The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වතුකරයට ඇස තැබීම හෙවත් Beyond Struggle 200+

T

The Leader Desk

July 23, 2025 • 12:24 PM

වතුකරයට ඇස තැබීම හෙවත් Beyond Struggle 200+

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලයෙන් ඉක්බිතිව කරන්නේ කුමක්ද, නොකරන්නේ කුමක්ද යැයි උභතෝකෝටිකයක් මතු වී තිබූ අයුරු මතකය.
  • එහි කෙටිකාලීන ප්‍රතිඵලයක් ලෙස ජනවරමක් නොමැති ජනාධිපතිවරයෙකු ද පත් විය.
  • දිගුකාලීන ප්‍රතිඵලයක් ලෙස බලය ඇල්ලීමේ ශක්‍යතාවය හතර මායිමක නොවූ තුන්වන බලවේගයක් හා වාමාංශික නැඹුරුවක් සහිත දේශපාලන බලවේගයක් අද වන විට බලයට පත් වී හමාරය.
  • වතුකරයේ මිනිස් ජීවිතවල විවිධාකාර විඳීම් පදනම් කර ගත් Beyond Struggle 200+ ඡායාරූප ප්‍රදර්ශනය ජනගත වන්නේ එවන් නව්‍ය දේශපාලන සංස්කෘතියක් ඇති බිමකය.
අකුරු ප්‍රමාණය (Font Size):

අරගලයෙන් ඉක්බිතිව කරන්නේ කුමක්ද, නොකරන්නේ කුමක්ද යැයි උභතෝකෝටිකයක් මතු වී තිබූ අයුරු මතකය. එහි කෙටිකාලීන ප්‍රතිඵලයක් ලෙස ජනවරමක් නොමැති ජනාධිපතිවරයෙකු ද පත් විය. දිගුකාලීන ප්‍රතිඵලයක් ලෙස බලය ඇල්ලීමේ ශක්‍යතාවය හතර මායිමක නොවූ තුන්වන බලවේගයක් හා වාමාංශික නැඹුරුවක් සහිත දේශපාලන බලවේගයක් අද වන විට බලයට පත් වී හමාරය.

වතුකරයේ මිනිස් ජීවිතවල විවිධාකාර විඳීම් පදනම් කර ගත් Beyond Struggle 200+ ඡායාරූප ප්‍රදර්ශනය ජනගත වන්නේ එවන් නව්‍ය දේශපාලන සංස්කෘතියක් ඇති බිමකය. සමානාත්මය පිළිබඳ අපේක්ෂාවන් දැල්විය හැකි යැයි බහුතරය විසින් අනුමාන කරන ලද පෙර නොවූ විරූ සමාජ - දේශපාලන වපසරියකය.

ඡායාරූපයක් යනු එක් නිශ්චිත නිමේෂයක් අල්ලා නතර කිරීමකි. තවත් ආකාරයකින් නිමේෂයක් ඉතිහාසගත කිරීමකි. Beyond Struggle 200+ ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප අතරින් සාතිශය බහුතරය ඉතිහාසගත විය යුතුය. ඒ නිර්මිත ඉතිහාසයේත් සැබෑ අතීතයේත් විචල්‍යයන් නිශ්චය කිරීම පිණිසය. නමුත් ඉතිහාසගත නොවී හෝ ඉතිහාසගත නොකර, අතීතයෙන් කැඩී බිඳී ආ කොටස් කිහිපයක් Beyond Struggle 200+ මාවතේ අපට හමුවේ. එය සංවාදයට ගැනීම වටී.

ස්ත්‍රීත්වයේ සංකීර්ණත්වය

WhatsApp Image 2025 07 23 at 4.16.28 PMතැපැල් අනන්‍යතාවය අහිමි වීමේ අර්බුදය
දකුණු ආසියානු ස්ත්‍රිය ගෙවන්නේ සංකීර්ණ ජීවිතයකි. වතුකරයේ ස්ත්‍රිය යනු ආසියානු රටවල් ද්විත්වයක අයිතිය උරුමවන්තියකි. කටුකත්වය සිය ජීවිතයට අනුබද්ධ කර ගන්නා ලද සහ කටුකත්වය ජීවිතයට පුහුණු කරන ලද වතුකරයේ ස්ත්‍රියට ජීවන සංකීර්ණත්වය අරුමයක් නොවේ. ඇය ස්ත්‍රිත්වයට වඩා සංකීර්ණත්වයට ශාරීරිකව සහ මානසිකව ඇබ්බැහි වී ඇති බවත් ජීවන සංකීර්ණත්වය සාමාන්‍යකරණයට ලක් කරගෙන ඇති බවත් පූර්ණ සත්‍යයකි.

“තේ දේශයක රැජිණ“ ලෙස නාමකරණය කරන ලද වයෝවෘද්ධ මරුතායි අම්මාගේ මුහුණේ රැළි ඒ ඇබ්බැහි වූ ජීවන සංකීර්ණත්වය සමඟ පෙරළි කරන රැළි රැල්ලක් වග නොපෙනෙයි. ඇය ඒ සංකීර්ණත්වය ස්ව කැමැත්තෙන් භාර ගත් බව පෙනෙයි. ඉසිඹුලිය යුතු වියේදීත් දේ දළු හා ගැටෙන ඇයගේ රැළි වැටුණු මුහුණේ ඇඳ සිනා රැල්ල සිය ජීවිතයට ඉසිඹුවක් අවැසි බව නොදත් අව්‍යාජත්වයකින් යුක්තය.

ලැයිම් කාමර තුළ ස්ත්‍රියගේ පුද්ගලිකත්වයට අභියෝග එල්ල වන ආකාරය ගැන අටුවාටීකා අනවශ්‍යය. වතුකරයේ ස්ත්‍රිය විසින් ජීවන අරගලය තුළ ආර්ථිකය හසුරවා ගැනීමට ගන්නා අපරිමිත වෙහෙසට ද උපමා නැත්තේය. මේ සම්බන්ධයෙන් සංවේදීතාවයක් නොවන්නේ නම් අපි වතුකරයේ ස්ත්‍රී ශ්‍රමයෙන් උපන් සුඛෝපභෝගී ද්‍රව්‍ය පරිභෝජනයේ සදාචාරවත් බව කුමක්ද?

WhatsApp Image 2025 07 23 at 4.16.08 PM
අධ්‍යාපනය ඇත්තටම අයිතියක්ද?

අධ්‍යාපනය මිනිස් අයිතියක් වුව ද සමාජ විෂමතාවයන්ගේ අර්බුදය නිසා අයිතිය අහිමි වීම සහ ඒ අහිමි වීම නිහඩව දරා ගැනීම “අර්බුදයක අන්දරයක්“ ලෙසම නාමකරණය කළ හැකිය. දුක දිනා ජයගැනීම සම්බන්ධයෙන් ආප්තෝපදේශ කෙතරම් නිර්මාණය වුව ද ජයගැනීම සඳහා මෙතරම් දුක් විඳිය යුතුද යන්න වතුකරයේ දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් දරන ප්‍රයත්නයන්ගෙන් ප්‍රශ්න කෙරෙයි. මෙහි ඡායාරූපයට හසු වූ “අධ්‍යාපනය අත්නොහරින දිරිය දියණිය, දර්ශා“ ලෙස නාමකරණය වූ විජයබාලන් දර්ශා දියණියගේ රූප සමුච්ඡයට අදාළ පුවත ඊට කදිම නිදසුනකි. ඒ විඳීමට මිස රස වින්දනයට තහනම් වූ රූපමය කරුණුය.

අඳුරට සාප කිරීමෙන් ඔබ්බට ගොස් එක් ප්‍රදීපයක් හෝ දල්වන්නට යත්න දරමින් ප්‍රජා පුස්තකාලයක් ස්ථාපිත කළ උඩුපුස්සැල්ලාව තරුණ කැළට ශීර්ෂ ප්‍රණාමය සිදු කළ යුතුය. 2022 ගෝල්ෆේස් අරගලයෙන් ඉක්බිතිව ද අපට ඉතිරි වූයේ අඳුරට සාප කරන්නන් මිස ශාන්ත පහන් දල්වන්නන් නොවේ. ඉතින් උඩුපුස්සැල්ලාව තරුණ කැළ අගනුවර අරගලකරුවන්ට ද පරමාදර්ශයක්ම වන්නේය.

අහිමි කරන ලද තැපැල් අනන්‍යතාවය

වතුකරය දැවෙන, වතුකරයෙන් එපිටට නොදැනෙන බරපතලම ගැටලුව නම් තැපැල් අනන්‍යතාවයක අයිතිය නොමැති වීමයි. සියවස් දෙකක් පුරා සිය පරම්පරා අයිතිය හිමි බිමක ලිපිනයක් නොමැති වීමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මිනිසුන් වශයෙන් අප කෙතරම් සංවේදී විය යුතුද? තැපැල් අනන්‍යතාවය අහිමි වීම නිසා නීතිමය, සමාජයීය සහ ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන් චරිත අපට Beyond Struggle 200+ හිදී සම්මුඛ විය.

ලිපිනයක් නොමැති නිසා දින 14ක් බන්ධනාගාරගත වීමට සිදුවීම, මහන්සියෙන් උපයාගත් ස්වර්ණාභරණ අහිමි වීම, උත්සහයෙන් උපයා ගත් අධ්‍යාපන අවස්ථා අහිමි වීම, වෛද්‍ය පහසුකම් දුරස්ථකරණය වීම ඉන් කිහිපයක් පමණි. එනයින් පෙනී යන්නේ තැපැල් අනන්‍යතාවය අහිමි වීම නිසා ඔවුන්ට අහිමි වී ඇත්තේ මූලික මිනිස් අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අවස්ථාවයි. මේ දුගී දූපතේ එවන් අසාධාරණයකට ලක් වන එකම ජන කණ්ඩායම කඳුකර මලයහ ප්‍රජාව පමණකි. එම සදේශපාලනික වරද නිවැරදි කරන්නට සියවස් දෙකක කාලය ප්‍රමාණවත් නොවී ද? මෙහි එන අපූර්ව රූප නිර්මාණය වන්නේ සියවස් දෙකක් පුරා පූර්වයේ සිදු වූ දැනුම්වත් වැරදි නිසා නම් එහි වගකීම කා සතුද? අප ඒ රූපමය සුන්දරත්වය විඳ නිහඩ විය යුතුද?

තැපැල් අනන්‍යතාවය පිළිබඳ අර්බුදය ඡායාරූප සමුච්ඡයකට හසු කළ ආකාරය ප්‍රශංසනීයය. එය ස්වභාවිකත්වයෙන් ඔබ්බට ගිය නිරූපණාත්මක කලාංගයක් ලෙස ගිනිය හැකිය. ලිපිනයක් නැති තැපැල් කවරය සේම ලිපිනයක් නැති ජීවිත හිස් වී හමාරය. සිද්ධිමය වශයෙන් එහි ගැටලු කියවීම දේශපාලනික ඛේදවාචකයක සැබෑව ඉස්මතු කරයි. එය වතුකරයෙන් පරිබාහිර සමාජයට සංවේදී වීමටත්, සහකම්පනයක් දැනවීමටත්, අවැසි නම් ස්වයං විවේචනයක් සිදු කර ගැනීමටත් මං පාදයි.

ප්‍රශ්නාර්ථය

WhatsApp Image 2025 07 23 at 4.16.47 PM
සමස්ත ඡායාරූප ප්‍රදර්ශනය පුරා හඳුනාගැනෙන දේශපාලනික අර්බුදය මුහුණු සමුදායකින් යුතු කොලාජ්මය ඡායාරූප එකතුවකින් ප්‍රදර්ශනය විය. කාලය ගෙවීයාම, පැවැත්ම දේශපාලනීකරණය වීම, ප්‍රතිරූප ඉස්මතු වීම ආදී නානාප්‍රකාර සිදුවීම්වලින් මත්තෙහි මේ ගෙවෙමින් පවතින නිශ්චිත මොහොතේ වතුකරයේ අර්බුදයට හේතුකාරක වූ මිනිස් ප්‍රාණීන් හා අර්බුදයේ වින්දිතයන් වූ මිනිස් ප්‍රාණීන් මේ කොලාජ්මය එකතුවට වස්තු වී ඇත. එනයින් ගත් කල දේශපාලනික ප්‍රශ්නාර්ථයට Beyond Struggle 200+ හරහා ඇස තබා ඇත.

කෙසේ වුවද Beyond Struggle 200+ සුන්දරත්වය සහ ජීවීත්වය එක්තැන් කරන ලද මොහොතකි. ඒ මොහොත ගෙවා ගැනීමට අපට ඇත්තේ කවර නම් ප්‍රවේශයක් ද යන්න ප්‍රශ්නාර්ථයක් ලෙස මතු වේ. 

වතුකරය සම්බන්ධයෙන් සංවේදී ප්‍රකාශ කරමින් බලයට පැමිණි බොහෝ අයට පසුව වතුකරය අමතක විය. 2005 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වතුකරයේ නිවාස ප්‍රශ්නය විසඳීම ගැන සඳහන් කරන ලද දේශපාලන බලවේග, වෙනත් දේශපාලන පක්ෂයක නමින් පෙනී සිටිමින් 2020දී ද වතුකරයේ නිවාස ගැටලුව විසඳීම ගැන පොරොන්දු සටහන් කරයි. ඉතින් වතුකරයේ ජනතාව ද නැවත නැවත බලාපොරොත්තු දල්වා ගනිති. බලාපොරොත්තු දල්වා ගැනීමෙන් ඔබ්බට ගිය යතාර්ථය ඔවුන්ට සදාකාලික සිහිනයක් පමණක් බව අතීතය සාක්ෂි දරයි.

වත්මන් ආණ්ඩුව කරවල ජාතික ජන බලවේගය විසින් මීට වසර කිහිපයකට පෙර ප්‍රසිද්ධ කරන ලද ‘හැටන් ප්‍රකාශයේ‘ අන්තර්ගතයන් ක්‍රියාත්මක වීම හෝ නොවීම පිළිබඳව ද අපි අවදියෙන් සිටින්නෙමු.

අප අතීතයෙන් ඉගෙනගෙන ඇත්තේ කිසිවක් ඉගෙන නොගැනීම පමණක් බව කාන්ට් ප්‍රකාශ කළේය. ඉතින් පෙර කී ලෙසම නැවතත් අපට කියන්නට ඇත්තේ මේ අතීත කතන්දර මේ ආකාරයෙන්ම අනාගතයට ගමන් කරන්නේ නම් එය අපගේ ශිෂ්ටාචාරයේ අර්බුදයකි. අතීතයෙන් පාඩම් නූගන්නේ නම් එය ද ශිෂ්ටාචාරයේ අර්බුදයකි. අර්බුදයට විසඳුම් සෙවීම ඡායාරූපයකින් පමණක් කළ හැකි ද යන ප්‍රශ්නාර්ථය ද Beyond Struggle 200+ ඉදිරියෙන් ශේෂ වේ.

කෙසේ වුවත් වතුකරයේ අරගලය වතුකරයෙන් ඔබ්බට ප්‍රසාරණය කළ යුතුය. Beyond Struggle 200+ හරහා වතුකරයේ තරුණ පරම්පරාව විසින්ම වතුකරයට ඇස තැබීම ඒ සඳහා මූලික ප්‍රවේශයක් සකසනු ඇතැයි ලියුම්කරු විශ්වාස කරයි.


**********************************


Beyond Struggle 200+ ඡායාරූප ප්‍රදර්ශනය මූලික වශයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද අතර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඌව ශක්ති සහ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සුය ශක්ති යන ආයතන ද දායකත්වය සපයයි.

මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ (SCOPE) ව්‍යාපෘතියේ සමාප්තිය සටහන් කිරීමේ උත්සව මාලාවේ කොටසකි. SCOPE ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය අරමුදල් සම්පාදනය කරන ලදි.
 
(සටහන | චලක ප්‍රමුදිත ලුණුවිලගේ)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...