The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

'ඩීප්ෆේක්' ( Deepfake) තාක්ෂණය නිසා හොඳ ම මිතුරාගේ ගොදුරක් වුණු තරුණිය

T

The Leader Desk

April 21, 2024 • 12:09 PM

'ඩීප්ෆේක්' ( Deepfake) තාක්ෂණය නිසා හොඳ ම මිතුරාගේ ගොදුරක් වුණු තරුණිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ජෝඩි" තවත් සිදුවීමකින් දැඩි ලෙස කම්පනයට පත් වෙයි.
  • ඒ සඳහා වගකිව යුත්තේ තම හොඳම මිතුරන්ගෙන් කෙනෙකු බව තමාට වැටහුණු අවස්ථාව ගැන ඇය බීබීසී File on 4 වැඩටහන වෙත පැවසුවා ය.
  • එය "ඩීප්ෆේක් (deepfake)" ලෙස හඳුන්වයි.
  • යම් පුද්ගලයෙකු ජෝඩිගේ මුහුණ ඇතුළත් ඡායාරූප අසභ්‍ය වෙබ් අඩවියක පළ කර තිබුණේ, ඇය දැකීමෙන් තම "ලිංගික හැඟීම් ඇවිස්සුණු" බව පවසමින් සහ වෙබ් අඩවියේ සිටින අනෙකුත් පරිශීලකයින්ට ඇයගේ ව්‍යාජ අසභ්‍ය දර්ශන නිර්මාණය කළ හැකි ද යන්න අසමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

"ජෝඩි" තවත් සිදුවීමකින් දැඩි ලෙස කම්පනයට පත් වෙයි. ඒ සඳහා වගකිව යුත්තේ තම හොඳම මිතුරන්ගෙන් කෙනෙකු බව තමාට වැටහුණු අවස්ථාව ගැන ඇය බීබීසී File on 4 වැඩටහන වෙත පැවසුවා ය.

 

අවවාදයයි: සභ්‍ය නොවන වචන සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ විස්තර අඩංගු විය හැක.

 

2021 වසන්ත ඍතුවේදී ජෝඩි (ඇගේ සැබෑ නම නොවේ) වෙත නිර්නාමික විද්‍යුත් තැපැල් ගිණුමකින් අසභ්‍ය වෙබ් අඩවියකට යොමු කෙරෙන සබැඳියක් (link) ලැබෙයි.

 

ඒ වෙත පිවිසි ඇය දුටුවේ, තමන් විවිධ පිරිමින් සමග ලිංගිකව හැසිරෙන ආකාරය දැක්වෙන අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝවකි. ජෝඩිගේ මුහුණ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් තවත් කාන්තාවකගේ සිරුරට සම්බන්ධ කර තිබිණි. එය "ඩීප්ෆේක් (deepfake)" ලෙස හඳුන්වයි.

 

යම් පුද්ගලයෙකු ජෝඩිගේ මුහුණ ඇතුළත් ඡායාරූප අසභ්‍ය වෙබ් අඩවියක පළ කර තිබුණේ, ඇය දැකීමෙන් තම "ලිංගික හැඟීම් ඇවිස්සුණු" බව පවසමින් සහ වෙබ් අඩවියේ සිටින අනෙකුත් පරිශීලකයින්ට ඇයගේ ව්‍යාජ අසභ්‍ය දර්ශන නිර්මාණය කළ හැකි ද යන්න අසමිනි. එලෙස නිර්මාණය කර දෙන ව්‍යාජ දර්ශන වෙනුවෙන් මෙම පරිශීලකයා ජෝඩිගේ තවත් ඡායාරූප සහ ඇය පිළිබඳ විස්තර ලබා දීමට ඉදිරිපත් විය.

 

සිය අත්දැකීම ගැන ප්‍රථම වතාවට සඳහන් කරමින්, මේ වන විට වයස අවුරුදු 20 ගණන්වල මැද භාගයේ සිටින ජෝඩි පවසන්නේ, "මම කෑගහමින් අඬමින්, මගේ ෆෝන් එකේ පිස්සුවෙන් වගේ උඩ පහළ ගියේ, මම කියවන්නේ මොනවා ද සහ මම මේ බලන් ඉන්නේ මොනවා දිහා ද කියලා තේරුම් ගන්න."

 

ඇය තවදුරටත් සඳහන් කළේ: "මේකෙන් මගේ ජීවිතේ ඇත්තට ම විනාශ වෙන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා."

 

මෙම අසභ්‍ය වෙබ් අඩවිය පරීක්ෂා කර බැලීමට තමා විසින් තමාට ම බල කර ගනු ලැබූ ජෝඩි පැවසුවේ, තමාගේ "මුළු ලෝකය ම කඩා වැටෙනවා" යැයි ඇයට හැඟුණු බව ය.

 

එහි වූ ඡායාරූප පරීක්ෂා කරමින් සිටි ඇයට එක් විශේෂිත ඡායාරූපයක් හමු වූ අතර ඒත් සමග බිහිසුණු මතකයක් අවදිවන්නට විය.

 

තැතිගන්නාසුලු සිදුවීම් මාලාවක්

 

එය ජෝඩි ඉලක්ක වූ පළමු අවස්ථාව නොවේ.

 

සත්‍ය වශයෙන් ම, එය වසර ගණනාවක් තිස්සේ නිර්නාමිකව සිදු වූ ඔන්ලයින් අපයෝජනයේ උච්චතම අවස්ථාව විය.

 

අවසරයකින් තොරව 'ඩේටින්ග් ඇප්‍වල' (dating apps) තම නම සහ ඡායාරූප භාවිත කරන බවට ජෝඩි සොයා ගන්නේ, ඇය නව යොවුන් වියේ පසුවන කාලයේදී ය.

 

ඩීප්ෆේක් නිසා අවමන් විඳීම

 

මෙය වසර ගණනාවක් පුරා සිදු වුණු අතර ජෝඩි තමාව ලන්ඩනයේ ලිවර්පූල් වීදියේ දුම්රිය ස්ථානයේදී හමුවීමට ඇති බව පවසමින් ඇයට 2019 වසරේදී ආගන්තුකයෙකුගෙන් ෆේස්බුක් පණිවිඩයක් පවා ලැබී තිබිණි.

 

ඔහු කතා කළේ තමා සමග නොවන බව ඇය එම පුද්ගලයාට පැවසුවා ය. තමා කවුරුන් ද යන වග ආදී සියල්ල ඔහු දැන සිටි නිසා ත් ඔහුට තමාව ඉන්ටර්නෙට් ඔස්සේ සොයා ගැනීමට හැකි වූ නිසා ත් තමාට "තැතිගැන්මක්" ඇතිවුණු බව ඇය පවසයි. ඔහු ඇය ෆේස්බුක් ඔස්සේ සොයා ගෙන තිබුණේ, අදාළ ඩේටින්ග් ඇප් එකේ පෙනී සිටි "ජෝඩි" ප්‍රතිචාර දැක්වීම නතර කිරීමෙන් පසුව ය.

 

2020 මැයි මාසයේදී, එක්සත් රාජධානිය අගුලු දමා තිබුණු කාලයේ (කොවිඩ්-19 සමයේ), ඇය ලිංගික සේවිකාවක බවට අඟවන සටහන් සහිත ඇගේ ඡායාරූප පළ කරන ට්විටර් ගිණුම් ගණනාවක් සම්බන්ධයෙන් මිතුරෙකු විසින් ජෝඩි වෙත දැනුම් දෙනු ලැබිණි.

 

"ඔබ මේ යොවුන් වියේ පසුවන කුඩා ජෝඩි සමග කරන්න කැමති මොනවා ද?" යනුවෙන් ජෝඩි බිකිනියකින් සැරසී සිටින ඡායාරූපයක් සමග පළ කළ සටහනක දැක්විණි. එය ඇයගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුමකින් ලබා ගත් ඡායාරූපයක් විය.

 

මෙවැනි ඡායාරූප පළ කරන ට්විටර් ගිණුම්වල "slut exposer" සහ "chief perv" වැනි නම් (twitter handles) සඳහන් විය.


එලෙස භාවිත කෙරෙන සියලු ම ඡායාරූප වෙනත් පාර්ශව සමග නොව ඇය තම සමීප මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමග ඇගේ සමාජ මාධ්‍යවල සතුටින් බෙදා ගත් ඒවා විය.

 

අනතුරුව ඇයට පෙනී ගියේ, මෙම ගිණුම්වල විශ්වවිද්‍යාලයේ මෙන් ම ඇගේ උපන් ගම වන කේම්බ්‍රිජ්හි ඇය දන්නා වෙනත් කාන්තාවන්ගේ ඡායාරූප ද පළ කර ඇති බව ය.

 

"ඒ වෙලාවේ මට මහා බරපතළ විදිහට දැනුණා, මාව මැදි කරගෙන මේ මනුස්සයා මට රිද්දන්න බලාගෙන ඉන්නේ කියලා," ඇය පැවසුවා ය.

 

පෙරළා සටන් කිරීම

 

අප ඩේසි ලෙස හඳුන්වන සමීප මිතුරියක ඇතුළුව, ජෝඩි අනතුරු ඇඟවීම සඳහා ඡායාරූපවල සිටින අනෙකුත් කාන්තාවන් සම්බන්ධ කර ගැනීමට පටන් ගත්තා ය.

 

"මට මහ අප්‍රසන්න බවක් දැනුනේ," ඩේසි පැවසුවා ය.

 

මෙම මිතුරන් පිරිස එක්ව තවත් බොහෝ ට්විටර් ගිණුම් ඔවුන්ගේ පින්තූර පළ කරන බව සොයා ගත්හ.

 

"අපි බලන්න බලන්න, ඒවායේ තිබුණ දේවල් තවත් නරක වුණා," ඩේසි පැවසුවා ය.

 

ඇය අදාළ ට්විටර් ගිණුම් පරිශීලකයින් වෙත පණිවිඩයක් යවා ඔවුන්ගේ පින්තූර ලබා ගත්තේ කොහෙන් දැයි විමසුවා ය. පිළිතුර වූයේ, එම ඡායාරූප, ඒවා බෙදා ගැනීමට අවශ්‍ය වූ නිර්නාමික පුද්ගලයින් "ලබා දුන්" ඒවා බව ය.

 

"ඒ සමහර විට කලින් පෙම්වතා වෙන්න පුළුවන්, නැත්නම් ඔයා නිසා ලිංගික හැඟීම් ඇවිස්සෙන කෙනෙක් වෙන්න පුළුවන්," එක් පරිශීලකයෙක් පිළිතුරු ලිවීය.

 

ඩේසි සහ ජෝඩී එක්ව සමාජ මාධ්‍ය තුළ ඔවුන් දෙදෙනාගේ ගිණුමට සම්බන්ධ වී සිටි සහ ඔවුන්ගේ ඡායාරූප වෙත ප්‍රවේශ විය හැකි සියලු ම පිරිමි පුද්ගලයින්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කළහ.

 

මිතුරියන් දෙදෙනා නිගමනය කළේ, එය ජෝඩිගේ හිටපු පෙම්වතා සිදු කරන්නක් බවට ය. ජෝඩි ඍජුව ඔහු අමතා පසුව ඔහුගේ ගිණුම අවහිර කර දැමුවා ය.

 

මාස කිහිපයක් එවැනි පළ කිරීම් සිදුවීම නතර වී තිබුණු නමුත් පසුව යම් පුද්ගලයෙක් නිර්නාමිකව විද්‍යුත් තැපෑල හරහා පණිවිඩයක් එවීය.

 

එහි සඳහන් වූයේ, "නිර්නාමිකව කතා කරන්න සිද්ධ වුණ එකට සමාවෙන්න, ඒත් මම දැක්කා Reddit සමාජ මාධ්‍ය අඩවියේ විකාර subreddits ඇතුළේ මෙන්න මේ මිනිහා ඔයාගේ පින්තුර පෝස්ට් කරනවා. මම දන්නවා මේක අනිවාර්යයෙන් ම මහ භයානක දෙයක් කියලා."

 

deep fake 1

 

එම ඊ මේල් පණිවිඩයේ ලබා ගත් ස්ක්‍රීන්ෂොට් එකක මෙලෙස සඳහන් විය: "කවුරු හරි කෙනෙක් ඉන්ටර්නෙට් එකේ ඔයාගේ ඡායාරූප පළ කරනවා"

 

ජෝඩි එම සබැඳිය ක්ලික් කර Reddit නමැති සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙත පිවිසියා ය. එහි පරිශීලකයෙකු ජෝඩි සහ ඇගේ මිතුරියන් දෙදෙනෙකුගේ ඡායාරූප 1, 2 සහ 3 ලෙස අංකනය කර පළ කර තිබිණි.

 

ඔන්ලයින් සිටි අනෙක් පරිශීලකයින්ට ක්‍රීඩාවකට සහභාගී වන ලෙසට ආරාධනා කර තිබුණේ, 'ඔබ මෙම කාන්තාවන්ගෙන් කා සමග ද ලිංගික එක් වන්න, විවාහ වන්න හෝ කාව ද මරා දමන්න කැමති' යනුවෙන් සඳහන් කරමිනි.

 

එම පෝස්ටුවට පහළින් 55 දෙනෙකු ඒ වන විටත් කමෙන්ට් කර තිබිණි.

 

මෙම වෙබ් අඩවියේ භාවිත කර තිබුණු ඡායාරූප මෑත කාලීන ඒවා වූ අතර ඒවා පළ කර තිබුණේ, ඩේසි ඇගේ හිටපු පෙම්වතා බ්ලොක් කිරීමෙන් පසුව ය. ඔවුන් දොස් පවරා ඇත්තේ වැරදි පුද්ගලයාට බව ඔවුන්ට වැටහිණි.

 

තවත් සති 6කට පසු මීට පෙර ඊමේල් පණිවිඩය එවූ පුද්ගලයාගෙන් ම යළිත් පණිවිඩයක් ලැබිණි. මෙවර එහි සඳහන් කර තිබුණේ ඩීප්ෆේක්ස්‌ (deepfakes) ගැන ය.

 

'බරපතළ පාවා දීමක්'

 

මිතුරන්ගේ ලැයිස්තුව සකස් කිරීමේදී ජෝඩි සහ ඩේසි ඔවුන් විශ්වාසය තැබූ තම පවුලේ සාමාජිකයින් සහ ජෝඩිගේ හොඳ ම මිතුරා වන ඇලෙක්ස් වුල්ෆ් වැනි පුද්ගලයින් අතළොස්සක් නොසලකා හැරියේ ය.

 

නව යොවුන් වියේ පසු වූ ජෝඩිගේ සහ ඇලෙක්ස්ගේ දැඩි මිත්‍රත්වය වැඩෙන්නේ, ඔවුන් දෙදෙනා ම සම්භාව්‍ය සංගීතය පිළිබඳව දැක්වූ කැමැත්ත හේතුවෙනි.

 

deep fake 2

තම නම සහ ඡායාරූප තමන්ගේ අවසරයකින් තොරව ඩේටින්ග් ඇප්වල පළ වී ඇති බව සොයා ගත් අවස්ථාවේ ජෝඩි සැනසුම පැතුවේ වුල්ෆ්ගෙනි.

 

වුල්ෆ් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සංගීතය සඳහා පළමු පෙළ සාමාර්ථ දෙකක් ලබා ගත් අතර BBC Young Composer of the Year 2012 තරගය ද ජය ගත්තේ ය. එමෙන් ම 2021 වසරේදී Mastermind වැඩසටහනට ද සහභාගී විය.

 

"ඔහු [වුල්ෆ්] විශේෂයෙන් ම ඉන්ටර්නෙට් තුළ කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන ඉතා හොඳින් දැන සිටියා," ජෝඩි පවසයි.


"මට ඇත්තට ම දැනුනේ ඔහු හොඳ සහයකයෙක් කියලා."

 

කෙසේ වෙතත්, ඇය ඩීප්ෆේක් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර තිබුණු ඡායාරූප දුටු අවස්ථාවේ කේම්බ්‍රිජ්හි කිංග්ස් විද්‍යාලය පසුපසින් දර්ශනය වන ඇයගේ ගිණුමේ තිබුණු ඡායාරූපයක් එහි ද විය.

 

එය ගත් අයුරු, එනම් වුල්ෆ් ද එම ඡායාරූපයේ සිටි බව ඇයට හොඳින් මතක තිබිණි. ඇය එම ඡායාරූපය ශෙයාර් කළ එක ම පුද්ගලයා ඔහු විය.

 

deep fake 3

 

ජෝඩිගේ තවත් ඡායාරූප ඩීප්ෆේක් තාක්ෂණය යොදාගෙන ව්‍යාජ ඒවා බවට පත් කිරීම සඳහා හුවමාරු කර ගැනීමට ඉදිරිපත් වී තිබුණු පුද්ගලයා වූයේ වුල්ෆ් ය.

 

"ඒක මගේ ජීවිතයට කොච්චර නරක විදිහට බලපානවා ද කියලා ඔහු දැනගෙන හිටියා," ජෝඩි පවසයි. "ඒත් එයා ඒක නැවැත්තුවේ නැහැ."

 

'අතිශයින් ලජ්ජාවට පත් වෙනවා'

 

2021 වසරේ අගෝස්තු මාසයේදී, 26 හැවිරිදි වුල්ෆ්, ජෝඩි ඇතුළු කාන්තාවන් 15 දෙනෙකුගේ ඡායාරූප සමාජ මාධ්‍යවලින් ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවි වෙත උඩුගත කිරීම සම්බන්ධයෙන් වරදකරු විය.

 

ඔහුට වසර දෙකකට අත්හිටුවන ලද සති 20ක සිර දඬුවමක් ලබා දුන් අතර, එක් එක් වින්දිතයා වෙනුවෙන් පවුම් 100ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද නියෝග කෙරිණි.

 

වුල්ෆ් බීබීසීය වෙත පැවසුවේ, දඬුවමට ලක් වීමට තුඩු දුන් හැසිරීම සම්බන්ධයෙන් තමන් "අතිශයින් ලැජ්ජාවට පත්වන" බව ත්, තම ක්‍රියාවන් ගැන "දැඩි කණගාටුව" පළ කරන බව ත් ය.

 

"මම හැමදාම මම දීපු දුක් ගින්දර ගැන හිතනවා. මගේ ජීවිත කාලය පුරාවට ම ඒක සිද්ධ වෙන බවට කිසි ම සැකයක් නැහැ," ඔහු පවසයි.

 

"මම කරපු දේට කිසි ම නිදහසට කරුණක් නැහැ. ඒ වගේ ම ඒ වෙලාවේ මේ ආවේගයත් එක්ක මේ තරම් නින්දිත විදිහට ක්‍රියා කළේ ඇයි ද කියල මට පැහැදිලි කරන්න අමාරුයි."

 

තමාට දඬුවම් නියම වූ සිදුවීම්වලට පෙර ජෝඩිට සිදු වුණු හිරිහැරවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව වුල්ෆ් පවසයි.

 

ජෝඩිට, ඇගේ මිතුරා කළ දේ සොයා ගැනීම "බරපතළ පාවා දීමක් වගේ ම නින්දාවක්" විය.

 

ඇය මෙසේ පවසයි: "එයා මාව සනසපු, මට උදව්වුණු, කරුණාවන්ත වෙච්ච හැම කතා බහක් ගැන ම මම ආපහු මතක් කරලා බැලුවා. ඒ හැමදේම බොරුවක්."

 

අපි මෙම පොස්ට් පිළිබඳව විමසීමට X, (මීට පෙර ට්විටර්) සහ Reddit සම්බන්ධ කර ගත්තෙමු. X ප්‍රතිචාර නොදැක්වූ නමුත්, Redditහි ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය: "අසභ්‍ය අන්තර්ගතයන් සඳහා Redditහි ඉඩක් නොමැත. ප්‍රශ්නගත සමූහය (subreddit) තහනමට ලක් කර තිබේ." අදාළ අසභ්‍ය වෙබ් අඩවිය ද ඉවත් කර ඇත.

 

2023 ඔක්තෝබර් මාසයේදී, ඔන්ලයින් ආරක්ෂණ පනතේ කොටසක් ලෙස ඩීප්ෆේක් අසභ්‍ය දර්ශන බෙදාගැනීම සාපරාධී වරදක් බවට පත් විය.

 

ඉන්ටර්නෙට්හි ඩීප්ෆේක් වීඩියෝ දස දහස් ගණනක් ඇත. මෑත කාලීන පර්යේෂණ මගින් සොයාගෙන ඇත්තේ ඒවායින් 98%ක් ම අසභ්‍ය දර්ශන අන්තර්ගත වීඩියෝ බව ය.

 

කෙසේ වෙතත්, ඇලෙක්ස් වුල්ෆ් සිදු කළ ආකාරයට ඩීප්ෆේක් අන්තර්ගත නිර්මාණය කර දෙන ලෙසට වෙනත් පාර්ශවවලින් උදව් ඉල්ලා සිටින පුද්ගලයින් නව නීතිය යටතේ අපරාධකරුවෙකු නොවීම සම්බන්ධයෙන් ජෝඩිට ඇත්තේ දැඩි කෝපයකි. ඩීප්ෆේක් අන්තර්ගතයන් නිර්මාණය කිරීම ද නීති විරෝධී නොවේ.


"මේක දහස් ගණනක් කාන්තාවන්ට බලපාන අතර ම මිනිස්සු මේ වගේ දේවල් කිරීමෙන් වළක්වන්න නිසි නීති සහ මෙවලම් අප සතුව තිබිය යුතු යි," ඇය පවසයි.

 
(කේට් වෙස්ට්)
BBC File on 4

[උපුටා ගැනීම - BBC සිංහල සේවය]



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...