The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොසොන් පෝය, රංජන් සහ දුමින්ද - Faculty of Sex

T

The Leader Desk

June 27, 2021 • 3:45 PM

පොසොන් පෝය, රංජන් සහ දුමින්ද - Faculty of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොසොන් පෝය දවසෙ දුමින්ද සිල්වා නිදහස් කළා. රංජන් රාමනායක තාම ඇතුලෙ.
  •   දුමින්දයි රංජනුයි දෙපැත්තට දාලා සංසන්දනය කරන එකේ අසාධාරණයක් තිබුනත් මේ චරිත දෙක එකම හිරගෙයක් ඇතුලෙ අපිට කතා දෙකක් කියනවා.
  • එකම හිරගෙයක් ඇතුලෙ මේ දෙන්නා දෙපැත්තක්.
  • මනෝවිශ්ලේෂණය කියන්නෙ මහා දෙයක් හින්ද නෙමෙයි, ඒක ඇතුලෙ අපිට මේ පෙලගැස්ම ලස්සනට කියවගන්න පුඵවන් හින්ද.
අකුරු ප්‍රමාණය (Font Size):
දුමින්ද එලියෙ රංජන් ඇතුලෙ කියල පෝස්ට් ෂෙයාර් වෙන්න ගත්තා. 
 
මිනිස්සු තමන් විශ්වාස කරන සංකේතමය නීතියේ අශ්ශීලත්වය අමුවෙන් දැක්කා. 
 
සිංහල බෞද්ධ සදාචාර ලෝකයේ ‘හිල’ දුමින්ද සලකුණු කළා. ඒක ලංකාවට බුද්ධාගම අරන් ආපු දවසෙම ලකුනු කිරීම අයිරොනිකල්. 
 
ඒකාධිපති විරුවා සහ අපචාරී දුෂ්ටයා අතර නොබිඳෙන සම්බන්දය පොසොන් පෝය දවසෙ විදාරණය වුනා.
 
දුමින්දයි රංජනුයි දෙපැත්තට දාලා සංසන්දනය කරන එකේ අසාධාරණයක් තිබුනත් මේ චරිත දෙක එකම හිරගෙයක් ඇතුලෙ අපිට කතා දෙකක් කියනවා.
 
දුමින්ද වගේම රංජනුත් ඇඟ හදන්න උනන්දුයි. දෙන්නම එක වගේ ගෑනු ගැනත් උනන්දුයි. රඟපෑවෙ නැති වුනත් දුමින්දටත් තියෙනවා නළු පෙනුමක්. 
 
හැබැයි දුමින්ද තමන්ගේ ආශාව තෘප්තිමත් කරන විදිහෙයි රංජන් තමන්ගෙ ආශාව තෘප්තිමත් කරන විදිහෙයි තියෙනවා වෙනසක්. ඒක අපිට ලේසියෙන්ම දකින්න පුළුවන් දෙන්නගෙ ගැහැණු සම්බන්ධතා දිහා බැලුවම. 
 
දුමින්දගෙ ආශ්‍රයන් බොහෝ විට පීඩාකාරීයි. අපිට ඒවායෙ වින්දිතයෙක් මුනගැහෙනවා. දුමින්දගෙ ලිංගිකත්වය පිටිපස්සෙ තියෙනවා බලහත්කාරයක් සහ ප්‍රචණ්ඩත්වයක්.
 
piyumi ranjan 680x340 
  
ඒත් රංජන්ගෙ ඇසුරුකිරීම්වල තියෙන්නෙ ආකර්ශනයක්. පීඩාවට ලක්වුනු වින්දිතයෙක් වෙනුවට ගොඩක් වෙලාවට අපිට අනිත් පැත්තෙ මුනගැහෙන්නෙ මිතුරියක්. ඒවා අසම්මත වුනත් පීඩාකාරී ප්‍රචණ්ඩ ඒවා නෙමෙයි.
 
 
රංජන් පාතාලෙට කුඩුවලට විරුද්ධයි. දුමින්දට පාතාලෙ ගැන කුඩු ගැන චෝදනා තියෙනවා. 
 
රංජන් හිරේ යන්නෙ නීතිය හරි විදිහට ක්‍රියාක්මක වෙන්නෙ නෑ කියල අපහාස කිරීමේ චෝදනාවට. දුමින්ද හිරේ යන්න මිනිහෙකුට මහපාරෙ වෙඩි තියල නීතිය අමුවෙන් කැඩීමට.
 
රංජන් පෙනී ඉන්නෙ මිනිස්සුන්ගෙ කැමැත්ත වෙනුවෙන්. දුමින්ද පෙනී ඉන්නෙ එයාගෙ කැමැත්ත වෙනුවෙන්. 
 
වෙන විදිහකට කිව්වොත් රංජන් කියන්නෙ වීරයාගෙ චරිතෙ. දුමින්ද කියන්නෙ දුෂ්ටයාගෙ චරිතෙ. එකම හිරගෙයක් ඇතුලෙ මේ දෙන්නා දෙපැත්තක්.
 
නීතිය වීරයාව හිරේ දාලා දුෂ්ටයාට සමාව දෙනවා. සමාජය ට්‍රෝමැටික අත්දැකීමකට ගෙනියනවා.
 
 
පට්ට ගහපු කතාව නැවතත්:
 
 
දැන් අපි ඕක මනෝවිශ්ලේෂණයේ භාෂාවට දාගමු. මනෝවිශ්ලේෂණය කියන්නෙ මහා දෙයක් හින්ද නෙමෙයි, ඒක ඇතුලෙ අපිට මේ පෙලගැස්ම ලස්සනට කියවගන්න පුඵවන් හින්ද.
 
(පට්ට ගහපු කතාව නැවතත්) අපි හැමෝම අවුරුදු 3-5 අතර කාලෙදි ඊඩිපස් සංකීර්ණය ජීවිතේ දැවැන්තම අර්බුදකාරී අත්දැකීම ඇතුලෙන් යනවා. ඊට පස්සෙ අපේ සමස්ත ජීවිතයම තීරණය වෙන්නෙ ඔය අර්බුදය අපි විසඳගන්න විදිහ අනුව. 
 
සරලව කිව්වොත් අම්මා එක්ක රමණය කරන්නත් තාත්තාට මරණය අත්කර දෙන්නත් වූ රූපකමය ආශාවකින් අපි පෙලෙනවා. අපිට මුල්ම වතාවට තාත්තාව මුනගැහෙන්නෙ මෙතනදි. තාත්තා තමයි භාෂාව, ආගම, නීතිය, සදාචාරය. ලෝකෙ අපිට පිටින් තියෙන සංකේතමය අධිකාරිය. 
 
අම්මා තමයි අපේ ප්‍රකෘතිම ආශාව. අපිව පරිපූර්ණ කරන වස්තුව. තාත්තා හින්ද අපි අසම්පූර්ණ වෙනවා. අපේ හැඟීම් යටපත් කරන්න පටන් ගන්නවා. එලියෙ සම්මුතීන් එක්ක ගනුදෙනු කරන්න සිද්ද වෙනවා.
 
ඔය මහා ආපදාවෙන් එලියට එනකොට අපිව ආකෘති තුනක් විදිහට හැඩගැහෙනවා. හැමෝම මේ තුනෙන් එකකට වැටෙනවා. මේ අපි ලෝකෙ එක්ක ගනුදෙනු කරන අපේ මානසිකත්වයේ රාමුව. අපේ පැවැත්මේ ස්වභාවය කියලත් ඕන නම් කියන්න පුළුවන්.
 
 
පලවෙනි එක තමයි නියුරොසිස් කියන්නෙ. අපි ආශාවන් යටපත් කරගෙන, ඒවා වෙන දේවල් බවට පරිවර්තනය කරගෙන ඊඩිපස් අවුල විසඳගන්නවා. අපි එක්කො කීකරු යටත්පහත් දරුවෙක් වෙනවා. නැත්තං කැරලිකාරයෙක් – හිස්ටරිකයෙක් වෙනවා. හිස්ටරිකයෙක් කියන්නෙ අපහාසාත්මක අදහසක් නෙමෙයි. ලෝක ප්‍රශ්න කරන හැම මිනිහෙක්ම හිස්ටරිකයෙක්.
 
 
මෙතනදි හිස්ටරිකයාට ලෝකෙ එක්ක ලොකු ප්‍රශ්න තියෙනවා හැබැයි එයා ඒ සංකේත ලෝකයේ මූලික සාමූහික පදනම්වලට එකඟයි. ඒ සම්මත ලෝකෙන් එයාට දෙන අයිඩෙන්ටිය ගැන එයා පෙරලා ප්‍රශ්න කරනවා. අලුත් ලෝකයක් ගැන ප්‍රාර්ථනාවක් තියෙන හැමෝම ඉන්නෙ මෙතන. 
 
 
MONTGOMERY, AL - MARCH 25:  Dr. Martin Luther King, Jr. speaking before crowd of 25,000 Selma To Montgomery, Alabama civil rights marchers, in front of Montgomery, Alabama state capital building. On March 25, 1965 in Montgomery, Alabama. (Photo by Stephen F. Somerstein/Getty Images) 
 
සොෆොක්ලිස්ගෙ ඇන්ටිගනී කියන්නෙ මේ විදිහෙ චරිතයක්. මාර්ටින් ලුතර් කිංග් කියන්නෙ එහෙම චරිතයක්. ඒ ගොල්ලො අපි පිලිගන්න සංකේත ලෝකෙ හිල් ප්‍රශ්න කරනවා.
 
රංජන් වැටෙන්නෙත් මේ ගොඩට.
 
 
සයිකොටික්:
 
 
දෙවෙනි ආකෘතියට කියනවා සයිකොටික් කියල. ඒ අයට සංකේත ලෝකයක් අහිමියි. තාත්තාගෙන් වෙන්න ඕන දේ වෙලා නෑ. 
 
ඒ ගොල්ලො ඉන්නෙ ඒ අයගෙම පරිකල්පිත ලෝකයක. සාමූහික සංකේත ලෝකය එක්ක ගනුදෙනුවක් නෑ. භාෂාවක් අහිමියි කියලයි කියන්නෙ.
 
 ගොඩක් වෙලාවට ආර්ටිස්ට්ලා එහෙම වැටෙන්නෙ මේ ආකෘතියට. මේ අයට පිටතක් නෑ.
 
 
 
පර්වර්ස්:
 
 
තුන්වෙනි එක තමයි පර්වර්ස් කියන එක. මේ තියෙන්නෙ සංකේත ලෝකය දකිනවා නමුත් නොතකා හරිනවා කියන මානසිකත්වය. නීතිය දන්නවා ඒත් කඩනවා. තමන් ෆැන්ටසියේ තෘප්තිය කියන කාරණය විතරයි වැදගත්. 
 
එතනදි අනිත් පැත්තෙ ඉන්නෙ පණ නැති වස්තුවක් විතරයි. පර්වර්ට් සම්බන්ධයක් ඇතුලෙ පීඩාවට ලක්වෙන, ගොදුරු වෙන කෙනෙක් ඉන්නවා. 
 
දේශපාලකයො කියන්නෙ මේ කැටගරියෙ පිරිසක්. ඒ ගොල්ලොන්ට පුළුවන් එකවිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දරන්න.
 
දුමින්ද සිල්වා වැටෙන්නෙත් මෙතනට. එයා නීතිය එක්ක කරන සෙල්ලම්, ගෑණු එක්ක තියෙන සම්බන්ධතා අපිට කියන්නෙ මේ අවුල. 
 
සමාජයක සදාචාරය කියන කඩතුරාවෙන් වහපු අධිපති බලයේ කැතකම, අශ්ශීලත්වය පර්වර්ට් අය අතින් මුදහැරෙනවා. පර්වර්ට් කියන්නෙ මේ සංකේතීය පියා කියන එක නොතකා හරිමින් අම්මා නැත්තං තමන්ගේ ප්‍රකෘති ආශාව එක්ක ෆැන්ටසියක් විදිහට ගතවෙන අයට. දුමින්ද හිරෙන් නිදහස් වුන ගමන් ගෙදර ගිහින් අම්මා එක්ක දාපු පිංතූරෙ හරියටම ඒ කතාවෙ රූපකයක් වගේ.
 
 
මේ අය නිතරම සම්බන්ධ වෙන්නෙ ඒකාධිපති ස්වරූපයන් එක්ක. ඒ අය විනෝද වෙන්නෙ අපචාරවලින්. පොදු සම්මුති ලෝකෙ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ප්‍රචණ්ඩ පීඩාකාරී විනෝදය විතරයි අරමුණ.
 
 
පර්වර්ට් කෙනෙකුට ලෝකෙ එක්ක ප්‍රශ්නයක් නෑ. හැබැයි එයාට ලෝකෙ කියන්නෙ අපචාරී එකක්. තමන්ව ආශාවේ වස්තුව බවට පත්කරගන්න එයා කරන්නෙ මැරවැඩ. එයාගෙ ලෝකෙ එයාට වඩා කෙරුමෙක් නෑ.
 
පර්වර්ට් චරිතයක් අසීමිත තෘප්තියක් හඹා යනවා. එයාට හිතෙන්නෙ නීතිය, සමාජ සදාචාරය වගේ දේවල් රැවටිලිකාරයි, දුර්වලයි කියල. ඒක හින්දා එයාට පුළුවන් ගානක් නැතුව මට මතක නෑ කියන්න.
 
 
හොරෙන් කෙල්ලො එක්ක කෝල් ගත්තට, ඒවා රෙකෝර්ඩ් කළාට රංජන් පර්වර්ට් කෙනෙක් නෙමෙයි. කෙනෙක් ලීක්වෙන වීඩියෝ බැලුවට ඒවා බලලා ස්වයං වින්දනය කළාට පර්වර්ට් කෙනෙක් වෙන්නෙ නෑ වගේම තමයි. ඒ වීඩියෝ එක ෂෙයාර් කරලා ඒකට අපහාස කරන තැනදියි පර්වර්ට් අඳුරගන්න පුළුවන් වෙන්නෙ. අනෙකා පීඩාවට පත් කරමින් තමන්ගේ සතුට ලැබීමේ මොහොත සලකුනු කිරීමයි ඇත්ත විපරීතභාවය.
 
 
 
පර්වර්ට් කියන්නෙ මොකක්ද ?
 
 
“පර්වර්ට් කියන්නෙ මොකක්ද? සමාජ සම්මතයන් කඩන එක හෝ සදාචාරයක් නැතිකම නෙමෙයි. පර්වර්ට් කෙනෙකුගෙත් මේ සංකේත ලෝකය රෙජිස්ටර් වෙලා තියෙනවා. 
 
පර්වර්ට් කියන්නෙ ස්වභාවික නොවෙන දේ කිරීම නෙමෙයි. ප්‍රජනනයෙන් බාහිර සෙක්ස් නෙමෙයි. පර්වර්ට් කියන්නෙ ආකෘතියෙන්ම වෙනස් දෙයක්” කියල ලැකාන් කියනවා.
 
 
රංජන්ගෙ කෝල් ආන්ඩුවෙන් ලීක් කරලා ඒවායේ ඉන්න මිනිස්සු අපහසුතාවයට පත් කළා මිස ඒවා පටිගත කිරීම හරහා රංජන් කොයිවෙලාවකවත් ඒ අයව පීඩාවට ලක් කළේ නෑ. ඒ හැම කෝල් එකකම අනිත් පැත්තෙ මනුස්ස සම්බන්ධයක් තියෙනවා. ඒ මනුස්සයාට හානි නොකිරීමේ උවමනාවක් තියෙනවා. 
 
 
සම්මත සදාචාරයට එකඟ නැති වුනත් රංජන් කරන්නෙ මානව විරෝධී දෙයක් නෙමෙයි. එයා පවුල කියන ආකෘතියෙන් එලියෙ ඉඳන් යහපත් විදිහට වල්කම් කරනවා. රංජන් කියන්නෙ හොඳ වලත්තයෙක්. එයා අශ්ශීල නෑ.
 
රංජන් ඇතුලෙ ඉඳිද්දි දුමින්ද සිල්වා නිදහස් වෙනවා. සම්මුතියේ රාමුව පිළිගන්න එකා ඇතුලෙ ඉඳිද්දි සම්මුතියේ රාමුව කැඩීමෙන් ප්‍රමෝදය ලබන්නා එලියට එනවා. 
 
එතකොට සමාජයේ සමස්තයට තමන් සංකේත ලෝකය කියල විශ්වාස කරපු නීතිය, යුක්තිය, සදාචාරය ගැන අවුලක් ඇතිවෙනවා. පෝය දවසෙ යහපත ගැන පොදු හැඟීම අර්බුදයට යනවා . ඒ අපි විශ්වාස කරන සංස්කෘතික පද්ධතිය අපේ සම්මුතිය අපි හිතන දේ නෙමෙයි කියල අපි දකිනවා. මේ අශ්ශීලබව සමාජය නරුම කරනවා.
 
ඒකාධිපති බලය තමන්ට අභියෝග කරන අකීකරු කොල්ලට වඩා තමන්ගේ අඳුර, පාතාලය මුදාහරින පර්වර්ට් කොල්ලට කැමතියි. මොකද ඒකාධිපති බලය කියන්නෙමත් පර්වර්ස් එකක්.
 
 
 
ඒක හින්ද පොසොන් පෝය, දුමින්දාගමනය, රංජන්ට ඇප නැති වීම කියන්නෙ මේ වෙලාවෙ අපේ සමාජ මනස තේරුම් කරන රූපකමය පිහිටීමක්. හිස්ටරිකයා සිරගත කොට විපරීතයා මුදාහැරීම කියන්නෙ කතන්දරයක්.
 
හිස්ටරිකයා සමාජයේ අශ්ශීලබව ප්‍රතික්‍ෂේප කරනවා. විපරීතයා ඒ අශ්ශීලබව නියෝජනය කරනවා. අපි නිදහස් කරන්නෙ කාවද කියන එක මත අපේ සමාජ පිහිටීම ලකුණු කරනවා.
 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
  
 
 
 
 
 

THE LEADER TV 
බැසිල්, මහින්දට පිටින් යාවිද ? 
 
 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක් 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...