The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අප්‍රියෙල් පළමු වැනිදා - අප නොරැවටෙන දිනය (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

April 1, 2022 • 3:52 AM

අප්‍රියෙල් පළමු වැනිදා - අප නොරැවටෙන දිනය (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මක්නිසාද වසරේ දින 364 ක්ම (අධික අවුරුද්දකදී නම් 365) අන් අයට රැවටීමට අපේ ඇති ප්‍රවණතාවය අධික බැවිනි.
  • අනාදිමත් කාලයක සිට අවුරුද්දේ දින 364 ක්ම අප ගෙවා දමා ඇත්තේ මෝඩයන්ගේ දවස් ලෙසය.
  • එය බොහෝ දුරට සාර්ථක වී ඇත.
  • ඇතැම්විට සත්‍ය ප්‍රවෘත්ති පවා අපි මැනවින් විමසා බලන්නෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):


මක්නිසාද වසරේ දින 364 ක්ම (අධික අවුරුද්දකදී නම් 365) අන් අයට රැවටීමට අපේ ඇති ප්‍රවණතාවය අධික බැවිනි.

අනාදිමත් කාලයක සිට අවුරුද්දේ දින 364 ක්ම අප ගෙවා දමා ඇත්තේ මෝඩයන්ගේ දවස් ලෙසය.

නමුත් අප්‍රියෙල් පළමු වැනිදා පමණක් කිසිවකුට නොරැවටිය යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව අපි (කුඩා පාසැල් සිසුන් පවා) මනා සිහිබුද්ධියෙන් සිටින්නෙමු.  එය බොහෝ දුරට සාර්ථක වී ඇත.

 ඇතැම්විට සත්‍ය ප්‍රවෘත්ති පවා අපි මැනවින් විමසා බලන්නෙමු. ඉන්පසු අප බොහෝ දෙනෙක් අප්‍රියෙල් දෙවෙනිදා සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වාම විචාර බුද්ධියට, තාර්කික චින්තනයට අගුළු දමා මෝඩයන් මෙන් කටයුතු කරන්නෙමු.

 

මෙය ලංකාවේ වැසියන්ට ආවේනික ගතිගුණයක්දැයි සිතෙන තරමටම අප අතීතයේ මෙන්ම වර්තමානයේද රැවටී ඇත. මෙය රටේ සෑම පැලන්තියකම පාහේ දැකිය හැක. එක් වරක් රැවටී එයින් පාඩම් ඉගෙන ගන්නා බවක්ද නොපෙනේ.

 

ඉතිහාසය ගැන මඳක් විමසා බැලුවොත් ඒ ගැන නොයෙක් උදාහරණ දැකිය හැක. මහාවංශයට අනුව, පළමුවැනි රාජසිංහ රජු තමාගෙන් සිදුවූ බව කියන පවු සෝදා හැරීමට අරිට්ඨකීවෙණ්ඩු නම් වූ සොළී රටෙන් පැමිණි සන්නාසියකුට රැවටී, නලලේ අළු තවරා ගෙන, ශිව භක්තිය වැළඳ ගෙන, බෞද්ධ වෙහෙර විහාර වලට බෙහෙවින් හානි කළ බව සඳහන්ය.

එයින් සියවස් ගණනාවකට පසුව අදටත් බොහෝ පාලකයෝ මිත්‍යා ඇදහිලි කර පින්නාගෙන, දේශීය මෙන්ම විදේශීය සන්නාසිවරුන්, සන්නාසිවරියන් පසු පස යති. මැණික් කටුව වසාගත් දේදුනු වර්ණ නූල්, ඇඟිලි පුරා පැළඳි විශාල මුදු, කර වටා එල්ලෙන සුර, යාග හෝම කොතෙක් නම් දැකිය හැකිද? නාථ දෙවියන්, සහම්පතී මහා බ්‍රහ්මයා, කාලි දේව මෑණියන් තමන්ගේ වසඟයට ගෙන ඇතැයි කියමින් වරින් වර මතුවන සන්නාසීන්ට රැවටෙන ජනයා බහුලය.

 

එපමණක් නොව අපි අපවම රවටා ගන්නෙමු. බුදුන් වහන්සේගේ මූලිකම ඉගැන්වීම වූ අවිහිංසාව, මෛත්‍රිය, සරල දිවි පැවැත්මට සම්පුර්ණයෙන්ම පටහැනිව ක්‍රියා කරන, උන්වහන්සේගේ ගෝල පරම්පරාවට අයිතියැයි කියා ගන්නා චීවර දරා සිටින්නන් පිරිසක් (සුපටිපන්න ස්වාමීන් වහන්සේලා නොවේ) බිහිව ඇත.

 

මහා මන්දිර, සුඛෝපභෝගී යාන වාහන, බැංකු ගිණුම් එක් රැස් කරන, රාග ද්වේශ මෝහයෙන් බරිත, මුසාවාදයෙන් දායකයින් රවටන, වෛරය පතුරවන, මේ අයගේ ක්‍රියා පටිපාටිය පිවිතුරු බෞද්ධ දර්ශනයට සම්පුර්ණයෙන්ම විරුද්ධ නොවන්නේද? බුදුන් වහන්සේ තම ගෝල පරපුර වන මහා සංඝරත්නයේ සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනෙයිය, පාහුනෙයිය, දක්ඛිනෙයිය, අන්ජලිකරණෙයිය, අනුත්තරං පුන්‍යක් කෙත්තං යන ගුණ නවය ගරු බුහුමන් ලැබීමට හේතු වන බව දේශණා කළා මිස සිවුරක් දැරීම පමණක්ම වන්දනා මානයට සුදුසුයැයි වදාළේද?

මේ බව දැන දැනත්, සිවුරක් පමණක් දරාගත් එවැනි ගනින්නාන්සේලාගේ දෙපතුල වැටී වන්දනා කිරීම අප අපවම රවටා ගැනීමක් නොවෙයිද?

 

පත්තරේ තිබුනානම්, මාධ්‍ය නාලිකා වල ප්‍රචාරය වූවානම්, අහවල් පක්ෂයේ අහවලා කීවානම්, ඕනෑම හතරවරං ගජබින්නයක් සම්පූර්ණ සත්‍යය ලෙස ඇතැම්මු පිළිගනිති. මේවාට බොහෝ උදාහරණ මෑත අතීතයේදී අපි දුටුවෙමු.

 

ජානමය ප්‍රවණතාවය නිසාදෝ මේ රැවටිල්ලට හසුවන බහුතරය නිසා, අද මුළු රටම මහත් ව්‍යවසනයකට පත්ව ඇත. හිතේ හැටියට කිරි වීදුරුවක් බීමට බලා සිටින කුඩා දරුවකුට, ඖෂධයක් අවශ්‍ය රෝගියකුට, දරු පවුල සමග තම වාහනයෙන් ගමනක් බිමනක් යාමට අවශ්‍ය මධ්‍යම පාන්තික පියෙකුට, සටහන් ලියා ගැනීමට කඩදාසි අවශ්‍ය සිසුවකුට (ලැයිස්තුවට තවත් බොහෝ දේ අඩංගුය), තම තමන් වැටී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය හොඳින් වැටහෙනු නොඅනුමානය. ඒ ගැන තේරුම් කිරීමට උපමා උපමේය අවශ්‍ය නැත.

නමුත් රට මෙවැනි තත්ත්වයකට පත්වීමට මූලිකවම හේතුව අවුරුද්දේ දින 364 ක්ම මෝඩයින් ලෙස කපටින්ට රැවටීම බව අපේ බහුතරයක් ජනයාට තේරුම් කිරීමට නම් අටුවා, ටීකා, ටිප්පණි, චූර්ණිකා, සන්න, ගැටපද යනාදී එකී මෙකී නොකී සියල්ල තිබුනත් මදියැයි මට සිතේ.



image(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com

 



ලේඛිකාවගේ වෙනත් ලිපි :


අපේ මීමුත්තා, හිටපු අගමැතිතුමා සහ සර්ව පාක්ෂික සමුළුව - (කාන්ති කාරියවසම්)

දැන් ඉතින් කුමක් කරමු ද ? - (කාන්ති කාරියවසම්)

නිදහස ලබා ගැනීමට නම් - (කාන්ති කාරියවසම්)

අණනසුඛ සූත්‍රය වන වැදුනාද? -කාන්ති කාරියවසම්

හැත්තෑ තුන් වසරක අපේ උරුමය - (කාන්ති කාරියවසම්)

ඊශ්වරී, ෆාතිමා අපි ආයෙත් යාළු වෙමුද? - කාන්ති කාරියවසම්

මතක මංගල : 'ඔහුගේ දර්ශනය මිය යායුතු නොවේ' - කාන්ති කාරියවසම්

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...