The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුරුණිය : කුරුල්ලන්ටත් වෙනම කොටසක් (6 කොටස) | ඉන්දු පෙරේරා

T

The Leader Desk

May 9, 2025 • 10:13 AM

කුරුණිය : කුරුල්ලන්ටත් වෙනම කොටසක් (6 කොටස) | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුඹුරු අස්වද්දන්නට පෙර කුරුල්ලන් වෙනුවෙන් වෙනමම කොටසක් වගා කරන එක පොඩි සිඤ්ඤෝ ලා තුළ පැවති පුරුද්දකි.
  • එකක් නම් ඔවුන් පළිබෝධනාශකයන් ලෙස ක්‍රියා කිරීමයි.
  • ස්වභාවිකවම කුඹුරුවලට මනාව පොහොර ලබා දෙන මී ගස් පොඩි සිඤ්ඤෝ ලා හැඳින්වූයේ "පෝර ගස්" ලෙසිනි.
  • ගස්වල කඳුළු තොපිලට පෙනෙන්නේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කුඹුරු අස්වද්දන්නට පෙර කුරුල්ලන් වෙනුවෙන් වෙනමම කොටසක් වගා කරන එක පොඩි සිඤ්ඤෝ ලා තුළ පැවති පුරුද්දකි. මෙය කුරුළු පාළුව නමින් හැඳින්විය. ඒවා ඔවුන්  පරපුරෙන් පරපුරට කරගෙන ආ පුරුදු ය. අක්කර විස්සක් තරම් වූ කුඹුරුයායක් නම් අක්කර කාලක්වත් කුරුළු පාළුවට වෙන් විණි. එය කුඹුරු යායෙහි තෝරාගත් කෙළවරක සකස් කෙරිණි. කුරුළු පාළුවට අයිතිකාරයෙක් නැත. එය සතුන් වෙනුවෙන් දෙනු ලබන දානයක් හා සමාන වූවකි. පොඩි සිඤ්ඤෝලා ගේ පරපුරේ උදවියත් එය එසේම සලකා කටයුතු කරන්නට අමතක කළේ නැත. 
       
කලින් අස්වද්දන නිසා කුරුළු පාළුව මුලින්ම පීදෙයි. එවිට කුරුල්ලෝ ඒවා ආහාරයට ගත්හ. එම ස්ථානයට කුරුල්ලන් හුරු වූ පසු කුඹුරෙහි පීදෙන වී කරල් කන්නට එන්නේ නැති තරම් ය. 
 
1000027443
කෙසේ වුවද ගොවියෝ කුරුල්ලන්ව තම කුඹුරු යායවල් වෙත සිය කැමැත්තෙන්ම ගෙන්වා ගත්හ. මේකට හේතු තිබිණි. එකක් නම් ඔවුන් පළිබෝධනාශකයන් ලෙස ක්‍රියා කිරීමයි. වී කරල්වලට හානි කරන්නට පැමිණෙන කුඩා කෘමීන් ආහාරයට ගැනීමට කුරුල්ලෝ පුරුදුව සිටියහ. නියරවල්වල වෙල් කදුරු, මී වැනි ගස් වර්ග වවන්නට පොඩි සිඤ්ඤෝලා උනන්දු වූයේ නිකම්ම නොවේ. ගිනි මද්දහනේ කුඹුරු වැඩ කරන විට මඳකට හෝ ගිමන නිවා ගන්නට ඔවුන් ආවේ මෙම ගස් සෙවණට ය. තේ කහට එකක් බිව්වේ, ඇඹුල කෑවේ මේ ගස් සෙවණේ හිඳගෙන ය. එසේම ගස් තිබෙන කල කුරුල්ලෝ ඒවා වාසස්ථාන කරගනිති. ඔවුන්ගෙන් පළිබෝධ විනාශ වීමට අමතර ව සිදුවන අනෙක් යහපත නම් ඔවුන්ගේ වසුරු කුඹුරු මත පතිත වීම ය. ඒවා වී වගාවට හොඳ පොහොරකි. 
1000027451
 
මී ගස් ගැන නම්  කියන්නට බොහෝ දේ තිබේ. ස්වභාවිකවම කුඹුරුවලට මනාව පොහොර ලබා දෙන මී ගස් පොඩි සිඤ්ඤෝ ලා හැඳින්වූයේ "පෝර ගස්" ලෙසිනි. කුඹුරු වගා කරන අතරේ නියරවල්වල එළවළු ද වගා කරමින් මී ගස් ද වගා කිරීමට ඔවුන් අමතක කළේ නැත. මී ගස්වල මල් පිපෙන කාලයට ඒ අවට මැස්සන් වැනි කෘමි සතුන් මෙන්ම කුරුල්ලෝ ද සැරිසැරූහ. මී මල් සහ ගෙඩි කන්නට රාත්‍රි කාලයේ නිරන්තරයෙන් මී ගස්වල සැරිසරන කුරුල්ලකු වන්නේ වවුලා ය. මේවා කා දමන වවුලන් කුඹුරුවලට හෙළන ඔවුන්ගේ⁣ වසුරු ඉතා හොඳ කාබනික පොහොරකි. මේවායෙහි ගොයම් ගස් වර්ධනය වීම සඳහා අවශ්‍ය වන නයිට්‍රජන් පොහොර සහ අනෙකුත් සංඝටක රාශියක් අඩංගු ය. අවාසනාවට පොඩි සිඤ්ඤෝලාගෙන් පසුපරම්පරාවල අයට මේවායෙහි වටිනාකමක් නොදැනීම නිසා ඔවුහු මී ගස් කපා දැමූහ. පොඩි සිඤ්ඤෝ ගේ යුගයේ, එනම් මීට දශක පහකට ආසන්න යුගයේ සහ ඉන් පෙරත් මී ගස් නොව ඕනෑම ගසක්  කපා දැමුවේ අත්‍යවශ්‍ය වුවමනාවක දී පමණි. මළ පොතේ අකුරක් නොදන්නා අයෙකුට වුවද පරිසරය, ගහකොළ ගැන මනා දැනුමක් තිබිණි. ඒවා ඇසුරේ ජීවත් වූ ඔවුන් ඒවාට ආදරය කරන්නට, ගරු කරන්නට, රකින්නට ඉගෙන ගත්තේ පොතින් පතින් නොවේ. පසුපරම්පරාවලින් කරන ලද විනාශය කොතෙක්ද යත් අද බොහෝ දෙනෙකු මී ගස් හඳුනන්නේවත් නැත.
 
TddvswJ7n5VxHQw6 Coverමී ගස්
1000027441"ගස්වලට කැත්තක් පිහියක් තියන්න එපා බොලව්. අපි හුස්ම ගන්නේ ඒවා නිසා. ඒවටත් පණ තියෙනවා. කැති පාරක් පිහි පාරක් ගහන ගාණේ "අපිව විනාශ කරන්න එපා" කියලා ගස් අඬනවා. තොපිලට ඒවා ඇහෙන්නේ නෑ. ගස්වල කඳුළු තොපිලට පෙනෙන්නේ නෑ. හුළං වදින්න ගිමන් අරින්න ගහක් යට ඇලවෙලා ඉන්නකොට මීහරක් වගේ ඔහේ ලැගගෙන ඉන්නේ නැතුව ගහට කන් දීගෙන ඉඳහල්ලා. ගහ හුස්ම ගන්න හැටි තොපිලට දැනෙයි. ගහ එක්ක කතා කරන්න පුරුදු වෙයල්ලා. ගහ තොපිලට එතකොට උත්තර දෙයි. ගහ සමහර වෙලාවට සින්දු කියන හැටි අහපල්ලා. ඒවා තොපිලා ඔය වෑර්ලස් එකෙන් අහන ඒවට වැඩිය බොහොම අපූරුයි. ඕව විඳ ගනිල්ලා. එතකොට ගහකොළට ආදරය කරන්න තොපිලා ඉබේම ඉගෙන ගනී. ගහක් කපලා දාන්න තොපිලාගෙ අතක් ඉස්සෙන එකක් නෑ. ඒ විතරක් නෙවෙයි, ඔය ගස් එක්ක ගැවසි ගැවසී ඒවත් එක්කම ජීවත් වෙනවා කියන්නේ තොපිලගේ අට අනූවක් රෝග නිවාරණයි."
1000027452
 
පොඩි සිඤ්ඤෝ  එලෙස කෑ ගසා කීවේ තරමක ලොකු ගසක් කපන්නට උත්සාහ කරමින් සිටි තම පුතණුවන්ට සහ ඔහුගේ උදව්වට පැමිණ සිටි අසල්වැසි කොල්ලන් දෙදෙනාට ය.
     
කුඹුර අස්වැද්දීම සඳහා පළවෙනි හීය හා ගැනීමෙන් පසු පොඩි සිඤ්ඤෝ වෙල්කදුරු ගස්වල උසට වැඩුණු අතු කපා කුඹුරට දැම්මේ හේතු දෙකක් ඇතිව ය. වෙල් කදුරු ද සුලභව නයිට්‍රජන් අඩංගු සාරවත් පොහොරකි. ඒවා කුඹුරට දැමීමෙන් පසුව දෙවැනි හීය හා ගන්නා විට එම කොළ පස තුළ තැම්බී කුඹුර හාන විට හොඳින් පසට මිශ්‍ර වේ. අනෙක් අතට එසේ කප්පාදු නොකර ගස් උසට වැඩෙන්නට හැරියොත් එම ගස්වල අතු මත හිඳින කුරුල්ලන්ට කුඩා කෘමීන් ව නොපෙනී උන්ව මග හැරී යා හැකිය. එවිට කෘමීන් විනාශ කිරීම අපහසු වෙයි. එසේම නිශාචර කුරුල්ලකු වන බකමූණා මෙම ගස්වල වාසය කරමින් රාත්‍රියට ගුල්වලින් පිටතට එන මීයන් වැනි සතුන් අල්ලා ගනියි. මේ ආකාරයට ස්වභාවිකව පලිබෝධකයන් විනාශ කිරීමේ ක්‍රම සහ වී වගාවට ස්වභාවික කාබනික පොහොර නිපදවා ගැනීම ගැනත් පොඩි සිඤ්ඤෝ වැනි එම පරම්පරාවේ සහ ඊට පෙර පරම්පරාවලත් ගොවියෝ මැනවින් දැන සිටියහ. වත්මන් ගොවියන් අතර මෙබඳු සොබා දහමට හිතකර ක්‍රම කෙරෙහි විශ්වාසය තබන අය හීන වෙමින් පවතියි. දැන් බොහොමයක්  ගොවීන්  රසායනික පොහොර සහ රසායනික පළිබෝධ වෙත වැඩි නැඹුරුවක් දක්වන්නේ එය පහසු සහ ඉක්මන් නිසා ය. නමුත් එවැනි කෙටිකාලීන ක්‍රම මගින් ලැබෙන අයහපත දිගුකාලීන ය. 
 
paddy fieldque9
මෙම කුරුළු පාළුවෙහි අස්වැන්න කිසිදාකත් ගොවීන් නෙළා ගත්තේ නැත. එය කුරුල්ලන් සඳහාම ය. කන්නයෙන් කන්නය ට කුඹුරු වගා කළත්, කුරුළු පාළුව සාමාන්‍යයෙන් වගා කරන්නේ කන්න දෙක තුනකට වරක් වශයෙනි. වී කරලක කාලය අවසන් වූ පසු එහි වී ඇට හැලී යාම සිදුවේ. නමුත් වතුර ලැබෙන විට ගොයම් පඳුරෙහි නැවත නැවතත් පැළ හට ගෙන ඒවායේ කරල් ඇති වන නිසා කුරුළු පාළුවක කුරුල්ලන්ට කෑමට වී හිඟ වන්නේ නැත. මෙලෙස ඕනෑ තරම් කාලයක් කුරුළු පාළුවක් යළි යළි වගා නොකර එලෙසින්ම තැබිය හැකි මුත්, ගොවීන් එය එසේ කළේ නැත. ඊට හේතුව  මුල් ගොයම් පඳුරෙන් යළි යළිත් පැළ හට ගෙන ලැබෙන අස්වැන්න මුල්ම අස්වැන්න තරම් සාරවත් නොවන නිසා ය.
Untitled 2ss
 
කුඹුරක් අස්වද්දා බීජවලින් පැළ හටගත් පසු  කුඹුරේ වතුර රැඳී නොසිටින පරිදි වතුර කඩා දමන්නේ ද මෙම හේතුව නිසා ය. එනම් ගොයම් ගසේ මුලින්ම වී කරල් හටගත් පසු ගොයම් ගස්වලට වතුර ලැබුණොත් තව තවත් පැළ බිහි වී ඒවායේ  කරල් හටගනු ඇත. මෙය පොඩි සිඤ්ඤෝලා හැඳින්වූයේ "ගොයම් ගහ තිරිහං වෙනවා" යනුවෙනි. ගොයම් ගස මෙසේ තිරිහන් වීම  මුලින්ම හටගන්නා වී අස්වැන්නෙහි සාරවත් බව අඩු කිරීමට හේතුවන නිසා ගොයම් පැළ කාලයේදීම වතුර කඩා දැමීම තුළින් නැවත නැවත පැළ හට ගැනීම හෙවත් ගොයම් ගස තිරිහන් වීම ඔවුහු වළක්වා ගත්හ.
       
පොඩි සිඤ්ඤෝලා  වගා කළේ පාරම්පරික දැනුමෙනි. ඒවා පොත්වල තිබූ ඒවා නොවේ. එනිසා  පොඩි  සිඤ්ඤෝලාගේ කාලයේ අකුරු සාස්තරය නොදත් අය අතර පවා ගොඩ මඩ වගාව පිළිබඳ විශේෂඥයෝ සිටියහ.
 
Sunrise over the paddy fields in Sri Lanka
 
තවත් කොටසකින් යළිත් හමුවෙමු.
     
පැරණි හෙළ වී වගාව සම්බන්ධ සියලු තොරතුරු සපයා දෙමින් සහාය වන ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරයෙහි (LOAM) පුහුණු උපදේශක ඉන්දික සම්පත් මහතාටත්, මෙම ලිපි පෙළ සඳහා අනුග්‍රහය දක්වන එම ආයතනයෙහි සභාපති තිලක් කාරියවසම් මහතාටත් බෙහෙවින්ම ස්තූතියි. 
 
 
සටහන : ඉන්දු පෙරේරා  
 
සබැඳි ලිපි :

කුරුණිය : 'කරණය'ට කරන වී වගාව (1 කොටස) | ඉන්දු පෙරේරා

කුරුණිය: අපේ දරුවෙක් වගේ හිටපු මහ පොළොවට වහ දුන්නු ජාතියක් අපි (2 කොටස) | ඉන්දු පෙරේරා

කුරුණිය : කුලියක් මලියක් නැතිව එකිනෙකා සහයෝගයෙන් කළ වී වගාව (3 කොටස) | ඉන්දු පෙරේරා

කුරුණිය: වල් නාශක නැතුව කළ වල් විනාශය  (4 කොටස) | ඉන්දු පෙරේරා 

කුරුණිය: පරිසරය නමැති විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලද අපේ පැරණි ගොවියෝ (5 කොටස) | ඉන්දු පෙරේරා

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...