The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

50 Years at the Bar : නීතිඥ දිවියට වසර 50ක් - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

December 5, 2022 • 8:20 AM

50 Years at the Bar : නීතිඥ දිවියට වසර 50ක් - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹදී පැවැත්වෙන මෙම උත්සවයට සහභාගි වන්නේ නම් දිනය වෙන් කර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට දුර කතනයෙන් සිහිපත් කළේය.
  • ඒකත් ඔයාලාට බලා ගන්න ලැබෙයි.” දෙසැම්බර් 03 වෙනිදා සැංග්‍රිලා හෝටලයට සිය ගණනක් නීතිඥයන් පැමිණ සිටියහ.
  • ජනාධිපති වික්‍රමසිංහ සිය වෘත්තීය සගයන් අතරට පැමිණි හැම අවස්ථාවකම තවත් නීතිඥයෙකු ලෙස හැසිරීමට දක්වන කැමැත්ත රහසක් නොවේ.
  • මේ කියන හමුවට රටේ විධායක ජනාධිපති මෙන්ම පාර්ලිමේන්තුවේ කතානායක, අග විනිසුරු ආදි නිල මට්ටමෙන් දිවයිනේ ප්‍රමුඛ ලේඛනයේ ඉහළින් සඳහන්වන සමහර චරිත පැමිණ සිටිනු දකින්නට ලැබුණ ද, ඒ කිසිවෙකු සඳහා හයි ටේබල් එකක් හෙවත් ප්‍රධාන ආසන පන්තියක් පිළියෙළ කර නො තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්විණ.  


කොළඹදී පැවැත්වෙන මෙම උත්සවයට සහභාගි වන්නේ නම් දිනය වෙන් කර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට දුර කතනයෙන් සිහිපත් කළේය. ඒ සමග සාදයට සහභාගි වන්නේ නම් ආරාධනා පත්‍රයක් මිලදි ගත යුතු ය යන පණිවිඩය එකී ජ්‍යෙෂ්ඨ නීතිඥයාට දැනුම් දුන්නේ තරමක දෙගිඩියාවෙනි. ඊට හේතු දෙකකි. පළමුවැන්න මෙවැනි සුහද සාද සඳහා ආරාධනා මිස ආකාරයෙන් මෙවැනි ක්‍රම අනුගමනය නො කිරීමය. දෙවැන්න ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥයා තුළ ජනාධිපතිවරයා පිළිබඳ පැවති මතවාදි ආකල්පයයි.  



50 ticket


“කමක් නැද්ද අවසර පත්‍ර මිලදී ගැනීමේ කතාව කී  කණිෂ්ඨ නීතිඥයා සැක හැර දැන ගැනීමට නැවත ද, විමසා සිටියේය.


“අවුලක් නෑ. මගෙ ටිකට් එක අරන් තියන්න. මම  සල්ලි ගෙවන්නම්.”


“අප බලා පොරොත්තු වුනේ නම් මෙහෙම උත්තරයක් නොවේ. ඇයි මෙහෙම හිතන්නේ කියලා කියන්න පුළුවන්ද? මේ ආපසු කොළඹින් කතා කළ නීතිඥයා කළ විමසීමට ලැබුණ පිළිතුර මෙසේය.


“හරි සරලයි. අපි කවදාවත් සංවත්සර සාද වලට සල්ලි ගෙවලා ගිහින් නෑ. සාමාන්‍යයෙන්  මේ වාගේ සාද සඳහා ආරාධනා කරන්නේ තනතුරක් ලැබීමෙන් හෝ වෘත්තිය කාලයක් සම්පුර්ණ කිරීමෙන් සතුටට පත් කෙනා මිතුරන් මුන ගැසෙන්න. මේ උත්සවය සංවිධානය කරන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්. මගේ පුද්ගලික මතය මොකක් වුණත් රනිල් වික්‍රමසිංහ දැන් රටක බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. අපි ඇවිත් වෙනදා වාගේ කාලා බීලා ගියා නම් පසුවෙනිදා රනිල් ආණ්ඩුවේ සල්ලි වලින් පාටි දැම්මා කියලා සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කියනවා. එහෙම වුණා නම් අපෙත් කලිසම් කෝට් මහ පාරේ ගැලවෙනවානේ. මේක ජනාධිපතිතුමාටත් හොඳයි අපටත් හොඳයි. එන කෙනෙක් එයි නේන කෙනෙක් එයි. ඒකත් ඔයාලාට බලා ගන්න ලැබෙයි.”


දෙසැම්බර් 03 වෙනිදා සැංග්‍රිලා හෝටලයට සිය ගණනක් නීතිඥයන් පැමිණ සිටියහ. වසර ගණනාවකින් කලාතුරකින් උනුන් හමුවූ බොහෝ පැරණි මිතුරන්ට මෙය වඩාත් තෘප්තිමත් දවසක් විය.


“වෙනදා වාගේම ලොක්කා අදත් මේස ගාණේ ඇවිද ගෙන ගිහින් අමුත්තන් එක්ක කතා කරයිද?” හම්බන්තොටින් පැමිණි නීතිඥයෙකු අසල සිටි හිතවතෙකුගෙන් විමසා සිටියේ පරණ මතකයක් අලුත් කරමිනි. ජනාධිපති වික්‍රමසිංහ සිය වෘත්තීය සගයන් අතරට පැමිණි හැම අවස්ථාවකම තවත් නීතිඥයෙකු ලෙස හැසිරීමට දක්වන කැමැත්ත රහසක් නොවේ.


මේ කියන හමුවට රටේ විධායක ජනාධිපති මෙන්ම පාර්ලිමේන්තුවේ කතානායක, අග විනිසුරු ආදි නිල මට්ටමෙන් දිවයිනේ ප්‍රමුඛ ලේඛනයේ ඉහළින් සඳහන්වන සමහර චරිත පැමිණ සිටිනු දකින්නට ලැබුණ ද, ඒ කිසිවෙකු සඳහා හයි ටේබල් එකක් හෙවත් ප්‍රධාන ආසන පන්තියක් පිළියෙළ කර නො තිබිණ. එසේම මුලින් කී ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නීතිඥ වික්‍රමසිංහ වෙමින් මේසයෙන් මේසයට ඇවිද යමින් පැමිණි අමුත්තන් හමුවී පිළිසඳරෙහි යෙදීම සුපුරුරු  ලෙස එදාත් දක්නට ලැබිණ. එකම වෙනස මේ  කියන දවසේ නීතිඥ රනිල් වික්‍රමසිංහගේ අතෙහි කිසිවක් වීදුරුවක් නො තිබීම පමණකි.

PHOTO 2022 12 05 13 23 39PHOTO 2022 12 05 13 23 38 1PHOTO 2022 12 05 13 23 38PHOTO 2022 12 05 13 23 37 2PHOTO 2022 12 05 13 23 37PHOTO 2022 12 05 13 23 36 1PHOTO 2022 12 05 13 23 36PHOTO 2022 12 05 13 23 35 2PHOTO 2022 12 05 13 23 35 1

 


මේ චාම් උත්සවය අලංකාර කළ උඩ පහත නර්තන දැක්මකින් ආටෝපවත් විය. තම මේසයෙහි අසුන් ගෙන සිටි වෘත්තීය සගයෙකු මහත් අමන්දනයෙන් නර්තනය සංදර්ශණය නරඹමින් සිටිනු සගයෙකු තවත් කෙනෙකුට ඇඟිල්ලෙන් ඇන සිය මිතුරාට  සිනාසිණ.


“මොකද නැටුමට වශි වෙලා වගේ....තෙවැන්නා නර්තනය රස විඳි සගයාට බාධා කිරීමට පවා නො වීය.


“මම කොහොමටත් නැටුම් බලන්න කැමති කෙනෙක්.


“මෙයා දළුවත්තගේ නෑයෙක්ද? ...” හම්බන්තොටින් පැමිණි වෘත්තීය සගයා දක්ෂ නැට්ටුවෙකු ලෙස නමත් දිනා සිටි නීතිඥ චන්ද්‍රසේන දළුවත්ත සිහි කරමින් කිය. උඩරට නැටුම් සම්ප්‍රදාය කරළියට කැඳවීමෙන් නර්තනය ආරම්භ විය. යම් අවස්ථාවක උඩරට නැට්ටුවන්ට විරාමයකට වේදිකාවේම සිටියදී, පහත රට වෙස් නැටුම් කණ්ඩායමක් ද වේදිකාවට ගොඩ විය. නැටුම් කණ්ඩායම් දෙකකට ඒ වේදිකාවේ ඉඩ මදි වූ නිසා දෝ වෙස් නැට්ටුවෝ අමුත්තන් සිටි කොටසද අත්පත් කර ගත්හ. ඉන්පසුව  විරාම තබමින් එකිනෙකා සිය දස්කම් දැක්වූහ. යම් වෙලාවකදි උඩ පහත නැටුම් සම්ප්‍රදායන් දෙකම එකම බෙර තාලයට වේග රිද්මයෙන් පැමිණි පිරිස කුල්මත් කිරීමට සමත් විය.  


“අර දෙගොල්ලම එකට නටනවා... තවත් කවුදෝ කියනු ඇසිණ.  


“රටත් මේ විදියට එතම තේමාවට පෙළ ගැහුණොත් ..... නර්තය දෙස ආසාවෙන් බලා සිටි නීතිඥයා ඒ ටික කීවේ දේශපාලන තේමාවක් ඒ නැටුම් සංදර්ශනයට මිශ්‍ර කරමිනි.


ඉන්පසුව ඒ කිහිප දෙනා කතා කළේ ජනාධිපති වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ජාතික සමගිය වෙනුවෙන් විපක්ෂයට කළ ආමන්ත්‍රණය කිරීමත්,  අවසානයේ මහින්ද රාජපක්ෂ පවා එළඹෙන නිදහස් දිනයට පළමුව උතුරේ ප්‍රශ්නය විසඳීමට මහින්ද රාජපක්ෂ පවා කැමති කරවා ගත් ආකාරයත් ය.


“ඔක්කෝම රටේ සිද්ධ වෙන්නේ මුතු දේවල්. හම්බන්තොටින් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයා කිසිදු හැඟීමකින් තොරව කියාගෙන ගියේය.


“මිනිස්සුත් අමුතුවෙන් හිතන්න පටන් අරන් වාගේ. මම ඊයේ පෙරේදා පයිප්ප දෙකක් ගන්න හාර්ඩ්වෙයාර් එකකට ගියා. රටට මොකද වෙන්නේ කියලා මුදලාලිගෙන් ඇහුවාම මට දුන්නෙත් අමුතු උත්තරයක්.


“මොකද කීවේ.


“මහත්තයා කවුද හිතුවේ පොන්සේකායි සජිත් ප්‍රේමදාසයි බලා ඉන්දැද්දී රනිල් වික්‍රමසිංහ ඡන්දයක් නැතිව රටේ ජනාධිපති වෙයි කියලා...


“ඉතින් ....


‘ඒ වාගේ දෙයක් රටෙත් සිද්ධ වෙමින් තියෙන්නේ බලන්නකෝ.


“ ඒ වුණාට මෙයා පාර්ලිමේන්තු ගිහින් දහ අතේ නෙලනවානේ.


“ඔය කියන්නේ හාමුදුරුවරුන්ට බැනපු එක ගැනද?


“ ඔව් ඒකත් එකක් තමයි.


“ඒ කතාවට නම් මම කැමති නැහැ. ඒ වුණත් රට මේ විදියට අමාරුවෙ දැම්ම රාජපක්ෂලා වෙනුවෙන් අපේ හාමුදුරුවරු කොච්චර නම් බොරු කිව්වද? එක මහාචාර්ය හාමුදුරුනමක් කිව්වේ ගෝඨාභය දිනෙව්වොත් සෝවාන් නොවි නිවන් දකින්න පුළුවන් කියලා. තව එකෙක් දොස්තර සාෆී නො මරා මැරුවා. දැන් කියනවා පෝය දාට පන්සල කළුවරේ තියලා පාඩම් උගන්නනවා කියලා. මොනවද මේ ගොන් කතා. දානේ හැන්දක් දෙන්නත් රටේ මිනිස්සු කාලා බිලා ඉන්න එපාද?  ආණ්ඩුව ලයිට් කපන්නෙයි බිල් වැඩි කරන්නෙයි ආසාවටද? මෙච්චර කල් රටෙන් ප්‍රතික්ෂේප වෙච්ච රනිල් වික්‍රමසිංහ කැමති නැද්ද රටට යමත් කරලා ඊළඟ ඡන්දෙ දිනන්න.”


“ඒක නම් ඇත්ත. රට පුරාම මිල පාලන නීතිය ක්‍රියාත්මක වෙනවා. බිත්තර වෙළඳ පොලේ ඒකාධිකාරය කැඩිලා කාටවත් ඒවා  පෙන්නේ නැහැ.


“ජනාධිපතිතුමාට කියලා මාලිගාව ළගින් මහින්ද වැහුව පාර අරවාගන්න පුළුවන් වෙයි. මහනුවරින් පැමිණි නීතිඥයෙක් කතාව අමුතු තැනකට යොමු කළේ එහෙමය.


“පිස්සු කියවන්න එපා. ඊට ප්‍රතික්‍රියා දැක්වූ සගයෙකු දෙස බලා සිටි මහනුවර නීතිඥයා යළි කතා කළේය.


“මහනුවර කිසි කෙනෙක් කැමති නෑ පාර වැහුවාට.


“මහත්තයෝ. ඔය පාර වහපු කතාව මහනුවරට තියෙන ප්‍රශ්නයක්. මේ මිනිහා කර ගහලා තියෙන්නේ රටේ පොදු ප්‍රශ්නයකට. විපක්ෂයේ එවුන් හැමදාම බනිනවා. මෙයාට හැල්මේ වැඩේ කරන්න දෙන්න. එයාට තියෙන මේ ප්‍රශ්න හොඳටම ඇති.


“හොඳටම කඩේ යනවා වැඩියි.  මාලිගාව පාර ගැන කතා කළ සගයා එසේ කියා සිනාසිණ.


“මම කවදාවත් රනිල් වික්‍රමසිංහට ඡන්දයක්වත් දිලා නැහැ. ඒත් මේ මනුස්සයා කර ගහලා තියෙන්නේ ලංකාවෙ හෙට දවස ගොඩ දාන්න. මෙයා එක්ක එක්කො රට නැගිටියි. නැත්තම් වැළලෙයි.” ජනාධිපති වික්‍රමසිංහ මේ කතාබහ සිදුවන මේසය වෙත ළඟාවීම සමග සාකච්ඡාව අහවර විය.

PHOTO 2022 12 05 13 23 34 1

උත්සවය ආරම්භයේ සභාව අමතා කතා කළ ජනාධිපති නීතිඥ රෙමේෂ් ද සිල්වා “ රනිල් වික්‍රමසිංහ කිසි විටෙක පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට මිස, තමන් හෝ තම පක්ෂය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කළ නැති බව මෙන්ම, ඔහු රට භාර ගන්නා විට, පැවති ඉන්දන ගෑස් සහ ඖෂධ පේලිම් අවසන් කිරීමට සමත් වූ බව කීය. මෙම සාදය සංවිධානය කළ ජනාධිපති රෝලන්ඩ් පෙරේරා ජනාධිපතිවරයා භාරගෙන ඇත්තේ කිසිවෙකුට තෘප්තිමත් කළ නො හැකි අසීරු රැකියාවක් බව මෙන්ම, රට ටයිටැනික් නෞකාව නම් එය ජනාධිපති වික්‍රමසිංහ අතට පත් වන විට ගිලෙමින් පැවති බව සිහිපත් කළේය.
 
 
PHOTO 2022 12 05 13 23 33 1
 

සියල්ලන්ට පසුව කතා කළ ජනාධිපති වික්‍රමසිංහ සිය කතාවේදී සභාවේ අවදානය යොමු කළේ ආර්ථිකය ගැන නොවේ.
 

මම ආර්ථික විද්‍යාව හදාරන්නේ නැතිව රටේ මූල්‍ය සහ ආර්ථික කටයුතු හසුරුවන්නේ කෙසේද කියා කියා සමහරු අසනවා. ඒක සුළු කාරණයක්. මම එය සිදු කරන්නේ නීතිඥයෙක් විදියට. (ඔහුට අනුව රටේ තත්වය වාසිදායක කරුණු සොයමින් ජයගත යුතු නඩුවකි.) අපට ඉතා නරක කාලයක් තිබුණා. අප මේ තත්වය වෙනස් කරගත යුතුයි. රටේ සමස්ත ඉදිරි ගමන පිළිබඳ තරුණයන් අපෙන් විමසනවා. අපට ඊටත් වඩා විශාල අභියෝගයක් තියෙනවා. ඒ අතීතයේ තුවාල පැරීමට හෝ ඒවා ඔඩු දිවීමට ඉඩ නො හැර ගැටළුවලට තිරසාර විසඳුම් ලබාදීම. අප 75 වෙනි නිදහස් දිනය වනවිට එක මවකගේ දරුවන් ලෙස පෙළ ගැසිය යුතු යි.
 

ජනාධිපති වික්‍රමසිංහ මේ කතා කරන්නේ  උතුරු දකුණු සංහිඳීයාව ගැන ය. මේ කරුණු දැක්වීමට සමපාතව, කලක් රනිල් රාජපක්ෂ ගැන කතා කළ ද්‍රවිඪ සංධාන මන්ත්‍රි චානක්කියන් රාසමානික්කම් චයිනා ගෝ හෝම් තේමාව යටතේ පාර්ලිමේන්තුවේ කතා කළේ රටේ ආර්ථිකය වෙනුවෙනි. ඒ උතුරේ ජන මතය විය හැකිය. පාර්ලිමේන්තුවේදී රාසමානික්කම්ගේ චයිනා ගෝ හෝම් කතාවට  බාධා කළ ආචාර්ය හර්ෂ සිල්වාට මන්ත්‍රි ඒ.ඇම්.සුහන්දිරන් කළ තරවට්ටුව අළුත් රටක් ගැන රනිල් තුළ පවත්නා ප්‍රාර්ථනා යථාර්ථයක් වීම පිළිබඳ සුබ ලකුණකි.



ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

50 Years at the Bar : නීතිඥ දිවියට වසර 50ක් - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader