The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

'කොළඹින් කතා කරමි' …'His Master’s Voice' ට සියක් වසක් : දස වසක් මාත් එක්ක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

T

The Leader Desk

February 8, 2026 • 7:43 AM

'කොළඹින් කතා කරමි' …'His Master’s Voice' ට සියක් වසක් : දස වසක් මාත් එක්ක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ මහදැනමුත්තා වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පසුගියදා සිය සියවන උපන්දිනය සැමරුවා.
  • මේ සියල්ලටම වඩා මේ මහා දැනමුත්තාගේ භූමිකාව ගැන විචක්ෂණශීලීව අත්හදා බැලීම් කල එහි ව්‍යාධීන්ට බලාපොරොත්තු සහගත ලෙස ප්‍ර‍තිකර්ම කරන්නට වෙරදැරූ මෙරටින් බිහි වූ විශිෂ්ඨතම ගුවන්විදුලි විශේෂඥයින් හතර දෙනා වන විජයානන්ද ජයවීර, තිලක් ජයරත්න, එම්.ජේ.ආර්.
  • කෙසේ නමුත් මේ සියවස ගැන සටහන් තැබූ හිටපු ප්‍ර‍වෘත්ති කළමනාකරුවෙකු වන මහින්ද රූබසිංහ සහ කථිකාචාර්ය ටෙරෝෂානි දසනායක මගේ නමද සඳහන් කර තිබුණා මතකයි.
  • “කිමද වල් බිහිවන්නට කාරණා” ගාමිණී විජේතුංගයන්ගේ මේ ආකර්ෂණීය සිරස්තලය ඔහුට ගෞරවයක් ලෙස නැවතත් මම යොදා ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වෙනකොට ඔහු ස්වාභාවික මරණයකට පත්වී දශක හතරක් විතර ගත වෙලා. ඔහුගේ රෝග ලක්ෂණ ගැන මුලින්ම විද්‍යාත්මක පරීක්ෂණයක් කලේ දෙසතිය කතෘ ගාමිණී විජේතුංග. ඔහු එම රෝග වාර්තාව “ කිමද වල්බිහිවන්න කාරණා” කියලා දෙසතිය සඟරාවේ පළ කලා.

ගාමිණී විජේතුංගයන්ගෙන් පසුව මේ දැනමුත්තාගේ ඉරණම සහ ඔහුගේ ජීවිතය බේරාගන්න කරන්න ඕන ප්‍ර‍තිකර්ම ගැන වැඩිම පර්යේෂණ ප්‍ර‍මාණයක් කරලා ඒවායේ සොයා ගැනීම් දේශීය සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය වේදිකා වල සාකච්ඡා කල කෙනා විදියට ( එම පර්යේෂණ පත්‍රිකා මේ සමඟ අමුණා තිබෙනවා) මේ දැනමුත්තාට උන දේ ගැන යමක් කියන්න මටත් සුජාතභාවයක් තියෙනවා කියලා මට හිතෙනවා.

මම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, සහ වැඩසටහන් කළමණාකරුවෙක් වශයෙන් වසර දහයක් මේ මහා දැනමුත්තාගේ ඇසුරේ මා ගත කර තිබෙනවා. එය තවමත් මෙරට තිබෙන විශාලම විද්‍යුත් මාධ්‍ය ආයතනය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ හිංදි භාෂා වලින් ගුවන් විදුලි නාලිකා විස්සකට වැඩි ප්‍ර‍මාණයක් ජාතික, ජාත්‍යන්තර, ප්‍රාදේශීය සහ ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථාන විදියට මෙරට ජන දිවි මගේ සොඳුරු, ගැඹුරු සහ අඳුරු තැන් වල වගේම දිදුලන තැන්වලද ඔහු සාක්ෂිකරුවෙක්.

 

WhatsApp Image 2026 02 08 at 8.45.46 AM 2
මගේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සෑම අංශයකම ( ප්‍ර‍වෘත්ති, ඉංග්‍රීසී, සිංහල, දෙමළ, වෙළඳ, ප්‍ර‍ජා, පුහුණු, පර්යේෂණ) කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිව තිබීම.

මේ සියල්ලටම වඩා මේ මහා දැනමුත්තාගේ භූමිකාව ගැන විචක්ෂණශීලීව අත්හදා බැලීම් කල එහි ව්‍යාධීන්ට බලාපොරොත්තු සහගත ලෙස ප්‍ර‍තිකර්ම කරන්නට වෙරදැරූ මෙරටින් බිහි වූ විශිෂ්ඨතම ගුවන්විදුලි විශේෂඥයින් හතර දෙනා වන විජයානන්ද ජයවීර, තිලක් ජයරත්න, එම්.ජේ.ආර්. ඩේවිඩ් සහ ජනදාස පීරිස් ගේ සමීප ඇසුරේ හැදී වැඩෙන්නට මට ලැබුණු අවස්ථාව සුවිශේෂයි කියලා මට හිතෙනවා.

මේ සියළුම සුවිශේෂතා තිබුණත් සියක් වසක් පිරෙද්දී මේ මහදැනමුත්තාට වෙච්ච දේ ගැන ආපහු හැරිලා බලලා යමක් කියන්න ගුවන් විදුලියට ගොඩවෙන්න මට ආරාධනාවක් නොලැබීමේ හේතුව සහ එය ගැන අහම්බෙන්වත් විද්‍යාත්මකව සොයා නොබැලූ, අත්දැකීම් නොලැබූ තැනැත්තන් එහි ගොඩවැදී වහසිබස් දෙඩවීම මේ දැනමුත්තාගේ රෝග ලක්ෂණ මතුපිටට පේන අවස්ථාවක්. කෙසේ නමුත් මේ සියවස ගැන සටහන් තැබූ හිටපු ප්‍ර‍වෘත්ති කළමනාකරුවෙකු වන මහින්ද රූබසිංහ සහ කථිකාචාර්ය ටෙරෝෂානි දසනායක මගේ නමද සඳහන් කර තිබුණා මතකයි.

“කිමද වල් බිහිවන්නට කාරණා”

WhatsApp Image 2026 02 08 at 8.45.46 AM 3
ගාමිණී විජේතුංගයන්ගේ මේ ආකර්ෂණීය සිරස්තලය ඔහුට ගෞරවයක් ලෙස නැවතත් මම යොදා ගන්නවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මෙරට ජනදිවි මගේ පෙරගමන්කරු බවට පත්වීමේ ඓතිහාසික භූමිකාව අහිමි වුණේ 1966 දී ලංකා ගුවන් විදුලි සංස්ථා පනත මඟින්. ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව නිර්මාණශීලී මහජන සේවා කාර්යභාරයක් ඉටු කරන බැවින් ඊට වඩාත් නම්‍යශීලී නිදහස් කළමනාකරණ ආකෘතියක් අවශ්‍ය බව හඳුනා ගැනීමේ ප්‍ර‍තිඵලයක් විදියට එය රාජ්‍ය සංස්ථාවක් බවට පත්වුණා.

එහෙත් සංස්ථා පනතේ විධිවිධාන මඟින් සැබැවින්ම සිදු වුණේ එය කාලෙන් කාලට බලයට පත්වන ආණ්ඩු වල හොරණෑවක්  (His Masters’ Voice/හිස් මාස්ටර්ස් වොයිස්) බවට පත්වීම.

images
ගුවන්විදුලි සංස්ථාවේ ඉහළම තීරණ ගන්නා තැන එහි අධ්‍යක්ෂ මණ්ඩලය. පණතට අනුව සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ බලය තියෙන්නේ ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයාට. ඔහුට තිබෙන බලය අනුව තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට පෝස්ටර් අලවපු කෙනෙකුගේ සිට පාතාල නායකයෙකු දක්වා තමන් කැමති ඕනෑම අයෙක් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කරන්න පුළුවන්. ඒ වගේම තමන් කැමති ඕනෑම වෙලාවක ඔවුන් එම තනතුරු වලින් ඉවත් කිරීමේ බලය විෂයභාර අමාත්‍යවරයාට තියෙනවා.ඊටත් වඩා තීරණාත්මක දේ තමයි ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍ර‍චාරය වන සියළුම ප්‍ර‍වෘත්ති සහ වැඩසටහන් සඳහා මැදිහත්වෙන්න බලයේ සිටින ආණ්ඩුවට තිබෙන බලය.

නිදසුනක් වශයෙන් ගුවන්විදුලි මධ්‍යස්ථානයකට වැස්සකටවත් ගොඩ නොවැදුන ව්‍යාපාරිකයෙකු මීට වසර ගණනාවකට පෙර මෙහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුවා. තවත් විටෙක ගුවන්විදුලි වැඩසටහන්කරණය සහ කළමනාකරණය ගැන කිසිදු හැදෑරීමක්, අත්දැකීමක් හෝ පුහුණුවක් නොමැති ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාද, ටියුෂන් ගුරුවරයෙකුද, නීතීඥයෙකුද, ඡායාරූප ශිල්පියෙකුද මෙම තනතුරට පත්කර තිබෙනවා.

මොවුන්ගේ ප්‍ර‍ධාන භූමිකාව වන්නේ බලයේ සිටින ආණ්ඩුවේ හොරණෑවක් ලෙස මෙම ආයතනය පවත්වා ගෙන යාම. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ තමන්ගේ පක්ෂයේ දේෂපාලන හිතවතුන්. වෘත්තීය සමිති ක්‍රියාකාරීන්. ඒ අනුව හැම මැතිවරණයක් අවසානයේම ඒ වන විට ගුවන් විදුලියේ වැඩසටහන් සහ ප්‍ර‍වෘත්ති අංශ වල ප්‍ර‍ධානීන් වශයෙන් කටයුතු කල කළමනාකරුවන් ගුවන් විදුලි සංස්ථාවේ තිබෙන සයිබීරියාව වන පර්යේෂණ සහ පුහුණු අංශයට මාරුකර යවනු ලබන අතර අළුතින් බලයට පත් ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් එම තනතුරු වලට පත් කරනු ලබනවා.

ඔවුන් ආණ්ඩුව ආරක්ෂා කිරීමේ එනම් රජ්ජුරුවන්ගේ ඇගේ මැස්සන් එලවීමේ කඩුව අතට ගන්නා වඳුරන්ගේ භූමිකාවට පණ පොවනවා. ප්‍ර‍තිඵලය වන්නේ මේ ඒකපාර්ශවීය, වෘත්තීයභාවයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් තොර ප්‍ර‍වෘත්ති සහ වැඩසටහන් අහන් ඉන්න බැරි අසන්නන් ගුවන්විදුලිය හැරගොස් පුද්ගලික ගුවන්විදුලි නාලිකා වටා එකතුවීමයි. මෙම තත්වය මේ දැනමුත්තාට වැළඳුන රෝගය මුඩුදුවන්න මග පාදනවා. ඒ තමයි වෙළඳ දැන්වීම් අහිමි වීම සහ ආයතතනය පවත්වාගෙන යාමට අරමුදල් නොමැතිවීම. ගුවන්විදුලි මාධ්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥභාවයක් නොමැති සභාපති/ අධ්‍යක්ෂජනරාල්වරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් රෝගය තවදුරටත් උත්සන්න කරනවා.

අරමුදල් නොමැති වීම සහ දේශපාලීකරණය හේතුවෙන් ඉහළ නිර්මාණශීලීත්වයක් සහ වෘත්තීයභාවයක් සහිත මාධ්‍යකරුවන්ගෙන් ආයතනයේ මානව සම්පත් සංවර්ධනය කිරීමේ අවස්ථාවද, නවීන තාක්ෂණය අත්පත් කර ගැනීමේ අවස්ථාවද ( රෝගියාට පෝෂණීය ආහාර, විටමින්, පිරිසිදු වාතාශ්‍ර‍ය සහ ගුණාත්මක භාවයෙන් ඉහළ බෙහෙත් අහිමි වීම) අහිමි වෙනවා. ඒ හිඩැස පාලකයන් විසින් පුරවනු ලබන්නේ අඩු වැටුපට වෘත්තීයභාවයක්, නිර්මාණශීලීත්වයක් සහ අධ්‍යාපන පසුබිමක් නොමැති රැකියා සොයාගෙන එන තම දේශපාලන හිතවතුන්ගෙනි.

ප්‍ර‍තිඵලය වූයේ කවුරුත් අහන්නේ නැති රජයේ භාණ්ඩාගාරයෙන් නඩත්තු වී ස්වාභාවික මරණයට පත් වූ මහා දැනමුත්තෙකි.

WhatsApp Image 2026 02 08 at 8.45.46 AM
ප්‍ර‍තිකර්මය

වර්තමානයේ මෙරට කුණු වී ගඳ ගසන සමාජ, දේශපාලන සහ ආර්ථික කුණුවලක සිරවී සිටිනවා.

මෙම අර්බුදයෙන් ගොඩ එන්න සුවිශේෂී කාර්භාරයක් ජනමාධ්‍යන්ට කරන්න පුළුවන්. ඒ තමයි ජනමාධ්‍යන්ගේ වෘත්තීය භූමිකාවට පණ පෙවීම. එනම් සමාජයේ, දේශපානයේ, ආර්ථිකයේ අපක්ෂග්‍රාහී ආරක්ෂක මුර පල්ලෙක් (watch dog), විවෘත මහජන කතිකා සඳහා අපක්ෂපාතී විවෘත වේදිකාවක් ලෙස සහ සමස්ත තොරතුරුවලින් රටේ පුරවැසියා බලාත්මක කිරීම. රටේ පුරවැසියා ආලින්දයේදී, වෙළඳපොළේදී සහ ඡන්දපොළේදී ක්ෂණික තීරණ ගැනීමට බලකරනවා වෙනුවට හොඳින් හිතා මතා තීරණ ගැනීමට පහසුකම් සැලසීම.

මේ සඳහා අපක්ෂග්‍රාහී, ස්වාධීන, දේශපාලන, වෙළඳපොළ, සහ නිලධාරීමය බලපෑමෙන් බැහැර වූ මාධ්‍ය වපසරියක් අවශ්‍ය වෙනවා. මෙවැනි මාධ්‍ය හඳුන්වන්නේ මහජන සේවා මාධ්‍ය (Public Service Media) නමින්. බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍ර‍ධාන භූමිකාවක් ඉටු කරන්නේ මේ මහජන සේවා මාධ්‍ය. රටක පාලකයින්ට රට ගොඩනැගීම සහ ක්‍රමයේ වෙනසක් සඳහා අවංක උවමනාවක් තිබෙණවා නම් මහජන සේවා මාධ්‍ය තමන්ගේ අරමුණට යන්න ශක්තිමත් පලිහක් වෙනවා.

බලය අයථා ලෙස භාවිතය ප්‍ර‍ශ්න කරන්න, විශේෂයෙන් ආණ්ඩුවේ දූෂණ, වංචා, අක්‍ර‍මිකතා සහ අකාර්යක්ෂමතාව නැති කරන්න ආණ්ඩුවේ කටයුතු සමීපව, අපක්ෂපාතීව සහ ස්වාධීනව නිරීක්ෂණය කරමින් ඒවා වාර්තාකරන, ඒවා ගැන මහජන කතිකාවක් ගොඩනගමින් ඒවා නිවැරදි කිරීමට මැදිහත් වෙන මහජන සේවා මාධ්‍ය භූමිකාව මෙතනදී සුවිශේෂයි.

අනිත් අතට රටට අවශ්‍ය මොන ආකාරයේ සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපනික පරිවර්තනයක්ද? අපේ සංවර්ධන ප්‍රවේශය කුමනාකාර විය යුතුද යන්න පිළිබඳ විවෘත පුළුල් මහජන සහභාගීත්වය සහිත ගැඹුරු කතිකාවකට පහසුකම් සලසන්න පුළුවන් වන්නේ මහජන සේවා මාධ්‍ය වලට.

මේ සඳහා මහජන සේවා මාධ්‍ය මොඩලය මෙරටට හඳුන්වා දෙන්න ඕන.

ඒ සඳහා තිබෙන පහසුම ප්‍රවේශය වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආණ්ඩුවේ ග්‍ර‍හණයෙන් නිදහස් කර ස්වාධීන මහජන සේවා මාධ්‍ය ආයතනයක් බවට පත් කිරීමයි.

ගුවන්විදුලි සංස්ථා පණත සංශෝධනය කිරීමෙන් මෙය කරන්න පුළුවන්. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට මේ අවශ්‍යතාව පෙන්වාදීමෙන් පසු ඒ සඳහා කටයුතු කරන්න ඔහු විසින් විශේෂඥ කමිටුවක් පත්කළහ. පැරිස්හි යුනෙස්කෝවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන විජයානන්ද ජයවීර මහතා එහි සභාපතීත්වය දැරුවා. මමද එහි සාමාජිකයෙකු වශයෙන් කටයුතු කලා. අප විසින් ඒ සඳහා මූලික කෙටුම්පත් සම්පාදනය කරමින් ඉන්න අතරතුර මංගල සමරවීර මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ එම කටයුත්ත ඇණහිට්ටා.

නොනැසී පවතින්නට දැරූ උත්සාහයන්

මෙම මහා දැනමුත්තා තමන්ගේ සමාජීය සහ වෘත්තීය භූමිකාව නිවැරදිව හඳුනාගනිමින් එම භූමිකාවට මාරුවෙන්න දැරූ ප්‍ර‍බල උත්සහයන් තුනක් හඳුනා ගන්න පුළුවන්.

නව අධ්‍යාපන සේවය

මෙරටින් බිහිවූ විශිෂ්ඨතම ගුවන්විදුලි සන්නිවේදකයා වශයෙන් හැඳින්විය හැකි තිලක් ජයරත්නගේ නායකත්වයෙන් ආරම්භ වූ “ නව අධ්‍යාපන සේවය” (සුභාරතී) ගුවන් විදුලි නාලිකාව ගුවන් විදුලි සංස්ථාව මහජන සේවා භූමිකාවට පරිවර්තනය වීමට දැරූ ප්‍ර‍බලම උත්සහය විදියට හඳුන්වන්න පුළුවන්. මම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ නව අධ්‍යාපන සේවයේ නිෂ්පාදකවරයෙක් විදියට. ඒ කාලේ මම විශ්ව විද්‍යාලයෙන් පිට වුනා විතරයි. නව අධ්‍යාපන සේවය ගුවන් විදුලි නාලිකාව ආරම්භ කරද්දි “ මිනිස් ජීවිතයට බලපාන සෑම දෙයක්ම අධ්‍යාපනය” ලෙස තිලක් ජයරත්නයන් නිර්වචනය කලා. ඒ අනුව දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, මානව හිමිකම් වගේම සමාජ ජීවිතයත් අධ්‍යාපනයට අයිතියි. තිලක්ට අනුව අපේ රටේ අති බහුතරයට මේවා සැබෑ අර්ථයෙන් හිමි වෙලා නැහැ. ඒ වගේම ඔවුන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, සෞඛ්‍ය, ආරක්ෂාව සහ භාවමය උවමනාවන් ඉටු කරගන්න විශාල අරගලයක් කරමින් ඉන්නේ. මේවා ආමන්ත්‍රණය  කරමින් ජනතාවට මේ අරමුණු වලට යන්න පහසුකම් සලස්සන ගුවන් විදුලි මාධ්‍යට පුළුවන්. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (1898–1956) (Bertolt Brecht)  නම් විශිෂ්ඨ නාට්‍යකරුවා වරක් මෙහෙම පැවසුවා. “. ගුවන් විදුලි මාධ්‍ය හුදෙක් අසා සිටීමේ මාධ්‍යක සිට ඔහුට කතා කරන්න ඉඩ සලසන මාධ්‍යක් බවට පරිවර්තනය කරන්න පුළුවන්නම්, අසන්නා එකිනෙකාගෙන් හුදෙකලා කරනු වෙනුවට ඔහු එකිනෙකා එක්ක සම්බන්ධ කරන්න පුළුවන්නම් ගුවන්විදුලි මාධ්‍ය කෙතරම් අසිරිමත් මාධ්‍යක් වනු ඇත්ද?

මේ තිලක් ජයරත්නගේ වචන. ඔහු නව අධ්‍යාපන සේවය ගොඩ නැගුවේ මේ දාර්ශනික පසුබිමේ ඉඳලා. ඒ දර්ශනය යථාර්ථතයක් කරන්න ඔහු විසින් මා ඇතුළු 20 දෙනෙක්ගෙන් යුත් උපාධීධාරී කණ්ඩායමට දැඩි පුහුණුවක් සහ සොඳුරු ආඥාදායක මගපෙන්වීමක් ලබා දුන්නා.

 

WhatsApp Image 2026 02 08 at 8.45.45 AM 1
අපේ කණ්ඩායමට අමතරව ඒ වෙනකොට ගුවන් විදුලි සංස්ථාවේ ඉතිරි වෙලා හිටිය විශිෂ්ඨ නිර්මාණකරුවන් කිහිප දෙනෙක් වන තිළිණ සමරසූරිය, අරුණ බාලසූරිය, නිමල් සෝවිස්, කේ.එච්. උපසේන, කුලරුවන් කුසුම්තිලක, ලක්ෂ්මි කබ්රාල් ඇතුළු කණ්ඩායමකුත් මීට නායකත්වය දෙන්න එකතු කරගත්තා.

මෙම නාලිකාවට මුලින් යෝජනා වූ නම “ සුභාරතී”. “ සුභ අරුත් දෙන වචන” යන්න ඒ වචනයේ සරල අර්ථයයි. මහාචාර්ය සුචරිත ගම්ලත් තමයි මේ නම යෝජනා කලේ.ඩබ්. ජයසිරි විසින් ඊට ගැලපෙන තේමා ගීතයක් ලියනු ලැබුවා. අමරසිරි පීරිස් ගායනා කරන “ ඔබෙ නිවහන සොයා ඇදේ.....සුභාරතී” කියන ප්‍ර‍සිද්ධ තේමා ගීතය තමා එය. කොහොම වුණත් මෙම නාලිකාවට අරමුදල් ලබා දුන් ජාතික අධ්‍යාපන ආයතන එක්ක සම්බන්ධවෙලා සිටි තවත් මහාචාර්යවරයෙකුගේ බලපෑම මත සුභාරතී නම භාවිතා කරන්න ගුවන්විදුලි පාලන අධිකාරිය අවසර ලබා දුන්නේ නැත. අන්තිමේට නව අධ්‍යාපන සේවය නමින් මෙම ගුවන් විදුලි නාලිකාව ආරම්භ වුණා.

එහි වැඩසටහන් සැලසුම් වුණේ සුවිශේෂී අසන්නන් ඉලක්ක කර ගනිමින්. ඔවුන්ගේ ඉටු නොවුණ අවශ්‍යතා ඉටු කරන්න ගුවන්විදුලි මාධ්‍ය පහසුකම් සලසන ආකාරයේ ආකෘතියකින්. ඒ අනුව තරුණ ප්‍ර‍ජාව, කම්කරු ප්‍ර‍ජාව, ගොවි ප්‍ර‍ජාව, කාන්තා ප්‍ර‍ජාව ආදී සුවිශේෂී අසන්නන් ඉලක්ක කරගත් වෙන් වෙන් වැඩසටහන් ඒ අතර තිබුණා. බොහෝ විට  එම වැඩසටහන් වාර්තාංග, විචිත්‍රාංග සහ සඟරා ආකෘතියගත් නිර්මාණාත්මක වැඩසටහන්. වැඩසටහන් වලින් ඇහුනේ සාමාන්‍ය ජනතාවගේ හඬ. ඔවුන් ජීවිතය ගැටගහන්න කරන අරගලය.

මානව හිමිකම් කඩවූවන්ට තම ගැටළුව දුරකථනයෙන් ඉදිරිපත් කර නීති උපදෙස් සහ නීතීඥ සේවය නොමිලයේ ලබා ගන්නා දුරකථන සංවාද වැඩසටහන සහ කාලීන සමාජ දේශපාලනය ගැන දුරකථනය ඔස්සේ විවෘතව සංවාද කිරීමට අසන්නාට අවස්ථාව ලැබුණ දුරකථන සංවාද වැඩසටහන නව අධ්‍යාපන සේවයේ තවත් අත්හදාබැලීමක්.

WhatsApp Image 2026 02 08 at 8.45.45 AM 2
මම නිෂ්පාදනය කල “විසම්මුතිය” වැඩසටහන තමයි නව අධ්‍යාපන සේවයට වාරණය රැගෙන ආව පළවෙනි වැඩසටහන. මෙම වැඩසටහන් මාලාවට මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය අර්ජුන පරාක්‍ර‍ම, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, දීප්ති කුමාර ගුණරත්න සහ ඩබ්. ජයසිරි වගේ අය සම්පත්දායකයින් විදියට සහභාගී වුණා.

එක දවසක් “විසම්මුතිය” ට “එකඟත්වයට නොපැමිණි මතිමතාන්තර වලට” තේමාව වුණේ මෙරට දේශපාලන නායකයින් බලයට පත්වීම සඳහා ආගම සහ මියගිය පුද්ගලයින් යොදාගන්නා ආකාරය. ඒ වනවිට ජනාධීපති චන්ද්‍රිකා බණ්ඩාරණායක. මේ වැඩසටහනේදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මහනුවර දළදා මාළිගාවේ ඉඳන් දිවුරුම් දීම, ජනාධිපති චන්ද්‍රිකා තම මියගිය සැමියාගේ සහ පියාගේ නාමය බලයට පත්වීම සඳහා යොදා ගැනීමේ සිට ආණ්ඩු මාරුවන විට ගුවන් විදුලි සංස්ථාව වැනි රාජ්‍ය ආයතන වල ගසා තිබෙන රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප ඉවත් කරන ආකාරය විමසුමට ලක් කලා.

WhatsApp Image 2026 02 08 at 8.45.45 AM 3

මේ වැඩසටහන නිෂ්පාදනය කරන අවස්ථාව වෙනකොට වැඩසටහන් ප්‍ර‍චාරයට පෙර ආයතනයේ ඉහළ නිලධාරියෙක්ගේ අවසරය ලබා ගත යුතු බවට අභ්‍යන්තර නීතියක් පනවලා තිබුණා. ඒ අනුව මම මේ වැඩසටහන ඒ නිලධාරියාට අහන්න සැලැස්වූවා. ඔහුගේ තීරණය වුණේ මේ වැඩසටහන ප්‍ර‍ාරණය නොකිරීමට. නව අධ්‍යාපන සේවයට කණකොකා හඬන්න පටන් ගත්තතේ මෙතැනින්.

ඒ රටේ පාලන බලය ප්‍ර‍ධාන දේශපාන පක්ෂ දෙකටම අයිතිවෙලා තිබුණ කාලේ. ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ ඩී.බී. ව්ජේතුංග. අගමැති සහ කැබිනට් මණ්ඩලය චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ පොදුජන එක්සත් පෙරමුණ. ජනාධීපතිවරණයට චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ විපක්ෂනායක ගාමිණී දිසානායක ඉදිරිපත් වී සිටියා. ජනාධිපතිවරණ ප්‍ර‍චාරක ව්‍යාපාරය අතරතුර බෝම්බ ප්‍ර‍හාරයකින් විපක්ෂ නායක ගාමිණී දිසානායක ඝාතනය කරනු ලැබුවා. විපක්ෂනායකගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ නිදහස් චතුරස්‍රයේදී.

විපක්ෂනායකවරයාගේ අවමංගල්‍ය උත්සවය රජයේ මාධ්‍ය සජීවීව ආවරණය කලේ නැහැ. විද්‍යුත් මාධ්‍ය මෙසේ කටයුතු කලේ මන්ද යන්න විමසා බලන වාර්තා වැඩසටහනක් මමත් තිළිණ සමරසූරියත් එකතු වෙලා නිෂ්පාදනය කලා. නව අධ්‍යාපන සේවයේ පාලක තිලක් ජයරත්නගේ නිර්මාණශීලී මගපෙන්වීම මේ සඳහා ලැබුණා. මෙම වැඩසටහන සඳහා රජය පාර්ශවයෙන් ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විපක්ෂය වෙනුවෙන් අවමංගල්‍ය උත්සවය සම්බන්ධීකරණය කල හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, රූපවාහිනී සංස්ථාවේ සභාපති වසන්ත රාජා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මනෝරංජන්, ආරියනන්ද දොඹගහවත්ත, ආචාර්ය සරත් අමුණුගම, කථිකාචාර්ය එම්.ජේ.ආර්. ඩේවිඩ් යන අය සමඟ කල සම්මුඛ සාකච්ඡාවල උපුටා ගැනීම්, පුවත්පත් වාර්තා සහ මේ සම්බන්ධයෙන් හුවමාරු වූ ලිපි ලේඛණ ඇතුළත් වී තිබුණා. මෙම වැඩසටහන ප්‍ර‍චාරය කිරීමට අදාළ බලධාරියාට යොමු කල විට එය ප්‍ර‍චාරය කිරීමට අනුමැතිය දීමද ඔහු විසින් ප්‍ර‍තික්ෂේප කරනු ලැබුවා. සති කිහිපයකට පස්සේ මේ වැඩසටහනේ අන්තර්ගතය ඇතුළත් පිටපත  යුක්තිය පුවත්පතේ  සුනන්ද දේශප්‍රිය විසින් පළකල  කර තිබුණා.

මින්පසු නව අධ්‍යාපන සේවය වසා දැමීමේ කටයුතු බලධාරියා විසින් සූදානම් කරමින් සිටි බවට පෙනෙන්න තිබුණා. එය සිදුවුණේ එක්තරා දවසක උදෑසන සජීවී වැඩසටහනක් ප්‍ර‍චාරය වෙමින් තිබෙන අතරතුර.

WhatsApp Image 2026 02 08 at 8.45.44 AM
එදින උදෑසන සජීවීව ප්‍ර‍චාරය වෙමින් තිබුණේ කම්කරු ප්‍ර‍ජාව නම් වැඩසටහන. වැඩසටහනින් රත්මලාන ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක් වසා දැමීම පිළිබඳ සාකච්ඡා වෙමින් තිබුණා. වැඩසටහන සඳහා කම්හල් සේවිකාවන්, වෘතීය සමිති නායකයින්, කම්කරු කොමසාරිස් සහ කම්කරු අමාත්‍යවරයාගේ අදහස් ඇතුළත්ව තිබුණා. වැඩසටහන ප්‍ර‍චාරය වෙමින් පවතින අතරතුර ප්‍ර‍චාරක මැදිරියට දුරකථන ඇමතුමක් ලබාදුන් බලධාරියා එම වැඩසටහන ප්‍ර‍චාරය වහාම නවත්වන ලෙස නියෝග කලා. ඊට පසු අසන්නන්ට නව අධ්‍යාපන සේවය නැවත ඇසුනේ නැහැ.

පුද්ගලයෙකුගේ නිවසේ ගුවන්විදුලි යන්ත්‍ර‍ක් තියෙනවා නම් ඒ සඳහා ගුවන් විදුලි සංස්ථාවට ගාස්තුවක් ගෙවා බලපත්‍ර‍ක් ලබා ගන්න ඕනෙ. මේ වගේ බලපත්‍ර‍ක් ලබා ගෙන තිබූ ගුවන්විදුලි අසන්නෙකු වන විමල් ප්‍ර‍නාන්දු නව අධ්‍යාපන සේවය තහනම් කිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට තර්ක කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරනු ලැබුවා. ඔහුගේ තර්කය වුනේ තමන් ගුවන්විදුලි බලපත්‍ර‍ක් ගාස්තුවක් ගෙවා ලබා ගෙන තිබෙන නිසා නව අධ්‍යාපන සේවයට අඛණ්ඩව ඇහුම්කම් දීමට තමාට අයිතියක් තිබෙන බවයි. මෙම නාලිකාව වසා දැමීම නිසා තමන්ගේ අදහස් දැනගැනීමේ නිදහස අහිමි වූ බවට ඔහු වෙනුවෙන් නීතීඥයින් තර්ක කලා.

මෙම නඩුව විභාග කල ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල පිළිගනිමින් ගුවන් විදුලි සංස්ථාවේ තීරණය වැරදි බවත් ඊට වන්දි වශයෙන් පැමිණිලිකාර විමල් ප්‍ර‍නාන්දු යන අයට රු. 50000 ක වන්දියක් ගෙවන ලෙස ගුවන් සංස්ථාවට නියෝග කලා.


මේ නියෝගයෙන් පසුව ගුවන් විදුලි සංස්ථාව කලේ මෙතෙක් තිබූ ගුවන් විදුලි යන්ත්‍ර‍ සඳහා බලපත්‍ර‍ ගාස්තුවක් අයකිරීමේ ක්‍ර‍මය අහෝසි කිරීමයි. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බී.බී.සී) මෙම බලපත්‍ර‍ ගාස්තු අය කිරීමේ ක්‍ර‍මය අදද පවත්වාගෙන යනු ලබනවා. එහි අරමුණු වන්නේ ගුවන්විදුලි මාධ්‍ය වාණීජ අරමුණු වලින්, ලාභ ලැබීමෙන් තොරව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි මහජන යහපත සහ මහජන උනන්දුව වෙනුවෙන් මහජන සේවයක් ලෙස පවත්වාගෙන යාමයි.

ගුවන්විදුලි සංස්ථාවේ පාලන අධිකාරියේ ඉහත තීරණයක් සමග ගුවන් විදුලි සංස්ථාවට ලැබුණ විශාල ආදායම් මාර්ගයක් අහිමි වූවා පමණක් නොව රටේ පුරවැසියන්ගේ පොදු යහපත සඳහා වැඩසටහන් ප්‍ර‍චාරය කිරීමේ වගකීමෙන් සහ බැඳියාවෙන්ද එම ආයතනය නිදහස් වුණා.

ප්‍ර‍ජා ගුවන්විදුලි සේවා

යුරෝපයේ, ලතින් ඇමෙරිකාවේ, අප්‍රිකාවේ, බංගලිදේශය සහ නේපාලය වැනි රටවල ජනතාව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ක්‍රියාවලියට සහ සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී කර ගැනීමේ  යාන්ත්‍ර‍යක් ලෙස ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබනවා. ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථානයක් කියන්නේ ප්‍ර‍ජාවට අයිති, ප්‍ර‍ජාව විසින් කළමනාකරණය කරනු ලබන සහ ප්‍ර‍ජාව විසින් වැඩසටහන් ඉදිරිපත් කිරීම සිදු කරන ගුවන් විදුලි මධ්‍යස්ථානවලට. මේවායේ තේමා පාඨය වන්නේ “ හඬක් නැති මිනිසුන්ගේ හඬ” යන්නයි.

ඉහත ගති ලක්ෂණ මුළුමනින්ම දක්නට නොලැබුණද ගුවන් විදුලි සංස්ථාව, යුනෙස්කෝව සහ මහවැලි සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මහවැලි ජනපද ආශ්‍රිතව ආරම්භ වූ ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථාන මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ පමණක් නොව ලොක සංවර්ධන සන්නිවේදනයේත් වැදගත් සංධිස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙම ප්‍ර‍ජා ගුවන් විදුලි මධ්‍යස්ථාන පිහිටවනු ලැබුවේ ගිරාඳුරුකෝට්ටේ, මහඉලුක් පල්ලම සහ කොත්මලේ මහවැලි ජනාවාස ආශ්‍රිතවයි.

WhatsApp Image 2026 02 08 at 8.45.46 AM 1

මහවැලි ව්‍යාපාරයට මහවැලි ජනපදිකයින් සක්‍රීයව සම්බන්ධ කර ගැනීම මෙම ප්‍ර‍ජා ගුවන් විදුලි මධ්‍යස්ථාන වලට මූලික අරමුණ වුණා. ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ මෙම ගුවන්විදුලි භාවිතය ගුවන් විදුලි සංස්ථාවේ බලධාරීන්ගේ නොසැලකිල්ල සහ දේශපාලනීකරණය හේතුවෙන් දශකය ඇවෑමෙන් අභාවයට පත්වුණා. කොත්මලේ ප්‍ර‍ජා ගුවන් විදුලි මධ්‍යස්ථනයේ මෙරට පුරෝගාමී ප්‍ර‍ජා ගුවන්විදුලි සන්නිවේදකයින් වන සුනිල් විජේසිංහ සහ හරිස්චන්ද්‍ර‍ පෙරේරාගේ අත්දැකීම් බෙදාගැනීම් බෙදාගනිමින් ගතකල කාලය ප්‍ර‍ජා ගුවන්විදුලි පිළිබඳ සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් මට එකතු කලා.

ඒ අත්දැකීම් සහ මගේ අධ්‍යනයන් භාවිතයට ගනිමින් පසුකාලයේ ඌව ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථානය ආරම්භ කරන්න මට පුළුවන් වුණා. ඌව ප්‍ර‍ජා ගුවන්විදුලි මධ්‍යස්ථානය මුල් අර්ථයෙන් නොවුණත් අදත් ක්‍රියාත්මකයි.

 

WhatsApp Image 2026 02 08 at 8.45.45 AM
විශ්ව ශ්‍රවණී

මෙරට සිටි ජාත්‍යන්තර දේශපාලන විචාරකයකු සහ දේශපාලන සන්නිවේදනය පිළිබඳ විශේෂඥයෙකු වන ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ජනදාස පීරිස්ගේ මැදිහත්වීමෙන් ආරම්භ වූ විශ්ව ශ්‍ර‍වණී ගුවන් විදුලි නාලිකාව ගුවන් විදුලි සංස්ථා ඉතිහාසයේ තවත් සංධිස්ථානයක්. වෙනස්වන ගෝලීය ප්‍රවෘත්තිකරණයට රටාවට අනුගත වෙමින් ජගත් තොරතුරු වලින් මෙරට අසන්නන් සන්නද්ධ කිරීමේ අරමුණින් ඇරඹුණ මෙම ගුවන් විදුලි නාලිකාවෙන් මුළුමනින්ම ප්‍ර‍චාරය වුණේ ප්‍ර‍වෘත්ති සහ කාලීන පුවත්. ජනදාස පීරිස් විසින් මෙම නාලිකාවේ කළමණාකාර තනතුරකට මාවත් තෝරා ගත්තා. මගේ කළමණාකරණ භූමිකාවට අමතරව විදේශ විත්ති විචාරකයින් සම්බන්ධ කරගනිමින්  ප්‍රවෘත්ති විශේෂාංග ආකෘතියෙන් මා විසින් නිෂ්පාදනය කරමින් දිනපතා ඉදිරිපත් කළ “ජගත් පුවත් විමසුම” වැඩසටහන මගේ ගුවන් විදුලි දිවියේ සුවිශේෂී මතකයක්.

WhatsApp Image 2026 02 08 at 8.45.44 AM 2

වානම්පාඩි ගුවන්විදුලිය

“වානම්පාඩි” කියලා දෙමළ භාෂාවෙන් කියන්නේ කිරලාට. අනතුරක් ගැන ඉක්මනින්ම ඉව වැටෙන සහ ඊට ක්ෂණිකව ආරක්ෂා වීමේ අනතුරු ඇඟවීම් කරන කුරුල්ලෙක් විදියට කිරලා හඳුන්වන්න පුළුවන්.

දවසක් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජනදාස පීරිස්ගෙන් ඔහුගේ නිල කාමරයට එන්න කියලා මට දුරකථන ඇමතුමක් ලැබුණා. මම එම ස්ථානයට යනකොට ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් සහ දෙමළ භාෂා ගුවන්විදුලි නාලිකා භාර ප්‍ර‍ධානීන් කිහිප දෙනෙක්එහි සිටියා. උතුරු නැගෙනහිර ජීවත්වෙන දෙමළ ජනතාවගේ තොරතුරු සහ විනෝදාස්වාද අවශ්‍යතා ඉටු කිරීමටත් ජනවාර්ගික ගැටළුව පිළීබඳව උතුරු නැගෙනහිර ජනතාව අතර සංවාදයක් ඇති කිරීමටත් ගුවන්විදුලි මඨ්‍යස්ථානයක් ආරම්භ කර එයට නායකත්වය දිය හැකිදැයි ජනදාස පීරිස් මහතා මගෙන් විමසා සිටියා. මෙම නාලිකාවේ වැඩසටහන් අන්තර්ගතය සඳහා ආණ්ඩුව හෝ හමුදාව අතපොවන්නේ නැත්නම් මේ වගකීම භාරගන්න මම එකඟ බව දැනුම් දුන්නා. එහි සිටි බලධාරීන්ට මම කල කරුණු පැහැදිලි කිරීම හමුවේ මගේ කොන්දේසි වලට එකඟ වුණා. පුළුල් අධ්‍යනයකින් පසුව මම ඒ වගකීම භාර ගත්තා. ඒ වනවිට උතුරු නැගෙනහිරට ජනතාවට කොළඹින් ප්‍ර‍චාරය වන ගුවන්විදුලි නාලිකා හොඳින් ශ්‍ර‍ණය වුනේ නැහැ.

මේ ගැටළුවට විසඳුමක් විදියට FM තාක්ෂණය සමග මධ්‍ය තරංග (MW) තාක්ෂණය යොදාගන්න තීරණය වුනා. මේ සඳහා අළුතින්ම දෙමෙළ සන්නිවේදකයින් කණ්ඩායමක් මා තෝරාගත් අතර ඔවුන් සහ දෙමළ භාෂාමය ගුවන් විදුලි නාලිකාවල සේවය කිරිමින් සිටි නිවේදකයින් කිහිපදෙනෙක් මෙම කාර්ය සඳහා විශේෂයෙන් පුහුණු කර “වානම්පාඩි” ගුවන්විදුලි සේවය පටන්ගත්තා. පිටකොටුව වෙළඳපොළට තමින්නාඩුවෙන් ගෙනෙන ලද නවතම දෙමළ ගීත “වානම්පාඩි” වැඩසටහන් සඳහා යොදාගත් නිසාත් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ දී අධිපතිවාදී ඒකපාර්ශ්වික සන්නිවේදන ප්‍රවේශය වෙනුවට අන්තර් ක්‍රියාකාරිත්ව සහභාගිත්ව ශෛලිය භාවිතා කිරීම නිසාත උතුරේ ජනතාවගේ අවධානය මේ නාලිකාව සඳහා යොමුවෙන්න පටන්ගත්තා. එහෙත් ප්‍ර‍ධානතම වැඩසටහන් අන්තර්ගතය වුනේ යුද්ධය සහ තමන් අද ගෙවන ජීවිතය පිළිබඳ අත්දැකීම් ගැන උතුරු නැගෙනහිර අසන්නන් ලියා එවන ලද ලිපි සහ නිර්මාණ. කතන්දර, චිත්‍ර‍, කාටුන්, දෙබස්, කවි සහ කටු සටහන් විදිහට ඔව්න් තැපෑලෙන් එවන ලද ලේඛන යුද්ධයේ යථාර්තය මනාවට පිළිබිඹු කලා. ඒවා මාගේ භාෂා පරිවර්තකයා මට සිංහල භාෂාවෙන් පරිවර්තනය කරද්දී මා තුළ ඇතිවුණ තිගැස්ම අදත් මතකයි.

“වානම්පාඩි” “උදා සැරිසර” සැඳෑ සැරිසර” සහ “ රාත්‍රී සැරිසර” උතුරේ අසන්නන්ට වගේම අපිටත් අළුත් ගුවන්විදුලි අත්දැකීමක් ගෙන දුන්නා.

එහෙත් මාස හයක් ගත වෙන්න ආසන්න වෙද්දී කිසිම හේතු දැක්වීමකින් තොරව මා මගේ පුරුදු සේවා ස්ථානයට මාරු කර යවනු ලැබුවා. මගේ ස්ථානය ගත් දෙමළ භාෂාමය කළමනාකරුවාට නැගෙනහිරදී වෙඩි තබා තිබුණා. එහි සිටි පැරණි ජනප්‍රිය දෙමළ නිවේදිකාවකට බම්බලපිටියේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. “වානම්පාඩි” ගුවන්විදුලියට පසු කාලයේ කුමක් වූවේදැයි මා දන්නේ නැහැ.

මෙරට ජනවාර්ගික ගැටළුව පිළිබඳව පුළුල් මහජන කතිකාවත් සඳහා විවෘත වේදිකාවක් සකස් කරදීමේ සුවිශේෂී ශක්‍යතාවක් අදත් ගුවන්විදුලි මාධ්‍යට තිබෙන බවට “වානම්පාඩි” ගුවන්විදුලි අත්දැකීම හොඳ සාක්ෂියක්.

(මේ අතීත කතා මතක් කරගන්න  උදව් වුණ  බන්දුල සමන්වතුරේගම,  ජයම්පති ගම්ලත්, අරුණසිරි  ජයවික්‍රම  මිතුරන්ට බෙහෙවින් ස්තුතියි)

හඩනගන සුළුතරය සහ නිශ්ශබ්ද බහුතරය -ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය

pnweera@yahoo.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...