ඉන්දියාවේ ලතා මන්ගේෂ්කර් මිය ගියේය. එහෙත් ඇගේ හඬ ජනතා හද මඬලේ සදා නිදන් කොට ඇත්තේමය. ශ්‍රී ලංකාවේ ලතා වල්පොල මියගියේය. ඇගේ හඬ සදා නොමියන සේ ජනතා හද මඬලේ නිදන් කොට ඇත්තේමය. ශ්‍රී ලංකාවේ ගායනා ලෝකයේ රැජින ඔබමය.
''ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ,
සිංහ ධජය සෙවනේ……..//
දස දෙස ජය දද බන්දා
මුළු ලොව සිරිලක නම රන්දා………// ''
සිංහල ගීත ලෝකය රසවත් කලාවූ බොහොමයක් කලා ශිල්පීන් අප හැර ගොස් ඇත. නමුත් ඔවුන් මියගිය බවක් නම් අපට නොදැනේ. හේතුව අප හැමෝම දනිති. ඔවුන්ගේ හඬ අප අතරය. අපගේ හදවත් තුළය. සදා කල් අප හදවත් තුළ ජීවත් වන්නේමය. එවන් අමරණීය පරපුර සමග තවත් අයෙක් එක් වුනේය. ඇය ශ්‍රී ලංකාවේ ගීත ලෝකයේ අග රැජිනයි.
''පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වේ ලෝලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොමතේරේ……''
ගායනා ලෝකයේ මහා වෘක්ෂය
කලාව එක්තරා විධියක භාෂාවක් වන්නේය. එයට ජාති, ආගම් භේද නැත. භාෂාවන්ගේ භේදයන් නැත. මුළු ලෝකයටම පොදු භාෂාව කලාව වන්නේමය. සියලුම ජාතීන් එකට එක්කරන රැහැන කලාවමය . කලාව තුළ ජීවත් වෙමින් කලාව ජනතාව අතරට ගෙන යාම වූ කලී දෙවියන් විසින් කරනු ලබන මහා කාර්යයක්ම වන්නේමය. ගායනා ලෝකයේ මහා වෘක්ෂය ලතා වල්පොල ඔබ කළේ එම කාර්යයයි.
“පුන් සඳ එළියයි
එන මද සුලගයි
මල් මල් මල් සුවදයි
අනංගයාගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි”
ලතා වල්පොල ගායිකාවක් ලෙසින් මෙතරම් කාලයක් මෙතරම් බලගතු අයුරින් කලා ලොවේ පැවතීමටත් ඇයගේ කටහඬට තිබූ ජනතා ආකර්ෂණයත් නොකඩවා පැවතීමට කලා ලොවේ ඇයට බලපෑ කොන්දේසි මොනවාද. එක රැයින් ගායිකාවන් බිහිවන ඊලඟ රැයින්ම එම ගායිකාවන් බැසයන අද දවසේ පවතින කලා ලෝකයක එදා ලතා සතුව තිබූ ආශ්චර්‍ය කුමක්ද. මේගැන අවධානය යොමුකිරීමේදී ලතා තුල පැවති එක් වාසිදායක තත්වයක් නම් ඇය ගායනා කලේ ගීතලොවේ පතාක යෝධයන් සමග වීම එක හේතුවක් ලෙස සැලකිය හැකිය. ධර්මදාස වල්පොල, එච්. ආර් ජෝතිපාල, මිල්ටන් මල්ලව ආරච්චි, වික්ටර් රත්නායක, ක්ලැරන්ස් විජේවර්ධන, ප්‍රියා සූරියසේන වැනි ප්‍රධාන පෙලේ ගායකයින් සමග යුගගී ගැයීමට හැකිවීම ඇයලැබූ විශේෂ භාග්‍යයකි. එසේම ලතා වල්පොල විසින් ගායනයෙන් සහාය වුනු චිත්‍රපටවල ඒ ගීත වලට රඟපෑ නලු නිලියන්ද විශිෂ්ඨ ගනයේ අයම විය.
එබැවින් එදා චිත්‍රපටි වලට ඇලුම් කල බොහෝ දෙනා අදත් ඒ ගීතයක් ලතාගේ හඩින් ඇසූ සැනින් ඔවුන්ගේ මතකය අතීතයට ගෙනයාමට ලතා වැනි ප්‍රවීන ගායිකාවන් සමත් බව කිවයුතුය. ජනක සහ මංජු චිත්‍රපටියේ ” ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ” ගීතය අද අසන එදා චිත්‍රපටිය රසවිඳි ඕනෑම අයෙකු ඒ චිත්‍රපටිය බැලූ කාලයට මනසින් යාමට ලතාගේ සහ ක්ලැරන්ස්ගේ එම ගායනය ප්‍රමාණවත් බව කිවයුතුය. එමෙන්ම එදා ඒ චිත්‍රපටිය 80 දශකයේ මුල්ම කාලයේ අතිශය ජනප්‍රියවීමටද ලතාගේ අසමසම ගායනය අතිශය විශාල සේවයක් කලබවද කිවයුතුය. නමුත් එවැනි හැකියාවක් එනම් තම ගීත මගින් චිත්‍රපටය ජනප්‍රිය කිරීමට තරම් හැකියාවක් තිබූ ගායිකාවක් ලෙස ලතා අවිවාදයෙන් නම්කල හැක. තවත් බොහෝ රසික රසිකාවියන් හට ගීතය මතකයේ තිබුනද චිත්‍රපටියේ නම අමතක වී ගොස් ඇත. එයින් පැහැදිලි වන්නේ ගීතය චිත්‍රපටියට වඩා බලපෑමක් කොට ඇති බවයි.
අතිවිශිෂ්ඨ මෙහෙවර
කලාව කලාව උදෙසාය. කලාව ජනතාව උදෙසාය. යනුවෙන් මතයන් දෙකක් ඔස්සේ සංවාදයක් තිබුණි. පැහැදිලිව පෙනෙන කරුණ නම් මිනිස් සමාජය විසින් සමාජයේ අවශ්‍යතාවයට අනුව කලාව නිපදවාගත් බවයි. ආදී කාලීන ඉතාම ප්‍රාථමික වූ මිනිස් සමාජය වලද කලාව තිබුණි. වේශේෂයෙන් ගීත කලාව තිබුණි. මිනිසා බිහිවීමත් සමගම ඇරඹුණු ප්‍රාථමික සමාජවල ගීත ගායනය කල බවට සාක්ෂි තිබේ. මේ නිසාම කලාවේ ඉතිහාසය මිනිස් ඉතිහාසයත් සමගම එහි මුල සිටම පැවත එන්නන් බව පැහැදිලිය. එය තව තවත් ඉදිරියට රැගෙන යන්නෝ කරණ සමාජ මෙහෙවර අති විශිෂ්ඨය. ලතා වල්පොල අපට විශිෂ්ට ගණයේ ගායිකාවක් පමණක් නොව විශිෂ්ඨ ගණයේ මානවයෙක් ලෙසද හැදින්විය හැකිය.
''රොන් සොයා
පියබණ සමනලියක සේ
රිසි ලෙස සරනෙමි
වන පියසේ..''
රිදී තිරයේ සිහින කුමරිය කවුරු වුවද විය හැකිය. පැරණි සිනමාවේ වේවා නව සිනමාවේ වේවා , රිදී තිරයේ සිහින කුමරිය තරුණයන්ගේ පමණක් නොවේ හිරිමල් වියේ පසුවන්නන් තුලද හදවත් තුළ ලැගුම් ගත්තේ ඇයගේ ගායනය නිසාමය.
''පොකුරු පොකුරු
මල් සැනකෙලි
ඔමරි ලතාවයි
නුහුරු හැඟුම්
මා වට කර
රඟන ලතාවයි……..''
සිංහල සිනමාවේ පෙම්වතිය මෙන්ම මවටද ගීත ගායනය කළේය.
''අම්මලා දුක් ගන්නේ
පුතුන් හදන්ටා
පුතුන් හදන් ටා
පුතුන් රජුන් කරන්ටා ….''
ලතා-ධර්මදාස සුසංයෝගය
සිංහල ගීතාවලියේ අසහාය ගායකයෙකු වූ ධර්මදාස වල්පොල ගේ බිරිඳ වීමත් නිසා ඇගේ ගීත ලෝකය තවදුරටත් උසස් තලයකට ගෙන යාමට හැකිවීම අනිවාර්ය සාධකයක් විය.
''හොඳ හොදම වේය ලොව
කිසිම තැනක නැහැ
නොහොද නරක දිනුවේ …''

අපි සැම පුද්ගලයෙකුටම සමාජ යුතුකමක් තිබෙන්නේමය. එම සමාජ යුතුකම ඉටුකිරීම අනිවාර්ය දෙයකි. නමුත් සමහරෙකුගෙන් එම සමාජ යුතුකම ඉටුවන්නේ ඉතාම අල්ප මට්ටමෙන්ය. තවත් සමහරෙක් සැලකූ විට කොහෙත්ම එය ඉටුවන්නේ නැත. ලතා වල්පොල නම් වූ ඇය තමන්ගේ සමාජ යුතුකම උපරිම මට්ටමකින් ඉටුකළ ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් ලෙස හැදින්විය හැකිය.
“සද කොමලී තරු පිරි වරලා
නිල් අඹරේ නැග එන්නා
අති ශෝභ මාන රාත්‍රී ……..”
” දර්ශනය ඉහළම සංගීතයයි”
( ප්ලේටෝ)
ප්ලේටෝ දර්ශණය සංගීතයේ මට්ටමට උසස් කර ඇත්තේය. සංගීතයේ සුන්දරත්වය පවතින්නේ සහ එයින් අපට ලබාදෙන්නේ සුන්දරත්වය, ආත්මය, හා බුද්ධියේ උත්පාදනයයි.
මධුර ස්වරය
භාෂාවේ වචන වඩාත් ප්‍රභල වන්නේත් වඩාත් ආකර්ශනීය වන්නේත් ඒවා පදමාලවකට අනුව ගැලපීම කළ විටය. ඒවා ඊටත් වඩා ප්‍රබල වන්නේ මධුර හඩකින් ගායනා කරණ විටදීය. බහුතරයක් වූ ජනී ජනයාට තේරෙන කන්කලු හඩකින් ගායනය කරණ විටදී මේ සියල්ලටම වඩා උසස් තලයකට පත්වන්නේය. ලතා වල්පොල මේ සියල්ලම අතික්‍රමණය කර තිබුණි.
''මන රංජන දර්ශනීය ලංකා
මාතා අති රමණී
කිත් පැසසුම් ලැබ දස දිග පූජිත
සුන්දර අප සිරිලක් මෑනී''
ගීතයේ ප්‍රබලතාවය
ගීතයේ ප්‍රබලතාවය කෙතරම්ද යන්න පිළිබඳව මිනුමක් ඇත්තේමය. එනම් ගීතයක් විසින් සමාජයට කරණ බලපෑම මගින් පමණක්ම එය මැනිය හැකිය. එම බලපෑම කෙරෙන්නේ එක එල්ලේම ගායනය නිසාමය. ගායනය ඉහළ තලයකට ඔසවා තැබීමට හඩ කෙතරම් විශිෂ්ට සේවාවක් කරන්නේද යන්න තේරුම් ගැනීමට ඇගේ හඬ කෙතරම් වැදගත්ද?
” විශිෂ්ඨත්වය යනු පුහුණුවෙන් සහ පුරුද්දෙන් දිනාගත් කලාවකි “
(ඇරිස්ටෝ ට්ල්)
මහා ප්‍රතිරූපයක් වීම
සියලුම ශාක ගත්විට එකම වූ පොදු ලක්ෂන ඇත. නමුත් සමහරක් ශාක අනෙක් සියලුම ශාකවලින් වෙනස් වන්නේමය. එයට හේතු වන්නේ ඒවා මහා වුක්ෂයන් මහාවීම නිසාය. මුදුන් මූල පද්ධතියකින් බිමට සවිවූ , කොවුලක්, කඳක්, අතු රිකිලි මල් පල , පත්‍ර, වලින් බරවූ මහා වුක්ෂ වීම නිසාය. කලා කරුවන් සලකා බැලුවත් තත්වය එසේම වන්නේමය.මහා වූක්ෂ මෙන් මහා කලාකරුවන් ඉතාම අල්ප පිරිසකි. ඔවුන් අපට රන් මෙන්ම, මුතු මෙන්ම, දියමන්ති මෙන්ම, වටින්නේමය. ලතා වල්පොල ගායිකාව මේ වටිනාකමේ මුදුන් මල්කඩ ලෙසම හැදින්විය හැකිය.

''සිරිනි සරුසර වී…..ලා
නීල ගොයම් පැසී……
දර්ශනේ……..
රම්‍ය ලංකාර වේ……''
ආගමික ගීත
ගායකයා කලාකාරයෙක් වන බවනම් සැබෑවකි. නමුත් ගායකයා සැබෑ කලාකරුවෙකු වන්නේ , ජනතාවගේ හදගැස්ම හඳුනා ගෙන ගායනා කරණ විටදීය. කලාකරුවා පොදු වස්තුවකි. ඇය එසේමය. බුදු බැති ගීත මෙන්ම කිතුනු ගීත රාශියක්ම ගායනා කළේය.
''නමෝ මරියනි…..
නමෝ මරියනි ප්‍රසාද
පූර්ණවන්තිනි….
නමෝ මරියනි….''
ශ්‍රී ලංකාවේ ගී කෙත පෝෂණය කිරීමට ඇය කළ අග්‍රගණ්‍ය විශිෂ්ඨ සේවයට අපගේ උත්තමාචාරය පුදකර සිටින්නෙමු.
'' බුදුන් වැඩිය මේ
රුවන් පොළව මත
යළි දිනකදි මා ඉපදේවා….''
අපගේ හද බැති තුති මල් ඔබ හමුවේ පුදමින් ඔබ කළ සේවයට ස්තුතිය හා ප්‍රණාමය පුදකර සිටිමු. ශ්‍රී ලාංකීය මහා ගායිකාවනි ඔබට සුභ ගමන්.
(සටහන | ගාමිණී ජයසූරිය)
උපුටා ගැනීම - lankapowernews



