The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් පසු: ATA ද? සාමාන්‍ය නීතිය ද? | රොහාන් සමරජීව

T

The Leader Desk

December 20, 2024 • 5:55 AM

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් පසු: ATA ද? සාමාන්‍ය නීතිය ද? | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, අපරාධ ආදායම් පනත් කෙටුම්පත වැනි අනෙකුත් නීති සම්පාදනය අලුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ඉදිරියට යමින් තිබියදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ එවැනි ක්‍රියාවලියක් දක්නට නොමැත.
  • එපමණක් නොව, එම පනත භාවිතා නොකරන බවට පසුගිය රජය විසින් දී තිබුන නොනිල පොරොන්දුව බිඳ දමමින්, වත්මන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග (DO) නිකුත් කර තිබේ.
  • ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ පිළිබඳ ඇති පොරොන්දුව ක්‍රියාත්මක කිරීම පහසුය.
  • සංශෝධිත 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම වෙනුවෙන් සංකීර්ණ නීතිමය හෝ පටිපාටිමය ක්‍රියාවලි අවශ්‍ය නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එහෙත්, අපරාධ ආදායම් පනත් කෙටුම්පත වැනි අනෙකුත් නීති සම්පාදනය අලුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ඉදිරියට යමින් තිබියදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ එවැනි ක්‍රියාවලියක් දක්නට නොමැත. එපමණක් නොව, එම පනත භාවිතා නොකරන බවට පසුගිය රජය විසින් දී තිබුන නොනිල පොරොන්දුව බිඳ දමමින්, වත්මන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග (DO) නිකුත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න - ජන අරගල සන්ධානය

 

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ පිළිබඳ ඇති පොරොන්දුව ක්‍රියාත්මක කිරීම පහසුය. සංශෝධිත 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම වෙනුවෙන් සංකීර්ණ නීතිමය හෝ පටිපාටිමය ක්‍රියාවලි අවශ්‍ය නැත. එමෙන්ම, එමගින් නිර්මාණය කරන ලද කිසිදු ආයතනයක් ද නැති නිසා එවැන්නක් විසුරුවා හැරීම ද අවශ්‍ය වන්නේ නැත.

එකම වැදගත් ප්‍රශ්නය වන්නේ පනත යටතේ චෝදනා නොමැතිව දැනට රඳවාගෙන සිටින පුද්ගලයින් සහ පනතෙහි විධිවිධාන යටතේ වරදකරුවන් වී සිර දඬුවම් විඳිමින් සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්නයි. පෙර භාවිතාව වූයේ මූලික නීති සම්මතයන්ගෙන් සැලකිය යුතු ලෙස බැහැර වූ නීතියක් අවලංගු කළ විට එම නීති යටතේ දඬුවම් ලැබූවන් නිදහස් කිරීමයි. 1977දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් 1972 අංක 14 දරන අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අහෝසි කරන ලදි. වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු එම අසාධාරණ නීතිය යටතේ සිරගතව සිටි සියලු දෙනා ඒ අනුව නිදහස් කරන ලදි.

ප්‍රමාද ඇයි?

දශක පහක අරගල ගැන සංවාදයක්


මෙම නීති සංශෝධනය ප්‍රමාද වීමට හේතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ලබා දී ඇති අධික බලතල භාවිතා කිරීමට රජය කැමති නිසා විය හැකිය. එය එසේ නම්, ජනාධිපතිවරයා එය අහෝසි කරන බවට පැහැදිලි වචනවලින් පොරොන්දු වූයේ ඇයි? 1988-89 කාලයේ ඔහුගේම සගයන්ට එරෙහිව නිතර භාවිතා කළ ස්වරූපයේ DOවලට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඔහු පෞද්ගලිකව අත්සන් කළ යුතුය. හෘදය සාක්ෂියක් ඇති මිනිසෙකුට මෙය ප්‍රසන්න කාර්යයක් විය නොහැකි බව නිසැකය.

බොහෝ දුරට සිතිය හැක්කේ මෙම නීතිය මගින් ලබා දෙන ඉඩපහසුවට පුරුදු වී ඇති ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි විරෝධයට නව රජය මුහුණ දී ඇති බවයි. නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවට මහේස්ත්‍රාත්වරයෙකුට ඒත්තු ගැන්වීමේ භාරය නොගෙන සැකකරුවෙකු අත්අඩංගුවේ තබා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් පොලිසියට අවසර දෙයි. සැකකරුවන් අසාමාන්‍ය කාල පරිච්ඡේද සඳහා අත්අඩංගුවේ තබා ගැනීමට එය ඉඩ සලසයි. එමෙන්ම, පොලිසියට අවශ්‍ය ආකාරයේ පාපොච්චාරණ ලබා ගැනීම සඳහා දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමේ තර්ජනය භාවිතා කිරීමට ද පොලිසියට හැකි වේ. එහි ප්‍රතිඵලය වන්නේ නිසි ආකාරයෙන් සිදුකරන අපරාධ පරීක්ෂණ අධෛර්යමත් වීමයි.

 

ජිනීවා එකඟතා කුණු බාල්දියට : ප්‍රතිත්‍රස්ත පනත ඉවතට! : ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත දිගටම!
මැදුම් සම්මුතියක්

කම්මැලි විමර්ශකයන්ට වංගු දැමීමට ඉඩ සදා දීම රජයේ කාර්යයක් නොවේ. එහෙත්, ප්‍රශ්න කිරීම සඳහා ප්‍රමාණවත් දීර්ඝ කාලයක් (එහෙත්, අවිනිශ්චිත දීර්ඝ කාලයක් නොවේ) සඳහා අවස්ථාව ලබා දිය හැකිය. මෙහිදී පාපොච්චාරණ ලබා ගැනීම සඳහා වධහිංසා පැමිණවීමට එරෙහිව ආරක්ෂාව සහතික කළ යුතුය. 2023-24 සමයේදී ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලද, එහෙත් පාර්ලිමේන්තුව විසින් විවාදයට නොගත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATB) තුල මෙම ප්‍රතිපාදනයන් වල මූලිකාංග ඇත.

 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අද  කතාබහක්

ආරක්‍ෂක නිලධාරීන් අගය කරන සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට වඩාත්ම බලපාන කාරණා වන්නේ රඳවා තබා ගැනීම සහ ප්‍රශ්න කිරීම සම්බන්ධ විධිවිධාන ය. 2023-24 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි දියුණු ලක්ෂණ වන්නේ මහේස්ත්‍රාත්වරයාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට කලින් දැනුම් දීමකින් තොරව පරීක්‍ෂා කිරීමට අවස්ථාව ලබාදීම සහ පොලිස් නිලධාරීන්ට කරන ලද පාපොච්චාරණ සාක්ෂි ලෙස නොසැලකීමයි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අනුව, රැඳවියා මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍යය. එහෙත්, DO නියෝගය අවලංගු කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබාදී නැත. රැඳවුම් නියෝග අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය දිය යුතුය. රැඳවුම් නියෝග සාමාන්‍ය රඳවා තබා ගැනීමේ පටිපාටියෙන් බැහැරවීමකි. එය සහ ප්‍රශ්න කිරීම් ක්‍රියා පටිපාටි බොහෝ මානව හිමිකම් උද්දේශකයන්ගේ අසතුටට හේතු වනු ඇත. ඒවාට ඉඩක් දෙන දෙන්නැයි යෝජනා කරන මට ඔවුන්ගේ පරිභවය එල්ල වනු ඇත. එහෙත් එය ආරක්ෂක අංශ වලින් 1978 පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් මතු වන ප්‍රතිරෝධය තුලනය කරගැනීමට අවශ්‍ය විය හැකි මැදුම් සම්මුතියකි. දෘෂ්ටිවාදී පෙළඹවීම් මත කටයුතු කරන දඩබ්බර ත්‍රස්තවාදී සැකකරුවන්ගේ විශේෂ ලක්ෂණ නොසලකා හැරිය නොහැකිය.

 

ත්‍රස්ත විරෝධී පනත 'කෙටුම්පත් අවස්ථාවේම පරාජය කළ යුතුයි'

2023-24 සමයේදී ත්‍රස්ත විරෝධී පනත ගෙන ඒමට දරන ලද උත්සාහයන් දෙකේදී ත්‍රස්තවාදය පිළිබඳ නව නිර්වචනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන ලදි. ඒ වෙනුවට, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මැඩලීම සහ ත්‍රස්තවාදයට මුල්‍ය අනුග්‍රහයන් සැපයීම වැළැක්වීම සඳහා යොදාගත හැකි නීති ප්‍රඥප්ති 15ක්වත් අවම වශයෙන් දැනටමත් ක්‍රියාත්මකව පවතින බවට නීතිඥ අර්මිසා ටෙගල් පෙන්වා දී ඇත. එසේම, ඒ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවක ශ්‍රී ලංකාව පාර්ශ්වකරු වේ. ත්‍රස්ත විරෝධී නීති මගින් අවසර දී ඇති නිශ්චිත වැරදි සම්බන්ධයෙන් රඳවා තබා ගැනීමේ සහ ප්‍රශ්න කිරීමේ විශේෂ විධිවිධාන වෙනුවට එකී නීතිවල බලතල භාවිතා කළ හැකිය. අසතුටුදායක නිර්වචනයක් වෙනුවට මෙම විසඳුම යොදා ගත හැක.

ජනාධිපතිවරයාට ඒකාධිපති බලතල

 

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදය ද? - (ගාමිණී වියන්ගොඩ)
පසුගිය ආණ්ඩුව විසින් සකස් කරන ලද ත්‍රස්ත විරෝධී පනත එක් කලාපයකදී 1978 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානක විය.

එහි X කොටස මගින් තහනම් නියෝග නිකුත් කිරීමෙන් සංවිධාන තහනම් කිරීම, සීමා කිරීම් නියෝග හරහා පුරවැසියන්ගේ ගමන් බිමන් සීමා කිරීම, ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම ආදිය සඳහා ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබා දී ඇත. මෙම විධිවිධාන දැඩි විවේචනයට ලක් විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය සමාලෝචනයේදී මෙම කුරිරු විධිවිධාන ඉවත් වනු ඇතැයි අපේක්ෂා කළද, එසේ වූයේ නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංවිධානය වීමේ නිදහස (14(1)(ඇ) වගන්තිය) සහ සංචලනයේ නිදහස (14(1)(ඌ) වගන්තිය) වැනි මූලික අයිතිවාසිකම් පිළිගනී. 15වැනි වගන්තිය මගින් මූලික අයිතිවාසිකම් මත බලපෑ හැකි සීමාවන් විශේෂයෙන් නිර්වචනය කරයි. මහජන ආරක්ෂක ආඥාපනත (පරිච්ඡේදය 140) යටතේ සුවිශේෂී අවස්ථාවන්හිදී මෙම නිදහස උල්ලංඝනය කිරීම පිළිගත හැකිය. එහෙත්, සුවිශේෂ තත්වයන්හිදී මෙන්ම සාමාන්‍ය තත්වයන්හිදී ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන නීතියක් යටතේ ජනාධිපතිවරයාට ඔහුගේ තනි අභිමතය පරිදි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉඩ දීම පිළිගත නොහැකිය.

අධිකරණ අර්ථ නිරූපණය කුමක් වුවත්, එක් පුද්ගලයෙකුට එවැනි ඒකාධිපති බලතල ලබා දීම වැරදිය. රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් කර ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායක හෝ අධිකරණ අධීක්ෂණයකින් තොරව මූලික අයිතිවාසිකම් කඩ කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතුය.

Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net

Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/

Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428

Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...