The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

AI ඩීප්ෆේක්ස් : සමාජය අල්ලේ නටවන්නට අලුතින්ම වේදිකා ගතවන නවීන පන්නයේ මහාමුලාව - (අභිෂේකා වාසල බණ්ඩාර)

T

The Leader Desk

December 16, 2024 • 12:49 PM

AI ඩීප්ෆේක්ස් : සමාජය අල්ලේ නටවන්නට අලුතින්ම වේදිකා ගතවන නවීන පන්නයේ මහාමුලාව - (අභිෂේකා වාසල බණ්ඩාර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ ඔළුවේ වැඩ කළේම ඒ හදපු ෆොටෝ එක හැමෝම ළඟ තියෙනවා කියලා.
  • බස් එකක යනවා තියා ගෙදරින් එළියට බහින්නවත් මම බයවුණා," අප සමඟ මේ බව කියා සිටියේ මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින තරුණියකි.
  • සිය අනුදැනුමකින් තොරව ගන්නා ලද ඡායාරූපයක් යොදාගෙන උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ ඩීප්ෆේක් ඡායාරූපයක් නිසා කලක් මානසිකව පීඩා විඳි ඇය තම අනන්‍යතාව හෙළි නොකරන ලෙස අපගෙන් ඉල්ලා සිටියාය.
  • එහි බලපෑමෙන් සමාජයක් වින්දිතභාවයට පත්වීමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

මගේ ඔළුවේ වැඩ කළේම ඒ හදපු ෆොටෝ එක හැමෝම ළඟ තියෙනවා කියලා. බස් එකක යනවා තියා ගෙදරින් එළියට බහින්නවත් මම බයවුණා," අප සමඟ මේ බව කියා සිටියේ මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින තරුණියකි. සිය අනුදැනුමකින් තොරව ගන්නා ලද ඡායාරූපයක් යොදාගෙන උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ ඩීප්ෆේක් ඡායාරූපයක් නිසා කලක් මානසිකව පීඩා විඳි ඇය තම අනන්‍යතාව හෙළි නොකරන ලෙස අපගෙන් ඉල්ලා සිටියාය.

"සිද්ධිය වුණ දවස්වල ඒ ගැන හිතලා වැඩිකමට සමහර වෙලාවල් තිබුණා මට මං ගැන විශ්වාසය නැතිවෙච්ච, ඩීප්ෆේක් නෙවෙයි මේ ඇත්තටම මගේ ෆොටෝ එකක් කියලා හිතිච්ච වෙලාවල් තියෙනවා."

 

උපකාරක පන්තියක සමවයස් තරුණයකුගෙන් ලද පෙම් ඇරයුමක් ප්‍රතික්ෂේප කිරීම මුල්කොටගෙන ඔහු විසින් මෙම තරුණියගේ මුහුණ යොදා නිර්මාණය කළ අඩ නිරුවත් ඩීප්ෆේක් ඡායාරූපයක් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ මිතුරන් අතර බෙදාහැරීම නිසා තමන් පිළිබඳ විශ්වාසය අහිමිවන තැනට ඇය මානසිකව කඩා වැටී තිබුණි. ව්‍යාකුලත්වයේ අන්තයට ගිය තැන මනෝ උපදේශනයේ සහය පැතීමට පවා ඇයට සිදුව තිබුණි.

"මගේ අම්මයි තාත්තයි ළඟම යාළුවොයි මාව විශ්වාස කරපු හන්දා තමයි අද මේ විදියට ඉන්න මට ඔලුව හදාගන්න පුළුවන් වුණේ."

දිනෙන් දින අතිශය සංකීර්ණ වෙන උත්පාදක කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අවභාවිතය නිසා වින්දිතභාවයට පත් වන්නේ කාන්තාවන් හෝ ළමුන් පමණක් නොවේ. එහි බලපෑමෙන් සමාජයක් වින්දිතභාවයට පත්වීමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඩීප්ෆේක්ස් එම අවදානම තවත් ඉහළ නංවයි.   

මොකක්ද මේ ඩීප්ෆේක්ස් ?

 

AI 3

ඩීප්ෆේක්ස් යනු උත්පාදක කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින්, එහි ඇති ඉතා සංකීර්ණ ලෙස යමක් විශ්ලේෂණය කිරීමේ, සියුම් ලෙස හඳුනා ගැනීමේ සහ වෙනස් කිරීමේ ඥාණය භාවිතයෙන් වීඩියෝවක්, ඡායාරූපයක්, හඬ පටයක් හෝ ලිඛිත යමක් සැබෑවක් යැයි හැඟෙන පරිදි උත්පාදනය කිරීම හෝ අන්‍ය ආකාර කිරීම යි. පුද්ගලයන් ප්‍රතිනිර්මාණය පමණක් නොව උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් සත්වයන්, කලාකෘති, සින්තටික් පරිසර, සිදුවීම් හෝ අවස්ථා සහිත සත්‍ය යැයි හැඟවෙන නිර්මාණ උත්පාදනය කිරීම ද ඩීප්ෆේක්ස් ලෙස හැඳින්විය හැකිය.

ඉතා තාත්වික ඩීප්ෆේක්ස් අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා බොහෝ විට මූලික වශයෙන් භාවිත වන්නේ Generative Adversarial Networks (GANs) වැනි යාන්ත්‍රික ඉගෙනුම් මොඩල යි. මෙවැනි මොඩල මගින් සිදු කරන්නේ පෙර ඉගෙනුම් දත්ත මත පදනම්ව අලුතින් යමක් නිර්මාණය කිරීම යි. GAN මොඩලයට සම්පූර්ණයෙන්ම පාහේ අලුත් දත්ත උත්පාදනය කිරීමේ හැකියාව පවතී. පහතින් පෙනෙන ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස උත්පාදනය කළ මිනිස් රූපයි.

artificial intelligence fake people faces promo 1605818328743 videoSixteenByNineJumbo1600 v3
කෙනකුගේ කටහඬ එලෙසින්ම අනුකරණයේ සිට හඬ, චලන, රූපය, හැඟීම්, ප්‍රකාශන සහිතව සම්පූර්ණ චරිතයක් මැවීම දක්වා ඉඩ පරාසයකට ඕනෑම කෙනෙකුට ගමන් කිරීමට මෙමගින් හැකියාව ලබාදී තිබේ. එසේම, ඩීප්ෆේක්ස් සැබෑ අන්තර්ගතයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීම දිනෙන් දින අතිශය දුෂ්කර වෙමින් පවතී.

spot deepfakes theleader

 
දෙපැත්ත කැපෙන පිහියක්?

තාක්ෂණය දෙපැත්ත කැපෙන පිහියක් ද නැති ද යන්න තීරණය වන්නේ එය හසුරුවන්නා ගේ අරමුණ අනුව යි. මෙම සින්තටික් මාධ්‍ය භාවිතය සුදු ද කළු ද යන්න තීරණය වන්නේ ත් හසුරුවන්නා ගේ අරමුණු අනුව ය. අධ්‍යාපනික පුහුණු අරමුණු, අභාවයට යන සංස්කෘතික උරුමයන් සුරැකීම, සන්නාම ප්‍රවර්ධනය මෙන්ම මනෝ මූලික වෛද්‍ය ප්‍රතිකාර වැනි අංශවලට අදාළව ද ඩීප්ෆේක්ස් භාවිතය ද ලොව තුළ ප්‍රශංසනීය මට්ටමක පවතියි.
 


ශ්‍රී ලංකා පොලිසිය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා මේ වනවිට ඩීප්ෆේක්ස් යොදාගන්නා අතර මෙරට මාධ්‍ය ආයතන ද පුවත් පළ කිරීම් සඳහා මෙම ඡායාරූප යොදා ගන්නා අයුරු දැකගැනීමට හැකිය. අප අතරින් වියෝ වූ එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන සහ සුනිල් පෙරේරා යන ජනාදරය දිනූ සංගීතවේදීන් සිව්දෙනා කෘත්‍රිම බුද්ධිය ඇසුරින් ප්‍රතිනිර්මාණය කරමින් නිර්මාණය වූ ජිවිත රක්ෂණ වෙළෙඳ දැන්වීමෙන් එම කලාකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම රසික පිරිස් ද සංවේදනයට පත්කළ බව ඔබට මතක ඇති. 
 


ඩීප්ෆේක්ස් වෛරල් වෙන්නේ ඇයි?
 
SM AI 6සමාජ මාධ්‍ය පෝස්ටු
මෙරට තුළ ඩීප්ෆේක්ස් සම්බන්ධයෙන් මෑතකාලීනව කතාබහට ලක් වන්නේ, කාන්තාවකගේ නිරුවත් අන්තර්ගතයන් ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවත් එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ වෛරල් වීමෙන් පසු වින්දිත කාන්තාව මාධ්‍ය හමුවේ එම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය ඇසුරින් සකස් කළ එකක් බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

විශේෂයෙන්ම, මෙරට ඩීප්ෆේක්ස් අන්තර්ගතයන් සහිත සමාජ මාධ්‍ය පළ කිරීම් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන කරුණක් වන්නේ වෙනත් පළ කිරීම්වලට සාපේක්ෂව ඒවාට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළ අගයක් ගන්නා බවයි. ඒවා බොහොමයක් සමාජ මාධ්‍ය පරිශීලකයන් නොමඟ යවන සුළු අන්තර්ගතයන් ය. ඇමරිකානු ව්‍යාපාරික ඊලෝන් මස්ක් මැක්ඩොනල්ඩ් සමාගම මිලදී ගත් බවට සඳහන් කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ වී තිබුණු ඩීප්ෆේක් පෝස්ටුවකට රිඇක්ෂන් 12,000 ගණනක්, කොමෙන්ටු 400 ගණනක් සහ ශෙයා කිරීම් 700 ගණනක් ලැබී තිබුණි. එම පිටුවේම පළ කර තිබූ වෙනත් පෝස්ටුවලට සාපේක්ෂව මෙම පෝස්ටුවට වැඩි වශයෙන් ප්‍රතිචාර ලැබී ඇති බව නිරීක්ෂණය කිරීමට හැකිවිය.
 
PHOTO 2024 12 16 08 44 10 copy
සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ මෙවැනි සින්තටික් නිර්මාණ මෙරට සමහර පුවත් වෙබ් අඩවි මෙන්ම පුවත්පත් වල ද පළ කර තිබුණේ ඒවා කෘත්‍රිම බුද්ධියෙන් උත්පාදනය කළ බවක් නොදැන එම සින්තටික් චරිතවල හැකියාව උත්කර්ෂයට නංවමිනි.   

mhnmPHOTO 2024 12 16 08 44 09මාධ්‍ය වාර්තා
දුස් තොරතුරු ව්‍යාප්තිය, ව්‍යාජ පළ කිරීම්, ප්‍රකාශන හිමිකම් ආශ්‍රිතව පැන නැගෙන ගැටලුකාරී තත්වයන්ට විසඳුමක් ලෙස මෙටා, ගූගල්, යූටියුබ්, මයික්‍රොසොෆ්ට් වැනි සමාජ මාධ්‍ය ජාල හිමිකාර සමාගම් කෘත්‍රිම බුද්ධියෙන් උත්පාදිත අන්තර්ගතයන් ලේබල් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අප වැනි රටවල එය ප්‍රායෝගිකව සිදු කෙරෙන්නේ ද යන්න ගැටළු සහගතය. එලෙස ලේබල් වී නැති කෘත්‍රිම බුද්ධි අන්තර්ගතයන් සුලබව සමාජ මාධ්‍ය ආශ්‍රිතව දක්නට ලැබීම ඊට හේතුවයි.
 
සමාජ මාධ්‍යවල පළ කෙරෙන ඩීප්ෆේක් අන්තර්ගතයන් නිසා පුද්ගල විශ්වාස, ආකල්පවල පැහැදිලි වෙනස්කම් ඇතිකරන අතර බොහෝවිට ඒවා අදාළ අන්තර්ගතයන් නිර්මාණය කෙරෙන පුද්ගලයන්ගේ අරමුණු අනුව හැඩ ගැසේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මේවා ඉදිරිපත් කරනවිට පරිශීලකයන් එයින් උත්තේජනයක් ලැබීමට ඇති ඉඩකඩ වැඩිවේ. එවිට සිදුවන්නේ අර්ථාන්විත කතිකා මගහරින සුළු, තොරතුරු සිඝ්‍රයෙන් ව්‍යාප්ත වීමකි.
ai 2 
සින්තටික් අන්තර්ගතයන් වැඩි වශයෙන් පළ කළ සමාජ මාධ්‍ය පරිශිලකයකුගේ ෆේස්බුක් පිටුවට ලැබී ඇති ප්‍රතිචාර සම්බන්ධයෙන් ඔහු පළ කර තිබුණේ මෙවැනි අදහසකි.

"මොනව හරි ක්‍රියේටිව් දෙයක්, වැදගත් දෙයක් දැම්මොත් ලොවෙත් රීච් වෙන්නේ නෑ .. මොකක් හරි විකාරයක් දාගෙන ඉන්නකොට මිලියන ගනනින් බලන්නේ...ඕන්නෞකයිප්‍රාස්නෙ ... මිලියන 11 කියන්නේ." 
 
sm ai 4
බොහොමයක් ඩීප්ෆේක් පෝස්ටු සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ හැඟීම් සන්තර්පණය කෙරෙන හෝ හැඟීම් අවුළුවන සුළු  ඒවා ය. හැඟීම්වලට ආමන්ත්‍රණය කරන මෙවැනි උත්පාදක කෘත්‍රිම බුද්ධි අන්තර්ගතයන් යොදාගෙන සමාජයක හැඟීම්, හැසිරීම්, ආකල්ප හැසිරවීමේ හැකියාවක් ඇති ද යන්න ගැන අපි සමාජ මාධ්‍ය පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව ගෙන් විමසා සිටියෙමු.
 
SM AI4සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ AI ඩීප්ෆේක් පෝස්ටුවලට ලැබී ඇති ප්‍රතිචාර
 
"උත්පාදක කෘත්‍රිම බුද්ධි අන්තර්ගතයන් කතා කරන්නේ බුද්ධියට නෙවෙයි හදවතට. හදවතින් මිනිස්සු හසුරවන එක Generative AI හරහා සුක්ෂ්ම විදියටත්, සමාජයකට බලපාන විදියට අති විශාල වශයෙන් නිෂ්පාදනය කරලත් කරන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක්, සියයක් දෙසියයක් නෙවෙයි මිලියන ගණනකට සමාජ මාධ්‍ය හරහා නොමිලේ සරල විදියට යමක් ව්‍යාප්ත කරන්නත්, නිෂ්පාදනය කරන්නත් Generative AI හරහා ඉඩ ලබාදී තියෙනවා. මැතිවරණ කාලයක, ප්‍රචණ්ඩත්වයක් ඇති අවස්ථාවක, පාර්ලිමේන්තු විවාද ඇති කාලයක, යම් ඛේදවාචකයක් වුණාට පස්සේ මේ වගේ විවිධ අවස්ථාවල ගෝලීය වශයෙන් වගේම දේශීය වශයෙන් බුද්ධියට නෙවෙයි ගැහෙන හදවතට දනවන්න, සමාජය හසුරවන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.  හරියට DJ කෙනෙක් සංගීතය හසුරවනවා වගේ Generative AI වලින් සමාජයක කෝපය, දුක, බිය මේ තුන හසුරවන්න පුළුවන්. ඕනෑම කෙනකුට එය කිරීමේ හැකියාව Generative AI වලින් ලබාදීලා තියෙනවා."
 
ඇත්ත බොරුව වෙන්කර හඳුනාගත නොහැකි සමාජයක් මානව ඉතිහාසයේ බිහිවෙලා නැහැ

නිරන්තරයෙන් ඩීප්ෆේක් අන්තර්ගතයන්ට නිරාවරණය වීමත්, ඒවා වෙන්කොට හඳුනාගැනීමට අපහසු වීමත් නිසා ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඒ සම්බන්ධයෙන් ආවේගාත්මක අදහස් පළ කර තිබෙන ආකාරය ද අපට දක්නට ලැබුණි. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් හැඟවෙන්නේ සින්තටික් නිර්මාණ අතර මංමුලා වූ ස්වභාවය කි.

SM AI1සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ AI ඩීප්ෆේක් පෝස්ටුවලට ලැබී ඇති ප්‍රතිචාර
2023-24 වර්ෂය සඳහා ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව ලොව දැනට පවතින අවදානම් දර්ශකයේ දෙවැනි ස්ථානය හිමිවන්නේ කෘත්‍රිම බුද්ධියෙන් උත්පාදිත දුස් තොරතුරු සහ ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙනි. එහි අවදානම 53%ක් ලෙස දැක්වේ.
 
Untitled 1
ඒ අනුව, ඩීප්ෆේක්ස්වලින් සමාජයට ඇති බලපෑම ගැන අපි ආචාර්ය සංජන හත්තොටුව ගෙන් විමසුවෙමු. 
 
aScreenshot 2024 12 16 at 08.31.18ආචාර්ය සංජන හත්තොටුව
"ඩීප්ෆේක්ස් කියන්නේ එක්කෝ ඇසීමෙන්, දැකීමෙන්, කියවීමෙන් අපිට බැලූ බැල්මට කියන්න බැහැ ඇත්ත ද නැත්ත ද කියලා. කවුරු හරි ලිව්වද, කළා ද එහෙමත් නැතිනම් මේක තනිකරම ප්‍රබන්ධයක් ද කියලා. තව අවුරුද්දකින් බැලුවම අද තියන තාක්ෂණය තනිකරම පැරණි දෙයක් කියලා හිතෙයි. මොකද එන්න එන්නම තාක්ෂණය අතිශය සීඝ්‍ර වශයෙන් දියුණු වෙමින් පවතිනවා. අද යමක් ඇත්තද නැත්තද කියලා තීරණය කරන්න අපහසු නම් අනිත් අවුරුද්දේ සම්පුර්ණයෙන්ම ඒ හැකියාව නැතිවෙනවා."
 
"සමාජයටම තියෙන ප්‍රශ්නයක් තමයි ඩීප්ෆේක්ස් කියලා ඒ වගේ නිර්මාණ ප්‍රචාරය වුණාම ඒක ගොඩක් දෙනෙක් බලනවා නම්, ඒක සාවද්‍ය තොරතුරක් ඇත්ත තොරතුරක් කියලා කියන්නේ කොහොම ද කියන එක? අපි ඇත්ත පුවතක් කියලා කියන්නේ බොරු පුවතක් කියලා කියවීමේ හැකියාව තියෙන නිසා. ඇත්ත කියන්නේ බොරුවේ තවත් පැතිකඩක්. බොරුවක් බොරුවක් ලෙස හඳුනා ගැනීමට අපිට නොහැකි නම් ඇත්ත ඇත්තක් ලෙස අපිට හඳුනා ගන්න බැහැ. ඇත්ත බොරුව වෙන්කර හඳුනාගත නොහැකි සමාජයක් මෙතෙක් මානව ඉතිහාසයේ ඇතිවෙලා නැහැ. බිහිවෙලා නැහැ. අපි ගමන් කරන්නේ ඒවගේ සමාජයකට. මේක අවුරුදු 10-20කින් වෙන දෙයක් නෙවෙයි. ඒ වගේ සමාජයක් බිහිවෙන්නේ තව අවුරුදු 2-3කින්. ලංකාවෙත් බටහිර ලෝකයේත්. පර්යේෂකයන් ලෙස අපිට මේක අලුත් ප්‍රශ්නයක්. කාටවත් උත්තරයක් නැහැ. නමුත් මෙය ගැඹුරු ප්‍රශ්නයක්."  
 
 

ඩීප්ෆේක්ස් පැමිණිලි ඉහළට 

2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ AI ඩීප්ෆේක්ස්වලට අදාලව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) පවසයි. 2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා පැමිණිලි දළ වශයෙන් 400ක් පමණ ලැබී ඇති බව එම සංසදයේ තොරුතුරු ආරක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා සඳහන් කරන්නී ය.

"ඩීප්ෆේක්ස්වලට අදාලව පළිගැනීම්, මූල්‍ය වංචා, ලිංගික හිංසන වගේ පැමිණිලි ලැබීමේ කාණ්ඩවල වැඩිවීමක් වෙලා තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. ඡායාරූප යොදාගෙන කරන අකටයුතුකම් ගැන තමයි ගොඩක් වෙලාවට පැමිණිලි එන්නේ. AI bots යොදාගෙන ඡායාරූප නිරුවත් ඒවාට හරවන සිදුවීම් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. ඒවා පාවිච්චි කරලා මුදල් වංචා කරන්න, එහෙමත් නැතිනම් විවිධ ස්ථානවලට ගෙන්නගන්න උත්සහ ගත් අවස්ථාවලට ඩීප්ෆේක් පාවිච්චි කරලා තියෙනවා."
 
thinuriතොරුතුරු ආරක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා
"ප්‍රධාන පෙළේ බැංකුවක නිළ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ්අඩවි හදන එක ලොකු ගැටළුවක් වෙලා තිබුණා. අපි ඒවගේ ව්‍යාජ වෙබ් අඩවි 12ක් ඉවත් කළා. ඒත් අයින් කරන්න කරන්න ආපහු හදනවා. Generative AIවලින් කෝඩින් කරන්න පහසු නිසා මේ තත්වේ එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. ඒවගේම නිරුවත් ඡායාරූප අයින් කරගන්න රජයෙන් කරනවා කියලා "SL Remove Service" නමින් ව්‍යාජ සේවාවක් විදියට පෙනී ඉඳිමින් මුලින් ඩීප්ෆේක්ස් යවලා උසස්පෙළ කරන වයසේ ළමයි ගෙන් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා ඔරිජිනල් ඡායාරූප ගෙන්න ගත්ත අවස්ථා ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. හරියටම තහවුරු කරගන්න නිරුවත් ඡායාරූප එවන්න කියලා තමයි මේවා ගෙන්නගෙන තියෙන්නේ. මේ වගේ අවස්ථාවල දී කිසිම විදියකට අනවශ්‍ය ලෙස කලබල වෙන්න හොඳ නැහැ. ආයතනයක් විදියට අපිට දෙන්න පුළුවන් උපදෙස තමයි මොනම විදියකටවත් ඡායාරූප වේවා කිසිම දත්තයක් පිටතට යවන්න එපා කියන එක. ඒ වගේ අවස්ථාවක දී අපේ ආයතනයට කතා කරන්න හරි ඇවිත් පැමිණිලි කරන්න හරි පුළුවන්. උපකාර අවශ්‍ය ඕනෑම කෙනෙක්ට ගතයුතු පියවර ගැන අපි දැනුවත් කරනවා."
 
ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් අපි මේ සම්බන්ධව විමසා තොරතුරු ඉල්ලීමක් (RTI) කළෙමු. එම අංශය ලබාදුන් තොරතුරු අනුව 2024 වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා AI ඩීප්ෆේක්ස්වලට අදාලව ලැබී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණකි. කෙසේ වෙතත්, පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත 2024 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා ස්ත්‍රී පුරුෂ කාණ්ඩ වශයෙන් ගත්විට පිලිවෙලින් පැමිණිලි 2226ක් සහ 2635ක්, ළමුන් සම්බන්ධ පැමිණිලි 38ක්, දුස් තොරතුරු හෝ ව්‍යාජ පුවත් ප්‍රචාරය සම්බන්ධයෙන් පැමිණිලි 161ක්, පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1239ක් ලැබී ඇති බවත් මෙම පැමිණිලි අතර AI ඩීප්ෆේක්ස් යොදාගැනීම් තිබිය හැකි නමුත් ඒවා වර්ගීකරණය කිරීම අපහසු බවත් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් අප සමඟ පැවසීය.
CamScanner 12 05 2024 12.06 page 0001
එසේම, ඉකුත් ජූලි මස පාර්ලිමේන්තුවේ දී පවා කතාබහට ලක්වුණු, කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් කරණීය මෙත්ත සූත්‍රය DJ කිරීමට අදාළ පැමිණිල්ල සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනත් අංශයක් විසින් මෙහෙයවන බවයි පරිගණක අපරාධ අංශය සඳහන් කළේ.

 



ඩීප්ෆේක්ස්වලට අදාලව ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබී ඇති එකම පැමිණිල්ල කාන්තා ලිංගික හිංසන සම්බන්ධ පැමිණිල්ලක් බැවින් අප පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයෙන් ද මේ පිළිබඳව විමසීමක් කර බැලුවෙමු. එම කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර අප සමඟ කියා සිටියේ AI ඩීප්ෆේක්ස් සම්බන්ධ පැමිණිලි කිසිවක් ලැබී නැති බවයි.
 
සමගාමී නීතියක් නැතිනම් හානිය සීමා කරන්න බැරිවෙයි
 
01 DIGනියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර
සමාජ විරෝධී දෑ ගොඩ නැගෙන විට ඊට සමගාමිව නීති සම්පාදනය විය යුතු බවත් එසේ නොවුණහොත් විය හැකි හානි සීමා කිරීම අපහසු විය හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පවසන්නී ය.

"සමහර AI කේස්වල වින්දිතයෙක් නැති වෙන්න පුළුවන්. පොඩි ළමයෙක්ගේ AI එකක් හැදුවොත් සමාජ තර්ජනයක් විදියට ගන්න පුළුවන් මොකද මිනිස්සු මේ වගේ දේවල් බලන්න ශෙයා කරන්න පෙළඹෙන නිසා. අසභ්‍ය දර්ශන වගේ සිදුවිමක නම් නීතියේ හැටියට බෙදාහැරිම තහනම් නිසා විමර්ශන කරන්න පුළුවන්. ඒත් විශේෂ නීතියක් එන්න ඕන. අසභ්‍ය ප්‍රකාශන විතරක් නෙවෙයි තව තව පැතිවලට මේවා අවභාවිත කරනවා. මේ අභියෝගයට මුහුණ දෙන්න දැනුවත් භාවය තියෙන්න ඕන. අනිත් රටවල සුදානම අධ්‍යනය කරලා අපි තාක්ෂණික වශයෙන් සුදානම් විය යුතුයි."
 
2021 වසරේ දී යුරෝපා කොමිසම ගෙනා යෝජනාවක් අනුව සම්පාදනය කළ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පනත යුරෝපා සංගමයේ රටවල් තුළ බලාත්මක කරනු ලැබුවේ ඉකුත් අගෝස්තු 1 වැනිදා සිටයි. ඇමරිකා එක්සත් ජනපදය, චීනය වැනි ලෝක බලවතුන්ද කෘත්‍රිම බුද්ධි භාවිතයට අදාළ නීති සම්පාදනය කිරීමට කටයුතු කර තිබේ. නීති සම්පාදනයේ දී AI හා සම්බන්ධ අවදානම් එනම්, අගතියට පත්වීම්, වෙන් කොට සැලකීම් සහ වගවීමේ හිඩැස් ගැන මෙන්ම නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම් සහ AI වැඩි දියුණු කිරීම දිරිමත් කිරීම් ගැන ද මෙම රටවල් අවධානය යොමුකර තිබේ.
AI 7 
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ ඒකාබද්ධව ඉකුත් රජය විසින් "කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික උපාය මාර්ගයක්" සකස් කිරීමට කටයුතු කළ ද රට තුල කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කතිකාවතක් ගොඩනැගී ඇති සේයාවක් තවමත් දක්නට නොමැත. මෙම තාක්ෂණය අනුව යමින් සේවා සපයන වේදිකා විශාල ප්‍රමාණයක් බිහිවෙන අවධියක, එම වේදිකා අයත් විදෙස් සමාගම්වලට අයාලේ කටයුතු කිරීමට ඉඩ නොදී රටේ නීතියට වගවෙන යාන්ත්‍රණයක් සෑදීමේ අවශ්‍යතාවය මේ වනවිට මතුව ඇත.    

'කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හරහා කරනු ලබන අනිසි ක්‍රියාකාරකම්වලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා නව නීති' මැයෙන් ඉකුත් ජූලි 24 වැනිදා පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දැක්වූ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිනී වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය ද කියා සිටියේ,   
 
"සමාජයක් විදියටත් රටක් විදියටත් අපි ඒ සඳහා සූදානම් විය යුතුයි; එය සමඟ කටයුතු කිරීමට අපට නිසි නීති සහ නියාමන යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ඒ වගේම අපි AI වැනි තාක්ෂණවල සදාචාරාත්මක භාවිතය ප්‍රවර්ධනය කළ යුතුයි," යනුවෙනි.
 


කෙසේ වෙතත්, නීති සම්පාදනය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකින් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ පදනමක් මත බවයි ආචාර්ය සංජන හත්තොටුව පවසන්නේ. 

නීති සම්පාදනයට පෙර අවම වශයෙන් මේ සම්බන්ධයෙන් රට තුළ කතිකාවක් හෝ ගොඩනැගිය යුත්තේ ඇයිදැයි ඔහු අවසාන වශයෙන් පැහැදිලි කර සිටියේ ය.
 
"අපි ගමන් කරමින් ඉන්නේ ඇත්ත නැත්ත හඳුනාගත නොහැකි ලෝකයකට. ඩීප්ෆේක් යුගයේ අපිට දෙයක් ඇත්තද නැත්ත ද කියලා කියලා කියන්න බැරි වෙනවා. ඒක හොයාගන්න බැරිව සමාජයම වෙහෙසිමකට පත්වෙනවා. මගේ අම්මට මට කියලා දෙන්න බෑ ඩිජිටල් සාක්ෂරතාව ගැන. අම්මට හැකියාවකුත් නෑ තේරෙන්නෙත් නෑ ඒවා. ඒවගේ මිලියන ගාණක් ඉන්නවා. එතකොට ඩීප්ෆේක් වගේ නිෂ්පාදනවලින් සිද්ධ වෙන්නේ ඇත්තද නැත්තද කියලා ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවත් අහෝසි කරලා දාන එක."    
 
- අභිෂේකා වාසල බණ්ඩාර
 abhishekawb54@gmail.com
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...