The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඈවරයි දෑවරයි, චිචිගේ රොකට් චෝදනාවත් තුන් ඈවරයි...| Bulitha Kumara

T

The Leader Desk

August 7, 2025 • 11:20 AM

ඈවරයි දෑවරයි, චිචිගේ රොකට් චෝදනාවත් තුන් ඈවරයි...| Bulitha Kumara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේම රාජ්‍ය මුදල් රාජපක්ෂ පවුලේ පුද්ගලික පරිහරණය පිණිස භාවිත කළේ යැයි කියන චෝදනාවයි.
  • රාජපක්ෂ විරෝධීහු අති ප්‍රබලව මේ චෝදනා නැගීම හා ඒවා රටේ ජනතාව විශ්වාස කිරීම නිසා 2015 වසරේ සිටම රාජපක්ෂවරුන් පරාජයට පත් වූවා පමණක් නොව, ඔවුන්ට යළි දේශපාලනිකව හිස එසවීමද අසීරු වූහ.
  • මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී 2012 වසරේ තම බාල පුතණුවන් වූ රෝහිත රාජපක්ෂට රොකට්ටුවක් අභ්‍යාවකාශගත කිරීම සඳහා ඩොලර් මිලියන 320 ක් පමණ වූ අතිවිශාල මුදල් සම්භාරයක් නිරපරාදේ වියදම් කර ඇතැයි කී චෝදනාව සුළු පටු නොවූහ.
  • ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු එදා රාජපක්ෂ පාලනයට එරෙහිව ගොඩනැගුණු විපක්ෂයේ සෑම දේශපාලන බලවේගයක් ම අඩු වැඩි වශයෙන් ඔවුන්ට මේ චෝදනා එල්ල කළ බව රහසක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේම රාජ්‍ය මුදල් රාජපක්ෂ පවුලේ පුද්ගලික පරිහරණය පිණිස භාවිත කළේ යැයි කියන චෝදනාවයි.

රාජපක්ෂ විරෝධීහු අති ප්‍රබලව මේ චෝදනා නැගීම හා ඒවා රටේ ජනතාව විශ්වාස කිරීම නිසා 2015 වසරේ සිටම රාජපක්ෂවරුන් පරාජයට පත් වූවා පමණක් නොව, ඔවුන්ට යළි දේශපාලනිකව හිස එසවීමද අසීරු වූහ.

මේ චෝදනා අතරිනුත් ප්‍රබලම එකක් වූයේ ''සුප්‍රිම් සැට්'' රොකට්ටු චෝදනාවයි.

 


මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී 2012 වසරේ තම බාල පුතණුවන් වූ රෝහිත රාජපක්ෂට රොකට්ටුවක් අභ්‍යාවකාශගත කිරීම සඳහා ඩොලර් මිලියන 320 ක් පමණ වූ අතිවිශාල මුදල් සම්භාරයක් නිරපරාදේ වියදම් කර ඇතැයි කී චෝදනාව සුළු පටු නොවූහ. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු එදා රාජපක්ෂ පාලනයට එරෙහිව ගොඩනැගුණු විපක්ෂයේ සෑම දේශපාලන බලවේගයක් ම අඩු වැඩි වශයෙන් ඔවුන්ට මේ චෝදනා එල්ල කළ බව රහසක් නොවේ.  

මේ චෝදනා 2015 සිටම රටේ ජනතාව වැඩි වැඩියෙන් විශ්වාස කරන්නට පටන් ගත්හ. රාජපක්ෂ පවුලේ තරුණ පුතුන් තිදෙනාම හිතුවක්කාර නාස්ති කාරයින් බවත් ඔවුන්ගේ ආශාවන් හා වුවමනා එපාකම් වෙනුවෙන් මහින්ද නිරාපරාදේ රටේ මුදල් වියදම් කර ඇති බවත් කියන්නට සුප්‍රීම් සැට් වැනි උදාහරණ ඔවුන්ට ඕනෑවටත් වඩා තිබිණි. මහින්ද බැසිල් එකමුතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත බලය හුවමාරු වන්නටද එය එක් හේතුවක් වූහ.

මේ කතාව අවසානයේ රාජපක්ෂවාදීන් පවා විශ්වාස කළහ. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් රාජපක්ෂවරුන්ට අන්ත පරාජයක් උරුම වූයේ රාජපක්ෂවාදීන් පවා කොන්දේසි විරහිතව මේ චෝදනා විශ්වාස කරන්නට පටන් ගැනීම නිසාය. ජාතික ජන බලවේගය දිනවමින් ඒ ජනතාව ඔවුන්ට කීවේ වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා කාටවුවත් නිසි දඬුවම් ලබා ලබාදීමට පසුබට නොවන ලෙසයි...

තත්ත්වය එසේ තිබියදී සුප්‍රීම් සැට් මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් රාජපක්ෂ වරුන්ට එරෙහිව නැගී තිබෙන චෝදනාව පදනම් විරහිත ව්‍යාජ එකක් බව පිළිගන්නට ජාතික ජන බලවේග පුනරුද ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරියටම සිදුවීම මොනතරම් අභාගයක්ද...

 



සුප්‍රීම් සැට් චෝදනාව ඇත්තක්ද බොරුවක්ද..?

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණ පෑවේ ඉකුත් දිනක ඩී වී චානක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ නගන ලද වාචික ප්‍රශ්නයක් නිසාය. එහිදී ඔහු අසා තිබුණේ සීමාසහිත සුප්‍රිම් හෝල්ඩිංස් සමාගමට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම විසින් 2011- 2012 සමයේ ආරම්භ කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳවය...

අග්‍රාමාත්‍යවරිය ඊට දුන් පිළිතුරේදී මෙතෙක් දිනක් රාජපක්ෂ වරුන්ට එරෙහිව මේ රටේ ගොඩ නැගී තිබුණු තවත් එක් චෝදනාවක් නිදොස් කරමින් රජය මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ මුදල් සතයක්වත් වියදම් කර නැති බව පිළිගත්තාය. ඒ වෙනුවෙන් මුලු මුදල වූ දොළොස් මිලියන එක් ලක්ෂ හාරසිය තිස් හයක්ම වියදම් කර ඇත්තේ අදාළ සුප්‍රිම් හෝල්ඩිංස් සමාගමට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල වාර්තාවේ සඳහන් බව පිළිගත්තාය.

එපමණක් ද නොව, සුප්‍රිම් ග්ලෝබල් හෝඩින්ස් සමාගමට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම රුපියල් මිලියන 1828ක ආයෝජනයක් කරමින් මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් ස්ථාපිත කිරීමට 2012 05 23 දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති බවත් ග්‍රාහකයන් සඳහා විදුලි සංදේශ හා විකාශන පහසුකම් සැපයීම එමගින් බලාපොරොත්තු වන බවත් මෙකී ව්‍යාපෘතිය 2015 08 27 වනදා වාණිජ මෙහෙයුම් අරඹා ඇති බවත් පෙන්වා දුන්නාය. ඊටත් වඩා වැදගත් කාරණාව ඈ විසින් හෙළි කර තිබුණේ ඉන් පසුවයි.

 

Screenshot 2023 08 30 at 12.49.58
රජයේ මුදල් සතයක්වත් වියදම් වී නැති මෙම ව්‍යාපෘතිය මගින් 2015 වසරේ සිටම රජය වෙත ආදායමක් ලැබී ඇති බව අග්‍රාමාත්‍යවරිය නිර්ලෝභීව පෙන්වා දුන්නාය. ඇයම කී තොරතුරුවලට අනුව 

 
* 2015 -16 වසර තුළ රුපියල් මිලියන 19 617කුත් 
* 16 - 17 වසරේ රුපියල් මිලියන 28 133 කුත් 
* 17- 18 වසරේ රුපියල් මිලියන 29 106 කුත් 18- 
* 19 වසරේ රුපියල් මිලියන 34 169 කුත් 
* 19- 20 වසරේ රුපියල් මිලියන 42 960 කුත් 
* 20-21 වසරේ රුපියල් මිලියන 62 545 කුත් 
* 21 - 22 වසරේ රුපියල් මිලියන 87 789 කුත් 
* ඊළඟ වසරේ පළමු මාස හය තුළ රුපියල් මිලියන 39 590 කුත් ශ්‍රී ලංකාව ආදායම් උපයා ඇත. 
 
අග්‍රාමාත්‍යවරිය කියන පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ ඩොලර් මිලියන 320 වැය කරමින් යවන ලදැයි චෝදනා ලද සෙල්ලම් රොකට්ටුව මගින් මේ වන විට ලංකා ආණ්ඩුව උපයාගෙන ඇති ආදායම රුපියල් 343, 909, 000, 000 කි. 
එවන් විශාල ආදායමක් ශ්‍රී ලංකාවට හෙවත් රජයට මෙම සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය හරහා ලැබුණේ නම් සැබැවින්ම එය චිචි නොහොත් රෝහිත රාජපක්ෂ විසින් නිමවන ලද සෙල්ලම් කඩදාසී රොකට්ටුවක් නම් නොවේ. විකාර මනස්ගාත හා විලම්බීත පටු දේශපාලන මතිමතාන්තර මනසින් ඉවත් කර අපි මේ ව්‍යාපෘතිය සැබැවින්ම කුමක්දැයි වටහා ගත යුතුය.

එසේ නම් කුමක්ද මේ  සුප්‍රීම් සැට් 1...
 
mani 240429
ආර්. එම්. මනිවන්නන්
 
සුප්‍රීම් සැට් ව්‍යාපාරය 100%ක්ම පුද්ගලික දේශීය ව්‍යවසායකයකු සතු සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමූහ සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි. අලුත් වන ලෝකයේ, අලුත් තාක්ෂණය හරහා පවතින ව්‍යාපාරික අවස්ථා තේරුම් ගත් ප්‍රධාන සමාගම විසින් සිය පුද්ගලික ආයෝජනයන් හරහා ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත් ශක්තිමත් නව මානයකට ගෙන යෑමටත් සාම්ප්‍රදායික රැකියා වෙළෙඳපොලක් වෙනුවට ලෝකයේ තරගකාරි උසස් රැකියා වෙළඳපොලක් වෙනුවෙන් දේශීය පරපුර සූදානම් කිරීමටත් කරන ලද ආයෝජනයකි.

මෙම වෙළඳපොළ පිළිබඳ ලංකාවේ වැඩි අවධානයක් නොමැති සමයක මෙකී ආයෝජන අවස්ථාවහි ලංකාවට හඳුන්වා දුන් ව්‍යාපාරිකයා වූයේ ප්‍රකට ව්‍යවසායකයකු වන ආර්. එම්. මනිවන්නන් ය.
 
මෙරට සාමාන්‍ය හින්දු දෙමළ පවුලක උපත ලද මනිවන්නන් කොළඹ රෝයල් කොලේජියෙන් අධ්‍යාපනය ලබා නව විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයේ දොරට තට්ටු කරන්නට පටන් ගත්තෙ තුරුණු වියේ ඔහු රවී කරුණානායක ගේ logistic ව්‍යාපාරික ජාලයක සාමාන්‍ය නිලධාරියකු ලෙස සේවය ඇරඹූ සමයේ පටන්ය. පසු කලෙක ඔහු එම සමාගමේ ප්‍රධාන විධායකවරයා බවට පත් වූයේ එම ක්ෂේත්‍රය පිළිබඳ නිපුණතාවය අවබෝධය මෙන්ම ඔහුගේ දක්ෂතාවය හා උනන්දුව නිසාමය. ඔහු මනි නමින් නූතන ව්‍යාපාරික ලෝකයේ ප්‍රකටයකු බවට පත්විය.
එම සමාගමේ ව්‍යාපාරික කටයුතුවලින් ඔබ්බට ඔහුගේ දැනුම් ක්ෂේත්‍රය හා උනන්දුව පුළුල් වීමත් සමගම මනි උත්සාහ කළේ විදේශ රටවල්වලින් ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාව වෙත ගෙන එන්නට හැකි වේදිකාවක් නූතන සන්නිවේදන තාක්ෂණය හරහා ආරම්භ කරන්නටය. ඉන්දියාව චීනය රුසියාව කොරියාව ජපානය වියට්නාමය හා සිංගප්පූරුව ආදී රටවල් සමඟ ඔහු මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම් රාශියක් සිදුකරමින් අවබෝධය හා දැනුම තව තවත් පුළුල් කරගෙන තිබිණ.

වරක් ඔහු රාජපක්ෂ පාලනය සමයේ මහින්ද රාජපක්ස ජනාධිපතිවරයා හමුවේ එක්තරා යෝජනාවක් කළේය. ඔහු කීවේ ලංකාවේ අයිතියට ලංකාවේ සන්නිවේදන කලාපයට ඉහළින් චන්ද්‍රිකාවක් ස්ථාපිත කරන්නේ නම් එමගින් අපේ රටේ නූතන විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට මහත් පිටිවහලක් වනු ඇති බවයි. 

රොකට්ටුවක් මගින් චන්ද්‍රිකාවක් ලංකාවට ඉහළින් අපේ කලාපයේ ආකාශයේ ස්ථාපිත කිරීමට අදාල යෝජනාව ඔහු ඒ මොහොතේ ජනාධිපතිවරයා භාර දුන්නේය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ උගතුන් හා නිලධාරීන් සමඟ මේ පිළිබඳ සාකච්ඡාවට කීපයක් සිදුවූවත් ඒ කටයුත්ත ඒ තරම් සාර්ථක වන තැනකට ගෙනියන්නට තරම් අවධානයක් මනිගේ එම ව්‍යාපෘතියට රජය පැත්තෙන් යොමු වූයේ නැත. බොහෝ නිලධාරීන්ගේ අදහස වූයේ අපට කළ හැකිද, ඒ සඳහා අවශ්‍යතාක්ෂණය හා දැනුම අපට තිබේද යන ආකාරයේ නොකෙරෙන තැනට තර්ක විතර්ක කිහිපයක් පමණි.
 
Screenshot 2023 08 30 at 12.52.34
එහෙත් අවසානයේ හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂගේ අවධානය හා උනන්දුව මේ කෙරෙහි යොමු වූයේ ඔහුගේ ද සිහිනයක් වූ අභ්‍යවකාශ සන්නිවේදනය කෙරෙහි මේ යෝජනාවක් තුළින් අලුත් සංකල්පයක් ඉදිරිපත් වී තිබෙන බව ඔහුගේ ලාමක මොළයට පවා සන්නිවේදනය වූ නිසා වන්නට ඇත.  

මනීගෙන් කෙසේ වෙතත් රෝහිතගෙන් මහින්ද රාජපක්ෂට මේ සම්බන්ධයෙන් බේරුමක් ම නැති වූ බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග තොරතුරු වාර්තාකරයි.
 
අවසානයේ ලංකාවේ සන්නිවේදන අවකාශය භාවිතා කරන්නට මනිවන්නන් ට රජයේ අවසරය ලැබිණි. එහෙත් ඒ සඳහා අවශ්‍ය ආයෝජනය ඔහු විසින් සපයා ගත යුත්තක් විය. මේ අවස්ථාවේ මනිවන්නන් චීනය සමඟ කර ඇති සාකච්ඡා කීපයක ප්‍රතිඵලයක් ලෙස ‍ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට චීනයේ නොමඳ අනුග්‍රහය හා අවධානය ලැබී තිබිණි.
මහින්ද රාජපක්ෂ ශූක්‍ෂම ලෙස මෙම කටයුත්තට රාජ්‍ය අනුග්‍රහය දැක්වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස සුප්‍රිම් ග්ලෝබල් හෝඩින්ස් සමාගමට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම තුළින් මෙම ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙසයි.

වත්මන් අග්‍රාමාත්‍යවරිය තොරතුරු දැක්වූ පරිදි අදාල දින වකවානුවල ගිවිසුම් අත්සන් කර මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ සියයට සීයක්ම සුප්‍රිම් ග්ලෝබල් හෝඩින්ස් සමාගමට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම සතු වූ ව්‍යාපාරයක් ලෙසයි.

කාලයාගේ ඇවෑමෙන් සුප්‍රීම්සැට් 2012 දී තමන්ගේම සන්නිවේදන චන්ද්‍රිකාවක් දියත් කළා පමණක් නොව, දැන් මහනුවර පල්ලෙකැලේ අක්කර 10 ක භූමි භාගයක නවීනතම චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇත. එය ආසියාවේ අති නවීනම තාක්ෂණයෙන් සන්නද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසින් ලොව වාණිජ චන්ද්‍රිකා සේවා සැපයුම්කරුවන්ගේ ගා ගැණුම්කරුවන්ගේ ඇගයීම් ලබමින් අද වන විටත් ක්‍රියාත්මක වේ.
 

ශක්තිමත් චන්ද්‍රිකා/ටෙලිපෝට් ක්‍රියාකරුවෙක් ලෙස කලාපයේම ප්‍රමුඛ නාමයක් මෙම ක්ෂේතයේ හිමිකරගෙන සිටියි. රැකියා විශාල ප්‍රමාණයක් ජනනය කර ඇති අතරම විදෙස් සෘජු ආයෝජනයන් (FDI) මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාව වෙත ගෙන ඒමට Supreme Sat සමාගම සමත් වී ඇත. ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් මේ වනවිටත් වසර ගනනාවක් පුරා SUPRMESAT Kandy Teleport හි සේවාවන් භාවිතා කරයි.

සුප්‍රීම් සැට් චිචීගේ රොකට්ටුව වූයේ කෙසේද..?

සුප්‍රීම් සැට් චිචීගේ හෙවත් රෝහිත රාජපක්ෂගේ යැයි කීවේ චිචී හෝ මහින්ද රාජපක්ෂ හෝ මනිවන්නන් හෝ නොවේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ 2015 දී රාජපක්ෂ පාලනය පන්නා දමා මෛත්‍රී - රනිල් - අනුර යහපාලන රජයක් පිහිටුවීමට අවශ්‍ය වූ විපක්ෂයේ පුළුල් සන්ධානයයි. ඔවුන් එකමුතු වී සුප්‍රීම් සැට් සන්නිවේදන තාක්ෂණ චන්ද්‍රිකාව වෙනුවට චිචී හෙවත් රෝහිත රාජපක්ෂගේ සෙල්ලං රොකට්ටුවේ නිර්මාණාත්මක කෙප්පය මහා පරිමාණ වශයෙන් සමාජත්ගත කරන්නට වූහ.

එම ගජබින්නය හරහා ආරම්භක මොහොතේ පටන් අති විශාල ආදායමක් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලබා දීමට සමත් නූතන සන්නිවේදන තාක්ෂණික ව්‍යාපෘතියක් අපේ සමාජය තුළ අවමානයට අගෞරවයට හා ජනතා කෝපයට ලක්වූවා පමණක් නොව, දිනෙන් දින දියුණු කර සන්නිවේදන තාක්ෂණ මහිමයේ හිනිපෙත්තටම යාමට සමත් ව්‍යාපෘතියක් අඩපණ කර දැමූහ.

කෙතරම් එම ව්‍යාපෘතියට යහපාලන ආණ්ඩුව කරදර කළේද යත් ව්‍යාපාර හිමිකරුවා වන ආර්. එම්. මනිවන්නන් ගේ සියලු බැංකු ගිණුම් අත්හිටවන්නට පවා පියවර ගත්හ. ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මනිවන්නන්ට  විඳින්නට සැලැස්සූ අවමාන හිරිහැර කරදර අක්‍රමිකතා නිමක් නැති විය. ඔහුට ඔහුගේ අවිහිංසක දරු පවුල රැක ගනිමින් මේ රටේ ජීවත්වීම පවා අවදානම් අඩියකට ගෙනාහ. පවුලේ වියදමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පාසැල් වාරිකය ගෙවා ගැනීමටත් නොහැකි තත්ත්වයට මේ මහානාර්ග ව්‍යාපාරිකයා පත් කළහ. යහපලකයින් එම පවුලෙන් පලිගන්නට සැලසුම් කළේ රටට මහානර්ඝ සම්පතක් වූ එවන් මහා ව්‍යාපාර පවා අනතුරේ හෙළමින් බව මේ රටේ ජනතාව අවබෝධ කරගත යුතුය.  

lead Rohitha
මෙම රොකට්ටුව චිචීගේ යැයි කියමින් අවමානයට ලක් කරන්නට එක් හේතුවක් තිබිණි. ඒ වූ කලී සුප්‍රිම් සැට් සමාගම තුළ එකල ඔහුට ඉහළ පෙලේ රැකියාවක් ලැබී තිබීමය. රටේ රජ්ජුරුවන්ගේ පුතාට, ඔහු කැමති ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් වලට ළඟින් ගෑවී යන අන්දමේ රැකියාවක් ලබාදීම තුළ තමන්ටත් ව්‍යාපාරික වාසි හා යම් යම් වරප්‍රසාද ලබා ගත හැකි පහසු මාර්ගයක් වේ යැයි මනිවන්නන්  ද එවකට සිතන්නට ඇත. එසේ නොසිතුවේ නම් ඔහු රවී කරුණානායක ළඟ සේවය කර ලබාගත් ව්‍යාපාරික ඥානයක් නම් නොමැති තරම්ය.

ඒ අනුව රෝහිත රාජපක්ෂට මනිවන්නන් තම සමාගමේ සැලකියයුතු වගකීමක් සහිත රැකියාවක් ලබා දුන්නේය. රෝහිත රාජපක්ෂ එහි chief technology officer (CTO) තනතුරෙන් පිදුම් ලැබීය. රොකට්ටුවට සහ චන්ද්‍රිකාවට වියදම් කළේ කවුරු වුවත් එය කාගේ ව්‍යාපාරික බූදලයක් වුවත් මඩ ප්‍රචාර හා අවලාද සම්පාදකවරුන්ට මේ රොකට්ටුව චිචිගේ පරම අයිතියට ලියා තබන්නට එකී සම්මානිත තනතුර පමණක්ම ප්‍රමාණවත් වූහ.

ඇත්ත හෙළි කරන්නට රාජපක්ෂලාට නොහැකි වූයේ ඇයි.. ?

සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ ධජය යටතේ මෙම මුළු මහත් විශ්වයේම කක්ෂගත කර තිබෙන එකම චන්ද්‍රිකාව බව රහසක් නොවේ. එහි ව්‍යාපාරික අයිතිය කොයි කාට හිමි වූවත් එහි ගෞරවය හිමි වන්නේත් ආදායමෙන් සැලකිය යුතුයි ලාභයක් හිමිවන්නේත් ලංකාවේ රජයට බව මේ වන විට හෙළිදරව් වී අවසන්ය. කවර හේතුවක් නිසා හෝ හරිනි අමරසූරිය අගමැතිතුමියට පාර්ලිමේන්තුවේදී එය පිළිගන්නට සිදුවීම රටේ වාසනාවකි. එහෙත් ඊට පෙර එම සත්‍යය රටට වටහා දෙන්නට රාජපක්ෂවරුන් අසමත් වූයේ ඇයි....

ඇත්ත වශයෙන්ම කිවහොත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් හිමි නොවීම කනගාටුවට කාරණාවකි. ඔවුන් වේදිකාවල සත්‍යය මේ යැයි පුන පුනා කීවත් ඔවුන්ව විශ්වාස නොකරන තරමට ජවිපෙ සන්නිවේදන ඉන්ද්‍රජාලිකයින් මේ රටේ පොදු ජනතාවගේ මනස සකස් කර අවසන්ව තිබිණි. රාජපක්ෂවරු හොරු යැයි ඒ තරමටම දරුණු ලෙස පොදු ජනතාවගේ මනසටත් හදවතටත් තොරතුරු කාන්දුකර පුරවා අවසන් කර තිබිණි. රාජපක්ෂ ලා සුද්දවන්තයින් කරන්නට බුදුහාමුදුරුවෝ පැමිණ බණ කීවත් ඒ බුදු වදන් පවා නෑසු කන්ව සිටින්නට මේ රටේ පොදු ජනතාව හුරුකර සූදානම් කර තිබිණි.

ඉතින් නාමල් රාජපක්ෂලා ඇත්ත යයි හෙළි කරන්නේ කවරක්ද... ඔවුන් කාලයට ඉඩ දී බලා සිටින්නට වූයේ කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එනවා යැයි හැඟීමක් ඇතිව කටයුතු කළ නිසා වන්නට ඇත.

එසේ නම් රාජපක්ෂලා සියඹලා ගෙනල්ලාම නැතිද..?

ඔය කියන චෝදනා බොරු යැයි සඳහන් කරන්නේ නම් ඇත්තටම මහින්දලා හොරකම් කරලාම නැතිද...  අද බොහෝ අය විමසන ඉතා සාධාරණ ප්‍රශ්නයක් ලෙස එය අප හමුවේ පවතී. රාජපක්ෂලා නොව අපි ඊට සාධාරණ පිළිතුරක් ලබාදිය යුතුව ඇත. ගවේෂණය කර සොයා ගත යුතුය.

රාජපක්ෂලාට එරෙහිව පහුගිය මැතිවරණ සමයන්හිදී නිර්මාණය වූ බොහෝ චෝදනා සත්‍ය කරුණු මත පදනම් වූ චෝදනා නොව,  හුදු ප්‍රලාප හා නිර්මාණ බව දැන් මේ වන විට වෙමින් පවතී. රාජපක්සලා මේ රටේ ව්‍යාපාර කර උපයාගත් ඩොලර් සංචිත උගණ්ඩාවේ ආරක්ෂිතව තැන්පත් කර ඇතැයි සමයෙහි චෝදනාවක් කළා මතකය. එහෙත් ආණ්ඩුව බලයට පත් වී ටික දිනක් යන්නට මත්තෙන්ම ඒ චෝදනාව බොරුවක් යැයි චෝදනා කළෝ ම කීම මවිතයට කාරණාවකි. ඒ අනුව උගණ්ඩාවේ සල්ලි කතාව බොරුවකි.

නාමල්ගේ ලැම්බෝ ගිනි කාර් හා රත්තරන් අශ්වයෝ තවමත් රාජපක්ෂ තරුණයින් වෙත ජනතා ආකර්ෂණය හිමිවීම වැළැක්වීමට ගොතන ලද ප්‍රලාප බව ඔප්පු වී අවසන්ය. තවත් බොහෝ චෝදනාවල තත්ත්වය එසේ වුවත් සියඹලා ගෙනල්ලාම නැති බව පිළිගන්නටත් තවම කරුණු ඇත. ඔප්පු වී නැති කරුණු බොහෝ බව ඇත්තයි. ඔප්පු කරන්නට කරුණු නැති වූ පමණින් ඒ චෝදනා බොරු යැයි කියන්නටද මේ රටේ ජනතාව සූදානම් නැත.  
 
අල්ලස් කොමිසම රාජපක්ෂ පවුලේ තරුණ දූ පුතුන් වෙත සූදානම් කර තිබෙන නඩු හබහා පරීක්ෂණ තවමත් කෙරෙමින් පවතින බව රහසක් නොවේ. එවන් පරීක්ෂණයකට මැදි වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ වන විට සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතවය. නාමල්ලාට ද තව ඉදිරියට පරීක්ෂණ ඇති බව කියති. ඔවුන් වටා ගොනුවූ පරීක්ෂණ වල  තාජුඩින් ලාගේ ලේ ගෑවී ඇති බවද කියති. එහෙයින් රාජපක්ෂලා සියඹලා ගෙනල්ලාම නැති බව කියන්නට අපි ඉක්මන් නොවෙමු.
තිස් අවුරුද්දක් තිස්සේ මේ රටේ ජනතාව පෙළමින්,  මුළු මහත් ජාතික ධනයම විනාශ කරමින් මනුෂ්‍යත්වය කෙළෙසමින් උතුරු නැගෙනහිර පැවති යුද්ධය නිමා කළ නායකයා මහින්ද රාජපක්ෂ බව අවිවාදිතය. යුද්ධයෙන් පසුව මේ රටේ සාමයේ හා සංවර්ධනයේ මහිමය ඔහුට අඩු පාඩු නැතිව මේ මුළු රට වටේටම බෙදාහදා දෙන්නට කටයුතු කළ බවට සාක්ෂි අදටත් ඉතිරිව තිබේ. උතුරෙන් දකුණට පත් වී ආ මන්ත්‍රීවරයා වන අර්ජුනා රාමනාදන් ඒ පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තුවේදී අපූරු සාක්ෂියක් ඉදිරිපත් කළේය.

''මේ රටේ පාරවල් ටික ඔක්කොම හැදුවේ මහින්ද රාජපක්ෂ. අද මේ ආණ්ඩුවට එතනින් එහාට කිසිවක් කරගන්න බෑ''  ඔහු ඔහුට තේරෙන සංවර්ධනය ඔහුට තේරෙන වචනවලින් හකුලා දැක්වූයේ එසේය.
 
රාජපක්ෂ ලා රට තුළ ඇති කළ සංවර්ධනය පාරවල්වලට පමණක් සීමා නොවීය. රට වට්ටේටම ධීවර කටයුතු ප්‍රවර්ධනය සඳහා ධීවර වරායන් තැනූහ. ධීවර විශ්ව විද්‍යාල බිහි කළහ. මහා වරායන් සැලසුම්කර ඒවා කීපයක් තනා නිම කළහ. හම්බන්තොට ජාතික ගුවන් තොටුපළක් බිහිකලහ. අධිවේගී මාර්ග කිහිපයක් තනා නිම කළහ. රෝහල් පද්ධති වැඩි දියුණු කළහ. රජයේ හා පුද්ගලික අංශවල විශ්වවිද්‍යාල ඉදිකළහ. කොළඹ ලස්සන කළහ. ගුවන් පාලම් ගණනාවක් තනා නිම කළහ. මේ සම්බන්ධයෙන් බලන විට විමල් වීරවංශ පසුගියදා කියවූ දිග ලැයිස්තුවක් අපට මතකයට නැගේ.

මේසා විශාල සංවර්ධන කටයුතු මහජන මුදල් හා ණය ආධාර යොදාගනිමින්  රට පුරා ඉටු සිදු කරන්නේ  වැඩි වැඩියෙන් කොමිස් මුදල් ලබා ගන්නට යැයි විරුද්ධ පක්ෂ කොතරම් චෝදනා කළත් මහින්ද රාජපක්ෂලා ඒ කිසිදු චෝදනාවකින් නතර කරන්නට කිසිවෙක්ටත් නොහැකි වූහ.
 
එහෙත් රටේ ජනතාවට මහින්දලා එපා වන්නට වැඩි කලක් ගියේ නැත.  විරුද්ධවාදින් රාජපක්ෂලාට එරෙහිව එල්ල කළ ප්‍රචාරක උපක්‍රමය ඊට බොහෝ සේ බලපෑ බව ඇත්තය. එහෙත් ඊටත් වඩා ඒ සඳහා බලපෑවේ රාජපක්ෂලා වටා එවකට තනාගෙන තිබූ නිලධාරී හා ප්‍රභූ පැලැන්ති පවුර බව පිළිගත යුතුය. රාජපක්ෂලා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමාජයේ එන්න එන්නටම වැඩි වන්නට වූහ. ජනතාවට පාලන තන්ත්‍රයෙන් ඉටුවිය යුතු යුතුකම් පවා මගහැරෙන අන්දමින් ඔවුන්ගේ ඒ  බලවත් පවුරු වළලු යාන්ත්‍රණය වසින් දවස ප්‍රබල වන්නට වූහ. රාජපක්ෂලාට ඒ කිසිවක් වැටහුනේ නැත.  රාජපක්ෂලා කෙරෙන් පොදු ජනතාව ටිකෙන් ටික ඈත් වන්නට මෙම ප්‍රභූ හා නිලධාරී පවුර හේතුවන බව වැටහෙන විට ඇත්තටම රාජපක්ෂලා ප්‍රමාද වැඩිය.
රාජපක්ෂලාට නොව රටට එරෙහිව නැගෙමින් තිබූ ජාතික හා අන්තර්ජාතික කුමන්ත්‍රණද බල නොපෑවා ම නොවේ. කුමන්ත්‍රණ බලවත් වූයේ රාජපක්ෂලාත් පොදු ජනතාවත් අතර් බැඳුණු නිලධාරී හා ප්‍රභූ පවුලේ තීව්‍රතාවය නිසාය. පොදු ජනතාවගේ ආදරය රාජපක්ෂලාට හිමි වන්නට ඉහත කී ප්‍රභූ හා නිලධාරි පවුර බාධාවක් වූ නිසාය....

බොහෝ දෙනෙකුගේ හැඟීම වන්නේ රාජපක්ෂලාටත් වඩා රාජපක්ෂලා වටා සිටි නිලධාරී හා ප්‍රභූ පවුර මේ රටේ බොහෝ අපරාධවලට හා මූල්‍ය අක්‍රමිකතාවලට වගකිවයුතු බවයි.

අවසාන මරණ පරීක්ෂණ තබන්නට තරම් අපි ඉක්මන් විය යුතු නැත. දවස තවමත් තරුණය...

WhatsApp Image 2025 08 07 at 1.48.20 PM(සටහන | බුලිත ප්‍රදීප් කුමාර)
මාධ්‍යවේදී
bulitha@gmail.com


මෙම ලිපියට අදාල තවත් විස්තර :

'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී

ශ්‍රී ලංකාව, චීනයේ DSEL සමඟ අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි

ශ්‍රී ලංකා ධජය අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාව දැන් තියෙන තැන මෙන්න !


සුප්‍රීම් සැට් ගැන විශේෂ හෙළිදරව්වක් මතු වීඩියෝ ...


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...