The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජනාධිපති තෝරා පත් කර ගන්න හැටි ?

T

The Leader Desk

July 15, 2022 • 5:23 PM

ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජනාධිපති තෝරා පත් කර ගන්න හැටි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත්කරගන්නා ආකාරය පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ එච්.
  • ජනකාන්ත සිල්වා විසින් අද නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශයට පත්කළේ ය.
  • මෙහිදී මෙම තෝරාපත්කරගැනීම 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන)පනතේ විධි විධාන අනුගමනය කරමින් සිදු වේ.
  • එසේම මෙම ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුව දින 3ක් රැස්වීම සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත්කරගන්නා ආකාරය පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ එච්. ඊ. ජනකාන්ත සිල්වා විසින් අද නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශයට පත්කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිධූරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාව මඟින් දක්වා ඇති පරිදි ධූරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරීමට පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගැනීම සිදු කළ යුතු ය.

මෙහිදී මෙම තෝරාපත්කරගැනීම 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන)පනතේ විධි විධාන අනුගමනය කරමින් සිදු වේ.

විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු වන අතර මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාට ද ඡන්දයක් හිමිවේ. එසේම මෙම ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුව දින 3ක් රැස්වීම සිදුවේ.



මේ අනුව පනතේ දක්වා ඇති විධි විධාන යටතේ පහත පියවරයන් අනුගමනයකරමින් මෙම තෝරා පත්කරගැනීම සිදුවේ.

# මෙහිදී ජනාධිපතිධූරය හිස් වූ දිනට පසුව හැකි ඉක්මනින් ද එසේම එදින සිට මාසයක් නොඉක්මවිය යුතු පරිදි ද එම තෝරා පත් කර ගැනීම සිදු කළ යුතුය.

# ඒ අනුව එම පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතු අතර එහිදී පාර්ලිමේන්තුව රැස්වීම සඳහා නියමිත දිනය සහ වේලාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීම සිදුවේ.

# එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට ජනාධිපතිධූරයෙහි පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය. මේ අනුව එම රැස්වීම් දිනයෙහි සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින 7කට පසු නොවන්නා වූ දිනයක ජනාධිපතිධූරය සඳහා නාම යෝජනා බාර ගනු ලබන දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නියම කළ යුතුය.

# නාම යෝජනා භාර ගැනීම සඳහා නියම කරනු ලැබූ දිනයේ දී පාර්ලිමේන්තුව රැස් විය යුතු අතර මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කිරීම සිදුවේ. මේ අනුව මෙදින ජනාධිපතිධුරය සඳහා තෝරාපත්කර ගැනීමට යම් මනිත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමට අපේක්ෂා කරන සෑම මන්ත්‍රීවරයෙකුම තමා විසින් එසේ යෝජනා කරනු ලබන මන්ත්‍රීවරයා තෝරා පත් කර ගනු ලැබුවහොත්, ජනාධිපතිධූරයෙහි සේවය කිරීමට ඔහු කැමැති බවට ලිඛිත එකඟත්වයක් කලින් ලබාගෙන තිබිය යුතුය. එසේම අපේක්ෂකත්වයට යෝජනා වූ මන්ත්‍රීවරයා එදින පාර්ලිමේන්තුවේ සිටිය යුතුය.

# මෙහිදී ජනාධිපති ධූරය සඳහා එක් මන්ත්‍රීවරයකු පමණක් එසේ යෝජනා කරනු ලැබ ස්ථීර කරනු ලැබුවේ නම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් එම මන්ත්‍රීවරයා ජනාධිපතිධුරය සඳහා තෝරාපත්කර ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය. එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකු මෙසේ යෝජනා කරනු ලැබ ස්ථිර කරනු ලැබුවේ නම් ඡන්ද විමසීමක් සඳහා දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුව විසින් නියම කළ යුතුය. එම දිනය නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ වේලාවෙන් පැය 48 කට පසුව වූ දිනයක් නොවිය යුතුය.

# ඉන්පසුව ඡන්ද විමසීම සඳහා නියම කරනු ලැබූ දිනයේදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කළ යුතු අතර ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර ඔහු විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකළ යුතුය. මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයා විසින් කථානායකවරයා ඇතුලු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබිය යුතු අතර එම එක් එක් මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුය. ඉන්පසු එය ඡන්ද පෙට්ටියට දැමීම සිදුකළ යුතුය.

# මේ අනුව එක් මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි "1" යන ඉලක්කම යෙදීම මගින් ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුය. මෙහිදී අපේක්ෂකයින් කිහිපදෙනෙක් යෝජනාවී ඇති අවස්ථාවක මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවතී. ඒ අනුව ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව යෙදිය හැකිය.

# මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඡන්ද ගණන් කිරීම සිදුවේ. ඡන්දය ගණන් කිරීම සිදුකරන ස්ථානයට යම් අපේක්ෂකයෙකු පැමිණීමට කැමති නම් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිවන අතර නැතහොත් තමා නියෝජනය කිරීමට වෙනත් මන්ත්‍රීවරයකු එම ස්ථානයට යෑමට පත්කිරීමට එම අපේක්ෂකයාට හැකිය.

# දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව මෙහිදී තේරීම්භාර නිලධාරියා එනම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නොපමාව ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය.

# එසේම දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකුට ලැබී නොමැති අවස්ථාවල සටහන් කර ඇති දෙවන, තෙවන ආදී මනාප පරික්ෂා කිරීම සිදුවේ. මෙහිදී අවම මනාප ලබා ගත් අපේක්ෂකයන් ඉවත් කරමින් ඔවුන්ට දෙන ලද දෙවන මනාප ගණන් කිරීම සිදු කරයි.

# ගණනය කිරීමේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු විසින් ලබාගෙන නොමැති අවස්ථාවකදී එකී ගණන් කිරීමේ දී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

# එසේම අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමක් සිදු වේ.

( BBC සිංහල සේවය)

sdfe4


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...