The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුණාටු පරදන ජන පවුර: විජේරාමේ 'Community kitchen '

T

The Leader Desk

December 1, 2025 • 5:57 PM

කුණාටු පරදන ජන පවුර: විජේරාමේ 'Community kitchen '

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැබැයි අපි මේ වෙද්දි බත් පාර්සල් 20000කට වඩා ලංකාවේ හතර අතට යවලා තියෙනවා.
  • ලෝක ඉතිහාසය ලියැවී ඇත්තේ මරණය නොතකා උදාර අරමුණු වෙනුවෙන් සටන් කළ මිනිසුන්ගෙනි.
  • " සුජිත් කලින් කිව්වා වගේ අරනායක මීතොටමුල්ල නාය යෑම්වලදී 2016 හා 2017 වසරවලදී එකතු වූ ප්‍රජාව නැවත පණ ගැන්වීමක් තමයි මේ සැරේත් කළේ.
  • දැන් ඒක 3000 දක්වා වැඩි කරලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි අපි මේ වෙද්දි බත් පාර්සල් 20000කට වඩා ලංකාවේ හතර අතට යවලා තියෙනවා. මේ සංවිධානාත්මක එකතුවීමට මුලපිරුවේ මීතොට මුල්ල හා අර නායක නාය යෑම් වෙලාවේ සෝෂල් මීඩියා වලින් එකතු වූ පිරිසක්."

fye56456
මිනිසුන් භෞතිකව ඝාතනය කළ හැකිය. එහෙත් මිනිස් අදහස් එසේ ඝාතනය කළ හැකි නොවේ. ලෝක ඉතිහාසය ලියැවී ඇත්තේ මරණය නොතකා උදාර අරමුණු වෙනුවෙන් සටන් කළ මිනිසුන්ගෙනි. ජීවිත සිය ගණනින් බිලිගනිමින් 'දිට්වා' සුළි කුණාටුව ලංකාවට සරදම් කරද්දීත් ඒ ඓතිහාසික යථාර්ථය වෙනස් නොවේ. සමාජ ක්‍රියාකාරිකයකු හා මාධ්‍යවේදියකු වන සුජිත් අන්නමලේ ඉහත කියමින් සිටියේ ඒ කතාව ගැනය. නිවාස හා දේපළ මෙන්ම මව්පියවරුන්, ස්වාමිපුරුෂයන් හා සුතඹුවන් අහිමිව සීතලෙන් මෙන්ම බියෙන් සලිත වී සිටින මහා ජනකායක් මුදා ගැනීමට හා ඔවුන්ගේ කුසට උණුහුමේ බත් කටක් දෙන්නට මහරගම විජේරාමයට එක් වූ නාඳුනන මිනිස් පවුර ගැනය.

මුළුතැන්ගෙය සඳහා ගොඩනැගිල්ල ලබාදී තිබෙන්නේ මාධ්‍යවේදි කසුන් පුස්සවෙලගේ වැඩිමහල් සොයුරාය.

fgy5463546
" සුජිත් කලින් කිව්වා වගේ අරනායක මීතොටමුල්ල නාය යෑම්වලදී 2016 හා 2017 වසරවලදී එකතු වූ ප්‍රජාව නැවත පණ ගැන්වීමක් තමයි මේ සැරේත් කළේ. තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු වෛද්‍ය විද්‍යාවේ සිට ආහාර කලාව දක්වා විවිධ තරාතිරම්වල විශේෂඥයන් අපට හිටියා. මගේ සහෝදරයා වන තිළිණ පුස්සවෙල එදා මේ ගොඩනැගිල්ල අපට මේ වැඩේට ලබා දුන්නා. අපි මුලින්ම මේ වැඩේ ගැන කතා කරගත්තේ විසි හය වැනිදා. පහුවෙනිදා වන විට කෑම දාහක් හදාගන්න පුළුවන් වුණා. දැන් ඒක 3000 දක්වා වැඩි කරලා තියෙනවා. නන්නාදුනන මිනිසුන් සිය දහස් ගණනකගේ එකතුවෙන් හැදුන නිසා මේකට ප්‍රජා මුළුතැන් ගෙය කියන්නේ. මේ ව්‍යසනයේ කළමනාකරණය කරගත හැකි දිනයක් දක්වා අපි මේ වැඩේ කරනවා."


මෙම ප්‍රජාව මුළුතැන්ගෙදර විශේෂත්වය වන්නේ එය ලංකාවේ තවත් ප්‍රජා මුළු තැන් ගෙවල් රැසක් නිර්මාණය කිරීමට අතහිතදීමය.

ඒ අනුව,

  • මහරගම අපේක්‍ෂා රෝහල අසල ' ජන සුවබල මධ්‍යස්ථානය',
  • මහල් වරාව බේකරියේත්, පානදුර හා කොලොන්නාවේත් බතක් ඉදෙන ප්‍රජා මුළුතැන්ගෙවල් ස්ථාපිත කර ඇත. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය රත්නපුර හා මහනුවරයි.


 මේ ඒ ගැන සුජිත් කියන කතාවයි.

cfy546


" මේක අපේ ශ්‍රමදායකත්වය විතරයි. ස්වෙච්චාවෙන් ආපු සිය ගණනක් මෙතන වැඩ. අපි එකිනෙකා අඳුනන්නෙත් නෑ. ලංකාවට පිටින් ඉන්න විශාල පිරිසකුත් අපට උදව් කරනවා. ඒ නිසා අපි උපරිම විනිවිදභාවයකින් යුතුව මේ වැඩේ කරන්න බලන්නේ. සුපිරි වෙළඳසැල් ජාලයක් ඇති පෞද්ගලික සමාගමක බැංකු ගිණුමකට තමයි පරිත්‍යාගශීලීන්ගේ මුදල් ගන්නේ. අපි එක සතයක් අතින් අල්ලන්නේ නෑ. මුදලට සරිලන්න හාල්, පරිප්පු බඩු ටික මිලදී ගන්නවා. තව දවස් කීයක් අපට මේක කරන්න වෙයිද දන්නේ නෑ. ඒත් අපි මුළු රටේම මිනිස්සුන්ට මේ වැඩේට ආරාධනා කරනවා"


අප මෙහි පෙර සඳහන් කළ පරිදි ප්‍රජා මුළු තැන්ගෙයින් සිදුවන්නේ බත් තැම්බීමම පමණක් නොවේ. ගංවතුරේ නිවාස හා අතරමග සිර වුණු, නාය යෑම්වලින් පස් කඳුවලට යටවුණු අපේම සහෝදර ලාංකිකයන් ගලවා ගැනීම සඳහා ප්‍රාණ පරිත්‍යාගයෙන් යුතුව කෙරෙන මෙහෙයුම් වලට සන්නිවේදන ආධාර දීමද මෙහි තවත් අරමුණකි.

dty5654
" ඩිසාස්ටර් එකක් කියල දැනගත්ත පළමු මොහොතේම ගලවා ගැනීම සඳහා අවශ්‍ය තැන් අපි ෆේස්බුක් එකෙන් ෆිල්ටර් කළා. එහෙම ගන්න තොරතුරු අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වලට දැනුම් දෙනවා. ඒකට වෙනම කණ්ඩායමක් ඉන්නවා. නම නොදන්නා සහෝදරයෙක් ඒකට වෙනම ඇප් එකක් හැදුවා. සංජය ඇල්ලිටිගල සහෝදරයා අවතැන් කඳවුරු පිහිටි ස්ථාන හා සැපයුම් සඳහා තවත් ඇප් එකක් හැදුවා. ඒ හරහා අපිට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. උදාහරණයකට ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය දරුවෙක් අංගොඩ ගෙදරක හිරවෙලා. ගංවතුරෙන් නිවස යටවෙලා. නාවික හමුදාව සම්බන්ධීකරණය කරලා බෝට්ටුවක් එතනට යවලා ඒ දරුවාගේ ජීවිතය බේරගන්න අපට හැකි වුණා. "


සුජිත් අන්නමලේ මේ මිනිස් පවුර ගැන 'මව්බිම' ට විස්තර කියන්නේ ද ප්‍රජා මුළුතැන්ගෙයින් මඳ විවේකයක් ලබාගෙනය. සැබැවින්ම ඔවුන්ට එහි දින ගණනක් තිස්සේ රැයක් දවාලක් හෝ විවේකයක් නොමැත.

සුළි කුනාටු පරයන ලාංකික හදවත්වලට මෙලෙසින් හෝ බාධා කළ යුතු නැතැයි මට සිතේ. ඉතින් සමුගනිමි.

සහෝදර ජනයා වෙනුවෙන් නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කරමින් රට පුරා වැඩ කරන විවිධ සංවිධාන, සමිති, සමාගම් හා දේශපාලන කණ්ඩායම්වලට ද හිස නමමි.

(සටහන - බිඟුන් මේනක ගමගේ)

Ckichan 2

Ckichan 1

Ckichan 3

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...