The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුම්බලා මාළු රස සහ මාධ්‍ය සදාචාරය -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

September 30, 2022 • 6:37 AM

කුම්බලා මාළු රස සහ මාධ්‍ය සදාචාරය -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තානාපතිනි ජුලී චන්ග්ටද, ලංකාවේ සිදු වන්නේ කුමක්දැයි අවබෝධ කර දීමට ජනාධිපති වික්‍රමසිංහ සමත් වූ බව රහසක් නොවේ.
  • ගම්බද ප්‍රදේශ නිහඬව ඇත්තේ අරගල උද්ඝෝෂණ මෙහෙයවන්නන් කොළඹට කැඳවීම නිසා ය.
  • ජාත්‍යන්තරය තුළ රට දුර්වල කිරිම මිස, රනිල් බලයෙන් පහ කිරීමට අරගලයට නීතිය ඉඩ නො දෙනු ඇත.
  • වෙනි අඟහරුවාදා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න අතර අසරණවූ මන්ත්‍රි මරික්කාර් “මං කියන්නේ බොරු නම් ගවේෂණාත්මකව ඒ ගැන සොයා වාර්තා කරන්න” කියා ඇඟ බේරා ගත්තේ තම මතයට පැවැත්මක් නැති බව දැනගෙනය.
අකුරු ප්‍රමාණය (Font Size):

තානාපතිනි ජුලී චන්ග්ටද, ලංකාවේ සිදු වන්නේ කුමක්දැයි අවබෝධ කර දීමට ජනාධිපති වික්‍රමසිංහ සමත් වූ බව රහසක් නොවේ.

තත්වය එසේ තිබියදී, ලංකාවේ සමහර මාධ්‍ය, කුම්බලා මාළු කන බිළාලයන් මෙන් යථාර්ථයට පිටුපා හැසිරෙන හැටියකි.  

කුම්බලා මාළු කෑමෙන්  බළලුන් අනවරත කැසිල්ලකට ගොදුරු වෙති යන්න ප්‍රසිද්ධ කතාවකි.

ජනාධිපති වික්‍රමසිංහගේ ජපන් සංචාරය අළලා “අබේට අවසන් ගෞරව දක්වන්න රනිල් 15 එක්ක ජපන් ගිහින්” යන  වාර්තාවේම ජපන් ගිය කණ්ඩායම පස් දෙනෙක් බව පැහැදිලි වීම, කුම්බලා මාළු කතාවට ආසන්නම උදාහරණය වේ. 

 

තෙල් පැට්රල් ගෑස් සැපයුම් විධිමත් වීම හේතුවෙන් සමහරුන්ට අරගලය අමතකය. තවත් සමහරු මර්ධනය මැද අරගලය පවත්වා ගෙන යති. මේ ඇයිදැයි විමසීම හෙවත් පරස්පරය මාධ්‍යට වැදගත් නැත්තේ ජරමර අනතුරු මිස රටේ ජන ජීවිතය සන්සුන් වීම අලෙවි කළ හැකි අමු ද්‍රව්‍ය නොවීමය. 

 

රටේ ආණ්ඩුවක් නැති බව ලෝකයට තහවුරු කිරීමට විපක්ෂය අසමත් වුවහොත්, ජාත්‍යන්තර ආධාර ගලා ඒමත්, රටේ ජනතාවට සියල්ල අමතක වීමත් හරහා  රනිල් වික්‍රමසිංහ පාලනය ස්ථාපිත විය හැකි ය.  

එක දිගට වාර්තා වෙමින් පැවති විදේශ ගත ලාංකිකයන් මෙහෙය වූ විරෝධතා අවම වී ගොස් ය.  

වර්තමානයේ රනිල් සංචාරය කරන රටට පමණක් එකී විරෝධතා සීමාවීමත් මාස කිහිපයක් වන අලි උවදුර වැනි ග්‍රාමීය ජන ජීවිතයේ ගැටළු ගැන පිට පළාත්වලින් වොයිස් කට් මිස, උද්ඝෝෂණ අරගල වාර්තා නො වීමත් විපක්ෂ දේශපාලනයට යහපත් නැත.

ගම්බද ප්‍රදේශ නිහඬව ඇත්තේ අරගල උද්ඝෝෂණ මෙහෙයවන්නන් කොළඹට කැඳවීම නිසා ය. එහෙම වුණේ අරගලය කොළඹ හෝ රඳවා ගැනීමට අවශ්‍ය ඔළුගෙඩි අවශ්‍ය නිසාය.

277538276 632168181514468 7844479952805513337 n 2
ගෝඨා ගෙදර යැවූ ජන අරගලයේ ජවය රනිල්ගේ පාලන කාලයේ ක්‍රමයෙන් තුනී වි ගියේය.  

 

රනිල්ට යන්ට කීමෙන් ජාත්‍යන්තරයේ ගොඩ නැගුණ ඔහුගේ පෞරුෂය බිඳ දැමීමකි. රටේ මිනිස්සු අකමැති නම් ජනාධිපති වික්‍රමසිංහට ලෝකය ඇහුන්කම් දෙන්නේ නැත. රනිල් තෝරා ගත යුත්තේ අරගලයට ඉඩ දීම හෝ ජාත්‍යන්තර සහායෙන්  රට ගොඩ ගැනීම යන දෙකෙන් එකකි. රනිල් පෙනී සිටින්නේ රට වෙනවෙන් මිස අරගලය වෙනුවෙන් නොවේ. ජාත්‍යන්තරය තුළ රට දුර්වල කිරිම මිස, රනිල් බලයෙන් පහ කිරීමට අරගලයට නීතිය ඉඩ නො දෙනු ඇත. අරගලය මර්ධනය අතර පරස්පරය මෙවැන්නකි.

 

අරගලය මර්ධනය හමුවේ හැකිලෙමින් පවතී.  පිට පළාත්වලින් අරගලය පිළිබඳ උනන්දුව සිඳි ගොස් ය.  

27 වෙනි අඟහරුවාදා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න අතර අසරණවූ මන්ත්‍රි මරික්කාර් “මං කියන්නේ බොරු නම් ගවේෂණාත්මකව ඒ ගැන සොයා වාර්තා කරන්න” කියා ඇඟ බේරා ගත්තේ තම මතයට පැවැත්මක් නැති බව දැනගෙනය. කියන්නේ ඇත්ත නම් ගවේශෂණය කරන්නට ලබ්බක් ඉතිරි වන්නේ නැත.

විදුලි බිල වැඩි කිරීම බුද්ධ සාසනය විනාස කිරීමට රනිල් ඇට වූ උගුලක් කී ඕමල්පේ හාමුදුරුවෝ ගෝඨාභයගේ සර්ව පාක්ෂික සමුළුව හෙට කියා මාර්තු 22 දින ඇඹිලිපිටියේදී “ආගමික ස්ථානවල තිබෙන ධන සම්පත් වලින් කොටසක් මහා භාණ්ඩාගාරයට පරිත්‍යාග කිරීමට කතා කළහ.  

 පොල්ලේබැද්දේ රෝහණ සමරජීව ලංකාදිපයට සැපයූ  වාර්තාව අනුව,  2007දී තායිලන්තය මුහුණ දුන් ආර්ථක අවපාතය හමුවේ එ රට භික්ෂුන් විහාරසථානවල තිබුණ රත්රන් ආදි වටිනා වස්තුන් රාජ්‍ය භාණ්ඩාගාරයට දුන් බවට කළ ප්‍රකාශය හාමුදුරුවන්ට  සිහිපත් කරවීමට ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් ලංකාවේ තිබුණා නම් ඕමල්පේ සෝබිත හාමුදුරුවන් වහන්සේ දාරළුවේ පළු කරඳ ගහේ අත්තක එල්ලී අපවත් වී හත් දවසකුත් ගෙවිලා ය.

 

සජිත් ප්‍රේමදාස, ගමේ අරගලය කොළඹට කැඳවා හෙට අනිද්දා ආණ්ඩුව අල්ලන කතාවත් මීළඟට ජනතා නැගිටීමට අනුරලා නායකත්වය දෙන බවට අකුරැස්සේදී කළ ප්‍රකාශයත් ඇට නැති මිදි වාගේ කටේම දියවි යනවා මිස භූමියේ පැල වෙන්නේ නැත. 

 

ඒ අනුර කුමාර, පසුගිය මාර්තු 23  දින නුගේගොඩ ජනතා රැළිය අමතා කීවේ ආණ්ඩුව ගෙදර යවන දවස වැඩි ඈතක නොවන බවය.

සජිත් සහ අනුර කුමාර දෙදෙනාම අරගලය වගේම රට තුළ අතරමංව ඇති බව අමතක කරන අපේ මාධ්‍ය ගෙවුණ ආසන්න තුන් මාසයක් රටෙහි සිදුව ඇති වෙනස්කම් ගැන අපේ මාධ්‍යට හාංකවිසියක්  නැත.

image a04836a331

සර්ව පාක්ෂික සමුළුව ආරම්භයේම මහ බැංකු අධීපති අජිත් නිවාඩ් කබ්රාල් කී ගොන් කතාවක් නිසා, රනිල් ගෙන් ජනාධිපති ගොඨාභය ප්‍රසිද්ධියේ සමාව ගැනීම රනිල් වික්‍රමසිංහට දේශපාලනිකව යෝධ හයියෙන් කෙළින් කිරීමකි.


සමුළුවට සහභාගි නොවීමේ හේතු ගණනාවක් මාර්තු 21 වෙනිදා නීතිඥ රවි ජයවර්ධනගේ අත්සනින් මාධ්‍යට නිකුත් කළ සජිත් ප්‍රේමදාස එදා සමුළුවට නො ගිය ඇත්ත කතාව, උපුල් ජෝෂප් ප්‍රනාන්දු ඊළඟ සති අන්තයේ මව්රට පත්තරයෙන් හෙළි කළේය. 

 
මේ සිද්ධි මාලාව විග්‍රහ කරමින් පාඨලීලා මනුෂලා සහ සජිත්ලා යනුවෙන්  2022-04-03 අනිද්දා පුවත්පතට මා ලියූ ලිපියේ මෙසේ දැක්වේ.
 

“පසුගිය මාර්තු 23වෙනිදා පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූ එජාප නායක රනිල් සංවිධානය කළ සත්‍යග්‍රහයට සජබය නියෝජනය කරන පාඨලීගේ 43 කණ්ඩායම එක්විය. මෙකී දේශපාලන දෙපරාදුවක සමබර කිරිමට සජබය පියවර ගනු ඇත යන්න සති අන්ත සමාජ මාධ්‍යවල පළවිය. ඉන් පසුව පාඨලී සහ මනුෂ නානායක්කාර යන සජබ මන්ත්‍රින් ඊට අනියමින් ප්‍රතිචාර දැක්වීය. ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියේ රට අසීරු තත්වයෙන් ගොඩ ගැනීමට ජනතාව නිර්පාක්ෂිකව හෝ පක්ෂ හැටියට හෝ එක්ව කටයුතු කළ යුතු බවය.

එකී ප්‍රකාශය හරහා රටේ බහුතරය අපෙක්ෂා කරන තවමත් යථාර්ථයක් නොවූ අරමුණක් සඳහා ඔවුන් තුළ පවත්නා කැමැත්ත ඍජුව ප්‍රකාශ වේ. සර්ව පාක්ෂික සමුළුව යනු තවත් අවබෝධතා එකතුවක් මිස, දේශපාලන කතිකාවක් නොවේ. එය රටේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගොඩ නැගෙන එකමුතුවකි. මේ වන විට සමුළුවට සහභාගි වීම නිසා රනිල් නව චරිතයක් ලෙස ගොඩ නැගෙනු දැකිය හැකිය. එය සජිත්ගේ දේශපාපලන අනාගතයට තර්ජනයකි.

එසේම සජිත් සමුළුවට නොයාම පාඨලීගේ 43 බලකාය හරහා යම් පමණකට අවතක්සේරු වෙමින් පවතී. මේ හේතු නිසා බිඳ වැටෙන සජිත්ගේ භූමිකාව කෙළින් කිරීමට මාධ්‍ය ක්‍රියාවලියක් දියත් වේ.

සජිත් ප්‍රේමදාස සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නො වුණේ සජිත් යට ගස්වා රනිල් පිම්බීමට ආණ්ඩුවේ සැලැස්මක් පැවති නිසා, සජබයේ ජ්‍යෙෂ්ඨයන්  සජිත්ගේ ගමන වැළැක්වූ බව මව්රට පුවත්පත ලබා වාර්තා කරවීම ඉන් එකකි.

එසේම රට මවිත කළ, රටේ බහුතරයකට ආශ්වාදයක් ලබා දුන් ජනාධීපති ගෝඨාභය රනිල්ගෙන් සමාව අයැදීම මව්රට දේශපාලන ලියුම්කරු වෙනත් කෝනයකින් දැකීම දෙවැන්නය.

සමාව ගැනීමක් ඛේදවාදකයක් කීම සමාව ඉල්ලා සිටි අය කෙරෙහි පවත්නා ලෙන්ගතුකමකින් හෝ අනෙක් පාර්ශ්වය කෙරෙහි පවත්නා වෛරයෙන් යුතුව කෙරෙන ප්‍රකාශයකි. හැට නව ලක්ෂයක් ඡන්ද ලබාගත් ගෝඨාභය ඡන්ද විසිපන් දහසක් අතැති රනිල් හමුවේ එසේ සමාව අයැදිමින් හැසිරීම ඛේදවාකයක් බව උපුල් ජෝෂප් ප්‍රනාන්දු එහි අකුරෙන්ම ලියා ඇත.

ඒ තර්කයට අනුව, හැට නව ලක්ෂයකගේ ජන වරමින් ශක්තිමත්වූ ගොඨාභයගෙන් ජනාධිපති ඉල්ලා ජනාධිපති කාර්යාලය අසල දැවටෙමින් බෙරිහන් දුන් ජනතාව ඡන්ද පනස් පන් ලක්ෂයකට සීමා කළ සජි්ට යහතින් ගෙදර යන්ට ඉඩදීමත් ඛේදවාචකයක් නොවේද? ''

(උපුටා ගනීම අවසන්ය.)
 
 
රනිල්ට එරෙහිවද, ගෝඨාට ආදරයෙන් උපුල් ජෝෂප් සජිත් වෙනුවෙන් ඉදිරිපත් කළ හැට නව ලක්ෂයේ තර්කය අනුව, ලක්ෂයක් සමග කොළඹ පැමිණෙන සජිත් ප්‍රේමදාස අන්දරේටත් හපන් ය.
 
 
රාජපක්ෂලා එකී සර්ව පාක්ෂීක සමුළුව කැඳවමින් රට ගොඩ නැගීමට විපක්ෂ සහාය ඉල්ලා සිටියේ බැරිම තැනය.

එදා සිට ගෙවුණ හය මාසය තුළ රට තුළ සාධනීය බොහෝ දේ සිදුවෙමින් පවතී. රටේ බහුතරයට දැනෙන මේ සත්‍ය වෙනුවෙන් අපේ මාධ්‍ය පෙනී සිටිත් නම්, අධි ආරක්ෂක කලාප ආරක්ෂක වළලු අවශ්‍ය නොවේ. 
 
 
රනිල්ගේ සේසත පුච්චා අළු කළ බලවේග තවමත් නිදැල්ලේ ය. එවැන්නැක් හෙටත් සිදුවිය හැකියයි ආරක්ෂක අංශ කල්පනා කරනවා විය හැකිය. දස ලක්ෂයක් කොළඹට එන බව රටක් දැන සිටියද ජූලි 9 වෙනිදාට කොළඹට දස දහසක් වත් නො පැමිණේ යයි වාර්තා කළ ආරක්ෂක අංශ මෙහෙයවන සේනාධිපතියා රනිල් වික්‍රමසිංහ බව ඔවුන් නො දන්නවා විය නොහැකිය.
 
 
 
මහනුවරින් ගංගොඩවිල ගිය නීතිඥයෙකු පෝලිමක නො සිට, සිය මෝටර් රියට පැට්රල් ලබා ගත් සතුටට “දැන් පැට්රල් තියෙනවා නේදැයි අසල සිටි ආරක්ෂක නියාමකයෙකුගෙන් විමසීය. “පැට්රල් ඩීසල් දෙකම තියෙනවා. ලැබුණ කෙටි පිළිතුර එහෙමය. “කොහොමද ගෑස්....? විමසූ වහා ගෑසුත් තියෙනවා යයි කීවේ ආවට ගියාටය.

ඒත් අරගලය නතර වෙලා නෑ නේදැයි අර නීතිඥයා පෙරළා විමසීය. අරගලයේ එවුන් හැමදාම කුදලාගෙන යනවා යනුවෙන් කී ආරක්ෂක නිලධාරියා මුන් දන්නෙ නෑ රනිල් වික්‍රමසිංහ කියන්නෙ කවුද කියලා සිටි තැනින් ඉවත් විය.

 ඉන්ධන ප්‍රශ්නය තුනී වුණේ සීආර් ක්‍රමය නිසා මිස, රනිල් නිසා නොවේ යයි සමහරු තර්ක කරන්නෝත් සිටිති. පෝලිම් නැති වුණාට, ලීටර් 20ට වැඩිය නොලැබීම ගැන අසතුටෙන් සිටින්නෝ ද වෙති.
 
 
ලාංකේය මධ්‍යම පාන්තිකයා යනු කිසි දෙයකින් සතුටු කළ නොහැකි අරුමැති වසන්තයකි. වර්තමානයේ  ලංකාව යනු මෙවැනි සලාදයකි. රටට අවශ්‍ය කතිරයට වඩා නීතිය කෙරෙහි විශ්වාසය තබන පාලකයෙකි. යහ පාලන ආණ්ඩු කාලයේ රථ වාහන වැරදි සඳහා වැඩි කළ දඩ බලයට පත් වූ වහාම අඩු කරන බවට මහින්ද රාජපක්ෂ ත්‍රි විලර් සංගම් නායකයන්ට කළ ප්‍රකාශයක් ඒ කාලයේ වයිරල් විය.
 
 
ජූලි 9 වෙනිදා විස්කි බෝල් පිත්තල බෝල සොරා ගත්තේ අරගල කරුවන් යයි කිසිවෙකු චෝදනා නො කරති. මැයි 9 වෙනිදා පහර දී මරා දැමූ අතුකෝරාළ මන්ත්‍රි පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාවට විපක්ෂය සහභාගි නො වූවද, ඒ  ම්ලේච්ඡ ක්‍රියාව විපක්ෂය අනුමත කරන බවට කිසිවෙක් චෝදනා නො කරති.

ආයුධ පෙන්නීමේ මුවාවෙන් ගෙන ගොස් සිදු කරන පුද්ගල ඝාතන වලට පවා විරුද්ධ වන තම නිවෙස ගිනිබත් කිරීම ගැන කිසිවෙකු ප්‍රකාශයක් කළේ නැති බව සිහිපත් කරන රනිල් වික්‍රමසිංහ රටේ ආරක්ෂාව වෙනුවෙන් රටේ නීතිය යොදා ගැනීමට එරෙහි වන්නේ කෙසේද?

මාර්තුවේ ගෝඨා රනිල්ගෙන් සමාව ඉල්ලා සිටියේත්, රනිල් සැප්තැම්බර් 27 වෙනිදා ජපානයෙන් සමාව ඉල්ලා සිටියේත් රටේ යහපත  වෙනුවෙනි. එසේ නම් ගෝඨා රට වෙනුවෙන් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමෙන් සජිත් ප්‍රේමදාසත් අනුර කුමාර දිසානායකත් ජනතාවට දුන් පණිවිඩය කල් ඉකුත්ව නැතිදැයි මාධ්‍ය ප්‍රශ්න කළ යුතුවේ.

මාධ්‍ය පැවතිය යුත්තේ රටත් ජනතාවත් වෙනුවෙනි. සජිත්  සර්ව පාක්ෂික සමුළුවට නො ගියේ සත්‍ය ලෙසම උපුල් ජෝෂප් හිතන විදියට මාධ්‍ය ආවරණ ප්‍රශ්නයක් නිසා නම් සජිත් යනු සත්තකින්ම මානසික රෝගියෙකි. මේ අරගල කළ යුතු නිමේෂයක්දැයි සජිත්ලා අනුරලා තම තමන්ගේ පපුවලට තට්ටුකර ඇසිය යුතුවේ. ඒ ප්‍රශ්නය මාධ්‍ය වේදින් සජිත්ලාගෙන් අනුරලාගෙන් අසන්නේ නැත.
 
 
ජනපති රනිල් සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ඡාවක්
 
 
රට ආපස්සට ඇදීමට කැප වූ සමහර මාධ්‍ය රොයිටර් බොරු කියතී යයි වට්ස්ඇප් හරහා චෝදනා කළහ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලියට ජපානය සහාය වන බවට සැප්තැම්බර් 27 වෙනිදා ජපන් විදේශ අමාත්‍ය යොෂිමසා හයාමි ජනාධිපති රාජපක්ෂ හමුවේ තහවුරු කළේය. අද වනවිට ජපානය පමණක් නොව බොහෝ මධ්‍යස්ථ රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිති.

දෙවියන් ඉදිරියේත් කුඩා දරුවන් ඉදිරියේත් ප්‍රවේශමෙන් හැසිරිය යුතු ය යන්න ආප්තයකි. හේතුව දෙවියන් ඉදිරියේ පරෙස්සමින් වැඩ නො කළොත්, එලොවදීත්, පොඩි හිටියන් ඉදිරියේ නරකට හැසිරුණොත් මෙලොවදීත් පඩිසන් දීමය.

ජනතාව ඉදිරියේදී  මාධ්‍ය සදාචාර සම්පන්න නො වුණොත්...... ඉන බැඳි වස්තරය ගැලවී යාම වැළැක්විය නොහැකි වේ.  



අරගලයේ දින 100ක කතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022




 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...