එහි පැහැදිලි සත්‍යතාවයක් ඇත. කාන්තාව මෘදු සහ නම්‍යශීලී කායික ව්‍යුහයක් සහිතව නිර්මාණය කිරීමට සොබා දහම විසින් වග බලාගෙන තිබෙන්නේ දරු ප්‍රසූතියට සහ මව්කිරි දී සිය දරු පරපුර ඇති දැඩි කිරීමේ භාරදූර වගකීම ද සොබා දහම විසින්ම ඇය වෙත උරුම කර දී තිබෙන නිසා ය. එසේම කාන්තාව ස්වභාවයෙන් ම සංවේදී ය. එම සංවේදී බව ද මව් පදවියට අත්‍යවශ්‍ය ය. දරුවා හඬන විට මවට කිරි එරෙන්නේ එම සංවේදී බව නිසා ය. මෙය තිරිසන් සතුන්ට පවා පොදු තත්ත්වයකි. පැටවුන් බිහි කළ අලුත සත්ව මව්වරුන් රෞද්‍ර වන්නේ තම පරපුරේ පැවැත්ම වෙනුවෙනි.

යක්ෂ පරපුරේ කාන්තාවක ලෙසින් ඉතිහාසය විසින් හඳුන්වා දෙන ලද කුවේණිය ද දරුවන් දෙදෙනකු බිහි කළාය. යක්ෂ පරපුරේ කාන්තාවන් ද මව් පදවිය ලැබූවෝ වෙති. ඔවුන් ද එසේ නම් සංවේදී නොමැත්තවුන් යැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. බෞද්ධ සාහිත්‍යයේ එන අති සුප්‍රකට පදමානවක ජාතකයෙන් පැවසෙනුයේ පදමානවක කුමරුන් ගේ මව වන යක්ෂණිය කුමරු ගේ වියෝව දරා ගත නොහැකිව ළය පැලී මිය ගිය බවකි. එසේ නම් මේ කාන්තාවන්ගේ ඇති වෙනස කුමක්ද? එය නම් බොහෝ කාන්තාවන්ට වඩා ඔවුන් සමාජීය වශයෙන් පිරිමින්ට නොදෙවෙනි අයුරින් ඉදිරියට යාම ය. එය ඔවුන්ගේ ජෛවමය උරුමයකි. ඒ සඳහා නිදසුන් ඕනෑ තරම් දැක්විය හැකිය.
මෙය මීට දශක කිහිපයකට පෙර මීගමු නගරය ආශ්‍රිතව පුළුල් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වූ යුගයේ සිදුවීමකි. පාරවල් පුළුල් කිරීමේ දී ඒ වෙනුවෙන් කඩා දමන්නට සිදුවන ගොඩනැගිලි සඳහා ඒවායෙහි හිමිකරුවන්ට වන්දි ද ප්‍රදානය කෙරිණි. එහෙත් මාර්ගය දෙපස අනවසර පදිංචිකරුවනට ඒ කිසිත් හිමි නොවිණි.

පරම්පරා කිහිපයක් තිස්සේ මෙම පාර අයිනේ එක් ස්ථානයක මාළු වෙළඳාම් කරන කාන්තාවක සිටියාය. ඇය එතෙක් මාළු වෙළඳාම් කළ ස්ථානය අලුතින් පුළුල් කෙරෙන මහ පාරට යටවන්නට නියමිත ව තිබූ අතර අදාළ ආයතනය එම ස්ථානය ද බැකෝ යන්ත්‍ර මගින් හාරා සකස් කරන්නට විය. නමුත් මෙම කාන්තාව එම ස්ථානයෙන් සෙලවුණේවත් නැත. එම ආයතනයේ සේවකයන් විසින් ඇය එතැනින් ඉවත් කරන්නට උත්සාහ කළත් ඔවුන්ට කටින් ගසා මෙල්ල කරන්නට ඇය සමත් වී තිබිණි.
"අපේ අත්ත මුත්තගේ කාලේ ඉඳලම මාළු වෙළඳාම් කළේ මෙතන. මම මෙතනින් හෙලවෙන්නේ නෑ. පුළුවන් එකෙක් ඉන්නව නම් මාව අයින් කරවපල්ලා. මමයි මගේ දරුවොයි ජීවත් වෙන්නේ මේ වෙළඳාමෙන්. මට කියන්නේ උන්ව හාමතේ තියන්න කියලද? එකෙකුටවත් බෑ මාව අයින් කරන්න. මැරුවත් මං මෙතනින් යන්නේ නෑ. ඕනෙ නම් මෙතන වලක් කපලා මාව වළලපල්ලා"
ඇය එතැනම නතර වී හිඳගෙන පාරේ තමා පසු කරමින් යන සෑම දෙනාටම මේ අවනඩුව කෑගසමින් පවසන්නට වුයේ තමන්ට එම අපරාධය සිදු කළවුන්ට ශාප කරමිනි.
මීගමු නගරයඒ වන විට දහසක් දෙනා අසා තිබූ ඇගේ එම ශෝකාලාපය මේ පාරෙන් යන එන එක් මහත්මයෙක් වුවමනාවෙන් යුතුව අසා සිටියේය. ඔහු එවකට එම ප්‍රදේශයේ සිටි ප්‍රසිද්ධ නීතිඥවරයෙකි. එම කාන්තාව වෙත පැමිණි නීතිඥවරයා මේ සිද්ධිය පිළිබඳ විස්තර විමසීය.
"පරම්පරාවල් කීපයක්ම මෙතන මේ විදිහට මාළු විකුණුවා කියලා අම්මට ඔප්පු කරන්න පුළුවන්කමක් තියෙනවද?"
"ඇයි නැත්තේ සර්, මෙතන තමයි මාළු විකුණලා අපි හැමෝම ජීවත් වුණේ. මෙතන දාලා මම වෙන කොහේ යන්නද සර්. වෙන තැන්වල වෙළඳන් කරන උදවිය අපට ඒ තැන්වලට එන්න දෙන්නේ නෑ ඒ මිනිස්සුන්ගේ බිස්නස් කැඩෙන හින්දා. අපට දැන් ජීවත් වෙන්න විදිහක් නෑ සර්. තිබිච්ච එකම තැනත් පාරට ගත්තා. දැන් මං කොහේ යන්නද?" එසේ කී එම කාන්තාව විලාප නඟන්නට වූවා ය.
"මම අම්මට උදව් කරන්නම්. අම්මට එක දෙයක් කරන්න තියෙනවා. මෙතන පරම්පරා ගාණක් තිස්සේ මාළු වෙළඳාම් කරපු බව උසාවියෙදි ඔප්පු කරන්න"
තම හිතවත් නීතිඥවරුන් කිහිප දෙනෙක් සමග ද මේ පිළිබඳව සාකච්ඡා කළ මෙම නීතිඥ මහතා ඇගේ අයිතිය වෙනුවෙන් අධිකරණයෙහි නඩුවක් ගොනු කළේය. එහිදී ඇයට භූමියෙහි හිමිකමක් නොතිබුණත්, පරම්පරා ගණනක් තිස්සේ එම ස්ථානය භුක්ති විඳීම මත ඒ වෙනුවෙන් වන්දියක් ගෙවීමටත්, එම ස්ථානය වෙනුවට වෙනත් ස්ථානයක් ඇගේ වෙළඳාම් කටයුතු සඳහා ලබාදීමටත් අධිකරණය මගින් නියෝග කරනු ලැබිණි. එම කාරුණික නීතිඥවරයාගේ ඉදිරිපත් වීම මත ඇයට සාධාරණයක් ඉෂ්ට වූයේ එලෙසිනි.
අනෙක් විශේෂම කාරණය නම් නීතිඥවරයා ඇයට උදව් කරන්නට ඉදිරිපත් වන්නේ ද තම හිමිකම වෙනුවෙන් මහ පාරෙහි තනිව හිඳිමින් ඇය නොනවත්වාම කළ සටන නිසා ය. එසේ නොවන්නට නීතිඥ මහතා එවැනි කාන්තාවක් පිළිබඳව දැනගන්නට විදිහක් නැත. එපමණටම ශක්තියක් ඇය තුළ තිබිණි. මෙය මෙබඳු බොහෝ සිදුවීම් අතරින් එකක් පමණි. මෙවැනි ශක්තිමත් පෞරුෂයක් සහිත කාන්තාවන් අපේ රටේ තව ඕනෑ තරම් හිඳින්නට පුළුවන. නමුත් සාපේක්ෂව අඩු ය. එසේ වුවද අප මෙතෙක් ඉදිරිපත් කළ යක්ෂ සනුහරේ කාන්තාවන් තුළ මෙබඳු සුවිශේෂතා අඩු නැතිව දැක ගැනීමට පුළුවන.
මීගමු නගරයමීගමු කතුන් ගේ මෙම පෙරටුගාමීත්වය මාතෘ මූලික සමාජයක් තුළ ප්‍රවේණිගත උරුමයක් බව අනුමාන කළ හැකිය. ඔවුන්ගේ මේ හැසිරීම්, ගති පැවතුම්, චර්යාවන් විමසන විට තවදුරටත් මෙය තහවුරු කර ගැනීමට පුළුවන. නමුත් තවමත් සමාජ හා මානව විද්‍යාඥයන්ගේ ප්‍රමාණවත් අවධානයක් මේ සම්බන්ධයෙන් ලැබී නැති බව පැහැදිලි ය. මේ අනුව හැඟී යන්නේ ලෝකයේ වෙනත් රටක, එවැනි සුවිශේෂතා ඇති කාන්තාවන් දකින්නට ලැබුණේ නම් ඒ අය කෙරෙහි ඉහත සඳහන් ක්ෂේත්‍රවල විශේෂ අවධානයක් යොමුවනු ඇති බව ය. ඉන්පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර සමාජයට කරුණු ඉදිරිපත් කරන්නට එම ක්ෂේත්‍රවල නිරත වන අය පසුබට නොවනු ඇත.
රොමා කාන්තාවන්අද වන විට අපට ආසන්නතම ඉන්දියාවේ පවා මානව විද්‍යාත්මක සාක්ෂි මත පදනම් ව විවිධ විශේෂිත ගෝත්‍ර හා ජන කොටස් රැසක් ලෝකයට හඳුන්වා දී තිබේ. විශේෂයෙන් අප රටේ අහිගුන්ඨික නමින් හඳුන්වන යුරෝපයේ විශාලතම සහ වඩාත්ම පැතිරුණු වාර්ගික සුළුතරය නියෝජනය කරන, රොමා හෙවත් රොමානිවරුන් හැඳින්විය හැක. ඔවුන් ගේ ජාන දත්ත සහ වාග් විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනීයන්නේ ඔවුන් අතීතයේ යම් යුගයක උතුරු ඉන්දියාවේ සිට වර්තමාන තුර්කියටත්, පසුව යුරෝපයේ බොහෝ රටවලටත් සංක්‍රමණය වී ඇති බවකි. ඔවුන්ගේ සාම්ප්‍රදායික මුල් රොමානි භාෂාව බෝල්කන් සහ ග්‍රීක බලපෑම සහිතව උප භාෂා කිහිපයකට බෙදී ඇති බව මේ වන විට නිරීක්ෂණය වී තිබේ. බොහෝ රොමානිවරුන් තමන් පදිංචිව සිටින රටේ ප්‍රධාන භාෂාව භාවිතා කරති. නමුත් අප රටේ අහිගුන්ඨික ජනතාව කතා කරනුයේ තෙලිඟුවලින් බෙදී ආ සංකර බසකි.
යුරෝපයේ රොමා ජනගහනය මිලියන 10 ක් පමණ වන අතර ඔවුහු යුරෝපීය සංස්කෘතියට වඩා වෙනස් සංස්කෘතියක් නියෝජනය කරති. එහෙත් රොමානිවරුන් මේ වනවිට තමන් ජිවත් වන රටවල දෙවන හෝ තෙවන පෙළ පුරවැසියන් බවට පත්ව හිඳින බවත් කිව යුතු ය. වාර්තා වී ඇති අන්දමට ලොව විශාලතම රොමානි ජනගහනය ජීවත්වන්නේ රුමේනියාව, බල්ගේරියාව සහ ස්ලෝවැකියාව යන රටවල ය. නමුත් මෙම ජන වර්ගය තමන් සතු උරුමයක් බව ඉන්දියාව අභිමානයෙන් පවසයි. ලෝක ප්‍රකට ඉන්දීය ඉතිහාසඥ ඒ.එල් බෂාම් පවසනුයේ ඉන්දියාවෙන් ලෝකයට දායාද කළ අසිරිමත් දායාද අතරට මෙම රොමානිවරුන් ද අයත්වන බවකි. එමෙන්ම ඇතැමුන් මොවුන් ජිප්සීස් (අහිකුණ්ඨක) යන නාමයෙන් හඳුන්වන නමුත් සමහර රොමානිවරුන් එසේ හැඳින්වීම බරපතල වරදක් සේ දකිති. ඔවුන් පවසනුයේ ජිප්සීස් යනු තම ජන වර්ගයට සමානකම් සහිත යුරෝපීය ජන කොටසක් බවකි.
අප රටේ පාසල් පොතට පවා එක් ව ඇති ඉතිහාසගත කරුණු අනුව අතීතයේ අප රටේ ජීවත් වූ කුවේණියගේ පරපුරේ වත්මන් නියෝජනය වැදි පරපුර ය. එහෙත් එය පූර්ණ සත්‍යයක් සේ සැලකීම අසීරු ය. මක් නිසා ද යත් පන්සිය පනස් ජාතකයේ වලාහක හෙවත් වලාහස්ස ජාතකයේ එන නාගදීපය හා කැලණිය අතර අප රටේ බටහිර මුහුදු තීරයේ ජීවත් වූ යක්ෂණියන්ට අද කුමක් වී ද යන්නට ආසන්නතම පිළිතුරක් මෙම මීගමු කතුන්ගෙන් ලැබෙන බැවිනි.ඒ අනුව කිව හැක්කේ විජය කුමරුන් විසින් අප රටේ පාලන බලය අත්පත් කර ගත් පසු කුවේණිය අනාථ කොට දැමීමේ ක්‍රියාවලිය තවමත් එලෙසින්ම සිදුවන බවකි.
ජායාරූප අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන්ට ස්තුතියි.

සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි:



