The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිදහසින් පසු අවුරුදු 74 ම එක කෝවක දමන ඉතිහාසය නොදන්නා අඟුටු මිට්ටන් - (කුසල් පෙරේරා)

T

The Leader Desk

February 12, 2023 • 10:33 AM

නිදහසින් පසු අවුරුදු 74 ම එක කෝවක දමන ඉතිහාසය නොදන්නා අඟුටු මිට්ටන් - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේනානායකගේ ආණ්ඩුවෙන් ආරම්භ වූ සිංහල-බෞද්ධ ගමන 1977 තෙක් වූ නිදහසින් පසු පළමු අවුරුදු 30 ක කාලයේ ප්‍රචණ්ඩ ලෙස සංවිධානාත්මකව මුදා හැරි අවස්ථා නැත.
  • මෙහිදී විශේෂයෙන් සඳහන්කර තැබිය යුත්තේ අණ පනත් නීති රෙගුලාසි සිංහල-බෞද්ධ ආධිපත්‍ය වෙනුවෙන් යොදා ගත් සිංහල ආණ්ඩු ඊට එරෙහිව දෙනු ලැබූ අධිකරණ තීන්දු පවා මග හැර ගොස් ඇති බවය.
  • කෝඩේස්වරන් විසින් කොළඹ දිසා අධිකරණයෙහි ගොනු කළ නඩුව (අංක 1026/Z) විභාග කිරීමෙන් අනතුරුව විනිසුරු ඕ.එල්.
  • ද ක්‍රෙස්ට විසින් 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පනත වලංගු නොවන්නක් යැයි තීන්දු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙලෙස ඩී.එස්. සේනානායකගේ ආණ්ඩුවෙන් ආරම්භ වූ සිංහල-බෞද්ධ ගමන 1977 තෙක් වූ නිදහසින් පසු පළමු අවුරුදු 30 ක කාලයේ ප්‍රචණ්ඩ ලෙස සංවිධානාත්මකව මුදා හැරි අවස්ථා නැත. 1958 දෙමළ කෝලාහලය ද අසංවිධානාත්මක ජාතිවාදී ගැටුම් වූයෙන් ඒවා වහා මැඩ පැවැත්වීමට ආණ්ඩුවට හැකි විය.

 

නිදහසින් පසු පළමු අවුරුදු 30 ක කාලයේ වඩාත් කැපී පෙනුනු ජාතිවාදි මැදිහත්වීම් ව්‍යවස්ථානුකූල මැදිහත්වීම් විය. උඩරට වතුකරයේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ශ්‍රමිකයින්ගේ පුරවැසි අයිතිය හා ඡන්ද බලය අහෝසි කිරීමෙන් පසු ‘56 බණ්ඩාරනායක විසින් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව ලෙස පනත්ගත කිරීම, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ක්‍රියාත්මක කිරීමේදී දෙමළ භාෂාව ව්‍යවහාර වන ප්‍රදේශවල රාජකාරී කටයුතු දෙමළ බසින් කිරීමට 1958 දී අවසර දීමේ රාජ්‍ය භාෂා විධිවිධාන පනත සම්මත කිරීම, 1961 දී මහ භාණ්ඩාගාරය විසින් සිංහල භාෂා ප්‍රවීණත්වය සියලු දෙමළ රජයේ සේවකයින්ට අනිවාර්ය කරමින් චක්‍රලේඛ අංක 560 නිකුත් කිරීම, ආණ්ඩු පිහිටුවීමට දෙමළ දේශපාලන නායකයින්ගේ සහාය ලබා ගැනීම සඳහා මහභාණ්ඩාගාරය ‘61 නිකුත් කළ චක්‍ර ලේඛනයේ තහංචි 1965 වන විට ලිහිල් කිරීම, 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුළු වාර්ගික හා ආගමික ප්‍රජාව සඳහා සොල්බරි ව්‍යවස්ථාවෙහි 29 වන වගන්තියෙන් ලබා දුන් ආරක්ෂාව ඉවත් කිරීම, බුද්ධ සාසනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ව්‍යවස්ථානුගත කිරීම, 1974 සිට ක්‍රියාත්මක කළ විශ්ව විද්‍යාල ප්‍රවේශය ප්‍රමිතිගත කිරීමෙන් උතුරේ දෙමළ සිසුනට අවාසි වන අයුරින් දිස්ත්‍රික් සහන ලබාදීම වැනි සිංහල-බෞදධ සමාජ ආධිපත්‍ය නඩත්තු කිරීමකට ආණ්ඩු සියල්ල සීමා විය.

 

මෙහිදී විශේෂයෙන් සඳහන්කර තැබිය යුත්තේ අණ පනත් නීති රෙගුලාසි සිංහල-බෞද්ධ ආධිපත්‍ය වෙනුවෙන් යොදා ගත් සිංහල ආණ්ඩු ඊට එරෙහිව දෙනු ලැබූ අධිකරණ තීන්දු පවා මග හැර ගොස් ඇති බවය. සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය “තහවුරු කෙරුණු” වගන්තියක් (Entrenched Clause) වන හෙයින් එහි 29(2) වන උප වගන්තියට පටහැනිව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පනත් සම්මත කිරීම වලංගු නොවන්නක් යැයිද ඒ අනුව ඔහුගේ රාජ්‍ය සේවා පත්වීමේ කොන්දේසි වෙනස්කර වැටුප් වර්ධක අත්හිටුවන්නට නොහැකි යැයිද එම හිඟ මුදල ඉල්ලා නීතිපතිට එරෙහිව රජයේ ලිපිකරුවකු වූ සී. කෝඩේස්වරන් විසින් කොළඹ දිසා අධිකරණයෙහි ගොනු කළ නඩුව (අංක 1026/Z) විභාග කිරීමෙන් අනතුරුව විනිසුරු ඕ.එල්. ද ක්‍රෙස්ට විසින් 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පනත වලංගු නොවන්නක් යැයි තීන්දු කළේය.

මේ තීන්දුව අභියෝග නොකළ නීතිපති එයට එරෙහිව තාක්ෂණික කාරණයක් මතු කරමින් රජයේ සේවකයෙකුට රජයට එරෙහිව හිඟ මුදල් ඉල්ලා නඩු පැවරිය නොහැකි යැයි 1964 දී ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයද ඒ අනුව, රාජ්‍ය භාෂා පනතෙහි වලංගු බව විමසීමකින් තොරව, නීතිපති මතු කළ නිශ්චිත කාරණාවට සීමා වී නීතිපතිගේ ඉල්ලීම අනුමත කරමින් තීන්දු කළේය. ඊට එරෙහිව 1968 දී කෝඩේස්වරන් ප්‍රිවි කවුන්සිලයට අභියාචනයක් (72 NLR 337) ගොනු කළ අතර, ඔවුහුද කොළඹ දිසා විනිසුරු ඕ.එල්. ද ක්‍රෙස්ට විසින් රාජ්‍ය භාෂා පනත සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29(2) වන උප වගන්තිය අනුව වලංගු නොවන්නක් යැයි දෙනු ලැබූ තීන්දුව වෙත අවධානය යොමු නොකර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සනාථ කළ රාජ්‍ය සේවකයෙකු රජයට විරුද්ධව නඩු පැවරීමට නොහැකි යැයි දෙනු ලැබූ තීන්දුව පිළිබඳව දීර්ග විස්තරයක් කරමින් එම තීන්දුව නිශ්ප්‍රභා කළහ.

 

ඒ සියල්ලෙන් කියැවෙන්නේ කොළඹ දිසා අධිකරණයෙහි දිසා විනිසුරු ඕ.එල්. ද ක්‍රෙස්ට විසින් 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පනත වලංගු නොවන්නක් යැයි දෙනු ලැබූ තීන්දුව කිසිදු අධිකරණයකින් වෙනස් නොකළද සියලු ආණ්ඩු විසින් එය නිල වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවය.




kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 පෙබරවාරි 10 වන දින


JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිදහසින් පසු අවුරුදු 74 ම එක කෝවක දමන ඉතිහාසය නොදන්නා අඟුටු මිට්ටන් - (කුසල් පෙරේරා) | The Leader