The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

89 කැරැල්ල ගැන මෙතෙක් නොකියූ කතාවක් | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 16, 2025 • 3:39 PM

89 කැරැල්ල ගැන මෙතෙක් නොකියූ කතාවක් | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක ආන්තික ප්‍රචණ්ඩ කැරැල්ලක්.
  • පැරදිලා අද මෙහෙම කතා කරන්න ඉන්න එකත් ඇති.
  • ඒක ගැන හිතපු බොළඳ විදිය කොච්චරද කියනවා නම්, කැරැල්ලෙන් පස්සෙ රැඳවුම් කඳවුරුවල සමාජවාදී පාලනයක් හදන්නට ඇතැම් අය උත්සාහ කළා.
  • එදාට වඩා නායකත්වයේ ඇතැමෙක් ගොඩක් පරිණතයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක ආන්තික ප්‍රචණ්ඩ කැරැල්ලක්. කැරැලි ගහනවා නම් දිනන්න ඕනැ. පැරදිලා අද මෙහෙම කතා කරන්න ඉන්න එකත් ඇති.

අපට තිබුණෙ සමාජවාදී ෆැන්ටසියක්. එතකොට ඔය ෆැන්ටසිය කියන වචනෙ අපි දන්නෙවත් නැහැ. ඒක ගැන හිතපු බොළඳ විදිය කොච්චරද කියනවා නම්, කැරැල්ලෙන් පස්සෙ රැඳවුම් කඳවුරුවල සමාජවාදී පාලනයක් හදන්නට ඇතැම් අය උත්සාහ කළා. මං නම් ඒ වෙලාවෙම මිනිසුන්ගෙ නිදහස් ජීවිත අයිතිය පිළිගත්ත නිසා වීරවිල එහෙම විකාර සිදු වුණේ නැහැ. අපි පොදු වැඩ කළා. කවුරුත් එකට සමගියෙන් හිටියා. මං ඉංග්‍රීසි ඉගැන්නුවා. පස්සෙ කාලෙක රජයේ ඉංග්‍රීසි ගුරු විභාගෙ පාස් වෙන්නට පුළුවන් වුණෙත් එහෙම.

ඒ කාලෙත් අපි කතා කරපු දෙයක් තමයි, අපි බලය ගත්තා නම් මොන පිස්සුවක් නටයිද කියන එක. සමහර විට ලේ ගංගාවකින් ලංකාව හෝදන්නට ඉඩ තිබුණා.  දැන් ජවිපෙ බලයෙ ඉන්නවා. එදාට වඩා නායකත්වයේ ඇතැමෙක් ගොඩක් පරිණතයි. මනස නොවැඩුණ අයත් ඉන්නවා.

කොහොම වුණත්, දැන් ජවිපෙ තමයි ආණ්ඩුව. හෙට මේ ආණ්ඩුව සහිත රාජ්‍යයට එරෙහිව කවුරුහරි කැරැල්ලක් ගැහුවොත්, ජවිපෙට වුණත් ඒ කැරැල්ලට මුහුණ දෙන්නට වෙන්නෙ කැරැල්ලේ තරම අනුව තමයි. මං හිතන්නෙ නැහැ ගෝඨාභය කළ විදියට ජවිපෙ කරයි කියලා.


මං එළියකන්ද වධකාගාරෙ අවුරුද්දකට වැඩි කාලයක් හිටියා. මං තාම ඒ ක්ෂතියෙන් පූර්ණ වශයෙන් මිදිලා නැහැ. ආපහු සමාජයට ආවාම මං මුහුණ දුන්නෙ ඊටත් වඩා ප්‍රශ්න සමුදායකට. අපේ අම්මගෙ මල්ලි ග්‍රාමසේවක කෙනෙකු වුණ නිසා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ඇදගෙන ගිහින් ඉද්දගොඩ හන්දියෙ වෙඩි තියලා ගිහින් තිබුණා. ඉස්පිරිතාලෙට ගෙනියන්න කෙනෙකු ඉදිරිපත් නොවී කියව කියව පැය ගානක් පණ ඇදලා මැරිල තියෙන්නෙ. ඒ මාමව මට අදත් මැවිල පෙනෙන්නෙ එක රූපයක් විදියට.


1986 මුල බුලත්සිංහල අතුර පොළේ තහනම් ජවිපෙ පත්‍රිකා බෙදද්දි සරත් රණවකගෙ හරි රොනී ද මැල්ගෙ හරි හිතවතුන් පිරිසක් මාව අල්ලලා පොලිසියට භාර දුන්නා. මං හරක් පයියෙන් එහෙම ගුටි කාලා දවස් ගානක් පොලිස් කූඩුවෙ හිටියා. ගෙදර අය දන්නෙත් නැහැ. මගෙත් එක්ක පත්‍රිකා බෙදන්න ගිය අනෙක් එකා (ඌ දැන් මේක කියවනවා) මං අහුවුණ බව දැනගෙන පවා ගෙදරට දන්වලා තිබුණෙ නැහැ. ඒ දවස්වල ඌත් ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක්. කොහොමත්, අහුවුණාට පස්සෙ පක්ෂෙ ඒ අය ගැන බලන්නෙ නැහැ. මට ඒක හතර වතාවක් වුණා. බැලුවෙ ගෙදරින්. දවස් කීපයකට පස්සෙ එක දවසක් හවස මං කූඩුවෙ දොර දිහා හැරිලා බලනකොට අර මාමා ලොකප් එකේ ඉස්සරහ හිටගෙන හිටියා. එයා හිටියෙ බීලා. හොඳට බොන කෙනෙක්. යාළුවෝ හිටියා. ඒ අය හරහා තමයි දැනගෙන ඇවිත් තිබුණෙ. යූඇන්පීකාරයා. පොඩි දේටත් අඬනවා. එදා පොලිස් කූඩුව ඉස්සරහ ඉඳගෙන ඉකි ගහ ගහ ඇඬුවා. කියපු දේවල් මට මතක නැහැ.

ඊට පස්සෙ කාලෙක මං ගමේ ගිය වෙලාවක එයාට ඉල්ලා අස්වෙන්න කියලා තියෙන බව දැනගෙන මං එයාගෙ බය නැති කරන්න හම්බ වෙන්න ගියා. එදාත් බීලා අඬ අඬ කිව්වා ග්‍රාමසේවක රස්සාවෙන් අස්වෙලා මං කොහොමද ජීවත් වෙන්නෙ කියලා. මං කිව්වා, පක්ෂෙන් ඔයා වගේ අය මරන්නෙ නැහැ, බය නැතුව ඉන්න කියලා. මං පක්ෂෙ කලුතර දිස්ත්‍රික්කෙ අයට කියන්නම් කියලා මං කිව්වා. මං එතකොට වෙන දිස්ත්‍රික්කෙක වැඩ. එහෙම කිව්වද නැද්ද මට මතක නැහැ. කිව්වාය කියල වැඩක් නැහැ. ඒ වකවානුවෙ පක්ෂෙ ඇතුළෙ එහෙමට ලොකු පාලනයක් තිබුණෙ නැහැ.

 

මාමගෙ මළසිරුර දනෙන් ඉහළට ඔසවන්නට එපා කියලා නියෝග කරලා තිබුණා කියල මං අහල තියෙනවා. මං අදත් කාගෙන්වත් ඒ ගැන විස්තර අහන්නෙ නැහැ. මට එහෙම අහන්න ගට නැහැ.

අනෙක් කාරණේ මගේ අක්ක බැඳපු මස්සිනාගෙ මල්ලිලා දෙන්නා ජේවීපී කරලා උස්සලා ඝාතනය කරලා තිබුණා. බාල ළමයා උසස් පෙළ පන්තියෙ හිටියෙ. මං ඒ අය එක්ක පක්ෂ මට්ටමේ කිසිම සම්බන්ධකමක් තිබුණෙ නැහැ. ඒ වුණාට ඒ පවුලෙ ඇතැම් අය අදත් මා එක්ක තරහයි. අපේ මස්සිනා දැනුත් අක්කත් එක්ක රණ්ඩු වෙනකොට මට කියන්නෙ මිනීමරුවා කියල. එයාගෙ මල්ලිලා මැරුනෙ මං නිසා වගේ. මං හිටපු පක්ෂෙ නිසා වෙන්න ඇති.


1989න් පස්සෙ මට කරන්නට පුළුවන් හොඳම දේ මං කළා. ඒ තමයි නැවත කවදාවත් ජවිපෙ දේශපාලනයට සම්බන්ධ නොවීම. මං හිරු කණ්ඩායමේ වැඩ කළා. අවදානම් ගත්තා. ඒ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් හොයන්න. ජවිපෙ කොච්චර ප්‍රබල වුණත් මං නැවත එකතු වුණේ නැහැ. ජවිපෙ ගැන මං හිතන්නෙ මෙහෙමයි. තිබුණට මට කමක් නැහැ. මං ඒක එක්ක සම්බන්ධ වෙන්නෙ නැහැ. ටික කාලයක් ලංකා පත්තරේට ලිව්වා. ඒක කළේ ස්වාධීනව දැන් ඉන්න ස්ථාවරයේම ඉඳන්.

මං කලින් සඳහන් කරපු මාමව මරනකොට හිටපු පුංචි ළමයි දැන් ඉගෙනගෙන ලොකු තනතුරු දරන අය. ඒ නංගි මේ ළඟදි දවසක් අපේ තාත්තව බලලා යන්න ආපු වෙලාවෙත් මට හමු වුණා.

මේ සඳහන් කළ බොහෝ දෙනෙක්, මං ජවිපෙ දේශපාලනය කරපු නිසා පරිප්පු කාපු අම්මා, තාත්තා පවා, පස්සෙ කාලෙක ජවිපෙට ඡන්දෙ දුන්නා. මං නම් ඡන්දෙවත් දෙන්නෙ නැහැ.


බටලන්ද කියන්නෙ 1987-90 කැරැල්ලෙ එක කළු පැල්ලමක් විතරයි. තව එවැනි කළු පැල්ලම් ගොඩක් තියෙනවා. සංක්‍රාන්ති යුක්තික ක්‍රියාවලියක් හරියට සිදු නොවුණත්, ඒ තුවාල සනීප වෙමින් තිබුණෙ. ජවිපෙ දේශපාලන වාසි ගන්න, කාදිනල්-අල් ජසීරා-කොටි ඩයස්පෝරා උවමානවක් වෙනුවෙන් බටලන්ද වාර්තාවක් ඇදගෙන දෙබරෙකට ගල් ගැහුවා.


ජවිපෙ දැනගන්නට ඕනැ මං අර කියපු මාමගෙ දුව පවා මේ වතාවෙ ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන්නට ඇති බව.

ඒ කැරැල්ලෙ දෙපැත්තම නරකයි. මං කැරැලිකරුවෙකු නිසා එතන තිබුණ නරක හොඳට දන්නවා. සමහරවිට ජනාධිපතිතුමාට එහෙම ඒ ගැන එතරම් අවබෝධයක් නැතුව ඇති. ටිල්වින් සිල්වා සහෝදරයාත් 1987 සිට 94ත් පහුවෙනකල් හිටියෙ ඇතුළෙ. හොඳ හරිය දැක්කෙ අපි. කැරැල්ලට සම්බන්ධ නොවී පැත්තක ඉඳපු, එහෙම නැතිනම්, ඒ කාලෙ කැරැල්ලට විරුද්ධ අතුරු හමුදා කල්ලි සමග සම්බන්ධකම් පවත්වපු පිරිසක් පස්සෙ කාලෙක කැරැල්ල රස කතා බවට පත් කරලා විකුණන්නට පටන් ගත්තා. මාත් පොතක් ලිව්වා. ඒක ජනප්‍රිය වුණේ නැහැ. ජනප්‍රිය වෙන්න නම්, හමුදාවට, රජයට එරෙහි වෛරය පදනම් කරගන්නට ඕනැ. මධ්‍යස්ථ වෙලා බැහැ.

ලංකාව මුහුණ දෙමින් සිටින අර්බුදය හමුවේ ආණ්ඩුව උත්සාහ කරන්නට ඕනැ සියලු බලවේග එකතු කරගන්න. නැති ප්‍රශ්න නිර්මාණය කරමින් තව තවත් බෙදා වෙන් කර බැහැර කරන්නට නෙමෙයි.


මේ ආණ්ඩුවට කරන්නට වැඩක් තියෙනවා. ඒක වෙනුවට ආණ්ඩුව කරන්නෙ වෙන දේවල්. මේ මංමුලාභාවයෙන් ඔවුන් මිදිය යුතුයි. පෙරටුගාමී එකට හා කලින් මං සඳහන් කළ අශුද්ධ සන්ධානයට ඕනැ විදියට නටන්නට යන්න එපා. අපි විපක්ෂයට සහාය දෙන්නෙ අපව බැහැර කර හමාර නිසායි. අපි ඒක හරියට කරනවා. ඒකෙන් අවුල් වෙනවා නම්, සහාය අවශ්‍ය නම්, නිහතමානීව කියන්න. කළ යුතු දුෂ්කර දේ කරන්නට අපට සහාය දෙන්නට පුළුවන්.


වීඩියෝව එළියකන්ද වධ කඳවුර අවුරුදු 35කට පස්සෙ

 
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...