The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තරුණ ගෝටාබයලා වෙතටයි - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

October 14, 2022 • 9:30 AM

තරුණ ගෝටාබයලා වෙතටයි - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනුමක් නෑ, හැගීමක් නෑ වගේ කතන්දර.
  • ඇත්තටම මහින්දට බය නැතුව කතා කරන්නෙ චම්පික රණවක විතරයි.
  • අනෙකාගෙ දැනුම, තේරුම, වයස උඩ පදනම් වෙලා තමන් ගැන ලොකු අධිතක්සේරුවක ඉන්න බ්‍රොයිලර් දේශපාලන චරිත ඇත්තටම මේ පිට්ටනියෙදි මසට හදන කුකුල්ලු වගේ.
  • දේශපාලනයට මිනිස්සු එකතු වෙන්නෙ ටකරමට, බෝතලේට කියල හිතන එක ඌනිත තේරුම් ගැනීමක්.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනුමක් නෑ, හැගීමක් නෑ වගේ කතන්දර. ඒ කියන්නෙ තමන්ට තේරෙන යමක් අනෙකාට නොතේරෙනවා කියල මේ අය හිතනවා. කාලයක් තිස්සෙ අර පරණ දේශපාලකයා දේශපාලනය කරගෙන ගියේ කොහොමද කියන කාරණයවත් හිතන්න මහන්සි වෙන්නෙ නෑ. මේක තනිකරම නොපැසුනුකම නැත්තං බොළඳකම විදිහටයි මං දකින්නෙ.


දේශපාලනය කියන්නෙ ආර්තික දැනුම, විද්‍යා දැනුම, ලෝකෙ ගැන දැනුම මේ හැමදේකටම වඩා මිනිස්සු ගැන දැනීම. වැදගත් දේ දැනුම නෙමෙයි දැනීම. සෙන්ස් එක කියන දේ.  පරණ දේශපාලකයන්ගේ මේ තියෙන මිනිස් දැනීමේ මයිල් ගහකටවත් ළංවෙන්න අලුත් අයට බෑ කියන එකයි මගේ කියවීම. ඒක හොඳටම ඔප්පු වෙන්නෙ මේ අධිතක්සේරුවත් එක්ක. තමන් කියන දේ අනෙකාට නොතේරෙනවා කියන නිගමනයට වඩා අනෙකා කියන්න හදන දේ තමන්ට තේරෙනවද කියන එකයි දේශපාලනයේදි වැදගත් වෙන්නෙ. තමන්ට කියන්න දෙයක් තියෙනවද කියන එකට වඩා තමන්ට අහන්න පුළුවන් කන් දෙකක් තියෙනවද කියන එක.


තරුණ අලුත් දේශපාලන චරිතවල මේ ගුණය නෑ. ඒ අය විවිධ ‍ක්ෂේත්‍රවල විශිෂ්ට දක්ෂකම් පෙන්නපු අය වෙන්න පුළුවන්. ඒ හැම ක්ෂේත්‍රයක්ම ඒ අය කියන දේ අනිත් අය අහගෙන හිටපු තැන්. ඒත් දේශපාලනය කියන්නෙ බුද්ධිමතුන්ගේ පිට්ටනියක් නෙමෙයි. ඒක මෝඩකමට වඩාත් ගරු කළ යුතු වෙනස්ම ක්ෂේත්‍රයක්. දේශපාලනය තියෙන්නෙ දුර්වලයා ආරක්ෂා කරන්න වගේම දේශපාලනය තියෙන්නෙ මෝඩකමටත් බුද්ධිමත්කම හා සමානම අවස්ථාවක් ලබාගන්න.

 

ලංකාවෙ එතෙක් මෙතෙක් බිහිවුනු විශිෂ්ටතම දේශපාලකයා මහින්ද රාජපක්ෂ. මහින්ද කියන්නෙ මොළයක් නෙමෙයි. උගතෙක් නෙමෙයි. ඒත් මහින්ද රටේ  දෙවියෙක් වුනා. දැන් ‍නැගිටගන්න බැරුව හිටියත් මහින්ද වචන දෙකක් කතා කළොත් ඔන්න මහින්ද එනවෝ කියාගෙන මේ තරුණ ප්‍රතිවාදියො වෙව්ලනවා. ඇත්තටම මහින්දට බය නැතුව කතා කරන්නෙ චම්පික රණවක විතරයි. අනිත් හැමෝම නාමල් එයිද කිය කිය බයෙන් සැකෙන් වැළපෙද්දි රාජපක්ෂලාට ආපහු එන්න දෙන්නෙ නෑ කියන්න කොන්දක් චම්පිකට තියෙනවා. ඒක කොයිතරම් සාර්තක වෙයිද නැද්ද කියන එකට වඩා ඒක තමයි දේශපාලනයේ හයිය කියන්නෙ. ජනතාවට තමන් දෙන සහතිකය. බිල්ලො එනවා වගේ නාමල් එනවා කිය කිය ජනතාව බය කරන එක විහිලුවක්.

 

අනෙකාගෙ දැනුම, තේරුම, වයස උඩ පදනම් වෙලා තමන් ගැන ලොකු අධිතක්සේරුවක ඉන්න බ්‍රොයිලර් දේශපාලන චරිත ඇත්තටම මේ පිට්ටනියෙදි මසට හදන කුකුල්ලු වගේ. විෂය දැනුමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එකයි අතර තියෙන්නෙ ලොකු වෙනසක්. ලංකාවෙ සාර්තක වුනු හැම දේශපාලකයෙකුගෙම මං දකිනවා මේ රටේ මිනිස් සංස්කෘතිය ගැන වචනයෙන් කිව නොහැකි ලොකු දැනීමක්. එහෙම එකක් පවතිනවා කියලවත් නොදැන ප්‍රතිවාදියා අභියෝග කිරීම කියන්නෙම ළාබාලකමක්.


ලංකාවෙ දේශපාලනයේදී වඩා වැදගත් වෙන්නෙ තර්කය නෙමෙයි හැගීම...



sl peol

ලංකාවෙ දේශපාලනයේදී වඩා වැදගත් වෙන්නෙ තර්කය නෙමෙයි හැගීම. ඒ හැගීම විශ්වාසය ආදරය උඩයි මිනිස්සු දේශපාලනයට එකතු වෙන්නෙ. තර්කයට, බුද්ධියට එකතු වෙනවා නම් මිනිස්සු එකතු වෙන්න ඕන අධ්‍යාපන ආයතන වටේට. රටේ වඩාත්ම ජනරාශී වීමේ බලය හිමි ආගමට සහ දේශපාලනයට. ඒ දෙකම හැගීමෙන් මෙහෙයවෙන හින්ද. දේශපාලනයට මිනිස්සු එකතු වෙන්නෙ ටකරමට, බෝතලේට කියල හිතන එක ඌනිත තේරුම් ගැනීමක්. දේශපාලනයට මිනිස්සු එකතු වෙන්නෙ තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලැබෙන හින්ද. තමන් විශාල සමස්තයක කොටසක් බවට පත්වෙන හින්ද. ඒක ගැඹුරු මිනිස් භාවයක්.

ජවිපෙ හෝ පෙරටුගාමී හෝ පීඩිතයා වෙනුවෙන් පෙනී ඉන්නවා කියන පක්ෂ විසින් නෙමෙයි ලංකාවෙ සැබෑ නිර්ප්‍රභූ ජීවිත වලට වටිනාකමක් දුන්නෙ. ඒක දුන්නෙ මහින්ද. තමන් බයියෙක් කියල එයා පාර්ලිමේන්තුවෙ ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා. බයියා කියන්නෙ ලංකාවෙ සැබෑ පීඩිත ප්‍රජාව. ඒ අය තමයි මහා සංස්කෘතිය ඇතුලෙ පීඩාවට පත්වෙන බහුතරය. හරියට ඇමරිකාවෙ රෙඩ්-නෙක් නමින් හඳුන්වන ග්‍රාම්‍ය පිරිස වගේම.

 

චන්දෙකදි තියෙනවා කොටස් දෙකක්. එකක් පිටතට පේන, සමූහය ඉදිරියේ ඇගයුම් ලබන ප්‍රසිද්ද පෙනී සිටීම. යම් පක්ෂයකට චන්දය දීමෙන් තමන්ට සමාජමය වටිනාකමක් ලැබෙනවා යන පිලිගැනීම. උදා විදිහට ජවිපෙ රැස්වීම්වලට විශාල වශයෙන් සෙනග එනවා. ජවිපෙ මාර ‍පිරිසිදු හොරමැර නැති පක්ෂයක් විදිහට සමාජයේ කතා වෙනවා. ඒත් ජවිපෙට චන්ද ලැබෙන්නෙ නෑ.

 

මේක සිද්ද වෙන්නෙ චන්දෙ දෙවෙනි කොටසින්. ඒ තමයි රහස් චන්දය කියන කොටස. අපි තනි පුද්ගලික මොහොතකයි අවසාන කතිරය තීරණය කරන්නෙ. මං සර්වජන චන්දයේ ඉතාම අගය කරන මොහොත තමයි මේක. ඒ පුද්ගලික නිමේෂයේදී අර සමාජයේ වර්චු සිග්නලින් තවදුරටත් අදාල වෙන්නෙ නෑ. තමන්ව විනිශ්චය කරන්නෙක් නෑ. එතන තියෙනවා කාල් යුංග්ගෙ භාෂාවෙන් (ලිහිල් විදිහට ගත්තොත්) මිනිසාගේ සෙවනැල්ල හෙවත් ෂැඩෝ එකට සම්බන්ධ වෙන්න පුළුවන් තැනක්. ඒ කියන්නෙ අපේ අඳුරු පැවැත්මට ඉඩක්. චන්දයක මේ පුද්ගල නිදහස ප්‍රකාශයට පත්වෙනවා.


චන්දයකදී මිනිස්සු ආකර්ශනය වෙන්නෙ හොඳ මිනිස්සුන්ට නෙමෙයි දැනෙන මිනිස්සුන්ට...


පුද්ගලයා කියන්නෙ හොඳ හෝ නරක කෙනෙක් නෙමෙයි. හොඳ මිනිස්සු වශයෙන් පෙනී ඉන්න අය විසින් කරන්නෙ සමාජයේ අනෙක් අයව විනිශ්චයට ලක් කිරීමක්. තමන් හොඳවීම වෙනුවෙන් අනෙකා නරක බවට පත්කිරීමක්. චන්දයකදී මිනිස්සු ආකර්ශනය වෙන්නෙ හොඳ මිනිස්සුන්ට නෙමෙයි දැනෙන මිනිස්සුන්ට. ඉදිරියේදී මැතිවරණ ක්‍රමය වෙනස් වෙලා නැවත සරල බහුතර ක්‍රමයට නැඹුරු තත්වයක් ආවොත් මේ කාරණය වඩාත් ඉස්සරහට එනවා.


ඉතින් මේ නාකින්ට බැන බැන අලුතෙන් දේශපාලනය කරන්න හදන තරුණයො තමන්ගේ විනිශ්චයන් පසෙකලා මිනිස්සුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නෙ එම්පතිය කියන පැත්ත පුහුණු කරන්න ඕන. සියල්ල විසඳිය හැක්කේ තමාටය යන්න හුදු මමත්වයේ ප්‍රකාශනයකට වැඩි යමක් නෙමෙයි. ගෝටාබය එලෙව්වට මදි. ගෝටාට යන්න වුනේ ඇයි කියල අධ්‍යනය කරන්නත් ඕන.



රනිල් කියන්නෙ ආර්තිකය - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...