ගෝලීය ධනවාදී ක්‍රමයේ චක්‍රීය ස්වබාවය නිසා මේ ප්‍රවනතාවය හරියට වතුරට යටකරන රබර් බෝලයක්සේ කලක යට යමින් නැවත මතුව එන ප්‍රවනතාවයක් ලෙස හැදින්විය හැක.
ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රවනතාවය මුලින්ම ආරම්භ වන්නෙ 1930 දී පමනි, ඒ ලෝක ආර්ථිකයේ සිදුවූ විශාල කඩාවැටීම (The Great Depression) සහ 1917 දී කොමියුනිස්ට් වරුන් රුසියාවේ බලය අල්ලාගැනීම නිසා ඇතිවූ භීතිකාවක් සමගයි. මේ දක්ශිණාංශික බලවේගය "නව ආරක්ෂක බලකාය" (The New Guard) නමින් හදුන්වාගත් අතර පසුව එහි ශාඛාවක් ලෙස "මධ්‍යම පක්ෂය" (The Centre) පිහිටුවා ගන්නා ලදී. මෙම ෆැසිස්ට්, පැරාමිලිටරි කණ්ඩායම දැඩි ලෙස රාජාණ්ඩුවාදී, කොමියුනිස්ට් විරෝධී, යුදෙව් විරෝධී සහ අධිකාරීවාදී විය. ඔවුන් කොමියුනිස්ට්වාදීන් සහ වෘත්තීය සමිතිවාදීන් සමඟ වීදි සටන්වල නිරත විය. සුදු හම ඇති සහ රෙපරමාදු කතෝලිකයන් හැර අන් ජාතිකයින් සංක්‍රමණිකයන්ලෙස මෙරටට ගෙන්වීමට විරුද්ධ විය. කෙසේවෙතත් එදා ඔවුන් පාර්ලිමේන්තුවට ඇතුලුවීමට ගත් උත්සාහයන් අසාර්ථක විය.
පෝලින් හැන්සන්
මෑත ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවේ ජාතිවාදී දක්ෂිණාංශික බලවේග නැගී ආවෙ 90 දශකයේදීය. ඒ අවස්ථාවේදීත් ඕස්ට්‍රේලියානු ආර්ථිකය විශාල අවපාතයකට ලක්වී තිබුනි. ආර්ථික වර්ධනය ඇනහිටි අතර ව්‍යාපාරවල ලාබ හීනවී යාම නිසා ඒවා වසා දමන්නටත් සේවකයන් ඉවත් කිරීමටත් පටන් ගත්තේය. රාජ්‍යය බැංකු ගනනාවක් කඩා වැටුනි. රැකියා විරහිතබාවය 11% දක්වා ඉහළගියේය. තරුණ විරැකියාව 30% දක්වා ඉහළ ගියේය. 1990 දශකයේ මුල් භාගයේදී නිල බැංකු පොලී අනුපාතය 17.5% ක වාර්තාගත ඉහළම අගයකට ළඟා විය. එනිසා නිවාස ණය ගෙවාගත නොහැකිව විශාල පිරිසක් පීඩාවට පත්වුනි. එය ලෝක ආර්ථික අවපාතයත් සමග සමාන්තරව සිදුවූ දෙයක්වූ අතර ඇමරිකා එක්සත් ජනපදයද විශාල ආර්ථික කඩාවැටීමකට ලක්විය. ඒ මොහොතේ මතුවූ අන්ත දක්ෂිණාංශික රැල්ලට නායකත්වය දුන්නේ කුඩා කෑම කඩයක් කරමින් සිටි සාමාන්‍ය පංතියේ ගැහැනියකුවූ පෝලින් හැන්සන් විසිනි.
අධ්‍යාපන මට්ටමින්, දේශපාලන සහ ආර්ථික දැනුම අතින් ඉතා පහල මට්ටමක සිටි පෝලින් හැන්සන් ඕස්ට්‍රේලියාවේ මතුවී තිබූ ආර්ථික අර්බුදයට එක හේතුවක් ලෙස ඉදිරිපත් කලේ මුල් පදිංචිකරුවන් වන ඇබොරිජින් ජාතිකයින්ට රජය විසින් ලබාදෙන සුභසාධන ආධාරයි. ඒ වගේම ඇය ආසියානුවන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කලේය. ආසියානු සංක්‍රමණිකයන් දේශීය සුදු ජාතිකයින්ගේ රැකියා අවස්ථා උදුරාගන්නා බවට සහ රජයේ සහානාධාර ලබමින් ජීවත්වන බවටත් ඔවුන් පවුල් වර්ධනය කරන බවටත් චෝදනා එල්ල කලේය.
අතීතයේ දී විවිධ ප්‍රජාවන් මෙලෙස වෙනස්කම් කිරීම්වලට ලක්වී ඇත. රන් ආකරවල වැඩකල චීන සංක්‍රමණිකයන් 19 වන ශත වර්ෂයේ වඩාත්ම පීඩනයට ලක්වූ ජනකොටස ලෙසට පිලිගැනේ. 1950 සහ 1960 ගණන්වල ග්‍රීක සහ ඉතාලි සංක්‍රමණිකයින්ට එරෙහිව භාවිතා කරන ලද බොහෝ තර්ක, පසුව ආසියාව, මැද පෙරදිග සහ අප්‍රිකාවෙන් පැමිණි සංක්‍රමණිකයින්ට එරෙහිව භාවිතා කරන ලද තර්කවලට සමාන විය. ඉතාලියානුවන් බොහෝ විට ඇන්ග්ලෝ-සෙල්ටික් ඕස්ට්‍රේලියානුවන්ට වඩා වාර්ගික හා සංස්කෘතික වශයෙන් පහත් ලෙස නිරූපණය කරන ලදී. ග්‍රීක සංක්‍රමණිකයින් බොහෝ විට ජාතිවාදයට සහ ප්‍රධාන ප්‍රවාහයට උකහා ගැනීමේ පීඩනයට මුහුණ දුන්හ. "වොග්" සහ "ඩේගෝ " වැනි අපහාසාත්මක් වචන ග්‍රීකයන්ට සහ අනෙකුත් දකුණු යුරෝපීයයන්ට එල්ල විය. බොහෝ ග්‍රීක සංක්‍රමණිකයින් රැකියා, නිවාස, පාසල් සහ පොදු ජීවිතයේදී වෙනස්කම් කිරීම් අත්විඳ ඇත. ග්‍රීක භාෂා භාවිතය සමහර විට අධෛර්යමත් කරන ලද අතර, සමහර සමාජ ශාලා සහ ආයතන ඉංග්‍රීසි හැර වෙනත් භාෂා භාවිතය සීමා කළහ.
ගෝලීය ආර්ථිකයේ චක්‍රීය ස්වබාවය සහ ධනවාදී ආර්ථික ක්‍රමයේ වරින් වර මතුවන මේ අර්බුදයට හේතුවන සැබෑ කාරනා ගැන කතිකාවක් මතුකරනවා වෙනුවට දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහය සෑමවිටම උත්සාහ කරන්නේ ප්‍රශ්න වලට පහසු චූදිතයකු අල්ලාගැනීමටයි. මෙවැනි අන්ත දක්ෂිණාංශික ව්‍යාපාරවලට සහයෝගය දෙන විශාල ව්‍යාපාරිකයින්, මාධ්‍ය ආයතන සහ අවස්ථාවාදී දේශපාලකයන් තමන් වගවියයුතු සැබෑ ප්‍රශ්න යටගසා වැරැද්ද බල රහිත ප්‍රජාවන්වෙත එල්ල කර සමාජයේ විශාල බෙදීමක් ඇතිකොට ඒ තුලින් තමන්ගේ පැවැත්ම සහ බලය පවත්වාගෙන යෑම කරගෙන යති. 1995 දී ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ශයේ නායකයාවූ ජෝන් හොවාඩ් ඉතා කපටිලෙස මේ අන්ත දක්ෂිණාංශික රැල්ල තමන්ගේ වාසියට පාවිච්චි කරන ලදී. මේ රැල්ලට නිතර එක්වූයේ සමාජයේ ඉතා නොදියුණු, පහල ආර්ථික මට්ටම්වල ජීවත්වූ සහ ප්‍රධාන නගරවලින් පිට ජීවත්වූ කොටසුයි. අද මෙන් එදාද සංක්‍රමණ විරෝධී රැල්ලට සංක්‍රමණීය ප්‍රජාවේ සමහර කොටස්පවා එක්වී සිටියේය. අලුතින් පැමින්නෙ සංක්‍රමණිකයන් නිසා තමන්ගේ පරිබෝජනවාදී සහ ආත්මාර්ථකාමී අනාගත සිතුම් පැතුම් ඉටුකර ගැනීමට නොහැකිවේදෝයි යන භීතිකාව සහ සැකය මෙම කොටස් තුල ජනිතවන්නට ඇත.

1996 පැවති අතුරු මැතිවරණයකකින් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට ඇතුලුවීමට පෝලින් හැන්සන්ට හැකිවිය. ඉන් පසු 1998 දී පැවති ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයේදී 23% ක චන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ඈ නායකත්වය දුන් වන් නේෂන් (One Nation) පක්ශයට හැකිවිය. 1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේ ඕස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයට හේතු වූයේ අධික ණය ගැනීම්, ඉහළ උද්ධමනය, ඉහළ යන පොලී අනුපාත සහ මන්දගාමී ගෝලීය ආර්ථිකයයි. 1980 ගණන්වල මූල්‍ය නියාමනය ඉවත් කිරීමෙන් පසුව, ව්‍යාපාර සහ දේපළ ආයෝජකයින් විශාල ණය ප්‍රමාණයක් ලබා ගත් අතර, වාණිජ දේපළ සහ ආයතනික අත්පත් කර ගැනීම්වල උත්පාතයක් ඇති කළේය. උද්ධමනය වැඩි වූ විට, රජය සහ සංචිත බැංකුව (Reserve Bank of Australia) ආර්ථිකය මන්දගාමී කිරීම සඳහා පොලී අනුපාත තියුනු ලෙස ඉහළ නැංවීමෙන් ප්‍රතිචාර දැක්වීය. ඉහළ ණය ගැනීමේ පිරිවැය අධික ණය අවදානම හෙළි කළ අතර එමඟින් දේපල වටිනාකම් පහත වැටීම, ව්‍යාපාර අසාර්ථකත්වය, ආයෝජන අඩුවීම සහ විරැකියාව ඉහළ යාම සිදුවිය. දුර්වල වන ජාත්‍යන්තර ආර්ථිකයක් ඕස්ට්‍රේලියානු අපනයන සඳහා ඇති ඉල්ලුම තවදුරටත් අඩු කළ අතර, රට ගැඹුරු අවපාතයකට තල්ලු කළ අතර එය සැලකිය යුතු දුෂ්කරතා ඇති කලේය.
මෙවැනි උත්පාත සහ අවපාත ධනවාදී ආර්ථික ක්‍රමයේ ඇති ආවේනික ලක්ෂනයකි. ආර්ථික අවපාතයේදී සමාජයේ පහලම කොටස් විශාල පීඩනයකට ලක්වීම අනිවාර්යයෙන් සිදුවන්නකි. මේ ජනතා කොටස්වල කෝපය සහ කනස්සල්ල බහු සංස්කෘතිකවාදයට සහ ස්වදේශික සුභසාධන වැඩසටහන්වලට එරෙහිව හැරවීමට පෝලින් හැන්සන් උපයෝගී කරගත් අතර එය ග්‍රාමීය සහ කලාපීය ඕස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත කලේය. කෙසේවෙතත් මේ බලවේගය ඉන්පසුව රටේ ඇතිවූ ආර්ථික වර්ධනයත් සමග ක්‍රමයෙන් දුර්වල විය. පෝලීන් හැන්සන්ගේ මතවාදය තමගේ වාසියට හරවාගෙන බලයට පැමිනි ජෝන් හොවාඩ්ගේ ලිබරල් පක්ශය ආර්ථික අර්බුදයට විසදුම ලෙස නව ලිබරල්වාදී ආර්ථික වැඩපිලිවෙල සීග්‍රයෙන් ක්‍රියාත්මක කලේය. විදුලිය, ගෑස්, ටෙලිකොම්, ජලය, ප්‍රවාහන යන සියල්ල පාහේ පෞද්ගලිකකරණයට ලක්විය.
ධනවාදී ආර්ථික අර්බුදය සහ සංක්‍රමණිකයන් ගෙනඒමේ සැබෑ අරමුණ
ඕස්ට්‍රේලියාව මෙන්ම කැනඩාව, ඇමරිකාව, නවසීලන්තය වැනි සංවර්ධිත රටවලට සංක්‍රමණිකයන් රැගෙන එන්නේ දියුනු වෙමින් පවතින රටවලට ආධාර කිරීමට හෝ එම රටවල පීඩිත ජනයාට උදව් උපකාර කිරීමට නොවෙති. මේ රටවලට සංක්‍රමණිකයන් අවශ්‍ය වන්නේ විවිධ ක්ශේත්‍රවල ඇති ශ්‍රම අර්බුදයන් විසදීමටයි.

තරගකාරීත්වය තුලින් ශ්‍රමය ඉහළයෑම වලක්වාගනිමින් ලාබ රේට්ටු තරකරගැනීමටයි. ඒ සදහා රැකියාවිරහිත හෝ ඌන සේවා නියුක්තික පුහුණු ශ්‍රමික සංචිතයක් පවත්වාගෙන යායුතුය. එනිසා බලයට පැමිනෙන සෑම ආණ්ඩුවක්ම ව්‍යාපාරික ප්‍රජාවේ මේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට සැදී පැහැදී සිටිති. ධනවාදී ආර්ථිකය පවත්වාගෙන යන්නේ මේ විශාල සමාගම් විසිනි. සංක්‍රමණික ප්‍රජාව විසින් විවිධ කශේස්ත්‍ර වලට අවශ්‍ය තාක්ශණික දැනුම, සේවාවන් සහ පලපුරුද්ද ලබාදෙන අතර ඊට අමතරව පාරිභෝගිකයන් ලෙස දේශීය වෙළදපොල පුළුල් කිරීමටද උපකාරීවේ. මේ වැඩපිලිවෙල තුලින් බටහිර රටවලට සහ ව්‍යාපාරිකයන්ට ලැබෙන තවත් සුවිශේෂ වාසියක් වන්නේ මේ වෘත්තීය විශේෂඥයින් පුහුණු කිරීමට කිසිම මුදලක් හෝ කාලයක් වැයකිරීමට අවශ්‍ය නොවීමයි.
මීට වසර 10 කට පමන ඉහතදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කල බිල් ගේට් නැමැති කෝටිපති ඇමරිකන් ව්‍යාපාරිකයාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් ඇසීය. ඒ ඇමරිකාව වගේ විශාල තාක්ශනික දියුනුවක් ලබාගැනීමට නම් ඕස්ට්‍රේලියාව කුමක් කලයුතුද යන්නයි. ඔහු ගත් කටටම කීවේ ඉංදියානු සහ චීන නිපුන සංක්‍රමණය වැඩිකල යුතු බවයි. ඔහු පැවසුවේ ඇමරිකාවේ සිලිකන් වැලී පවතින්නේ මේ ප්‍රජාවන් දෙක නියෝජනය කරන වුර්තීකයින් කරන විශාල දායකත්වය නිසා බවයි.
ආක්‍රමණිකයන්, සංක්‍රමණිකයන් සහ සරණාගතයින්
අද සංක්‍රමණිකයයින් විශාල වශයෙන් ජීවත්වන ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ සංක්‍රමණිකයන්ගේ දායකත්වයෙනි. මේ රටවලට මුලින් සුදු ජාතික යුරෝපියානුවන් පැමිනියේ ආක්‍රමණිකයින් ලෙස මිස නීත්‍යානුකූල සංක්‍රමණිකයින් ලෙස නොවේය. මෙසේ ආක්‍රමණිකයන් ලෙස පැමිනි යුරෝපියානුවන් කලු ජාතික ස්වදේශීකයන් ඝාතනය කරමින් සහ පලවා හරිමින් විශාල විනාශයක් කලෝය. ඒ විනාශය ඉතා දරුණු සහ අමානුෂික එකක් විය. සමූල ඝාතන, මත්පැන් සහ දුම්පානයට ඇබ්බැහි කිරීම, බෝවෙන දරුනු ලෙඩරෝග පැතිරවීම, ළමයින් පැහැරගෙන යෑම වැනි කෲර ක්‍රමවේද පාවිච්චි කලේය. මේ හා සමාන්තරව බ්‍රිතාන්‍යය ලෝකයපුරා තම බලය පතුරවමින් රටවල් ආක්‍රමණය කරමින්, විශාල ඝාතන, අපරාධ සිදුකරමින් එම රටවල්වල සම්පත් සූරෑකන ලදී. අප්‍රිකාවෙන් වහල් වෙළදාම ආරම්භ කරන්නෙත් මේ යුරෝපීය ආක්‍රමණිකයන් විසිනි.
ආක්‍රමණයේ දෙවන අදියර

ලෝක යුද්ධ හරහා බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර ආධිපත්‍යයේ කඩාවැටීමත් සමග ආක්‍රමණිකයන් තම යටත්විජිත හැරයෑම ආරම්භ විය. විශේෂයෙන් ඉංදියාව වැනි රටවල ඇතිවූ නිදහස් අරගල මීට ප්‍රධාන හේතූන් විය. යටත් විජිත අතහැරගියත් වක්‍ර මාර්ගයෙන් එම රටවල් සූරාකෑම දිගටම සිදූවිය. බ්‍රිතාන්‍යයට ගැති දේශීය ප්‍රභූන් හරහා තම බලය වක්‍රව පවත්වාගෙන ගිය මේ ක්‍රියාවලිය හදුන්වනු ලැබුවේ නව යටත්විජිත වාදය ලෙසයි. නව යටත්විජිත වාදය තුලින් ඉංදියාව, අප්‍රිකාව වැනි රටවලට යම් නිදහසක් ලබාදුන්නත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව වැනි රටවල් යුරෝපීය බලවතුන් විසින් තම යටත් විජිතලෙස දිගටම පවත්වාගෙන යමින් ඒවා නතුකරගන්නා ලදී.
ඕස්ට්‍රේලියානු පලමු සංක්‍රමණ රැල්ල

බ්‍රිතාන්‍යය විසින් බලෙන් අත්පත්කරගත් යටත්විජිත සංවර්ධනය කිරීමට තමයි මුලින්ම සංක්‍රමණිකයින් ගේන්න පටන් ගන්නෙ. ඒ බ්‍රිතාන්‍යය රාජකීය ආන්ඩුවට මේ රටවල සම්පත් සූරාකැමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීමටයි. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් සහිත පලමු නෞකාව පැමිනෙන්නෙ 1788 වසරෙදීයි. නැව් 11 කින් 1400 ක පිරිසක් පැමින ඇති බව වාර්තා වී තිබේ. මේ කණ්ඩායමේ බහුතරයක් සිරකරුවන්වීම විශේෂයකි. 1850 සහ 1860 ගණන්වල ඕස්ට්‍රේලියානු රන් ආකාරවල ඇතිවූ පිබිදීම නිසා ඉතාලිය සහ ග්‍රීසියෙන් පළමු සංක්මණික රැල්ල ඇතිවිය. නමුත් විශාල වශයෙන් යුරෝපියානු ජාතිකයින් ඕස්ට්‍රේලියාවට පැමිනෙන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමගයි.
දෙවන රැල්ල

පලමු රැල්ලට පැමිනි සංක්‍රමණිකයින් ඉතා කර්කශ ජීවිත ගතකරමින් ඕස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් ගොඩනැගීමටත් රන් ආකරවල සහ සත්වගොවිපලවලත් තම ශ්‍රමය වැගිරුවේය. මේවනවිට කලු ජාතිකයින්ට අයිති රටක් වූ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් ලෙස කලු ජාතිකයින් ගෙනඒම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුනි (White Australia Policy). දෙවන ලෝක යුද්ධයෙන් පසු, ඕස්ට්‍රේලියාවේ අගමැතිවූ (1945–1949) බෙන් චිෆ්ලි මහා පරිමාණ සංක්‍රමණ වැඩසටහනක් පරිපාලනය කිරීම සඳහා ෆෙඩරල් ආගමන දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ආරක්ෂක හා සංවර්ධන අරමුණු සඳහා ඕස්ට්‍රේලියාවට විශාල ජනගහනයක හදිසි අවශ්‍යතාවයක් ඇති බව චිෆ්ලි විසින් පත් කරන ලද කොමිෂම වාර්තාකල අතර ඒ අනුව සංක්‍රමණ හරහා වාර්ෂික ජනගහනය 1% කින් වැඩිකිරීමට නිර්දේශ කළේය. පළමු ආගමන අමාත්‍ය ආතර් කැල්වෙල්, "ජනගහනය හෝ විනාශය" යන සටන් පාඨය සමඟින් මහා සංක්‍රමණ වැඩපිලිවෙලක් ප්‍රවර්ධනය කළේය. මේ විනාශය පිලිබඳව බිය ජනිතකලේ ජපන් අධිරාජ්‍යවාදීන් විසින් ඩාර්වින් නගරයට කල පහරදීම නිසයි.
යුරෝපයේ විනාශ වූ ආර්ථිකයන් මෙන් නොව, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය සමෘද්ධිමත් විය. බොහෝ සංක්‍රමණිකයින්ට පුළුල් වන කර්මාන්ත සහ රජයේ ප්‍රධාන ව්‍යාපෘතිවල, විශේෂයෙන් හිම කඳු යෝජනා ක්‍රමයේ (The Snowy Mountains Scheme) රැකියා හමු විය. 1949 සහ 1974 අතර ඉදිකරන ලද මෙම දැවැන්ත ජල විදුලි හා වාරිමාර්ග ව්‍යාපෘතිය (ප්‍රධාන වේලි දහසයක් සහ විදුලි බලාගාර හතක්) ඕස්ට්‍රේලියාවේ විශාලතම ඉංජිනේරු ව්‍යාපාරය විය. රටවල් 30 කට වැඩි ගණනකින් කම්කරුවන් 100,000 ක් පමණ සේවයේ යොදවා ඇති මෙය බහු සංස්කෘතික ඕස්ට්‍රේලියාවේ ආරම්භයේ සංකේතයක් ලෙස පුළුල් ලෙස සැලකේ.
ලෝක ධනවාදයේ පරිණාමය සහ සංස්කෘතික පරිවර්තන

දශක ගනනාවකට පසු, විවිධ තාක්ශණික පිමි පනිමින් සහ නව ගැටලු ගනනාවක් නිර්මානය කරමින් ලෝක ධනවාදය ඉදිරියට පැමින තිබේ. ධනවාදයට විකල්ප ලෙස ගොඩනැගූ ව්‍යාප්පෘති සියල්ලම පාහේ අර්බුදයට ගොසිනි. අද ලෝක ධනවාදයේ පෙරගමන් කරුවන් වන්නේ ඇමරිකාව සහ චීනයයි. ලෝක ආර්ථිකයේ සුපිරි බලවතාවූ ඇමරිකාවට අභියෝග කිරීමට තරම් චීනය ශක්තිමත් වී ඇති අතර ඇමරිකන් ආර්ථිකය විශාල අභියෝග ගනනාවකට මුහුන දී සිටී. එනිසාම ඒක ධ්‍රැවීය ලෝකය වෙනුවට බහු ධ්‍රැවීය ලෝකයක් නිර්මානය වෙමින් පවතී. මේ තරගය නිසා කලාපීය ගැටුම් උග්‍රවීමේ විශාල අවදානමක්ද පවතී.
21 වන සියවස හැඩගස්වන නූතන ගෝලීය අභියෝග
අද ලෝකය මුහුණ දෙන අභියෝග අතර දේශගුණික විපර්යාසය, ආර්ථික අසමානතාවය, තාක්ෂණික පරිවර්තන, වයස්ගත ජනගහනය, බලශක්ති සංක්‍රාන්තිය, සහ නිවාස අර්බුදය ප්‍රමුඛ ස්ථානයක් ගනී. උෂ්ණත්වය ඉහළ යාම, ආන්තික කාලගුණික සිදුවීම්, සහ පරිසර දූෂණය ආහාර ආරක්ෂාව, ආර්ථික ස්ථාවරතාවය, සහ සෞඛ්‍යය සඳහා දැඩි අවදානමක් ඇති කරයි. එසේම, ගෝලීය ධනය කුඩා සංඛ්‍යාවක් අතට සංකේන්ද්‍රණය වීමත්, ජීවන පිරිවැය ඉහළ යාමත්, කර්මාන්ත විදේශ වෙළඳපොලවලට මාරු වීමත් රැකියා අර්බුදයන් හා සමාජීය ආතතීන් තවදුරටත් උග්‍ර කරයි. කෘතිම බුද්ධිය සහ ස්වයංක්‍රීයකරණය නව අවස්ථා සෑදූවත්, රැකියා විස්ථාපනය සහ පෞද්ගලිකත්වය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කරයි.

නව යථාර්ථය සහ හැන්සන්ගේ දෘෂ්ටිවාදය
මෙවැනි අප ඉදිරියේ ඇති විශාල අභියෝගයන්ට පිලිතුරු සොයනවා වෙනුවට සමාජය නොමගයැවීමට සහ ඉන් පටු වාසි ලබාගැනීමට පෝලින් හැන්සන් සහ වන් නේශන් පක්ශය සහ ඊට අනුබලදෙන අන්ත දක්ශිනාංශික බලවේග කරන උත්සාහයන් පරාජය කිරීම අත්‍යාවශ්‍ය සහ හදිසි කාරනාවක් වී තිබේ. සංකීර්ණ ගෝලීය ප්‍රශ්නවලට ඇය සරළ සහ ජනප්‍රිය විසදුම් යෝජනා කරයි. අප මුහුන දෙමින් සිටින දේශීය සහ ගෝලීය සැබෑ ප්‍රශ්නවලට මුහුනදිය හැක්කේ සාමූහිකත්වයෙන් සහ සිහිබුද්දියෙන් මිස විවිධ ජනකොටස් බෙදා වෙන්කිරීමෙන් හෝ වෛරය වැපිරවීමෙන් නොවේය. එය සියල්ලන්ගේම විනාශයට මුලකි.
බහු සංස්කෘතිය අහෝසි කොට එක සංස්කෘතියක් එනම් බ්‍රිතාන්‍යය සුදු ජාතිකයින්ගේ සංස්කෘතිය පමනක් පවත්වාගෙන යායුතු බව ඇය පවසා ඇත. ඇයට ඕස්ට්‍රේලියානු මුල් පදිංචිකරුවන්ගේ සංස්කෘතිය පිලිබඳව පවා කිසිම තැකීමක් හෝ සංවේදීබාවයක් නැත. මුල් කාලයේ සිටම විවිධ යුරෝපීය ජාතීන්ගේ සංස්කෘතියන් වලින් මිශ්‍රව ඔප මටටම් වූ ඕස්ට්‍රේලියාව පසු කාලයක ලෝකයේ විවිධ සංස්කෘතියන් සමග මිශ්‍රවී වැඩි දියුනු වී ඇත. ඕස්ට්‍රේලියානු ශක්තිය ගොඩනැගී ඇත්තේ එහි විවිධත්වය සහ ජනතාවට ආවේණික සංස්කෘතිය ප්‍රගුණ කිරීමේ නිදහස සහ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තුලයි. ABC සහ SBS වැනි මාධ්‍යය ආයතන වසා දැමිය යුතු බවට ඈ යෝජනා කරන්නේ මේ පටු අන්තවාදී මතවාදයට අනුවයි.

පසුගිය වසර තුන තුළ, පෝලීන් හැන්සන් සහ වන් නේෂන් වැඩ කරන පවුල්වලට සහාය වීම අරමුණු කරගත් පාර්ලිමේන්තු පියවර රැසකට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත. ගාස්තු රහිත TAFE (Technical And Further Education) වැඩසටහන් පුළුල් කිරීම, පොදු අධ්‍යාපනයට අරමුදල් වැඩි කිරීම සහ නිවාස නැති අයට නිවාස ලබාගැනීමට උපකාර විය හැකි මුලපිරීම් කිහිපයකට විරුද්ධ වී ඇත. අවම වැටුප් වැඩි කිරීමේ පියවරයන්ට ද හැන්සන් විරුද්ධ වූ අතර, කුලියට ගන්නා සේවකයින්ට එකම රැකියාව කරන සෘජුවම සේවයේ නියුතු සේවකයින්ට දෙන වැටුප්ම ලැබෙන බව සහතික කිරීම සඳහා නිර්මාණය කල "එකම රැකියාව, එකම වැටුප" කාර්මික සම්බන්ධතා ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඊට අමතරව, පුනර්ජනනීය බලශක්ති ආයෝජනය, ශක්තිමත් දේශගුණික ක්‍රියාමාර්ග සහ ශුද්ධ-ශුන්‍ය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරන නීති සම්පාදනයට ඇය නිරන්තරයෙන් විරුද්ධ වී ඇත. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට විරෝධය පාන ඇය යෝජනාකරන්නේ ලාබ පොසිල ඉන්ධන දහනයයි.
කෝටිපති ව්‍යාපාරිකයන්ගේ මුදල්වලින් දේශපාලනය කරන හැන්සන් සැබවින්ම පෙනීසිටින්නේ මේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයන් සදහා මිස සාමාන්‍යය ජනතාව මුහුන දෙන සැබෑ ප්‍රශ්න වෙනුවෙන් නොවන බව පැහැදිලිය. ලෝක ධනවාදී ආර්ථිකයේ හැසිරීම ගැන අබමල් රේනුවකවත් දැනුමක් නැති හැන්සන් උත්සාහ කරන්නේ ජනප්‍රිය කතා කියමින් නොදියුනු සහ පීඩාවට පත්ව සිටින ජනකොටස් නොමග යවමින් දේශපාලන බලය අල්ලා ගැනීමටය. නැගී එන විරෝධතාවයන්ට පිලිතුරු වශයෙන් සංක්‍රමණිකයින් ගෙන ඒම සම්පූර්ණයෙන් නතර කිරීමට ඉල්ලන්නේ නැති බව ඇය පවසන නමුත්, ඇයගේ දේශපාලන ඉතිහාසය පුරාම ඇය ක්‍රියාකොට ඇත්තේ වර්ගවාදී, බහු සංස්කෘතික විරෝධී, සහ ආන්තික රටාවක් අනුවය.

ඇය දිගින් දිගටම චූදිතයන් ලෙස ඉලක්ක කරගන්නා සංක්‍රමණික ප්‍රජාවන්ගේ දායකත්වය නොතිබුණහොත්, අද ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා, වැඩිහිටි සත්කාරය, ප්‍රවාහන හා බෙදාහැරීම, තොරතුරු තාක්ෂණය, හෝටල් හා සංචාරක ව්‍යාපාර, කෘෂිකර්මාන්තය, ගොඩනැගිලි ඉදිකිරීම, පවිත්‍ර කිරීමේ සේවා ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කිසිවක් පවත්වාගෙන යෑම සම්පූර්ණයෙන්ම කළ නොහැකිය. මේ සත්‍යය තේරුම් ගැනීම ඇය හා ඇයගේ ආධාරකරුවන්ට අත්‍යවශ්‍යය.

(සටහන | අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)




