The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘කම්කරු පන්තිය’, ‘පීඩිත පන්තිය’ ආදී මොර දීම් වල සැර බාල කෙරෙන නව ලොව Freelance රැකියා

T

The Leader Desk

September 8, 2024 • 9:25 AM

‘කම්කරු පන්තිය’, ‘පීඩිත පන්තිය’ ආදී මොර දීම් වල සැර බාල කෙරෙන නව ලොව Freelance රැකියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ නමුත් නවීන ලෝකය හමුවේ මේවායේ ඇති, එසේත් නැත්නම් බැමි ලිහිල් වී තිබේ.
  • එමෙන්ම රාජ්‍ය සේවය, රාජ්‍ය සේවය අභිමානවත්ය, ආදී සංකල්ප නව ලිබරල් වාදය තුළ අවලංගු කාසි බවට පත් වෙමින් තිබේ.
  • නවීන ලෝකය කුළ දිනෙන් දින අලුත් ආකාරයේ රැකියා ගොඩනැගෙමින් පවතින අතර නිදහස් හෝ නොබැඳි අර්ථය ඇති ෆ්‍රී ලාන්ස් (Freelance) රැකියා මේ අතරින් විශේෂිත තැනක් ගනී.
  • මෙහි ඇති විශේෂිතම ලක්ෂණය නම් හාම්පුතුන් නොමැති වීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙසේ නමුත් නවීන ලෝකය හමුවේ මේවායේ ඇති, එසේත් නැත්නම් බැමි ලිහිල් වී තිබේ. එමෙන්ම රාජ්‍ය සේවය, රාජ්‍ය සේවය අභිමානවත්ය, ආදී සංකල්ප නව ලිබරල් වාදය තුළ අවලංගු කාසි බවට පත් වෙමින් තිබේ. නවීන ලෝකය කුළ දිනෙන් දින අලුත් ආකාරයේ රැකියා ගොඩනැගෙමින් පවතින අතර නිදහස් හෝ නොබැඳි අර්ථය ඇති ෆ්‍රී ලාන්ස් (Freelance) රැකියා මේ අතරින් විශේෂිත තැනක් ගනී. මෙවැනි රැකියාවල නියුතු වන්නන් ෆ්‍රී ලාන්සර්ස් (Freelancer) නමින් හඳුන්වනු ලබයි. මෙය සෑම රැකියා ක්ෂේත්‍රයකම දක්නට ලැබෙන්නකි.

 

GenZ නමින් හඳුන්වනු ලබන වර්තමාන තරුණ පරපුර මේ ෆ්‍රී ලාන්සර් නමින් වැඩකටයුතු කරන්නට වැඩි කැමැත්තක් දක්වනු පෙනේ. මෙහි ඇති විශේෂිතම ලක්ෂණය නම් හාම්පුතුන් නොමැති වීමය. ‘නොබැඳි’ යනුවෙන් හැඳින්වෙන්නේ එබැවිනි. එවිට තමා කිසිවකුට හෝ යටත් නැත. තමා තුළ ඇති හෝ තමා උගත් හෝ දක්ෂතාවක් මුල් කරගනිමින් ඕනෑම අයෙකුට මේ රැකියාවන්ට යොමු විය හැකිය. මෙහිදී සිදුවන්නේ ඔවුන් කරනු ලබන කාර්යභාරය සඳහා යම් ගෙවීමකි. ඒ කාර්යභාරය අවසන් වූ පසු ඒ සබඳතාව අවසන් වෙයි. වර්තමානය වන විට අප රටේ ද ෆ්‍රී ලාන්ස් ආකාරයෙන් වැඩකටයුතු කරන්නන්ගේ ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ. බොහෝ ආයතන ද මේ ෆ්‍රී ලාන්සර්ස්ලාගේ සේවය ලබා ගන්නා බව පෙනේ. ඔවුන් තම ආයතනයේ යම් යම් වැඩකටයුතු අවුට්සෝර්ස් (Outsource) හෙවත් බාහිර පාර්ශ්යවක් ලබා ඉටු කරගන්නා අතර එය ස්ථිර සේවකයෙක් නඩත්තු කරනවාට වඩා ලාබ දායකය. මේ සඳහා ඔවුන් ෆ්‍රී ලාන්සර් කෙනෙකුගේ සේවය ලබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ.

ඔබේ පරම්පරාව Xද? Yද? Z? - (අමන්දිකා කුරේ)

 

අද වන විට මෙම ෆ්‍රී ලාන්ස් රැකියා ජාලය ඔන් ලයින් මඟින් ගෘහස්ථ සේවා සපයන ශ්‍රමිකයන් කැඳවා ගැනීම තෙක්ම ව්‍යාප්ත වෙමින් පවතී.මෙම නව රැකියා ජාල මඟින් ඔබගේ ගෘහස්ථ සේවා සඳහා ඔබට සමීපතම ශ්‍රමිකයා ඉතා කෙටි වේලාවක් තුළ නිවසට ගෙන්වා ගැනීමේ හැකියාවක් ඔබ සතුව තිබේ.එහෙත් ඔහු එහි දී ඔබ හමුවට එනුයේ ඔබගේ සේවා දායකයකු ලෙසින් මිස සේවකයකු ලෙසින් නොවීම ද විශේෂත්වයකි. විදේශ රටවල සනීපාරක්ෂක කටයුතුවල පවා නිරත වෙන්නේ ෆ්‍රී ලාන්සර්ස්ලාය. ඔවුන් සුඛෝපභෝගී වාහනවල පැමිණ අදාළ රාජකාරිය ඉටුකොට එයට අදාළ ගෙවීම ද ලබාගෙන පිටව යාම සිදු කරයි. ගෝලීය ලිබරල්වාදය තුළ මේවා පහත් රැකියා ලෙස සැලකෙන්නේ ද නැත. අප වැනි රටවල්වල යම්කිසි සුළු ප්‍රමාණයක් හැරුණු විට මේවා පිළිබඳ බහුතරයක් දෙනා දන්නේ ද නැත. මේ කතා කරන්නේ ඒ පිළිබඳවය.

මෑත කාලයේ දී ලෝක රැකියා වෙළෙඳ පල තුළ ෆ්‍රී ලාන්ස් රැකියාවන්ගේ දැවැන්ත පිබිදීමක් පෙන්නුම් කර තිබේ. තාක්ෂණයේ වැඩිදියුණු වීම, රැකියා සංස්කෘතිය තුළ වූ වෙනස්කම් සහ නම්‍යතාව පිළිබඳ ඇති කැමැත්ත නිසා ලොව පුරා මිලියන ගණනක් අතර වඩාත්ම කැමති රැකියා විකල්පය බවට ෆ්‍රී ලාන්ස් රැකියා පත්ව තිබේ. මෙය රැකියා ක්ෂේත්‍රය තුළ ශ්‍රම බලකායේ හැඩය වෙනස් කරන්නට හේතුවී ඇති අතර අනන්‍ය වූ රැකියා අවස්ථා ඇති කරන්නට ද මෙය හේතුවක් වී තිබේ.

 

8 – 5 රැකියාවල නිරත වනවාට වඩා මේ ආකාරයේ නිදහස් රැකියාවන්හි නිරත වන්නට ඇති කැමැත්තේ වර්ධනයක් පෙන්නුම් කරයි. Freelancing in America 2023 වාර්තාවට අනුව ඇමරිකාව කුළ පමණක් ෆ්‍රී ලාන්ස් රැකියාවන්ගේ නිරත වන ප්‍රමාණය මිලියන 58 ක් පමණ වේ. එමගින් එක්සත් ජනපද ආර්ථිකයට ලැබෙන දායකත්වය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් පමණ බව පැවසේ. මේ හා සමාන ප්‍රවණතාවක් ලොව පුරාම දක්නට ලැබේ. තරුණ ශ්‍රම බලකාය ඉතා ඉහළ මට්ටමක පවතින ඉන්දියාව, පිලිපීනය සහ බ්‍රසීලය වැනි රටවල ෆ්‍රී ලාන්ස් රැකියාවන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දකින්නට ලැබේ.

freelancers

 

ෆ්‍රීලාන්ස් රැකියා අතර වැඩි වශයෙන් ජනප්‍රියව ඇත්තේ යම්කිසි ස්ථානයකට ගොස් කරන රැකියාවන්ට වඩා පරිගණකය ඔස්සේ තමන් කැමති ස්ථානයක සිට කරනු ලබන රැකියාවන්ය. මේ නිසා ෆ්‍රී ලාන්ස් රැකියාවන්හි වර්ධනය පසුපස ඇති ප්‍රධානතම හේතුව වී ඇත්තේ තාක්ෂණ දියුණුවය. අන්තර්ජාලය මත ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ වෙබ් අඩවි වන Upwork, Fiverr සහ Freelancer.com ආදිය සමග සම්බන්ධ වී ෆ්‍රී ලාන්ස් රැකියා කරන කරුණ පිරිස්වල දැවැන්ත වර්ධනයක් සිදුව තිබේ. 

විශේෂයෙන් Fiverr වෙබ් අඩවිය සමග අප රටේ ද බොහෝ දෙනෙක් සම්බන්ධ වී වැඩකටයුතු කරමින් විශාල වශයෙන් මුදල් උපයනු දක්නට පුළුවන. අන්තර්ජාලය හරහා පරිගණක සේවා සැපයීම (Cloud computing), වීඩියෝ රැස්වීම (video conferencing) සහ ව්‍යාපෘති කළමනාකරණ (project management) මෙවලම් භාවිතයෙන් තමාට පහසු ඕනෑම ස්ථානයක සිට මෙකී රැකියාවන්හි නිරත වන්නට ෆ්‍රී ලාන්ස් ශ්‍රමිකයන්ට හැකියාව ලැබී තිබේ. ලේඛනය, ග්‍රැෆික් ශිල්පය, මෘදුකාංග වර්ධනය, ඩිජිටල් අලෙවිකරණ කටයුතු ෆ්‍රී ලාන්ස් ක්ෂේත්‍රය තුළ ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ. 

ඉහත කී වෙබ් අඩවිවල ලියාපදිංචි වීමෙන් අනතුරුව එකී පුද්ගලයන්ගේ දක්ෂතාව සහ වැඩකටයුතු කර දීමේ ඉතිහාසය පිළිබඳ තොරතුරු මත පදනම්ව ඔවුන්ට රැකියා අවස්ථාව උදා කර ගත හැකිය. මේ වෙබ් අඩවි කරන්නේ දෙපාර්ශවයක් මුණ ගස්වා යම්කිසි මුදලක් උපයා ගැනීමය. ෆ්‍රී ලාන්ස් රැකියාවන්හි නිරත වන්නන්ට යම් යම් කාර්යයන් සොයා ගැනීම සඳහා වේදිකාවක් ලෙස ක්‍රියාත්මක වන්නේ මේ වෙබ් අඩවිය.

වෘත්තිකයන්ට මෙන්ම අලුතින් රැකියාවන්ට පිවිසුණු පුද්ගලයන්ට ද ෆ්‍රී ලාන්ස් රැකියා මගින් මහත් ලාබ ප්‍රයෝජන අත් වේ. මෙයින් ප්‍රධානතම කාරණය වන්නේ පහසුව හෙවත් නම්‍යතාවයයි. තමන්ට කැමති රැකියා ව්‍යාපෘති තෝරා ගන්නට සහ කැමති ස්ථානයක සිට ඒවා කරන්නට මේ රැකියාවන්හි නිරත වූවන්ට අවස්ථාව හිමි වේ. සිය පුද්ගලික සහ සමාජයමය වගකීම් ද ඉටුකර ගනිමින්, සාම්ප්‍රදායික නොවන රැකියා වටපිටාවකට කැමති පිරිස් අතර මේ ක්‍රමය ඉතා ජනප්‍රියය.

working freelancer germany

 

අනෙක සාම්ප්‍රදායික රැකියාවන්හි නිරත වන්නට වඩා ෆ්‍රී ලාන්ස් රැකියා තුළින් වැඩි ආදායමක් උපයා ගත හැකි වීම ද මේ රැකියා කෙරෙහි ඇති ඉල්ලුම දිනෙන් දන වර්ධනය වන්නට හේතු වී තිබේ. තමාගේ දක්ෂතාවට අනුව කේවල් කිරීමේ හැකියාව පවතින නිසා ඉතා ඉහළ මිල ගණන් අය කරන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. තාක්ෂණය, අලෙවිකරණය සහ සැලසුම් කිරීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි වූ දැඩි ඉල්ලුම නිසා එම කාර්යයන්හි නිරත ෆ්‍රී ලාන්ස් රැකියා කරන්නවුන්ට තමාට රිසි මිල ගණන් කේවල් කිරීමේ හැකියාව හිමි වී තිබේ.

අනෙක අන්තර්ජාලය ඔස්සේ ෆ්‍රී ලාන්ස් රැකියාවන්හි නිරත වන්නන්ට භූගෝලීය වශයෙන් ඇති නිදහස් ස්වභාවය ද මේ රැකියා කෙරෙහි ඇති කැමැත්ත වැඩිවන්නට හේතු වී තිබේ. යම්කිසි පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ සිට ලෝකයේ ඕනෑම රටක රැකියාවක මේ අයුරින් නිරත වන්නට අවස්ථාව ලැබී තිබේ.

වාසි සහගත අවස්ථාවන් මෙන්ම ෆ්‍රී ලාන්ස් ක්ෂේත්‍රය තුළ අවාසි සහගත කාරණා ද දක්නට ලැබේ. එකක් වන්නේ රැකියා ආරක්ෂණයයි. පූර්ණ කාලීන සේවකයකුට තරම් එකම ආකාරයේ රැකියා ස්ථාවරත්වයක් ෆ්‍රී ලාන්ස් රැකියාවන්හි නිරත වන්නන්ට නැත. අනෙක ඔවුන් සෑම විටම නව සේවායෝජකයන් සෙවිය යුතු අතර එක හා සමාන ආදායම් තත්ත්වයක් සෑමවිටම පවත්වා ගැනීමේ ගැටලුවක් පවතී. ඇතැම් මාසවල ඉහළ ආදායමක් ලැබුණ ද ඇතැම් මාසවල ආදායම පතුලටම සිඳී යන්නට වුව හැකියාව තිබේ. කොරෝනා සමයේ මේ තත්ත්වය හොඳින්ම පැහැදිලි විය.

තවත් ගැටලුවක් වන්නේ ප්‍රතිලාභ අඩු වීමය. ෆ්‍රී ලාන්ස් රැකියාවන්හි නිරත වන්නන්ට සෞඛ්‍ය රක්ෂණාවරණ, ගෙවීම් සහිත නිවාඩු, විශ්‍රාම සැලසුම් ආදිය හිමි වන්නේ නැත. ඇතැම් රටවල්වල රජයේ අනුග්‍රහයෙන් විශ්‍රාම සැලසුම් ක්‍රියාත්මක වන අතර තමා රැකියාව කරන සමයේ ඒ සඳහා යම්කිසි මුදලක් තැන්පත් කළ යුතු අතර විශ්‍රාම යාමෙන් පසු ජීවිතාන්තය දක්වා යම්කිසි මුදලක් ගෙවීම එයින් සිදු වේ. නමුත් මේ පහසුකම සෑම රටකම දකින්නට ලැබෙන්නේ නැත. මේ නිසා ෆ්‍රී ලාන්ස් රැකියාවනිහි නිරත වන්නන් මේ වගකීම් තනිවම විඳ දරා ගත යුතුව තිබේ.

තවත් කාරණයක් වන්නේ මෙහි නිරත වූවන් සෑම විටම සිටින්නේ හුදකලා තත්ත්වයකය. නම්‍යතාවක් ඇති බව සැබෑ මුත් ප්‍රජාව සමග සම්බන්ධ වන්නට ඇති අවස්ථාව ඔවුන්ට නොලැබී යයි. පූර්ණ කාලීන රැකියාවන්හි නිරත වන්නට තම කාර්යයන් සඳහා සෙසු සේවකයන්ගේ මෙන්ම ප්‍රධානීන්ගේ සහය සහ උපදෙස් ලැබේ. නමුත් ෆ්‍රී ලාන්ස් පුද්ගලයන්ට එම අවස්ථාව හිමිවන්නේ නැත.

 

මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ ගෝලීය දැක්ම - (දිනේෂ් වීරක්කොඩි)
කෙසේ නමුත් ගෝලීය ආර්ථිකය තුළ ඉදිරි අනාගතයේ දී ෆ්‍රී ලාන්ස් රැකියා සඳහා වූ ඉල්ලුම දිනෙන් දැන වර්ධනය වන බව පැහැදිලිව පෙනෙන කාරණයකි. වසර 2028 වන විට ගෝලීය ෆ්‍රී ලාන්ස් වෙළෙඳ පල ඇමරිකානු ඩොලර් බිලියන 455 ක් දක්වා වර්ධනය වනු ඇති අපේක්ෂා කෙරේ. පිරිවැය අවම වීම සහ විශේෂිත දක්ෂතා ඇති පුද්ගලයන්ගේ සේවය වෙනත් වගකීම් ඉටු නොකර ලබා ගැනීමේ හැකියාව පවතින නිසා ප්‍රධාන පෙළේ සමාගම් ද ෆ්‍රී ලාන්ස් සේවකයන්ගේ සේවය ලබා ගැනීමේ වැඩි කැමැත්තක් ඇති වී තිබේ.

මේ තත්ත්වයේ වර්ධනයත් සමග සාම්ප්‍රදායික රැකියා මොඩලවල වෙනසක් සිදුවන්නට ද හැකියාව තිබේ. සමාගම් මගින් වැඩි වශයෙන් ෆ්‍රී ලාන්ස් සේවකයන් ලබා ගන්නට පෙළඹෙන විට පූර්ණ කාලීන සේවකයන් සහ මොවුන් වෙන් කරන සීමාව නැවත අර්ථකථනය කෙරෙන්නට පුළුවන. අනෙක පූර්ණකාලීන රැකියාවන් කරන අතරේ ෆ්‍රී ලාන්ස් රැකියා කරන්නන්ගේ වර්ධනයක් ද ඇති විය හැකිය.

ෆ්‍රී ලාන්ස් රැකියාවන්හි වේගවත් වර්ධනය තුළ ඒවායේ නිරත වීම තුළ ඇති ගැටලු, එනම් හුදෙකලා බව, විශ්‍රාම සැලසුම්, ප්‍රතිලාභ ආදිය සඳහා තිරසාර විසඳුම් ඉදිරි අනාගතයේ දී හිමි කර ගත හැකි වනු ඇති බව පැවසිය යුතුය. ඒ සඳහාම තවත් ආයතන බිහි විය හැකිය. ඇතැම් විට රජයේ අනුග්‍රහයෙන් පවා එවැනි පහසුකම් ඇති වන්නට ඉඩ තිබේ. කම්කරු අරගල, කම්කරු පන්ති, වැඩ වර්ජන, අකුර වැඩ කිරීම් වැනි ගැටලු මේ රැකියා ක්ෂේත්‍ර ඔස්සේ අවම කරගත හැකිය. ලෝකයේ අනාගතයේ වැඩි කාර්යභාරයක් ෆ්‍රී ලාන්ස් රැකියාවන්හි නිරත වන්නන් මත පැවරෙන බව ඉඳුරාම පැවසිය හැකිය.


chaminda karu(නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...