The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විනයගරුක විහිළුව - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 2, 2022 • 6:42 AM

විනයගරුක විහිළුව - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වූ එක් මූලික සිස්ටම් චේන්ජ් එකක් වන්නේ “විනයගරුක” සමාජයක් හැදීමයි.
  • මිලිටරි පන්නයේ විනයක් එයින් හැඟවෙන බව අපගේ අදහස විය.
  • නමුත් එහි සැබෑ අදහස වුණේ මේ රටේ “ක්‍රමවත් භාවයක්” ඇති කිරීමයි.
  • “වැරදි කරන අයට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය” යන්න එය ඇතැමුන් විසින් තේරුම්ගත් තවත් විදිහකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වූ එක් මූලික සිස්ටම් චේන්ජ් එකක් වන්නේ “විනයගරුක” සමාජයක් හැදීමයි. සති කිහිපයකට පෙර මුණගැසුණු ජවිපෙ සාමාජිකයෙක් පවා මට කීවේ “ගෝඨා ආවම මේකෙ ඩිසිප්ලින් එක ටිකක් හැදෙයි කියලා අපි හිතුවා” කියාය.


වියත්මග එකල ප්‍රමුඛ සාමාජිකයන් අතර මේ “විනයගරුක රටක් හැදීම” නිතර සාකච්ඡා වූ කාරණයකි. එහිදී “ඩිසිප්ලින්” යන වචනය භාවිතා කිරීම පිළිබඳව විවාදයක් පැන නැගිණි. මිලිටරි පන්නයේ විනයක් එයින් හැඟවෙන බව අපගේ අදහස විය. එයට සැලකිය යුතු ප්‍රතිරෝධී කැම්පේන් එකක් විරුද්ධ පාක්ෂිකයන් වෙතින් එකල දැකගන්නටත් ලැබිණි.


නමුත් එහි සැබෑ අදහස වුණේ මේ රටේ “ක්‍රමවත් භාවයක්” ඇති කිරීමයි. එහෙමත් නැත්නම් පිළිවෙලකට වැඩකරන සමාජයක් හැදීමයි. සංකීර්ණ ජීවන රටාවෙන් මිදී සරල දිවිපෙවතක් පුරුදු කිරීම එහි තවත් පැත්තකි. “වැරදි නොකරන” සමාජයක් හැදීම එහි තවත් අර්ථ කථනයකි. “වැරදි කරන අයට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය” යන්න එය ඇතැමුන් විසින් තේරුම්ගත් තවත් විදිහකි. නමුත් මේ අපේක්ෂාව තනිකරම විහිළුවකි.

 

හැමදෙයක්ම සංකර වෙමින් අවුල් වෙමින් අක්‍රමවත් වෙමින් අසමාන වෙමින් ව්‍යාකූල වෙමින් අව්‍යකෘත වෙමින් තිබෙන විශ්වයක ලංකාව පමණක් විනයගරුක කිරීම අතාර්කිකය. එය කළ නොහැක්කකි. එය බොළඳ අපේක්ෂාවකි. නැත. එය අති අහංකාර මහේච්ඡාවකි. “විශ්ව සත්‍යයට අපට අභියෝග කළ හැකියි” සිතන ටයිටැනික් සිතුවිල්ලකි. ගෝඨාභයට තබා මහා බ්‍රහ්මයාටවත් මේ රට විනයගරුක කළ නොහැකිය.

 

ගෝඨාභය ජනපතිධූරයේ මුල් කාලයේ එවැනි විනයක් ඇතිවෙමින් තිබිණි. පාරේ වාහන ටිකක් පිළිවෙලකට යන්නට විය. කොළඹ කුණු ප්‍රශ්නය විසඳිනි. පාතාලයට වැට බැඳිණි. ආගම්වාදී හයිකාරකම් නැවතිණි. තරුණ තරුණියන් ඉතාම උද්‍යෝගයෙන් තාප්පවල පෝස්ටර් ඉරා දමා චිත්‍ර අඳින්නට විය. කෝවිඩ් එන්නත්කරණය සිදුකළ ක්‍රමවත් භාවය පිළිබඳව ෆේස්බුක් ප්‍රශස්ති ලියැවිණි. නමුත් ඒවා සිදුකළ අයම ඒ සියල්ල විනාශ කරමින් අන්තිම අවිනීත අරගලයක් කර නැවතත් සිස්ටම් එක අවුල්ජාලයක් බවට පත් කළෝය. එය අර විශ්ව සත්‍යයයේ නොවැළක්විය හැකි ප්‍රකාශනයයි.


දේශපාලනිකව ගත්තොත් සමාජයක් විනයගරුක කිරීම අතිශය අවාසිදායකය. බලය පවත්වාගැනීමට නම් අමන ජනතාව අවුලෙහි ඔකියුපයි කර තැබිය යුතුය. විශේෂයෙන්ම ලංකාව වැනි අල්ට්‍රා එන්ට්‍රපියක් තිබෙන සමාජයක් පවත්වාගෙන යෑම සඳහා දිනපතා අවිනීත දේ සිදුවීම වැළැක්වීම නොකළ යුතුය. වෙනත් ඕනෑම රටක වෙන ආකාරයේ අවිනීත ක්‍රියා වෙන්නට ඉඩ දීම දේශපාලනිකව ඉතා වැදගත්ය.


එවැනි අවිනීත ක්‍රියා නැති වුණොත් මෙරට පත්තරකාරයන්ට ලියන්නට දෙයක් නැතිවේ. ඒ පත්තර උදේට කියවන චාටර් චතුරලාට කියන්නට දෙයක් නැතිවේ. ඒ කියවන බහුබූත අසා බලා සැප දුක් වේදනාවට පත්වෙන නුදී ජනයාට ආශ්වාද නැතිවේ. ඒ ආශ්වාද සඳහා දාර්ශනික ෆ්‍රේම් හදන්නට නිර්මාල්ට අවස්ථාව නැතිවේ. ඒ ෆ්‍රේම් කිච කිරීමට ගිනිගේට ටේන්මන්ට් නැතිවේ. විනයගරුක සමාජයක් යනු පට්ට බෝරින් සමාජයකි. විශ්වය ඉන්ටරෙස්ටින් වෙන්නේ එය අවුල් වෙන තරමටය.


අවුලක් පේන්න නැත්නම් අවුලක් හැදිය යුතුය. අර්බුද නිර්මාණය කළ යුතුය. එන්ට්‍රපිය වැඩි කළ යුතුය. සියල්ල අවුල් කළ යුතුය. පැවැත්ම තහවුරු වන්නේ එවිටය. විනයගරුක වීම යනු පැවැත්මට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකි. පැවැත්මට ප්‍රතිවිරුද්ධ වීමට කළ හැකි එකම දෙය නිවනයි.

ධර්මය අපට මග වේවා!



ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 නොවැම්බර් 2


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...