම පිරිස "Monsieur-Tout-Le-Monde (Mr Everyman)" ලෙස හැඳින්වෙන්නේ ඔවුන් ප්‍රංශ සමාජයේ කුඩා කොටසක පුළුල් නියෝජනයක් වන බැවිනි.
  • මෙම චෝදනා සඳහා ඔවුන් වැරදිකරුවන් වුවහොත් සාමූහිකව ඔවුන්ට වසර 600කට වැඩි සිර දඬුවමක් නියම වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුහු තරුණ, මහලු, තරබාරු, කෙසඟ, කළු සහ සුදු මිනිසුන් වෙති. ගිනි නිවන භටයන්, ලොරි රථ රියැදුරන්, සොල්දාදුවන්, ආරක්ෂක භටයන්, මාධ්‍යවේදියෙක් සහ ඩී.ජේ. සංගීත ශිල්පියෙක් ද එම පිරිස අතර සිටිති.

 

මේ, දශකයක කාලයක් තිස්සේ, නිදි පෙති දී ජිසෙල් පෙලිකොට්ව මත් කළ, ඇගේ සැමියා වන, 72 හැවිරිදි ඩොමිනික් පෙලිකොට්ගේ අනුදැනුම මත ඇයව දූෂණය කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින් 50 දෙනා ය.

 

මෙම පිරිස "Monsieur-Tout-Le-Monde (Mr Everyman)" ලෙස හැඳින්වෙන්නේ ඔවුන් ප්‍රංශ සමාජයේ කුඩා කොටසක පුළුල් නියෝජනයක් වන බැවිනි.

 

සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ නඩු විභාගයක් අවසාන කරමින් එළඹෙන සතියේ ඔවුන්ට දඬුවම් නියම කිරීමට නියමිත ය. මෙම චෝදනා සඳහා ඔවුන් වැරදිකරුවන් වුවහොත් සාමූහිකව ඔවුන්ට වසර 600කට වැඩි සිර දඬුවමක් නියම වනු ඇත.

 

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන ආකාරයක් පෙන්වුව නමුත් විනිසුරුවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන විට ඔවුහු බොහෝ විට බිම බලා ගත්හ. එමෙන් ම තමන් දෙන පිළිතුරුවල විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා ඔවුන්ගේ නීතිඥයන්ගේ දෑස් දෙස බැලීමට ද ඔවුහු විටින් විට ක්‍රියා කළහ.

 

අවවාදයයි: මෙම ලිපියේ අන්තර්ගත ඇතැම් කරුණු මගින් කම්පනයට පත් විය හැක

 

මෙම 50 දෙනාගෙන් බොහෝ දෙනෙකු පෙලිකොට් යුවළ වාසය කළ මැසොන් සිට කිලෝමීටර් 50ක වපසරියක පිහිටි නගර සහ ගම්මානවලින් පැමිණි පුද්ගලයෝ වෙති.

 

විත්තියේ ඇතැම් නීතීඥවරු මෙම පුද්ගලයන් 'සාමන්‍ය' මිනිසුන් වීම ම ඔවුන්ගේ වාසියට ඇති හේතුවක් ලෙස දකිති. "සාමාන්‍ය මිනිස්සු අසාමාන්‍ය දේවල් කරනවා," විත්තිකරුවන් තිදෙනෙකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ඇන්ටොයින් මිනියර් පවසයි.

 

"මම හිතන්නේ සෑම කෙනෙකු ම පාහේ මෙවැනි තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. හරියට ම මේ වගේ නොවුණත්, බරපතළ අපරාධයක් සිදු කරන්නෙක් බවට ඔබව පත්වෙන්න පුළුවන්," ඔහු බීබීසීයට පැවසීය.


'මගේ ශරීරය තමයි ඇයව දූෂණය කළේ. මගේ මොළය නෙවෙයි'

 

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් දඬුවම් ලබා දෙන ලෙස කරන ඉල්ලීම් පදනම් වී ඇත්තේ, විත්තිකරුවන් කී වතාවක් පෙලිකොට් නිවසට පැමිණියේ ද, ඔවුන් ජිසෙල් පෙලිකොට් ලිංගිකව ස්පර්ශ කළා ද, සහ ඔවුන් ඇය සමග ලිංගික සබඳතා පැවැත්වූවා ද වැනි බරපතළ සාධක මත ය.

 

විශ්‍රාමික ක්‍රීඩා පුහුණුකරුවෙකු සහ ආදරණීය සීයා කෙනෙකු ද වන 69 හැවිරිදි ජෝසෆ් සීට ලිංගික හිංසනය සම්බන්ධයෙන් වරදකරු වුවහොත්, වසර හතරක සිර දඬුවමක් නියම වනු ඇත. එය පැමිණිල්ලේ නීතිඥවරුන් විසින් ඉල්ලා සිටිනු ලබන දඬුවම් අතරින් වඩාත් ම ලිහිල් දඬුවමකි.

 

එමෙන් ම, මෙයට සම්පූර්ණ වෙනස් තත්ත්වයකට මුහුණ දීමට 63 හැවිරිදි රොමේන් වීට සිදු වනු ඇත. ඔහුට වසර 18ක සිර දඬුවමකට මුහුණ දීමට සිදු වීමට ඉඩ ඇත. ඔහු දැනුවත්ව එච්.අයි.වී ආසාදිතයෙකු වූ අතර, එසේ තිබියදීත් ඔහු ආරක්ෂක උපක්‍රම අනුගමනය නොකර අවස්ථා හයකදී ජිසෙල් පෙලිකොට් පෙලිකොට් දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.

 

මේ තරම් විස්තර සහිතව චෝදනා ගොනු කිරීමට පැමිණිල්ලේ නීතිඥවරුන්ට හැකි වී ඇත්තේ, සාමාන්‍ය ස්ත්‍රී දූෂණ නඩු විභාගයකට නොලැබෙන තරමේ අසාමාන්‍ය ප්‍රමාණයක සාක්ෂි විත්තිකරුවන්ට එරෙහිව ලැබී තිබීම හේතුවෙනි. මන්ද මෙම හිංසන, චෝදනා ලබා සිටින ඩොමිනික් පෙලිකොට් විසින් දශකයකට ආසන්න කාලයක් තිස්සේ රූගත කරනු ලැබ ඇති බැවිනි.

 

ඔහු තමාට එරෙහි සියලු චෝදනා පිළිගෙන ඇති අතර සෙසු චූදිතයන් 50 දෙනා ම ද වැරදිකරුවන් බවට අධිකරණය වෙත පවසා තිබේ.

 

මෙම සියලු වීඩියෝ සාක්ෂි හේතුවෙන් ඔවුන් කිසි විටෙකත් පෙලිකොට් නිවසට ගිය බව ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. එහෙත් බහුතරය චෝදනා ලබන්නේ බරපතළ දූෂණ චෝදනාවලට ය. ඒ සඳහා බරපතළ දඬුවමක් නියම වනු ඇත.

 

ප්‍රංශයේ ස්ත්‍රී දූෂණ නීතියට අනුව, දූෂණය අර්ථ දැක්වෙන්නේ "ප්‍රචණ්ඩත්වය, බලහත්කාරය, තර්ජනය හෝ බලාපොරොත්තු නොවූ අවස්ථාවක" සිදු කරන ඕනෑ ම ලිංගික ක්‍රියාවක් ලෙස ය. එහි කැමැත්ත සඳහා ඇති අවශ්‍යතාවයක් ගැන සඳහනක් නැත.

 

එමනිසා, ඔවුන් කළ දේ නීතියට අනුව ස්ත්‍රී දූෂණයක් බවට බොහෝ දෙනා හඳුනාගෙන ඇති අතර, ඔවුන් තර්ක කරන්නේ ජිසෙල් පෙලිකොට් ඒ සඳහා ඇගේ කැමැත්ත ලබා දිය හැකි තත්ත්වයක නොසිටි බව ඔවුන් නොදැන සිට ඇති බවට ය.

 

"චේතනාවකින් තොරව කිසිදු අපරාධයක් සිදු කළ නොහැක," විත්තියේ එක් නීතිඥයෙක් පැවසීය.

 

ඇතැමුන් විසින් ඉදිරිපත් කරන ලද සංකීර්ණ තර්කවලට උදාහරණයක් ලෙස, "මගේ ශරීරය තමයි ඇයව දූෂණය කළේ. මගේ මොළය නෙවෙයි," ස්වේච්ඡා ගිනි නිවන භටයෙකු වන ක්‍රිස්ටියන් එල් අවධාරණය කරන ප්‍රකාශය සැලකිය හැක.

 

ජිසෙල් පෙලිකොට් දූෂණය කළ බවට චෝදනා එල්ල වන 50 දෙනාගෙන් එක් අයෙකු නොවන්නේ ඩොමිනික් පෙලිකොට්ගේ "ගෝලයා" ලෙසට හැඳින්වෙන 63 හැවිරිදි ජෝන්-පියා මාහේෂල් ය.

 

තම බිරිඳව අපයෝජනය කිරීම සඳහා ඇයට මත්ද්‍රව්‍ය ලබා දෙන්නේ කෙසේදැයි ඉගෙන ගත් ඔහු, වසර පහක් තිස්සේ එසේ කළ බව පිළිගනී.

 

ඩොමිනික් පෙලිකොට් හමුවීම නිසා මෙම අපරාධයට පෙළඹුණු බවට ඔහු පවසයි. ඔහු පවසන්නේ, ඩොමිනික් පෙලිකොට් "ඥාති සොහොයුරෙකු මෙන්" විශ්වාසවන්ත අයෙකු වූ බව ය. පැමිණිල්ලේ නීතිඥවරු ඔහුට වසර 17ක සිර දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති.


'පෙලිකොට් ඔවුන්ව පොළඹවා සහ රවටා තිබුණා'

 

වසර 30ක් තිස්සේ, සිය ළමා වියේ පෙම්වතිය සමග විවාහ වී සිටින 54 හැවිරිදි අහමඩ් ටී පවසන්නේ, යමෙකු දූෂණය කිරීමට අවශ්‍ය නම්, තමන් ඒ සඳහා වයස අවුරුදු 60 වන වියේ පසුවන කාන්තාවක තෝරා නොගන්නා බව පැවසුවේ ය.

 

වයස අවුරුදු 40ක රැකියා විරහිත පුද්ගලයෙකු වන රෙඩෝවාන් තර්ක කරන්නේ, ඔහු ජිසෙල් දූෂණය කිරීමට සූදානම් වූයේ නම්, ඔහු ඇගේ සැමියාට එය වීඩියෝගත කිරීමට ඉඩ නොදෙන බව ය.

 

පිරිමි හෙදියක වන රෙඩෝවාන් ඊ, කඳුළු සලමින් සැකයෙන් පිරී ගොස් තිබුණු අධිකරණය හමුවේ පැවසුවේ, නිදන කාමරයෙන් පිටවීමට ඔහු බිය වූ බව ය. "සමහර විට වීඩියෝවලින් ඒක නොපෙනෙන්න පුළුවන්. නමුත් මම ඇත්තට ම බය වුණා!" ඔහු විනිසුරුවන්ට පැවසුවේ ය.

 

තවත් සමහරු පවසන්නේ, ඔවුන්ට මත්ද්‍රව්‍ය එකතු කළ බීම ලබා දුන් අතර, එම නිසා සිදුවීම පිළිබඳව ඔවුන්ට මතකයක් නොමැති බව ය. එහෙත් ඩොමිනික් පෙලිකොට් මෙය ප්‍රතික්ෂේප කර ඇත.

 

කෙසේ වෙතත්, බහුතරය පවසන්නේ, පෙර එකඟතාවක් මත යුවළක් සමග ලිංගික කටයුත්තකට සහභාගී වන බව ඩොමිනික් පෙලිකොට් ඔවුන්ව පොළඹවා හෝ රවටා තිබූ බව ය.

 

ජෝසෆ් සීගේ නීතිඥ ක්‍රිස්ටොෆ් බෲස්චි බීබීසී වෙත පැවසුවේ, "ඔවුන්ව රවටා මෙම තත්ත්වයට පත් කළා. වාසිය තකා ඒ අයව රැවට්ටුවා."

 

නමුත් ඩොමිනික් පෙලිකොට් සෑම විට ම පවසා ඇත්තේ, ඔහුගේ බිරිඳ මෙම කුමන්ත්‍රණය ගැන නොදැන සිටි බව ඔවුන් වෙත පැහැදිලිව දැනුම් දී තිබූ බව ය.

 

ඇයව අවදි කිරීමෙන් වළකින ලෙස මෙන් ම, හෝ ඔවුන් එහි සිටි බවට සලකුණු ඉතිරි නොකරන ලෙස ඔහු ඔවුන්ට කියා සිටියේ ය. ඔහුගේ බිරිඳ ස්පර්ශ කිරීමට පෙර ඔවුන්ගේ දෑත් උණුසුම් කිරීමෙන් වැළකීම හෝ තමන් ළඟින් සුවඳ විලවුන් හෝ සිගරට් සුවඳ නොහමන බවට වග බලා ගන්නා ලෙසට ආදී උපදෙස් ඔහු ඔවුන්ට ලබා දුන්නේ ය.

 

"ඒ හැම කෙනෙක් ම දැනගෙන හිටියේ, එයාලට ඒක නැහැ කියන්න බැහැ."

 

drt66

 

යුහුසුළුව පිළිතුරු සොයන පවුල්වල සාමාජිකයින්

 

මෙම පුද්ගලයින් 50 දෙනා පසුගිය සැප්තැම්බර් මාසයේ සිට එක් අයෙකුට පසුව අනෙකා ලෙස ඇවිනියෝ අධිකරණය ඉදිරිපිට පෙනී සිටියහ.

 

සාමාන්‍යයෙන් ස්ත්‍රී දූෂණ සිද්ධිවල මූලික පරීක්ෂණ සඳහා දින කිහිපයක් ගත විය හැකිය.

 

මෙම නඩු විභාගයේ, විත්තිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින නිසා, නඩු කටයුතු සැලකිය යුතු ලෙස කෙටි කර තිබේ. ඔවුන්ගේ විස්තර ඉක්මනින් විශ්ලේෂණය කෙරුණු අතර, බොහෝ විට අධිකරණ සැසි අපයෝජනය හා කම්පනය පිළිබඳ විස්තරවලට සීමා කර තිබේ.

 

43 හැවිරිදි ඉදිකිරීම් කම්කරුවෙකු වන සිමෝනේ එම් පැවසුවේ, වයස අවුරුදු 11දී ප්‍රංශයට අයත් නිව් කැලිඩෝනියාවේ ගවයන් රැකබලා ගැනීම සඳහා ඔහුව සේවයේ යෙදවූ පවුලේ මිතුරෙකු විසින් ඔහුව දූෂණයට ලක් කරන ලද බව ය.

 

46 හැවිරිදි ජීන්-ලුක් එල් නමැති සිවුදරු පියා අධිකරණය හමුවේ කියා සිටියේ, තමා සහ පවුලේ අය කුඩා කාලයේ ඩිංගි යාත්‍රාවකින් වියට්නාමයෙන් පිටව ගිය ආකාරය සහ ප්‍රංශයට පැමිණීමට පෙර වසර ගණනාවක් තායිලන්තයේ සරණාගත කඳවුරක ජීවත් වූ ආකාරය යි.

 

මත්ද්‍රව්‍ය ගනුදෙනු කිරීම සහ බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම ඇතුළුව චෝදනා කිහිපයකට මීට පෙර වරදකරුවෙකු වූ 39 හැවිරිදි ෆේබියන් එස්, කුඩා කල සිට ම හදා වඩා ගත් දෙමව්පියන් අතින් අපයෝජනයට හා පහර කෑමට ලක් වී තිබේ. තවත් කිහිප දෙනෙකු මෙන්, ඔහු පැවසුවේ ඔහුගේ අඳුරු, වේදනාකාරී ළමා මතකයන් සැබවින් ම දූෂණයේ ප්‍රතිඵල බව තේරුම් ගත්තේ අධිකරණය විසින් නියම කරන ලද මනෝචිකිත්සක සැසිවලදී බව ය.

 

විත්තිකරුවන්ගේ භාර්යාවන්, හවුල්කරුවන් සහ පවුලේ සාමාජිකයින් බොහෝ දෙනෙකු කැඳවා ඔවුන්ගේ චරිත ස්වභාවය පිළිබඳව ප්‍රකාශ ලබා ගන්නා ලදී. එක් කාන්තාවක පැවසූ පරිදි, ඔවුන්ගේ ජීවිතයේ සිටින පිරිමින් "මේ ආකාරයේ තත්ත්වයකට හසු වූයේ කෙසේ ද" යන්න තේරුම් ගැනීමට ඔවුහු ද උත්සහ කරමින් සිටිති.

 

"මම කම්පනයට පත් වුණා. ඒ නිකම් එයා වගේ නෙමෙයි. එයා මගේ ජීවිතයේ සතුට වුණ කෙනා," ක්‍රිස්ටියන් එල්ගේ වයෝවෘද්ධ පියා පැවසුවේ ය.

 

සෙසු පුද්ගලයින් සිව් දෙනාට මෙන් ම, ළමා අපයෝජන ඡායාරූප සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්, ගිනි නිවන භටයාට එරෙහිව ද පරීක්ෂණ පැවැත්වෙන අතර, ඔහුට වසර 16ක සිර දඬුවමක් නියම වනු ඇත. "මොකක් හරි දෙයක් වෙන්න ඇති. එයා ඒ මොහොතේ මානසිකව කඩා වැටිලා ඉන්න ඇති," ඔහුගේ පියා පවසයි.


'මම එයා වෙනුවෙන් හැම වෙලාවක ම ඉන්නවා'

 

හිටපු ගොඩනැගිලි නිර්මාණකරුවකු වන 54 හැවිරිදි තියරි පාගේ හිටපු බිරිඳ වන කොරින් පැවසුවේ, ඔහු සැමවිටම ඇයට සහ ඔවුන්ගේ දරුවන්ට "කාරුණික" සහ "ගෞරවනීය"ලෙස සැලකූ බව ය. එමෙන් ම සමාදාන වීම සඳහා ඔහු වෙත සැමවිට ම දොර විවෘත කර තිබුණු බව ද ඇය පැවසුවා ය.

 

"එයාට චෝදනා එල්ල වෙලා තියෙන දේ එයාලා මට කිව්වම මම කිව්වා: නෑ, ඒක කොහොමවත් වෙන්න බැහැ... මට තේරෙන්නේ නැහැ එයා මෙතන මොකද කරන්නේ කියලා.'" ඇය විශ්වාස කරන්නේ, ඔවුන්ගේ 18 හැවිරිදි පුත්‍රයාගේ මරණය නිසා ඇගේ හිටපු ස්වාමිපුරුෂයා ගැඹුරු මානසික අවපීඩන තත්ත්වයකට වැටී, මත්පැන් පානය කිරීමට පටන් ගෙන සිටි අතරේ ඩොමිනික් පෙලිකොට් සමග සම්බන්ධතා ඇති කර ගන්නට ඇති බව ය.

 

ගයානාවේ උපන් ජොආන් කේගේ හිටපු පෙම්වතිය පැවසුවේ, "මොනවා වුණත් මම එයා වෙනුවෙන් හැම වෙලාවක ම ඉන්නවා," යනුවෙනි. වයස අවුරුදු 27ක් වන ඔහු විත්තිකරුවන්ගෙන් වයසින් අඩු ම පුද්ගලයා වන අතර, ඔහු ප්‍රංශ හමුදාවේ හිටපු සෙබළෙකු ද වේ.

 

ඔහු අවස්ථා දෙකකදී ජිසෙල් ගිසල් පෙලිකොට් දූෂණය කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ජිසෙල් පෙලිකොට් සිහිසුන්ව සිටින බව ඔහු දැන සිටිය ද, ඇය ඊට ඇගේ කැමැත්ත ලබා නොදුන් බව ඔහු නොදැන සිටි බව ද ඔහු පවසා ඇත.

 

සමීරා නම් කාන්තාවක කඳුළු සලමින් පැවසුවේ ජෙරොම් වී, හය වතාවක් පෙලිකොට් වෙත ගියේ ඇයි ද යන්න පිළිබඳව ඇය පසුගිය වසර තුනහමාරක් පුරා "පිළිතුරු සොයමින්" සිටි බව ය.

 

"අපි දිනපතා ලිංගිකව එක්වුණා. මට තේරෙන්නේ නැහැ එයාට ඒක වෙනත් තැනකින් අවශ්‍ය වුණේ ඇයි කියලා," ඇය ඉකි ගසමින් කීවා ය. ඇය තවමත් ජෙරොම් වී සමග සම්බන්ධතාවයක සිටින අතර, ඔහු අත්අඩංගුවට ගන්නා විට එළවලු සහ පලතුරු වෙළෙඳසැලක සේවය කරමින් සිටියේ ය.

 

ඔහු ජිසෙල් දූෂණය කළ බව පිළිගත් කිහිප දෙනාගෙන් කෙනෙකි. ඇයව නිදහසේ පාලනය කිරීමට ඇති හැකියාවට ඔහු කැමති වූ බව පිළිගත් නමුත්, එයට හේතුව ලෙස ඔහුගේ "පාලනය කළ නොහැකි ලිංගිකත්වයට" දොස් පැවරීය.


ජිසෙල් පෙලිකොට්: ඔවුන් මාව දූෂණය කළේ හොඳ සිහියෙන්

 

විත්තිකරුවන්ගේ හිටපු සහ වර්තමාන සහකාරියන් බොහෝ දෙනෙකු පරීක්ෂණවලට භාජනය කර ඇත්තේ, ඔවුන්ට ද ජිසෙල්ට මෙන් ම මත්ද්‍රව්‍ය ලබා දී ඇතිදැයි දැනගැනීමට ය. එක් කාන්තාවක කියා සිටියේ, ඇය දන්නා "ගෞරවනීය, කල්පනාකාරී, සුන්දර මිනිසා" ඇය නොදැනුවත්ව ම ඇයව ද අපයෝජනය කර ඇති බවට "සෑම විට ම දරුණු සැකයක්" ඇය තුළ ඇතිවනු ඇති බව ය.

 

නඩු විභාගය ආරම්භයේ සිට ම, මෙම සියලු මිනිසුන් එකට බැඳ තබන සමාන ලක්ෂණයක් සොයා ගැනීමේ අවශ්‍යතාව ඇති වී තිබේ.

 

සියලු මිනිසුන් ඔවුන්ගේ ම කැමැත්තෙන් පෙලිකොට් වෙත ගිය බව හැරුණු විට වෙනත් කිසිදු පොදු ලක්ෂණයක්, "කොතැනකවත් සොයාගත නොහැකි" යැයි ජිසෙල්ගේ ම නීතීඥයින් පවසා තිබේ.

 

නමුත් සියලු විත්තිකරුවන්ට අවිවාදයෙන් පොදු වූ එක් සාධකයක් ද තිබේ. ඔවුහු කිසිවෙකුත් මේ ගැන පැමිණිලි කිරීමට පොලිසියට නොයා සිටීම තෝරාගත්හ.

 

ගිනි නිවන භටයෙකු වන 73 හැවිරිදි ජැක් සී පැවසුවේ, ඔහු ඒ පිළිබඳව සිතා බැලූ නමුත්, පසුව තම "ජීවිතය පවත්වාගෙන යාමට" වැඩි අවධානයක් යොමු කළ බව ය. 55 හැවිරිදි විදුලි කාර්මික පැට්රිස් එන් පැවසුවේ "පොලිස් ස්ථානයේ මුළු දවස ම නාස්ති කිරීමට ඔහුට අවශ්‍ය නොවූ" බව ය.

 

නඩු විභාගයේ මුල් දිනවලදී, මෙම පිරිමින් ඇගේ ස්වාමිපුරුෂයා විසින් හසුරුවනු ලැබ ඇතැයි සිතීම සිදුවිය හැකිදැයි ජිසෙල් පෙලිකොට්ගෙන් විමසා තිබිණි.

 

ඇය එය ප්‍රතික්ෂේප කරමින් හිස සැළුවා ය. "ඔවුන් මාව දූෂණය කළේ ඔවුන්ගේ හිසට තුවක්කුවක් තියලා තර්ජනය කරපු නිසා නෙමෙයි. ඔවුන් මාව දූෂණය කළේ හොඳ සිහියෙන්."

 

එමෙන් ම ඇය මෙසේ ද කියා සිටියා ය. "ඇයි ඔවුන් පොලිසියට ගියේ නැත්තේ? නිර්නාමික දුරකතන ඇමතුමකින් පවා ඔවුන්ට මගේ ජීවිතය බේරගන්න තිබුණා."

 

"ඒත් කවුරුවත් එහෙම කළේ නැහැ." ඇය මද හුස්මක් ගෙන පැවසුවා ය. "කිසි කෙනෙක් එහෙම කළේ නැහැ."

 

(සටහන - ලෝරා ගොට්සි)
බීබීසී පුවත්

BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...