The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

මහිලාල් ද සිල්වා : අඟහරු මත ජීවය සොයන Exomars රෝවරයේ තාක්ෂණික ප්‍රධානීයා

T

The Leader Desk

August 7, 2023 • 11:38 AM

මහිලාල් ද සිල්වා : අඟහරු මත ජීවය සොයන Exomars රෝවරයේ තාක්ෂණික ප්‍රධානීයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඟහරු ග්‍රහයා මත ජීවය සොයන දැවැන්ත ව්‍යාපෘතියක තාක්ෂණික ප්‍රධානියෙකු ලෙස ක්‍රියා කරන ශ්‍රී ලාංකිකයෙකු බීබීසී සිංහල සේවයේ පාඨකයින් වෙත හඳුන්වා දීමට අපට අවස්ථාවක් උදා විය.
  • අඟහරු ලෝකයේ ජීවය පිළිබඳව පර්යේෂණ සඳහා ක්‍රියාත්මක කෙරෙන රොබෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන Exomars නමැති රෝවරයේ තාක්ෂණික අංශයේ ප්‍රධානියා ලෙස ඔහු ක්‍රියා කරයි.
  • ඔහුට පැවරී ඇති වගකීම වන්නේ, Exomars රෝවරය එකලස් කිරීම, ඒකාබද්ධ කිරීම සහ පරීක්ෂා කිරීම යි.
  • මහිලාල් ද සිල්වා පැමිණි ගමනේ මුල් පියවර 1976 වසරේ උපත ලැබූ මහිලාල්, පාසල් තුනකදී සිය ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය හැදෑරීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අඟහරු ග්‍රහයා මත ජීවය සොයන දැවැන්ත ව්‍යාපෘතියක තාක්ෂණික ප්‍රධානියෙකු ලෙස ක්‍රියා කරන ශ්‍රී ලාංකිකයෙකු බීබීසී සිංහල සේවයේ පාඨකයින් වෙත හඳුන්වා දීමට අපට අවස්ථාවක් උදා විය.

ඔහු ඉන්ද්‍රජිත් මහිලාල් ද සිල්වා ය. දේශීය මාධ්‍ය හරහා ඔහුගේ කාර්ය භාරය අනාවරණය කරන සහ ඔහු සමග සාකච්ඡාවක නිරත වන පළමු අවස්ථාව මෙය විය හැකි ය.

අඟහරු ලෝකයේ ජීවය පිළිබඳව පර්යේෂණ සඳහා ක්‍රියාත්මක කෙරෙන රොබෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන Exomars නමැති රෝවරයේ තාක්ෂණික අංශයේ ප්‍රධානියා ලෙස ඔහු ක්‍රියා කරයි.

ඔහුට පැවරී ඇති වගකීම වන්නේ, Exomars රෝවරය එකලස් කිරීම, ඒකාබද්ධ කිරීම සහ පරීක්ෂා කිරීම යි.

 123744581 f8ff690a 6151 459f 9eea 44f0d0ae6eff

"මම මේ ව්‍යාපෘතියේ AIT (Assembly, Integration & Test) ප්‍රධාන කාර්මික ඉන්ජිනේරු ශිල්පියා විදිහට කටයුතු කරනවා. එක්සොමාර්ස් රෝවරය එකලස් කිරීම, ඒකාබද්ධ කිරීම සහ පරීක්ෂා කිරීම මට පැවරිලා තියෙනවා," මහිලාල් ද සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය.

මහිලාල් ද සිල්වා පැමිණි ගමනේ මුල් පියවර

mahilal1976 වසරේ උපත ලැබූ මහිලාල්, පාසල් තුනකදී සිය ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය හැදෑරීය. පිළිවෙළින් එම පාසල් වූයේ, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල යි.

"මගේ පාසල් කාලය මගේ වෘත්තීය සහ අධ්‍යාපනික සාර්ථකත්වයේ පිළිබිඹුවක් කියලා කියන්න පුළුවන්. මම අධ්‍යාපනය ලැබුවා වගේ ම, 19 න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු විදිහට කටයුතු කළා. ඒ වගේ ම, මගේ අම්මා යි තාත්තා යි මේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපෑවා. ඔවුන් තමයි මට කියලා දුන්නේ, ජීවිතයට දර්ශනයක් තියා ගන්න අවශ්‍ය යි කියන එක සහ තමන් ගැන විශ්වාස කරන්න කියන එක," මහිලාල් ද සිල්වා මතකය අවදි කළේ ය.

වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වූයේ, 1999 වසරේදී ය.

ලන්ඩන්හි කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු කාර්මික ඉන්ජිනේරු ශිල්පය සම්බන්ධයෙන් උපාධියක් ලබා ගත්තේ ය.

උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කළේ, ගුවන් යානා සැලසුම් ඉන්ජිනේරුවරයෙකු, ගුවන් යානා නිෂ්පාදන ඉන්ජිනේරුවරයෙකු සහ ගුවන් යානා නඩත්තු ඉන්ජිනේරුවරයෙකු ලෙස ය.

"ඊට පස්සේ මම චන්ද්‍රිකා නිෂ්පාදනය ගැන වැඩිදුර ඉ‌ගෙන ගත්තා‍. එක්සොමාර්ස් කණ්ඩායමට එකතු වෙන්න කලින්, මම බුධ ග්‍රහයා වෙත යවපු Bepicolombo අභ්‍යවකාශ යානා ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්මික ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කළා. ඒක ගොඩක් සාර්ථක මෙහෙයුමක්," ඔහු පැවසීය.

පසුව එයාර්බස් සමාගමට එක් වුණු ඔහු වසර 15කට අධික කාලයක් එහි සේවය කරමින් සිටි අතර, එක්සොමාර්ස් කණ්ඩායමට එක්ව ඇත්තේ, ඊට සමගාමීව ය.

"මම කුඩා කාලයේ ඉඳන් ම අභ්‍යවකාශයට, අභ්‍යවකාශ වස්තූන්වලට වගේ ම ඉන්ජිනේරු ශිල්පයට ත් ගොඩක් ආසා කළා. ඒ නිසා මම ගුවන් යානාවල මූලිකාංග, නිෂ්පාදන ක්‍රියාවලිය වගේ කරුණු ගැන ලියැවුණු පොත් කියෙව්වා. ඒ වගේ ම, ග්‍රහ ලෝක, ජීවය ආදී දේවල් ගැන ත් මම කරුණු හෙව්වා."

Exomars රෝවරය

Team of engineers work on the Mars Rover build at the Airbus facility in Stevenage. Credit Max Alexander and Airbus.JPG.gallery

2020 වසරේදී අඟහරු වෙත යැවීමට සැලසුම් කර තිබූ Exomars රෝවර් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ අඟහරු ග්‍රහයා මත ජීවය ඇත්දැයි පරීක්ෂා කිරීම ය.

පසුව තවදුරට ත් පරීක්ෂා කිරීම සඳහා කල් ලබා ගනිමින් 2022 වසරේදී අඟහරු වෙත යැවීමට තීරණය කෙරිණි.

එය යුරෝපයෙන් අඟහරු වෙත යැවෙන පළමු රෝවරය වනු ඇත. එය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (European Space Agency) සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos සමග ඒකාබද්ධව සිදු කිරීමට සැලසුම් කර තිබිණි.

exo 1

කෙසේ වෙත ත්, රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාව සමග පැවති එකඟතාව අහෝසි කිරීම නිසා රෝවරය යැවීමේ කටයුතු ප්‍රමාද වී ඇතැයි මහිලාල් ද සිල්වා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, රුසියාව වෙනුවට වෙනත් අභ්‍යවකාශ ඒජන්සියක් සමග ඒකාබද්ධ වීමට මේ වන විට තීරණය කර ඇති බව ය. ‍‍ඒ අනුව, එය ඉදිරියේදී අඟහරු වෙත යැවීමට සැලසුම් කෙරෙනු ඇත.

"අඟහරු මත ජීවීන් ඉන්න බව විශ්වාස යි"

Exomars රෝවරය අඟහරු මතුපිට පෘෂ්ටයේ මීටර් 2ක් පමණ ගැඹුරට හාරා පස් සාම්පල ගැනීමට නියමිත අතර, එම පාංශු සාම්පලවල ජීවීන් හෝ ෆොසිල බවට පත්වූ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වේ ද යන්න පරීක්ෂා කිරීමට නියමිත ය.

එම පස් සාම්පල නාසා ආයතනයට අයත් Mars Organic Molecule Analyzer තුළින් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

"දැනට කරල තියෙන පර්යේෂණ අනුව අඟහරු මත ජීවයට පැවැත්මක් තියෙන්න ඕන කියල යි මට හිතෙන්නේ. ඒක තහවුරු කර ගන්න මේ ව්‍යාපෘතිය අතිශයින් වැදගත් වේවි. මේ ගැන අපි දැන් අවුරුදු 5ක විතර ඉඳන් පර්යේෂණ ගොඩක් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම අපගේ එක ම අරමුණ යි," මහිලාල් ද සිල්වා පැවසීය.

අඟහරු මත ජනපදකරණය

p03j6350

අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකරන පර්යේෂණ සඳහා ද දායක වීම මහිලාල්ගේ අරමුණ වී තිබේ.

"මම දැනට අඟහරු මත ජීවය සොයන විද්‍යාඥ කණ්ඩායමේ සාමාජිකයෙක්. ඉදිරියේදී සිදු කිරීමට නියමිත 'අඟහරු මත ජනපදකරණය' වැනි ව්‍යාපෘතිවලට ත් දායක වීම මගේ අරමුණක්."

දරුවන්ට පණිවුඩයක්

astro 4

ශ්‍රී ලංකාවේ දරුවන් තුළ කුඩා කාලයේ සිට ම අභ්‍යවකාශය පිළිබඳ කුතුහලයක් ඇති කළ යුතු ය යන්න මහිලාල් ද සිල්වාගේ අදහස යි.

ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ දරුවන් තුළ එවන් කුතුහලයක් නිර්මාණය කිරීම සඳහා ඉදිරියේදී ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ය.

"දරුවන් තමන්ගේ හැකියාවන් තේරුම් ගන්න අතර ම ජීවිතය සැලසුම් කිරීමට නිසි අධ්‍යාපනයක් ලැබීම අත්‍යවශ්‍ය යි. ඒ වගේ ම තමන් කරන දේ ගැන සතුටු වෙනවා වගේ ම තමන්ගේ හැකියාවන් දියුණු කර ගත යුතු යි. මගේ අත්දැකීම අනුව අවුරුදු 16 ඉඳන් 20 දක්වා කාලය අතිශයින් වැදගත්. ඒ අවුරුදු කිහිපය තුළ නාස්ති කරන්න කාලයක් නැති තරම්. දරුවන් යම් යම් දේවල් ගැන දැන ගන්නවාට වඩා නිර්මාණශීලීත්වය ගැන අවධානය යොමු කළ යුතු යි," හෙතෙම කියා සිටියේය.

(BBC සිංහල සේවය)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...