The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රගති හීන සමාජයක මානව අපරාධ - (ධම්ම දිසානායක)

T

The Leader Desk

May 28, 2022 • 5:45 PM

ප්‍රගති හීන සමාජයක මානව අපරාධ - (ධම්ම දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වනවිට මෙම මානව වර්ගයාගේ දෛනික අරමුණු යොමු වී ඇත්තේ හුදු පණනල රැක ගැනීමේ කටයුතු කෙරෙහි පමණක් ය.
  • එය ජාතික සහ වාර්ගික සීමා නොතකමින් පොදු තත්ත්වයක් බවට පත් වී ඇත.
  • වසර හැත්තෑ දහසක පමණ ඉතිහාසයක් ඇති හෝමෝ සේපියන් මානව වර්ගයාගේ ලංකාවේ වෙසෙන කණ්ඩායම ගමන් කරමින් සිටින්නේ ප්‍රාථමික ම අවශ්‍යතා අන් සෑම අවශ්‍යතාවලටම වඩා වැදගත් කොට සලකන මොහොතකය.
  • ඇතැමෙකු පවත්නා අර්බුදය ම තම ජීවිකාව හෝ පැවැත්ම බවට පත්කර ගනිමින් නිර්දය ජාවාරම්වල යෙදෙති.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ වනවිට මෙම මානව වර්ගයාගේ දෛනික අරමුණු යොමු වී ඇත්තේ හුදු පණනල රැක ගැනීමේ කටයුතු කෙරෙහි පමණක් ය. එය ජාතික සහ වාර්ගික සීමා නොතකමින් පොදු තත්ත්වයක් බවට පත් වී ඇත.

වසර හැත්තෑ දහසක පමණ ඉතිහාසයක් ඇති හෝමෝ සේපියන් මානව වර්ගයාගේ ලංකාවේ වෙසෙන කණ්ඩායම ගමන් කරමින් සිටින්නේ ප්‍රාථමික ම අවශ්‍යතා අන් සෑම අවශ්‍යතාවලටම වඩා වැදගත් කොට සලකන මොහොතකය.

මුලික අවශ්‍යතා වෙනුවෙන් එකිනෙකා සමඟ පුද්ගලිකව යුද වදින ලංකාවේ හෝමෝ සේපියන් ලා සියලු සංස්කෘතික සහ ශිෂ්ටමය වටිනාකම් නොතකමින් සිටී.

එනම් ආහාර, යෑම් ඊම්, මුල් කරගත් අරමුණු වෙනුවෙන් පමණක් ගැටෙති; මරා ගනිති; දිවි දෙති. මන්ද පෝෂණය සහ උද්ධමනය තරඟයට මෙන් ඉහළ නගිති.


ඇතැමෙකු පවත්නා අර්බුදය ම තම ජීවිකාව හෝ පැවැත්ම බවට පත්කර ගනිමින් නිර්දය ජාවාරම්වල යෙදෙති. ඇතැමුන් “ සුරා සොඬෙක් ගිරිකුලකින් විසි වී මහපොළොවට පා වී එද්දී ගත දැවටෙන මේ සීත පවන් රැලි අහෝ සැපයි කීවා..” සේ ඇමතිකම් සහ වෙනත් තනතුරු පතා තරඟ කරති; ගතු කියති; හූල්ලති; අඬති. ‘රට වෙනුවෙන් මම කියමින් රට තමා වෙනුවෙන් පාවිච්චි කිරීමට’ යුහුසුළු වෙති.


ඒ  මැදින් ගොම රිටි මතුවන තිරිවානා ගල් යට යන කොසොල් රජුගේ සිහින යතාර්ථයක් බවට පත් වෙති. දශක හය හතක් රට පාලනය කළ පාලක, පරිපාලක පන්ති, පැලන්ති, පවුල්, සහ හවුල් මේ ව්‍යසනයෙන් මේ මානවයින් ගලවා ගත හැක්කේ අපට ම ය කියා වෙස් මුහුණු මාරු කරමින් පරණ නැටුම ම නටමින් සිටිති.

මේ සියල්ල නිසා අපේ ශිෂ්ටාචාරගත සහ සංස්කෘතික මානව ජීවිතය ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටී ඇත. ඒ බව දන්නෝ සහ සිතන්නෝ කියන කිසිවක් අති බහුතරයක් සතේකට මායිම් නොකරති.

 

නීතිය සහ නීතියේ ආධිපත්‍ය හෝ පාලනය බිඳ වැටී ඇත. පොදු සහ මහජන ආරක්ෂාව අතුරුදහන් වී ඇත. නීතිය සහ පිළිවෙල බලාත්මක කරන ආයතන බිඳ වැටී ඒවා ජනමනසේ අත්කරගෙන හිටි තැන් මැකී ගොස් ය. ඊට බලපෑ හේතුවලින් එකක් අනාවරණය කලේ රටේ පොලිස්පතිවරයා ම ය. සුදුස්සම් සිටිද්දේ පාලකයින්ගේ වුවමනාව මත පොලිස් ස්ථානාධිපතිවරු පත් කෙරී ඇති බව ඒ අනාවරණය ය.



රටේ කොයි තනතුරුත් පත් කෙරෙන්නේ බොහෝ විට ඔය ආකාරයට ය. ඒ සඳහා උදාහරණ දහස් ගණනින් වෙති.

ආහාර සුරක්ෂිතතාව, යටිතල පහසුකම් ඉදිකිරීම් සහ නඩත්තු කිරීම ඇණහිට ඇත. සරලව කිවහොත් කෑම නැත; තියෙන ඒවායේ මිල අධිකය. බෙහෙත් නැත; තියෙන ඒවායේ මිල අධිකය. ඉන්ධන නැත; මිල අධිකය. පොහොර නැත; මිල අධිකය. සියලු භාණ්ඩ සහ සේවා හිගයක් ඇත; මිල සහ ගාස්තු අධිකය. දරාගත නොහැකිය. ශ්‍රමය පච වෙද්දී භාණ්ඩ හා සේවා මිල ඉහළ අහසේය.

 ශිෂ්ට සම්පන්න ජීවිතයක් වෙනුවට තනිකරම ස්වභාවික පැවැත්මකට ජන සමාජය තල්ලු කෙරී ඇත. දැන් කවුරුත් වෙහෙසෙන්නේ තම සංස්කෘතික ජීවිතය නොව භෞතික ශරීරය නඩත්තු කිරීමට ය; ජීවිතයක් ගතකිරීමට නොව පණ රැක ගැනීමට ය.

xdfgrgදැන්නම් අනෙකුත් සතුන් සහ අප අතර ඇත්තේ සුළු වෙනසක් ය. මෙය පාලකයින් පරිපාලකයින් සහ වෙළඳපොල විසින් ලංකාවට සිදුකළ මානව අපරාධයකි; මානව ව්‍යසනයකි.

ඒබ්‍රහම් මැස්ලෝ ඇමෙරිකානු මනෝ විද්‍යාඥයෙකි. 1943 දී ඔහු විසින් ‘ මානව අභිප්‍රේරණය පිලිබඳ න්‍යායක්” (A Theory of Human Motivation, 1943) නමින් ලිපියක් පළ කළේය. ලංකාවේ උගතුන් සහ කළමනාකාර ක්ෂේත්‍රයේ සිටින්නවුන් අතර විවේචන සහිතව වුවත් ‘මානව අවශ්‍යතා න්‍යාය’ යනුවෙන් කතා බහට ලක්වන්නේ මැස්ලෝ ගේ අදහස් ය. පසු කාලීනව විවේචන වගේම සංශෝධන සහ එකතු කිරීම් සිදුවුණා ඔය කියන මානව අවශ්‍යතා න්‍යායේ පුරෝගාමියා මැස්ලෝ ය.  

ලංකාවේ හෝමෝ සේපියන් ලා වැටී ඇති තත්ත්වය තේරුම් ගැනීමට මැස්ලෝ ගේ මුල් න්‍යාය ම දැනට ප්‍රමාණවත් ය. අපේ පාඨකයින් සඳහා මා එය කෙටියන් පහදන්නම්.

මැස්ලෝ ගේ පැහැදිලි කිරීමට අනුව මූලික අවශ්‍යතා පහක් මිනිස් හැසිරීම් පෙළඹවීම සඳහා පදනම වේ. එකී අවශ්‍යතා ඉනිමඟක ස්වරුපයක් ගනී. පිරමීඩාකාරය. එනම් ඒවා ධුරාවලියකට අනුව සැකසී ඇත. මූලිකම අවශ්‍යතා පිරමීඩයේ පහළින් ද,  ඉහළ මට්ටමේ ස්පර්ශ කළ නොහැකි එනම් ඇල්ලිය නොහැකි අවශ්‍යතා ඉහළින් ද ඇත. පුද්ගලයෙකුට ඉහළ මට්ටමේ අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමට ඉදිරියට යා හැක්කේ ඔවුන්ගේ මූලික අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස ඉටු වූ විට පමණි. අපි මේ අවශ්‍යතා මොනවාදැයි බලමු.


1. කායික අවශ්‍යතා (Physiological needs) ඇත්තේ පිරමීඩයේ පහලින් ම ය. ඒ අනුව පළමුවැන්න කායික අවශ්‍යතා වේ. මෙම මූලික මිනිස් අවශ්‍යතා අතරට ආහාර සහ ජලය, ප්‍රමාණවත් විවේකය, ඇඳුම් පැළඳුම් සහ නවාතැන්, සමස්ත සෞඛ්‍යය සහ ප්‍රජනනය ඇතුළත් වේ. මැස්ලෝ කියා සිටින්නේ මිනිසුන් මීළඟ මට්ටමට එනම් අවශ්‍යතාවලට යාමට පෙර මෙම මූලික කායික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට උත්සාහ දරන බවය.

2. ආරක්ෂණ අවශ්‍යතා (Safety needs)  පිරමීඩයේ පහළ මට්ටමේ අවශ්‍යතා අතර ඊළඟ එකය. ආරක්ෂක අවශ්‍යතාවලට අයත්වන්නේ ප්‍රචණ්ඩත්වයෙන් සහ සොරකම්වලින් ආරක්ෂාව, චිත්තවේගීය ස්ථාවරත්වය සහ යහපැවැත්ම, සෞඛ්‍ය ආරක්ෂාව සහ මූල්‍ය සුරක්ෂිතභාවය  යනාදිය ය.

3. මැස්ලෝ ගේ අවශ්‍යතා පිරමීඩයේ ඊ ළඟ මට්ටම නැතහොත් පහළ සිට ඉහලට යන තුන්වැනි තට්ටුව වන්නේ ආදරය සහ අයිතියේ අවශ්‍යතා (Love and belonging needs) ය. ඔහුට අනුව මෙම අවශ්‍යතාව මිනිස් අන්තර් සම්බන්ධතා හා ක්‍රියාකාරිත්වයට අදාළ එකකි. මෙම අවශ්‍යතා අතරට මිත්‍රත්වය සහ පවුල් බැඳීම් - ජීව විද්‍යාත්මක පවුල (දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, දරුවන්) සහ තෝරාගත් පවුල (විවාහකයා සහ හවුල්කරුවන්) යන දෙකම අදාළ ය.

උසස් ඥාතිත්වය පිළිබඳ හැඟීමක් සාක්ෂාත් කර ගැනීම සඳහා ලිංගික සබඳතාවල සිට සමීප චිත්තවේගීය බැඳීම් දක්වා කායික හා චිත්තවේගීය සමීපත්වය වැදගත් වේ. මීට අමතරව, සමාජ කණ්ඩායම්වල සාමාජිකත්වය මෙම අවශ්‍යතාවය සපුරාලීමට දායක වේ. සම සේවකයින් කණ්ඩායමකට අයත් වීමේ සිට වෘත්තීය සමිතියක්, සමාජ ශාලාවක් හෝ විනෝදාංශයක් ඇති කණ්ඩායමක් තුළ අනන්‍යතාවයක් ඇති කර ගැනීම දක්වා වූ ඒවා මීට අදාළ ය.

4. ඊ ළඟ අවශ්‍යතා මට්ටම ගෞරව අවශ්‍යතා (Esteem needs) ය. ගෞරවයෙන් ආරම්භ වන ඉහළ අවශ්‍යතා මමත්වය මත පදනම් වූ අවශ්‍යතා වේ. ගෞරවයේ මූලික අංග වන්නේ ආත්ම ගෞරවය (ඔබ වටිනා සහ ගෞරවය ලැබීමට සුදුසු බවට ඇති විශ්වාසය) සහ ආත්ම අභිමානය (පුද්ගලික වර්ධනය සහ ජයග්‍රහණ සඳහා ඔබට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය) ය.

 මැස්ලෝ විශේෂයෙන් සඳහන් කරන්නේ ආත්ම අභිමානය වර්ග දෙකකට බෙදිය හැකි බවය. අන් අයගේ ගෞරවය සහ පිළිගැනීම මත පදනම් වූ ගෞරවය සහ ඔබේම ස්වයං තක්සේරුව මත පදනම් වූ ගෞරවය ඒ දෙක  ය. ආත්ම විශ්වාසය සහ ස්වාධීනත්වය පැන නගින්නේ මෙම අවසාන වර්ගයේ ආත්ම අභිමානයෙනි.

5. ඉහළම හෝ උඩම හෝ අවසාන අවශ්‍යතා මට්ටම ස්වයං-තත්‍යකරණ අවශ්‍යතා (Self-actualization needs) ය. ස්වයං-තත්‍යකරණය යනුවෙන් පුද්ගලයෙකු ලෙස කෙනෙකුගේ සම්පූර්ණ විභවය සපුරාලීම විස්තර කරයි. මෙය සමහර විට ස්වයං-සම්පූර්ණ අවශ්‍යතා ලෙස හැඳින්වේ. ස්වයං-තත්‍යතා අවශ්‍යතා මැස්ලෝගේ පිරමීඩයේ ඉහළම ස්ථානය ගනී.

ස්වයං ප්‍රායෝගික අවශ්‍යතාවලට අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය එනම් සංගීතය, මලල ක්‍රීඩා, සැලසුම්, ඉවුම් පිහුම් සහ ගෙවතු වගාව වැනි ක්ෂේත්‍රවල දක්ෂතා පිරිපහදු කිරීම වැනි ඒවාත් අන් අයව රැකබලා ගැනීම, සහ නව භාෂාවක් ඉගෙනීම, නව ස්ථාන කරා ගමන් කිරීම සහ සම්මාන දිනා ගැනීම වැනි පුළුල් ඉලක්ක ඇතුළත් වේ.



දැන් ගැටලුව වන්නේ මේ ඉනිමගේ ඉහළට යාම ලංකාවේ මානවයින් අති බහුතරයකට සිහිනයක් වීමය. මේ ජනයා මේ මොහොතේ උපරිම වෙහෙසක් ගන්නේ මේ ඉනිමගේ පහලම, එනම් කායික නැතහොත් ජීව විද්‍යාත්මක අවශ්‍යතා සපුරා ගැනීමට ය. එනම්, ඉනිමගේ හෝ පිරමීඩයේ පහලම අවශ්‍යතා සපුරා ගැනීමට ය. ආහාර, ජලය, අවම මට්ටමේ ඉඳුම්හිටුම්, සෞඛ්‍ය, විවේකය වැනි ඕනෑම සතෙකුට පොදු අවශ්‍යතාවලට මානව අවශ්‍යතා ඌනනය වී ඇත.



ඉන් පෙනී යන්නේ ශිෂ්ට, සංස්කෘතික තත්ත්වයක සිටි ලංකාවේ මානවයා තිරිසන් සතුන්ගේ මට්ටමට පත් කොට ඇති බවය. දෙවැනි තුන්වැනි හතර වැනි සහ පස්වැනි අවශ්‍යතා තබා පළමුවෙනි අවශ්‍යතා පවා ඉටුකරගැනීම ඔවුන්ට වඩාත් අපහසු සහ මාරාන්තික දෙයක් බවට පත්වෙමින් ඇත. ඉතින් ආරක්ෂාව යන දෙවැනි අවශ්‍යතා ගැන කවර කතා ද?

මේ තත්ත්වය නිර්මාණය කළේ කවුරුද? පාලකයින් පරිපාලකයින් සහ වෙළඳපොළ මෙහෙයුම් විසින් ශිෂ්ට මිනිසුන් අශිෂ්ට මානවයින් බවට පත්කොට ඇත. මූලික අවශ්‍යතා වෙනුවෙන් අනෙකා දේ පැහැර ගැනීම, අනෙකාට පහර දීම, අනෙකා මරාදැමීම සිදුවන්නේ සහ දරාගත නොහැකි වෛරය සහ ද්වේශය පිටකරන්නේ පැරණි ගෝත්‍ර අතර සටන් සිදු වූ ආකාරයෙනි.

එහෙත් එහිද වෙනසක් ඇත. එනම්, ගෝත්‍ර සටන් වැදුනේ සාමුහිකව තවත් සමුහයකට එරෙහිව වුවත් මේ මොහොතේ සටන් වදින්නේ එකෙකු තව එකෙකුට එරෙහිව ය. 

 
මේ ගෝත්‍රික තබා සත්ව සාමුහිකත්වය වත් මිනිසුන් අතර නො රැඳීමට වගකිවයුත්තේ පළමුව පාලකයින් පරිපාලකයින් සහ වෙළඳපොළ ය.

දෙවනුව මහ ජනතාවය.

sder33

මැයි 9 වැනිදා සිට දෝර ගලා ගියේ මේ හැමෝගෙම අශිෂ්ටත්වය ය; අසංස්කෘතිය ය; අශීලාචාරකමය. දැන් අප වෙහෙසිය යුත්තේ අශිෂ්ටත්වය වෙනුවට මානව ශිෂ්ටත්වය සහිත ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩ නැගීම සඳහා හැකි උපරිම හෝ කැමති ප්‍රමාණයකින් වෙහෙස මහන්සි වීම බව මෙවර මගේ ‘කිවි දා දැක්මය’. සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා.


Dhamma Dissanayake.jpg(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය


dhammadissa@gmail.com

(27.5.2022/ කිවි දා දැක්ම/ලංකාදීප)

 

 


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...