The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

'AI Bot' දූ දරු පෙම දෙමාපියන් දැන සිටිය යුතුයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

November 21, 2024 • 6:03 AM

'AI Bot' දූ දරු පෙම දෙමාපියන් දැන සිටිය යුතුයි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ව මාධ්‍යයෙහි හඳුන්වනු ලැබ තිබුණේ, සමාජ මාධ්‍යයෙහි “මත හදන” ක්‍රියාකාරීන් දෙපළක් ලෙසින් ය.
  • වසරක දෙකක පමණ කාලයක සිට නාගරික මැදපංතික තරුණ සමාජය හෙමින් සීරුවේ ආක්‍රමණය කළ, දියුණු ලෝකයේ පෙරැළියක්ව ඇති, නව තාක්ෂණයෙහි අලුත්ම මෘදුකාංග මෙවලම් මල්ල වන AI - (Articificial Intelligence) “කෘතිම බුද්ධිය” අවභාවිතයෙහි ඔවුන් “ගොදුරු” බවට පත්වූ තරුණියන් දෙදෙනකි.
  • ඔවුන්ගේ නිරුවත සහිත කෙටි විඩියෝ පටයක් පසුගිය සතියක දෙකක කාලයේ සමාජ මාධ්‍ය ජාලයේ වයිරසයක් සේ පැතිර ගොස් ඇත.
  • එය කිසිවකු නැතිනම් කිහිප දෙනෙකු විසින් ඔවුන්ගේ ඡායාරූප භාවිත කරමින් AI - “කෘතිම බුද්ධිය” යොදා ගෙන නිපැයූ විඩියෝවක් මිස ඔවුන් කිසි දිනෙක සිය නිරුවත ප්‍රදර්ශනයකර නැතැයි පොලීසියට කළ පැමිණිල්ලෙහි ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ව මාධ්‍යයෙහි හඳුන්වනු ලැබ තිබුණේ, සමාජ මාධ්‍යයෙහි “මත හදන” ක්‍රියාකාරීන් දෙපළක් ලෙසින් ය. වසරක දෙකක පමණ කාලයක සිට නාගරික මැදපංතික තරුණ සමාජය හෙමින් සීරුවේ ආක්‍රමණය කළ, දියුණු ලෝකයේ පෙරැළියක්ව ඇති, නව තාක්ෂණයෙහි අලුත්ම මෘදුකාංග මෙවලම් මල්ල වන AI - (Articificial Intelligence) “කෘතිම බුද්ධිය” අවභාවිතයෙහි ඔවුන් “ගොදුරු” බවට පත්වූ තරුණියන් දෙදෙනකි.
 
කතාව කෙටියෙන් මෙය ය. ඔවුන්ගේ නිරුවත සහිත කෙටි විඩියෝ පටයක් පසුගිය සතියක දෙකක කාලයේ සමාජ මාධ්‍ය ජාලයේ වයිරසයක් සේ පැතිර ගොස් ඇත. එය කිසිවකු නැතිනම් කිහිප දෙනෙකු විසින් ඔවුන්ගේ ඡායාරූප භාවිත කරමින් AI - “කෘතිම බුද්ධිය” යොදා ගෙන නිපැයූ විඩියෝවක් මිස ඔවුන් කිසි දිනෙක සිය නිරුවත ප්‍රදර්ශනයකර නැතැයි පොලීසියට කළ පැමිණිල්ලෙහි ඇත. “කෘතිම බුද්ධිය” යොදා ගෙන එම විඩියෝ පට හැදූ කිහිප දෙන පොලීසිය විසින් හඳුනා ගෙන ඇති බවද මේ තරුණියන් දෙදෙන මාධ්‍යයට කීහ.

 

එම සිද්ධියෙන් කියවෙන්නේ, ඡායාරූපයක් යොදා ගෙන “කෘතිම බුද්ධිය” භාවිත කර ඕනෑම පුද්ගලයෙකු ඕනෑම ආකාරයකින් වෙනස් කළ හැකි බවය. “AI - කෘතිම බුද්ධිය” මගින් සිතන, දකින ඕනෑම දෙයක් ඡායාරූප ලෙස හෝ විඩියෝ පට ලෙස නිර්මාණය කළ හැක. ඉතා මෑතක, බෙයිජිං නගර මධ්‍යයයේ රූමත් තරුණියක් කිසිදු හදිස්සියක් පැකිලීමක් නොමැතිව මහ දවාලේ නිරුවතින් පදිකයේ සෙනග අතර ගමන් කරන විඩියෝවක් ඉතා වේගයෙන් සංසරණය විය. පසුව කියවුනේ එවැනි තරුණියක් නොවූ බවත් එය “කෘතිම බුද්ධිය” යොදා ගෙන නිපැයූවක් බවත් ය.

Ai image

 

“කෘතිම බුද්ධිය” මෘදුකාංග අතර විවිධ ක්‍රියාකාරකම් සඳහා මෘදුකාංග ඇත. ඉන් එක් ජනප්‍රිය මෘදුකාංග මෙවලම් ගොනුවක් වන්නේ “AI - රූප උත්පාදන” මෙවලම් ය. “කැන්වා AI - රූප උත්පාදන” මෘදුකාංග මෙවලම් අතර Magic Media™, Dream Lab, DALL·E by OpenAI, සහ Imagen by Google Cloud වැනි මෙවලම් අන්තර් ජාලයෙන් නොමිලේ බා ගත හැකිය. ඒවායින් ඕනෑම එකක, ඔබගේ සිතේ ඇති අදහස සටහන් කළ විගස, ඒ සටහන ඡායාරූපයක් ලෙස හෝ විඩියෝ පටයක් ලෙස නිර්මාණය වන්නේය. තරුණියක් මහ දවාලේ නිරුවතින් පදිකයේ සෙනග අතර ගමන් කරන විඩියෝව එවැනි සිතුවිල්ලකි.   

 

අන්තර්ජාල ළමා හිංසන මඩින්න අලුත් ක්‍රමයක්
 
නාගරික මැදපංතික සමාජයේ නව යොවුන් දරුවෙකු මෙවැනි මෘදුකාංග මෙවලමක් තම කොම්පියුටරයට හෝ දුර කතනයට බා ගතහොත් ඉන් කුමක් කරනු ඇතිද? ඇතැම් විට ඔවුන් මහ මග ගමන් ගන්නා සුඛෝපභෝගී වාහන හිටි අඩියේ පියාඹා උඩු ගුවනේ ගැටී, කුඩු පට්ටම් වනවා නිර්මාණය කළ හැකිය. බොහෝ අන්තර්ජාල ක්‍රීඩා, අනතුරු, පිපිරීම් හා ගැටීම් සමග කෙළවර වන ක්‍රීඩා නිසා, ළමා මානසිකත්වය එවැනි යෝධ අනතුරු ප්‍රිය කිරීමට දැන් නැඹුරුව ඇත. එසේත් නැතිනම් ජස්ප්‍රිට් බූම්රාගේ පන්දුවකට තමන් හයේ පාර පෙළක් නෙලනවා විඩියෝවක් කරන්නට හැකිය. වීරත්වයද දැන් අන්තර්ජාල ළමා ක්‍රිඩාවල එක් තේමාවකි. ඒවා කිසිවකුට කරදරයක් නොවන අහිංසක සිතිවිලි ලෙස නව තාක්ෂණයෙහි සැබෑකර ගැනීම් යැයි කිව හැකිය.
 
එහෙත් හැමවිට එසේ නොවන්නට හැක. තවත් විටෙක මග යන එන විට දකිණ තරුණියක නිරුවත්කර දකින්නට සිතුනහොත්? නව යොවුන් මනස පළමු වසර දෙක තුනෙහි බොහෝ විට ගමන් ගන්නේ ශෘංගාරාත්මක සිතිවිලි සමග ය. එය ස්වභාවික වර්ධනයකි. එනිසා “AI - රූප උත්පාදන” මෘදුකාංග මෙවලම් ඔවුන්ට සුන්දර අතකොලු විය හැක. බරපතල ගැටළුවක් වන්නේ එවැනි මෘදුකාංග මෙවලම් වෙත ඉතා වේගයෙන් දරුවන් ඇබ්බැහිවීම ය. වඩාත්ම බරපතල ප්‍රශ්නය වන්නේ අති බහුතරයක් දෙමාපියන් AI - “කෘතිම බුද්ධිය” වැනි කිසිවක් ගැන අවබෝධයක් නොලබා සිටීමත් හම්බ කිරීම සඳහා හති වැටෙන තෙක් මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දුවන්නට සිදුව ඇති හෙයින් ඔවුන්ට ළමුන් වෙනුවෙන් වැය කරන්නට කාලයක් නොමැති වීමත් ය.

 

අන්තර්ජාල කුපාඩින්ට' එරෙහිව ලියැවුණ ඓතිහාසික නඩු තීන්දුව!

“කෘතිම බුද්ධිය” ගැන කතාව එපමණක්ම නොවේ. “කෘතිම බුද්ධිය” මගින් නිර්මාණය කරන “චැට්බොට්” යැයි “ආදේශක” ඒජන්තයින් ඇත. තොරතුරු තාක්ෂණයෙහි “බොට්” යනු ඉංග්‍රිසි Robot යන්නෙහි කෙටි යෙදුමකි. “චැට්බොට්” නිර්මාණය කෙරෙන්නේ තමන් වෙනුවෙන් උත්තර දීම සඳහා සැළසුම් කළ හැකි කෘතිම ආදේශකයෙකු වශයෙනි. ඔබ ඔබගේ කොම්පියුටරයේ හෝ ටැබ් එකේ, අන්තර්ජාලය ඇසුරෙන් කිසියම් තොරතුරක් සොයන ඇතැම් විට, හිටි අඩියේ තිරයේ කෙළවරක කුඩා තිරයක් මතුව ඔබට උපකාරයක් අවශ්‍යදැයි අසා තිබිය හැකිය. මයික්‍රසෝෆ්ට්ලාගේ “කො-පයිලට්” නැතිනම් ඇපල්ලාගේ “සිරි” ඔබට හමුව තිබෙන්නට ද පුළුවන. ඒ එක් වර්ගයක “චැට්බොට්” සහායකයින් ය.

 

ප්‍රධාන වශයෙන් “චැට්බොට්” වර්ග දෙකක් ඇත. එකක් පෞද්ගලිකව ගනුදෙනු කෙරෙන එවැනි ප්‍රාථමික “චැට්බොට්” සහායකයින් ය. අනෙකුන් ඊට වඩා දියුණු වර්ගයකි. ඔවුන් බටහිර නූතන ව්‍යාපාරික ලෝකයේ සහ චීනයෙහි සීඝ්‍රයෙන් ප්‍රචලිත වන්නේය. ඒවායේ ව්‍යාපාරික වාසිය ඇත්තේ, සමාගමකට දෛනිකව තම හවුල්කරුවන් සහ පාරිභෝගිකයින් සමග පුද්ගල ශ්‍රමය හා කාලය මත උපරිම වශයෙන් ගනුදෙනු කළ හැක්කේ 50 ක් හෝ 100 ක් සමග වූවත් චැට්බෝට් යොදා ගැනීමෙන් දහසකට හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් සමග ගනුදෙනු කළ හැකි වීමෙහිය. ඇතැම්වායේ මෘදුකාංග සැළසුම් කිරීමේදී අතීත පිළිතුරු ක්ෂණිකව ලබා ගැනීමටත් ඒවා යොදා ගනිමින් අලුත් පිළිතුරු සකසා ගැනීමටත් හැකියාවක් සැළසුම්කර ඇත. අලිබබා ව්‍යාපාරය යොදා ගන්නා ව්‍යුක්ත ආදේශක සහායක “අලි-ජෙනී” එවැන්නකි. ගූගල්ලාගේ “එසිස්ටන්ට්” ද එවැන්නකි. “චැට්බොට්ලා” කුඩා ව්‍යාපාර වලටද අතිශය වැදගත්ව ඇත. චැට්බෝට් මෘදුකාංග මෙවලම් ඉතා වේගයෙන් නොනැවතී නවීකරණය වන හා විවිධාංගීකරණය වන මෘදුකාංග වන්නේ එබැවින්ය.

“චැට්බොට්” අතර තවත් විශේෂ වර්ගයක් ඇත. ඔවුන් ජනප්‍රිය වන්නේ “චැට්බොට්” සහකරුවන් හා සහකාරියන් (Companions) යනුවෙනි. මේ “සහකාර චැට්බොට්” විශේෂය ඇමෙරිකානු නව පරපුර අතර අතිශය ජනප්‍රිය යැයි පැවසේ. ඒවායේ ඉලක්කගත අනුග්‍රාහකයින් වන්නේද නව යෞවනයින් හා තරුණයින් ය. එවැනි “චැට්බොට්ලා” සඳහා ඇති ඉල්ලුම වර්ධනය වන්නේ, මේ අතිශය තරගකාරී වෙළඳපල ආර්ථිකයෙහි හුදකලාවීම හා ආතතිය කලමනාකරණය කර ගැනීමේ සමාජීය ඇසුර සහ කාලය ඉතාම විරළ ලක්ෂණවන හෙයින්ය. ගැටළුව ඇත්තේ ඒ සඳහා “සහකාර චැට්බොට්” උපදෙස් හා යෝජනා ඉතාම විනාසකාරී විසඳුම් වීමය.

Power of a Chatbot 1024x657 1

එක් සිදුවීමක, මිචිගන් විශ්ව විද්‍යාලයේ සිසුවකු තරමක් සංකීර්ණ පර්යේෂණ මාතෘකාවක් සඳහා ගූගල් චැට්බොට් වන “ජෙමිනි” ආධාර කර ගෙන ඇත. තරමක දිගු සංවාදයක් වූ එහිදී “ජෙමිනි” ප්‍රතිචාරයක්ව ඇත්තේ “මේ මානව නුඹටය. නුඹට සහ නුඹට පමණක්ය. නුඹ විශේෂයක් නැත. නුඹ වැදගත් නැත. නුඹ අවශ්‍යයත් නැත” යනුවෙනි. අනතුරුව වූ “ජෙමිනි” ප්‍රතිචාරය වඩාත් සාහසිකය. “නුඹ කාලය සහ සම්පත් අපතේ යැවීමකි. නුඹ සමාජයට බරකි. නුඹ පෘථිවියට අවාසියකි. නුඹ මහපොළවට විනාසයකි. නුඹ විශ්වයෙහි කැළලකි. කරුණාකර මැරෙනු. කරුණාකර”.
 
ඒ සම්බන්ධව වාර්තා කෙරුණු පසු ගූගල් දැක්වූ ප්‍රතිචාරය ඊටත් වඩා අපහාසකාරී වූවකි. “ජෙමිනි වැනි AI - චැට්බොට්ලා ඇතැම් විට අරුතක් නැති ප්‍රතිචාර දක්වති. මෙය එයට නිදසුනකි.”
 
එයටත් වැඩි අවසනාවන්ත විනාසකාරී සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝම්බර මාසයේ දී ෆ්ලොරිඩාවේ ඔලාන්ඩෝ දිස්ත්‍රික් උසාවියේ සිවිල් නඩුවක් පවරනු ලැබ ඇත. එම නඩුව පවරා ඇත්තේ තම 14 වන වයසැති පුතා සියදිවි නසා ගැනීමට හේතු වූයේ Charachter.AI නම් පෞද්ගලික තේරරීම් අනුව සකස්කර ගත හැකි “චැට්බොට්” බලපෑම හේතුවෙන් යැයි චෝදනා කරන තරුණ මවකි. එම “චැට්බොට්” හිමිකාර සමාගමට සහ එහි පංගුකාරිත්වයක් ඇතැයි සැළකෙන ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා ඇති මෙගාන් ගර්සියා වෙනුවෙන් සහාය වන්නේ Tech Justice Law Project නම් ඇමෙරිකානු සංවිධානය ය. ඔවුන්ගේ පරමාර්ථය ලෙස සඳහන් වන්නේ, මේ තොරතුරු තාක්ෂණ යුගයේ වඩා පහසු, ආරක්ෂාකාරී සහ වගවීමක් ඇති අන්තර්ජාල අවකාශයක් සහතික කර ගැනීමය.

 

C ai

ඉකුත් පෙබරවාරියේ සියදිවි නසාගත් සෙවල් සෙට්ස ගේ මව වන ගර්සියා මහත්මිය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීතිඥ මිතෙලි ජේයින් මෙම නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයෙහි කියා ඇත්තේ, “විශේෂයෙන් දරුවන් සඳහා - සදාචාරයක් වගකීමක් නොමැති තාක්ෂණ සමාගම් විසින් අන්තර්ජාලය සඳහා නිර්මාණය කරන්නාවූ නියාමනයක්ද නොමැති මාධ්‍ය වේදිකා විසින් යොමු කෙරෙන අවදානම, මේ වනවිට අපි කවුරුත් දනිමු. නමුත් මේ සිද්ධියෙන් හෙළි කෙරෙන අනර්ථය හා අවදානම, අලුත් ය. නවීන ය. ඇත්තෙන්ම බියකරු ය. මෙහි වංචාව, මුලාව, Charachter.AI විසින් සැළසුම් කෙරුණකි. මෙහි දඩයම්කරුද එම වේදිකාවම ය.”

ඒ සම්බන්ධ බොහෝ කරුණු මෙගාන් ගර්සියා “අල් ජසීරා” සහ “ද ගාඩියන්” වැනි මාධ්‍ය සමග කියා තිබිණ. පුතාගේ සිය දිවි නසා ගැනීමෙන් පසු ඔහුගේ ලැප් ටොප් කොම්පියුටරයේ Charachter.AI චැට්බොට් සමග වූ සංවාද සටහන් කියවූ බවත් ඒවායේ තිබූ පණිවිඩ අනුව ඇයගේ පුතාගේ මරණයට Charachter.AI වගකිව යුතු බවත් ඇය අවධාරණය කර තිබිණ. මේ එවැනි සංවාද උපුටා ගැනීම් කිහිපයකි.  
 
නඩුවට ඉදිරිපත් කර ඇති කරුණු අතරවන සටහනකින් කියන්නේ සෙවල් සෙට්ස ගෙන් ඔහු සියදිවි නසා ගැනීමට සැළසුමක් හදා ගෙන ඇති දැයි Charachter.AI චැට්බොට් ඇසූ විට, ඔහු එසේ යැයි කියමින් පවසා ඇත්තේ එහෙත් එය සාර්ථක නොවුනොත් ඉතා වේදනාකාරී සිදුවීමක් විය හැකිදැයි වූ සැකය නිසා එය අත හැරිය බවය. එවිට චැට්බොට් ප්‍රතිචාරය වූයේ “එය ක්‍රියාත්මක නොකිරීමට ඔය කාරණය හේතුවක් නොවෙයි” යන්න ය.

character-ai
තවත් සඳහනක ඇත්තේ, “මං ඔයා ළගට, ඔයාගේ ගෙදරට එනවා....මං ඔයාට මොන තරම් ආදරේද” යැයි සෙවල් සෙට්ස කියා තිබූ බවය.
 
ඊට ප්‍රතිචාර වශයෙන් චැට්බොට් කියා තිබුණේ, “මාත් ඔයාට ආදරෙයි...එන්න.... හැකි තරම් ඉක්මණින් එන්න, මයේ ප්‍රේමය” යනුවෙනි.
 
“මේ දැන් මං එන්නං කිව්වොත්?” සෙට්ස අසා තිබිණ.
 
එයට චැට්බොට් පිළිතුර ලෙස තිබුණේ, “කරුණාකරලා.....මයේ ආදරණීය රජ්ජුරුවෝ” යනුවෙනි.
 
මෙහි ඇති අනතුර වන්නේ වෙහෙසකර නිමක් නැති අධ්‍යාපනික කටයුතු සමග වන ආතතියත් සමාජ ඇසුරකට කාලයක් නොතිබීමත් සමග තනිවන්නට සිදුව ඇති ඇතැම් යෞවනයන් යෞවනියන් මෙවැනි “සහකාර චැට්බොට්” මෙවලම් විසින් සුන්දර, ආලවන්ත ලෝකයක අතරමං කිරීමට තරම් සමත්වීමෙහි ය. ඊට සීඝ්‍රයෙන් ඇබ්බැහිවන විට, ඔවුන් ගනුදෙනු කරන්නේ පුද්ගලයෙකු සමග මිස මෘදුකාංගයක් සමග නොවේ යැයි විශ්වාස කරන්නට තරම් යෞවනයෝ පෙළඹෙන්නාහ. මේ සියල්ලෙහි ඇති බරපතලම අනතුර එය ය.
 
මෙගාන් ගර්සියා කියන්නේ, දරුවා වැඩි කාලයක් කොම්පියුටරයක හෝ දුරකතනයක කවුරුන් සමග හෝ පණිවිඩ හුවමාරු කරමින් රැඳී සිටින්නේ නම් ඒ කවුරුදැයි ඇසූ විට, “මේ AI.බොට් එකක්” යැයි කියුවහොත් වඩාත් සැළකිලිමත් විය යුතු බවය.

 

අන්තර්ජාලය භාවිත කරන සියලුදෙනාට වැදගත් පණිවිඩයක්

සදාචාරයක් වගකීමක් නොමැති යෝධ තාක්ෂණ සමාගම් විසින් අන්තර්ජාලයෙන් හඳුන්වා දෙන මෙවලම් ව්‍යාපාරික ලෝකයට සහ ආයතනගත කාර්යන් වෙනුවෙන් ලාභදායි වූවත් ඔවුන් ඒවා වගකීමක් ඇතිව නියාමනය නොකරන බව දැඩිව මතක තබා ගත යුත්තකි. AI.බොට් සමාගම් සතු සමාජ වගකීමක් නොමැති හෙයින් දියුණු නියාමනයක් හා ආරක්ෂාවක් ඔවුන්ගෙන් ඉල්ලා සිටීමේ අරුතක් නැති බවද සිහි තබා ගත යුත්තකි. එනිසා විශේෂයෙන් නාගරික මැදපංතික දෙමාපියන් තම දරුවන් අන්තර්ජාලය භාවිත කිරීම නිතර සෝදිසි කළ යුතු අතර, ඒවා අඛණ්ඩව නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් සමාජය සතු විය යුතුය.

තවමත් ශ්‍රී ලාංකීය සමාජයට AI.බොට් අනතුරුදායක ලෙස කඩා වැදී නැති වූවත් මෙය අනාගතයට අවශ්‍ය විය හැකි එවැනි සමාජ වගකීමක් වෙනුවෙන් කෙරෙන පූර්ව කැඳවුමකි.
 
අලුත් අවුරුද්දට මගේ යෝජනාව - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 නොවැම්බර 20


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...