The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බදුගෙවන මට රජයෙන් මොනවද ලැබිල තියෙන්නෙ ? - ( අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

October 16, 2022 • 4:40 AM

බදුගෙවන මට රජයෙන් මොනවද ලැබිල තියෙන්නෙ ? - ( අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය තමයි රටේ විද්‍යුත් චුම්බක තරංග පරාසය කළමනාකරණය කරන්නෙ.
  • සිරස පවා ඒකෙන් කොටසක් අයථා ලෙස අල්ලගෙන සිටින ආයතනයක්.
  • බොහෝ දේ පෞද්ගලික අංශයට දෙන්නට පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):



රජය තමයි රටේ විද්‍යුත් චුම්බක තරංග පරාසය කළමනාකරණය කරන්නෙ. සිරස පවා ඒකෙන් කොටසක් අයථා ලෙස අල්ලගෙන සිටින ආයතනයක්.

රජය තමයි නොමිලේ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව දෙන්නෙ.

රජය තමයි විදේශගත වෙන්න අවශ්‍ය පාස්පෝට් එක දෙන්නෙ. ඊට කලින් අපව ලියාපදිංචි කරලා උප්පැන්න, මරණ, විවාහ ආදි සහතික දෙන්නෙ.

රජය තමයි පිටරට යන්න හරි ගුවන් තොටුපළවල් පවත්වාගෙන යන්නෙ.

රජය තමයි අපට අවශ්‍ය ආනයන අපනයන කරගන්න වරාය පවත්වාගන්නෙ.

රජය තමයි බැංකු පද්ධතිය මෙහෙයවන්නෙ. මහ බැංකුව තමයි අපේ විනිමය පාලනය කරන්නෙ.

රජය තමයි මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය ගොඩනගලා පවත්වාගෙන යන්නෙ.

රජය තමයි තැපැල් සේවය පවත්වාගෙන යන්නෙ.

රජය තමයි විදුලි බල යටිතලය ගොඩනගලා කළමනාකරණය කරන්නෙ.

රජය තමයි ජල සම්පාදනය හා ජලාපවහන යටිතලය ගොඩනගලා පවත්වාගෙන යන්නෙ.

 

රජය තමයි ගොවිබිම්වලට අවශ්‍ය වාරිමාර්ග පද්ධතිය හදලා නඩත්තු කරමින් ගොවිතැනට ජලය නොමිලේම දෙන්නෙ. ඒ මදිවට පොහොරත් කාලයක් නිකම් දීලා, අස්වැන්නත් වැඩි මිලට මිලදීගෙන අඩු මිලට පාරිභෝගිකයාට දුන්නා.

 

ළදරු මරණ අනුපාතිකය, මන්දපෝෂණය, වසංගත අඩු, නීරෝගී ජාතියක් හදන්නට හේතු වුණේ නිදහස් සෞඛ්‍ය සේවය.

රජය විසින් සපයනු ලබන ආරක්ෂාව ඉතා වැදගත්. පොලිසිය, අධිකරණය, බන්ධනාගාර ආදිය නඩත්තු කරන්නේ ඒ වෙනුවෙන්.

රජය තමයි රටේ පරිසරය ආරක්ෂා කරන්නෙ.

තව ගොඩක් දේ කියන්නට පුළුවන්. මේ අතරෙ රජය තමයි ලංකාවෙ ප්‍රධානම සේවායෝජකයා.

බැරි මිනිසුන්ව, ඒ කියන්නෙ අනාථයන්ව, ආබාධිතයන්ව, වැඩිහිටියන්ව, අසාධ්‍ය රෝගීන්ව බලාගැනීමේ වගකීමත් රජයට තියෙනවා.

 

මේ හැමදෙයක්ම රජය කරන්නට අවශ්‍ය නැහැ. බොහෝ දේ පෞද්ගලික අංශයට දෙන්නට පුළුවන්. අපට ඍජුවම මිල ගෙවලා ලබාගන්නට පුළුවන්. හැබැයි, දැනට අපට විශාල රජයක් තියෙනවා. ඒක එක පාරට බිඳදැමුවොත් විශාල අසමබරකමක් නිර්මාණය වෙනවා. අපි රජයට හරියට බදු ගෙව්වෙ නැතිනම්, රජයට සිදුවෙනවා ණය ගන්න. කාලයක් රජය ණය ගත්තා. ණය ගෙවාගන්න බැරුව රජය හිරවුණා. රජය විතරක් නෙමෙයි රටත් බංකොලොත් වුණා.

 

රජයට පුළුවන් මුදල් මුද්‍රණය කරලා රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම වැනි දේ කරන්න. එතකොට රුපියලේ අගය තවත් පහත වැටෙනවා. උද්ධමනය පාලනය කරගන්නට බැරි වෙනවා.

රජය බේරගන්න නම් අපට බදුගෙවන්නට වෙනවා. බදු නොගෙව්වොත් රජය කඩාවැටෙනවා. කඩාවැටුණොත් ඉහත කී සියල්ල අපට නැතිවෙනවා. විනාශ වුණ දේවල් නැවත ගොඩනගන එක හිතන තරම් ලේසි නැහැ.

රජය තුළ හොරකම්, වංචා, දූෂණ සිදුවෙනවා. ඒවා වළක්වාගත යුතුයි. පරණ හොරකම් ඇල්ලීමත් වැදගත්. හැබැයි, ඒවා නිසා රජය බිඳදාන එක මූණ එක්ක තරහ වෙලා නහය කපාගන්නවා වගේ වැඩක්. වත්මන් ආණ්ඩුව හොරුන් වීම හා හොරුන් අල්ලන්නේ නැති එක නම් ප්‍රධාන ගැටලුව, කරන්නට තියෙන්නේ ජනරජය රැකගෙන, ඉදිරි මැතිවරණවලින් අලුත් ආණ්ඩුවක් පත්කරගෙන තමන්ගෙ ප්‍රමුඛතාව ඉටුකරගන්න එක. මේ අවස්ථාවෙ නම් ප්‍රමුඛතාව හොරුන් අල්ලන එක නෙමෙයි. ජනරජය රැකගන්නා එකයි ප්‍රමුඛ.

ජනරජය රැකගනිමු. අරාජිකත්ව ප්‍රවණතාවලට නොරැවටෙමු. දේශපාලන අවස්ථාවාදය පරදවමු.



අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

සබැඳි ලිපි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...