The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගල්අඟුරු අවුල දන්න භාෂාවෙන්... | Bandula Chandrasekara

T

The Leader Desk

April 25, 2026 • 10:18 AM

ගල්අඟුරු අවුල දන්න භාෂාවෙන්... | Bandula Chandrasekara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෙවී ගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මෙරටට බලපෑ හිරු රශ්මියේ දැඩි උණුසුමට වඩා - නොරච්චෝල ලක්විජය තාප බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන ඒම නිසා රට තුළ පැන නැගුණු දේශපාලන උණුසුම ඉහළ ගියේය.
  •   එය මුළුමනින්ම සැලසුම් කරන ලද්දේ අඩු පිරිවැයක් සහිත ගල්අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවන බලාගාරයක් ලෙසය.
  • චීන ණය ආධාර යටතේ, මෙරටට ලැබුණු මෙම බලාගාරයේ මුළු ධාරිතාව මෙගාවොට් 900 කි.
  • ඒ මෙගාවොටි 300 බැගින් සමන්විත ජනන ඒකක 3 ක් ලෙසිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


 එවකට, ලංකා විදුලිබල මණ්ඩලයට අයත්, වර්තමානයේ විදුලි ජනන සමාගම සතු ලක්විජය තාප බලාගාරය 2011 දී මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් වූ තාප බලාගාරයකි.  

එය මුළුමනින්ම සැලසුම් කරන ලද්දේ අඩු පිරිවැයක් සහිත ගල්අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවන බලාගාරයක් ලෙසය. චීන ණය ආධාර යටතේ, මෙරටට ලැබුණු මෙම බලාගාරයේ මුළු ධාරිතාව මෙගාවොට් 900 කි. ඒ මෙගාවොටි 300 බැගින් සමන්විත ජනන ඒකක 3 ක් ලෙසිණි. මේ අනුව, මෙරට වාර්ෂික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 30-40 අතර ප්‍රමාණයක් ජනනය කරනුයේ මෙම ලක්විජය බලාගාරය මගිනි.

 දෛනිකව පැය විසිහතර පුරාම ක්‍රියාත්මක මෙම බලාගාරය, විදුලි ඉල්ලුම වැඩි රාත්‍රී කාලයේදී මුළු ධාරිතාවයෙන් යුතුව  ක්‍රියා කිරීම එහි විශේෂත්වයයි. සාමාන්‍යයෙන් මෙගාවොට් 810 ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක් කරන අතර ඉතිරි මෙගාවොට් 90 එම බලාගාරයේම ක්‍රියාකාරිත්වය සඳහා යොදා ගනී.

මේ අනුව, නොරච්චෝල ලක්විජය තාප බලාගාරය යනු පාරිභෝගිකයාට දැරිය හැකි මිළකට පදනම් විදුලි සැපයුම අඛණ්ඩව ලබාදිය  හැකි ප්‍රධාන විදුලි බලාගාරයක් ලෙස සලකනු ලබයි.

ගල්අඟුරු අපේ රටේ ඛනිජ සම්පතක් නොවේ. එබැවින්  ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මෙරටට ආනයනය කළ යුතුය. එම අවශ්‍යතාවය මත, 2010 දී රජයේ ව්‍යාපාරික සමාගමක් ලෙස ලංකා ගල්අඟුරු සමාගම පිහිටුවන ලදී. එම සමාගමේ මුඛ්‍ය වාණිජ අරමුණ ඉහත ලක්විජය බලාගාරය සඳහා අඛණ්ඩව ගල්අඟුරු ආනනය කොට සැපයීමය. ඒ සඳහා පිළිගත්  විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් සුදුසු සැපයුම්කරුවන් තෝරාගෙන ගල්අඟුරු ආනයනය කිරීමට ලංකා ගල්අඟුරු සමාගම බැඳී සිටී.

වාර්ෂිකව ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25 ක් සැපයීමට එම සමාගම ප්‍රසම්පාදන ක්‍රමවේදයන් 3 ක් අවස්ථාව අනුව අනුගමනය කරයි. එය ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් ක්‍රමවේදයක් වේ.

 දීර්ඝකාලීන ප්‍රසම්පාදනය,  ක්ෂණික ප්‍රසම්පාදනය හා හදිසි ප්‍රසම්පාදනය එම ක්‍රමවේදයන් තුන වේ. එකී ප්‍රසම්පාදන ක්‍රියාවලි 3 ම මෙම සමාගම විටින් විට අනුගමනය කොට ඇති අතර ඊට හේතුව ලක්විජය බලාගාරය සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු අඛණ්ඩ ගල්අඟුරු සැපයුම තහවුරුකර ගැනීම මෙරට විදුලි සැපයුමට අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බැවිණි. අවස්ථාව අනුව මෙන්ම විවිධ තාක්ෂණික හා ආර්ථික හේතූ මත ද මෙම ප්‍රසම්පාදන ක්‍රමවේදයන් එකක් හෝ බො⁣හෝ විට ක්‍රම දෙකක් හෝ තුනම යොදා ගන්නා අවස්ථාද, අනුගමනය කළ යුතු පිළිවෙත් ද ලංකා ගල්අඟුරු සමාගම විසින් ම අර්ථදක්වා ඇත.

gal aguru 2

මෙම ප්‍රමිතියෙන් තොර හෙවත් බාල ගල්අඟුරු අර්බුදය ආරම්භ වන්නේ වර්ෂ 2025/26 අවුරුද්දක කාලයක් සඳහා ගල්අඟුරු ගෙන්වීමට තීරණය කිරීමත් සමගය. එනම් ඒ සඳහා සැලසුම් සකසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ අවස්ථාවේ සිටම ය. වසර 2025/26 වර්ෂය සඳහා එනම් වසරක කාලයක් සඳහා ගල්අඟුරු ආනයනය කිරීමට ලංකා ගල්අඟුරු සමාගමේ පාලනාධිකාරිය විසින් ඊට අවශ්‍ය සැලැස්ම සකසා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා මාර්ගයෙන් අදාල ඇමතිවරයාටත්, අමාත්‍ය මණ්ඩලයටත් ඉදිරිපත් කළ මුල් අවස්ථාවේ සිටය.

ලංකා ගල්අඟුරු සමාගම සුපුරුදු පරිදි එම සැලැස්ම සකසා වර්ෂයේ මුල් කාර්තුවේදීම එනම් 2025 පෙබරවාරි 5 දින අමාත්‍යාංශ ලේකම්තුමාට ඉදිරිපත්කර තිබිණි. එම සැලැස්ම, ඒ සඳහා අත්දැකීම් ඇති නිලධාරීන් විසින්  දිර්ඝකාලීන සහ ක්ෂණික මිළදී ගැනීම් යන දෙයාකාර ක්‍රමවේදයන් අනුගමනය කරමින් සකසා තිබීම විශේෂත්වයකි.

 දීර්ඝ කාලීන තනි සැපයුම්කරුවෙකුගේ ඒකාධිකාරි ග්‍රහණයෙන් මිදී අදාළ ගල්අඟුරු තොග මිළදී ගැනීමට ක්ෂණික ප්‍රසම්පාදන ක්‍රමය ද යොදා ගන්නා අතර එය  වඩා සුරක්ෂිත ක්‍රමවේදයක් ලෙස සලකා තිබිණි.

මේ අතර, වසර 2022 සිට 2025 දක්වා මෙරට ගල්අඟුරු ආනයනය කිරීම පිළිබඳව මතු වී තිබුණු විවිධ ගැටළු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව නිකුත්කළ විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාව අනුව ද මෙවැනි දෙමහුම් සැලසුමක් සැකසීම වඩා යෝග්‍ය බව නිරීක්ෂණය කොට තිබීමත් මීට එක් හේතුවක් විය හැකිය.

එනමුත් 2022 -25 කාලපරිච්ඡේදය තුළ ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ ගැටළු රැසක් එම විගණන වාර්තාවෙන් මතු කොට තිබිණි. රට ආර්ථික වශයෙන් බංකොළොත්වීම මත සමහර ප්‍රසම්පාදන කොන්දේසි ලිහිල් කර තිබූ අතර තරඟකාරී නොවන අයුරින් ගල්අඟුරු මිළදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය එවකට ලබා දී තිබීමත් එහි අවධානයට පාත්‍ර වී තිබූ කරුණු අතර විය.

 

kumara jayakodi 250830

 කෙසේවෙතත්, මෙවර ඉදිරිපත් කළ දෙමහුම් සැලසුම අමාත්‍යාංශ ලේකම්වරයාද අනුමතකර තිබූ අතර පසුව දීර්ඝකාලීන ප්‍රසම්පාදනයට පමණක් සීමා කොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කටයුතු කර තිබීම මෙම අර්බුදයේ එක් තීරණාත්මක ආරම්භයක් ලෙස සැලකිය හැකිය.

 ඒ අනුව, දීර්ඝකාලීන ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ පමණක් 2025/26 වර්ෂය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.5 ක් සඳහා මිළ ගණන් කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි. එම තීරණයට අනුව යමින් ලංකා ගල්අඟුරු සමාගම 2025 අගෝස්තු 18 දින ලංසු  කැඳවීමේ ආරාධනාව ලියාපදිංචි සැපයුම්කරුවන් වෙත යොමු කිරීමට කටයුතු කළ අතර ඒ වන විටත් ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි නොවූ සමාගම් කිහිපයක් වෙතත් අදාල ආරාධනාව යොමු කිරීම, සැකයට තුඩු දෙන්නක් බවට විපක්ෂය  චෝදනාකර තිබේ.

2025 අප්‍රේල් මාසයේ මිළ ගනන් කැඳවීමට තිබුණු ගල්අඟුරු ප්‍රසම්පාදනය, මෙම සංශෝධන නිසා තවත් මාස හතරක පමණ කාලයකට ප්‍රමාද වීම නොවැලක්විය හැකි කරුණක් බවට පත් වී තිබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2023 වසරේ සිට ගල්අඟුරු සපයමින් තිබූ රුසියානු පොට්‍රෙන්සියා නම් නව වෙළඳ නාමයකින් පෙණී සිටි රුසියානු සැපයුම්කරුට, 2025 වර්ෂයට නියමිත ගල්අඟුරු නැව් 11 අමතරව, වැඩිමනක් ගල්අඟුරු නැව් 5 ක් මෙරටට ගෙන්වීම සඳහා ඇණවුමක් කර තිබීම තවත් විශේෂිත කරුණකි. එම හදිසි ඇණවුම අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරවම කර තිබීම ගැටළු  සහගත කරුණක් ලෙස අමාත්‍ය මණ්ඩලය තුළ දී පවා සාකච්ඡාවට ගෙන තිබීම පසුව හෙළිදරව් විය.

ලංසු කැඳවීමේදී වසර 2022 ට පෙර පැවැති වඩාත් විධිමත්  ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසෙක දමා බංකොලොත් ආර්ථික තත්ත්වය මත අනුගමනය කළ ලිහිල් ප්‍රසම්පාදන ක්‍රමවේදයම 2025/26 වසර සඳහා ද අනුගමනය කිරීම හේතුවෙන් එතෙක් ලියාපදිංචි නොවූ මෙන්ම ගල්අඟුරු සැපයුම් ක්ෂේත්‍රයේ වැඩි වානිජමය අත්දැකීම් නොමැති  සැපයුම්කරුවන්ටද මිළ ගණන් ඉදිරිපත් කිරීමේ දොර කවුළු විවෘත වී තිබීම කැපී පෙ⁣ණෙන අඩු පාඩුවකි.

මෙම තීරණ පිළිබඳ නොසන්සුන් වී සිටි ලංකා ගල්අඟුරු සමාගමේ එවකට සභාපතිවරයා තම ධූරයෙන් 2025 අගෝස්තු මස ඉල්ලා අස්වීය. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියට අනුව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත ගැන ඔහුගේ විරෝධය පළකර තිබීමත් සැලකිය යුතු කරුණකි.


අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ලංසු ඇගයීමේ සහ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ⁣2025/26 වර්ෂය සඳහා දීර්ඝකාලීනව ගල්අඟුරු සැපයීමට  ට්‍රයිඩන්ට් චැම්ෆර් නැමැති ඉන්දියානු සමාගම තෝරාගත් අතර ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම 2025  නොවැම්බර් මස 19 දින දක්වා තවදුරටත් ප්‍රමාද වී තිබිණි. ගිවිසුම එදින අත්සන් කරන විටත් ඒ සඳහා වූ නීතිපතිගේ අනුමැතිය ඊට නොලැබී තිබීම තවත් ප්‍රහේළිකාවකි.


kumara jayakodi russian

මේ අතර තුළ කාලයේදී රුසියාවේ පැවැති බලශක්ති ප්‍රදර්ශණයකට සහභාගී වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා රුසියාව බලා පිටත් විය. ප්‍රදර්ශනයට සහභාගි වූ විදුලිබල බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කලින් සැලසුම් කරගත් තම සංචාරයේ දිනචරියාවට අනුව එතෙක් මෙරටට ගල්අඟුරු සපයමින් තිබූ මෙන්ම, ඉහත ප්‍රසම්පාදන ක්‍රියාවලියට තරගකාරී ලෙස සහභාගී වූ පොට්‍රෙන්ෂියා රුසියානු සමාගමේ මව් සමාගම වූ සුවෙක් සමාගම සමඟ 2025 ඔක්තෝම්බර් 15 දින සාකච්ඡාවක් යොදා ගෙන තිබීම කවර අර්ථයකින් සිදුකළ ක්‍රියාවක්ද යන්න පැහැදිලි නොමැත. එහෙත්, නව ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ලංසු ඉදිරිපත් කළ එක් සමාගමක් සමඟ පමණක් එවැනි සාකච්ඡාවක් යොදාගැනීම සදාචාරයට පටහැනි ක්‍රියාවක් ලෙස විපක්ෂයේ විවේචනයට ලක් විය.

එම සාකච්ඡාවෙන් පසු ලංකාවට පැමිණි අමාත්‍යවරයා කෙටි කාලයක් තුළ ට්‍රයිඩන්ට් චැම්ෆර් ඉන්දියානු සමාගමට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීමට කටයුතු කළේය. ඒ සමඟම, රුසියානු පොට්‍රෙන්සියා සමාගමින් ඇණවුම් කළ වැඩිමණක් ගල්අඟුරු නැව් 5 ප්‍රතික්ශේප කිරීමට ද තීරණය කළේය.

ලංසු කැඳවීමේදී අඩුම මිළ ගණන් ඉදිරිපත් කළ සමාගම ලෙස එම ඉන්දියානු සමාගම තෝරාගත් බවට  ඇමතිවරයා සඳහන් කළ ද , එම සැපයුම්කරුට මෙම ක්ෂේත්‍රයේ වානිජමය  අත්දැකීම් අතින් දුර්වල ශක්‍යතාවයක් තිබූ සමාගමක් බව නිසි අයුරින් තහවුරුකර ගෙන නොතිබීම ගැන හේතූ දැක්වීමක්  නොතිබිණි.

තවද, මෙම ඉන්දියානු සමාගමේ විවිධකාර  වාණිජ කටයුතු සම්බන්ධයෙන්  සාධනීය වාර්තාවක් නොමැති බවත්, එහි ප්‍රධාන අධ්‍යක්ෂකවරයෙකුට එරෙහිව එරට අධිකරණයෙන් දඬුවම් ලබා දී තිබෙන බවත් මෙරට පුවත්පත් හා සමාජ මාධ්‍යය විසින් ද වාර්තා කළේය. එම කරුණු පිළිබඳ අන්තර්ජාලයේ බොහෝ කරුණු අඩංගුව පවතිනවා පමණක් නොව එම සමාගම සමඟ දූෂිත ලෙස සම්බන්ධකම් පැවැත් වූ එරට ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ නායකයින්ට පවා චෝදනා එල්ල කොට අධිකරණයෙන් පවා සිරදඬුවම් නියෝග කර තිබීමත් කැපී පෙණෙන්නකි.

පසුගිය කාලය පුරා අර්බුදයකින් තොරව රුසියාවෙන් ඉහළ ප්‍රමිතියකින් යුතුව ගල්අඟුරු සපයන ලද පොට්‍රෙන්සියා සමාගමේ ලංසුව, ඉන්දියානු සමාගමට පසුව ඉතා අඩු මිළකට මිළ ගණන් ඉදිරිපත්කර තිබීම කැපී පෙණෙන කරුණක් වුවත් එය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇගයීමකට ලක් ව නොතිබීම ගැන අදාල කමිටු සාමාජිකයන් තම අදහස් තර්කානුකූලව ඉදිරිපත් කිරීමට සුදානම් ද යන්න පැහැදිලි නොමැත. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අභියෝගයට ලක් කොට අනෙකුත් පරාධීන සැපයුම්කරුවන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත පිවිසීමට ක්‍රියා නොකිරීම බොහෝ විට ප්‍රසම්පාදන කොන්දේසිවල දුර්වලකමක් නිසා සිදුවූවක් විය හැකිය.

එනමුත් වත්මන් ජනාධිපතිවරයා තම මාලිමා ආණ්ඩුවේ ප්‍රථම ගල්අඟුරු ප්‍රසම්පාදනය ගැන අතිශෝක්තියෙන් යුතුව කතා කරමින්, මෙතෙක් පැවැති  ගල්අඟුරු සැපයුම් කාඨලය බිඳ දමා අලුත් සමාගමකට එම සැපයුම දුන් බව පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළේය. මේ ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලිමා ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ද තම පළමු ගල්අඟුරු ප්‍රසම්පාදනය විවෘතව සිදු කිරීම ගැන ආඩම්බරයෙන් යුතුව කතා කළහ.

ප්‍රසම්පාදනය ලබා ගත් ට්‍රයිඩන්ට් චැම්ෆර් නැමැති ඉන්දියානු සමාගම තම ගල්අඟුරු තොග දකුණු අප්‍රිකාවෙන් සැපයීමට කටයුතු යොදා තිබිණි. ගිවිසුමට අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.5 ක් 2026 අප්‍රේල් 20 දිනට ප්‍රථම නැව් 25 ක් මගින් සැපයීමට ඉන්දියානු සමාගම බැඳී සිටී.  

gal aguru

එහිදී නොරච්චෝල ලක්විජය තාප බලාගාරය සැලසුම් කොට ඇති තාක්ෂණික පිරිවිතරයන්ට අනුව ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු සැපයීමට සැපයුම්කරුට අනිවාර්ය කොන්දේසියක් ගිවිසුමෙන් පනවා තිබිණි. එම ප්‍රමිති අගය කිලෝ කැලරි 5900-6200 ක ශක්තියකින් යුත් ගල්අඟුරු වීම සුවිශේෂය. ඊට අඩු ප්‍රමිතියකින් යුත් ගල්අඟුරු සඳහා දඩ මුදලක් අයකිරීමටත්, ප්‍රමිතිය බාල ගල්අඟුරු   ප්‍රතික්ශේප කිරීමටත් ලංකා ගල්අඟුරු සමාගමට කටයුතු කළ හැකිය. අඛණ්ඩව නැව් දෙකක් එවැනි බාල ගල්අඟුරු සැපයීමක් සිදුකළ විට මුළු ප්‍රසම්පාදනයම අහෝසි කිරීමට ලංකා ගල්අඟුරු සමාගමට බලයක් ඇති අතර, එය තීරණය කිරීම ගල්අඟුරු නැවට පටවන අවස්ථාවෙිදී ගනු ලබන සාම්පලයේ කිලෝ කැලරි ප්‍රමාණයේ විද්‍යාගාර පරීක්ෂණ වාර්තාව මත තීරණය කොට තිබීම ගිවිසුමට ඇතුළත්කර තිබෙන තවත් කොන්දේසියක් වේ.

නොරච්චෝල බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමට හැක්කේ දළ වශයෙන් වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට ඊළඟ වර්ෂයේ මැයි මාසය දක්වා පමණි. බලාගාරය අසල වරායක් නොතිබීම නිසා , අප්‍රේල් මාසයේ අග වන විට මුහුද රළු වෙමින් වාරකන් සමය උදාවේ. එම කාලය දළ වශයෙන් මාස 4 ක් පමණ වේ. එවිට නැව් මගින් ගෙන එන ගල්අඟුරු බාජ් තුළට බහාලීම ගැටළුවකි. මෙවර එම තාක්ෂණික සීමාව වඩාත් බලපානුයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදය නිසා අදාල සැපයුම්කරුගේ පළමු නැව මෙරටට ළගා වන විට 2025 වර්ෂ අවසානයට ළඟා වී තිබීම නිසාය.

 එබැවින්, ගිවිසුමට අනුව 2026 අප්‍රේල් 20 දිනට නියමිත ගල්අඟුරු නැව් 25 මෙරටට ළඟා වී නොතිබිණි. සාමාන්‍යයෙන් දින 6 කට වරක් නැවක් පැමිණිය යුතු අතර, ගිවිසුම් ප්‍රකාරව එම කාලසීමාව පවත්වා ගැනීමට ට්‍රයිඩන්ට් චැම්ෆියර් සමාගම මේ වන විටත් අපෝහසත් වී තිබේ. දැනට වාර්තා වන පරිදි, 17 නැවෙන් ගල්අඟුරු බෑම සිදුකරනු ලැබේ. ⁣

ගොඩ බෑමේදී ලබාගන්නා තවත් සාම්පලයක් පිළිගත් විද්‍යාගාර පර්යේෂණයකට ලක්වෙන අතර තවත් සාම්පලයක් බලාගාරයේ ඇති විද්‍යගාර පහසුකම් යටතේ පරීක්ෂා කළ හැකිය. සුරක්ෂිතව ලබාගන්නා තවත් සාම්පලයක් විශේෂ විමර්ශන කටයුත්තක අවශ්‍යතාවය මත තබාගැනීම ද කටයුතු කෙරේ.

එක් නැවකින් ගල්අඟුරු ටොන් 60000 ක් පමණ රැගෙන එන අතර අදාල නැවෙන් ගල්අඟුරු පිටතට ගෙන කෙළින්ම බලාගාරය වෙත යොමු කෙරේ. විශාල තොග ප්‍රමාණයක් හැසිරවීම කාර්යක්ෂම සිදුකිරීමට මෙම පිළිවෙත තාක්ෂණික වශයෙන් යොදා ගනී. බලාගාරයේ බොයිලේරුව දක්වා යාම තුළ එම ගල්අඟුරු සුදුසු තත්ත්වයට පත් කිරීම යාන්ත්‍රිකව සිදුවේ.

ට්‍රයිඩන්ට් චෙම්ෆයර් සමාගම මගින් ගෙන්වන ලද ගල්අඟුරුවල පැට වීමේ සහ ගොඩබෑමේ අවස්ථාවල ගන්නා ලද ගල්අඟුරු සාම්පල විදේශ රටක පිළිගත් විද්‍යා පර්යේෂණාගාරයක නියමිත තාප ශක්තිය හෙවත් ප්‍රමිතිය සහතික කරගැනීමට යොමුකර තිබිණි. එහිදී අදාල ප්‍රමිතිය සහතික කොට තිබුණු නමුත් ලක්විජය බලාගාරයේ පරීක්ෂණාගාරයේ සහ ගල්අඟුරු බලාගාරය තුළ දහනය කිරීමෙන් ලද වාර්තා එකී පැටවීමේ සහ ගොඩබෑම් අවස්ථාවල ගත් සාම්පල විදේශ පරීක්ෂණාගාර තුළ ලබාගත් දත්ත සමග එකිනෙකට පරස්පර වී තිබේ.

මේ අනුව ගිවිසුමට අනුව සැපයුම්කරු විසින් සපයන ලද ගල්අඟුරු නිසි ප්‍රමිතියට ඇති බවට තහවුරු කර ඇතත් දහනය කළ ගල්අඟුරු නිසි ප්‍රමිතියට නොතිබිණි. එනම් සැපයුම්කරු බාල ගල්අඟුරු සපයා තිබෙන බවට ප්‍රායෝගික සහ ප්‍රත්‍යක්ෂ කරුණක් බවට පිළිගැනීම හැර අන් යමක් නොමැත.

ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් සැපයීමට සැපයුම්කරු සමග වූ එකඟතාවය ඇ. ඩොලර් 98.5 කි. නමුත් කි.කැලරි 5600-5200 සීමාවේ ඇති සපයන ලද මෙම ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇ. ඩොලර් 60-70 මුදලකට ජාත්‍යන්තර වෙළඳපොළේ විකිණේ. ඒ අනුව සැපයුම්කරු එක මෙට්‍රික් ටොන් එකකින් අවම වශයෙන් ඇ. ඩොලර් 20-25 ක මුදලක අයුතු ලාභයක් ලබා ඇත. එම ලාභය මෙට්‍රික් ටොන් මිලියන 1.5 ක සඳහා අති විශාල මුදලකි. එම අයුතු සහ වංචනික ලාභය මුළුමනින්ම සැපයුම්කරුට පමණක්  ලැබුණු එකක්ද..? නැතහොත් ඉන් සැළකිය යුතු කොටසක්  මෙරට එම සමාගමේ නියෝජිතයන් අතට පත්වී ඇතිද..? තවදුරටත් අතරමැදි ගිණුමකට, අරමුදලකට හෝ පුද්ගලයෙකුට බැර වුණාද යන්න දැන් අපරාධ මූල්‍ය විමර්ශන නිලධාරීන් ඉදිරියේ ඇති බලගතු විමර්ශණයකි.

මෙම රාජ්‍ය මූල්‍ය අපහරණය තවත් මහාදවල් මංකොල්ලයක් බවට පත්වී ඇත්තේ, දැනට එම සැපයුම්කරු කිසිදු බාධාවකින් තොරව මෙරටට ගෙනවිත් ගොඩබා දහනය කළ නැව් 15 ක ගල්අඟුරු තොගයම ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු වීම නිසාය.

 ship gal aguru

පාර්ලිමේන්තුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණ කාරක සභාව විසින් කරන ලද නියෝගයක් පරිදි ලංකා විදුලිබල මණ්ඩලය, ලක්විජය බලාගාරයේ දහන වාර්තා අනුව පිළියෙල කළ වාර්තාවක් 2026 පෙබරවාරි 11 දාතමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එහිදී ඒ වන විට පිළිවෙළින් දහනයට යොදා ගත් නැව් 4 ක දත්ත විශ්ලේෂනයක් කොට එම නැව් 4 දහනය කිරීමෙන් විදුලි ජනනයට පමණක් සිදුවූ සෘජු පාඩුව රු මිලියන 2,260 ක් ලෙස ගණන් බලා තිබේ. ගිවිසුමට අනුව දඩ මුදල් රු. මිලියන 1,037 ක් සැපයුම්කරුගෙන් අයකර ගැනීමට හැකි යැයි පැවසුවත් ගිවිසුම් කොන්දේසි කූට පරීක්ෂණාගාර වාර්තා මගින් අභියෝගයට ලක්කර තිබීම ජාත්‍යන්තර නීතිය ඉදිරියේ විසඳීමක් දක්වා දුර දිග යා හැකි කරුණකි. ගිවිසුම් ප්‍රකාරව නැව් 2 ට වැඩි ගණනක් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගොඩබෑම තුළ ගිවිසුම අවලංගු කොට දැමීමට ලංකා ගල් අඟුරු සමාගමට හැකියාව ඇතත් එය නොකර තිබීම අර්බුදය ඔඩු දිව යාමකි.

මීට අමතරව, විදුලිබල ක්ෂේත්‍රය ස්වාධීන නියාමනයකට ලක් කරන මහජන උපයෝගිතා කොමිෂම ද ලක්විජය බලාගාරයේ දත්ත වාර්තා හා නිරීක්ෂණ කටයුතු පදනම්ව තවත් සවිස්තරාමක වාර්තාවක් නිකුත් කරන ලදී.

එම වාර්තාව නිකුත් කිරීමේදී කරුණු 4 ක් සැලකිල්ලට ගැණිනි. එනම්, ප්‍රමිතියෙන් අඩු ගල්අඟුරු යොදා ගැනීම නිසා බලාගාර යන්ත්‍රවල තත්ත්වය සහ ක්‍රියාකාරිත්වය, සෘජු මූල්‍යමය පාඩුව, පාරිසරික බලපෑම, අඛණ්ඩ විදුලි සැපයුමට ඇති බාධාව. මෙම වාර්තාව ඒ වන විට බලාගාරය වෙත ගල්අඟුරු සැපයූ නැව් 9 ක් පදනම් කරගනිමින් සිදුකළ විමර්ශනයකි. එම වාර්තාව 2006 පෙබරවාරි 27 දින ප්‍රකාශයට පත් කළාය.  එම සම්පූර්ණ වාර්තාව මහජන උපයෝගිතා කොමිෂමේ නිල වෙබ් අඩවියෙන් මහජනයාට භාගතකර දැන් කියවීමට හැකිය.

එම වාර්තාවට අනුව එම නැව් 9 පමණක් රජයට රු. මිලියන 8497 ක අලාභයක් සිදුවී ඇති බව වාර්තා කොට තිබෙි. තවද, මෙගවොට් 300 ක ධාරිතාවක් ඇති ලක්විජය තාප බලාගාරයේ එක් ඒකක⁣යකින් නිපදවිය හැකි ධාරිතාව සාමාන්‍යයෙන් මෙගවොට් 265 ට අඩුවී ඇත. සැපයුම්කරු විසින් සපයන ලද බාල ගල්අඟුරුවල සාමාන්‍ය තාප ශක්තිය කිලෝ කැලරි 5600-5050 අතරය.

ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු කිලෝ ග්‍රෑම් 0.33 න් විදුලි ඒකකයක් නිශ්පාදනය කළ හැකි වුවත් ඉහත සඳහන් බාල අගයෙන් යුත් ගල්අඟුරු කිලෝ ග්‍රෑම් 0.37-0.4 දක්වා වූ ගල්අඟුරු ප්‍රමාණයක් අවශ්‍යවේ.

 

oil 260323
මේ නිසා ඉල්ලුමට සරිලන ලෙස අඩුවන විදුලිය ඩීසල් හෝ දැවිතෙල් මගින් වෙනත් තාප බලාගාර යොදා ගෙන  නිශ්පාදනය කිරීමට අමතර මුදලක් දැරීමට සිදුවේ. සාමාන්‍යයෙන් ප්‍රමිතියෙන් යුක්ත ගල්අඟුරු මගින් විදුලි ඒකකයක් නිපදවීමට රු. 17 පමණ වැයවේ. එය වෙනත් ඉන්ධනයකින් ඒකකයක් නිපදවීමට නම් රු. 40-60 දක්වා වැඩි වෙනු ඇත. මැද පෙරදිග යුද පසුබිම නිසා ඉහළ ගිය තෙල් මිළ නිසා දැන් එම අගය රු. 80-110 දක්වා වැඩි විය හැකිය.

 මේ අනුව විශාල මූල්‍යමය පාඩුවක් දැරීමට දැන් සිදුවී තිබේ. ගල්අඟුරු අර්බුදය නිසා දැනටමත් අහිමී වූ විදුලිබලය ඩීසල් මගින් ජනනය කිරීමට ඩීසල් ලීටර් කෝටි 6 ක් යොදා ගෙන ඇති බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක  මහතා පසුගියදා හෙළි ක⁣ළේය. දිනකට ලීටර් ලක්ෂ 6-8  ක ප්‍රමාණයක් මේ නාස්තිකාර ක්‍රියාව නිසා යොදා ගැනේ. දැනට ගල්අඟුරු සැපයූ සමාගමට ගෙවිය යුතු මුළු මුදල රු. බිලියන 50 ට ආසන්න අගයක් ගන්නා අතර, දැනටමත් පැමිණි නැව් සංඛ්‍යාව අනුව සියයට 80 ක් ගෙවීමට ලංකා ගල් අඟුරු සමාගම බැඳී සිටී. ප්‍රමිතියෙන් බාල නිසා සියයට 10 ක දඩයක් සැපයුම්කරුට පැනවීමට හැකි වුණත් මෙසේ එසේ ලබාගත් දඩ මුදල් හෝ ගෙවා ඇති මුළු මුදල හෝ අදාල බලධාරීන් මෙතෙක් ප්‍රකාශ කොට නැත.

එම වාර්තව මගින් හෙළිදරව් කොට ඇති පාරිසරික දූෂණය ද ඉහළ අගයකි. සාමාන්‍යයෙන් වාතයට මුදා හරින කාබන් අණු කැබලිති දුවිල්ල සියයට 99 න් වැඩිවී තිබේ. හානිකර සල්ෆ ඔක්සයිඩ් සහ නයිට්‍රික් ඔක්සයිඩ් ප්‍රමානය පිළිවෙලින් සියයට 452 න් සහ 350 න් වැඩිවී තිබේ. මේ පිළිබඳ වගකිව යුතු රාජ්‍ය ආයතනවන වයඹ පළාත් පරිසර අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය තවමත් නිහඬය.

 බලාගාරය නඩත්තු කටයුතු සඳහා වෙන් වෙන් ඒකක වසා දැමීමට කටයුතු කළහොත් බලාගාරයේ තාක්ෂණික උපාංගවලට සිදුවිය හැකි පාඩුව රු. මිලියන  500 ට ආසන්න විය හැකි බව එම බලාගාරයේ ඉංජිනේරුවන්ගේ මතය වේ.

 දැනට ගල්අඟුරු නැව් 18 ක් පමණක් බලාගාරය ආසන්න මුහුදට පැමිණි  තිබූ බැවින් වාරකන් කාලය වැඩිවීම නිසා ගිවිසුම පරිදි නැව් 25 ගොඩබෑම දුෂ්කර වෙනු ඇත. එම පසුබිම තුළ කොමිෂන් වාර්තාවට අනුව බොහෝ විට 2006 අගෝස්තු මාසය එළඹීමටත් පෙර ගල්අඟුරු හිඟය මත බලාගාරය වසා දැමීමක් පවා සිදුවිය හැක.

 දැනට ඉන්ධන ප්‍රවාහනයට ඇති වී ඇති බාධා සහ ජලවිදුලි බලාගාර සහිත පෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත්  වැසි නොලැබීම තුළ අඛණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බැව් ලංවීම ඉංජිනේරුවන්ගේ මතයයි.

 

Electricity.jpg

එසේම, විදුලි ජනනය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම තුළ විදුලිබිල ඉහළයාම පාරිභෝගික ජනතාවට අතුරු ආර්ථික අපහසුතා රැසක් ඇති කරනු නියතය. දැනටමත් ලංවීම ප්‍රතිව්‍යුවහ ගත කිරීම යටතේ පිහිටුවනු ලැබූ ජාතික පද්ධති පාලන සමාගම සියයට 30 ක විදුලිබිල වැඩි කිරීමක් සඳහා මහජන උපයෝගිතා කොමිෂමට යෝජනාවක් ඉදිරිපත් කළාය. නමුත් කොමිෂම විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ගල්අඟුරු ප්‍රසම්පාදනයේ අවධිමත්භවය හේතූවෙන් විදුලි බිල වැඩිකොට එම බර පාරි⁣භෝගිකයා මත පැටවීම ප්‍රතික්ෂේප කිරීම ඉතා අදීන තීරණයකි.

මෙම බාල ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් වහසි බස් රැසක් කියූ මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් දැන් එහි නියම යථාර්තයට මුහුණ දෙමින් සිටී. රාජ්‍ය ආයතනවල විධිමත් විද්‍යානුකූල වාර්තා පදනම් කරගනිමින් ද මෙම රාජ්‍ය මූල්‍ය අපහරණය පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධකයෙකු වූ සංඛ අභයවර්ධන මහතා වෙන වෙනම පැමිණිලි දෙකක් අල්ලස්, වංචා සහ දූෂණ කොමිෂන් සභාවට යොමු කොට ඇතත් එම පරීක්ෂණ පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍යය වෙත මෙතෙක් මුදා හැර නැත.
 ⁣
කෙසේවුවත් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසායන් අධීක්ෂණය සඳහා පත්කොට ඇති කෝප් කමිටුව මේ අර්බුදය පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා සිදු කළාය. ඊට පදනම් වූයේ 2025/26 ගල්අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පැණ නැඟුණු ගැටළු විමර්ශනය කළ විගණකාධිපති වාර්තාවකි. එම වාර්තාවට අනුව, මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ආරම්භයේ පටන්ම, සැපයුම්කරුගේ ලියාපදිංචියේ සිට අදාල නිශ්චිත සාම්පල් පරීක්ෂණ වාර්තා  පිළිබඳවත් කරුණු රැසක් අනාවරණය කර තිබීම සැළකිය යුතු කරුණු අතර වේ.

තවද, කිසිදු තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව හදිසි ගල්අඟුරු මිළදී ගැනීමක් සඳහා ඉදිරිපත් වු ටැරන්ජොට් රිසෝස් සමාගමේ ශඛ්‍යතාවය පිළිබඳ බලවත් ප්‍රශ්න රැසක් විගණකාධිපති වාර්තාවෙන් මතුකොට තිබේ.

 



 ඒ අතර සමාජ මාධ්‍යය තූළ සංසරණය වූ ටෙලිෆෝන් හඬ පටයක් පිළිබඳ ලංකා ගල් අඟුරු සමාගමේ වත්මන් සභාපතිවරයා වගකීම ගැනීමත් එහි ජනාධිපතිවරයා සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම් සඳහන් කිරීම තවත් සැක සංකා වැඩි කළ සිදුවීමක් වීය.

මාලිමා ආණ්ඩුව බලයට පත්වූයේ වංචා හා දූෂණවලට එරෙහි විශාල ජනතා අපේක්ෂාවක් ඇති කරමින්ය. නමුත් , තම විදුලිබල බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට මෙවැනිම රාජ්‍ය ප්‍රසම්පාදනයක් සම්බන්ධයෙන් අධිකරණයෙන්  අධිචෝදනා එල්ල වී තිබුණු අවස්ථාවක, ඔහු ආරක්ෂා කරමින් ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය ප්‍රශ්ණකාරී වේ. මින් සිදුවූයේ, මාලිමා ආණ්ඩුවේ ප්‍රතිරූපය ඉතා කෙටි කාලයක් තුළ වියැකී යාමකි.

මෙම ගල්අඟුරු ප්‍රසම්පාදනය විමර්ශණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනකුගෙන් යුත් විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කිරීම දැන් ජනතා අභිලාෂයන්ට ගරු කිරීමකට වඩා තම ආණ්ඩුව වෙත එල්ල වූ බලවත් විරෝධයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බොහෝ දෙනා සලකති.

එම විමර්ශන කටයුතු 2009 සිට 2026 දක්වා සිදුකිරීමට කොමිෂමට බලය පැවරීම වසර 2025/26 ප්‍රසම්පාදනයේදී සිදු වී ඇති රාජ්‍ය මූල්‍ය පාඩුව හා වංචනික මැදිහත්වීම් කෙරෙහි විවෙිචන එල්ල කළ විපක්ෂයට අනියමින් එල්ල කළ දේශපාලන බලපෑමක් සහ කාලය අනිසි ලෙස කා දැමීමට ගත් උත්සාහයක් විය නොහැකිද..?

 එනමුත් ගරු විනිසුරුවන් සහිත කොමිෂමේ ප්‍රතිරූපය තහවුරු වීමට  නම් මෙම 2025/26 ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තර විමර්ශණයක් ප්‍රථමයෙන් ම සිදුකොට මාසයක කාලයක් ඇතුළත විශේෂ අතුරු වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීම වඩාත් සුදුසුම ක්‍රියාව විය යුතු නොවේද...?

 

677899231 10168704772129848 5746461636341483462 n

bandula chandra
(සටහන | බන්දුල චන්ද්‍රසේකර)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික

banchasekara@gmail.com


උපුටා ගැනීම - ඉරිදා ලංකාදීපය (2026-04-26 )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...