The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බොලිවුඩ්: 'අභිරහසක් වූ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය

T

The Leader Desk

August 16, 2020 • 6:28 AM

බොලිවුඩ්: 'අභිරහසක් වූ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුෂාන්ත් සිං රාජ්පුත් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටවල ඔහු රඟපෑ සමහර චරිත මෙන්ම අසාමාන්‍ය ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි.
  • ඔහු ජීවත් වූ මුම්බායි නගරයේ පොලිසිය පැවසුවේ සුෂාන්ත් සිය දිවි නසා ගෙන ඇති බවය.
  • ඔහුගේ සාර්ථකත්වය ඔවුන්ගේම ලෙස දුටු මිලියන සංඛ්‍යාත රසිකයන් මෙම පුවත අසා මහත් සේ කම්පා විය.
  • ඔහු ඉතා වෙහෙසී සිය දිවිය ගොඩනගා ගත් අතර, ඉන්දියාවේ ඉහළම ඉංජිනේරු විද්‍යාලයකට ඇතුළත් වීමට ද සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

නිහතමානී ආරම්භයක සිට සිනමා තරුවක් දක්වා වූ ඔහුගේ සුරංගනා කතා ගමන ජුනි 14 වන දින අවසන් වූයේ වයස අවුරුදු 34 දී ඔහුට අයත් මහල් නිවාසය තුළ දී මිය යාමත් සමගය. ඔහු ජීවත් වූ මුම්බායි නගරයේ පොලිසිය පැවසුවේ සුෂාන්ත් සිය දිවි නසා ගෙන ඇති බවය.

ඔහුගේ සාර්ථකත්වය ඔවුන්ගේම ලෙස දුටු මිලියන සංඛ්‍යාත රසිකයන් මෙම පුවත අසා මහත් සේ කම්පා විය.

සුෂාන්ත් හැදී වැඩුණේ ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තවලින් එකක් වන බිහාර්හිය. ඔහු ඉතා වෙහෙසී සිය දිවිය ගොඩනගා ගත් අතර, ඉන්දියාවේ ඉහළම ඉංජිනේරු විද්‍යාලයකට ඇතුළත් වීමට ද සමත් විය. එය ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලකට දීප්තිමත් අනාගතයක් සුරක්ෂිත කිරීමේ ස්ථිර මාර්ගයක් ලෙස හැඳින්විය හැකිය.

නමුත් ඔහුගේ හදවත රංගනය කෙරෙහි යොමු විය. ඒ නිසා ඔහු විශ්ව විද්‍යාලයෙන් සමුගෙන, දිනපතා බොහෝ දෙනෙකුගේ සිහින දහස් ගණනක් මුදුන්පත් වන සහ බිඳ දමන මුම්බායි නගරය වෙත පැමිණියේය.

ඔහු කුඩා චරිත නිරූපණය කිරීම ආරම්භ කළේය. විවිධ රැකියාවල නිරත විය. වසර ගණනාවක් නාට්‍ය කලාවට සම්බන්ධ රැකියාවල නිරත වන අතර තුර, ඔහුගේ එක් රූපවාහිනී වැඩසටහනක් අතිශය ජනප්‍රිය විය. කෙටි කලක් ඇතුළත රිදී තිරයේ ද ඔහු සාර්ථක රංගන ශිල්පියෙකු ලෙස ඉදිරියට පැමිණියේය.

Sushant Singh Rajput.Danceඔහු අතිදක්ෂ නර්තන ශිල්පියෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියේය

කුඩා නගරවල දිවිගෙවන තරුණ තරුණියන්ට සිය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමේ ගමනේ දී ඔහුගේ ජීවිත කතාව සවියක් විය. සුෂාන්ත්ගේ රසිකයන් බොහෝ දෙනෙක් ඔහුගේ මරණය පෞද්ගලික සිදුවීමක් ලෙස සලකා ක්‍රියා කළේ එබැවිනි.

සුෂාන්ත් පිළිබඳ පුවත් සමග ඔවුහු දිගින් දිගටම සම්බන්ධ වෙමින් සිටියහ. මේ අතර, සුෂාන්ත්ගේ වෘත්තිය දිවිය, මූල්‍ය තත්වය, ආදර සබඳතා සහ මානසික සෞඛ්‍යය පිළිබඳ තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍යවල සහ ප්‍රවෘත්ති නාලිකාවල විවාද ලෙස ද සංසරණය වීමට පටන් ගත්තේය.

ඔහුගේ චිකිත්සකවරයා, හිටපු අරක්කැමියා, මිතුරන්, කළමනාකරු, පවුලේ අය සහ ඔහුගේ සගයන් සියල්ලන්ම පාහේ විශේෂ සම්මුඛ සාකච්ඡාවලට කැඳවා තිබිණි.

පොලිසිය මාධ්‍යයට තොරතුරු ලබා දීම අවම මට්ටමක තිබීම හේතුවෙන් ඔහුගේ මරණය පිළිබඳ අභිරහස වඩාත් ගැඹුරු ස්වරූපයක් ගෙන තිබේ.

 

පිටස්තරයන් සහ අභ්‍යන්තරිකයන්

ඔහු මියගොස් දින කිහිපයකට පසු සමහරන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණේ, බොලිවුඩයේ බලවත් පවුල් සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු ඔහුට අසාධාරණ ලෙස සැලකූ නිසා ඔහු සියදිවි නසා ගත් බවය.

Sushant Singh Rajput Dhoni Movieමහේන්ද්‍ර සිං දෝනිගේ චරිතය නිරූපණය කිරීමෙන් ඔහු සිනමාව තුළ වඩාත් ප්‍රසිද්ධියට පත් විය

සිනමා කර්මාන්තය තුළ "ගෝඩ් ෆාදර්" කෙනෙකු නොමැති බාහිර පුද්ගලයකු වූ නිසා සුෂාන්ත්ගේ නැගී සිටීම බොලිවුඩ්හි කිරුළුපලන් සිටින සමහර පුද්ගලයන්ට දරාගත නොහැකි වූ බව සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් පවසති.

විශාල පිරිවැයක් දරමින් නිර්මාණය වන චිත්‍රපටවල චරිත නිරූපණය කිරීමට ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුවත් ඔහු ඒවායින් ඉවත් කර ඇති බවට නිකුත් වූ වාර්තා පෙන්වා දීමට ද ඔවුහු ක්‍රියා කළහ.

රංගන ශිල්පියාගේ මරණයට හේතුව කුමක්දැයි මුම්බායි පොලිසිය තවමත් විමර්ශනය කරමින් සිටියි. සියදිවි නසාගැනීමට පෙළඹවීම හෝ අනුබල දීම යන චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේදැයි සොයා බැලීමට ඔවුන් චිත්‍රපට ක්ෂේත්‍රයේ පුද්ගලයින් පනහකට වැඩි පිරිසක් ප්‍රශ්න කර ඇත. පොලිසිය තවමත් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කර නොමැත.

මෙම චෝදනා මත සමහර චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකයින්ට සමාජ මාධ්‍යවල දැඩි ප්‍රහාර එල්ල වෙමින් පවතියි. හිටපු සිනමා තාරකාවන්ගේ දරුවන් මෙම වෘත්තියට හඳුන්වා දුන් කරන් ජොහාර් විශේෂයෙන් මෙම ප්‍රහාරවල ඉලක්කය වී තිබිණි.

Karan Johrකරන් ජොහාර් විශේෂයෙන් මෙම ප්‍රහාරවල ඉලක්කය වී තිබිණි.

අන්තර්ජාලය හරහා අපයෝජන හා තර්ජනවලට ඔහු මුහුණ දුන් නමුත් ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වීය. ඒ තර්ජන සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර නැත.

නම හෙළි කිරීමට අකමැති චිත්‍රපට විචාරකයෙකු පැවසුවේ සුෂාන්ත්ගේ මරණය නිසැකවම දැඩි සත්‍යයක් පෙරට ගෙන ඇති බවය. "නිවැරදි සම්බන්ධතා නොමැති පුද්ගලයින් බොලිවුඩය පිළිගන්නේ නැත."

"කොහොම නමුත්, වෘත්තීය එදිරිවාදිකම් සුෂාන්ත්ව මේ තැනට තල්ලු කළාදැයි කියලා අපි දන්නේ නැහැ. විමර්ශනය අවසන් වන තෙක් අප බලා සිටිය යුතුයි," ඔහු පැවසීය.

Sanjay Leela Bhansaliසිනමා අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇත

මෙම විවාදය තවදුරටත් පැතිර යමින් තිබියදී, සමහර නාලිකා රංගන ශිල්පිණියක වන සුෂාන්ත්ගේ පෙම්වතිය රියා චක්‍රබෝති වෙත අවධානය යොමු කළහ.

සුෂාන්ත්ගේ පියා රියාට එරෙහිව ඔහු වාසය කරන බිහාර් ප්‍රාන්තයේ පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇත. සියදිවි නසා ගැනීමට අනුබල දීම සහ සුෂාන්ත්ගේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහු ඇයට චෝදනා කරන්නේය.

මෙම නව පෙරළිය දෙසට මාධ්‍යයේ ඉක්මන් අවධානය යොමු විය.

"සුෂාන්ත්ගේ මුදල් පැහැර ගත් රන් කැණීම් කරුවා"ලෙස සමාජ මාධ්‍යවල ඇය හඳුන්වා තිබිණි.

තමන් වරදක් කර ඇති බව ප්‍රතික්ෂේප කර සිටින රියා සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා වෙත ආයාචනයක් කළාය.

එවක් පටන් විවිධ විමර්ශන ආයතන විසින් ඇයව ප්‍රශ්න කරනු ලැබ ඇත.

 

අන් අයගේ වේදනාව උළුප්පා දක්වන මාධ්‍ය ආවරණ:

රූපවාහිනී නාලිකා සහ වෙබ් අඩවි සුෂාන්ත්ගේ මරණයට හේතු වූ කරුණු සම්බන්ධ න්‍යායයන් දෙකකට වැඩි අවධානය යොමු කරන බව පෙනේ.

ඔවුන්ගෙන් සමහරුන් විශ්වාස කරන්නේ රියා සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ උදාසීනත්වය නිසා ඔහු මේ තත්වයට තල්ලු වූ බවය. තවත් සමහරු තරයේ කියා සිටින්නේ ඔහුගේ මරණය සැක සහිත බවය.

ඔවුන්ගේ න්‍යායයන් සනාථ කිරීම සඳහා ඔවුන් රතු රේඛා කිහිපයක් පසු කර ඇති බව මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පවසයි.

රංගන ශිල්පියාගේ බැංකු ගිණුම් තොරතුරු පිටතට දැනගැනීමට ලැබී ඇති අතර ඔහුගේ මානසික සෞඛ්‍යය හා ඖෂධ පිළිබඳ තොරතුරු ද වාර්තා වී තිබේ.

Sushant Singh Rajput.j1මියයන විට ඔහු 34 වෙනි වියේ පසුවිය

සියදිවි නසා ගැනීම වැනි සංවේදී මාතෘකාවක් වාර්තා කිරීමේදී සෑම මාධ්‍ය ආයතනයකටම ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතු බව වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පවසයි.


"නමුත් කණගාටුවට කරුණක් නම්, ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ වෙළෙඳපොලේ බොහෝ නාලිකා ආචාර ධර්ම අනුගමනය නොකිරීමයි. සෑම කෙනෙකුම එකිනෙකා අභිබවා යාමට කැමති වන අතර ඔවුන්ගේ වගකීම අමතක කරනවා," ඔහු තවදුරටත් පැවසීය.

සුෂාන්ත්ගේ සමාජ මාධ්‍ය ජාල පිටුවල සිටි මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන් ඔහුගේ මරණයට අදාළ සෑම නව කටකතාවක් හා වර්ධනයක් ගැනම තවමත් දැඩි උනන්දුවක් දක්වති.

එම තරුණයින්ගෙන් සමහරෙකු මානසික ව්‍යාකූලතාවල සිටිය හැකි බැවින් මාධ්‍ය ආයතන වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බව වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පවසයි.

මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ සමහර මාධ්‍ය ආයතනවල පවතින සීමිත අවබෝධය ගැන ඔහු දොස් නැගීය.

Bihar. congrasබිහාර්හි කොන්ග්‍රස් පක්ෂ නායකයින් මධ්‍යම රජයේ කාර්යාංශවලින් විමර්ෂනයක් ඉල්ලමින්...

මානසික සෞඛ්‍යය යනු ඉන්දියාවේ බොහෝ දුරට අවධානයට ලක් නොවූ කාරණයක් වන අතර, එය බොලිවුඩය විසින් ද වසර ගණනාවක් තිස්සේ වැරදි ලෙස නිරූපණය කරන ලද්දකි.

"අපේ චිත්‍රපටවල වැඩිපුරම නිරූපණය කරන්නේ මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයෙකු උම්මත්තකයෙකු හෝ සැමවිටම දුක්බර කෙනෙකු ලෙසයි" වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පැවසුවේය.

සුෂාන්ත් මරණයට පත් වීමට මාස කීපයකට පෙර තම නිවසේ විවේකීව සිටින බව පෙන්නුම් කරන "සුවිශේෂී වීඩියෝවක්" එක්තරා රූපවාහිනී නාලිකාවක් මෑතකදී විකාශය කළේය.

වීඩියෝව තුළ රංගන ශිල්පියා සතුටින් සිටින අතර ඔහු මානසික අවපීඩනයට එරෙහිව සටන් නොකරන බවට එය සාක්ෂි සපයන බව ද අදාළ නාලිකාව ප්‍රකාශ කළේය.

වෛද්‍ය සෞමිත්‍රා පතාරේ පවසන්නේ මෙයින් විෂය පිළිබඳ නාලිකාවේ පටු අවබෝධය පෙන්නුම් කරන බවය.

"මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයෙකු නිතරම දුක් විඳින බව මිථ්‍යාවක්" ඔහු තවදුරටත් පැවසීය.

රංගන ශිල්පියා මිය යාමට පැය කීපයකට පෙර අන්තර්ජාලය හරහා සොයමින් සිටි දේ වැනි තොරතුරු පිටතට ලබා දීම සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය වෙත විවේචන එල්ල වෙමින් පවතී.

Sushant Singh Rajput talkවිශේෂ සබදතා නොමැතිව බොලිවුඩයේ රැදී සිටීම අපහසු බවට සුෂාන්ත් නිතර සිය අදහස් දැක්වීය

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු ඉහළ පොලිස් නිලධාරියෙකු වන වික්‍රම් සිං පවසන්නේ පොලීසිය එවැනි සංවේදී තොරතුරු නිකුත් නොකළ යුතු බවය.

"එය විමර්ශනයට උපකාරී වන්නේ කෙසේද යන්න ගැන මට තේරුම් ගන්න බෑ. මෙහි තිබෙන අවදානම නම් බොහෝ යෞවනයන් මේ සමාන දේ සෙවීමට උත්සාහ කරන්න පුළුවන්. එය ඔවුන්ව අඳුරු තැනකට ගෙන යා හැකියි," ඔහු තවදුරටත් පැවසීය.

 

දේශපාලනය සහ තණබිමේ යුද්ධය:

වසර අවසානයේදී සුෂාන්ත්ගේ ගම වන බිහාර් හි මැතිවරණය පැවැත්වීමට නියමිතය. එබැවින් සුෂාන්ත්ගේ පවුලට සාධාරණය ඉටු කිරීම සඳහා දේශපාලනඥයන් සටන් වදිනු දැකීම පුදුමයක් නොවේ.

මෙම නඩුව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෝ මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් විමර්ශනය කරන ලෙස බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර් නිර්දේශ කර ඇත.

නිතිෂ් කුමාර් සම්බන්ධ භාරතීය ජනතා පක්ෂය මෙහෙයවනු ලබන ෆෙඩරල් රජය මෙම නිර්දේශය පිළිගෙන ඇති අතර CBI එහි විමර්ශනය ආරම්භ කර තිබේ.

භාරතීය ජනතා පක්ෂයේ හිටපු සාමාජිකයෙකු වන ශිව් සේනා නායකත්වයෙන් යුත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය යටතේ පවතින මුම්බායි පොලීසිය සිදු කරනු ලබන විමර්ශනයට මෙය කෙසේ බලපානු ඇත්ද යන්න පැහැදිලි නැත.

Biharබිහාර්හි පොලිස් නිලධාරියෙකු මුම්බායිහි පරීක්ෂණවලට සහභාගී වෙමින්

නමුත් පසුගිය සති කිහිපය තුළ බිහාර් සහ මුම්බායි පොලිසිය අතර "තණබිමේ යුද්ධයක්" පවතින බව වික්‍රම් සිං විස්තර කළේය.

මෙම නඩුව විභාග කිරීම සඳහා මුම්බායි වෙත ගිය බිහාර් පොලිස් නිලධාරියෙකු කෝවිඩ් -19 සීමාවන් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් නිරෝධායනය කර ඇත.

"ප්‍රසිද්ධියේ මෙවැනි යුද්ධයක් පැවතීම ඉතා අවලස්සනයි. පවුලකට තම පුතා අහිමි වී තිබෙනවා. දෙවියන්ගේ නාමයෙන් ඔබ යම් සංවේදීතාවයක් පෙන්විය යුතුයි," වික්‍රම් සිං පැවසීය.

"සුෂාන්ත්ගේ පවුලට සාධාරණය ඉටු කිරීම සඳහා සියලු විමර්ශන ආයතන එක්ව කටයුතු කළ යුතුයි. මේ නඩුව විසඳා වසා දැමීම ඔවුන්ට මෙන්ම ඔහුගේ රසිකයින්ටද ඉතා වැදගත්. නමුත් මේ මාධ්‍ය සර්කස් සහ දේශපාලනය එයට උදව් කරන්නේ නැහැ," ඔහු තවදුරටත් පැවසුවේය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොලිවුඩ්: 'අභිරහසක් වූ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය | The Leader