The Leader News
BREAKING
Top Ad
Opinion

පරා/ජය සහ ක්‍රිකට් දේශපාලනයේ අනාගතය | Athulasiri Samarakoon

T

The Leader Desk

February 26, 2026 • 7:02 AM

පරා/ජය සහ ක්‍රිකට් දේශපාලනයේ අනාගතය | Athulasiri Samarakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට අවසන් හතරට (semi-finals) පිවිසීමේ අවස්ථාව නැතිවී ඇතත්, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පිළිබඳ අවසන් නිගමනයක් නොවේ.
  • එය කුඩා රටක් ලෝක බලවතුන්ට අභියෝග කළ හැකි බව පෙන්වා දුන් දේශපාලන-සමාජමය වැදගත්කමක් ද සහිත ජයග්‍රහණයක් විය.
  • 2014 T20 ලෝක කුසලානය වැනි සාර්ථක අවස්ථා තිබුණද, පාලන අස්ථාවරත්වය, තේරීම් ප්‍රතිපත්ති වල අඛණ්ඩතාව නොමැතිවීම, සහ ආර්ථික අර්බුදයෙන් ක්‍රීඩා ව්‍යුහයට ඇති වූ බලපෑම් නිසා දිගුකාලීන සැලසුම් කිරීම දුර්වල වී ඇත.
  • අද ශ්‍රී ලංකාව තුළ දක්ෂතා නොමැති වීම ප්‍රධාන ගැටලුව නොවේ; නමුත්, ඒ දක්ෂතා පද්ධතිමය ලෙස සංවිධානය කර දිගුකාලීන ජයග්‍රහණයකට පරිවර්තනය කිරීමට ඇති කළමණාකරණමය අසමත්භාවය කැපී පෙනෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාව 1996 වසරේ  ලෝක කුසලානය ජයග්‍රහණය කරමින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විප්ලවීය මොහොතක් නිර්මාණය කළ රටකි. අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ, සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන් ආරම්භක පිතිහරණයේ ආක්‍රමණශීලී භාවය හඳුන්වා දෙමින් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ථ ගතානුගතික අධ්‍යාත්ම රටාවම වෙනස් කළහ. එය කුඩා රටක් ලෝක බලවතුන්ට අභියෝග කළ හැකි බව පෙන්වා දුන් දේශපාලන-සමාජමය වැදගත්කමක් ද සහිත ජයග්‍රහණයක් විය.

කෙසේ වෙතත්, ඉන් පසු කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන්මඟ විවිධ කැළඹිලි සහ ස්ථාවරත්වයන් මැදින් ගමන් කළේය. 2014 T20 ලෝක කුසලානය වැනි සාර්ථක අවස්ථා තිබුණද, පාලන අස්ථාවරත්වය, තේරීම් ප්‍රතිපත්ති වල අඛණ්ඩතාව නොමැතිවීම, සහ ආර්ථික අර්බුදයෙන් ක්‍රීඩා ව්‍යුහයට ඇති වූ බලපෑම් නිසා දිගුකාලීන සැලසුම් කිරීම දුර්වල වී ඇත. අද ශ්‍රී ලංකාව තුළ දක්ෂතා නොමැති වීම ප්‍රධාන ගැටලුව නොවේ; නමුත්, ඒ දක්ෂතා පද්ධතිමය ලෙස සංවිධානය කර දිගුකාලීන ජයග්‍රහණයකට පරිවර්තනය කිරීමට ඇති කළමණාකරණමය අසමත්භාවය කැපී පෙනෙයි.

 

thequint 2022 07 d6c56685 96fb 40a4 a3c6 2e5f66e1acda BCCI

මෙම පසුබිම තුළ, ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ ආර්ථික සහ ආයතනික බලකේන්ද්‍රය බවට පත්ව ඇත. BCCI ලෝකයේ ධනවත්ම ක්‍රිකට් පාලන ආයතනය බවට පත්වීමත්, IPL වැනි ලීග් තරගාවලියක් හරහා ක්‍රිකට් ව්‍යාපාරයක් ලෙස පරිවර්තනය කිරීමත්, ඉන්දියාවට අතිශය වාසිදායක විය. IPL හරහා ලෝකයේ විශිෂ්ට ක්‍රීඩකයන් එකම වෙළඳපොළක් යටතේ එක්කළ අතර, එය ක්‍රිකට් ක්‍රීඩාව මාධ්‍ය, වෙළඳ ප්‍රචාරණ, ඩිජිටල් ප්‍රචාරණ සහ රාජ්‍ය-අන්තරාජ්‍ය බල සම්බන්ධතා සමඟ සම්බන්ධ කළ නව ආර්ථික ක්‍රමවේදයක් බවට පත් කළේය.

T20 ආකෘතියේ වර්ධනය ඉන්දියාවට විශේෂ වාසියක් සපයයි. කෙටි කාලයක් තුළ වැඩි ආදායමක්, විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහ තරුණ පරපුරේ ආකර්ෂණය ලබාගත හැකි බැවින්, ටෙස්ට් ක්‍රිකට් වැනි සම්ප්‍රදායික ආකෘතිවලට වඩා T20 වෙළඳපොළ ලෝකයට ගැළපේ. එමඟින් දකුණු ආසියාවේ ක්‍රිකට් සංස්කෘතියම වෙනස් වී ඇත. අද බොහෝ දකුණු ආසියාතිකයන් දින පහක් ගතවන ටෙස්ට් තරගයකට වඩා පැය තුන හතරක T20 තරගයක් නැරඹීමට කැමැත්ත දක්වති.

pakistan india

දකුණු ආසියාවේ ක්‍රිකට් දේශපාලනය සම්බන්ධයෙන් බලන විට ඉන්දීය-පකිස්තාන ප්‍රතිවාදය විශේෂ ස්ථානයක් ගනී. මේ දෙරට අතර ක්‍රිකට් තරග සරල ක්‍රීඩා උත්සව නොව, ජාතික හැඟීම්, ඉතිහාසමය ගැටුම් සහ මාධ්‍ය උද්යෝගය එක්වන විශාල සමාජ-දේශපාලනික සිදුවීම් වේ. ද්විපාර්ශවික තරග මාලා අඩු වුවද, ලෝක කුසලාන හෝ ආසියා කුසලාන වැනි වේදිකාවලදී මේ තරග විශාල ආර්ථික හා මාධ්‍ය ප්‍රතිඵල ලබාදේ. එහිදී ක්‍රිකට් කඩාවැටෙන සීමාවන් ඉක්මවා “ප්‍රති-නියෝජිත ගැටුමක්” ලෙසට පත්වන බව පෙනී යයි.

දකුණු ආසියාවට පිටත බලන විට එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් තවමත් ප්‍රබල තරගකරුවන් ලෙස පවතිති. එංගලන්තය නව white-ball ක්‍රිකට් රටාවට වේගයෙන් අනුගත වී ඇත. නවසීලන්තය සංවිධානාත්මක සහ නීතිගත ක්‍රීඩා සංස්කෘතියකින් යුතුව අඛණ්ඩත්වය පෙන්වයි. දකුණු අප්‍රිකාව දක්ෂ ක්‍රීඩකයන් බිහි කළද, අන්තර්ජාතික කුසලාන අවසන් වටවලදී අසාර්ථක වීමේ රටාවක් ඇත. අයර්ලන්තය සහ සිම්බාබ්වේ වැනි රටවල් ආර්ථික සහ ව්‍යුහාත්මක සීමාවන් හේතුවෙන් ස්ථාවර ප්‍රබලත්වයකට පත් වීමමේ අපහසුතාවට පත්ව ඇත. දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය යනු ද වෙනම අධ්‍යනය කල යුතු තත්ත්වයක් වන්නේ එහි පවතින සමාජ සංස්කෘතික සහ දේශපාලන දරිද්‍රතාවය ක්‍රිකට් වලින් නිරූපණය නොවීම නිසාය.

මේ සියල්ල සලකා බැලූ විට, වර්තමාන ක්‍රිකට්වල ගතිකය ආර්ථික බලය, මාධ්‍ය බලය සහ කලාපීය දේශපාලනය සමඟ ගැඹුරු ලෙස බැඳී ඇති බව පැහැදිලිය. දකුණු ආසියාවේ ක්‍රිකට් පද්ධතියක් ලෙස බැලූ විට, ඉන්දියාව මධ්‍යස්ථ ආර්ථික බලය වන අතර, පකිස්තානය සංවේදී ප්‍රතිවාදී බලය ලෙස පවතින අතර, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල් තරගකාරී නමුත් ආර්ථික සීමාවන්ගෙන් සහ දේශපාලන සීමාවන් තුළ බැඳී ඇත.

 

cricket 260207

එම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්නය වන්නේ දක්ෂතා හිඟයක්? යන්න නොව පද්ධතිමය ප්‍රතිසංස්කරණයක් සිදුකරනවාද? යන්නයි. ස්ථාවර පාලන ව්‍යුහයක්, ගුණාත්මක දේශීය තරග පද්ධතියක් සහ දිගුකාලීන ක්‍රීඩා දර්ශනයක් නොමැතිව ගමන් කළ නොහැක. ලංකා-ඉන්දියා ආර්ථික විෂමතාවය තවදුරටත් පුළුල් වනු ඇත. ක්‍රිකට්වල බලය එම ආර්ථික ගතිකයට තීරණය වීමට ඉඩ දිය යුතු ද? එහෙත්, නිවැරදි ප්‍රතිසංස්කරණයන් සිදුකළහොත්, ශ්‍රී ලංකාවට නැවතත් T20 ආකෘතිය තුළ බලවත් කණ්ඩායමක් වීමටත්, ආසියානු මට්ටමේ ප්‍රබලත්වයක් පවත්වා ගැනීමටත් හැකියාව තිබේ.

අවසන් වශයෙන්, වර්තමාන ක්‍රිකට් ලෝකය සරල ක්‍රීඩා තරග ව්‍යුහයක් නොව, ආර්ථිකය, ජාතිකත්වය, මාධ්‍ය බලය සහ කලාපීය බල සම්බන්ධතා එකට බැඳී ඇති ගතික පද්ධතියකි. ශ්‍රී ලංකාව එම පද්ධතිය තුළ තවමත් හැකියාවන්ගෙන් පිරි රටකි. ප්‍රශ්නය වන්නේ එම හැකියාවන් සංවිධානය කර, නව යුගයට ගැළපෙන ආකාරයකින් ක්‍රිකට් පරිවර්තනය කිරීමට අපට හැකිද යන්නයි.


Athulasiri Samarakoon
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator

Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...