The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

GSP Plus නැති වුණොත් වෙන දේ මෙන්න | දිල්මිණී අබේරත්න

T

The Leader Desk

May 17, 2025 • 6:33 AM

GSP  Plus නැති වුණොත් වෙන දේ මෙන්න | දිල්මිණී අබේරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වගේ ම තවත් ප්‍රශ්නයක් ආයෙමත් ඇතිවෙලා තියෙනවා.
  • + සහනය ලබා ලබාගන්න සුදුසු රටවල් හැම එකක්ම අන්තර්ජාතික සම්මුති 27 ක්‍රියාත්මක කරන්න එකඟ වෙන්න ඕන.
  • මේ කියන සම්මුතීන්වල මූලික පදනම සාරාංශ ගත කළොත්, ඒවා තමයි: 1- මානව හිමිකම් 2- කම්කරු අයිති 3- පරිසරය සහ 4- යහපාලනය දැන් අපි දන්නවා ජී.එස්.පී.
  • ලංකාවට මේ සහනය ලැබුණේ 2005 අවුරුද්දේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වගේ ම තවත් ප්‍රශ්නයක් ආයෙමත් ඇතිවෙලා තියෙනවා. ඒ, ඇමෙරිකාව දිහාවෙන් නම් නෙමෙයි; යුරෝපය දිහාවෙන්. ඒ තමයි යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන ජී.එස්.පී. + සහනය අහිමි වෙයිදෝ කියන සැකය. ඒ නිසා මේ දවස්වල වැඩි වැඩියෙන් ඇහෙන්නේ ශ්‍රී ලංකාවට ජී.එස්.පී. + සහනය නැති වුනොත් මොකද වෙන්නේ? ඒකෙන් ලංකාවේ ආර්ථිකයට මොකද වෙන්නේ? කියන කතාව. මොකද වෙන්නේ කියලා දැනගන්න කලින් අපි පැහැදිලි කරගමු ජී.එස්.පී. + සහනය කියන්නේ මොකක්ද? ඒකෙන් අපිට ලැබෙන්නේ මොනවද? ඒක අපිට දෙන්නේ කවුද? කවදා ඉඳන්ද? කොච්චර කාලෙකටද? කියලා.


ජී.එස්.පී. + සහනය කියන්නේ මොකක්ද?

gsp1

Generalised Scheme of Preferences + එහෙමත් නැත්නම් වෙළෙඳ වරණ පිළිබඳ පොදු ක්‍රමය කියලා කියන්නේ යුරෝපා සංගමය විසින් අඩු හෝ පහළ මැදි ආදායම් ලබන රටවල්වලට ලබා දෙන අන්‍යෝන්‍ය නොවන තීරුබදු සහනයක්. මේ කියන සහනය යටතේ තීරු බදු සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම හෝ ඉතා අඩු මට්ටමක පවත්වා ගැනීම සිද්ධ වෙනවා.

ජී.එස්.පී. + සහනය ලබා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල තිරසාර සංවර්ධනය සහ යහපාලනය ප්‍රවර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන සානුබලයක් නැත්නම් දිරිගැන්වීමක් විදිහට.

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කවුරුත් මුකුත් දෙන්නේ නෑනේ. ඒ වගේ තමා යුරෝපා සංගමයත් අපිට ලබා දෙන මේ තීරු බදු සහනය වෙනුවෙන් පෙරළා යමක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජී.එස්.පී. + සහනය ලබා ලබාගන්න සුදුසු රටවල් හැම එකක්ම අන්තර්ජාතික සම්මුති 27 ක්‍රියාත්මක කරන්න එකඟ වෙන්න ඕන. මේ කියන සම්මුතීන්වල මූලික පදනම සාරාංශ ගත කළොත්, ඒවා තමයි:

1- මානව හිමිකම්

2- කම්කරු අයිති

3- පරිසරය සහ

4- යහපාලනය

ඇඟළුම්

දැන් අපි දන්නවා ජී.එස්.පී. + සහනය කියන්නේ මොකක්ද, ඒක අපිට දෙන්නේ කවුද කියලා. ලංකාවට මේ සහනය ලැබුණේ 2005 අවුරුද්දේ. 2010දි ජී.එස්.පී. + සහනය අපිට අහිමි වුණත් 2015 බලයට පත් වුණ යහපාලන ආණ්ඩුව මැදිහත් වෙලා 2017 වෙද්දි ආයෙමත් ලංකාවට ජී.එස්.පී. + සහනය ලබා ගත්තා. මේ කියන තීරු බදු සහනය වැඩිපුරම වැදගත් වෙන්නේ ඇගලුම් කර්මාන්තයට.

ආර්ථිකයට සැලකිව යුතු දායකත්වයක් ලබා දීලා විදේශීය විනිමය උපයන අංශයක් විදියට වගේම ශ්‍රම බලකායට, සේවා නියුක්තියට ප්‍රබල දායකත්වයක් ලබා දෙන අංශයක් විදිහට ඇඟලුම් කාර්මික අංශයට ලබා දීලා තියෙන මේ ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතාමත් වැදගත්. ලංකාව ඇරුණාම ජී.එස්.පී+ සහනය ලබන තවත් රටවල් තියෙනවා. ඒ තමයි:

1- බොලීවියාව,

2- කේප් වර්ඩ්,

3- කිර්ගිස්තානය,

4- මොන්ගෝලියාව,

5- පකිස්තානය,

6- පිලිපීනය,

7- උස්බෙකිස්තානය සහ

8- ශ්‍රී ලංකාව යන රටවල්


ජී.එස්.පී. + සහනය ලබන්න සුදුසුකම්


 r109748

යුරෝපීයයන්ගෙන් මේ කියන බදු සහනය ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම සංවර්ධනය වෙමින් පවතින පහළ මැදි / පහළ ආදායම් ලබන රටක් වෙන්න ඕන. මේ වෙනකොට ක්‍රියාත්මක වෙන ජී.එස්.පී. ප්ලස් සහනය වලංගු වෙන්නේ 2027 අවුරුද්ද වෙනකන් විතරයි. සමහරු මත පළ කරනවා ඒක 2027 වෙනකම්ම නොගිහින් සමහරවිට 2026 අවුරුද්දෙ මැදකින් වුණත් නතර වෙන්න පුළුවන් කියලා.

කොහොම වුණත් යුරෝපා සංගමය දීලා තියෙන තීරු බදු සහනය වලංගු වෙන්නේ තව අවුරුදු දෙකකට ආසන්න කාලයක් විතරයි. එතනින් එහාට මේ සහනය ඇත්තේම නැද්ද? නෑ, තියෙනවා. හැබැයි අපි ආයෙමත් අලුතින් ඒ සහනයට ඉල්ලුම් කරන්න ඕන. එහෙම ඉල්ලුම් කරද්දි, අපි කලින් වතාවල පොරොන්දු වුණ දේවල් තාමත් කරලා නැත්නම් ප්‍රශ්නයක් පැන නගිනවා. ඒ වගේ වෙලාවක දි යුරෝපා සංගමයට අපේ අයදුම්පත නොසලකා ඉන්න වුණත් පුළුවන්. මොකද එයාලා අපිට සහන දෙන්න බැඳිලා නෑ.

ජී.එස්.පී. + සහනය නොලැබුණොත්?

මෑතකදී ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් ‘GSP + සහනය ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන සහ ශ්‍රම බළකායට ඇති බලපෑම’ (Who Stands to Lose? The Effects of GSP+ Withdrawal on Sri Lanka’s Exports and Labour Force) ගැන වාර්තාවක් එළිදැක්වුවා. ඒ වාර්තාවට අනුව යුරෝපා සංගමයේ රටවලින් කරන ආනයන ඉල්ලුම අඩු වුණොත් ලංකාවේ අපනයන ආදායම ඇ.ඩො. බිලියන 1.23 අඩු වෙලා, ලංකාවේ රැකියා කරන 73,574 ක්  අවදානමකට ලක්වෙන්න පුළුවන් බව වගේම ශ්‍රී ලංකාව යුරෝපයට කරන අපනයන 36.7%ක් අහිමිවීමේ අවදානමක් තියෙන බව සඳහන් වෙනවා.

 

imports and exports

ඒ විදියට අපනයන පරිමාව අඩු වුණොත් කර්මාන්තවල සේවකයින්ගෙන් 4.99%ට අහිතකර ප්‍රතිඵල ඇති වෙනවා වගේම ඒ අවදානමට ලක්වන සේවකයන්ගෙන් 65.65%ක් කාන්තාවන්. ඒ වගේ ම අඩු සහ මධ්‍යම පරිමාණ කුසලතා ඇති ශ්‍රමිකයින් බවත් සඳහන් වෙනවා.

සරලවම ගත්තොත් පහළ මැදි ආදායම් ලබන රටක් විදිහට ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වුණොත් ලංකාවෙන් යුරෝපා සංගමයට කරන ඇඟලුම් අපනයනවලට සඳහා 10%කින්  බදු ප්‍රතිශතය ඉහළ යෑමේ හැකියාව තියෙනවා. ඒ මගින් සෘජුව ම අපනයන ආදායමට, විදේශීය විනිමය ඉපයීම්වලට, සේවා නියුක්තියට, ආර්ථික වර්ධනයට සහ සමාජීය වශයෙන් නොයෙකුත් ගැටලු පැන නැගීමේ හැකියාවක් තියෙනවා.


ජී.එස්.පී. + සහනය නොලැබෙන්න තියෙන අවදානම මොකක් ද?

මීට කලින් අපි කතා කළා. ජී.එස්.පී. + සහනය ලබා දෙද්දි සලකා බලන නිර්ණායක යටතේ තියෙනවා මානව හිමිකම් කියන සාධකය. ඉතිං ලංකාවේ ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act : PTA ) දැන් තියෙන විදිහට තියාගන්න බෑ කියලා යුරෝපා සංගමය කියනවා. වර්තමාන ආණ්ඩුවත් ඔවුන්ගේ  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා මේ පනත අහෝසි කරනවා, එහෙමත් නැති නම් වෙනස් කරනවා කියලා.

 

Online Safety Bill 1 734541

2027දී මේ සහනය අපිට ලබා ගන්න නම් PTA පනත වෙනුවෙන් අදාළ සංශෝධන කරගන්න එක ඉතා ඉක්මණින් කරන්න වෙනවා. මේ පනත ඇරුණාම Online Safety Act එකත් ජී.එස්.පී. + සහනයට බලපෑමක් කළ හැකි එක් කාරණයක්. මොකද Online Safety Act එකෙන්  ‘තහනම් ප්‍රකාශ’ (prohibited statements) විදිහට සැලකෙන අන්තර්ජාල අන්තර්ගත ඉවත් කිරීමට සහ එවැනි අන්තර්ගත සඳහා වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට රජයට බලය ලබා දීලා තියෙනවා. විචාරකයෝ තර්ක කරනවා මේ පනතින් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය වෙනවා කියලා. Online Safety Act එක නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, නවෝත්පාදනය සහ පෞද්ගලිකත්වයට තර්ජනයක් ඇති වන බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මියත් යම් අවස්ථාවක ප්‍රකාශ කළා. මානව හිමිකම් සම්මුතිවලට අනුගත වීමේ කොන්දේසිය මත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට ලබා දීලා තියෙන ජී.එස්.පී. + තීරු බදු සහනය, එවැනි මානව හිමිකම් උල්ලංඝණය වීමක දී අවලංගු කිරීමේ අවදානමක් තියෙනවා.

ජී.එස්.පී. + සහනය තවදුරටත් ලබා දෙන්න ලංකාව සුදුසු ද කියලා බලන්න යුරෝපා සංගමයේ කණ්ඩායමක් ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වපු ආචාර්‍ය හර්ෂ ද සිල්වා මැතිතුමා කියන්නේ මේ සහනය ලංකාවට අහිමි වීමේ අවදානම බොහෝ දුරට අඩු වෙයි. නමුත් ආයෙමත් ඒ වෙනුවෙන් අයදුම් කරන්න සිද්ධ වෙයි කියන එක. ඔහු වැඩිදුරටත් අදහස් දක්වලා තියෙනවා, ගැටලුවක් ඇති වෙන්නේ පැරණි සහනය අහෝසි වෙලා, නව සහනය ක්‍රියාත්මක වන කාලය අතර තියෙන සංක්‍රාන්ති කාලයේ කියලා. ඒ වගේම 2027 නව ජී.එස්.පී. + සහනය ලබා ගන්න මොහොත වෙද්දිත් ලංකාවේ PTA පනත ඉවත් වෙලා නොතිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙනවා.

PTA පනත සහ යුරෝපා පාර්ලිමේන්තුව


dfsdfe

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක PTA පනත ඔස්සේ සිවිල් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම සහ රඳවා තබා ගැනීම සඳහා රටේ පොලීසියට පුළුල් බලතල ලබා දෙන බව කියමින් ඊට විරෝධය පාලා තියෙනවා. ඔවුන් කියන්නේ මේ පනත තුළින් වධහිංසා පැමිණවීම, ලිංගික අපයෝජනය සහ බලහත්කාරයෙන් පාපොච්චාරණය කිරීමට සැලැස්වීම යනාදියට ඉඩ ලැබෙන බව.

2017දි  ශ්‍රී ලංකාව නැවත වතාවක් ජී.එස්.පී. + සහනය ලබා ගන්න පුළුවන්කම ලැබුණේ PTA පනත වෙනුවට වෙනත් පනතක් ආදේශ කිරීම සහ මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායී විදිහට ක්‍රියාත්මක කරනවා කියන කොන්දේසිය උඩ. 2027 වෙද්දි අවුරුදු 10 ගෙවිලත් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ලංකාව අසමත් වුණොත් යුරෝපා සංගමයට අපි ගැන තියෙන විශ්වාසය කඩවෙන එක වළක්වන්න බෑ.

ජී.එස්.පී. + සහනය නැතුවම බැරි ද?

 125824837 mediaitem125824692

ජී.එස්.පී. + සහනය සදාකාලිකව ම ලැබෙන දෙයක් නෙවෙයි. ඒත් ලැබෙන මොහොතේ ඒ සහනය ලබා ගන්න එක වැදගත්. මොකද ලංකාව කියන්නෙ ගෙවුණු අවුරුදු කීපය තුළ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා සෑහෙන පසුබෑමකට ලක් වෙලා තියෙන රටක්; ඒ නැති වුණු ආර්ථික වර්ධන වේගය ලබා ගන්න එක අභියෝගාත්මකයි. ඇමරිකාවෙනුත් රතු එළියක් පත්තු වෙලා තියෙන වෙලාවක යුරෝපා සංගමයෙනුත් ඒ සංඥාවම ලැබුණොත්, ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන අංශයක් වන ඇඟළුම් අංශය ඇතුළු අනෙකුත් අපනයන ආදායම් පහත වැටෙන්න, රැකියා අහිමි වීම මගින් දුප්පත්කම වැඩි වෙන්න හැකියාව තියෙනවා.

ආර්ථික අර්බුදය ඇති වුණේ විදේශ විනිමය හිඟයක් එක්ක. ඒ නිසා වෙන කවදාටත් වඩා ලංකාවට ජී.එස්.පී. + සහනය ඕන වෙන්නේ මේ වෙලාවේ. යුරෝපා සංගමය එක්ක කතාබහ කරලා මේ සහනය තවදුරටත් ලබා ගැනීමේ හැකියාව වගේම ඒ වෙනුවෙන් අදාළ වෙනස්කම් සහ ගැළපුම් කරගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් කාලය ලංකාවට තියෙනවා. ඒ කියන්නේ ලංකාව තාමත් ප්‍රමාද නෑ. හැබැයි යුරෝපා සංගමය මේ සහනය ලබා දෙන අවස්ථාවේ අපි ඉටු කරයි කියලා බලාපොරොත්තු වුණ දේවල්වල ප්‍රගතියක් පෙන්නුවේ නැත්නම් යුරෝපා සංගමයෙනුත් රතු එළි පෙන්නන්න වැඩි කාලයක් ගන්න එකක් නෑ.

dilmini
(සටහන | දිල්මිණී අබේරත්න)
Advocata Institute
dilmini@advocata.org

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...