ස්ටාලින් DMK පක්ෂය බලයෙන් අල්ලා ගත්තේ නැත. ඔහු එහි බලය ඇල්ලුවේ දශක ගණනාවක් පක්ෂය තුළ සිටිමින්, කැරලි නොගසා, පක්ෂය නොබෙදාය. තම පියා සහ හිටපු මහ ඇමති එම්. කරුණානිධිගේ අධිකාරියට ප්‍රසිද්ධියේ අභියෝග නොකරමින් ඉතා සෙමින් වේදනාකාරී ලෙසිනි.
ස්ටාලින්ගේ නැගීඒම ඉවසිලිමත් මෙන්ම විනයගරුක සහ සංවිධානමය වූ එකකි. සඳුදා ලැබුණු ජනතා තීන්දුව ඔහුගේ ආධාරකරුවන්ට ඉතා කුරිරු එකක් ලෙස පෙනුණේ එබැවිනි.
කොලතූර් පරාජය...

DMK පක්ෂයට ප්‍රාන්ත බලය අහිමි වීම පැහැදිලි කළ හැකි දෙයක් විය හැකිය. එහෙත් 2011 සිට තමාගේ බලකොටුවක් වූ කොලතූර් ආසනයේදීම ස්ටාලින් පරාජය වීම සාමාන්‍ය පාලනවිරෝධී රැල්ලකට වඩා දෙයක් පෙන්වයි. 2021 දී විශාල ඡන්ද ප්‍රතිශතයකින් ජයගත් එම ආසනයේදී TVK පක්ෂයේ වී. එස්. බාබු ඔහු පරාජය කළේ ඡන්ද 9,000කට ආසන්න පරතරයකිනි. එය තම ආසනයේදී පරාජයට පත් වූ තමිල්නාඩු මහ ඇමතිවරුන් අතර දුර්ලභ සිදුවීමකි.
ඔහු සමඟ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන දුරයි මුරුගන්, පී. ගීතා ජීවන්, මා සුබ්‍රමනියන්, ටී.එම්. අන්බරාසන්, නසාර්, මතිවෙන්තන් සහ ටී. ආර්. බී. රාජා ද පරාජයට පත්වූහ.
“ජනතාවගේ තීන්දුවට අපි හිස නමා එය පිළිගනිමු. ජයග්‍රාහකයන්ට සුබ පැතුම්!” යැයි ස්ටාලින් X සමාජ මාධ්‍යයේ සඳහන් කළේය.
“පසුගිය වසර පහ තුළ අපි බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. තමිල්නාඩුව සියලු අංශවලින් ඉහළ නැංවුවා. මැතිවරණයේදී අපි ජනතාවගෙන් ඡන්ද ඉල්ලුවේ අපගේ ජයග්‍රහණ සහ සුබසාධන වැඩපිළිවෙළ ගැන කතා කරමින් පමණයි. මට ඡන්දය දුන් අයට පමණක් නෙවෙයි. ඡන්දය නොදුන් අයගේ යහපත වෙනුවෙන්ද ප්‍රාන්තය පාලනය කළා. මගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කළා. මගේ ශක්තිය ඉක්මවා මහන්සි වුණා” ස්ටාලින්ට යම් වේදනාවක් ඇති බව ඔහුගේ වචනවලින් පෙනේ.
“ජය පරාජයට වඩා වැදගත් වන්නේ අපගේ ප්‍රතිපත්ති සහ ආදර්ශ බව මම විශ්වාස කරනවා. ඒ නිසා DMK පක්ෂයේ දේශපාලන ගමන නතර වන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් ආදර්ශවත් ආණ්ඩු පක්ෂයක් වූ DMK, ඉදිරියේදී ආදර්ශවත් විපක්ෂයක් ලෙස කටයුතු කරනු ඇති,” ස්ටාලින් සටන අතහැර නැත.
ස්ටාලින්ගේ ආණ්ඩුවට දුර්වලතා නොතිබුණේ නැත. පොලිස් ක්‍රියාමාර්ගවල වැරැදි, පරිපාලන අසමත්කම්, අනවශ්‍ය මතභේද සහ රාජ්‍ය යන්ත්‍රණයේ කොටස් පාලනය කර ගැනීමේ දුර්වලතාවක් තිබූ බවට චෝදනා මතු විය. එහෙත් එම කරුණු පමණක් මෙතරම් දැවැන්ත ජනතා ප්‍රතික්ෂේපයක් පැහැදිලි කිරීමට ප්‍රමාණවත් නොවේ.
විශාල ජනතා කෝපයක් නොතිබුණද, දූෂණය පිළිබඳ හැඟීමක් ජන මනස තුළ ගොඩනැගුණි. එය නීතිමය ලෙස සනාථ නොවූවත්, ජනතාව විශ්වාස කළ දෙයක් විය. තමිල්නාඩු දේශපාලනයේදී, සංජානනය ලේඛනවලට වඩා වේගයෙන් පැතිරෙයි.
මත්පැන් අලෙවිසැලේ රුපියල් 10..

විජයගේ ප්‍රචාරක ව්‍යාපාරය පුරාම TASMAC මත්පැන් අලෙවිසැල්වල “රුපියල් 10” අමතර අයකිරීම පිළිබඳ චෝදනාව ප්‍රධාන මාතෘකාවක් විය. එය හිටපු අමාත්‍ය වී. සෙන්තිල් බාලාජි ඉලක්ක කරගෙන එල්ල වූ චෝදනාවකි. AIADMK පක්ෂය TASMAC හරහා දිනපතා කෝටි ගණනක දූෂණයක් සිදුවන බවට පෙර චෝදනා කළ අතර, බාලාජි එය ප්‍රතික්ෂේප කර තිබුණි.
කරුර් රැලියේදී විජය විසින් බාලාජි “රුපියල් 10 ඇමතිවරයා” ලෙස හඳුන්වනු ලැබීම ජනතාවට දේශපාලන මතකයේ තදින් රැඳුණි. ඒ සමඟම ස්ටාලින්ගේ පවුලට ආසන්න බල කේන්ද්‍ර, ඩුබායි සංචාර, සුඛෝපභෝගී ඔරලෝසු සහ ව්‍යාපාර ජාල පිළිබඳ කතාබහක් ද ජනතාව අතර පැතිර ගියේය.
එම කතා සමහරක් සම්පූර්ණයෙන්ම අසත්‍ය විය හැකිය. සමහරක් සැක පමණක් විය හැකිය. තවත් සමහරක් සත්‍යයක් අඩංගු විය හැකිය. එහෙත් මැතිවරණමය වශයෙන් වැදගත් වූයේ, එම කතා ජනතා සිත තුළට ඇතුළු වී තිබීමයි.
DMK පක්ෂයට මෙය අලුත් දෙයක් නොවිය හැකිය. ජයලලිතා සමයේ AIADMK පක්ෂයද මෙවැනි චෝදනාවලට මුහුණ දී තිබුණි. එබැවින් DMK පක්ෂය තමන් පමණක් වැරදිකරුවන් නොවන බව සිතන්නට ඇත.

ස්ටාලින්ට කිසිදා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන නායකයෙකුගේ ප්‍රතිරූපය නොතිබුණි. විදේශ සංචාර හෝ වර්ණවත් පෞද්ගලික ජීවිතයක් සඳහා ඔහු ප්‍රසිද්ධ නොවීය. එහෙත් එම සීමාසහගත පෞරුෂය ඔහුගේ පුත්‍රයා සහ බෑණා වෙත එල්ල වූ ජනතා අකමැත්තෙන් ඔහුව ආරක්ෂා කළේ නැත.
උදයනිධි ස්ටාලින්ගේ ප්‍රතිරූපය..
ස්ටාලින්ගේ පුත්‍රයා වූ උදයනිධි ස්ටාලින්ගේ ඉහළ නැංවීම DMK පක්ෂයට බරක් බවට පත්විය. ඔහු චෙපෝක්-තිරුවල්ලිකේණි ආසනය රඳවා ගත්තද, ඔහුගේ නැගී ඒම පක්ෂයේ ප්‍රතිරූපයට සිදු කළ හානිය එයින් මකා දැමීමට නොහැකි විය.
විවේචකයන්ගේ දෘෂ්ටියේදී, උදයනිධි 'සුදුසු බරක් නැතිව බලය සහ මුදල් උරුම වූ පුද්ගලයෙකු' ලෙස පෙනුණි. 'සනාතන ධර්මය' පිළිබඳ ඔහු කළ ප්‍රකාශ ජාතික මතභේදයක් ඇති කළ අතර, පසුව මදුරාසි මහාධිකරණය විසින් එය වෛර ප්‍රකාශයක් ලෙස විවේචනය කරන ලදී.
එය විරුද්ධවාදීන්ට ප්‍රබල දේශපාලන ආයුධයක් විය. DMK හි නව පරපුර ආගමික විශ්වාසවල ගැඹුර නොතේරෙමින් ඒවාට අපහාස කරන බවට චෝදනා කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි.

අවසානයේදී, මෙය ආණ්ඩුවකට එරෙහි ඡන්දයක් පමණක් නොවීය. එය පුරුදු බලයට එරෙහි ඡන්දයක් විය. පවුල්වාදයට, දූෂණ චෝදනාවලට, අහංකාරයට සහ ජනතා සුබසාධනය පමණක් ජනතා කෝපය පාලනය කිරීමට ප්‍රමාණවත් යැයි විශ්වාස කිරීමට එරෙහි තීන්දුවක් විය.
DMK නැවත ගොඩනැගීමට උත්සාහ කරනවා නම්, මෙම අසීරු ප්‍රශ්නවලට සහ ඊටත් වඩා අසීරු පිළිතුරු වලට මුහුණ දීමට සිදුවනු ඇත.
ස්ටාලින් බලය උරුම කරගැනීමට දශක ගණනාවක් බලා සිටියේය. ඒ උරුම බලය කෙතරම් අස්ථාවරදැයි පෙන්වීමට විජයට අවශ්‍ය වූයේ එක් මැතිවරණයක් පමණි.
(Why the DMK lost: Beyond anti-Incumbency, a vote against familiar power මැයෙන් Indian express හි අරුන් ජනර්ධනන් විසින් රචිත ලිපියේ අනුවාදයකි)
(සැකසුම : ගිම්හාන් ද සිල්වා )




