The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආරියලතා පොඩිමැණිකේ : දෙහිඅත්තකණ්ඩියේ පළමු මාධ්‍යවේදිනිය අසනීපෙන්

T

The Leader Desk

July 1, 2023 • 7:39 AM

 ආරියලතා පොඩිමැණිකේ : දෙහිඅත්තකණ්ඩියේ පළමු මාධ්‍යවේදිනිය අසනීපෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රථම හා එකම මාධ්‍යවේදිනියයි.
  • මාධ්‍ය ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය සුලබ නොවූ යුගයක, එනම් 90 දශකයේ අග භාගයේදී පමණ ලේක්හවුස් ආයතනයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය වාර්තාකාරිනිය ලෙස ඇය මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණාය.
  • ඉන් අනතුරුව ලංකාදීප, මවුබිම වැනි පුවත්පත්වලටද සම්බන්ධ වූ ඇය, දහසකුත් එකක් ගැටලුවලින් පෙළෙන දුෂ්කර කලාපයක හඬක් නැති මිනිසුන්ගේ හඬ බවට පත් වෙමින් නොනිමි මෙහෙවරක යෙදුණාය.
  • සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සාත්තු සේවිකාවක ලෙස සේවයට බැඳුණු ආරියලතා, පසු කලෙක රෝහලේ ප්‍රධාන ආහාර නිරීක්ෂිකාව ලෙස උසස්වීම් ලැබ සේවය කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රථම හා එකම මාධ්‍යවේදිනියයි. මාධ්‍ය ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය සුලබ නොවූ යුගයක, එනම් 90 දශකයේ අග භාගයේදී පමණ  ලේක්හවුස් ආයතනයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය වාර්තාකාරිනිය ලෙස ඇය මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණාය.

ඉන් අනතුරුව ලංකාදීප, මවුබිම වැනි පුවත්පත්වලටද සම්බන්ධ වූ ඇය, දහසකුත් එකක් ගැටලුවලින් පෙළෙන දුෂ්කර කලාපයක හඬක් නැති මිනිසුන්ගේ හඬ බවට පත් වෙමින් නොනිමි මෙහෙවරක යෙදුණාය.

MEDIA ID 2023.07.01

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සාත්තු සේවිකාවක ලෙස සේවයට බැඳුණු ආරියලතා, පසු කලෙක රෝහලේ ප්‍රධාන ආහාර නිරීක්ෂිකාව ලෙස උසස්වීම් ලැබ සේවය කළාය. හදිසි අනතුරකින් ඇගේ ස්වාමි පුරුෂයා මීට වසර 30කට පමණ ඉහතදී මියයන විට, ඇය පිරිමි දරුවන් දෙදෙනකුගේ සහ එක් දියණියගේ මවකි.

"ස්වාමි පුරුෂයා මියගියාට පස්සෙ, දරුවන් තුන් දෙනා ලොකු මහත් කර ගන්න මට ලොකු වෙහෙසක් දරන්න සිද්ධවුණා. කොහොමහරි ඒ තුන්දෙනාටම උගන්නලා තැනකට ගන්න මට පුළුවන් වුණා. මේ ඔක්කොම මැද මාධ්‍ය වැඩත් සතුටින් කළා. ඒ සම්බන්ධකම් ඔස්සේ රෝහලේ තිබුණ අඩුපාඩු සම්පූර්ණ කර දෙන්නත් පුළුවන් වුණා." ඇය සිය මතකය අවදි කළාය.

එහෙත් වරක් ඉහළ නිලධාරියකුගේ උදහසට ලක් වූ ඇයට රැකියාව එපා වන තරමට කරදර සිදු විය. නොකළ වරදකට දඬුවම් ලෙස ස්ථාන මාරු කෙරිණි. ඇය මානව හිමිකම් කොමිසම හමුවට ගොස් යුක්තිය ඉල්ලා සිටි අතර, කොමිසමේ නිගමනය වූයේ ඇයට අසාධාරණයක් සිදුව ඇති බවයි. එහෙත් කොමිසමේ නියෝගය ක්‍රියාත්මක කිරීම බලධාරීන් විසින් පැහැර හැරිණි. දැඩි ලෙස කලකිරීමට පත් ඇය, නියමිත කාලයට වසර 2කට පෙර සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළාය.

Kadurata 2023

 රැකියාව ආශ්‍රිතව අසාධාරණකම් හා පළිගැනීම් සිදු වුවද මාධ්‍ය ජීවිතය ඇයට ඉතාම සතුටුදායක එකක් විය. වාර්තාකරණය ලෙහෙසි පහසු එකක් නොවූ, අලි ගහන- කොටි ගහන දුෂ්කර කලාපයක සිට පොදු ජනයා වෙනුවෙන් මාධ්‍යකරණයෙහි නියැලෙන මේ දිරිය මාධ්‍යවේදිනිය කෙරෙහි පුවත්පත් කතුවරුන්ද දැක්වූයේ ගෞරවය මුසු සැලකිල්ලකි. ඇගේ පුවත් හා ලිපිවලට නිරතුරුව මාධ්‍යවල ඉඩකඩ විවර විය.

මාධ්‍යවේදීන් සඳහා වන පුහුණු වැඩසටහන් ඔස්සේ ඇයට දිවයින පුරාම සිටින ක්‍රියාශීලී මාධ්‍යවේදීන් මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය පුහුණුකරුවන්ද, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ද දැන හඳුනාගැනීමට ලැබිණි. කටුක පොළොවට මෙන්ම තරු පහේ හෝටල්වල බුමුතුරුණුවලටද ඇගේ දෙපා හුරු විය. වරක් බීබීසී ආයතනයේ මෙහෙයවීමෙන් දඹුල්ලේදී පැවැත්වූ සති තුනක පුහුණු පාඨමාලාව ඇගේ මාධ්‍ය දිවියට විශාල පන්නරයක් එක් කළ අවස්ථාවකි.

කටුක පරිසරයක, ගැහැනියක ලෙස ඇය ආ ගමන ලෙහෙසි පහසු එකක් නොවේ. පෑනෙන්, කටින් පමණක් නොව, බැරිම තැනකදී අතින් පයින් වුවද ප්‍රතිචාර දැක්වීමට ඇය පසුබට වූයේ නැත. එවැනි අමතක නොවන සිදුවීමක් ඇය පසු කලෙක සිහිපත් කළේ අප මවිත කරවමිනි.

"දවසක් මම බස් හෝල්ට් එකක තනියම ඉන්නකොට  බීපු මිනිහෙක් ඇවිත් මට හොඳටම බැන්නා. මමත් බැන්නා. පස්සේ මිනිහා මගේ අතේ තිබුණ ෆෝන් එක උදුරා ගෙන මගේ සාරිය ගලවන්න උත්සාහ ගත්තා. එතකොට මට ලොකු බයක් එක්කම, පුදුමාකාර ශක්තියකුත් ආවා. මම සාරිපොට ඉනේ ඔතාගෙන ඒ මිනිහට කුඩෙන් ගහගෙන ගහගෙන ගියා. එතකොටම බස් එකක් ඇවිත් නැවැත්තුවා. මිනිහා දිව්වා. මම බස් එකේ නැගල පොලීසියට ගියා."

WhatsApp Image 2023 07 01 at 12.26.07 PM 1

වරක් ඇයගේ මාධ්‍ය කටයුතුවලින් අපමනාපයක් ඇති කරගෙන සිටි ග්‍රාම නිලධාරියකු ඇගේ පුත්‍රයාට පදිංචි සහතිකයක් බලා දීම ප්‍රතික්ෂේප කළේය. ඉහළ නිලධාරීන්ට පැමිණිලි කළද සාධාරණයක් ඉටු වූයේ නැත. ඇය මානව හිමිකම් කොමිසමේ පිහිට පැතුවාය. ප්‍රතිඵලය වූයේ පුත්‍රයාට පදිංචි සහතිකය පමණක් නොව, සිදු වූ අසාධාරණය වෙනුවෙන් රු. දසදහසක වන්දියක්ද හිමි වීමය!

තිස් වසරක් තිස්සේ තනි ඇතින්නක සේ යෝධ විරියෙන් යුක්තව යුක්තිය වෙනුවෙන් මාධ්‍යකරණයේ නිරත වූ ආරියලතා පොඩිමැණිකේ මේ වන විට සිටින්නේ රෝගාතුරවය. ඇස් පෙනීමද දුබලව සිටින ඇයට රැකවරණ සලසන්නේ ආදරණීය දියණියයි. ජීවිතයේ බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් දිරිය මවක ලෙසත්, මාධ්‍යවේදිනියක ලෙසත් ඇය කළ මෙහෙවර බුහුමනට ලක් විය යුතු නොවේද?



(සටහන - රවීන්ද්‍ර මැදගෙදර)
medagedararavindra@gmail.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...