The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Ceylon Tea: ජපානයේදී සිදුවූයේ කුමක් ද? නොබෙල් ත්‍යාගය පිරිනමන විෂයයන් මොනවා ද?

T

The Leader Desk

September 30, 2025 • 10:51 AM

Ceylon Tea: ජපානයේදී සිදුවූයේ කුමක් ද? නොබෙල් ත්‍යාගය පිරිනමන විෂයයන් මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය හිමි කර ගත් වාර්ෂිකව පිරිනමන ගෞරවණීය අගැයීමකි.
  • ඊට හේතුව වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කළ ප්‍රකාශයකි.
  • AI තාක්ෂණය පිළිබඳ "NATIONAL AI EXPO 2025" සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයෙහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ බව ය.
  • "අපිට නොබෙල් ප්‍රයිස් එක ලැබුණා පහුගිය දවසක ජපානෙ තිබිච්ච එක්සිබිෂන් එකේදි ලංකාවෙ තේ කිලෝ එකක් ඩොලර් 860 ගාණකට ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය හිමි කර ගත් වාර්ෂිකව පිරිනමන ගෞරවණීය අගැයීමකි.

එම ත්‍යාගය පිළිබඳව සෑම වසරකදී ම නොබෙල් ත්‍යාගලාභීන් නිවේදනය කරන අවස්ථාවලදී විශේෂ අවධානයක් යොමු වෙයි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහෝ දෙනෙක් ද, නොබෙල් ත්‍යාගය පිළිබඳව අදහස් පළ කරමින් සිටිති.

ඊට හේතුව වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කළ ප්‍රකාශයකි.

සුනිල් හඳුන්නෙත්ති කීවේ කුමක් ද?

 



AI තාක්ෂණය පිළිබඳ "NATIONAL AI EXPO 2025" සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයෙහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ බව ය.

"අපිට නොබෙල් ප්‍රයිස් එක ලැබුණා පහුගිය දවසක ජපානෙ තිබිච්ච එක්සිබිෂන් එකේදි ලංකාවෙ තේ කිලෝ එකක් ඩොලර් 860 ගාණකට ගියා. ඒක ලංකාවෙ මුදලින් 275,000ක් විතර. ඒක මං හිතන්නෙ ගිනස් රිපෝට් එකක්, ගිනස් වාර්තාවක් පිහිටෙව්වා."

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් රැසක් අදහස් පළ කර තිබිණි.

tea 1tea 2tea 3
ජපානයේදී සිදුවූයේ කුමක් ද?

World Expo ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ අලෙවිකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද 'Ceylon Special Estate Tea' නමැති වාර්ෂික පුණ්‍යාධාර තේ වෙන්දේසිය සැප්තැම්බර් 26 වන දින ජපානයේ ඔසාකාහිදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ වගා කිරීමේ කලාප 7ක නිෂ්පාදනය කෙරෙන තේ වර්ග 27ක් වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි.

එහිදී, 'වෙන්දේසියකදී ලෝකයේ මෙතෙක් තේ කිලෝග්‍රෑම් එකක් අලෙවි වූ වැඩි ම මිල වූ ඇමෙරිකානු ඩොලර් 860කට' ශ්‍රී ලංකාවේ විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත තේ කිලෝවක් අලෙවි වී තිබේ.

 


එම වෙන්දේසිය අතරතුර නිවේදනය කරන්නේ, එය ගිනස් ලෝක වාර්තාවක් බව ය.

එය මිල දී ගනු ලැබුවේ, ජපානයේ සහ ප්‍රංශයේ ක්‍රියාත්මක ජනට් පාරිස් ඉන්ටර්නැෂනල් නමැති තේ නිෂ්පාදන සමාගම විසිනි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රත්නපුර, විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයා සඳහන් කළේ, මෙය පුණ්‍යාධාර වෙනුවෙන් වාර්ෂිකව පවත්වන තේ වෙන්දේසියක් බව ය.

මෙය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ප්‍රගමනය කෙරෙහි බලපානු ඇතැයි ඔහු පැවසීය.

 

සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්

 

 

ශ්‍රී ලංකාවේ තේ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි වූ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (සැප්: 30) පෙරවරුවේ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් පළ කරමින් අදහස් දක්වා තිබූ අතර, පසුව එය ඉවත් කර ප්‍රකාශයක් පළ කර තිබිණි.

 

එම ප්‍රකාශය මෙසේ ය.

 

'ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea) ලොව මෙතෙක් අලෙවි වූ ඉහළ ම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.

 

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී 'ගිනස් වාර්තාවක්' යන්න වෙනුවට 'නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කණගාටු වෙමි.

 

මේ වන විට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කණගාටු වෙමි.'

tea 4
නොබෙල් ත්‍යාගය යනු කුමක් ද?

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය. නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි. ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

* භෞතික විද්‍යාව

* රසායන විද්‍යාව

* කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව

* සාහිත්‍යය

* සාමය

* ආර්ථික විද්‍යාව


1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

(බීබීසී සිංහල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...