The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

71 දී රෝහණ විජේවීරගේ කට උත්තරය..! | Udeni Saman Kumara

T

The Leader Desk

April 10, 2025 • 6:29 AM

71 දී රෝහණ විජේවීරගේ කට උත්තරය..! | Udeni Saman Kumara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාර්තු මාසයේ පොලිසිය විසින් අත්අඩංගුවටගත් රෝහණ විජේවීර විශේෂ රැඳවුම් නියෝග යටතේ යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියේය.
  • ජුනි මස 6 වන දා කොළඹ සිට යාපනය බන්ධනාගාරය වෙත ගිය රහස් පොලිසියේ නිලධාරීහු රෝහණ විජේවීරගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.
  • එහිදී පොලිසිය අසන ලද ප්‍රශ්න සහ විජේවීර සහෝදරයා විසින් දෙන ලද පිළිතුරු ඇතුලත් දුර්ලභ ලේඛනයකින් උපුටා ගත් කොටසක් මෙසේය.
  • ලංකාවේ තියෙන්නේ අර්ධ යටත් විජිත අර්ධ රදල සමාජයක් බවයි චීන පිල කියමින් හිටියේ.
අකුරු ප්‍රමාණය (Font Size):


1971 මාර්තු මාසයේ පොලිසිය විසින් අත්අඩංගුවටගත් රෝහණ විජේවීර  විශේෂ රැඳවුම් නියෝග යටතේ  යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියේය. 1971 ජුනි මස 6 වන දා කොළඹ සිට යාපනය  බන්ධනාගාරය වෙත ගිය රහස් පොලිසියේ නිලධාරීහු රෝහණ විජේවීරගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. එහිදී පොලිසිය අසන ලද ප්‍රශ්න සහ විජේවීර සහෝදරයා විසින් දෙන ලද පිළිතුරු ඇතුලත් දුර්ලභ ලේඛනයකින් උපුටා ගත් කොටසක් මෙසේය.


wijeweera
රහස් පොලිසිය :
විජේවීර ඇයි අලුතෙන් දේශපාලන පක්ෂයක් හදන්න තීරණය කළේ.


රෝහණ විජේවීර. :

චීන පිලත් එක්ක අපට තිබුණු එක් ප්‍රශ්නයක් තමයි ජනතාවට තේරෙන භාෂාවෙන් මාක්ස්වාදය ඉදිරිපත් කරන්නෙ නෑ කියන එක. ඊළඟට ගොවි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව වැරදි ආකල්ප දැරීම, ඉන්දියානු වතුකම්කරුවන් පිළිබඳ ප්‍රශ්නයේදී ඒගොල්ලෝ වැරදි ස්ථාවර ගැනීම, ඊළඟට කම්කරු පන්තිය පිළිබඳව ට්‍රේඩ්යූනියන් පොලිටික්ස් වගේ කාරණා.

රහස් පොලිසිය :

දේශපාලන පන්ති පටන් ගත්තෙ හැට හතේ දී ද?

විජේවීර :
මෙහෙමයි මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් හදන්න නම් මාක්ස් ලෙනින්වාදීන් ඉන්න ඕනෑ. එහෙනම් ඉස්සරලාම මාක්ස්වාදීන් හදන්න ඕනෑ. ධනේශ්වර ප්‍රතිසංස්කරණවාදී මතවලට විරුද්ධව මාක්ස්වාදී මතය තහවුරු කරන්න ඕනෑ. ඒ කියන්නේ අයිඩියලොජිකල් ස්ට්‍රගල් එකක් කරන්න ඕනෑ. නැත්නම් අපිටත් තිබුණා ෂන්ගෙන් එළියට ඇවිල්ලා තරුණ සමිති හදන්න. පක්ෂ කණ්ඩායමක් හදන්න. හැබැයි හදන මිනිහා මාක්ස්වාදය දන්නේ නෑ.  දේශපාලන පක්ෂයක් කියන්නේ මොකක්ද කියලා අඳුනන්නේ නෑ. මාක්ස්වාදය පිළිබඳ අවබෝධයක් දුන්නහම තමයි මාක්ස් පැහැදිලි කරපු විදිහට මැටීරියල් ෆෝස් එකක් වෙන්නේ.

Fort Hammenhiel
රහස් පොලිසිය
විජේවීර කියන්නේ ඔය සංවිධානය. පක්ෂයක් නෙමෙයිද. ?


විජේවීර :
ඒකාලේ පක්ෂයක් තිබුණේ නෑ. කණ්ඩායමක් හැටියට වැඩකළේ. අදහස් ව්‍යාප්ත කරන කණ්ඩායමක්. අපි අතරේ හුඟක් තර්ක තිබුණා. අපි ජාත්‍යන්තර කරුණු අධ්‍යයනය කළා. දෙවැනි ලෝක යුද්ධයෙදි පැසිස්ට්වාදීන් ඇල්බේනියාවට පහර දෙනකොට ඇල්බේනියාවේ කොමියුනිස්ට්  පක්ෂයක් තිබුණේ නෑ. හරියට අපේ රටේ වගේ. අන්වර් හෝජා ප්‍රංශයේ ඉඳන් ඇල්බේනියාවට ඇවිත් හිටියා ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් හැටියට.  එයා කුඩා මාක්ස්වාදී කණ්ඩායමක් ගොඩනගලා තිබුණා.  පැසිස්ට්වාදින් රට ආක්‍රමණය කළාම කොමියුනිස්ට්  පක්ෂ නායකයෝ එංගලන්තයට පැනලා ගියා.  රට අතරමං වුණා. අන්වර් හෝජා අර කුඩා කණ්ඩායම එකතුු කරලා මාක්ස්වාදී පක්ෂයක් හදලා , ජනතාව සංවිධානය කරලා, පැසිස්ට්වාදයට විරුද්ධ සටනට නායකත්වය දුන්නා. ඔහු ඇල්බේනියානු කොමියුනිස්ට් පක්ෂය නොහැදුවා නම් ඇල්බේනියාව නිදහස් රාජ්‍යයක් වන්නේ නෑ.

 

b4c75f8f451284487d73e45f5332අන්වර් හෝජා
රහස් පොලිසිය :
අපට දැනගන්න අවශ්‍ය තමුන් පක්ෂය හැදුවේ කවද්ද කියලා.?

විජේවීර :

අපි දිගින් දිගටම වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කළා. යූ ඇන් පී ආණ්ඩුව තිබුණු අවුරුදු පහේ දේශපාලනය ගැන, වගේම වාමාංශික ව්‍යාපාරයේ වැරදි ගැනත් කතා කළා. වෘත්තීය සමිති දේශපාලනය ගැන කතා කළා. ඊළඟට නිදහස පිළිබඳ අපි දරණ මතය මොකක්ද කියන ප්‍රශ්නය ආවා. ලංකාවේ තියෙන්නේ අර්ධ යටත් විජිත අර්ධ රදල සමාජයක් බවයි චීන පිල කියමින්  හිටියේ. ලංකාවේ පවතින්නේ යටත් විජිත සමාජයක්ද කියන එක පිළිබඳව අපි දිගට කතා කළා. අපට නිදහසක් තියෙනවද, තවමත් තියෙන්නේ රැජිනගේ ආණ්ඩුවක්, ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තාම, නීති පද්ධතිය ගත්තාම, යටත් විජිත ඒ කියන්නේ ප්ලාන්ටේෂන් එකොනොමිකල්, කොලෝනියල් එකොනොමිකල් , අධ්‍යාපන ක්‍රමය යටත් විජිත,  නිදහසක් නෑ. නිදහස කියන්නේ යටත් විජිත උපක්‍රමයක් බව අපි තීරණය  කළා. ඉන්දියානු වතුකම් කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කළා. බ්‍රිතාන්‍ය ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම්වලට අමතරව. තවත් ජාත්‍යන්තර බලපෑම්වලට අපට මුහුණ දෙන්න සිදුව තිබුණා.

Screenshot 2023 12 08 at 11.26.10
රහස් පොලිසිය :
බලය අල්ලන්න වැඩපිළිවෙලක් ගැන කතා කළාද?

විජේවීර :
අපි පැහැදිලි අදහසක හිටියා.  විප්ලවය ගතයුතු මාර්ගය තීරණය කරන්නේ මාක්ස්වාදීන් නොවෙයි පාලක පන්තියයි. ලෙනින් ඉස්සර වෙලාම ඩූමා එකට, පාර්ලිමේන්තුවට තරග කරලා ඡන්ද දිනා ගත්තා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම ගත්තා. ඊට පස්සේ සාර් ආණ්ඩුවේ මර්දනීය ක්‍රියාකාරීත්වය උඩ ලෙනින්ට සිද්ධ වුණා සන්නද්ධ අරගලයකට යන්න. ඒ වගේ ලෝකයේ විවිධ කොමියුනිස්ට්  පක්ෂ විවිධ මාවත් අරන් තියෙනවා. චීනයේ අපේ රටේ වගේ පාර්ලිමේන්තුවක් තිබුණේ නෑ බ්‍රිතාන්‍ය, ප්‍රංශ අධිරාජ්‍යවාදීන් යුද්ධ කරලා රටේ කෑලි බෙදාගෙන අල්ලගෙන තිබුණා. ඒ තත්ත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂයට කරන්න සිදුවෙලා තිබුණේ චීන ජනතාව අධිරාජ්‍යවාදීන්ගේ මුදාගැනීම සඳහා සටන් කිරීම පමණයි.

ඉන්දුනීසියාවේ අයිඩිත් සුකර්නෝ එක්ක එකතු වෙලා සාමකාමී මාවතේ ඉදිරියට ගියා. ඒගොල්ලෝ මැතිවරණ ජයග්‍රහණ ගැන තමයි විශ්වාසය තැබුවේ. අන්තිමට යුද හමුදා කුමන්ත්‍රණයකින් සුහර්තෝ  බලය අල්ල ගත්තා.  අපි දැක්කා අවුරුදු සීයක් ඇතුලත යුද්ධ හමුදා කුමන්ත්‍රණ 537 ක්. ඒ හැම එකක්ම ඇමරිකන් මග පෙන්වීම යටතේ සිදුවී තිබුණා. ලතින් අමෙරිකාවේ රටවල් 22ක හමුදාව කුමන්ත්‍රණ මගින් හමුදා ආණ්ඩු පිහිටවලා.

 

suharto sukarno 8ffa1287910a11d40006aaef37846da7eeb9bd1fසුකර්නෝ - සුහර්තෝ  රහස් පොලිසිය :
කීයක් ?


විජේවීර :
537ක්. ලතින් ඇමරිකාවේ කයිසි වල යුද්ධ හමුදා ආණ්ඩුවක්, ඩොමිනිකන් වල යුද්ධ ආණ්ඩුවක්, ගෝතමාලාවේ යුද්ධ ඒකාධිපති ආණ්ඩුවක්, කොලොම්බියාවේ  යුද්ධ ඒකාධිපති ආණ්ඩුවක්. නිකරගුවාවේ මිලිටරි ආණ්ඩුවක්. ඒ රටවල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. අලෙම්බිච්චි වල දැන් මාක්ස්වාදියෙක් ජනාධිපතිවෙලා ඉන්නේ එයාට විරුද්ධවත් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

රහස් පොලිසිය :
අප්‍රිකාවේ තත්ත්වය මොකක්ද. ?


විජේවීර :

මාලි වල මොබියෝටා මිලිටරි ආණ්ඩුවක් ගැහුවා. නයිජීරියාවේ මිලිටරි ආණ්ඩුවක්, බුරුන්ඩිවලත් එහෙමයි. රුවන්ඩාවලත් එහෙමයි. කැමරුන්වලත් එහෙමයි. ගිනියා වල, ෆෝචුගීස් ගායනාවල, යුද හමුදා ආණ්ඩු. ඊළඟට අපි ජීවත්වන ආසියාව ගන්න මලයාසියාවේ තුන්කු අබ්දුල් රාමාන්ගේ නායකත්වයෙන්  ඒකාධිපති ආණ්ඩුවක් ඉංදුනීසියාවේ ජනරාල් සුහර්තෝගේ නායකත්වයෙන් මිලිටරි ඩික්ටේටර් ශිප් එකක්. කාම්බෝජයේ ජනරාල් ලොන්නොල්ගේ නායකත්වයෙන් මිලිටරි ආණ්ඩුවක්. දකුණු වියට්නාමයේ කාඕකී ගේ මිලටරිආණ්ඩුව. සවුත් කොරියාවේ කාබුදුල්හිල් ජනරාල්ගේ යුද හමුදා ආණ්ඩුව. කොටින්ම දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හැටියට ඉතුරු වෙලා තියෙන්නේ ලංකාවයි, ඉන්දියාවයි, ජපානයයි විතරයි. ලංකාවෙත් හමුදා අණ්ඩුවක් ගහන්න හැට දෙක ,හැට හය අවුරුදුවලදී  උත්සාහයන් තිබුණා. අපි පක්ෂය හදනවානම් හැදිය යුත්තේ ඒ ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන්න බව අපි තේරුම් ගෙන හිටියා.

rohana wijeweera 2
රහස් පොලිසිය
විජෙවීර කල්පනා කළාද කවද හරි මර්දනය ඇවිත් විජේවීරව අත්අඩංගුවට ගනියි කියලා. ?


විජේවීර :
මම මෙහෙමයි කල්පනා කරන්නේ විප්ලවවාදියෙකු වශයෙන් මාක්ස්වාදියකු වශයෙන් මම බලාපොරොත්තු වුණා, ඒ කියන්නේ මුළු පක්ෂ සාමාජිකයෝ සියලු දෙනාම දන්න දෙයක්. අපි හැම දෙනාම පන්ති අවබෝධය තියෙන මිනිස්සු. කවුරුත් මෝඩයෝ නෙවෙයි. බලෙන් තුවක්කුව එල්ල කරලා පක්ෂයට ගත්තත් නොවෙයි. 70 අප්‍රියෙල් වල ඉඳලම අපේ සහෝදරවරු අත්අඩංගුවට ගත්තා. කවුරුත් ඒකට පුදුම වුණේ නෑ කවුරුත් ඒකට බය වුණු බවක් පෙන්නුවෙත් නෑ.  ධනේශ්වර සමාජයක විප්ලවවාදියෙක්, මාක්ස් ලෙනින් වාදියෙක් කියන්නේ ඉතාමත් අන්තරාය දායක රක්ෂාවක් කියලා අපි හැමෝම දැනගෙන හිටියා. ඩේන්ජරස් ජොබ් එකක් තමයි අපි කරන්නේ.

රහස් පොලිසිය :
තමා අත්අඩංගුවට ගත්තොත් මේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න වෙන කවුරුහරි ලෑස්ති කරලා හිටියද. ?

image 1510239177 c3db5795dcවිජේවීර :
නැහැ. ආවට ගියාට එහෙම කෙනෙක් පත් කරන්න බැහැ. ඊළඟට පවතින තත්ත්වය උඩයි අපි වැඩ කළේ. ඒ කියන්නේ ඉතුරු වෙන අයගෙන් පක්ෂයේ හිදැස පුරවන්න ඕන. එක මිනිහද ඉතුරු වෙන්නේ එයා පක්ෂයක් හැටියට පක්ෂය ගොඩනැගීමේ වැඩ පටන් ගන්න ඕන. අපි කාගේත් මතය වුණේ ඒක. ප්‍රතිවිප්ලවය දියත් වුනාම ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවම මැරුවා. මැරුවට පස්සේ අනිත් පක්ෂ සාමාජිකයෝ දැනගන්න ඕනෑ ඊළඟට තෝර ගන්න ඕනේ කවුද කියලා.  කිසිම සාමාජිකයෙකුට පක්ෂය ඔප්පුවකින් ලියා දීලා නෑ.

රහස් පොලිසිය :
දේශපාලන පක්ෂයක් අවශ්‍යමද?


විජේවීර :
ධනේශ්වර පන්තිය දැනටමත් සංවිධානය වී සිටිනවා. ඊට සාපේක්ෂකව නිර්ධන පංතියට තමන්ගෙම වෙච්ච දේශපාලන පක්ෂයක් අවශ්‍ය වෙනවා. විධිමත් පක්ෂයක මග පෙන්වීමෙන් තොරව රටත් ජනතාවත් මුහුණ දී සිටින කිසිදු ප්‍රශ්නයක් විසඳන්න බැහැ. මහත්තුරු කල්පනා කරලා බලනවා ද මේ ලෝකෙට ඉපදෙන දරුවෝ, කොල්ලො, කෙල්ලො අපි හැමදෙනාම සම අයිතිවාසිකම් ඇතිව හෙළුවෙන් ලෝකෙට උපදින්නේ. රටේ සංවර්ධනයට ශ්‍රමදායකත්වය නොදෙන කොටස හොඳ සැපවත් ජීවිත ගත කරනවා. ශ්‍රමය වගුරන කම්කරු පන්තිය දුක්ඛිත ජීවන තත්ත්වයක් ගත කරනවා. සමාජවාදී ආණ්ඩුවක් යටතේ ඒව කරන්න බෑ.  

dharman02101602
දරුවන්ගේ අධ්‍යාපනය, වෛද්‍ය  පහසුකම්, අනිවාර්යයෙන් දෙන්න ඕන. ඒ කියන්නේ නොමිලේ අයකිරීමක් නෑ. ඒ සඳහා ආදායමෙන් කොටසක් වෙන් කරන්න අවශ්‍යයි. අවශ්‍යතා සහිත පුරවැසියන්ගේ නඩත්තුවට, රටේ අනෙකුත් පරිපාලන වැඩ වලට රටේ ආරක්ෂාවට අවශ්‍ය වියදම් රජය මඟින් අයකරගෙන පොදුවේ බෙදෙන්න ඕන. අත කොච්චර ලොකු ද, හැන්ද එච්චරට ලොකුයි කියන ප්‍රතිපත්තියෙ නෙමෙයි,  

රහස් පොලිසිය :
හිතනවද ලංකාව වගේ රටකට රටේ ආරක්ෂාව සඳහා දැන් තියෙන යුද ගුවන් නාවික හමුදාවලට දෙන පුහුණුව ප්‍රමාණවත් කියලා?.


විජේවීර :

මම ස්ථිරවම කියනවා කිසිම බලසම්පන්න ජාතියකට තවත් ජාතියක් යටකර ගන්න බැහැ. ඉතිහාසයේ කවදාවත් ඒක කරන්න බැහැ. ඇයි බැරි, මුළු ජාතියක් නැගී සිටිනවා නම් ඒක වළක්වන්න කාටවත් බෑ. ආයුධ නොවේ මෙතන තියන සාධකය. පරමාණු බෝම්බය හදන්නෙත් මිනිස්සු. නැගී සිටි ජාතියම විනාශ කරලා අල්ලනවනම් අල්ලන්න වෙන්නේ රටක් නෙවෙයි කාන්තාරයක් .

රහස් පොලිසිය :
දැන් විජේවීර පන්ති කළා, කඳවුරු කළා, කවදහරි ඔය පන්ති වල, කඳවුරුවල, කිව්වා ද අපි මේ විප්ලවය කරන අවස්ථාවේදි පිටරටකින් සහයෝගය ගන්නවා කියලා?

bopage 231
විජේවීර :
අපි එහෙම බලාපොරොත්තුවක හිටියේ නෑ. මම දැනුවත්ව නම් අපේ කිසිම කෙනෙක් කිසිම වෙලාවක ජාත්‍යන්තර ආධාර ගැන කතා කරලා තිබුණේ නෑ. අපේ පත්තරේ “ස්වශක්තිය ගැන විශ්වාසය තබමු”  කියලා රතු පාට ලොකු අකුරෙන් ගහලා තිබුණා. මම නිකම් තර්කයක් දමන්නම්. විප්ලවයට ජාත්‍යන්තර ආධාර බලාපොරොත්තු වෙන්න පුළුවන් කොහෙන්ද. ඇමරිකාවෙන්, එංගලන්තෙන්, බටහිර ජර්මනියෙන්, වෙනත් ව්‍යාපාරික රටවලින්, ඒක වෙන්නේ නෑනේ. පිළිගන්වා නේද. ඊළඟට සමාජවාදී රටවල් වලින්, රුසියාව ගත්තහම අපි රුසියාව පට්ට ගැහුවානේ.රුසියාව නැවත ධනවාදය කරා යනවා කියලා. අපේ වචන වචනවලින්ම කියනවනම් රුසියාව  ප්‍රතිගාමී ලෙස නැවත ධනවාදය කරා පරිවර්තනය වෙනවා කියලා. ඒ කියන්නේ peaceful involution. ඒ කියන්නේ සාමකාමීව ආපසු ධනවාදය කරා යනවා.

මේකනේ වුණේ අපි ඔය පියට් මෝටර් කර්මාන්තශාලාව ට්රිනිඩෑඩ්වල ගෙනිහින් හයි කරපු එක ගැන කතා කළා. ඒ කියන්නේ ධනපති කොම්පැනි කාරයින් රුසියාවට ආවා. ධනපති කොම්පැනි ලාභ ලැබෙන්නේ නැත්නම් කවදාවත් රුසියාවට ආධාර කරන්න එන්නේ නෑ. ඒ කියන්නේ ඉතාලි කොම්පැනි කාරයින්ට  ඉතාලි කම්කරුවන් පමණක් නොවෙයි රුසියානු කම්කරුවනුත් සූරාකන මාර්ගය පාදලා දුන්නා. ඒ කියන්නේ foreign monopoly capital රටට ඇතුළු වෙන්න ඉඩ දුන්නා.

මම අත්දැකපු ඒ වගේ දර්ශන ඕනෑ තරම් මට ඉදිරිපත් කරන්න පුළුවන්. දේශපාලන පන්ති වලදී අපි ඒවා ඉදිරිපත් කළා. මම බය නැතුව කියනවා සෝවියට් දේශය ධනවාදය කරා ආපසු යනවා. යනවා විතරක් නොවේ සමාජ අධිරාජ්‍ය වාදය බවට පරිවර්තනය වෙනවා. socialists imperialism සමාජ අධිරාජ්‍ය යක්.

රහස් පොලිසිය
ආයුධ සන්නද්ධව යුද්ධ කරලා නිදහස දිනාගන්න පුළුවන්ද. ?

 පින්තූරය pinimg.com e1498973867737
විජේවීර :
කුඩාපොල හාමුදුරුවෝ 1848 දී යටත්විජිත ආණ්ඩුවට විරුද්ධව සටන් කරලා වෙඩි කෑවා. අද අපේ සහෝදරවරු වෙඩි කනවා. එකක් මතක තියාගන්න කැප්පිටිපොලලා, මඩුගල්ලේලා, පුරන් අප්පුලා, ගොන්ගාලේගොඩ බණ්ඩලාගේ පැත්තේ අද අපි ඉන්නවා. එමර්සන් ටෙනන්ට්, මේජර් මැක්ඩොනල්ඩ්, ලෙප්ටිනන්ට් කර්නල් කෙලී, ඊළඟට රොබට් බ්‍රාවුන්රිග්, වයිකවුන්ට් ටොරින්ටන් ලාගේ පැත්තේ මහත්තුරු ඉන්නවා. එදා කැප්පිටිපොලලාට පුළුවන් උනා නම් යටත්විජිත ආණ්ඩුව පලවා හරින්න මේ තත්ත්වය ඇති වෙන්නේ නෑ. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා 1818 ට අවුරුදු 150 කට පස්සේ නිදහස වෙනුවෙන් අපේ ජීවිත දෙන්න.

වැඩවසම් යුගයේ අපේ රට පාලනය කරේ රජවරු, නමුත් රුසියාවේ වගේ කෘර පාලනයක් ගෙනියන්නට ඔවුන්ට හැකියාවක් තිබුණේ නෑ. පොදුවේ පිළිගත් සාම්ප්‍රදායික  නීති පද්ධතියක් තිබුණා. එයින් පිට රජු රට පාලනය කරනවා නම් ඊට විරුද්ධව කැරළි ගසන්නට ජනතාවට අයිතියක් ඇති බවට පිළිගත් සිද්ධාන්තයක් තිබුණා.

මම නෙවෙයි කියන්නේ රැල්ෆ් තෙන්නකෝන්. ප්‍රජාවගේ ගැටළු විසඳන්නට පාලකයා අසමත් නම්, පීඩාකාරී නම් පාලකයාට විරුද්ධව කැරලි ගසන්නට රටේ ජනතාවට ශුද්ධ වූ අයිතියක් තිබුණා. මහා පරාක්‍රමබාහු රජුට විරුද්ධවත් පොඩි මිනිස්සු  කැරලි ගැහුව

ඔහෙල මට කිව්වා කෑගල්ලේ අපේ සහෝදරවරු සටන් කලා කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ කෘර පාලනයක් ගෙන යනවාට විරුද්ධවත් හතර කෝරලේ මිනිස්සු සටන් කරා. කෑගල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට එවැනි ඓතිහාසික තත්වයක්  තියෙනවා. පාලකයෝ ප්‍රජාවගේ සුබසිද්ධිය සඳහා ක්‍රියා නොකරන්නේ නම් ප්‍රජාවට අයිතියක් තියෙනවා ඊට විරුද්ධව නැගී සිටින්න. මම කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නීතිය ගැන නොවෙයි. අපේ රටේ පැවතිච්ච නීතිය ගැන.


right….. right …….?
Screenshot 2023 12 08 at 11.33.44

නීතිය මොකක් වුනත් මට කමක් නෑ. මම එකක් දන්නවා. නීතියයි යුක්ති යයි දෙකක්. මෙතන මම ඒක භාවිතාව තුළින් තේරුම් අරන් තියෙනවා  ඔහෙලා නීතිය පැත්තෙ. අපි යුක්තිය පැත්තේ. අපිට නීතියේ පිළිසරණ එපා. මොකද යුක්තිය යුක්ති යයි නීතියයි එකට යාවෙන්නේ නෑ . යුක්තිය එකක්. නීතිය එකක් . ඒ කියන්නේ යුක්තියට විරුද්ධව නීතිය යනවා. අපි යුක්තිය පැත්තෙ. නීතියට විරුද්ධ වෙලා තියෙනවා justice කියන්නේ එකක් law කියන්නේ එකක්.

අපි වීරයෝ නෙමෙයි. අපිට වීරත්වයක් හිමිවන්නේ නෑ. මොකද අපි මේ අසාධාරණ සමාජක්‍රමය වෙනස් කළේ නෑ. ඒ නිසා අනාගත පරපුර අපිට ස්තූතිවන්ත වන්නේ නෑ. මොකද අපි ඒ මිනිස්සුන්ට රටේ ප්‍රශ්න  එහෙමම ඉතුරු කරලායි එල්ලුම්ගස් යන්නේ. ඊළඟ පරම්පරාවේ උපදින දරුවන්ටත් එල්ලුම්ගස් යන්න පදනම එහෙමම ඉතුරු වෙලා.  අද අපිව එල්ලුම්ගස් යවනවා වගේ හෙට ඒ  අයත් චෝදනා දාලා එල්ලුම් ගස් යවාවි.  ඒ සඳහා පදනම අපි ඉතුරු කර යන නිසා අපිට වීරයෝ වෙන්න අයිතියක් නෑ . තේරුණාද ? කොටින්ම කියනවා නම් අපිට මේ රටේ වැලලෙන්න අයිතියක් නෑ. මම මේ දවස් වල කල්පනා කෙරුවේ මේ ආණ්ඩුව මාව එල්ලුම්ගස් ඇරියට පස්සේ මට මේ මහ පොළොවේ වැළලෙන්න අයිතියක් නෑ. මොකද මේ මහ පොළොව තවමත් තියෙන්නෙ තිබුණ තත්වයේමයි. ඒ නිසා මගේ මළකඳ මුහුදට දමනවා නම් තමයි වඩා හොඳ. තේරුණාද ?

 

 117745413 mediaitem117745324
මේ රටේ අපේ පරම්පරාවේ අවංක මිනිස්සු තමයි ඔය වෙඩි කාලා මැරුණේ. 1948 මේ රටේ මිනිස්සු  හිතුවා සුද්ද ගියාම ප්‍රශ්න ඉවරයි පාලකයෝ මේ රට හදයි කියලා. අවුරුදු ගාණක් ගියා වෙච්ච දෙයක් නෑ. ප්‍රශ්නේතිබුණාටත් වඩා නරක තත්වයකට වැටිලා. දැන් අපට සිද්ධ වුණා මේ ක්‍රමයට විරුද්ධව නැගිටින්න. අපිව විනාශ කරලා ඔහෙලා හිතනවද මේ ක්‍රමය දිගටම පවත්වාගෙන යන්න. ඒක නම් කීයටවත් වෙන්නේ නෑ මහත්තයෝ.  සමහර විට මේ මහත්තුරුන්ගෙ පුත්තු නැත්නම් මුණුපුරෝ ආයෙත් ආයුධ අතට ගනීවි. අපේ සහෝදරවරු මරා දමා, සිරගත කර, මාව එල්ලුම්ගස් ඇරලා ඒක වළක්වන්න බෑ.

මම මට හිතෙන දේ අවංකව කියන්නේ. මේ දූෂිත සමාජ ක්‍රමය ඒ අයුරින්ම ඉතිරි කරලයි අපට යන්න වෙලා තියෙන්නේ. තේරුණාද? අපිව මරලා වල දමනවා නම්. මේ පොළවේ ඒක කරන්න එපා මුහුදට දානවා නම් අපි හුඟක් සතුටුයි . අපි කළේ මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරපු එක විතරයි . දේශපාලනය කරපු එක විතරයි . අපි අවංක දේශපාලනයක් කරා ඒක ඇත්ත.  අපි මැරුණට තවත් අවුරුදු ගානකට පස්සේ හරි ධනේශ්වර ක්‍රමයට විරුද්ධව මේ රටේ මිනිස්සු නැගිටීවි.

Screenshot 20241224 135736 Facebook(සටහන |උදේනි සමන් කුමාර)

උපුටා ගැනීම : lankapowernews


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...