The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය සහ ගෝලීය බල තුලනයේ අර්බුදය; වැඩවසම්වාදයේ සිට නූතන ලෝක ක්‍රමය දක්වා | Ajith Rajapaksa

T

The Leader Desk

July 22, 2025 • 3:29 PM

ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය සහ ගෝලීය බල තුලනයේ අර්බුදය; වැඩවසම්වාදයේ සිට නූතන ලෝක ක්‍රමය දක්වා | Ajith Rajapaksa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භූමියේ බලය පැවතුනේ සමාජයේ උසස් පන්තිය තුලයි.
  • ඒත් 1980 අවසානයේ සෝවියට් සංගමය බිඳ වැටුණු විට තත්වය වෙනස් විය.
  • එතැන් සිට ඇමරිකාව නොයෙක් විට බලය අයුතු ලෙස පාව්චිකරමින් තමන්ගේ උපායමාර්ගික අවශ්‍යතා සහ ආර්ථික අවශ්‍යතා සමග එකග නොවූ රටවලට විවිධ බලපෑම් එල්ල කලේය.
  • මේ සියල්ල මැද තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ ලෙස සහ ජාත්‍යන්තර සම්මතයන් ගරුකරන රටක් ලෙස පෙන්වීමට උත්සාහ කලේය.
අකුරු ප්‍රමාණය (Font Size):
භූමියේ බලය පැවතුනේ සමාජයේ උසස් පන්තිය තුලයි. අන් සියල්ල නොයෙකුත් ආකාරයේ සූරාකෑමට සහ අසාධාරණයන්ට ලක්විය. සාධාරණය කියන එක අහම්බෙන් තිබුණා. ස්වාධීන ආයතන හෝ පිහිට පැතියහැකි සාධාරණ ක්‍රමවේදයන් තිබුනෙ නෑ. ජීවිත ගෙවීගියේ විශාල පීඩනයන්ට සහ අසමානතාවයන්ට සටන් කිරීමට නොහැකිවයි.

අද අපි බුක්තිවිදින ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම් සහ නීතිමය පද්ධතිය පිළිබඳ සංකල්ප ආරම්භ වූයේ වැඩවසම් ක්‍රමයේ සිට ධනවාදය වෙත යාමත් සමඟයි. ජාතික රාජ්‍ය පද්ධති සහ කාර්මික ආර්ථික පද්ධති ශක්තිමත් වීමත් සමග නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ආයතන පිහිටුවන ලදී. පලමුව දේශීය වශයෙන් සහ දෙවනුව ජාත්‍යන්තර වශයෙන් මේ ආයතන ගොඩනැගුනි.  


විසි වන සියවසේ මධ්‍ය භාගයවන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , ලෝක වෙළද සංවිධානය ආදී ආයතන පිහිටුවාගනු පිහිටුවා ගන්නා ලදී. ඔවුන්ගේ අරමුණ වූයේ ජාත්‍යන්තර සහයෝගය, සංවර්ධනය සහ සාමය ප්‍රවර්ධනය කිරීමයි. ඒවා අසම්පූර්ණ සහ භූ දේශපාලන බලපෑමට ලක් වූ ආයතන වුවත් එම ආයතන ශීතයුද්ධ කාලයේ ලෝකයේ බල සමතුලිතතාව රැකගැනීමට උපකාරී විය. ඒ යුගයේ ලෝකය මූලික වශයෙන් ඇමරිකානු සහ සෝවියට් බල කදවුරු දෙකට බෙදී තිබුනි.
 
ඒත් 1980 අවසානයේ සෝවියට් සංගමය බිඳ වැටුණු විට තත්වය වෙනස් විය. එක්සත් ජනපදය ලෝකයේ එකම බලධාරියා විය. එතැන් සිට ඇමරිකාව නොයෙක් විට බලය අයුතු ලෙස පාව්චිකරමින් තමන්ගේ උපායමාර්ගික අවශ්‍යතා සහ ආර්ථික අවශ්‍යතා සමග එකග නොවූ රටවලට විවිධ බලපෑම් එල්ල කලේය. මේ බලපෑම් වෙළද සම්බාධක වල සිට හමුදා මැදිහත්වීම් දක්වා ක්‍රියාත්මක විය. මේ සියල්ල මැද තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ ලෙස සහ ජාත්‍යන්තර සම්මතයන් ගරුකරන රටක් ලෙස පෙන්වීමට උත්සාහ කලේය.
xdgsdgft| ඇමරිකන් ජනාධිපති බිල් ක්ලීන්ටන් සමග රුසියාන් ජනාධිපති බොරිස් යෙල්ට්සින් 1995 මොස්කව්හිදී
 
ඒ ප්‍රතිරූපය යම් මට්ටමකට පවත්වාගෙන යෑමට ඔවුන්ට හැකි වූවත් පසුගිය දශක දෙකක වාගේ කාලයක් තුල එම ප්‍රතිරූපය වේගයෙන් කඩාවැටීමට ලක්විය. අද වනවිට එය සම්පූර්ණයෙන්ම වාගේ කඩා වැටිලා කීවොත් වැරදි නෑ.
 

පළමුව ඇමරිකාව (America First): ට්‍රම්ප් විසින් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය කඩාකප්පල් කිරීම
 
cghdretr
 
2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමත් සමග ඇමරිකානු දේශපාලන නායකත්වයේ විශාල වෙනසක් සිදූවිය. ඔහුගේ  “පළමුව ඇමරිකාව” ප්‍රතිපත්තිය කියන්නේ බහුපාර්ශ්වී සහයෝගයන් නොතකා ජාතිකවාදී වැඩපිලිවෙලකට මාරු වීමයි. බහුපාර්ශ්විකත්වය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය වෙනුවට ට්‍රම්ප් තෝරාගත්තෙ ගැටුම්මය ක්‍රියා මාර්ගයක්.
 
ට්‍රම්ප්ගේ පලමු වාරය (2017–2021) තුල ක්‍රියාත්මක කළේ දැඩි ගතානුගතික ප්‍රතිපත්තීන්. විශාල සමාගම් වලට නොයෙකුත් සහන ලබාදෙමින් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවයන් කප්පාදු කලා හෝ නොතකා සිටියේය. එතෙක් ක්‍රියාත්මක වූ කර්මාන්ත නියාමනයන් ඉවත්කලේය. චීනය සමග වාණිජ යුද්ධයක් ඇරඹිය, පැසිෆික් රටවල් දොලහක් සමග අත්සන් කොට තිබූ (TPP) නිදහස් වෙළඳ ගිවිසුමෙන් ඉවත්විය, කැනඩාව සහ මෙක්සිකෝව සමග අත්සන් කොට තිබූ (NAFTA) නිදහස් වෙළඳ ගිවිසුම වෙනස් කලේය. ආගමන විගමන පිළිබඳ නීති වෙනස් කරමින් මුස්ලිම් වරුන්ට ඇමරිකාවට පැමිනීම තහනම් කලේය. මෙක්සිකෝව වෙන්කිරීමට ආරම්භ කල සීමා තාප්පය පුලුල් කලේය, මතභේදාත්මක ලෙස සංක්‍රමණික පවුල් වෙන් කිරීමේ ප්‍රතිපත්තියක් ගන්නාලදී. සාමාන්‍යය ජනතාවගේ සෞඛ්‍ය රක්ෂණය වර්ධනය කිරීමට ඔබාමා විසින් සම්මතකරගත් (Affordable Care Act) පනත වෙනස්කලේය. පාරිසරික නීති ලිහිල් කරමින් පැරිස් ගිවිසුමෙන් ඉවත්විය. ඊට අමතරව, ෆොසිල ඉන්ධන ප්‍රවර්ධනය කරමින් විමෝචන නීති ආපසු හැරවීය.
ඔහුගේ විදේශ ප්‍රතිපත්තියට ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීම සහ නේටෝ මිත්‍ර පාක්ෂිකයන්ට නොයෙකුත් ආකාරයෙන් බලපෑම් කිරීම ඇතුල්විය. ඒ වගේම ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමට මැදිහත්විය.
 
ට්‍රම්ප් 2.0: ජාතිකවාදය, නියාමන ඉවත් කිරීම සහ මාර්-අ-ලාගෝ සැලැස්ම
 
cfgdgh
2025 ජනවාරියේ දෙවන වරට බලයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් තම වැඩපිලිවෙල දැඩිලෙස ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නාලදී. සුපුරුදු පරිදි ජාතිකවාදය, නියාමන ඉවත්කිරීම ඇතුලු ආර්ථිකය නැවත ගොඩනැගීම යන කාරනාවලට දැඩි අවධානයක් යොමු කලේය. "ලොකු ලස්සන බිල්පතක්" (One Big Beautiful Bill) ලෙසින් නම්කල අලුත් කෙටුම්පතක් සම්මත කරගන්නාලදී. ඩොලර් ට්‍රිලියන 4.5 ක් වැයවෙන මේ කෙටුම්පත මගින් විශාල බදු සහන ලබාදී තියෙන අතර සමාජ ආරක්ශන සේවා දැඩිලෙස කප්පාදු කරඇත.
 
ඒ වගේම ඇමරිකාව සමග වෙළද ගනුදෙනු කරන සියලුම රටවලට තීරු බදු පනවනලදී. සමහර රටවලට තීරු බදු 50% දක්වා ඉහල දමනලදී. ඒ අතර විවිධ නිෂ්පාදනවලට ඉතා අසාධාරණ බදු පනවනලදී. උදාහරණයකට සමහර ඖෂධ නිශ්පාදනය කරන ආයතන වහාම තම කර්මාන්ත ඇමරිකාවතුලට නොගෙනාවොත් 200% කින් තීරු බදු පනවන බවට තර්ජනය කරඇත. ඒ සදහා අවුරුදු එකහ මාරක සහන කාලයක් ලබාදීමට තමන් සූදානම් බව ඔහු පවසා ඇත. 
 
පාරිසරික ප්‍රතිපත්තිවලදී ට්‍රම්ප් නැවතත් පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත්විය, විමෝචන නීති අහෝසි කල අතර පොසිල ඉන්ධන ප්‍රවර්ධනය කිරීම පටන් ගෙන ඇත. ඒ වගේම විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුලත් කිරීම ප්‍රවර්ධනය කිරීමට තිබූ (DEI - Diversity, Equity, Inclusion) වැඩසටහන් ඉවත් කලේය.

ඊට අමතරව, ඔහු මාර්-අ-ලාගෝ ( “Mar-a-Lago Accord”) නමින් හඳුන්වන නව ප්‍රතිපත්තියක් ආරම්භ කරඇත. මෙහි අරමුණ, ඇමරිකානු ඩොලරයේ වටිනාකම අඩු කරමින් ලෝක වෙළඳ පද්ධතිය තුල ඇමරිකානු නිෂ්පාදනය නංවාලීමට උත්සාහ කිරීමයි.

ඉරානයට පහරදීම සහ ඊශ්‍රායලයට විවිධ ආධාර සපයමින් ඝාෂා වල කරන සමූලඝාතනය නොතකා හැරීමෙන් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය ලෝකය පුරා විවේචනයට ලක්වී ඇත. ඒ අතර ඔහු නැවතත් යුක්රේනය වෙත අවි යැවීම 2025 ජූලි 15 වැනිදා ආරම්භ කර ඇත. ඒ සදහා නේටෝ (NATO) මිතුරන් සමග යුක්රේනයට මිසයිල (Patriot missile systems) සහ වෙනත් හමුදා උපකරණ සැපයීමට ගිවිසුමක් ප්‍රකාශ කලේය. මෙහි නායකත්වය ඇමරිකාව ගත් නමුත් ගිවිසුමට අනුව යුරෝපීය රටවල් ඔවුන්ගේ ගබඩා වලින් අවි සැපයීම සහ මූල්‍යමය ආධාර ලබාදීමට එකග කරගෙන තියෙනව.

ඊට අමතරව, ට්‍රම්ප් රුසියානු ජනාධිපති පූටීන්ට අනතුරු ඇගවීමක් කළා: දින පනහක් ඇතුලත සාම ගිවිසුමකට නොපැමිනියහොත් ඇමරිකාව විසින් රුසියානු නිෂ්පාදන සියල්ලට විශාල තීරුබදු පනවන බවටත්, රුසියාව සමග වෙළඳ කටයුතු කරන අනිකුත් රටවලටද දැඩි බදු පනවන බවට ප්‍රකාශ කර ඇත. දේශීය ප්‍රතිපත්තිවලදී, ට්‍රම්ප් විසින් විශාල ප්‍රමාණයකින් රාජ්‍ය සේවය කප්පාදු කර ඇත. ඒ වගේම සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් සහ ගබ්සා කිරීම පිළිබඳ මීට පෙර ආරක්ෂණය කර තිබුණු නීති අකුලාගැනීම ආරම්භ කරල තියෙනව. මේ සියල්ලෙන් දැක්වෙන්නේ, අමරිකා එක්සත් ජනපදය තුළත්, ලෝකය පුරාත්, ඇමරිකානු ආර්ථික සහ දේශපාලන භූමිකාව නැවත අර්ථ දැක්වීමට ඔහු ගන්නා දැඩි උත්සාහයයි.
 

ට්‍රම්ප්ගේ නායකත්ව විලාසය සහ ගෝලීය ප්‍රතිවිරෝධතා
ndfxcvsd
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය කියන්නේ අනපේක්ෂිත හා පරස්පර විරෝධීකම් සහිත සහ පුද්ගලික සබඳතා මත පදනම් වූ එකක්. ඔහු නීති රීතිවලට ගරු නොකරන්නෙක්. ඒකාධිපතියන්ට සහ බලයේ ආධිපත්‍යය පෙන්වන ප්‍රජාතන්ත්‍රවිරෝදී නායකයන්ට ඔහුගෙ ලොකු ඇල්මක් දක්වනවා. උදාහරණයකට හන්ගේරියානු නායක විකටර් ඕබර්න් ඔහු ඉතා අගය කරනවා. ඒ යුරෝපියානු සංගමය විසින් රට තුල ඕර්බන් විසින් කරන ප්‍රජාතන්ත්‍රවාදී ඛාදනයට දැඩි විරෝධයක් දක්වා තියෙද්දියි. 

 
එලෙසම බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝට විරුද්ධව නීතිය ඉදිරියේ ඇති අපරාධ චෝදනා වහාම ඉවත් නොකලහොත් බ්‍රසීලයට ආර්ථික වශයෙන් දඬුවම් කරන බවට ට්‍රම්ප් තර්ජනය කරල තියෙනවා. ඊශ්‍රායලය විසින් ඝාෂා තීරයේ කරන මනුෂ්‍ය ඝාතන ඇතුලු මාණව විරෝධී ක්‍රියා ගැන නිශ්ශබ්දව සිටින ට්‍රම්ප් කියුබාව මානව අයිතීන් උල්ලංඝනය කරනබව පවසමින් නව සම්බාධක පැනවීම විහිලු සහගතයි. 
 
මේ සියල්ල අතරතුරේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු විසින් ට්‍රම්ප් ජනාධිපතිවරයා නොබෙල් සාම ත්‍යාගය සදහා යෝජනා කිරීම කාගේත් විමතියට හේතුවුනා. මෙම ප්‍රතිවිරෝධතා කරදරකාරී සහ භයානකය. ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය ඉතා ගනුදෙනුකාරී එකකි: ගිවිසුම් ඉවත දමනු ලැබේ, ගෝලීය ආයතන නොතකා හරී, විවේචකයින් ඉලක්ක කරනු ලැබේ,

දූෂණ හෝ අධිකාරීවාදය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සහචරයින් ආරක්ෂා කරනු ලැබේ.  මේතාක් දෝෂ සහිතව හෝ ඇමරිකාව ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ලෝක වැඩ පිළිවෙල, නීති නැවත ලිවීම හෝ නොසලකා හැරීමෙන්, අඩපණ වෙමින් පවතී. 

භයානක දෙය නම් මීට විරුද්ධවී ඇත්තේ ලෝක නායකයින් ස්වල්ප දෙනෙක් වීමයි.
 
ඇමරිකානු මිත්‍ර පාක්ෂිකයෝ නිශ්ශබ්දව සිටින අතර ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර  සම්මතයන් බිදදමමින් සහ දේශපාලනීකරණය කරමින් සිටී. ට්‍රම්ප් ගෝලීය වේදිකාවට නැවත පැමිනීමත් සමග ජාත්‍යන්තර පද්ධති කිසිදා නොවූ විරූ ලෙස දිශානතියක් නැති අර්බුදයකට ගොස් ඇත. 
 
 
ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ අසමානතාවයේ අර්බුදය
 
bnvvb| මහාචාර්ය කිෂෝර් මහබුබානි
 
කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වූ සිංගප්පූරු ජාතික මහාචාර්ය කිෂෝර් මහබුබානි පවසන්නේ ඇමරිකාව දැන් අසාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පෙරලෙමින් සිටින බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පාලනයක් කියන්නෙ රටේ සෑම පුරවැසියකුටම සේවය කරන පාලනයක්. 
 
නමුත් 1970 දශකයේ සිට රටේ ආධායම සහ දේපල, ජනගහනයෙන් 1% ක් වූ ධනපතියන් අතරට එක් රැස්වීඇත. පහළ 50% කගේ ආදායම් සහ දේපල ක්‍රමයෙන් අඩුවීඇත. මැද පන්තියද විශාල වසයෙන් හැකිලී ඇත. මේ අතරින් ඇමරිකානු ජනතාවගේ ආයුශ කාලය ක්‍රමයෙන් අඩුවීම කැපී පෙනෙන ලකුණක් ලෙස සැලකිය හැක. මීට සාපේක්ෂව සංවර්ධනය වෙමින් පවතින රටවල පවා මනුෂ්‍යය ආයු කාලය වැඩිවෙමින් පවතී. 
 
ඇමරිකානු ජනතාවට ඡන්ද දීමේ අයිතිය තිබුණත්, රජය ප්‍රධාන වශයෙන් පාලනය කරන්නෙ සමාජීය වශයෙන් බලවත් කණ්ඩායම්, ව්‍යාපාරිකයන් සහ ප්‍රභූ පන්තිය විසිනි. මේ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී සාමාන්‍ය ජනතාවගේ දායකත්වය සහ මැදිහත්වීම අවම වී ඇත. මේ අතර, ප්‍රධාන එක්සත් ජනපද සමාගම්, විශේෂයෙන් ගූගල්, ඇපල්, මෙටා සහ මයික්‍රොසොෆ්ට් වැනි තාක්ෂණික දැවැන්තයින්, 2024 වසරේදී පමනක් ඩොලර් බිලියන 400 කට වඩා දැවැන්ත ලාභයක් උපයා ඇත. 
 
 මූල්‍ය හා බලශක්තිය වැනි අනෙකුත් අංශද ඉතා ලාභදායීව පැවතුනි. කෙසේ වෙතත්, මෙම ලාභ ප්‍රධාන වශයෙන් සාමාන්‍ය සේවකයින්ට වඩා කොටස් හිමියන්ට සහ විධායකයින්ට ප්‍රතිලාභ ලබා දී ඇත. 2017 වසරේ කරන ලද බදු කප්පාදුවේ සිට, සමාගම් සේවක වැටුප් වැඩිකිරීමට වඩා කොටස් ආපසු මිලදී ගැනීම්වලට ප්‍රමුඛත්වය දී ඇත. 
 
ඒ නිසා එක්සත් ජනපදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, එහි ජනගහනයේ පහළම 50% කගේ ජීවිත වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, එය අත්‍යාවශ්‍ය බවත් නැතහොත් ඇමරිකාව තවදුරටත් පහත වැටීමේ අවදානමක් ඇති බවට මහාචාර්ය මහබුබානි අනතුරු අඟවයි.

කාර්මිකහරණය, ණය අර්බුදය සහ ජනතාවාදී නැගිටීම
 
bcfdfgdgf
 
එක්සත් ජනපදය මුහුණ දෙන කේන්ද්‍රීය අභියෝගයක් වන්නේ දශක ගණනාවක් තිස්සේ චීනය වැනි අඩු වියදම් කලාපවලට තම කර්මාන්තශාලා ගෙනයාමයි. එය ව්‍යාපාරිකයන්ට ලාබදායී වුවත් රට ක්‍රමයෙන් කාර්මිකහරණයකට (deindustrialisation) ලක්විය. මේ නිසා ඇමරිකානු කම්කරුවන්ගේ, විශේෂයෙන් ග්‍රාමීය හා කාර්මාණ්ත විශාල වශයෙන් පැවති ප්‍රාන්තවල පුළුල් රැකියා අහිමිවීම, වැටුප් එකතැන පල්වීම
සහ ජීවන තත්වයන් පහත වැටීමට හේතුවී ඇත. 
 
මෙම කඩාවැටීම නාගරික ප්‍රභූන් සහ කම්කරු පන්ති ප්‍රජාවන් අතර ආර්ථික පරතරය පුළුල් කර ඇති අතර, 2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් කිරීමට උපකාරී වූ ජනප්‍රියවාදී ප්‍රතික්‍රියාවට හේතුවූයේ මේ තත්වයයි. විශේෂයෙන් විශාල වසයෙන් කර්මාන්ත පැවති ප්‍රදේශවල චන්දය දිනාගැනීමට ට්‍ර්ම්ප් සමත්විය.
 
එක්සත් ජනපදය මුහුණදෙන ඊලග අර්බුදය ණය අර්බුදයයි. මේවන විට ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවා ඇති අතර, ඩොලර් ට්‍රිලියන 25 කට වඩා බාහිර පාර්ශ්වයන්ට ණය වී ඇත. 
 
මේ නිසා එක්සත් ජනපදය ලෝකයේ වඩාත්ම ණයගැති රට බවට පත්වී ඇත. 2025 වන විට, ජපානය එක්සත් ජනපදයේ විශාලම ණය හිමියා වන අතර ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.1 කි. ඉන් පසු එක්සත් රාජධානිය සහ චීනය, ඩොලර් ට්‍රිලියන 0.75 සිට ඩොලර් ට්‍රිලියන 0.78 දක්වා ණය ප්‍රමාණයකට හිමිකම් කියති.


ට්‍රම්ප්ගේ ආර්ථික සැලැස්ම: ආරක්ෂණවාදය, නියාමන ඉවත්කිරීම සහ වෙළඳ යුද්ධය
 
gdgdfff
 
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික උපායමාර්ගය කේන්ද්‍රගත වන්නේ එක්සත් ජනපදයේ නිෂ්පාදනය නැවත පණ ගැන්වීම, වෙළඳ හිඟය අඩු කිරීම සහ ගෝලීය වෙළඳපොළවල ඇමරිකානු ආධිපත්‍යය නැවත තහවුරු කිරීම මතය. ඔහුගේ ප්‍රවේශය ආක්‍රමණශීලී තීරුබදු, නියාමනය ඉවත් කිරීම සහ ජාත්‍යන්තර ගිවිසුම් වලින් උපායමාර්ගිකව ඉවත්වීම යන ඒකාබද්ධ වැඩපිලිවෙලයි. දැඩි ආනයන බදු පැනවීමෙන් සහ වෙළඳ ගනුදෙනු නැවත සාකච්ඡා කිරීමෙන්, ට්‍රම්ප් අරමුණු කරන්නේ නිෂ්පාදනය නැවත එක්සත් ජනපදයට ගෙනයාමයි. 
 
ඒ සදහා චීනය මත යැපීම අඩු කිරීමට සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට සමාගම්වලට බලපෑම් එල්ල කරයි. පිරිවැය අඩු කිරීම සඳහා, ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු ගෝලීය සංවිධාන සඳහා කල එක්සත් ජනපද දායකත්වය අඩු කර ඇති අතර, ඇමරිකාව "අනෙකුත් ජනතාවගේ ගැටළු" සඳහා අරමුදල් නොදිය යුතු බවට තර්ක කරයි. එලෙසම ජාත්‍යන්තර වැඩකටයුතු සදහා ඇමරිකානු සංවිධාන වන USAID වැනි සංවිධාන වලට ලබාදෙන මුදළ්ද නවතා දමා ඇත. 
 
එලෙසම පොසිල ඉන්ධන  ව්‍යාප්තියට ප්‍රමුඛත්වය දීම සඳහා ඔහු පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත් වූ අතර, එක්සත් ජනපදය ගෝලීය බලශක්ති නායකයෙකු ලෙස ස්ථානගත කරන අතරම ව්‍යාපාර වැඩි දියුණු කිරීමට සහ රැකියා නිර්මාණය කිරීමට පාරිසරික රෙගුලාසි ආපසු හරවා ඇත. 
 
ට්‍රම්ප් විසින් තීරුබදු ද්විත්ව අරමුණකින්, ආර්ථික සහ භූ දේශපාලනික උත්තේජනයක් සඳහා යොදාගෙන ඇත. ඇමරිකන් මිත්‍ර පාර්ශ්වයන් වන යුරෝපය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ කොරියාව වැනි රටවලටද තීරු බදු වැඩිකර ඇති අතර එම රටවලට තම ආරක්ෂක වියදම් වැඩි කිරීමට බලපෑම් කර ඇත.
 
 වෙනත් ආකරයකින් ඇමරිකාව මිත්‍ර රටවලට පවසන්නේ තම මිලිටරි කර්මාන්තයට සහනාධාර ලබා දෙන ලෙසයි. විදේශ සංචිත ආකර්ෂණය කර ගැනීම සඳහා crypto currency (ගුප්තකේතන මුදල්) ප්‍රවර්ධනය කිරීම ට්‍රම්ප්ගේ තවත් ව්‍යාප්පෘතියකි. මේ ක්‍රියාමාර්ග මගින් ඩොලරය අවප්‍රමාණය කරගැනීමට සහ එමගින් අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට අදහස් කරයි. මෙම න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා, ට්‍රම්ප් 2025 ජූලි 14 සිට 21 දක්වා සතිය "ක්‍රිප්ටෝ සතිය" ලෙසට ප්‍රකාශයට පත් කළේය.  

 
එය ඩිජිටල් වත්කම් සහ බ්ලොක්චේන් නවෝත්පාදනයන්හි ගෝලීය ප්‍රමුඛයා ලෙස එක්සත් ජනපදය ස්ථානගත කිරීම අරමුණු කරගත් ජාතික මුලපිරීමකි. අනෙකුත් රටවල් තමන්ගේ අපනයන වලට වාසිවන සේ මුදල් අවප්‍රමාණය කර ඇති බවට චෝදනා කරන ට්‍රම්ප්ගේ පරිපාලනය මීට පෙර චීනය, වියට්නාමය සහ ජර්මනියට මුදල් හැසිරවීම සම්බන්ධයෙන් චෝදනා කළ අතර 2019 දී චීනයට විධිමත් ලෙස චෝදනා ගොනු කලේය.


ඉතිහාසයෙන් පාඩම්: බ්‍රෙටන් වුඩ්ස්, නික්සන් කම්පනය සහ ප්ලාසා ගිවිසුම
 
එක්සත් ජනපදය ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු මිත්‍ර රටවල් 44 ක් විසින් 1944 දී බ්‍රෙට්න්වුඩ්ස් ගිවිසුම අත්සන් කරන විට, එක්සත් ජනපදය සුවිශේෂී ලෙස ශක්තිමත් ආර්ථික හා මිලිටරි ස්ථානයක සිටියේය. 
 
මෙම ආධිපත්‍යය එක්සත් ජනපද ඩොලරයට ලෝකයේ සංචිත මුදල් ඒකකය බවට පත්වීමට ඉඩ දුන් අතර ඇමරිකාව පශ්චාත් යුධ ගෝලීය පාලනයේ කේන්ද්‍රස්ථානයේ තැබීය. ඒ වන විට, එක්සත් ජනපදය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන සිටි අතර යුධ සමයේ විනාශයෙන් බේරුණු එකම ප්‍රධාන කාර්මික බලවතා ලෙස පැවතුනි, එමඟින් එයට දැවැන්ත නිෂ්පාදන වාසියක් ලබා දුන්නේය. 
 
 
 
ලෝකයේ රන් සංචිතවලින් 75% ක් පමණ එම රට සතුව තිබූ අතර එය ඩොලරය බ්‍රෙට්න්වුඩ්ස් පද්ධතියේ නැංගුරම බවට පත් කිරීමේ අත්‍යවශ්‍ය සාධකයකි. 1971 අගෝස්තු 15 වන දින, එක්සත් ජනපදය ඒ තාක් ඇමරිකානු ඩොලරයට ලබාදුන් රත්තරං පිටුබලය (gold backing) නිල වශයෙන් අවසන් කලේය. ජනාධිපති රිචඩ් නික්සන් සමයේ සිදුවූ මේ ඓතිහාසික පියවර "නික්සන් කම්පනය" (Nixon Shock) ලෙස හැඳින්වෙයි. 
 
මෙම තීරණයට හේතු වූයේ වියට්නාම් යුද්ධය සදහා වූ අධික වියදම් සහ දේශීය වැඩසටහන් සදහා විශාල වශයෙන් වියදම් වැඩි වීමයි. ගෝලීය වශයෙන් ඇතිවූ අවිශ්වාසය නිසා විදේශීය රටවල් විශාල වශයෙන් ඇමරිකන් ඩොලර් රත්තරං සදහා හුවමාරු කිරීම නිසා ඇමරිකානු රත්තරං සංචිත විශාල ලෙස හීනවිය. ඒ නිසා පුළුල් වන වෙළඳ හිඟයන් සහ ආර්ථික ආතතීන් මධ්‍යයේ බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය යටතේ ස්ථාපිත කරන ලද රත්තරං අවුන්සයකට ඩොලර් 35 ක ස්ථාවර මිල පවත්වා ගැනීම තිරසාර නොවීය. 
 
1973 වන විට, එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන් පාවෙන විනිමය අනුපාතවලට සංක්‍රමණය වූ අතර, බ්‍රෙටන් වුඩ්ස් බිඳවැටීම සහ නූතන ෆියට් මුදල් යුගයේ උදාව සනිටුහන් කරමින්, රත්තරං වැනි භෞතික භාණ්ඩ මගින් මුදල් වලට තවදුරටත් සහාය දැක්වීම නැවතුනි. 

ප්ලාසා එකඟතාවය
 xdvsefwe
 
1980 සහ 1985 කාලය අතර, ඇමරිකානු ඩොලරය 50% කින් පමන ඉහල ගොස් තිබුනි. එය සිදු වුණේ ඇමරිකාවේ පැවති ඉහළ පොලී අනුපාත, දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය සහ රේගන් යුගයේ ආයෝජන සදහා පැවති විශාල විශ්වාසයයි. ඩොලරය ඉහළ යෑම නිසා ඇමරිකානු අපනයන භාණ්ඩ ලෝක වෙළඳපොළේ මිල අධික විය. මේ නිසා විශේෂයෙන් ජපානය සහ බටහිර ජර්මනිය සමඟ වෙළඳ පරතරය ඉහළ ගියා. 
 
මේ තත්වය නිසා ඇමරිකානු කර්මාන්තකරුවන්ට සහ සේවකයන්ට දැඩි පීඩනයක් එල්ල වුණා. ඊට පිළිතුරු ලෙස, 1985 සැප්තැම්බර් 22 වනදා නිව්යෝර්ක් නුවර ප්ලාසා හෝටලයේදී හමුවූ, ලොව ආර්ථික වශයෙන් ප්‍රධානම රටවල් පහ වූ ඇමරිකාව, ජපානය, බටහිර ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය එක්ව ප්ලාසා එකඟතාවයට (Plaza Accord) අත්සන් කලේය.
 
මේ ගිවිසුමේ අරමුණවූයේ ඇමරිකානු ඩොලරය අවප්‍රමාණය කරමින් ලෝක වෙළදාම තුල ඇතිවතිබූ වෙළද අසමතුලිතතාවයන් නිවැරැදි කිරීමයි. මෙම ගිවිසුම යටතේ, සහභාගී වන රටවල මහ බැංකු, එක්සත් ජනපද ඩොලර් විකිණීමෙන් සහ තමන්ගේම මුදල් ඒකක මිලදී ගැනීමෙන් මුදල් වෙළෙඳපොළවල සම්බන්ධීකරණ මැදිහත්වීම් සඳහා කැපවී සිටි අතර, එමඟින් ඩොලරය දුර්වල විය. ඊළඟ දෙවසර තුළ, ඇමරිකානු ඩොලරය ජපාන යෙන්(Yen) මුදල් ඒකකයට සහ ජර්මන් මාර්ක් (Deutsche Mark) මුදල් ඒකකයන්ට එරෙහිව 50% ක් පමණ පහළ වැටුනි.  
 
මෙය ඇමරිකානු අපනයන භාණ්ඩවල තරගකාරිත්වය වැඩි කිරීමට උපකාරී විය. ජපාන යෙන්(Yen) එක ඉහලයැම නිසා අපනයන ක්ශේත්‍රයේ සිදුවූ බලපෑම් මඟහරවා ගැනීමට, ජපාන රජය දේශීය ආර්ථිකය නංවාලීමේ උත්සාහයකට යොමුවිය. 
 
මෙම දැවැන්ත සාර්ව ආර්ථික උත්තේජනයේ අවාසනාවන්ත ප්‍රතිඵලක් වුණේ 1980 දශක අවසානයේදී ජපානයේ විශාල වත්කම් බුබුලයක් (asset bubble) ඇතිවීමයි. එය ජපාන ආර්ථික වර්ධනය මන්දගාමී කිරීමට හේතුවිය.  
 
 
1987 වන විට, ප්ලාසා ගිවිසුම මගින් බොහෝ දුරට එහි අපේක්ෂිත බලපෑම ලබා ගෙන තිබූ අතර, එක්සත් ජනපද රජය ඩොලරය තවදුරටත් දුර්වල කිරීමට කැමති නොවීය. ඩොලරයේ අඛණ්ඩ පහත වැටීම නැවැත්වීමට සහ විනිමය අනුපාත ස්ථාවර කිරීමට 1987 දී ලුවර් ගිවිසුම අත්සන් කරන ලදී. 
 
 
ප්ලාසා ගිවිසුම යටතේ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අර්ධ වශයෙන් ආපසු හැරවීම සඳහා ලුවර් ගිවිසුම ක්‍රියාත්මක කරන ලදී. 

මාර්-අ-ලාගෝ ගිවිසුම: ගෝලීය අසමතුලිතතාවයට ට්‍රම්ප්ගේ පිළිතුර ඇමෙරිකා ආර්ථිකය නැවතවරක් විශාල අර්බුදයකට මුහුනදී සිටී. 
 
dfsdfee
නැවත බලයට පැමිනි ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 ජනවාරි මාසයේ ඔහුගේ දෙවන දූරය ආරම්භ කරමින්, ඔහුගේ උපදේශකයන් සමග එක්ව ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීමට විවිධ පියවර ගන්නා ලදී. ඒ සදහා මාර්-අ-ලාගෝ නමින් නව වැඩසටහනක් ආරම්භ කොට ඇත.
ට්‍රම්ප්ගේ නිවස සහ දේශපාලන මූලස්ථානය වන මාර්-අ-ලාගෝ නමින් මේ වැඩසටහන නම්කොට ඇත්තේ 1985 ප්ලාසා හෝටලයේදී අත්සන් කල එකඟතාවයට සමානව යමින් ඊට ට්‍රම්ප්ගේ නායකත්වය සංකේතවත් කිරීමටයි.
 
මෙම මූලස්ථානය ට්‍රම්ප්ගේ ප්‍රධාන ආදාරකරුවන්, උපදේශකයන්, සහ රිපබ්ලිකන් වරුන්, එක්ව ප්‍රචාරක උපාය මාර්ග සහ ප්‍රතිපත්ති සැලසුම් කරන මධ්‍යස්ථානයයි. ප්ලාසා එකඟතාවය මිත්‍ර රටවල් සමග සහයෝගීතාවයෙන් කරන ලද්දක් වුවත් මාර්- අ-ලාගෝ යෝජනාව ඒකපාර්ශ්විකව ගැටුම්කාරී ලෙස දියත් කරන වැඩපිලිවෙලක්.

මෙම ගිවිසුම 2024 අවසානයේ සහ 2025 ආරම්භයේ ට්‍රම්ප් පාලනයේදී සකස් කරන ලද එකක් වන අතර මෙහි පරමාර්ථය ඇමරිකානු ඩොලරය අවප්‍රමානය කිරීම සහ වෙළඳ හිඟය (trade deficit) අවම කර ගැනීමයි. මේ සැලැස්ම ගොඩනගල තියෙන්නෙ ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශක කමිටුවේ ප්‍රධානියා වන ස්ටීවන් මිරාන් විසිනි.

ඊට භාණ්ඩාගාර ලේකම්වන ස්කොට් බෙසෙන්ට් සහ උප ජනාධිපති ජේ ඩී වාන්ස් ගේ සහය ලැබිල තියෙනව. මිරාන් විසින්  2024 වසරේ නොවැම්බර් මාසයේදී නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ, ශක්තිමත් ඩොලරය වෙළඳ අසමතුලිත බාවය නැවත තුලනය කිරීමට ඇති ව්‍යුහාත්මක බාධකයක් ලෙසයි. 
 
 
මිරාන්ගේ සවිස්තරාත්මක ප්‍රතිපත්ති පත්‍රිකාවට අනුව ඔහු ඇමරිකානු වෙළඳ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇමරිකන් ඩොලරය අවප්‍රමාණය කිරීමට උදව්දෙන ලෙසයි. ඒ වෙනුවට ඔවුන්ට ඇමරිකානු වෙළඳපොළට යළි ප්‍රවේශවීමට අවස්ථාව ලබාදීමට සහ අඩු පිරිවැයෙන් යුතු දිගුකාලීන මූල්‍ය පහසුකම් ලබාදීමට එකඟතාවය ප්‍රකාශ කරල තියෙනව. 
 
 
මෙම යෝජනා ප්‍රතික්ශේප කරන්නේ නම්, ඒ රටවලට විශාල තීරුබදු පැනවීමට සහ ආරක්ශාව පිලිබඳව සහතික නොවන බවට තර්ජනය කරල තියෙනව. 

අපේක්ෂාවන් සහ අභියෝග
 
මේ යෝජනාව යතාර්ථයක් බවට පත් විය හැකිද? බ්ලූම්බර්ග් වැනි මූල්‍ය මාධ්‍ය හවුල්කරුවන් පවසන්නේ නිව්යෝර්ක් නගරයේ වෝල් ස්ට්‍රීට්හි කොටස් වෙළදපොල හා මූල්‍ය විශ්ලේෂකයන් මෙය ගැඹුරු ලෙස අධ්‍යයනය කරමින් සිටින බවයි. ප්‍රධාන බැංකු සහ විශ්ලේෂකයින් වෙළඳපල කෙරෙහි එහි විභව බලපෑම් ක්‍රියාකාරීව ආකෘතිකරණය කරමින් සිටින අතර, මේ යෝජනාව දේශපාලනික මවාපෑමකට වඩා වැඩි යමක් ඇති වැඩපිලිවෙලක් බව බවසයි. 
 
ට්‍රම්ප්ගේ ආසන්නම කවයේ සිටින උපදේශකයන්, යෝජිත වැඩපිලිවෙල සවිස්තරාත්මක එකක් නොවූවත්, එය උපායමාර්ගික රාමුවකට මාර්ගෝපදේශකයක් ලෙස ක්‍රියා කරන බව පවසා ඇත. 

එලෙසම මේ වැඩපිලිවෙලට විශාල උනන්දුවක් තිබුනත් එය ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවන් තිබෙන බව පවසා ඇත. 
 
 
ප්ලාසා ගිවිසුම අත්සන්කලේ දීර්‍ර්ඝ කාලයක් තිස්සේ ඇමරිකාව සමග වෙළද කටයුතුකල පැරණි හවුල්කරුවන් (එසේම ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුම් ඇති රටවල්) සමග වූවත් අද දවසේ එකගතාවයකට පැමිනීමට සිදුව ඇත්තේ තමන් සමග එවැනි මිත්‍රත්වයක් හෝ ආරක්ශක ගිවිසුම් නැති චීනය, මෙක්සිකෝව සහ වියට්නාමය වැනි රටවල් සමගයි. මේ නිසා මේ වැඩසටහන සාර්ථක වීමට ඇති ඉඩකඩ අඩුයි.
 
 
ඒවාගේම ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ, මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමෙන් ඇමරිකාව තුල උද්ධමනය ඉහලයෑමටත් (භාණ්ඩ මිල ඉහළ යාම නිසා), ඇමරිකානු ඩොලරය පිලිබඳව ඇති මූල්‍ය විශ්වාසය අඩුවියහැකි බවයි.
 
එය ඇමරිකන් ඩොලරය ලෝකයේ මුදල් ඒකකය ලෙස ඇති තත්වයට බලපා හැකි බවයි. තවද මේ වැඩපිලිවෙලේ ඇති ප්‍රධාන පරස්පරතා පෙන්වාදෙන විවේචකයින් ඩොලරය අවප්‍රමාණය කරන ගමන් එහි ගෝලීය ආධිපත්‍යය රැකගත හැකිද යන්න ප්‍රශ්න කරයි. 
 
ඒ සමගම පොලී අනුපාත අඩුකිරීම හෝ පොලී වියදම් අඩුකිරීම යන සියල්ල එකවර කල නොහැකි බව පවසයි. මෙම ආතතිය පහසු විසඳුමක් නොමැති ප්‍රතිපත්තිමය ප්‍රහේලිකාවක් නිර්මාණය කර ඇත.

මාරලාගෝ ගිවිසුම තවමත් සමපේක්ෂණීය (speculative) උපාය මාර්ගයක් ලෙස පවතී, එය ක්‍රියාත්මක කල හැකි ප්‍රතිපත්තියකට වඩා ඉහළ මට්ටමේ සංකල්පයකි. එය ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා අසාමාන්‍ය ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය වනු ඇත. බොහෝ විශ්ලේෂකයින් එය දකින්නේ පුළුල් එකඟතාවයක් හෝ පූර්ණ සම්මත කිරීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩු, දේශපාලනික වශයෙන් අභිලාෂකාමී සහ මූල්‍යමය වශයෙන් අවදානම් සහගත වැඩපිලිවෙලක් ලෙසය.
 

එක්සත් ජනපද-චීන ආර්ථික පටලැවිල්ල සහ උපායමාර්ගික එදිරිවාදිකම්
 
dvsdfew 
ට්‍රම්ප්ට තම අභිලාෂයන් සාර්ථක කර ගත හැකිද යන්න පුරෝකථනය කිරීමට අපහසුයි. ඔහුට වෙළද පරතරය අඩුකරගැනීමට, ණය පාලනය කිරීමට හා පද්ධතිය තාවකාලිකව හෝ ස්ථායී කරගතහැකි වූවත් ගෝලීය ධනවාදයේ යටින් පවතින ව්‍යුහාත්මක දෝෂ සහ පරස්පරතා දිගටම පවතී. 
 
 
ධනවාදී ක්‍රමයට ආවේණික වූ දෙයක් නම්, ලාභදායී ශ්‍රමය සහ සම්පත් සොයා කර්මාන්ත වෙනත් ස්ථාන කරා යොමු වීමේ ප්‍රවණතාවයයි. පසුගිය දශක කිහිපය තුල ඇමරිකානු කර්මාන්ත විශාල වශයෙන් චීනයට ගෙනයෑමෙන් අති විශාල ලාබ උපයා ගත්තේය. 
ඒ වගේම විශාල ඩොලර් අතිරික්තයක් උපයාගත් චීනය මිලියන ගනනක ජනතාවක් දුප්පත්කමෙන් මුදවාගෙන තිබේ. මේ නිසා දෙපාර්ශවයේම පැවැත්ම එකිනෙකා මත රඳා පවතී. චීනය උපයාගත් ඩොලර් විශාල වසයෙන් නැවත ආයෝජනය කර ඇත්තේත් ඇමරිකාව තුලමයි. 
 
 
චීනය සතු මේ ඩොලර් අතිරික්ත විශාල වශයෙන් ඇමරිකන් භාණ්ඩාගාර බිල්පත් සහ වෝල් ස්ට්‍රීට් වෙළදපොල තුල ආයෝජනය කරලයි තියෙන්නෙ. ඒ නිසා ඇමරිකානු සහ චීන ආර්ථික සම්බන්ධතා ඉතා ගැඹුරු ලෙස ගැටගැහිලයි තියෙන්නෙ. 
 
ඇමරිකාව සහ චීනය පසුගිය වසර ගණනාව තුල වෙළද සහයෝගීතාවයෙන් එකිනෙකාට විශාල වාසි ලබාගත්තත් චීනයේ ආර්ථික සහ යුධ ශක්තියේ විශාල වර්ධනය අමරිකාවේ නොසන්සුන්තාවයට හේතු වී ඇත. 
 
මෙලෙස ආර්ථික සහ යුධමය වශයෙන් ඇමරිකානු ආධිපත්‍යයට අභියෝග කල හැකි තවත් රටක් මතුව ආ පලමු අවස්ථාව මෙයයි.


ඇමරිකන්-චීන ආර්ථික සබඳතාවල මූලයන්
 mao nixon
 
ඇමරිකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භවූයේ1972 වසරේදී ඇමරිකන් ජනාධිපතිවරයා වූ රිචඩ් නික්සන් චීනයේ සංචාරය කිරීමත් සමගයි. චීන අගමැති මාවෝ සේතුං මුණ්ගැසුනු ඔහු රටවල් දෙක අතර මිත්‍රතාවය ආරම්භකලා. ඔහුගේ අරමුණ වූයේ රුසියාව සමග ආරවුලක සිටි චීනයේ සහය රුසියාව මෙල්ල කිරීමට උපයෝගී කරගැනීමයි. 
 
 
ඉන් පසු 1979 වසරේදී ඇමරිකාවට සංචාරයකල චීන අගමැති ඩෙන් ෂියාවෝපිං එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ජිමී කාටර් සමග සමීප මිත්‍රත්වයක් ගොඩනගා ගනු ලැබීය. මේ මිත්‍රත්වය කාටර් සහ ඩෙන් ෂියාවෝපිං ගේ පවුල් දෙක අතර ලොකු මිත්‍රත්වයක් දක්වා වර්ධනය විය. එහි ප්‍රතිපලයක් ලෙස ජිමී කාටර් විසින් චීනයට තම ආර්ථිකය වර්ධනය කරගැනීමට සුවිශේෂ අවස්ථාවක් ලබාදුන්නා. ඇමරිකන් කර්මාන්ත චීනයට ගෙනයෑමත් චීනයට ඇමරිකානු වෙළදපොල විවුර්ත වන්නේත් මේ සම්බන්ධතාවයේ ප්‍රතිපලයක් ලෙසයි. 
 
 
එමගින් විශාල වශයෙන් රක්ශා සැපයීමටත් ආර්ථිකය වර්ධනය කිරීමටත් චීනයට හැකිවිය.
 
බහුධ්‍රැවීය අනාගතයක් කරා: බ්‍රික්ස්, ගෝලීය දකුණ සහ නව පෙළගැස්ම
 dfsdfeeed
 
චීනයේ ආරෝහණය ඇමරිකාවේ දැඩි කාංසාවට හේතු වී තිබේ. ඊට හේතුව මේ දක්වා ලෝකයේ කිසිම රටකට ඇමරිකානු ආර්ථික සහ යුධමය ශක්තියට සමීපවීමට නොහැකිවූවත් චීනය ඒ ආසන්නයටම පැමින සිටීමයි. 1944 වසරේ බ්‍රෙටන් වුඩ් ගිවිසුම අත්සන් කරන විට ලෝකයේ සියලුම රටවලට වඩා ඇමරිකාව ඉතා ශක්තිමත් තැනකයි සිටියෙ. බ්‍රිතාන්‍යය ඇතුලු යුරෝපය විශාල ආර්ථික අර්බුදයකට මුහුනපාලයි සිටියෙ. 
 
නමුත් අද තත්වය ඊට වඩා වෙනස්. ඇමරිකන් ආර්ථිකය අර්බුදයට යද්දී චීනය ඉදිරියට ඇවිත් තියෙනව. තවමත් ඇමරිකාව ලෝකයේ විශාලතම ආර්ථිකය හා යුධමය වසයෙන් බලවත්ම රාජ්‍යය වූවත් ඊට විශාල අභියෝගයක් ලෙස බ්‍රසීලය, රුසියාව, ඉංදියාව, චීනය, සහ දකුණු අප්‍රිකාව විසින් ගොඩනගා ඇති බ්‍රික්ස් (BRICS) සංවිධානය ගොඩනැගී තිබේ. 
 
 
2024 සහ 2025 වසරවලදී එම සංවිධානයට තවත් බලවත් රටවල් කිහිපයක් වන ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව ද එකතුවෙලා තියෙනවා. ඉදිරියේදී මේ සංවිධානය තවත් පුලුල්වීමට නියමිත අතර මේ නිසා BRICS සංවිධානය ලෝක ආර්ථික සහ දේශපාලන බලයට දැඩි බලපෑමක් ඇතිකිරීමට හැකි සංවිධානයක් ලෙස පුළුල්වීමේ විභවයක් තිබේ.
 
 
ආර්ථික විශේෂඥයන් පෙන්වාදෙන ආකාරයට අනාගතයේදී ලෝක ආර්ථික වර්ධනය කේන්ද්‍රගත වන්නේ ගොලීය දකුනේයි. ඒ නිසා ගෝලීය උතුරේ රටවල්වලට, ඒ කියන්නේ ඇමරිකාව ඇතුලු ඔවුන්ගේ හවුල්කරුවන්ට මේ යතාර්ථයට මුහුන දීමට සිදුවනු ඇත. 
 
ඒ නිසා තනි රාජ්‍යයක ආධිපත්‍යය වෙනුවට බහු ධ්‍රැවීය සහ බලය ඒකාකාරීව බෙදීයන ලෝකයක් සමග කටයුතු කිරීමට සූදානම් වීම අත්‍යාවශ්‍ය වී ඇත. අනාගතයේදී මතුවන ගෝලීය ගැටලු වලට මුහුණ දීමටත්, ගැටුම් අවම කිරීමට සහ අස්තාවරබාවය වැලක්වීමට නම් ලෝක නායකයින් සාමය සහ සහයෝගීතාව පදනම් කරගත් ආකෘතියක් වෙත යෑම අත්‍යාවශ්‍ය කාරනයක් වී ඇත.

එය ආධිපත්‍යයට වඩා අන්‍යෝන්‍ය ප්‍රතිලාභයට ප්‍රමුඛත්වය දිය යුතුයි. ලෝක ජනයාට සෞභාග්‍යවත් සහ සාමකාමී ජාත්‍යන්තර පද්ධතියක් ඇති කළ හැක්කේ එසේ ක්‍රියාකලහොත් පමනි.

Ajith Rajapaksha(සටහන | අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය සහ ගෝලීය බල තුලනයේ අර්බුදය; වැඩවසම්වාදයේ සිට නූතන ලෝක ක්‍රමය දක්වා | Ajith Rajapaksa | The Leader