යහපත් මිනිසුන් ඉතා ඉක්මනින් දෙවියන් තමන් වෙත ගෙන්වා ගන්නා බවට විශ්වාසයක් තිබේ.
එය සත්‍යයක්නම් එක් අතකින් එය බලවත් අසාධාරණයකි. මෙලොව සිටින යහපත් මිනිසුන් දෙවියන් ඉතා ඉක්මනින් තමන් වෙත ගෙන්වා ගත්විට මෙලොව ඉතිරි වන්නෙ කවුද?.
 
මේ ප්‍රශ්නාර්ථය මගේ හදවතේ වසර කිහිපයක සිට කම්පනය වෙමින් රිදුම් දෙමින් තිබේ. ඒ මීට තෙවසරකට පෙර චාමර ලක්ෂාන් නැමති දුර්ලභ මාධ්‍යවේදීයාගේ, අසමසම සහෝදරයාගේ අකල් වියෝව හේතුවෙනි.
 
චාමර ලක්ෂාන් කුමාර යනු කවරෙක්ද යන්න පිලිබදව බොහෝ දෙනා දනී.
 
ඉතාම කුඩා වයසකදී සිය අසාමාන්‍ය කුසලතාවයන් තුළින් මාධ්‍ය ක්ශේත්‍රය දික් විජය කළ මාධ්‍යවේදියෙකු ලෙස චාමර ලක්ෂාන් මගේ හදවතේ ගැඹුරෙහි තැන්පත්ව සිටී.
 
 
 
 
WhatsApp Image 2021 06 29 at 10.00.24 PM 1
 
 
අසාමාන්‍ය මාධ්‍යවේදියෙක්:
 
 
මීට වසර කිහිපයකට පෙරාතුව රිවිර ආරම්භ කළ මුල් වකවානුවේ මාගේ එක්තරා හිත මිතුරෙකු විසින් චාමර ලක්ෂාන් මට හඳුන්වා දුන්නේ "සම්මුඛ සාකච්ඡා වලට අසාමාන්‍ය මාධ්‍යවේදියෙක්" කියන චරිත සහතිකය චාමර වෙත ලබා දෙමිනි.
 
සම්මුඛ පරීක්ෂණයට පැමිණි  දිනයේ දීම ඔහු තුල පැවති දැනුම පෞරුෂය සහ නිර්භීත ගති ලක්ෂණ පිළිබඳව මට අවබෝධයක් ලැබුණි.
 
එකල රිවිර පුවත්පත ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ තෝතැන්නක් වූ අතර ඔවුන් සියලු දෙනාගේම ආදරයට ගෞරවයට සහ ප්‍රශංසාවට ලක්වීමට තරම් චාමර ලක්ෂාන් දක්ෂයෙකු විය.
 
උපාලි තෙන්නකෝන්, ලලිත් අලහකෝන්, සිසිර පරණතන්ත්‍රි, නිස්තා කාසීම්, කීත් නොයාර්, මාලින්ද සෙනෙවිරත්න, චාමින්ද වාරියගොඩ, ධරීෂා බැස්ටියන් වැනි මාධ්‍ය ක්ෂේත්‍රයේ සද්දන්තයන්ගෙන් එකල රිවිර සන්නද්ධ වී සිටියහ.
 
චාමර ලක්ෂාන් ද ඒ කණ්ඩායමට එක් විය.
 
ඔහු අපූර්ව හැදෑරීමක් සහිත මාධ්‍යවේදියෙක් විය.
 
දේශපාලන විචාරකයෙකු, ක්‍රීඩා ලේඛකයෙකු, සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නෙකු වැනි බොහෝ ක්ෂේත්‍රවල සිය දක්ෂතා පෙන්වූ හෙතෙම තමා කළ සංවාද ඇතුළත් කෘතියක් 'සංලාප' නමින් පළ කළේය. එය මාධ්‍ය හදාරන්නන්ගේ 'අත්පොතක්' බදු කෘතියකි.
 
ලබාදෙන ඕනෑම අභියෝගයක් වගකීම් සහගතව භාර ගැනීමත් එය නොපිරිහෙලා ඉටු කිරීමත් චාමර ලක්ෂාන් තුළ පැවති සුවිශේෂී ගති ලක්ෂණය කි. මට වඩා වයසින් අඩු වුවද කාලයත් සමග චාමර ලක්ෂාන් මගේ අතිශය සමීප මිතුරෙක් බවට පත්විණි.
 
පසු කලෙක රිවිර ආයතනයෙන්  අප සමූහයක් ලෙස  ඉවත් වූ අතර චාමර ලක්ෂාන් ද ඒ අතර විය.WhatsApp Image 2021 06 29 at 10.00.21 PM
 
 
 
 
ලක්බිමෙන් මාධ්‍ය ජීවිතය ඇරඹූ චාමර රිවිරෙන් පන්නරය ලබා ඉරුදිනටත් ලේක් හවුස් ආයතනයටත් පැමිණියේය.
 
පසු කලෙක මම ලේක්හවුස් ආයතනයට එක්වන විට චාමර ලක්ෂාන් දිනමිණ පුවත්පතේ කටයුතු කරමින් සිටියේය.
 
එකම ආයතනය තුළ අප කටයුතු කිරීමත් සමගම චාමර ලක්ෂාන් දිනෙන් දින අප සමඟ වඩාත් සමීපව සහ අතිශය සුහදශීලී ලෙස කටයුතු කිරීමට පටන් ගත්තේය.
 
චාමර ලක්ෂාන් යනු මගේ ජීවිතේ මට හමුවූ අදහාගන්න බැරිතරම් දක්ෂතා තිබුණ විශිෂ්ඨතම මාධ්‍යවේදියෙකු බව මා අවිවාදයෙන් විශ්වාස කරමි.
 
ඊටත් වඩා සහෝදරත්වයෙන් පිරුණු, හදවතට සමීපම මිත්‍රයා බව මා විශ්වාස කරමි. 
 
ඔහු පෙන් වූ අසීමිත දක්ෂතා අප විමතියට පත් කරන්නට සමත් වූ බව සහතික ය.
 
ඔහු තුල මා කෙරෙහි පැවතියේ අතිශය ලෙන්ගතු හැඟීමකි. එය මනුෂ්‍යත්වයේ සහ මිත්‍රත්වයේ නාමයෙන් පෝෂණය වී තිබුණේය. 
 
එය, විශ්වාසනීයත්වයේ සහ එකිනෙකා අතර ගෞරවයේ බැම්මෙන් ශක්තිමත් වී තිබුණේය. 
 
ඔහු නිර්භීත ව පෑන හැසිරවූ මාධ්‍යවේදින් අතලොස්සෙන් අයෙක් විය. 
 
පොත පත කියවීම කෙරෙහි දැඩි ආශාවක් දැක්වූ චාමර සිය මාධ්‍ය භාවිතාව උදෙසා එම දැනුම ඉවහල් කර ගත්තේය.
 
ඔහු අත තැබූ හැම කාර්යයක්ම මනාකොට ඉටු කළේය.
 
විශේෂයෙන්ම ඔහු රැස පුවත්පතේ ආරම්භක කතෘවරයා ලෙස පුවත්පත් ලෝකයට අපූර්වත්වය  රැගෙන ආ පුවත්පතක් බිහි කිරීමට පුරෝගාමී විය.
 
ජාතිවාදයට ආගම්වාදයට මිත්‍යාවට එරෙහිව යමින් "ඇස පාදන රැසක්" ඔහු බිහි කළේය.
 
 
 
 
 
 
 
'සිළුමිණ'  ලාබාලතම කතෘවරයා
 
 
මාධ්‍ය ලෝකයේ සද්දන්ත කතුවරු රැසක් ප්‍රධාන කර්තෘ ධුරය ඉසිලූ 'සිළුමිණ' පුවත්පතේ ලාබාලතම කතෘවරයා වීමේ අසාමාන්‍ය කුසලතාවය මෙන්ම වාසනාවද චාමර ලක්ෂාන් සතුවිය.
 
ඉතා කෙටි කලක් තුළ ඔහු සිළුමිණ පුවත්පත පුවත්පත් ලෝකය තුළ ඉහළට රැගෙන එන්නට සමත් විය.
 
ඒ සියල්ල වෙනුවෙන් ඔහු පෞද්ගලිකව අප්‍රමාණව කැපවුණේය. එහෙත්,ඒ ජයග්‍රහණවල ප්‍රතිඵල ලැබුණේ සියලු දෙනාටම ය.
 
ඔහුගේ ගමනට ආශිර්වාද කරපු, ආශිර්වාද නොකරපු කාටත් චාමර එක වගේම සුහදශීලීව සිනාසුණේය.
 
ඔහුගේ ජීවිතයේ කිසිම දිනක ඔහු සිය මාධ්‍ය අවභාවිතා කළේ නැත. මාධ්‍ය ආචාර ධර්ම කෙරෙහි දැඩි ගෞරවයක් දැක්වූ ඔහු සිය මාධ්‍ය භාවිතාවේ දී ස්වයං වාරණය පමණක් පනවා ගත්තේය.
 
ඔහු ලියූ හැම අකුරක්ම ලීවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, යුක්තිය සාධාරණත්වය, සහජීවනය වෙනුවෙනි.
 
ඔහු තුළවූ තිබූ අභීත මාධ්‍ය භාවිතය බොහෝ දෙනෙකුට විශාල පාඩම් කියා දුනි.
 
 WhatsApp Image 2021 06 29 at 10.00.22 PM 1
 
 
 
 චාමර ලක්ෂාන් කුමාර සමුගත්තේ ද කිසිලෙසකින්වත් අදහාගත නොහැකි ලෙසය.
 
මධ්‍ය ජීවිතයේ කිසිදාක 'විශ්වාස කළ නොහැකි පුවත් පල නොකළ' චාමර, ස්වකීය නික්මයාම පමණක් 'විශ්වාස කළ නොහැකි' දෙයක් බවට පත් කළේය.
 
 ඔහු එක් දරු පියෙකි. නිවසින් බැහැර ගත කිරීම බෙහෙවින්ම අප්‍රිය කළ චාමර නිරන්තර වෑයම් කළේ කඩිනමින් නිවසට යන්නටය. ඒ තරමට ඔහු සිය පුතුට පෙම් බැන්දේය.
 
සිය දයාබර පුතු පිළිබඳව චාමරතුල වූයේ විශාල බලාපොරොත්තු ගොන්නකි.
 
චාමර රෝහල්ගතව ජීවිතය සහ මරණය අතර විශාල සටනක් කරමින් සිටින අතර මට ඔහු අසලට ගිය අවසන් මොහොත තවමත් මතක ය. 
 
එදින මගේ නිවසට පැමිණි මගෙ හිතාදර මිත්‍ර මහාචාර්ය අර්ජුන ද සිල්වා චාමරගේ තත්ත්වයේ බරපතලකම මට පහදා දුන්නේය. චාමරට මේ සටන දිනා ගන්නට අමාරු තැනක සිටින බව අර්ජුන මට ඒත්තු ගැන්වීය.
 
චාමර කෙරෙහි මගේ ඇති බැදීම හොදින්ම දන්නා අර්ජූන, චාමරව සිටින දැඩි සත්කාර ඒකකයට මා රැගෙන ගියේය. 
 
ඒ වනවිටත් චාමර සිටියේ සටනෙහි අන්තිම අඩියේ ය. චාමර වෙතින් දකින්නට ලැබුණේ දැඩි වෙහෙසකර යුද්ධයකට මුහුණ දී අවසානයේ එය අත් හැර දැමීමේ පෙනුමය.
 
ඕනෑම අභියෝගයක් දෙවරක් නොසිතා භාර ගෙන එය ජයගත් චාමර මෙවර අනපේක්ෂිතව පරාජය විය. එහෙත් ඒ පරාජය ඔහුට වඩා අප ලැබූ පරාජය කි.
 
මගේ ජීවිතයේ මට හමුවූ විශ්වාසවන්තම මිනිසා සමග රැදෙන්නට ඉඩ දී අර්ජුන පිටතට ගියේය. මම චාමර අසලටම ගියෙමි.
 
ඔහුට කතා කළ නොහැකිය. එහෙත් මට කතා කළ හැකිය. මා කියනා දේ ඔහුට ඇසෙන බව මට විශ්වාස ය.
මම ඔහුගේ හිතට සහනයක් ගෙන දෙන්නට බොහෝ දේ කීවෙමි. ඔහුට ඒ සියල්ල ඇසෙන්නට ඇතැයි මා අදත් දැඩිව විශ්වාස කරමි.
 
 
 WhatsApp Image 2021 06 29 at 10.00.23 PM
 
 
චාමර දෙමාපියන්ට අප්‍රමාණව ආදරය කළ පුතෙකි. වරක් ඔහුගේ පියා අසනීපවූ මොහොතක චාමර ඉකිගසමින් හැඩූ අයුරු මට කිසිදාක අමතක නොවේ.
 
මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද චාමර ලක්ෂාන් කුමාර කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා පිළිබඳ ගෞරව උපාධිධාරියකු වූ අතර දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියකුද විය.
 
'කන්නංගරයේ දරුවෙක්' 
 
 
ඔහු සිය පාසැල කෙරෙහි බෙහෙවින්ම ගරු කටයුතු වූ අතර 'කන්නංගරයේ දරුවෙක්' යන්න අභිමානයෙන්  කියා සිටියේය.
 
චාමරගේ දක්ෂතා අගය කළ සහ ඔහුට ආදරය කළ විශාල පිරිසක් සිටියහ. ඒ වගේම ඒ දක්ෂතාවලට ඊරිසියා කළ සහ වෛර කළ පිරිසක් ද සිටි බව කණගාටුවෙන් වුවද කිව යුතුය.
 
චාමර මියගිය විටත් සමහරු ඔහුට ක්‍රෝධ කළහ. චාමර මාධ්‍ය ලෝකයේ දැක්වූ අද්විතීය දක්ෂතා සමහරුන්ගේ ඇස් වලට කටු අනින්නාක් මෙන් විය.
 
 
'වඩා අපහසු උඩුගම් බලා පිහිනීම' බව විශ්වාස කළ ඔහු ඒ අපහසු කාර්යයෙහි ධෛර්යයෙන් යුතුව නිරත විය. පියවර දහස් ගණනක් එක් පියවරකින් ඇරඹෙන බව ඇදහූ ඔහු ඒ ගමන ශක්තිමත් දෙපා තබාගෙන ආරම්භ කළේය.
 
චාමර වඩාත් 'බර' ස්වරයක් තිබූ සද්දන්ත මිනිසෙකි. නමුත් ඔහුට 'අදහාගත නොහැකි තරම් 'සංවේදී'හදවතක් තිබුණේය.
 
සත්‍ය වශයෙන්ම ඔහු තමා අරමුණු කළ ඉලක්කයට මනා පරිශ්‍රමයකින් ගමන් කළ මාධ්‍යවේදීයෙකි.
 
'ඊම් සේම යාම් ද'ජීවන දහම බව සැබවි. එහෙත් මෙතරම් අනපේක්ෂිතව නික්ම යාම සදාතනික කම්පනයකි.
 
ඔහු නික්ම ගොස් වසර තුනක් ගතවී ඇතත් ඒ කම්පනය මා වෙතින් පහව ගොස් නැත. 
 
ලේක් හවුස් ගොඩනැගිල්ලේ සේයාරුවක් දකින සෑම විටෙකම මට චාමරව සිහිපත් වේ. එහි පියගැටපෙල නැග එන චාමරව මට නැවත නැවතත් මැවී පෙනේ.
 
ලෝකයේ විශිෂ්ඨ මිනිස්සු ඉක්මනින්ම ජීවන චාරිකාව නිමා කොට තිබේ. දෛවය පැවරූ ඓතිහාසික කාර්ය ය ඉටුකරන ඒ විශිෂ්ඨ මිනිස්සු නික්ම යන්නේ උහුලාගන්නට බැරි තරම් වේදනාවක් හදවතට එක් කරමිනි .
 
චාමරත් එහෙම නික්ම යන්න තීරණය කළ දුර්ලභ මිනිසෙකි.
 
චාමර  ජීවත් වූ කෙටි කාලය තුල, අවුරුදු සීයක වැඩ කළේය. ඔහු තව වසර 30ක් ජීවත් වුණානම් මොනතරම් වැඩ කරාවිද කියා මා තවමත් කල්පනා කරමි.
 
අමතක කරන්න බැරි හිනාව
 
 
එකල උදේ පාන්දර චාමර මගේ කාර්යාල කාමරයට එන්නේ ජීවිතේට අමතක කරන්න බැරි හිනාවක් අරගෙනය. චාමරට කතා කරන්න මාතෘකා ඕන තරම් තිබුණි.       WhatsApp Image 2021 06 29 at 10.00.22 PM
 
යම් ප්‍රශ්නයක් මතු වූ සෑම මොහොතකම ඒ ප්‍රශ්නය කියා හිත හදා ගන්නට සිටින මිනිසුන් බොහෝ දුර්ලභ ය. චාමර යනු ඕනෑම ප්‍රශ්නයක් හිතට ආ විට එය ඔහුට පවසා හිත හදා ගන්නට පුළුවන් සහ විසඳුමක් හොයාගන්න පුළුවන් අපූරු මිනිසෙකි.
 
අදත් හිතට ප්‍රශ්නයක් මතුවී හිත නොසන්සුන් වන සෑම මොහොතකම මට චාමරව නැති අඩුව දැනේ.
 
ඉතාම කෙටි ජීවිතකාලය තුල අතිමහත් වැඩ කන්දරාවක් ඉටු කළ චාමරව මේ තරම් ඉක්මනින් දෙවියන් වෙත කැදවා ගැනීම ගැන මා දෙවියන් සමග එකග නොවෙමි. මක්නිසාද යත් ඔහු වැන්නන් ලොව නැති විට පිණුම් ගසන්නෙ මෝඩයින් ය.
 
එකට ගමනාන්තය සොයන්න ඔරුවට ගොඩවුණ සඟයා අතරමඟදී නතරවීම දරාගන්න බැරි වේදනාවකි. එය අදද,හෙටද නිමාවක් නොවන බව මම ඒකාන්තවම දනිමි.
 
චාමර ඔබේ ජීවිතය නිවී සැනසේවා.
 
 
KK2021(ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ)
ලේක්හවුස් හිටපු සභාපති,
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
THE LEADER TV 
 
##########
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්! 
 
 

නිලීකා මලවිගේ එන්නත් කමිටුවෙන් අස්වුණේ චීන සයිනොවැක් නිසාද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්