The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

හිරු 'දඩයම' සහ සමාජ මාධ්‍ය නියාමනය ගැන මම කරපු 'නින්දිත හා අප්‍රසන්න ප්‍රකාශය' | Saroj Pathirana

T

The Leader Desk

December 27, 2025 • 4:14 PM

හිරු 'දඩයම' සහ සමාජ මාධ්‍ය නියාමනය ගැන මම කරපු 'නින්දිත හා අප්‍රසන්න ප්‍රකාශය' | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිරු නාලිකාවෙත්, දෙරණ ඇතුළු ආණ්ඩුව දැඩිව විවේචනය කරන නාලිකා ගැන මතුවෙලා තියන
  • "එංගලන්තයේ  සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ සුවය විදිමින් ....ඔබ ලංකාවට ගොස් කියවීමේ, ලිවිමේ නිදහස ලංකාවේ වෙබ් මාදය වල රාජ්‍ය නියාමනයක් කලයුතුයි කිම ඉතාම නින්දිත හා අප්‍රසන්නම ප්‍රකාශයක්.....
  • ඔබ බ්‍රිතාන්‍ය පුරවැසියකු නම් ඔබ කලේ මෙරට ඇති වෙබ් මාදය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක් වත් නොදන දැයි සිතේ...
  • එදා මෙදා තුර සිංහල සේවය ඇතුළු සමස්ත බීබීසී යෙත් ජනමාධ්‍යවේදයේ සහ පරිපාලනයේ බරපතල පිරිහීමක් දකින්න ලැබුණත් තවමත් සමස්තයක් විදියට බීබීසී ලංකාවේ හැම මාධ්‍යයකටම වඩා ඉදිරියෙන් ඉන්න ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ආන්දෝලනයත් එක්ක 2023 ජනවාරි මාසේ සිරස නාලිකාවේ "මාවත" වැඩසටහනේ සංවාදයෙන් පස්සේ තියපු පහත සටහන පොඩි සංස්කරණයක් එක්ක ආයෙත් පෝස්ට් කරන්න හිතුණා.

"එංගලන්තයේ  සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ සුවය විදිමින් ....ඔබ ලංකාවට ගොස් කියවීමේ, ලිවිමේ නිදහස ලංකාවේ වෙබ් මාදය වල රාජ්‍ය නියාමනයක් කලයුතුයි කිම ඉතාම නින්දිත හා අප්‍රසන්නම ප්‍රකාශයක්..... ඔබ බ්‍රිතාන්‍ය පුරවැසියකු නම් ඔබ කලේ මෙරට ඇති වෙබ් මාදය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක් වත් නොදන දැයි සිතේ... සරෝජ් ඉතාම කණගාටුයි."

 
මාවත වැඩසටහනේ කරපු අදහස් දැක්වීමෙන් පස්සේ බ්‍රිතාන්‍යයේ වාසය කරන කෙනෙක් මට එහෙම පණිවුඩයක් එවල තිබුණ.

ඒ අතරේ උපාලි ගුණසේකර කියල මහත්මයෙක් "ත්‍රස්තවාදියා" කියල නිග්‍රහ කරමින් ඊට වඩා හුඟක් දරුණු විදියට විවේචනයක් කරලා WhatsApp ගෘප් වල දිගට හරහට ෂෙයාර් කරලා තිබුණ. ස්විට්සර්ලන්තයේ ඉඳල තිලක් කෝදාගොඩ සහෝදර මාධ්‍යවේදියාත් මට කතා කළා. අපි බොහොම සුහදව ඒ ගැන අදහස් හුවමාරු කරගත්ත.

"Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව පටන්ගත්ත කාලෙම මාධ්‍යවේදී නාලක ගුණවර්ධන එක්ක කියපු විදියටම බොහොම පැහැදිලිව මම පෙනී ඉන්නේ BBC ආයතනයට බැඳුණ කාලේ ඒ ආයතනයේ තිබුණ විදියේ මහජන සේවා ජනමාධ්‍යයක් වෙනුවෙන්. එදා මෙදා තුර සිංහල සේවය ඇතුළු සමස්ත බීබීසී යෙත් ජනමාධ්‍යවේදයේ සහ පරිපාලනයේ බරපතල පිරිහීමක් දකින්න ලැබුණත් තවමත් සමස්තයක් විදියට බීබීසී ලංකාවේ හැම මාධ්‍යයකටම වඩා ඉදිරියෙන් ඉන්න ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක්. ඒ නිසා ආණ්ඩුවේ propaganda machine බවට පත්වෙලා තියෙන රාජ්‍ය මාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට පත් කළ යුතුයි කියන එක එදා ඉඳලම මම දරපු ස්ථාවරය.

ඒ වගේම තමයි සාම්ප්‍රදායික මාධ්‍යවලට හරි, සමාජ මාධ්‍යවලට හරි තමන්ට කැමති ඕනෑම කුණුහරුපයක් කියන්න, හිතෙන හිතෙන විදියට චරිත ඝාතනය කරන්න, බොරු ප්‍රචාර කරන්න, වර්ගවාදය අවුස්සන්න එහෙමත් නැත්නම් මහජනයා කැළඹෙන ආකාරයේ ප්‍රචාරය කරන්න විතරක් නෙවෙයි, අනුන්ගේ වාර්තා තමන්ගේ විදියට පළකරන්නත් වල් බූරු නිදහසක් තිබිය යුතු නැහැ කියලත් මම විශ්වාස කරනවා. ඒක පුද්ගලික මාධ්‍යවලට වගේම රාජ්‍ය මාධ්‍යවලටත් අදාලයි.

ඒ නිසා මම ඉතා පැහැදිලිව පෙනී ඉන්නේ ස්වාධීන මාධ්‍ය නියාමන ක්‍රමවේදයක් වෙනුවෙන්. ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙනුවෙනුත් කිසියම් ආකාරයක ස්වාධීන නියාමන ක්‍රමවේදයක් තිබිය යුතුමයි.

විශේෂයෙන්ම කැළණි ගඟෙන් නයි මතුවෙන, වඳ කොත්තු මතුවෙන, හිට්ලර්ල ඉල්ලන මහානායකවරු ප්‍රමෝට් කරන මාධ්‍ය කලාවට නියාමනයක් තිබිය යුතුමයි. ඒ වගේම චරිත ඝාතන කරන සහ හිතාමතා රටේ කැළඹිලි ඇතිකරන්න උත්සහ කරන සමාජ මාධ්‍යවලටත් ස්වාධීන නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි.  

ඒ දවස්වල ආචාර්ය රංග කලංසූරියගේ ප්‍රධානත්වයෙන් ඒ වගේ ක්‍රමවේදයක් ගැන වැඩපිළිවෙලක් සකස් කෙරෙමින් තිබුණ. ඊට පස්සේ ඒකට මොකද වුණේ කියල මම දන්නේ නැහැ.  

නමුත් මම කිසිම තැනක රාජ්‍ය නියාමනයක් ගැන කතා කරලා නෑ; රාජ්‍යය මේකට මැදිහත්වීම ගැන කිසිම අවස්තාවක සහයෝගය පළකරලා නෑ. විශේෂයෙන්ම ගෝඨාභය රටින් පැනල ගිය මොහොතේම නීති විරෝධී විදියට Acting President වෙන්න කුලප්පු වෙලා නීති විරෝධී හදිසි නීතියක් දාල අරගලය දඩයම පටන් ගත්ත රනිල් ඒ වෙලාවේ ගේන්න උත්සහ කරපු කිසිම නියාමනයක් එක්ක එකඟවෙන්න බැරි බව මම එදා සටහන් කළා. රාජ්‍ය නියාමනයක් ගැන කතා කිරීමේ අරමුණ ජනමාධ්‍ය දඩයම් කිරීම නිසා කිසිම විදියකට ඒකට එකඟවෙන්න බැහැ.

ස්වාධීන නියාමනයක් ගැන එදා අදහස් දැක්වුවේ සම්ප්‍රදායික මාධ්‍යයේත්, සමාජ මාධ්‍යවලත් කෙරෙන නීතියටත්, සදාචාරයටත් සමස්ත මාධ්‍ය කලාවටත් පටහැනි දුරාචාරය තරමක් දුරට හරි සීමා කරගත යුතු නිසා.

ඒ එක්කම බොහොම පැහැදිලිව මේකත් කියන්න ඕනේ.

මාධ්‍ය දඩයමට මම දැඩිව විරුද්ධයි. මොන ආණ්ඩුව කළත් ඒකට විරුද්ධව ඕනෑම මොහොතක පෙනී ඉන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ ජනමාධ්‍ය හෝ මාධ්‍යවේදීන් රටේ නීතියට ඉහළින් ඉන්නව කියන එක නෙවෙයි. රටේ අනිත් පුරවැසියන් වගේම ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීනුත් කටයුතු කරන්න ඕන රටේ නීතියට යටත්ව. ඒ නිසා මම කියන්නේ වෛද්‍ය ශාෆි ට කරපු හෙන ගහන අපරාධය ගැන ඒ අපරාධය කරපු මාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට අනිවාර්යයෙන්ම රටේ නීතියට අනුව දඬුවම් කළ යුතුයි කියල. ඒ වගේම මාධ්‍ය ආයතනවල තියන ලිංගික හිංසනයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. උදාහරණයක් විදියට ITN ආයතනයේ නිලධාරියෙකුගෙ ලිංගික හිංසන ගැන ප්‍රවෘත්ති නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර කරපු පැමිණිල්ලට මොකද වුණේ කියල අදත් අපි දන්නේ නෑ. වරදකට නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවක ඒක ජනමාධ්‍ය දඩයමක් කියල කෑගහන්න මම නම් සූදානම් නැහැ. අපේ රටේ ජනමාධ්‍යවල (රාජ්‍ය සහ පුද්ගලික කියන අංශ දෙකේම) උද්දච්ඡ හැසිරීම පාලනය කරන්න පුළුවන් වෙන්නේ හැම දෙනාටම එක විදියට රටේ නීතිය බලපවත්වනවා නම් විතරයි.  

"හිරු දඩයම" ගැන ලසන්ත ද සිල්වා, රංග කලංසූරිය, තරිඳු උඩුවරගෙදර, TMG චන්ද්‍රසේකර සහෝදර මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙක්  අදහස් දක්වල තියෙනව දැක්ක. වැරදි ප්‍රවේශයකින් මතුවුණා වුණත් පැහැදිලිවම මේ සංවාදය යහපත් ප්‍රවනතාවක්. දැන් අවශ්‍ය වෙන්නේ ආණ්ඩුව මේ අදහස් උකහාගෙන මාධ්‍ය දඩයමක් වෙනුවට නිසි නියාමන ක්‍රමවේදයකට පහසුකම් සැලසීම සහ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙනුත් විනිවිද පෙනෙන සුළු ආකාරයේ mechanism එකකට දැන්වත් මුල පිරීම.

ඒ සඳහා ආණ්ඩුවට අවංක අභිප්‍රායක් තියෙනවා නම් මම දන්න තරමින් ඒ මාධ්‍ය සගයින් හැම දෙනාම බොහොම කැමැත්තෙන් ඒ කටයුත්තට සහය දේවි.

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com


(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 දෙසැම්බර් 25

සබැඳි ලිපිය :
සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...