The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පීතෘ පුත්‍ර අරගලය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 13, 2022 • 3:24 PM

පීතෘ පුත්‍ර අරගලය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පියාගේ දකුණු අත පුතුගේ පිට මත සියුම්ව රැඳෙන පළිහක් වැන්න.
  • පියෙකු සහ පුතෙකු අතර ඇත්තේ සුවිශේෂී සම්බන්ධයකි.
  • ඔහු දැන් දැන් මාගේ තීරණ සහ ක්‍රියාවන් අභියෝගයට ලක්කිරීමට පටන්ගෙන ඇත.
  • තව ටික කලකින් ඔහු මට වඩා උස යනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



 පියාගේ දකුණු අත පුතුගේ පිට මත සියුම්ව රැඳෙන පළිහක් වැන්න. උරයේ හොවා රැකබලා ගන්නා පුත්‍රයා කරදඬු උස්මහත් වනවිට සිය පියාට එරෙහිව යයි.

එය ජෛව පරිණාමීය උවමනාවකි. නමුත් මහා ඛේදවාචකයකි.

පියෙකු සහ පුතෙකු අතර ඇත්තේ සුවිශේෂී සම්බන්ධයකි.

එහි සංකීර්ණ වූත් සියුම් වූත් ගැඹුරු වූත් හැඟීම් සමුදයන් සහ මරණයන් ප්‍රත්‍යක්ෂයෙන් අවලෝකනය කළ හැක්කේ පුතෙකුගේ පියෙකුට පමණකැයි මට සිතේ. පියෙකුට සිය පුතු කෙරෙහි කාලානුරූපීව උපදින සැප දුක් වේදනාවන් සුවිශේෂීය.

මාගේ පියා සහ මා අතර සම්බන්ධය මා හට පූර්ණ වශයෙන් අවබෝධ වෙන්නේ දැන්ය. ඒ මාගේ වැඩිමහල් පුතු දැන් කරදඬු උස්මහත් වී කඩවසම් තරුණයෙකු වෙමින් තිබෙන නිසාය.

ඔහු තවදුරටත් මා අතේ හුරතල් වූ දරුවා නොවේ. ඔහු දැන් දැන් මාගේ තීරණ සහ ක්‍රියාවන් අභියෝගයට ලක්කිරීමට පටන්ගෙන ඇත.

අප දෙදෙනා අතර පෞරුෂත්ව ආතතියක් නිර්මාණය වෙමින් තිබේ. තව ටික කලකින් ඔහු මට වඩා උස යනු ඇත. මාගේ පියාටද දැනෙන්නට ඇත්තේ මෙලෙස විය යුතුය.


සිංහබාහු පුරාවෘත්තයේ එන්නේද මේ කතාවයි. ලෙන් දොර බිඳ දමා තම පියාගේ අණසකට එරෙහිව සිංහබාහු නැගී සිටී. සිංහබාහුට එරෙහිව ඔහුගේ පුත් විජය නැගී සිටී. කලාකාමී කාශ්‍යප පමණක් නොව රණකාමී ගාමිණී පවා සිය පියරජුට එරෙහිව යයි. අජාසත්ත කුමාරයා පමණක් නොව සිද්ධාර්ථ කුමාරයා පවා තමන් හට අසීමිතව ආදරය කළ පියරජුට එරෙහිව යයි. රජගෙදර සිට පැල්පත දක්වා මේ සදාතනික අරගලය පවතී. එය ලෝක ස්වභාවයකි.

 

කුඩා කල සද්ධන්ත වීරයෙකු ලෙස පෙනෙන තාත්තා කාලයක් යනවිට දුර්වලයෙකු ලෙස පුතුට පෙනෙන්නට පටන් ගනී. තාත්තාට වඩා මිතුරන් ලොකු වෙන්නට පටන් ගනී. ටියුෂන් මාස්ටර් ලොකු වෙන්නට පටන් ගනී. අන්තරේ අයියා ලොකු වෙන්නට පටන් ගනී. තාත්තා කරන කියන රැකියාව මදිකමක් ලෙස හැඟෙන්නට පටන් ගනී. තාත්තා හැදූ නිවස ඉඩ මදිවෙන්නට පටන් ගනී.

දුක්මහන්සි වී හම්බකරන හැම සතයෙන්ම කවා පොවා උගන්වා ලොකුමහත් කළ පුත්‍රයා තරුණයෙකු වෙත්ම සිතෙන්නේ තාත්තාට වඩා හොඳට තමාට සියල්ල කළ හැකි බවයි.

පුතෙකුගේ මේ රූපාන්තරණය පියෙකුට දරාගත නොහැකි වේදනාවකි. මේ අරගලය අරඹන මුල් කාලයේ දෙදෙනා ගැටේ. කුඩා කල මෙන් කෝටුපාර දී අවවාද කරන්නට හදන පියාට එහි වෙනසක් දැනේ. පියා ඉදිරියේ දැන් ඉන්නේ නාඳුනන පුරුෂයෙකි.

 රම්‍ය සුරම්‍ය සුභ මාළිගා තනවා අන්තඃපුර හදා දුන්නත් තම එකම පුතු තමන්ගෙන් වෙන්වීම වළකනු නොහැකි බව ඔහු තේරුම් ගනී.

තමාට අහිමිව ගිය ළදරුවාගේ මතකය නොවැටෙන කඳුලක දියකර නාස්කුහර තෙත් කරන තාත්තා පරාජය පිළිගනිමින් ක්‍රමයෙන් පසුබසී. පුත්‍ර ස්නේහය නැවත කිසිදාක ඔහුට නොලැබුනත් පීතෘ පුත්‍ර සම්බන්ධය යම්තරමකින් හෝ ඉතුරු කරගත හැක්කේ එලෙස කිරීමෙන් පමණක් බව ඔහු සිතයි. තම පියාගේ පසුබැස්ම මත පුත්‍රයා කොඩිය අතට ගෙන පාරට බසී. ජීවිතයේ කටුක යථාර්ථයට හෙතෙම එතැන් සිට මුහුණ දෙන්නට පටන් ගනී.

kldjflksd

ගෝල්ෆේස් අරගලය පැවති කාලය පුරාම මා නිරීක්ෂණය කළ වැදගත් කාරණයක් වූයේ එහි පැමිණි තරුණ අරගලකරුවන් ගැන අප දෙදෙනා කතා කළ කිසිදු අවස්ථාවක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තරුණයන් කෙරෙහි කිසිදු තරහවක් නොපෙන්වීමයි.

ගෝටා ගෝ හෝම් කියමින් අශික්ෂිත වචනයෙන් පවා බැන වදින විටවත් ඔවුන් කෙරෙහි ගෝඨාභය කිසිදු කෝපයක් නොගත්තේ ඇයිදෝ කියා මම කල්පනා කෙළෙමි.

ගෝඨාභය එම තරුණයන් දුටුවේ පියෙකු තම තරුණ පුතු දකින්නා ලෙසය. කොරෝනා වසංගතය පැවති කාලයේ නිවාස තුළ හිරවී සිටි එම තරුණයන් හරියට ගල්ලෙන තුළ සිටි සිංහබාහු වැනිය. ඒ තරුණයන් සිටියේ තම වැඩිහිටියන් සමග කේන්තියෙනි. තම තරුණ වියේ සෙල්ලක්කාරකම් හඹා යෑමට ඔවුන්ට නොහැකි විය. “සිහින බොඳ වුනු පරම්පරාව” ලෙස තමන් හඳුන්වාගත්තේ එහෙයිනි. වසරකට වැඩි කාලයක් තිස්සේ ගොඩනැගුණු එම තරුණ අසහනය පිට කළ යුතුව තිබුණු බව පරිණත රාජපක්ෂලා දැන සිටියහ.


කපටි කර්නර්ලා, කාලකන්නි කාදිනල්ලා, සෝබන සෝබිතලා, මෙන්ම අනුර සහ ගුණරත්නම්  “කුමාර”ලා කළේ ඒ තරුණ අසහනය තමන්ගේ බලය වෙනුවෙන් දේශපාලන අවියක් ලෙස අවභාවිතා කිරීමයි. “ඔබ පියා මරා රජ වෙන්න. මම බුදුන් මරා බුදු වෙන්නම්” කියූ දේවදත්ත මෙන් ද්වේශී දේවසිරි ඒ තරුණයන්ට කීවේ නුඹලාට “ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි” බවයි.

පිනෝකියෝ තම පියාට අකීකරු වී වංචනිකයන්ට රැවටෙන්නාක් තමා ආදරය කරන තම පුතු වංචනිකයන් නිසා නොමග යනු දැකීම පියෙකුට ඇති ලොකුම බියකි. නමුත් එය වැළැක්විය නොහැකිය. පුත්තු හැමදා නොමග යති. ඔවුනට වියත්මග හමුවෙන්නේ ඉන් බොහෝ කලකට පසුවය.

පුත්තු කෙතරම් බැන්නත් ගැහුවත් උතුම් පියවරු ඉවසති. වස්තුව ඉල්ලා සිරගත කරද්දීත්, තම සිහසුනේ බලහත්කාරයෙන් හිඳ ගනිද්දීත්, බිත්තියට තබා පස්ගසා මරද්දීත් ධාතුසේන රජතුමා සිය පුතු කෙරෙහි ඉවසුවේය.

රටක ජනාධිපතිවරයාත් එසේ ඉවසිය යුතුය. පියෙකු තම පුතු කෙරෙහි ඉවසන්නේ යම්සේද, රටේ සියලු පුතුන් කෙරෙහි ඔවුන්ගේ ජනපති ඉවසිය යුතුය. එසේ ඉවසිය නොහැකි වුනු ආර්. ප්‍රේමදාස සහ ආර්. විජේවීර එකතුව හැටදාහක් තරුණයන් ඝාතනය කළ හැටි අපට මතකය.


එදා ජනපතිවරණ වේදිකාවේ මා කීවේ මේ රටට අද අවශ්‍ය වන්නේ “පරිණත පීතෘ චරිතයක්” බවයි. අවශ්‍යම මොහොතේ ඒ බලාපොරොත්තුව මා සිතුවාටත් වඩා හොඳින් ඉෂ්ට කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ නම් පරිණත නායකයාමයි. කෙතරම් අමාරු වුවත් නිවැරදි දෙයම කිරීම නිසා ඉතිහාසය විසින් එතුමා ශ්‍රේෂ්ටත්වයට පත් කරනු නොඅනුමානයි.

ධර්මය අපට මග වේවා!


Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 සැප්තැම්බර් 13

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...