The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

ආධිපත්‍යය, ආර්ථික අර්බුද සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මිරිඟුව | Ajith Rajapaksa

T

The Leader Desk

March 4, 2026 • 7:35 AM

ආධිපත්‍යය, ආර්ථික අර්බුද සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මිරිඟුව | Ajith Rajapaksa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රජාතන්ත්‍රවාදය බෝම්බ මඟින් ගෙන ආ හැකිද? ඉතිහාසය පෙන්වන්නේ එය බොහෝවිට මිරිඟුවක් පමණක් බවයි.
  • දිග්ගැසුනු යුද්ධයකින් කලාපයේ ඇතිකරන අස්ථාවරභාවය සහ ඉන් ඇතිවන ආර්ථික ප්‍රති විපාක පිලිබඳව සාමාන්‍ය ජනතාව කනස්සල්ලට පත්වී ඇත.
  • ප්‍රහාරයේ ආරම්භයේදීම ඉරාන බල අධිකාරයේ අධ්‍යාත්මික නායකයා ඇතුලු නායකත්වයේ විශාල කොටසක් ඝාතනයට ලක්විය.
  • නමුත් ගොඩබිමින් කෙරෙන හමුදා මැදිහත්වීමකින් තොරව පාලන තන්ත්‍රයේ වෙනසක් කල හැකිද යන්න පිලිබඳව හමුදා විශේෂඥයින් සැක පහල කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද දරුනු යුධ ප්‍රහාර අද ලෝකය පුරා විශාල ආන්දෝලනයට පාත්‍ර වී ඇත. දිග්ගැසුනු යුද්ධයකින් කලාපයේ ඇතිකරන අස්ථාවරභාවය සහ ඉන් ඇතිවන ආර්ථික ප්‍රති විපාක පිලිබඳව සාමාන්‍ය ජනතාව කනස්සල්ලට පත්වී ඇත.

ප්‍රහාරයේ ආරම්භයේදීම ඉරාන බල අධිකාරයේ අධ්‍යාත්මික නායකයා ඇතුලු නායකත්වයේ විශාල කොටසක් ඝාතනයට ලක්විය. නමුත් ගොඩබිමින් කෙරෙන හමුදා මැදිහත්වීමකින් තොරව පාලන තන්ත්‍රයේ වෙනසක් කල හැකිද යන්න පිලිබඳව හමුදා විශේෂඥයින් සැක පහල කර ඇත.

iran dead body 260304

ඇමරිකාව විසින් පසුගිය කාලය පුරා කල එවැනි හමුදා මැදිහත්වීම් අවසන්වූයේ විනාශකාරී ලෙසයි. එනිසා එවැනි මැදිහත්වීමකට ඇමරිකානු ජනයාගේ ඇත්තේ අප්‍රසාදයකි. මේ නිසාම ඩොනල්ඩ් ට්‍රම්ප් චන්ද ව්‍යාපාරයතුල පෙනීසිටියේ යුද්ධය වෙනුවට සාමය ගෙන එන සහ ගැටුම් සමනය කරන නායකයකු ලෙසටයි. ඒ වෙනුවෙන් නෝබෙල් සාම ත්‍යාගය ලබාගැනීමටද ඔහු විශාල කැමැත්තක් පෙන්නුවේය. ඒ සියල්ල දැන් කනපිට හැරී ඇත. විශේශයෙන් යුද්ධය ආරම්භයේදීම ඉරාන පාසැලකට එල්ලකල මිසයිල් ප්‍රහාරය නිසා සිසුන් සිය ගනනක් ඝාතනයවූ අතර එය සියල්ල කම්පාවට පත්කලේය. මේ සිද්ධිය යුද්ධයේ ඇති අවිධිමත්බාවය, අනපේක්ෂිත බව සහ එය මුලු සමාජයකටම බලපාන ආකාරය හොදින් පෙන්නුම් කලේය.

කෙසේවෙතත් ඉරානයට පහරදීම ගැන සමහරු සතුටින් කතා කරන අතර එය කෲර ජිහාඩ්වාදීන් පරදවා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දිනාගැනීමේ ගමනේ ආරම්භය බව පවසති. විශේශයෙන් බටහිර රටවල ජීවත්වන ඉරාන ප්‍රජාව වීදිවලට පැමින තම සතුට පලකලේය. මේ අතර තවත් කොටසක් ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින් ආරම්භ කරනලද යුද්ධය හෙළා දැක ඇත. ස්පාඤ්ඤය, නෝර්වේ, තුර්කිය, චීනය, රුසියාව, වියට්නාමය, පාකිස්තානය, දකුනු අප්‍රිකාව, බ්‍රසීලය ඇතුලු රටවල් ගනනාවක් මීට අයත්වේ. මේ අතර යුරෝපියානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ගනනාවක් ජාත්‍යන්තර නීති පිලිපදින ලෙසටත්, වහාම ගැටුම් සමනය කිරීම, සහ දේශපාලන විසඳුමක් සඳහා සංවාදය නැවත ආරම්භ කරන ලෙසට ඉල්ලා ඇත. 

Screenshot 2026 03 04 114047

මේ අතර ඇමරිකාව තුලම යුධ විරෝධයක් ආරම්භ වී තිබීම විශේෂත්වයකි. යුධ විරෝධී පොරොන්දු මත බලයට පැමිනි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම තුලද යම් විරෝධතා ආරම්භ වී ඇත. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයේ නායකයන් යුද්ධය දැඩිලෙස හෙලා දැක ඇත. සෙනටර් බර්නි සෑන්ඩර්ස් X පනිවිඩයක් යවමින් කාන්තාවන් සහ ළමයින් ප්‍රමුක 72,000 ක පමන ජන ඝාතනයක් කල නෙතනියිහානු වැනි කෙනෙකු සහ සෞදිඅරාබිය වැනි කෲර ඒකාධිපතිත්වයක් සමග එක්ව ඉරානයට නිදහස ගෙන ආ හැකිද යන්නත් එවැනි ප්‍රලාප විශ්වාස කරන අය සිටිත්දැයි ප්‍රශ්න කර ඇත.

මේ යුද්ධයට විරුද්ධ විය යුතුබවට සියලු සෙනට්වරුන්ගෙන් ඉල්ලා සිටින ඔහු ට්‍රම්ප් නෙතානියාහුගේ දිගුකාලීන අභිලාෂයන් ඉටුකිරීම සදහා ඇමරිකානුවන්ගේ ජීවිත සමඟ සූදුවක යෙදී සිටින බවට චෝදනා කරයි.  අපේ රටේ ජනතාවට, ඔවුන්ගේ දේශපාලන පෙළඹවීම කුමක් වුවත්, නිමක් නැති යුද්ධයක් අවශ්‍ය නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ යහපත් වැටුප් සහිත රැකියා, ඔවුන්ට දැරිය හැකි සෞඛ්‍ය සේවා සහ නිවාස ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීමයි. ට්‍රම්ප්ට තවත් අඥාන යුද්ධයකට අපව බලෙන් පත් කිරීමට ඉඩ නොදිය යුතු බව ඔහු නිකුත් කල ප්‍රකාශයක සදහන්වේ.

අද ගෝලීය වශයෙන් ඇමරිකානු ආර්ථිකයට  එල්ලවී ඇති අභියෝග, විශේෂයෙන් ඩොලර් ට්‍රිලියන 30 ක පමන වන බාහිර ණය කන්දරාව  හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් බදු යුද්ධයකටත්, භූමිය සහ වෙළදපොල පුලුල්කරගැනීම සහ සම්පත් අත්පත්කරගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටී. මේ ඇමරිකන් හෙජමොනික් බලය තවදුරටත් පවත්වාගෙන යැමට දරන  ප්‍රචණ්ඩ උත්සාහයකි. අද තමන්ගේ මිත්‍ර රටවල් වන කැනඩාව, ග්‍රීන්ලන්තය වැනි රටවල් පවා තම යටතට නතුකරගැනීමට ට්‍රම්ප් වහසි බස් කියන්නේ ඒ නිසාය.

 

Flags arranged in a field for remembrance of the victims of September 11th.

කෙසේවෙතත් ඇත්තටම මේ පහරදීම් තුලින් ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කල හැකිද, එසේත් නැතිනම් ඒ සදහා යම් ඉඩකඩක් පාදා ගත හැකිද යන්න සොයා බැලිය යුතු කාරනාවකි. එවැනි වර්ධනයක් ඇතිකරගතහැකි නම් එය ප්‍රගතිශීලී වැඩකි. නමුත් පසුගිය වසර දශක කිහිපය තුළ ලෝකය පුරා ඇමරිකාව මැදිහත්වීමෙන් සිදු වූ යුද්ධයන් දෙස බැලූවිට මේ පිලිබඳව ඇතිකරන්නේ බරපතල අවිශ්වාසයකි. ඉරාකය, ඇෆ්ගනිස්තානය, ලිබියාව ආදී රටවල කල මිලිටරි මැදිහත්වීම් ප්‍රජාතන්ත්‍රවාදය” හෝ “මානව හිමිකම්” නාමයෙන් සාධාරණීකරණය කළත් එහි ප්‍රතිඵල වූයේ දිගුකාලීන අස්ථාවරතාවය, අභ්‍යන්තර ගැටුම්, ආයතන පද්ධති බිඳ වැටීම සහ රටවල් බිඳ වැටීමයි.

ඒ නිසා මේ යුද්ධ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය සඳහාද යන්න අභියෝගයට ලක්ව ඇත. ලෝකයේ බොහෝ ඒකාධිපති පාලන පැවැතියත් ඒ රටවල් ඇමරිකාව වැනි බලවත් රටවල් සමඟ ගනුදෙනු කිරීමට සූදානම් නම්, ඔවුන්ට එල්ලවන පීඩනයක් නැත. එවැනි රටවල් ඇමරිකාවේ සමීපතම මිත්‍රයන් නැත්නම් පාර්ශවකරුවන් වී යහතින් වැජඹෙති. මෙයින් පෙනී යන්නේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය බොහෝවිට සදාචාරය නොව, දේශපාලන හා ආර්ථික වාසි මත පදනම් වන බවයි.  

 
එනිසා මේ යුද්ධයත් මැදපෙරදිග ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කරගැනීමත් එමගින් වෙළදපොල පාලනය කිරීමත් මූලික කරගත් ආක්‍රමණයක් බව පැහැදිලිය.  ගෝලීය උපදේශක කමිටුවල ඉහළ තනතුරු දැරූ සුප්‍රසිද්ධ ඇමරිකානු ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ජෙෆ්රි සැක්ස් පවසා ඇත්තේ ඉරානයේ ඇමරිකානු යුද්ධය න්‍යෂ්ටික තර්ජන හෝ ඉරානයෙන් එන ආසන්න තර්ජනයක් ගැන නොවන බවත් එය කලාපයේ බලය හා ආධිපත්‍යයට සම්බන්ධ බවත්ය. යුද්ධය සාධාරණීකරණය කිරීමට කියන සෑම දෙයක්ම බොරුවක් බව ඔහු පැවසුවේ ඉංදියානු NDTV සමග කරනලද රූපවාහිනී සාකච්ඡාවේදීය.  

ඉතිහාසයෙන් පාඩම්

ඉතිහාසය මෙවැනි යුධ ගැටුම් සම්බන්ධයෙන් අපට අනතුරු අඟවයි.
 
thumbs b c e77244636ba47aa0dff7f5a39329adfcමොහොමඩ් මෝසි
වසර 20කට අධික කාලයක් ඇමරිකානු හමුදා යටතේ පාලනයවූ ඇෆ්ගනිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට ඇමරිකාව අපොහොසත් විය. 2021 දී ඔවුන් ඉවත්වීමෙන් පසු තලිබාන්වරුන් නැවත බලයට පැමිණියේය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. ඊජිප්තුවේද එම තත්ත්වයම දැකිය හැක. අරාබි වසන්තයෙන් පසුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවති ජනාධිපති මැතිවරණයෙන් මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කල මොහොමඩ් මෝසි ජනපති ලෙස තේරී පත් විය. නමුත් ඉතා කෙටිකාලයක් තුල ඇතිවූ දේශපාලන සහ ආර්ථික අර්බුදයන් සමග හමුදා පාලනයක් ඇතිවිය. මුස්ලිම් සහෝදරත්වය තහනම් කෙරුන අතර එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කලේය. දහස් ගනන් අතඩංගුවට ගත් අතර විශාල පිරිසක් ඝාතනයට ලක්විය. මෝසි සිරගෙය තුල ජීවිතක්ෂයට පත්විය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නැවත දැඩි පාලනයක් ස්ථාපිත විය. ලිබියාවේද තත්වය එසේය. නේටෝ සංවිධානය විසින් කරන ලද මැදිහත්වීම සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. එහි ප්‍රතිපලය නොනවතින අභ්‍යන්තර ගැටුම්, දේශපාලන අස්තාවරභාවය සහ ආර්ථික පරිහානියයි.

මෙම උදාහරණ පෙන්වන්නේ පාලකයෙක් ඉවත් කිරීම පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන්නේ නැති බවයි. බොහෝවිට එය අස්ථාවරතාව, ආගමික හා වර්ගවාදී ගැටුම් සහ අරාජිකතාවයට හේතු වේ.

මේ හමුදා මැදිහත්වීම් තුලින් පසුගිය කාලය පුරා වී ඇත්තේ බොහෝ රටවල  අන්තවාදී කණ්ඩායම් දුර්වල වනවාට වඩා ශක්තිමත් වීමයි. විදේශීය ප්‍රහාරවලට මුහුණ දෙන පාලකයන් “ජාතිය රැකගන්නා නායකයන්” ලෙස තමන්ගේ ආදිපත්‍යය තහවුරු කර ගනිති. ප්‍රජාතන්ත්‍රවාදය බෝම්බ මඟින් ගෙන ආ නොහැක. එය රට තුළින්ම වර්ධනය විය යුතුය. ඒ සදහා ශක්තිමත් ආයතන, නීති පද්ධති, සමාජ එකමුතුව සහ ජනතා සහභාගීත්වය අවශ්‍ය වේ. ජාත්‍යන්තර ආයතනවලින් මෙවැනි ගැටලු විසඳිය හැකි වුවත්, ඒවා බොහෝවිට බලවත් රටවල් විසින් පාලනය වේ. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ශක කවුන්සිලයෙහි සමහර බලවත් රටවලට ඇති නිෂේධ බලය නිසා බොහෝ තීරණ අවහිර වේ. ඒ නිසා ජාත්‍යන්තර පද්ධතිය ප්‍රබල ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතු බව බොහෝ දෙනාගේ මතයයි. එය අද හදිසි අවශ්‍යතාවයක් වී ඇත.

යුද්ධවලට මුල ආගමික අන්තවාදයද?

ආගමික අන්තවාදය කරලියට පැමිනින්නේ ලෝකයේ, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින සහ පසුගාමී රටවල ඇතිවූ ආර්ථික විශමතාවල ප්‍රතිපලයක් ලෙසයි. මුල් කාලයේදී මේ අසමානතා සහ අසාධාරණකම් වෙනුවෙන් සටන් බිමේ පෙනී සිටියේ වාමාංශික බලවේගයි. ඒ සදහා ඔවුන් සියල්ලට සෞබාග්‍යය ගෙන ආහැකියැයි විශ්වාස කල සමාජවාදය යෝජනා කලෝය. ඊට ලොකු පිලිගැනීමක් තිබුනි. නමුත් සෝවියට් දේශය ඇතුලු සමාජවාදී කදවුරේ සිදුවූ පසුබැස්ම සහ කඩාවැටීම සමග එය තවදුටටත් විකල්පයක් නොවුනු අතර වාමාංශික දේශපාලනය විශාල පිරිහීමකට ලක්විය.
 
palestine main

එනිසා ධනවාදය තුලින් ජනතාවට එල්ලවන පීඩනයට මැදිහත්වීම පිලිබඳව විශාල හිදසක් සමාජයතුල නිර්මානය විය. පසුගාමී රටවල ආගමික අන්තවාදීන් ක්‍රම ක්‍රමයෙන් ඒ හිදැස පිරවීමට මුල්විය. ආගමික මූලධර්මවලට අනුව ජීවත්වීම විසදුම ලෙස යෝජනා කෙරුනි. ආගමික මූලධර්මවල අන්තයට යෑම මගින් මේ රටවල නිර්මානය වූයේ ඉතා අමානුෂික, සහාසික සහ ප්‍රතිගාමී සමාජයන් ය. ආගමික අන්තවාදය හමුදා බලයෙන් මැඩ පවත්වාගත හැකි නමුත්, එය නිර්මාණය කරන සමාජ-ආර්ථික මූල හේතු විසඳා නොමැති නම්, එය වෙනත් ආකාරයකින් නැවත මතු වේ.

ප්‍රජාතන්ත්‍රවාදය බෝම්බ මඟින් ගෙන ආ හැකිද?

සිශ්ට සම්පන්න මිනිසුන් ඒකාධිපති සහ මූලදර්මවාදී පාලනවලට විරෝධය පළ කිරීම අනිවාර්යයෙන් කලයුතු දෙයකි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යනු බෝම්බයකින් විවෘත කළ හැකි දොරක් නොවේ. එය ජනතාවගේ අභ්‍යන්තර ශක්තියෙන්, කාලයත් සමඟ, ආයතන ගොඩනඟමින්, විශ්වාසය වර්ධනය කරමින් නිර්මාණය කළ යුතු සමාජ ක්‍රියාවලියකි. ඉතිහාසය අපට පෙන්වන්නේ යුද්ධය ආරම්භ කිරීම පහසු වුවත්, එය අවසන් කිරීම ඉතා අසීරු බවයි.

the war
බාහිර බලයෙන් පාලකයෙක් ඉවත් කළ හැකි වුවත්, නව රටක් ගොඩනැගීම සම්පූර්ණයෙන්ම වෙනස් කාර්යයකි. ඉතිහාසය පෙන්වන්නේ යුද්ධයක ආරම්භය ආශ්වාදජනක විය හැකි නමුත්, එහි අවසානය බොහෝවිට අඳුරු, අසීරු සහ ඛේදජනක බවයි. එබැවින් යුද්ධ සම්බන්ධයෙන් උද්යෝගයෙන් නොව, ඉතිහාසයෙන් පාඩම් ගනිමින් ඒ පිලිබඳව කල්පනාකාරීව ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය වේ.

යුද්ධයේ මනුෂ්‍ය හා ආර්ථික මිල

යුද්ධ බොහෝවිට පෙන්නුම් කරන්නේ ගෝලීය ආර්ථික පද්ධතියේ ඇති අර්බුදයයි. සෑම ආර්ථික අර්බුදයක්ම ගෝලීය යුධ ගැටුම් සහ විශාල විනාශයන් නිර්මානය කලේය. සෑම විටම නව ආර්ථික චක්‍රයක් ආරම්භ වන්නේ දේපල සහ මිනිස් ජීවිතවල ඇතිකරන විශාල විනාශයන් හරහාය.  
 
 
war poor
භූ දේශපාලනික විවාදවලින් ඔබ්බට, යුද්ධය සාමාන්‍ය ජනතාවට ක්ෂණික හා විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එයි. බලපෑමට ලක්වන රටවල සිවිල් වැසියන් අවතැන්වීම, නිවාස විනාශවීම, සෞඛ්‍ය සේවා පද්ධති බිඳවැටීම , අධ්‍යාපනය බිඳවැටීම සහ විශාල සමාජ කම්පනයක් ඇතිවීම  යනාදිය විඳදරා ගැනීමට සිදුවේ. දශක ගණනාවක් තිස්සේ ගොඩනඟන ලද යටිතල පහසුකම් සති කිහිපයකින් විනාශ විය හැකිය. මීට අමතරව සිදුවන ආර්ථික ප්‍රතිවිපාක යුධ පිටියෙන් ඔබ්බට ද විහිදේ. කලාපීය යුද්ධ බොහෝ විට ගෝලීය බලශක්ති සැපයුම් කඩාකප්පල් කරයි, වෙළඳ මාර්ග පීඩාවට පත් කරයි. උද්ධමන පීඩනය තීව්‍ර කරයි. ඉන්ධන සහ ආහාර මිල ඉහළ යාම ලොව පුරා වැඩ කරන පවුල් මත අමතර බරක් පටවයි. දැනටමත් ජීවන වියදම සමඟ පොරබදමින් සිටින පුද්ගලයින්ට වැඩි ආර්ථික අනාරක්ෂිතභාවයකට මුහුන දීමට සිදුවේ.
ishrayal gaza

ඒ අතරම, යුද්ධ බොහෝ විට බලවතුන්ට විශාල ආර්ථික ප්‍රතිලාභ ලබා දෙති. ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්ට සැලකිය යුතු මිලිටරි කොන්ත්‍රාත්තු ලැබේ. ආයුධ නිපදවන්නන්ගේ ආදායම ඉහල යති. විශාල සමාගම් වලට ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්තු සඳහා ප්‍රවේශය ලැබෙන අතර වටිනා සම්පත් අත්පත් කර ගැනීමට අවස්ථාව ලැබේ. අවසානයේ මේ සියලු මිලිටරි වියදම් සඳහා මුදල් සපයන බදු බරට උරදීමට සිදුවන්නේ වැඩකරන දුප්පත් ජනතාවටය. 

යුද්ධ සාමාන්‍ය ජනතාවට සේවය කරන්නේ කලාතුරකිනි. ඒවා දරිද්‍රතාවය සහ අසමානතාවය තීව්‍ර කරයි, දුප්පතුන් තවත් පහලට ඇදදමන අතර, ප්‍රධාන සමාගම් සහ ව්‍යාපාරිකයන්ට විශාල ලාබ ඉපයීමේ අවස්ථා නිර්මාණය කරමින් ඔවුන් තව තවත් ධනවත් කරයි. සියලු ලාභ පෞද්ගලීකරණය කෙරෙන අතර දුක් වේදනා සමාජගත කරයි. යුද්ධයේ සැඟවුණු යථාර්ථය එයයි.


WhatsApp Image 2026 03 04 at 9.56.03 PM
(සටහන | අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...