The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

71 අප්‍රේල් විරුවකුගේ අමුතු කථාවක්..! | S. Abeysinghe

T

The Leader Desk

April 5, 2025 • 10:13 AM

71 අප්‍රේල් විරුවකුගේ අමුතු කථාවක්..! | S. Abeysinghe

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ” මව්බිම නැත්නම් මරණය _අපි දිනන්නෙමු ” ( හික්….) ස්ථානය : නුවර පොලිසිය ඉදිරිපිට.
  • මාකස් අබේ වන, අද වනවිට අවුරුදු 74 මාස 10 දවස් 26 ක් වයස ඉහ නිකට පැහිච්ච මම.
  • එදා අප්‍රේල් 5 දා කතන්දරේ ගැන මෙලෝ හසරක් නොදන්න අද ඉන්න සහෝදරවරුන්ටත්.
  • එකී මෙකී නොකී එකාලගෙ හා එකීලගෙ දැන ගැනීම සඳහාත් මාකස් අබේ වන මේකගේ අප්‍රේල් 5 හේ කතාව මෙතැන් සිට ….
අකුරු ප්‍රමාණය (Font Size):

” මව්බිම නැත්නම් මරණය _අපි දිනන්නෙමු ” ( හික්….) ස්ථානය : නුවර පොලිසිය ඉදිරිපිට.

අවසන් වාක්‍ය : ” දනින් වැටී ජීවත් වනු වෙනුවට දෙපයින් සිට මිය යෑම උතුම්‍ ” ජනතා විමුක්ති පෙරමුනට ජයවේවා.

” අධිරාජ්‍යවාදී ධනේශ්වර පොලිස් වෙඩි උන්ඩ වලින් සිදුරුව ගිය පෙනේරයක් බඳු නිසල සිරුර “පතා ජනතාවගෙ විමුක්තිය ” මාතෘභූමිය සිප ගෙන සදාකාලික සාමයේ සැතපෙන “

අප්‍රේල් විරු ” -මාකස් අබේ.



( සැමරුම් දින නැති ගීතය )

එදා හුජ්ජ කොල්ලෙක් නැත්තං කජුකිරි කොල්ලෙක් වෙච්ච දඩිබිඩි විප්ලවකාර ( විසේකාර ? ) මාකස් අබේ වන, අද වනවිට අවුරුදු 74 මාස 10 දවස් 26 ක් වයස ඉහ නිකට පැහිච්ච මම ………..

එදා අප්‍රේල් 5 දා කතන්දරේ ගැන මෙලෝ හසරක් නොදන්න අද ඉන්න සහෝදරවරුන්ටත් …………….. එකී මෙකී නොකී එකාලගෙ හා එකීලගෙ දැන ගැනීම සඳහාත් මාකස් අබේ වන මේකගේ අප්‍රේල් 5 හේ කතාව මෙතැන් සිට ….

අගට ගන්න ඕන ප්‍රශ්නෙ මුලදිම ඇහුවොත් මගේ කතාව තේරුං ගන්න උඹලට ලේසි වේවි .

ප්‍රශ්ණය :-
අදිරදේ අවමගුල් ගී – නිදහසේ ජය මගුල් ( මල මගුල් ? ) ගී ” ගැයූ 71 අප්‍රේල් 5 දා මාකස් අබේ වන මම ” දනින් වැටී ජීවත් වනු වෙනුවට දෙපයින් සිට මියයෑම උතුම් බැවින් නුවර පොලිසිය ඉදිරිපිට අධිරාජ්‍යවාදී ධනේශ්වර පොලිසියේ වෙඩි උන්ඩ වලින් ” පතා ජනතාවගෙ විමුක්තිය ” අවසන් හුස්ම පොද වාතලයට මුසු කෙරුවනං අද ඉන්න උඹල හා උඹීල මං වෙනුවෙනුත් ඉටි පන්දමක් පත්තුකර විප්ලවීය ආචාරය පුද කරනවද ?

හරි . මේ මගේ කතාව .( සභාවෙන් අවසර ගතයුතු නැත )

1969 ඔක්තෝබර් 14 දින. කැම්පස් එකේ පස් පෑගුව මුල්ම දවස. හුට්ට පටං. පුදපු ගමන් කාපි යකා කිව්වලු. උපකුලපති – E.O.E පෙරෙයිරා – පන්නන්න ජ්‍යේෂ්ඨ උත්තමයො ස්ට්‍රයික්. මාස ගානක් ගෙදර.



” එක්තරා ජ්‍යේෂ්ඨ උත්තමයෙක් …

අබේ කොහේද ?

“අම්බලන්තොට “

” තද නියඟෙ නේද “

” අපොයි කියල වැඩක් නෑ ”

“එදා කාවන්තිස්ස කාලෙ සරුසාර ගොවිබිම් .

අද නියඟෙන් බැට කන්නෙ ඇයි කියල දන්නවද ?

” “වැස්ස නෑ නේ “

“නෑ. ඕක අධිරාජ්‍යවාදීන් හදපු නියඟයක්. සුද්දගෙ දෑවැද්දක්. ඇයි පුදුමෙන් වගේ? පිලිගන්න බෑ වගේ නේ”

” ඔව් නේ ”

” හෙට රෑ 9 ට ජේ පී ශාලාවෙ … කාමරයට එන්න. අපි කියල දෙන්නං ”

( ගම බණ්ඩාරවෙල උනානං සෝදාපාලුව, කලුතරනං ගංවතුර. මං අම්බලන්තොට නිසා නියඟෙ) කොක්ක ගලනාලෙන් ආමාශෙටත් එතනින් මහබඩවැල හරහා ගිහින් නවතුනේ කුඩා බඩ වැලේ.

හරි ඒ කතාව එච්චරයි.

 117745325 mediaitem117745324.jpg


පැටි මහත්තය. ඒ මාව බව්තීස්ම කරාට පස්සෙ දීපු නම ( ඒ කාලෙ අපි සහෝදරවරු නෙවි මහත්තුරු . හැබැයි කාන්තා උදවියට නම විතරයි. මහත්තුරු යන්නට ස්ත්‍රී ලිංගික වචනයක් නැති හින්ද වෙන්නැති මයෙ හිතේ. “සහෝදරය” යන්න සමසමාජ කොමියුනිස්ට් පක්ෂ විසින් ගනිකා වෘත්තියේ යොදවපු හින්ද අපි ඒ වෙනුවට “මහත්තය ” භාවිතා කරනව. ” ලොකු මහත්තය” – විජේවීර, එදා කිව්වෙ එහෙම . ඒත් මේන් බොලේ මැගසින් එකෙන් ආව ගමන් “ලොකු මහත්තය ” ” විජේවීර සහෝදරය ” වෙච්චි. අනේද කියන්නෙ !

මොන කරුමයක්ද මන්ද කතාව පිට පනිනව.


old may day 1200x550
මූලික සාකච්කච්ඡාව…

බන කියල විබ්බන අහන් ඉන්න උපාසක අම්ම කෙනෙක් වගේ මාත් අහන් උන්න. අනගිරත්න බන ඇහුව වගේ උනානං මං කැපිල. ඇයි කියලද අහන්නෙ ? ඇයි මං ප්‍රශ්ණ කරනව නේ. එහෙම උනානං අද මං කියන්න යන කතාව කියන්න වෙන්නෙ නෑ. ඉතින් ඊට පස්සෙ?

ආර්ථික අර්බුදය, ඉංදියානු ව්‍යාප්තවාදය , ලංකාවේ වාමාංශික ව්‍යාපාරය , නිදහස…

විවේක බුද්ධිය විරේක කරගත් විචාර බුද්ධිය විකාර කරගත් පැටි මහත්තය පිලිවෙලින් ඒ පංති 4 තුන් හිත පහදවාගෙන භක්තිමත්ව ශ්‍රද්ධාවෙන් අහන් උන්න .

පැටි මහත්තයගෙන් අතුරු ආන්තරාවක් නැති බව තේරුම් ගත් ඒ මහත්තුරු ” ලාංකීය විප්ලවය ගතයුතු මග ” පංතිය කෙරුව. විප්ලවයක් කියන්නෙ තේ පැන් සංග්‍රහයක් එක්ක කරන සතුටු සාමීචියෙන් පිරුනු සුහද හමුවක් කියල මොකුත් නොදන්න ඔහේලට හිතේවි. විප්ලවේ චීනෙ කෙරුව වගේ දිග්ගැස්සුනු එකක් හරි අපි කොරාන්න හැදුව වන් ඩේ එකක් හරි වෙන්න පුලුවන්. කොහොම කෙරුවත් වෙන දේ කොට කතාවෙන් කිව්වොත් මෙහෙමයි. ” මරපං බැරිනං මැරුං කාපං “

කාලය හෙමින් නෙවි කලබලෙන් පිනුං ගහනව . ලෙක්චරස්ල ටියුටර්ස්ල කලුද සුදුද කියන්න පැටි මහත්තය දන්නෙ නෑ . ජෙප්පො වන අපි, දවල්ට හෙමිජ්ජො වගේ. රෑට හොරගෙඩියො වගේ ” ගෙඩි ” හදන්න උඩ හන්තානෙ (Upper හන්තානෙ) වතුවල කම්බි වැටවල් කපනව. ඔහොම ගිහිපු දවසක අහිංසක බල්ලෙකුගේ ඔලුවට රියනක් තරන් දිග කතුරෙන් ගහපු පාරට ඌ කැරකෙනව විතරයි දැක්කෙ. දෙපාරක් ඌ දිහා බලන්න තරන් හිත දරදඬු නැතිකමෙන් කරබාගෙන ගෑටුව.

” පැටි මහත්තය, අරුං ( චීන ලයිං එකේ කොල්ලො ) ” නිශාචරයො කියල අපට විරුද්ධව පෝස්ටරයක් ගහල ලයිබ්‍රරි නොටිස් බෝර්ඩ් එකේ, ගහමුද ? “අපේ ලොකු මහත්තය අහපි.

” ගහමු ගහමු. මොකට අහනවද ? ( ” කැම්පස් එකේ ලොකු මහත්තය වනාහි මටත් අවුරුද්දකින් බාල ඒත් මටත් අවුරුද්දක් සීනියර් මාර බ්‍රයිටෙක්. ඇතුලෙත් ඉඳල ක්ලාස් එකකුත් ගහල ස්ටාෆ් එකටත් ආ. වයස අඩුයි කියල කැම්පස් එකට නොගන්න හිටිය 14 දෙනාගෙන් කෙනෙක්.

මගේ මිත්‍ර කල්‍යාණ ලියනගුනවර්ධන තව කෙනෙක්. ශිෂ්‍ය සංගමේ සභාපති මැල්කම් විජිතපාල ස්ට්‍රයික් කරල තමයි බේර ගත්තෙ).

 

image3 1

පහුවදා ලයිබ්‍රරිය ලඟ එකම යුද පිටියක්. ඇසිඩ් බල්බ් සහ නකල් ඩස්ට් අන්සකඩේ දාගෙන සංඝාරාමෙ සහ කෙහෙල්පන්නල වලව්වේ සිට වැඩමකල අපේ හාමුදුරුවන්ගෙන් සමහරක්ගෙ සිවුරු අසිඩ් වලට පිච්චිලා. ( සාදු කියන්න එපා පිංවත්නි. පව් ) මට මතක් වෙන්නෙ දුටුගැමුණුගේ යුද පෙරමුණේ වැඩම කරයි කියන මහා සංඝ රත්නය.

” ඕවන් , මට සමාවෙයන්. උඹ ආපහු හැරිල බලපු හටි මට දැනුත් මැවිල පේනව”, ” තුඃ විතරක්. මං වගේ ජඩයෙක් ”

මනස්කාන්ත අමනුස්සකං වලින් දින සති මාස ගෙවිල ගියා. මාර්තු 16 දා උදාඋනා. මාස් එකේ හේවාවිතාරනගෙ කාමරේට ගියේ විමලය ( එදා ඉඳල විමලය බෝම්බ විමලය උනා ) හම්බ වෙන්න. සයන්ස් ෆැකල්ටි එකෙන්, ස්කෝලවල ලැබ් වලින් පන්නපු ටෙස්ට් ටියුබ් බ්ලෝ ලෑම්ප් එකට අල්ලලා හීනි කරනවා. ඒ හීනි උන ටියුබ් එක කුඩා කුඩා කෑලිවලට කඩලා පැත්තක් බ්ලෝ ලෑම්ප් එකෙන්ම සීල් කර ඇසිඩ් පුරවනවා. සල්ෆියුරික් ඇසිඩ් දාල පුරවලා ඉටි පන්දන් කිරිවලින් අනිත් පැත්ත සීල් කරල කැප් වලට දානවා. මේ කැප්ස් වලට දැමීම තමයි ඌ කර කර හිටියෙ.

මගේ සිහිකල්පනාව හරිනම් එතන කැප්ස් 800 ක් තිබුනා. සේව නූලට ගිනි තියනවා වගේ නෙවෙයි මේක ආරක්ෂිතයි. කලුවරේ සේව නූලට ගිනි තියන්න ලයිටරේ ගහපු ගමන් පංති සතුරගෙන් ඩිසුම් ඩිසුම් තමයි. මේකෙ නිර්මාතෘගේ අවසරයක් නැතිව උගේ නම දාන්න බෑ. විමලයගෙන් සමු අරන්, මාස් ශාලාවේ වතුර බහින්න හදපු පඩි සහිත කානුව දිගේ බැහල රජවත්තෙ බෝඩිමට ගියා විතරයි අර කාමරෙන් ” ඩෝං ” හඬත් එක්ක දුම් පිටවෙන්න ගත්තෙ නැතෑ.

Flames are seen through the windows and coming out under the eaves of this house fire.  This was a training fire event with the fire set and controlled by a fire department on a house that was donated for the purpose of being used to train local volunteer fire fighters.

පොලිසියත් හිතුව පිපුරුවෙ බෝම්බයක් කියල. සරච්චන්ද්‍රගෙ ” හෙට එච්චර කලුවර නෑ ” පොතේ එන්නෙත් එහෙම. ඇත්ත කතාව ඒක නෙවි. හදපු බඩු සීලිමේ ගොඩ ගැහුව. රස්නෙට ඉටිපන්දන් කිරි උනු වෙලා ඇසිඩ් ලීක් උනා. කැප්ස් පිපුරුව. උඩින් පල්ලෙන් කෑලි ඇහිඳගෙන ඇත්ත අවුංස 3 යි බොරු අවුංස 13 යි දාල රාත්තලේ කතා ගෙතීම 71 ට විතරක් නෙවි 88/89 ටත් පොදුයි, පිටින් හිටපු උන්ට සමාව දෙන්න පුලුවන් උනත් ඒකෙ හිටපු ” මම අහවලා ” යි කියා ගන්න උන් ඇදබාන කෙප්ප අහුවම ” කාපිය හාමුදුරුවනේ මුගෙ හොස්ස ” කියන්න කටට එනව. ඕං ආයෙත් පිට පැන්න,

මාකස් අබේ හබරල පිත්තෙන් නුවර පොලිසියට ගහයි…

එදා පොලිසියට තිබුනෙ රයිපලෙයි සබ් මැෂින් ගන් එකයි විතරයි. පොලිසියෙ උන්නෙත් ටික දෙනයි. ඕං අපි මහත්තුරු නඩේ ඇත්තො යනව නුවර පොලිසිය ලඟට. කලුවරට මුවාවෙලා … ” යටත් වෙයව්. නැත්තං පොලිසියම ප්ලැට් කරනව ” බයවෙච්චපාර පොලිස්කාරයො ආයුදත් එක්ක යටත් වෙනව. අපිල ඇත්තො හිතුවෙ එහෙම. යටත් නූනොත් ? නූනොත්ද ? ” (මහත්තුරුනි, බිය නොවන්න මැරෙනා හැටි මම පෙන්නමි “) පපුවට තුරුලු කරගත් බෝම්බ දෙකක් එක්ක මුලින්ම පොලිසිය ඇතුලට කඩා පනින්න සූදානමින් උන්නෙ කඩු පියා. පුදුමාකාර යහපත් හිත හොඳ මනුස්සයෙක්. හිරේ තැපල ඇවිත් ඩිග්‍රිය කරල රුහුණු කැම්පස් එකේ හිස්ට්‍රි ලෙක්චර් කෙනෙක් වෙච්ච තවත් බ්‍රයිටෙක්.

අවාසනාවකට අකාලේ ජීවිතේ හමාර උනා මෑතකදී. විජිත නානායක්කාර – ඕපන් යුනිවර්සිටි එකේ හිටපු උපකුලපති – ගාමිනී සමරනායක – විශ්ව විද්‍යාල ප්‍රතිපාදනේ හිටපු සභාපති – ගාමිනී කීරවැල්ල – පේරාදෙනියෙ හිටපු තද පොරක්. මේ ඔක්කොම 71 හිරේ තැපල ආපු මාර බ්‍රයිට් පොරවල්. ඔච්චර බ්‍රයිටො අච්චර හද්ද පට්ට විදියට නුවර පොලිසියට ගහන්න යයි කියලද උබලා හිතන්නේ? ( මේ මාත් ඇතුලුව ). මගේ මොලේ කොලොප්පං වෙලා වගේ දැනෙන හින්දයි මං මේ උඹලගෙන් අහන්නෙ. කතාව ආයෙම ට්‍රැක් එකෙන් පැන්න වගේ.

ඕං ඉතින් පොලිසිය ප්ලැට් කරල පොලිස් කාරයො කූඩුවට දාල ආයුධ ගන්නව. “සතුරාගේ ආයුධ වලින් සතුරාට ”

න්‍යාය ටොන් එකයි, රාත්තල් හතයි, අවුන්ස නමයයි. පොලිසියෙ රයිෆල් අරන් දැන් මක්කයි කොරන්නෙ? වෙඩි තියනව. වෙඩි තියන්න පුරුදු උනාද? නැත්තං. ආයුද පුහුනුව රජවත්තෙ බෝඩිමේ. රයිෆලයෙන් වෙඩි තියන්න පුහුනු කරන්න ආව සගය අරන් ආව භාණ්ඩ ලැයිස්තුව. හබරල පිති 1 යි කුරුම්බ ඇට්ටි 1 යි ඉරටු 3 යි රයිෆල් කඳ, බැරල් එක සහ මැගසින් එක හබරල පිත්තෙන්. කුරුම්බ ඇට්ටිය තමයි බෝල්ට් එක.

මේව ඉරටු කෑලි වලින් එකිනෙකට සම්බන්ධ කරනව. ඕං දැන් බිම දිගා වෙලා සතුරට ප්‍රහාර එල්ල කරනව. සතුරා ” අම්මොයි ” කියාගෙන මැරී වැටෙනව. ( හිනාවෙන්න එපා යකුනේ. නාකිත් දනගාන රටක ඕව මොනවද ) ” “දොලොස් මහක් තිස්සේ කල කී දේ – මතක් වෙනකටත් – මටම හිනා යනවා. මට ඇඬෙනව මස්සිනේ ” මට රෝහන විජේවීර සහ බන්දුල බැද්දගේ කියන සිංදුව මතක් උනා.




පැටි මහත්තය 25 හේ කණ්ඩායමක අණදෙන නිලධාරියා වෙච්ච හැටි…

මාර්තු අග වෙනකොට 5 හේ කණ්ඩායම් 4 ක නායකයො මිසිං. ඒ හතරෙ රතු භටයොත් එකතු කරල 25 හේ බැටෑලියන් එකක් හැදුව. මං අණ දෙන නිලධාරි වෙච්චි.( අං නෙවි බොලව්නෙ), ( තව ඩිංගෙන් සෙට්ට පොච්චි ) මාසෙකට විතර කලින් පිට ගැස්මට හෙල්ත් සෙන්ටර් එකෙන් ඉන්ජෙක්ෂන් ගස්සව ගත්ත කකුලෙ ඇණයක් ඇනුන කියල. දැන් ඉතින් ලේ ගිහින් මැරුනත් පිටගැස්මෙන්නං මැරෙන්නෙ නෑ, සුවර්. ඉන්ජෙක්ෂන් එක හරියට නිකන් මොලේට ගැහුව වගේ. මාර ගැම්මක්. ( ඕනනං කියපල්ල ඇම්මක් කියල ). රාමනාදන් එකේ කෙල්ලො මහපු නිල්පාට යුනිෆෝම් එක ඇඳල හැවසැක් එක දාගත්තම නැපෝලියන් මොකෙක්ද කියල හිතෙනව. දැං දෙන්න බැරිය පොලිස් කාරයින්ට හුජ්ජ පනින්න. හැබැයි මගේ බැටෑලියන් එකේ එකෙක්වත් බෝම්බයක් අතින්වත් අල්ලල තියා දැකලවත් නෑ.

 අප්‍රේල් 4 ද හැන්දෑවෙ අන්තිම සාකච්චාව තිබුනෙ අක්බාර් හෝල් එකේ.A ප්‍රහාරක කණ්ඩායම පොලිසි හමුදා යටත් කරගෙන රාජ්‍ය බලය ගන්නව. B කණ්ඩායම පෝස්ටර් ගහනව." හොරුන්ට සහ ස්ත්‍රී දූෂකයින්ට දඬුවම මරණයයි"," සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා" මගේ නමත් ලියවේවි කියල හීනියට ආඩම්බරකමක් හිතට ආව. ( පව් අප්ප )

නිර්ධනපංති ආඥ්ඥාදායක රාජ්‍ය බිහිකිරීමේ සුබ නැකත යෙදී තිබුනෙ අප්‍රේල් 5 වෙනිදා රෑ 11 .30 ට. පොලිසියට ගහන්න යන්න ලොරි තුන එන්න තව වෙලාව තියෙනව. යන්න ඕන මගේ සගයො හම්බවෙන්න. ජයතිලක හෝල් එකේ සගයෙකුග කාමරේ කීප දෙනෙක්ම එකතු වෙලා. එකෙක් කොට්ටෙ මූන ඔබාගෙන අඬනව අනෙක් උන්ගෙ මූනු බලන්න බෑ. එම්බාම් කරල වගේ.

” ඔහොම විප්ලව කරන්න බෑ. තව පැය කීපයයි තියෙන්නෙ.”

” මට බෑ අබේ. මට ගෙදර මතක් උනා.

” තව එකෙකුට හත් අට සැරයක්ම බඩ ගිහින් .

මං මොනව කියන්නද . මගේ ඔලුව හුලඟට අහුවෙච්ච පිදුරු ගහක් වගේ.

” කමක් නෑ. බැරි කෙනෙක් නවතින්න” .

image 66978b2ca4
” මං බෝඩිමට ගියා. තව භටයො කීප දෙනෙක් ඇවිත් උන්න. අල්ලපු බෝඩිමේ උන්නු ජයවික්‍රමය හා නිශ්ශංකය ආව . ජයවික්‍රමය මාව බදාගෙන අඬනව. මං දකින අන්තිම මොහොත තමයි කියල ඌට හිතෙන්න ඇති. මධ්‍යම රාත්‍රි 12 ත් පහුවෙලා . තවම ලොරි නෑ. ( අනේද කියන්නෙ ඒ ලොරි තුන අදවෙනකම් ආවෙත් නෑ)

අද මේ කතාව කියන්න මාව ආරක්ෂා කල දෙවියන් වහන්සේට ස්තුති වේවා ! ආමෙන් !

( තවත් කියන්නනං එලෝකෝටියක දේවල් තියෙනව. හෙමි හෙමින් පස්සෙ කියන්නං . )

උඹලගෙන් මුලින් අහපු ප්‍රශ්ණෙ දැන් ආයෙත් ………… ” එදා අප්‍රේල් 5 වෙනිදා බැරිවෙලාවත් මාකස් අබේ සෙට්ටපොච්චි උනානං ” අප්‍රේල් විරු ස්මාරකය ඉදිරියෙ මං වෙනුවෙනුත් ඉටි පන්දමක් දල්වා විප්ලවීය ආචාරය පුදකරනවද? එහෙම ආචාරය පුදකරන්නෙ වීරයෙක් විදියටද, එහෙමත් නැතිනං අනේ මූ වගේ හද්ද පට්ට මුග්ධ වීරයෙක් ? …කියපල්ල .

light candels church black background 104337 256

ඉදිරියේදී තවත් නොපල ඇත්ත කතා – රාත්තලේ මුසාවාද නෙවි – බලාපොරොත්තු වෙන්න .

විශේෂ දැනුම් දීමයි. මේ වෙනකොට මගේ අම්ම ජීවතුන් අතර නෑ . ඒත් කාරි නෑ . කියන්න තියෙන දෙයක් කියපල්ල_මාකස් අබේ.

( සටහන | එස්. අබේසිංහ)

උපුටා ගැනීම - lankapowernews

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

71 අප්‍රේල් විරුවකුගේ අමුතු කථාවක්..! | S. Abeysinghe | The Leader