මෙය තවදුරටත් සරල දේශපාලන විවේචනයක් පමණක් නොව, සමාජවාදී දර්ශනයක් මත පදනම්ව පරීක්ෂා කළ යුතු ආචාරධර්මීය හා දාර්ශනික ප්‍රශ්නයක් බවට පත්වේ.

මෙම තත්ත්වය ගැඹුරු ලෙස තේරුම් ගැනීමට කාල් මාක්ස් විසින් ඉදිරිපත් කළ දේපල සංකල්පය වැදගත් වේ. මාර්ක්ස්ට අනුව, “පුද්ගලික දේපල” යනු සරලව පුද්ගලයෙකුට අයත් වස්තුවක් නොව, සමාජීය සම්බන්ධතා තුළ නිර්මාණය වූ, ඒ සම්බන්ධතා මගින් පවත්වාගෙන යන වස්තුවකි. එබැවින්, දේපල සෑම විටම “සමාජීය ස්වභාවය ක්” (social character) ගන්නා අතර, එය සමාජයේ අනෙකුත් පුද්ගලයන්ගේ ශ්‍රමය, සම්පත් හා ආර්ථික හා බල ව්‍යුහයන් මත පදනම්ව ගොඩනැගෙයි.
මෙම දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, දේශපාලන නායකයන්ගේ දේපල “පුද්ගලික” ලෙස සම්පූර්ණයෙන්ම වෙන්කර දැක්විය නොහැක. විශේෂයෙන්ම රාජ්‍ය බලය භාවිතා කරන නායකයන්ගේ දේපල, සෘජුව හෝ වක්‍රව සමාජ සම්පත් සමඟ සම්බන්ධ වන නිසා, ඒවා පිළිබඳව ජනතාවට සම්පූර්ණ පාරදෘශ්‍යතාවයක් තිබිය යුතුය. එබැවින්, NPP/JVP වැනි සමාජවාදී පසුබිමක ඇති ව්‍යාපාරයක් වශයෙන්, දේපල ප්‍රකාශ කිරීම යනු නීතිමය අවශ්‍යතාවයක් පමණක් නොව, දාර්ශනික වගකීමකි.
මෙම පසුබිම තුළ, පක්ෂ නායකයන් විසින් “මිතුරන් හා පරිත්‍යාගකරුවන්” මත ජීවත්වීම පිළිබඳ ප්‍රකාශ කරන විට, එය මාර්ක්සියානු විග්‍රහයකට යටත් කළ යුතුය. මන්ද, එවැනි “පරිත්‍යාග” සබඳතා, සරල පෞද්ගලික උදව් ලෙස නොව, බලය, ප්‍රතිලාභ හා වාසි සම්බන්ධිත සමාජීය හුවමාරු (exchange relations) ලෙසද දැකිය හැකි බැවිනි. එවැනි සම්බන්ධතා පාරදෘශ්‍ය නොවන්නේ නම්, ඒවා නව ස්වරූපයක දූෂණයක් ලෙසට පරිවර්තනය විය හැක.

එමෙන්ම, අද නැවතත් රාජපක්ස පවුල සම්බන්ධ දේපල හා සම්පත් පිළිබඳ කතාබහ සමාජය තුළ ඉස්මතු වීම, දූෂණය පිළිබඳ ප්‍රශ්නය තවමත් අවසන් වී නැති බව පෙන්වයි. පසුගිය කාලයේ එම පවුල සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා, ජනතා විරෝධය සහ දේශපාලන කඩාවැටීමකට දායක වූ අතර, අද එම කතාන්දර නැවත ඉදිරියට පැමිණීම, වත්මන් ආණ්ඩුවේ දූෂණ විරෝධී දේශපාලනය සම්බන්ධ විශාල ආචාරධර්මීය පරීක්ෂාවක් වේ.
ඒ අනුව, ස්වභාවිකවම ගැටලුවක් නැඟෙයි: නීතිවිරෝධීව ලබාගත් දේපල රාජ්‍යය විසින් අත්පත් කර ගත යුතුද? එම පරීක්ෂණ කඩිනම් කරන්නේ නැද්ද? නැත්නම් සමාජ මාධ්‍ය දේශපාලනය තුළින්ම වත්මන් පාලන බලයේ සීමාවත් සළකුණු කර ගන්නවාද?
මාර්ක්සියානු දෘෂ්ටිකෝණයෙන් බලන විට, සමාජීය ශ්‍රමයෙන් උද්භවවූ සම්පත්, පුද්ගලික ලෙස සංකේන්ද්‍රණය වී ඇති අවස්ථාවලදී, එම සම්පත් නැවත සමාජයට පවරා ගැනීම සාධාරණය. නමුත්, ප්‍රායෝගික දේශපාලනයේදී, මෙය නීතියේ ආධිපත්‍යය (rule of law) යටතේ සිදු විය යුතු ක්‍රියාවලියකි.
එනම්: සම්පූර්ණ හා ස්වාධීන පරීක්ෂණ, නීතිමය සාක්ෂි මත පදනම් වූ තීරණ, සහ අධිකරණ ක්‍රියාවලියට ගරු කිරීම අවශ්‍ය කොන්දේසි වෙයි.
මෙම ක්‍රියාවලියෙන් තොරව “දේපල අත්පත් කර ගැනීම” සිදු කළහොත්, එය දූෂණ විරෝධී ක්‍රියාවක් නොව, දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව කරන බලපෑම් ක්‍රියාවක් ලෙස පවා විග්‍රහ විය හැක.
එබැවින්, NPP/JVP ආණ්ඩුවට ඉදිරිපත් වන ප්‍රධාන අභියෝගය වන්නේ ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් සමබර කර ගැනීමයි: ඒවානම්,
1. සමාජ සාධාරණය සහ දූෂණයට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීම, සහ
2. නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාපටිපාටිය පිළිපැදීම යි.
අවසානයේ, සමාජවාදී දර්ශනය අනුව, දේපල සමාජීය වන බැවින් දේපල හිමියන් රාජ්‍යයට අවනතව ඒවා පරිහරණය කිරීම, හා ධනවාදයට අනුව ඒවා නෛතිකව ඔප්පු කළහැකිවීම යන පැති දෙකම ජනතාවට පැහැදිලි විය යුතුය. එය විශේෂයෙන්ම දේශපාලන බලය භාවිතා කරන අය සඳහා අනිවාර්ය වේ.
ඒ අනුව, NPP/JVP විසින් ප්‍රකාශ කළ දූෂණ විරෝධී සටන සැබෑවක් කරගැනීමට නම්:
පක්ෂ නායකයන්ගේ දේපල සම්පූර්ණයෙන් හෙළි කිරීම, චෝදනා ඇති සියලුම පුද්ගලයන්ට එකම ප්‍රමිතියෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, සහ නීතිවිරෝධී සම්පත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ.
එය සිදු නොවන්නේ නම්, “සමාජවාදය”, “නව දේශපාලනය” සහ “දූෂණ විරෝධය” යන සියලුම සංකල්ප,භාෂාමය ප්‍රචාරණයකට පමණක් ඌණවීම වැළැක්විය නොහැක.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)




