The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘හැඳි නොගා හදන හොද්ද’ සහ ඔස්ට්‍රේලියාවේ ‘Adult Crime, Adult Time’ නීතිය: දරුවන් හැදීමේ ආසියාතික සහ බටහිර ගැටුම | ආචාර්ය රසිකා කුමාරසිංහ

T

The Leader Desk

July 12, 2026 • 12:02 PM

‘හැඳි නොගා හදන හොද්ද’ සහ ඔස්ට්‍රේලියාවේ ‘Adult Crime, Adult Time’ නීතිය: දරුවන් හැදීමේ ආසියාතික සහ බටහිර ගැටුම | ආචාර්ය රසිකා කුමාරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "හැඳි නොගා හදන හොද්දත්, ගුටි නොදී හදන දරුවත් එක හා සමානයි" - මේ අපේ මුතුන් මිත්තන් ළමා විනය ගැන කී පාරම්පරික කියමනකි.
  • දරුවන් ආදරයෙන් හෝ දැඩි අවධානයෙන් පමණක් හැසිරවිය නොහැකි තැන්වලදී යම් තරමක පාලනයක් හෝ විනයක් අත්‍යවශ්‍ය බවයි.
  • මෙම කල්ලි වල සාමාජිකයන් වන්නේ අවුරුදු 10-18 අතර වයස් වල පසු වන දරුවන්ය.
  •   පොලිස් වාර්තා සහ අපරාධ සංඛ්‍යාලේඛන අනුව, තරුණ අපරාධකරුවන් විසින් සිදුකරන බරපතළ අපරාධවල සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහිදී  "ගුටි දීම" යන්නෙන් අදහස් කළේ කායික හිංසනය නොව, දරුවෙකු නිසි මඟට ගැනීමට අවශ්‍ය පාලනය, විනය සහ වැට කඩොලු බැඳීමයි. දරුවන් ආදරයෙන් හෝ දැඩි අවධානයෙන් පමණක් හැසිරවිය නොහැකි තැන්වලදී යම් තරමක පාලනයක් හෝ විනයක් අත්‍යවශ්‍ය බවයි.

මෑතකදී ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයන් විසින් බාලවයස්කාර අපරාධකරුවන් උදෙසා "Adult Crime, Adult Time" (වැඩිහිටි අපරාධයට වැඩිහිටි දඬුවම්) නමැති දැඩි නීති මාලාවක් හඳුන්වා දීමත් සමඟ, ලෝකය පුරා දෙමාපිය පදවිය (Parenting) පිළිබඳ අලුත් සංවාදයක් ඇරඹී ඇත. මෙමඟින් මතු වන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ, දරුවන් අපරාධකරුවන් වූ පසු රජය විසින් දැඩි දඬුවම් දීමට වඩා, කුඩා කල සිටම දෙමාපියන් මැදිහත් වී විනය හදන ආසියාතික ක්‍රමය වඩාත් සාර්ථක නැද්ද යන්නයි.

මෑත කාලයේ ඔස්ට්‍රේලියාවේ, විශේෂයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ, තරුණ කල්ලි (youth gangs) සම්බන්ධ අපරාධ සිද්ධීන් ඉහළ යාම පිළිබඳ මහජන අවධානය වැඩි වී තිබේ. මෙම කල්ලි වල සාමාජිකයන් වන්නේ අවුරුදු 10-18 අතර වයස් වල පසු වන දරුවන්ය. මොවුන් කරන අපරාධ අතර මෝටර් රථ සොරකම්, නිවාස ආක්‍රමණ, කොල්ලකෑම් සහ ආයුධ භාවිතා කරමින් සිදු කරන ප්‍රහාර මුල් තැනක් ගනියි.

 

adult crime adult time
පොලිස් වාර්තා සහ අපරාධ සංඛ්‍යාලේඛන අනුව, තරුණ අපරාධකරුවන් විසින් සිදුකරන බරපතළ අපරාධවල සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. 2025 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංඛ්‍යාලේඛන වලට අනුව,

• වාහන පැහැර ගැනීම් වලින් 57.6%ක් සිදුකර ඇත්තේ වයස 18ට අඩු තරුණයන්ය.
• නිවාස ආක්‍රමඛ වලින් 52.6%ක් තරුණයන් විසින් සිදුකර ඇත.
• කොල්ලකෑම් වලින් 62.4%ක් තරුණ අපරාධකරුවන්ට අයත් විය.

වාර්ථාවන ආකාරයට, පොලිසිය දිනකට සාමාන්‍යයෙන් තරුණ කල්ලි සාමාජිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 4,300කට අධික චෝදනා ගොනු කර ඇත. සමස්ථයක් ලෙස තරුණ අපරාධ සිදුවීම් සංඛ්‍යාව වසර 15 කට වැඩිම මට්ටමට පැමිණ ඇත.

බලධාරීන් පවසන්නේ, බොහෝ අවස්ථාවලදී මෙම අපරාධ සම්බන්ධ වන්නේ නැවත නැවතත් අපරාධ කරන සුළු තරුණ කණ්ඩායම් සමඟ බවයි (repeat offenders).

මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ machete ලෙස හඳුන්වන දිගු කැපීමේ තල භාවිතය පිළිබඳවයි. Machete යනු සාමාන්‍යයෙන් කෘෂිකාර්මික සහ කැළෑ වැනි කටයුතු සඳහා භාවිතා කරන දිගු තලයක් සහිත කෙටි කඩුවක් වැනි මෙවලමකි. පඳුරු කපා ඉවත් කිරීම, උක් වගා කටයුතු සහ වෙනත් ගොවි කාර්යයන් සඳහා එය බොහෝ රටවල භාවිතා වේ. එහෙත්, මෑත කාලයේ ඇතැම් අපරාධ කණ්ඩායම් මෙම මෙවලම ආයුධයක් ලෙස භාවිතා කිරීම නිසා ආරක්ෂක අංශවල සැලකිල්ලට ලක්ව ඇත. පහුගිය කාලයේ වික්ටෝරියා ප්‍රාන්තයේ machete ආයුධ භාවිතය තහනම් කල අතර ජනතාව අතර තිබූ ආයුධ රජය විසින් එකතු කරන ලදී.

 

vw4589y7w49856

විශේෂඥයන් පෙන්වා දෙන්නේ තරුණ අපරාධ වර්ධනයට පවුල් අස්ථාවරතාව, පාසල් අත්හැරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම්, සමාජ මාධ්‍ය බලපෑම් සහ ආර්ථික-සමාජීය අභියෝග වැනි කරුණු දායක විය හැකි බවයි. කෙසේ වෙතත්, සියලු තරුණයන් හෝ යම් නිශ්චිත ජනවාර්ගික කණ්ඩායමක් මෙම අපරාධවලට සම්බන්ධ යැයි සාමාන්‍යකරණය කිරීම වැරදි බව ද ඔවුහු අවධාරණය කරති.

මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් වික්ටෝරියාව ඇතුලු ප්‍රාන්ත රජයන් සහ පොලිසිය ඇප නීති දැඩි කිරීම, නැවත අපරාධ කරන තරුණයන් පිළිබඳ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ ආයුධ සම්බන්ධ මෙහෙයුම් වැඩි කිරීම වැනි පියවර ගෙන ඇත.

මේ සිදුවීම් හේතුවෙන් ප්‍රජා ආරක්ෂාව, තරුණ අපරාධ වැළැක්වීම සහ සමාජමය මැදිහත්වීම් පිළිබඳ සංවාදය ඔස්ට්‍රේලියානු සමාජයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාව වැනි බටහිර රටවල පවතින අධික නිදහස සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ නීති රීති හේතුවෙන්, ඇතැම් දරුවන් දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදී යන බව රහසක් නොවේ. මේ රටවල කුඩා කාලයේදීම වැරදි මඟට යොමු වන දරුවන්ට පවා "ළමා අයිතිවාසිකම්" නමැති ආවරණය නිසා දැඩි විනයක් පැනවීමට දෙමාපියන්ට නොහැකි වේ. දරුවන්ගේ වැරදි සඳහා විකල්ප ක්‍රම ලෙස භාවිතා කිරීමට නිර්දේශ කරන්නේ නිශ්ශබ්දව සිටීමට සැලැස්වීම (Time-out), වරප්‍රසාද අහිමි කිරීම (Loss of privileges) සහ සාකච්ඡා කර වටහා දීමයි.

බොහෝ අපරාධ විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් සහ නීති ක්ෂේත්‍රයේ විශේෂඥයන් සලකන්නේ ලිහිල් දෙමාපියන් (දරුවන්ගේ හැසිරීම, සීමා සහ වගකීම් පිළිබඳ ප්‍රමාණවත් මගපෙන්වීමක් නොමැති වීම) සහ නීති ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා තරුණ අපරාධ වැඩිවීමට දායක විය හැකි ප්‍රධාන සාධක බවයි.

 

ymu99ototoo
පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ දෙමාපිය අධීක්ෂණය අඩු වීම, පාසල් පැමිණීම සහ මිතුරු සම්බන්ධතා පිළිබඳ දෙමාපිය අවධානය අඩුවීම, නිවසේ ස්ථාවර නීති හා සීමා නොතිබීම, පවුල් ගැටුම්, නොසලකා හැරීම හෝ අස්ථාවර පරිසරය වැනි කරුණු දරුවන්ගේ සහ තරුණයන්ගේ අපරාධ හැසිරීම් වැඩි සඳහා දායක වී ඇති බවය. කෙසේ වෙතත්, ලිහිල් නීති රීති තිබෙන සෑම පවුලකම දරුවන් අපරාධකරුවන් නොවන අතර, හොඳ දෙමාපියන් සිටින පවුල්වල ද සමහර විට තරුණයන් වැරදි මාර්ගයට යා හැකි බවද මතක තබා ගත යුකුය.

කාළයක් තිස්සේ වැඩි වෙන මේ අපරාධ රැල්ල මැඩ පැවැත්වීම සඳහා වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත “Adult Crime, Adult Time” නව නීති හදුන්වා දී ඇත. ඒ අනුව වැඩිහිටියෙකු කරන මට්ටමේ බරපතළ අපරාධයක් කළා නම්, වයස කුමක් වුවත් ප්‍රතිවිපාකත් වැඩිහිටියෙකුට මෙන් විය යුතුය.  මෙම නීති වල පොදු අරමුණ වන්නේ බාලවයස්කාර කණ්ඩායම් (Youth gangs) විසින් සිදුකරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉහළ යාම වැළැක්වීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමයි.

මෙම නීති 2024 දෙසැම්බර් සහ 2026 අප්‍රේල් අතර කාලය තුළ ක්වීන්ස්ලන්තය සහ වික්ටෝරියා ප්‍රාන්තවල සම්මත විය. මෙම අලුත් නීති යටතේ අපරාධ සඳහා අවුරුදු 14 ට වැඩි නව යෞවනයින් , වැඩිහිටියන් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ. මේ  හරහා ළමා අපරාධකරුවන්ට ඔවුන්ගේ අපරාධ සඳහා වගකිව යුතු ක්‍රියාවන් සඳහා ප්‍රතිවිපාක නැවත ස්ථාපිත කිරීම, වැඩිහිටියන්ට සමාන අපරාධ සිදු කරන විට සමාන දඬුවම් ලැබීමේ හැකියාව ලැබේ. 2026 අප්‍රේල් 23 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද නවතම “Adult crime, Adult time Bill”  හරහා අදාළ වැරදි සංඛ්‍යාව 47 දක්වා වැඩි කර ඇත.

මේ අපරාධ 47 ට දරුණු නිවාස ආක්‍රමණ, සන්නද්ධ මංකොල්ලකෑම්, මන්නා/ පිහි දරුණු ප්‍රචණ්ඩ ප්‍රහාර සහ මෝටර් රථ කොල්ලකෑම් වැනි දරුණු අපරාධ ඇතුළත් වේ. ඒ වැරදි සඳහා වයස අවුරුදු 14 සහ ඊට වැඩි යෞවනයන්ට එරෙහිව අධිකරණවල (ප්‍රාන්ත අධිකරණය වැනි) නඩු විභාග කළ හැකි වේ. බරපතල ප්‍රචණ්ඩකාරී අපරාධ සිදුකරන ළමුන් ළමා උසාවිය (Children’s Court) වෙනුවට වැඩිහිටියන් විනිශ්චය කරන ප්‍රාන්ත උසාවිය (County Court) වෙත යොමු කෙරේ.

yo9ot89t8
මේ වැරදි සඳහා කළින් දරුවන්ට තිබූ උපරිම වසර 3 වෙනුවට වසර 25 දක්වා හෝ උපරිම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට ද අධිකරණවලට අවසර ඇති අතර, දඬුවම් අඩු කිරීම සඳහා "යහපත් චරිතය" සලකා බැලීම අධිකරණය තහනම් කර ඇත. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම, නඩු විභාග වෙමින් පවතින හෝ දඬුවම් නියම වූ වැරදිකරුවන් ළමා රැඳවුම් මධ්‍යස්ථාන වලින් සෘජුවම වැඩිහිටි බන්ධනාගාර වෙත මාරු කරනු ලැබේ.

නව නීති ප්‍රථමයෙන්ම සම්මත කළේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයයි. එම නිසා දැනටමත් ඉහළ පෙළේ නඩු කිහිපයක් සඳහා දඬුවම් නියම කිරීම මෙම නව නීති හරහා සිදු කර ඇත. ඒ හරහා පළමු වරදකරුවන් වූයේ Allen Smillie නම් පුද්ගලයාගේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධ කැපී පෙනෙන නඩුවකිනි. එයත් ඇතුළුව, තරුණ වැරදිකරුවන් කිහිප දෙනෙකුටම ප්‍රාන්තයේ දැඩි දඬුවම් නියම කර තිබේ. 2026 මාර්තු අග දී, මෙම ප්‍රාන්තයේ පුළුල් කරන ලද නීති යටතේ මිනීමැරුම් චෝදනා එල්ල වූ එහි පළමු බාල වයස්කරු ලියාපදිංචි කළ අතර, අනිවාර්ය වැඩිහිටි දඬුවම් නියම කිරීමේ විධිවිධාන ක්‍රියාත්මක කළෝය.

වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු ක්‍රියාකාරී නඩුව වුනේ ඩැන්ඩිනොං හි ප්‍රචණ්ඩකාරී මෝටර් රථ පැහැරගැනීමක් සම්බන්ධයෙන් වැඩිහිටි ප්‍රාන්ත අධිකරණයේදී වරද පිළිගැනීමෙන් පසු 16 හැවිරිදි ගැහැණු ළමයෙකි. ඇය පිහියක් පෙන්වා මෝටර් රථයක් පැහැරගැනීම සම්බන්ධයෙන් වැරදිකාරිය විය. දඩුවම් නියම කිරීම මෙම ජූලි මාසයේදී සිදු වෘමට නියමිතයි.

මෙම නව නීති වල මූලික පරමාර්ථය ලෙස විද්වතුන් හදුන්වන්නේ වැරදි කිරීම වැළැක්වීමයි. දැඩි දඬුවම් මගින් තරුණ වැරදිකරුවන් නැවත නැවතත් මෝටර් රථ සොරකම් කිරීම සහ නිවාස ආක්‍රමණ වැනි බරපතල අපරාධ සිදු කිරීමෙන් වළක්වන බව ඒවා හඳුන්වා දුන් ප්‍රාන්ත රජයන් ඇතුළු යෝජකයින් තර්ක කරති.

ඒ වාගේම මෙම නෘති හරහා මහජන ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවන බව ඔවුන් පවසයි. භයානක පුද්ගලයින් දිගු කාලයක් වීදිවලින් ඈත් කර තැබීමෙන් ජනතාව සෘජුවම ආරක්ෂා කරන බව ආධාරකරුවන් විශ්වාස කරයි.

ඒ වාගේම මෙම රාමුවේ අරමුණ වන්නේ දඬුවම අපරාධයේ බරපතලකමට ගැලපෙන බව සහතික කිරීම, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ලබා දීමයි. තවද වයස අවුරුදු 14 සහ ඊට වැඩි යෞවනයන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හි බරපතලකම තේරුම් ගැනීමට තරම් වයසින් වැඩි බවත් වැඩිහිටියන්ට සමාන වගවීමේ ප්‍රමිතියකට ඔවුන් පත් කළ යුතු බවත් යෝජකයින් තර්ක කරති.

 

er334543545t

මෙම නව නීති වලට විරුද්ධ අය පවසන්නේ දරුවන්ගේ මොළය එම වයස් අවධියේදී තවමත් සංවර්ධනය වෙමින් පවතින නිසා ඔවුන් වැඩිහිටියන්ට සමානව වගකීම දරන්නේ නැති බවය. තවද බන්ධනාගාරවලට යැවීමෙන් පුනරුත්ථාපනය වීම වෙනුවට තවත් අපරාධකාරී විය හැකි බවත් දඬුවම පමණක් නොව, අධ්‍යාපනය සහ පුනරුත්ථාපනයද අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙති.

ආසියාතික දරුවන් හදා වඩා  ගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ "වැළැක්වීම" (Prevention) මුල් කරගෙනය.

දරුවෙකු වැරදි මඟකට, නරක මිතුරන් ඇසුරට හෝ මත්ද්‍රව්‍ය වලට යොමු වන බව පෙනෙන වහාම ආසියාතික දෙමාපියන් ඊට දැඩි ලෙස මැදිහත් වී පාලනය කරයි. තවද තමන් කරන වරදකින් පවුලේ කීර්ති නාමයට හානි වේය යන බිය සහ දෙමාපියන්ට ඇති ගරුත්වය නිසා ආසියාතික දරුවන් බහුතරයක් දරුණු අපරාධවලට යොමු වීම වැළකේ.

 

School Children 1200x675px 29 09 25 1000x600
ශ්‍රී ලාංකාව ඇතුලු ආසියානු සමාජය තුළ දරුවන් හැදීම හුදෙක් පවුලක වගකීමක් පමණක් නොව, ආගමික හා සංස්කෘතික වටිනාකම් සමඟ ගැඹුරින් බැඳුණු ක්‍රියාවලියකි. නවීන ලෝකයේ දරුවන්ගේ අවශ්‍යතා වෙනස් වෙමින් පැවතියද, බොහෝ ආසියාතික දෙමාපියන් තවමත් තම දරුවන්ගේ හැසිරීම්, ආකල්ප සහ ජීවිත වටිනාකම් ගොඩනැගීම ආගම සහ සංස්කෘතිය මත යම් පමණකින් රඳවයි.

විශේෂයෙන්ම බෞද්ධ ආභාෂය ශ්‍රී ලාංකික දෙමාපියන්ට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇත. මෛත්‍රිය, කරුණාව, ඉවසීම සහ සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම වැනි බෞද්ධ ඉගැන්වීම්, දරුවන්ගේ චරිත සංවර්ධනය සඳහා මූලික පදනමක් ලෙස සැලකේ. දරුවන්ට අනුන්ට ගරු කිරීමට, සත්‍යවාදී වීමට සහ වගකීම් සහිත පුද්ගලයන් ලෙස වර්ධනය කර වීමට දෙමාපියන් උත්සාහ කරන්නේ මෙම වටිනාකම් මත පදනම්වය.

ආගමට අමතරව ශ්‍රී ලාංකික සංස්කෘතියද මෙයට විශාල රුකුලක් සපයයි. විස්තෘත පවුල් ආකෘතියේ මුත්තනුවන් මිත්තනියන් සහ අනෙකුත් ඥාතීන්ගේ සහභාගිත්වය නිසා දරුවන්ගේ රැකවරණය සහ මඟපෙන්වීම පවුලේ සාමූහික වගකීමක් බවට පත්වේ. මෙම සමීප පවුල් බැඳීම් දරුවන්ට ආරක්ෂිත සහ සමාජීය වශයෙන් ශක්තිමත් පරිසරයක් ලබා දීමට උපකාරී වේ.

දරුවෙකු දරුණු අපරාධකරුවෙකු වී, සමාජයත් විනාශ කර, තමන්ගේ ජීවිතයෙන් වසර විසි තිහක් සිරගෙයක ගෙවනවාට වඩා, කුඩා කලදීම දෙමාපියන් සහ පවුල යටතේ පාලනයක් සහ විනයක් ඇති කිරීම කොතරම් අගනේදැයි මෙයින් පැහැදිලි වේ. මෙලෙස රජයකට "Adult Crime, Adult Time" වැනි නීති ගෙන එමින් වයස අවුරුදු 14 ට වැඩි දරුවන්ට වසර 25ක සිරදඬුවම් නියම කිරීමට සිදු වී ඇත්තේ, කුඩා කල විනයක් නොලැබූ දරුවන්ගෙන් මහජනතාව ආරක්ෂා කිරීමේ අවසාන විකල්පය වශයෙනි.

නමුත් ශ්‍රී ලංකාව ඇතුලු ආසියාතික රටවල ක්‍රමයේද අන්තවාදී පැත්තක් ඇත. ඇතැම් දෙමාපියන් විනය නාමයෙන් සිදුකරන දැඩි කායික හිංසන (Physical abuse) සහ අධික පාලනය නිසා දරුවන් තුළ දැඩි බියක්, කෝපයක් සහ අඩු ආත්ම අභිමානයක් ඇති විය හැකිය. මෙය දරුවන්ගේ නීරෝගී කායික හා මානසික වර්ධණයට අහිතකාරී ලෙස බලපායි. එය වළක්වාලීමට ප්‍රමාණවත් නීති හෝ තිබෙන නීති නිසි පරිදි ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් අප රටේ නැත.

ඒ වාගේම නවීන සමාජයේ ඇති අභියෝග ද නොසලකා හැරිය නොහැක. අධ්‍යාපනික ජයග්‍රහණ සඳහා ඇති දැඩි තරගකාරීත්වය, සමාජ අපේක්ෂාවන් සහ ඩිජිටල් තාක්ෂණයේ බලපෑම නිසා දෙමාපියන්ට නව ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇත. එවැනි පසුබිමක, සම්ප්‍රදායික වටිනාකම් සහ නවීන දැනුම අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

vb5w45ws
ශ්‍රී ලංකාව ඇතුලු ආසියාතික ක්‍රමවේදයන්,  ආගමික පසුබිම සහ සංස්කෘතිය දරුවන්ගේ යහපත් වර්ධණයට තවමත් ශක්තිමත් පදනමක් සපයන බව පැහැදිලිය. එහෙත් එම වටිනාකම් නවීන ලෝකයේ යථාර්ථයන් සමඟ ගැළපෙන අයුරින් යොදා ගැනීම, අනාගත පරපුර ගොඩනැගීමේ ප්‍රධාන අභියෝගය වනු ඇත.

එසේනම් නූතන ලෝකයට ගැළපෙන මැද මාවතක් අප තෝරා ගත යුතුය. “Adult Crime, Adult Crime" වැනි ඉරපතල අඳුරු නීතිමය ඉරණමකින් අපේ දරුවන් මුදා ගැනීමට නම්, වර්තමාන සමාජයට වඩාත්ම ගැළපෙන්නේ මේ ක්‍රම දෙකෙහිම එකතුවකි. එනම්, ආසියාතික ක්‍රමයෙන් තුලින් දරුවාට කුඩා කල සිටම පැහැදිලි සීමාවන් පැනවීම, පවුලේ වගකීම සහ දැඩි විනය හුරු කිරීම කල යුකුට. එසේම බටහිර ක්‍රමය අභාෂයට ගෙන කායික දඩුවම් වෙනුවට, දරුවාගේ හැඟීම් වලට ගරු කරමින් මිත්‍රශීලීව වැරදි වටහා දීම (Positive Discipline) තුලින් දරුවා යහ මගට ගැනීමට කටයුතු කල හැක.

හොද්දක් රස වීමට නිසි ප්‍රමාණයට හැඳි ගෑම අවශ්‍ය වන්නා සේම, දරුවන් ඇතිදැඩි කිරීමේදීද විනය සහ නිදහස අතර සමබරතාවය රැකගත යුතුය. පමණට වඩා පාලනය කිරීම හෝ පාලනයෙන් තොරව නිදහස දීම දරුවාගේ විනාශයට හේතු වේ. දෙමාපියන් කුඩා කල සිටම මෙම සමබරතාවය රැක ගැනීමට අපොහොසත් වුවහොත්, අවසානයේදී බාලවයස්කාර අපරාධ වැළැක්වීම සඳහා සෑම රටකටම “Adult Crime, Adult Time” වැනි දැඩි නීති හඳුන්වා දීමට සිදුවන බව අවධාරණය කල යුතුමය.

Rasika Kumarasingha(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)

ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය

rasikuma@yahoo.com

උපුටාගැනීම ; මව්බිම පුවත්පතින්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...