The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

June 13, 2022 • 1:14 PM

 IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ හෝම් ග්‍රෝන් සොලියුෂන්ස් හෙවත් ගෙදර වවාගෙන කන විසඳුම් ගැන දන්නා බව කියන එහෙත් එසේ ගෙදර වවන්නේ මොන විසඳුම්දැයි හරියට නොකියන පඬියෝ සිටිති.
  • එහෙත්, අවසාන විග්‍රහයේදී රයිස් මහතාගේ අරමුදල අපට ණය නොදුන්නොත් බත් කන්න විදියක් නැති බව ඇත්තකි.
  • දේශපාලනය හා ඒ ඔස්සේ ලබාගන්නා සංස්ථා සභාපතිකම් වගේ ඒවා සමාජයේ උත්තරීතර අරමුණු බවට පත්වෙනවා.
  • එතකොට ලංකාවේ ඇතුළෙ බඩු මිල අඩුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාවේ හෝම් ග්‍රෝන් සොලියුෂන්ස් හෙවත් ගෙදර වවාගෙන කන විසඳුම් ගැන දන්නා බව කියන එහෙත් එසේ ගෙදර වවන්නේ මොන විසඳුම්දැයි හරියට නොකියන පඬියෝ සිටිති. එහෙත්, අවසාන විග්‍රහයේදී රයිස් මහතාගේ අරමුදල අපට ණය නොදුන්නොත් බත් කන්න විදියක් නැති බව ඇත්තකි.


ලංකාව පහුගිය කාලේ අනුගමනය කළ සරල ආර්ථික විද්‍යාව මෙසේය:


# ඔන්න ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළියට ණය ගන්නවා. ඒවායින් මෙහේ එක එක ඉදිකිරීම් කරනවා. ඉදිකිරීම් කර්මාන්තය හා කොමිස් කර්මාන්තය ජයටම කෙරෙනවා. අර හදපු ඉදිකිරීම් නඩත්තු කරන්නට තරම් ආදායම් නැතිවෙනකොට ඒකටත් ණය ගන්නවා. ගත් ණය පොළිය සමග ගෙවන්න වෙන්නෙ ඉතින් තවත් ණය අරගෙන තමයි.

# මේ අතර රජයේ සේවයට ලක්ෂ ගණනින් බඳවාගෙන රස්සා දෙනවා. ඒ රස්සා ගන්න අය වැඩකරන්න ඕනැ නැහැ. ඒක රටේ රැකියා සම්බන්ධ පරමාදර්ශය වෙනවා. හැමෝම බලන්නෙ වැඩ නොකර සල්ලි හම්බ කරන්න. දේශපාලනය හා ඒ ඔස්සේ ලබාගන්නා සංස්ථා සභාපතිකම් වගේ ඒවා සමාජයේ උත්තරීතර අරමුණු බවට පත්වෙනවා. ඒවායින් සල්ලි හම්බ කරපු අය අනෙක් අයට හිඟන්නන්ය කියලා හිනාවෙනවා. ඔයින් මෙයින් රාජ්‍ය අංශය විශාල වෙනවා. ඒක නඩත්තු කරන්නට රජයේ ආදායම් මදිවෙනවා. අන්තිමට ඒක නඩත්තු කරන්නත් තව තවත් විදේශ ණය ගන්නට වෙනවා.

# මේ අතර, තවත් විදේශ ණය අරගෙන ඩොලරය පෙග් කරනවාය කියන සාර්ව ආර්ථික වැඩේ කරනවා. ඒ කියන්නෙ ණයට අරගත්ත සල්ලිවලින් හදපු විදේශ සංචිතවලින් ඩොලර් රුපියල ශක්තිමත් කරන්නට වැය කරනවා. එතකොට ලංකාවේ ඇතුළෙ බඩු මිල අඩුයි. ජනතාව හරි සතුටුයි.

උදාහරණයක් විදියට, අපට ඉන්ධන අඩුමිලට ලැබෙනවා. ඉන්ධනවලට ගෙවන්නත් කලින් රුපියල ශක්තිමත් කරන්න රජය දාපු සල්ලිවලිනුත් ඉන්ධනවලට ගෙවලායි තියෙන්නෙ. ඊට අමතරව තෙල් සංස්ථාව රට ඇතුළෙ තෙල් විකුණන්නෙත් සහන මිලට. රට ඇතුළෙදිත් නැවත ආණ්ඩුව රුපියල්වලින් අපේ ඉන්ධන වෙනුවෙන් තෙල් සංස්ථාවට ගෙවනවා. කොහොම හරි ඩොලර් එක පෙග් කරන්න දාපු සල්ලියි, සහනාධාරයි එකතු වුණාම ආණ්ඩුව ඉස්සර අපි තෙල් ලීටරේකට ගෙවපු මිල වගේ දෙගුණයක් විතර පිටරටට ඒ වෙනුවෙන් දෙන්න ඇති.

# අපි හරි සතුටෙන් ට්‍රිප් යනවා. දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් වගේ අයට ඉන්ධන දීමනා, තීරු බදු රහිත වාහන ආදියත් ලැබෙනවානෙ. ඒගොල්ලන් වාහනේ නවත්තලා ඉන්නෙත් ඒසී දාගෙන.


අපි කතාකරන්නෙ, හිතන්නෙ, හීන මවන්නෙ පාරිභෝජනවාදය ගැන. විස්කි බොන හැටි, සුපිරි කෑම කන හැටි, බැංකොක් ගිහින් සෙක්ස් කරන හැටි, ඩුබායි ගිහින් බඩු ගේන හැටි, වෙඩිංස් ගන්න හැටි, ළමයින්ව පිටරට විශ්වවිද්‍යාලවලට යවන හැටි, කවදහරි දවසක අපිත් මේ වගේ දේශපාලකයන් නැති පුරවැසියන් ඉන්න රටක ඕවර්ස්ටේ හරි වෙන හැටි ගැන. තනිකරම පාරිභෝජනවාදී නින්දෙන් ඇඳුම් තෙත්වන හීන.


මේ අතරෙ රටේ හරිහමන් නිෂ්පාදනයක් වෙන්නෙ නැහැ. හැමෝම බලන්නෙ රජයෙ රස්සා කරන්න. ඒවයෙ වැඩකරන්න නැහැනෙ. ලොකු ලොකු බිස්නස්කාරයන් රජය එක්ක කොන්ත්‍රාත් කරනවා. ඒවයෙ ලාභ සුපිරි. එහෙම බැරිනම් ත්‍රීවීල් එකක් පාර අයිනෙ නවත්තගෙන හයර් එකක් එනකල් නිකං බලාගෙන ඉන්නවා. අඹ ගෙඩි දහයක් කාගෙන් හරි අරගෙන සුළු ලාබෙකට ඒක විකුණගන්න පාර අයිනෙ දවසම බලාගෙන ඉන්නවා.

මේ අතර අපි වගේ අය පවා මොකක් හරි බිස්නස් එකකට අතගහන්නෙ නැතුව මේව විග්‍රහ කර කර, හැත්තැ හතර වසරක සාපය කිය කිය දේශපාලකයන්ට බැණ බැණ කපුටු කාක් කාක් කාක් කිය කිය පාරවල් ගානෙ කාලෙ කාදමනවා. රජයෙන් හරි රාජ්‍ය නොවන සංවිධානවලින් හරි පොත් ලිවීම හා ඇඩ්වටයිසිං වගේ දේවලින් හරි අපට ලැබෙන ගතමන්ට් එකෙන් හවසට බීලා ආඩම්බරෙන් ෆේස්බුක්වල ෆොටෝ දාලා අනෙක් අයට රිදවනවා අපි හරි ෆන් එකේ ඉන්නෙ කියලා.


අපේ මේ ආතල් එක සම්පූර්ණයෙන්ම රඳාපැවතුණේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කිරීම සඳහා වියදම් කරපු විදේශ ණය මත හා රජයේ සේවය නඩත්තු කිරීමේ සිට මත්තල එයාපෝට් එක හැදීම දක්වා දේවලට ගත් විදේශ ණය මත.

ණය ගෙව්වෙත් තව ණය අරගෙන. 2015-19 කාලෙ දක්ෂ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දක්ෂ ලෙස ණය අරගෙන ණය ගෙව්වා. අදක්ෂ ගෝඨාභය රාජපක්ෂ ආවට පස්සෙ දක්ෂ ලෙස ණය අරගෙන ගත් ණය ගෙවීමේ දක්ෂකම කරගන්නට බැරි වුණා.

ඊට පස්සෙ අපි, ඒ කියන්නෙ හැත්තෑ හතර වසරක් දේශපාලකයන් කාපු රටේ හිටපු සඳුන් සබන් වගේ පිරිසිදු ජනතාව ‘ගෝ-ටා-පි-ස්-සෙ-ක්’ කිය කිය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කානිවල් පැවැත්වූවා. ආනයනය කරපු ඒරොසෝල් පුරවපු මෝටීන් වගේ ස්ප්‍රේ කෑන් පත්තු කරලා ගිනි කෙළි පැවැත්වූවා. එහෙම සූදානම් කරපු ගිනිකෙළියට මහින්ද රාජපක්ෂ මැයි 9 පිදුරු දැම්මා. මහජනතාවටත් තමන්ගේ ම්ලේච්ඡ ආසාවන් තෘප්ත කරගන්නට කදිම අවස්ථාවක් ලැබුණා.

කබ්රාලුයි, මහින්දයි, බැසිලුයි ගෙදර ගියා. නන්දලාලුයි, රනිලුයි, ධම්මිකයි ආවා. ගෝල්ෆේස්වල දැන් සමාජවාදය ප්‍රැක්ටිස් කරනවා, සුළු පිරිසක්.

84d36e59 6c5ee9d2 sri lanka protest 850x460 acf cropped
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනකල් රට රටවලින් බ්‍රිජිං ෆයිනෑන්ස් කියල ජාතියක් අරගෙන අපට කාල ඇඳල ආතල් එකේ ඉන්න පුළුවන්ය කියලා ආර්ථික විද්‍යාඥයන් අපට කිව්වා. ඒ වුණාට සැබෑ මිතුරන් ලෙස සැලකිය හැකි චීනය වැනි රටවල් අපට ආධාර කරන්නේ නැහැ. ඉන්දියාව අපිව හුරතල් කරලා ‘ඔයාට දෙකක් තියෙන නිසා එක වකුගඩුවක් දෙන්න පැටියො’ කියනවා.


එක අතකට ලංකාව වගේ කාලකන්නි, කම්මැලි, මළපෙරේත ජනතාවකුයි, උන් නියෝජනය කරන්න සුපිරියට ගැලපෙන නායකයො ටිකකුයි ඉන්න රටකට ගඟට ඉනි කපනවා වගේ සල්ලි වියදං කරන්න උන්ට පිස්සු නැහැ. ඒ රටවල වැඩකරන, මහන්සි වෙලා ජීවත් වෙන දුප්පත් ජනතාව ඉන්නවා. උන්ට උදව් කරන සල්ලිවලින් ලංකාවට තමයි තෙල් ගන්න බොල් ණය දෙන්නෙ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි දැන් එකම බලාපො‍ෙරොත්තුව. ඒකෙන් පස්සෙ නැවතත් 2019ට කලින් හිටපු චූන් එකේ ඉන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. තාමත් අපට තේරෙන්නෙ නැහැ, අපි වැඩකරන්නට ඕනෑය කියලා. රටින් පැනගත්තොත් මේකෙන් බේරෙන්න පුළුවන්ය කියලා තමයි අපි හිතන්නෙ. පිටරට යන්නෙ නම් වැඩකරන්න බලාගෙන. වැඩ කියන්නෙ හුඟක් වෙලාවට ඩස්බින් අදින එක තමයි. ඒත් ඉතින් මොකද, පිටරටනෙ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහෙම කියනවා. පරිවර්තනය කරන්නෙ නැහැ. මොකද, ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න උවමනාවක් නැති කම්මැලියන්ට රටට වැඩක් කරන්නට පුළුවන්ය කියලා මං විශ්වාස කරන්නෙ නැහැ. රයිස් හෙවත් බත් මහත්තයා තමයි කියන්නෙ. “Our board will need adequate assurances that debt sustainability would be restored. Sri Lanka is in a very difficult economic condition and severe balance of payment problems. Macroeconomic fixes alone would not help pay back debt and a restructuring is essential.”


සරලව කිව්වොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත්, ණය ප්‍රතිව්‍යූහගත කරගත්තත්, ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවලා, ඒකෙන් පස්සෙ පෙසප ආණ්ඩුවක් පිහිටුවලා, සුමනසිරි ලියනගේ මුදල් ඇමති කරලා, අහිලන් කදිරගාමර්ව මුදල් අමාත්‍යාංශෙ ලේකම් කරලා, ධනුෂ ගිහාන් පතිරණට ශ්‍රී ලංකා මහබැංකුව භාරදුන්නත් පුරවැසියන් වන අපේ මට්ටමේ සිට සිදුවන දැවැන්ත වෙනස්කම්වලින් තොරව මේ රට ගොඩගන්න එක බොරු.


ඒ නිසා මේක කියවන ඔබත් වෘත්තීය කුසලතාවක්, ව්‍යවසායකත්ව කුසලතාවක්, ව්‍යාපාරයක්, නිෂ්පාදනයක් කරන හැටි ගැන හිතන්න. ඒකට කම්මැලි නම්, අඩුගානෙ බෝ නොවන රෝගියෙකු වෙලා රටට බරක් නොවෙන විදියට ගානට කාලා, ව්‍යායාම ටිකක් කරලා පාඩුවෙ ජීවත් වෙන්න.


AJITH PARAKUM
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...