The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලින් හෙළි වන කරුණු 6ක් - BBC සිංහල විග්‍රහයක්

T

The Leader Desk

September 23, 2025 • 11:17 AM

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලින් හෙළි වන කරුණු 6ක් - BBC සිංහල විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමත් සමග ය.
  • එහිදී ඔවුන් එම ප්‍රකාශවල දක්වා ඇති වත්කම්වල එකතුව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අවධානය යොමු කර තිබූ අතර, ඇතැම් මැති ඇමතිවරුන් ඔවුන්ගේ ධනය උපයා ගත ආකාරය පිළිබඳව ද ප්‍රසිද්ධ මාධ්‍යයේ කරුණු පැහැදිලි කරන ආකාරය දැකගත හැකි විය.
  • මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ බීබීසී සිංහල විසින් නිරීක්ෂණය කළ අතර, ඒවායේ තිබූ දත්ත සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.
  • බොහෝ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉතා අවිධිමත් ලෙස සම්පූර්ණ කර ඇති ආකාරය ද එහිදී දැකගත හැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමත් සමග ය.

එහිදී ඔවුන් එම ප්‍රකාශවල දක්වා ඇති වත්කම්වල එකතුව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අවධානය යොමු කර තිබූ අතර, ඇතැම් මැති ඇමතිවරුන් ඔවුන්ගේ ධනය උපයා ගත ආකාරය පිළිබඳව ද ප්‍රසිද්ධ මාධ්‍යයේ කරුණු පැහැදිලි කරන ආකාරය දැකගත හැකි විය.

මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ බීබීසී සිංහල විසින් නිරීක්ෂණය කළ අතර, ඒවායේ තිබූ දත්ත සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.

බොහෝ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉතා අවිධිමත් ලෙස සම්පූර්ණ කර ඇති ආකාරය ද එහිදී දැකගත හැකි විය.

as 1as 2as 3as 4as 5as 6as 7as 8
01. ඇතැම් වත්කම්වල වටිනාකම පැහැදිලි නොවීම

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේදී බොහෝ වත්කම් හා බැරකම් ප්‍රකාශ අසම්පූර්ණ බවට නිරීක්ෂණය විය.

ඇතැම් පුද්ගලයන් ඔවුන්ට ඇති වත්කම්වල වටිනාකම් සඳහන් කර තිබුණේ නැත.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ වත්කම්වල නිවසක, ඉඩමක මෙන් ම ඔහුගේ කොටස් හිමිකාරීත්වයන්ගේ වටිනාකාම සඳහන් කර නොමැත.

අගමැතිවරියගේ ද නේවාසික ගොඩනැගිලි 3ක වටිනාකම සඳහන් කර නැත.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ඔහුගේ කිසිදු වත්කමක වටිනකාම සටහන් කර තිබුණේ නැත. අවම වශයෙන් ඔහුගේ වැටුප හෝ එහි සඳහන් කර තිබුණේ නැත.

එහි ඔහුට අයත් වත්කම් ලෙස නේවාසික ගොඩනැගිලි 2ක්, රන් පවුම් 14ක් සහ පෙර පාසල් ගුරු වැටුපක් සඳහන් වූ නමුත් ඒවායේ වටිනාකම සඳහන් කර තිබූයේ නැත.

02. නිරවද්‍යතාව


මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ නිරීක්ෂණයේදී ඇතිවූ තවත් ගැටලුවක් වූයේ ඒවායේ නිරවද්‍යතාව ය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ වත්කම් ප්‍රකාශයේ ඔහුට අයත් නේවාසික ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සටහන් වී තිබූ නමුත් එහි වටිනාකම ලෙස සටහන්ව තිබුණේ රු.7,000ක් ලෙස ය.

එය ප්‍රයෝගිකව විය හැක්කේ කෙසේ ද යන ප්‍රශ්නය එහිදී අපට ඇති විය.

එමෙන් ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයෙන් ඔහු සතුව ටොයෝටා ප්‍රිමියෝ වර්ගයේ මෝටර් රථයක් ඇති බවට සටහන් කර තිබේ.

නමුත් එහි සඳහන් ව ඇත්තේ එහි වටිනාකම රු. 160,000.00ක් බවට ය.

මෝටර් රථයක වටිනාකම එවැනි අගයක් විය හැක්කේ කෙසේදැයි යන්න ප්‍රශ්න සහගත ය.

එසේ නම් අමාත්‍යවරයා වටිනාකම සටහන් කිරීමේදී ඇතැම්විට ඉලක්කම් අඩුවෙන් පුරවා තිබිය යුතුය.

ජනතාවට දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කර ඇති මෙවැනි ලේඛනයක එවැනි ආකාරයේ වැරදීමක් තිබිය හැක්කේ කෙසේදැයි යන්න සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි.

03. ආදායම් උපයා ගත්තේ කෙසේ ද?

මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශවල තිබූ තවත් අපහැදිලිතාවයක් වූයේ ඒවායේ ප්‍රකාශකයන් විසින් සඳහන් කරනු ලැබ ඇති වත්කම් උපයාගෙන ඇති ආකාරය පැහැදිලි නොවීම ය.

මෙම වත්කම් සම්බන්ධ ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී ඒවා උපයා ගත් අන්දම වැදගත් ය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශකයන්ගේ නිශ්චල සහ සහ චංචල දේපලවල ඒවා පවුලෙන් හිමි වූ ඒවා නම් ඒ බව සඳහන් ව තිබිණි.

මිලට ගත් ලෙස සඳහන් වූ ඒවායේ ඒ සඳහා මුදල් උපයාගත්තේ කෙසේද යන්න සඳහන් නොවේ.

ඇතැම් නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යවරුන් සතුව විදේශීය මුදල් ද මූල්‍යමය වත්කම් ලෙස ඇති බව නිරීක්ෂණය විය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සතුව ඇමෙරිකානු ඩොලර් 153,499ක් ඇති බවට සටහන් කර ඇති නමුත් ඒවා උපයා ගත් ආකාරය පිළිබඳව සටහනක් නොමැත.

බොහෝ අයගේ මූල්‍යමය වත්කම් සටහන් කිරීමට ඇති කොටස නිරීක්ෂණයේදී මේ බව පෙනී යයි.

04. නීත්‍යනුකූල නොවන වත්කම්

ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් මුදල් ඒකක නීත්‍යනුකූල වත්කමක් නොවන බව මහා බැංකු නිල වෙබ් අඩවියේ දැක්වේ.

කෙසේ වෙතත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ඔවුන් සතු ඩිජිටල් මුදල් ඒකක සමබන්ධයෙන් ද වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ දක්වා ඇත.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිත කිරීමට ද අවසර හිමි නොවේ.

අමාත්‍ය වසන්ත සමරසිංහ සහ කතානායකවරයා විසින් ඔවුන් සතුව ඩිජිටල් මුදල් ඒකක ඇති බවට ප්‍රකාශ කර ඇත්තේ එවැනි නීතිමය පසුබිමක ය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සැප්තැම්බර් 16 පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසන ලදී.

මහ බැංකුව විසින් ඩිජිටල් මුදල් ඒකක සම්බන්ධයෙන් මෙවැනි මාර්ගෝපදේශන නිකුත් කර ඇති පසුබිමක ආණ්ඩුවේ සාමාජිකයන් විසින් සිය වත්කම් ලෙස ඒවා සටහන් කර තිබෙන බවත් ඒවා එම නීතිවලට අනුකූල ද යන්න එහිදී විමසා සිටින ලදී.

"මා දන්නා හැටියට, වත්කම් හා බැරකම් ප්‍රකාශවල දාන්නේ ඔවුන්ට ඔප්පු කරන්න පුළුවන් දේවල්. එයාලා ඒක ඉදිරිපත් කරලා තියෙනවනේ. ඔබ කොහෙන් හරි හොයාගෙන ගිහිල්ලා, ඔබ විමර්ශනයක් කරලා ගත්ත දේවල් නෙවෙයිනේ. මේ අපි ඉදිරිපත් කරපු දේවල්," ඔහු එයට පිළිතුරු ලෙස පැවසුවේ ය.

05. අල්ලස් කොමිසමේ වගවීම කුමක් ද?

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දෙන අයගේ එම ප්‍රකාශ පනතේ 83 වන වගන්තිය යටතේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සහ සත්‍යාපනය කිරීම මධ්‍යම අධිකාරිය ලෙස හඳුන්වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සිදු කළ යුතු ය.

එහි 84 වන වගන්තියට අනුව 'අයුතු අපොහොසත්වීම්' සහ 'බැඳියාවන්' පිළිබඳව බැලූබැල්මට පෙනෙන ඝට්ටනයන් සම්බන්ධ සාක්ෂි සොයා ගැනීම සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ සත්‍යාපනය කිරීම මෙම මධ්‍යම අධිකාරිය විසින් සිදු කළ යුතු ය.

එමෙන් ම එම ප්‍රකාශවල පිටපතක් මහජනතාවට බැලීමට හැකි ආකාරයට පළ කළ යුතු ය.

එමෙන් ම ඒවායේ යම් ඝට්ටනයක් ඇති බවට ස්වකීය පරීක්ෂණවලින් පෙනී යන්නේ නම් හෝ යම් අයෙකු ඒ සම්බන්ධයෙන් පැමිණිලක් සිදු කරන්නේ නම් ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සිදු කළ යුතු ය.

කෙසේ වෙතත් මහ ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කර තිබෙන වත්කම් සහ බැරකම් ප්‍රකාශ සත්‍යාපනය කර තිබෙන්නේ ද යන්න පැහැදිලි නැත.

මක්නිසා ද යත් ඒවායේ සඳහන් නොවන වත්කම්වල වටිනාකම්, වර්තමාන වටිනාකම සඳහන් නොවන වත්කම් මෙන් ම කිසිදු වටිනාකමක් සඳහන් නොවන වත්කම් ප්‍රකාශ ද ඒ අතර ඇති බැවින් ය.

මහජන ඡන්දයෙන් පවත්වන මහජන නියෝජිතයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ මහජනතාවට දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීමේදී මහ ජනතාව සතු තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම අනුව නිවැරදි, සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ජනතාවට තිබේ.

මේ නිසා අසම්පූර්ණ, අවිධිමත් සහ නිරවද්‍යතාවයෙන් තොර බවට බැලූ බැල්මට පෙනී යන තොරතුරු ජනතාවගේ එම අයිතිය කඩ කිරීමකි.

06. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ තැනැත්තන් සම්බන්ධයෙන් ගන්නා පියවර

දූෂණ විරෝධී පනතට අනුව නියමිත දිනට වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදෙන පුද්ගලයන් දඩ මුදලකට යටත් වේ.

එමෙන් ම පළමු අවස්ථාවේදී ඔවුන්ට ලිපියක් මගින් අවවාද කිරීම සිදු වේ.

පසුගිය වසරට අදාලව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අයගේ නම ලේඛනයක් ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පල කර තිබේ.

ඒ අතර හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය ඇමතිවරුන් වූ ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සුරේන්ද්‍ර රාඝවන් යන අය ඇතුළත් ය.

එමෙන් ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ තානාපතිවරුන් ද ඇතුළත් වේ.

(උපුටා ගැනීම - බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...