*හිමිකරුවන් සිටින සුනඛයන්ගෙන් සීයට අසූවක් නිදැල්ලේ
*ම්ලේච්ඡ ඝාතන යුගයට ආපසු යෑම විසඳුමක් නොවේ!

මිනිස්සු සුරතලයට ඇතිකරන විවිධාකාරයේ සත්වයින් අතරින් සුනඛයාට සුවිශේෂී තැනක් හිමිවන්නේ ඌ මිනිසාට දක්වන ආදරය, ළෙන්ගතුකම, සහ පක්ෂපාතීත්වය නිසා ය. ලාංකික සමාජය තුළත් සුනඛයින් ඇති කිරීමට දිගුකාලීන ඉතිහාසයක් ඇති අතර එය විලාසිතාවක් ලෙසද වත්මන් සංස්කෘතියට එක්ව තිබේ. එවැනි පසුබිමක් තිබියදීත් ජලභීතිකා රෝගය තවමත් මුලිනුපුටා දැමීමට හැකි වී නැත. වඩාත් කනගාටුවට කරුණ නම්, මහජනතාවගේ සහ රට තුළ වසන සත්ත්ව ප්‍රජාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ආචාරධර්මිකව බැඳී සිටින රජය සුනඛයන්ට ම දොස් පවරා වගකීම් පැහැර හරින තැනට තල්ලු වී සිටීමය.
දකුණු ලක සුරකින දෙස් විදෙස් සහෝදරත්වය
රජයේ කාර්යභාරය කෙසේ වුවත්, දැනට මෙරට සත්ව සුභසාධන සංවිධාන පුළුල් දැක්මක් හා අඛණ්ඩ වැඩපිළිවෙළක් සහිතව සුනඛ ගහනය පාලනය කිරීමෙහිලා සක්‍රීයව කටයුතු කරන බව සඳහන් කළ යුතුමය. මෙරට සංචාරක පුරවරයක් වන දකුණු පළාතේ ගාල්ල, හබරාදූව, ඉමදුව හා අක්මීමන කේන්ද්‍රීයව ක්‍රියාත්මක වෙන Dog Care Clinic සංවිධානය විශාලතම සත්ව සුබසාධන සංවිධානය ලෙස සැලකේ.

ජර්මානු ජාතික Marina Mobius විසින් 2004 වසරේදී Dog Care Clinic සංවිධානය ආරම්භ කළේ එම ප්‍රදේශයේ ජීවත්වන වීදි සුනඛයින්ගේ දුක්ඛිත හා අසරණභාවයෙන් ඔවුන් මුදවා ගැනීමේ අරමුණෙනි. දෙස් විදෙස් පශු වෛද්‍යවරුන්ගේ පුහුණුවද ලැබූ ඇය, සිය කාර්යමණ්ඩලය සමඟින් නිශ්චිත හිමිකරුවන් නොමැති ප්‍රජා සුනඛයින්ට වන්ධ්‍යාකරණ සැත්කම් කිරීම, ජලභීතිකා එන්නත් ලබාදීම, වෙනත් රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීම හා තම සුරතලාට මෙම ප්‍රතිකාර ලබාදීමේ මූල්‍ය ශක්තිය අහිමි ප්‍රජාවට නොමිලේ මෙම සේවාවන් ලබාදීම නොකඩවා සිදු කරන්නේ විසි එක් වසක් තිස්සේ ය .
සීමිත මූල්‍ය ශක්තියක් සහිතව වුවද මෙහි නිර්මාතෘවරිය දෙස් විදෙස් සත්ත්ව හිතකාමීන්ගෙන් ලැබෙන ආධාර සහ තම පෞද්ගලික ධනය වැය කරමින් Marina Mobius Dog Care Clinic හරහා සුනඛයින්ගේ ගහනයේ අර්බුදයට විසඳුම් සපයන්නට වෙර දරන්නී ය. නවීන විද්‍යාගාරයක් හා අංග සම්පූර්ණ ශල්‍යාගාරයක් සහිත Dog Care Clinic සංවිධානය ප්‍රමිතිගතව ලංකාවේ සුනඛයින්ගේ ජීවිත රැකගනිමින්, ඔවුන්ගේ යහපැවැත්ම උදෙසා භාරදූර ක්‍රියාවලියක නිරත වෙයි.
නවීන පහසුකම්වලින් සමන්විත ශල්‍යාගාරය
2025 වසර වන විට සුනඛයින්ගේ හා බළලුන්ගේ වන්ධ්‍යාකරණ සැත්කම් 100,000ක් සාර්ථකව නිම කරමින් Dog Care Clinic සනිටුහන් කළේ සිය ගමන්මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයකි. ඊට අමතරව සුනඛයින් හා බළලුන් 600,000 අධික සංඛ්‍යාවකට එන්නත්කරණය කිරීම, 560,000 කට ආසන්න සුනඛයින් හා බළලුන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කිරීම Dog Care Clinic මෙතෙක් ගෙන ආ මානුෂීය මෙහෙවරට අයත්ය.
මේ වන විට Dog Care Clinic සංවිධානය සිය වැඩසටහන් දකුණු පළාතේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළට ද ව්‍යාප්තකර ඇත.
සංචාරක කර්මාන්තයට වීදි සුනඛයන් තර්ජනයක් ද?
චමිත් නානායක්කාර
සංචාරක ආකර්ෂණයට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් බව හුවාදක්වමින් වීදි සුනඛයන් හා ප්‍රජා සුනඛයන් විතැන් කිරීම සහ පලවාහැරීමේ අරමුණින් උන්ට හිංසා පීඩා කිරීම පසුගිය වකවානුව තුළ වාර්තා වුණේ වරක් දෙවරක් නොවේ. Dog Care Clinicහි අධ්‍යක්‍ෂවරයෙකු හා ජ්‍යෙෂ්ඨ දේශකවරයෙකු ලෙස ක්‍රියාකරන, දිවයිනේ ප්‍රමුඛ සත්ව සුබසාධන ක්‍රියාධරයෙකු සහ මානුෂීය සත්ව ගහණ පාලනය පිළිබඳ විශේෂඥයකු වන පශු වෛද්‍ය චමිත් නානායක්කාරට අනුව ලංකාවේ සුනඛ ගහනය තුළ අයාලේ යන සුනඛයින් 3%ක්, අයිතිකරුවන් සිටින - කූඩුවල දමා ඇති කරන සුනඛයින් 10%ක්, අයිතිකරුවන් සිටින - නිදැල්ලේ සැරිසරන සුනඛයින් 70%ක් හා පොදු ස්ථානවල ජීවත්වන සුනඛයින් 8%ක් ලෙස හඳුනා ගත හැක.
මොවුන් සියල්ලන්ගේ ම ආරක්‍ෂාව හා පැවැත්ම පවත්වා ගැනීමත්, ඔවුන්ගෙන් ප්‍රජාවට සිදුවන අහිතකර බලපෑම් වැළැක්වීමට කටයුතු කිරීමත් රජයට මෙන්ම මුළුමහත් සමාජයටත් මගහැරිය නොහැකි වගකීමකි. මහමඟ සිදුවන සුනඛ සපාකෑම්, සුනඛයින්ගේ රෝගී තත්ව හමුවේ සාමාන්‍ය ජනතාව මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ද මුහුණපාන අර්බුදකාරී තත්ත්වයන්ට විසඳුම වන්නේ සුනඛ ගහනය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමත්, රෝගී සුනඛයින්ට ප්‍රතිකාර කිරීමත්, සුනඛයින් හිමි අයට තම සුනඛයා රැකබලා ගැනීම පිළිබඳ වගකීම පැවරීමත් මිස සුනඛයන් සමූලඝාතනය කිරීම නොවේ.
සායනික කණ්ඩායම
නමුත් අභාග්‍යයට කාරණය නම් මේකී පියවරයන් ක්‍රියාත්මක කිරීමෙහි ලා ප්‍රමුඛත්වය ගත යුතු රජය ඊට සැලකිය යුතු අවධානයක් ලබා නොදීමයි. පසු විපරම් නොකරන, අඛණ්ඩ සැලසුමක් රහිත වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කර, පසුව වන්ධ්‍යාකරණය ජලභීතිකාව වැළැක්වීමට සාර්ථක ක්‍රමවේදයක් නොවේ යැයි ඒ අසාර්ථක වැඩපිළිවෙළට මුල් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ම ප්‍රකාශ කිරීම, 2006 වසරට පෙර ක්‍රියාත්මක කළ සුනඛ ඝාතනය යළිත් පණ ගැන්වීමට ඔවුන් සූදානම් වන බවට ප්‍රබල රතු එළියකි. සුනඛ ඝාතනය ද සුනඛ ගහණය පාලනයට නිසි විසඳුමක් නොවූ බවට දැනට ලංකාවේ සිටින ලක්ෂ විසිහයක සුනඛ ගහණය සාක්ෂි දරයි. අනෙක් අතට, සමාජයක් ලෙස අප පසු කර පැමිණි ම්ලේච්ඡත්වයක් යළි වැලඳගැනීම ශිෂ්ටාචාරයේ පසුපසට ගමන් කිරීමකි.
ජලභීතිකාවට තිත තියන්න, මේ පාරෙන් එන්න
සායනයේ රැකවරණය ලබන සුනඛ සුරතලුන්
මෙසේ ලංකාව පුරා සත්ත්ව සුබසාධන සංවිධාන ස්වෙච්ඡාවෙන් ක්‍රියාත්මක කරන ජලභීතීකාව තුරන් කිරීමේ කාර්යයන් සඵලදායී කිරීමට රාජ්‍ය සහයෝගය සහ අනුග්‍රහය ලැබෙන්නේ නම් එය මෙම ගැටලුව පහසුවෙන් නිමා කළ හැකි බව පශුවෛද්‍ය චමිත් නානායක්කාර පවසයි. 2008 වසරේ සිදු වූ ජලභීතිකා මරණ අනුපාතයට වඩා මේ වසර වන විට මරණ අනුපාතය අඩුවීමක් දක්නට ලැබීම සත්ත්ව සුබසාධන සංවිධානයන්හි සැලසුම්ගත සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන්වල සාර්ථකත්වය පෙන්නුම් කරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
සුනඛයින්ගේ යහපැවැත්ම තහවුරු කරමින්, මහජනතාවගේ ද ආරක්ෂාව සුරක්ෂිත කිරීමට මෙවන් වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම පුරවැසියන් වශයෙන් අප සැමට පොදු සමාජ වගකීමකි. අප ඒ වගකීමට උරදුන් දාක ජලභීතිකාවෙන් තොර රටක ජීවත් වීම අපට තවදුරටත් සිහිනයක් නොවනු ඇත.




