The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාසල් ළමුන් තොග පිටින් දොට්ට දමන්න රනිල් IMF සූත්‍රය යොදා ගෙන -(කුසල් පෙරේරා)

T

The Leader Desk

November 20, 2022 • 9:10 AM

පාසල් ළමුන් තොග පිටින් දොට්ට දමන්න රනිල් IMF සූත්‍රය යොදා ගෙන -(කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවේල කන්න බැරි, ඉතා අමාරුවෙන් තම දරුවන් පාසල් යවන සියයට 35 ක් පමණ දෙමාපියන් ඇතැයි සැප්තැම්බරය වන විට සමීක්ෂණ දෙක තුනකම කියුවා.
  • එනිසා ලබන ජනවාරියේදී මිලියන 4.1 ක් ළමුන්ගෙන් මිලියන 1.4 කගේ පමණ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහෝසි වන්න පුළුවන්.
  • පාරිභෝගික භාණ්ඩ 600 ක “සෙස් බද්ද” ඉහළ දමන්නට ගත් තීන්දුවත් එහෙමයි.
  • ඇත්තටම, කිසිදු ආණ්ඩුවක් එවැනි පියවර අරගෙන නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙවේල කන්න බැරි, ඉතා අමාරුවෙන් තම දරුවන් පාසල් යවන සියයට 35 ක් පමණ දෙමාපියන් ඇතැයි සැප්තැම්බරය වන විට සමීක්ෂණ දෙක තුනකම කියුවා.


2023 අයවැය සම්මත කිරීමටත් පෙර භාණ්ඩ මිල ඉහළ ගිය ආකාරයට, ඒ දෙමාපියන්ගේ ළමුන්ට ලබන වසර වන විට පාසල් යාම අත හැරීම හැර වෙනත් විසඳුමක් මේ ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ. එනිසා ලබන ජනවාරියේදී මිලියන 4.1 ක් ළමුන්ගෙන් මිලියන 1.4 කගේ පමණ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහෝසි වන්න පුළුවන්. මේ තත්ත්වයට සෘජුව හේතු වන්නේ ජනාධිපති වික්‍රමසිංහ බාර ගෙන තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමයි.
 
අයවැය ක්‍රියාත්මක කිරීමට විශේෂ කාර්ය සාධක බලකායක් !
 

මුදල් අමාත්‍ය ධූරය තමන් වෙත තබා ගත් ජනාධිපති වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා හා කොන්දේසි අනුව ආර්ථිකය සකස් කිරීමට පියවර ගත්තේ අයවැයට කලින්මයි. බදු අය කිරීම් ඉහළ දමන්න, අලුත් බදු ක්‍රියාත්මක කරන්න ඔහු තීන්දු කෙරුවෙත් ජා.මූ. අරමුදලේ කොන්දේසි අනුවයි. පාරිභෝගික භාණ්ඩ 600 ක “සෙස් බද්ද” ඉහළ දමන්නට ගත් තීන්දුවත් එහෙමයි. එහෙත් අවුරුදු පතා පුරුද්දක් වශයෙන් බදු නොගෙවා රුපියල් කෝටි ගණන් පොලු තියන ජාවාරම්කාරයින්ගෙන් ඒ බදු අයකර ගැනීමට ජා.මූ. අරමුදල කියන්නෙත් නැහැ, මුදල් ඇමති හැටියට ජනාධිපති වික්‍රමසිංහ කිසිදු පියවරක් ගන්නෙත් නැහැ. ඇත්තටම, කිසිදු ආණ්ඩුවක් එවැනි පියවර අරගෙන නැහැ. ඒ සම්බන්ධ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද නැහැ.  
 

ජාවාරම්කාරයින්ගෙන් අය නොකර ගන්නා බදු ආදායම පියවා ගැනීමට සේවක පඩි පතින් බදු අයකර ගැනීමේ පහසුව අයුතු ලෙස යොදා ගනිමින් රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික ආදායමක් ලබනවුන්ගෙන් බදු අයකරන්නට පියවර ගෙන තියෙනවා. ඊට අමතරව මුදල් ඇමති ලෙස වික්‍රමසිංහ වක්‍ර බදු වැඩි කෙරුවේ වෙළඳපල සියලුම භාණ්ඩවල මිල වැඩිවෙනවා කියලා නොදැන නොවේ. වැට් (VAT) බද්ද සියයට 15 ක් කිරීමට අමතරව සමාජ සංරක්ෂණ අය කිරීමේ සියයට 2.5 ක බද්දක් අලුතින් පැනෙව්වේත් භාණ්ඩ මිල තව වැඩි වෙන බැව් දැනගෙන. මේ බදු විසින් එක් වරක් නොව වෙළඳපල තුල කිහිප වරකින් භාණ්ඩ මිල වැඩි කිරීමට හේතු වන අතර, ඒ වැඩිවීම් සියල්ල පාරිභෝගිකයින් හැමෝටම එකසේ වැඩි වෙන බවත් වික්‍රමසිංහ නොදන්නවා නෙවෙයි.
 
 
ඒ වැඩි වීම් සමග පසුගිය අවුරුදුවල ළමයෙකු පාසල් යැවීමට රුපියල් 7,000 ක් පමණ වැය කළ පාසල් බඩු මල්ල සහ පාවහන් ඇතුලු පොත් පත්, කවකටු පෙට්ටිය, පැන්සල්, පාට පැන්සල් පෙට්ටි, පෑන් වැනි සියල්ලට මේ ජනවාරියේ දෙමාපියන් රුපියල් 15,000 ට වැඩිය වැය කළ යුතුව තිබෙනවා. පාවහන් කුට්ටමක් දැන් අවම රුපියල් 4,000 යි. පාසල් මල්ලද අවම රුපියල් 3,500 යි. පිටු 80 ක චිත්‍ර පොතක් රුපියල් 400 යි. පිටු 200 ක සී.ආර් පොතක් දැන් රුපියල් 540 යි.
 
 
කොළඹ දුසිමක් පමණ වන අති ජනප්‍රිය රජයේ පාසල් වලට සහ ලාභ ඉපැයීමට කොම්පැනි විසින් කොළඹ හා ප්‍රධාන නගර දෙක තුනක පවත්වා ගෙන යන “ජාත්‍යන්තර” පාසල් වලට දරුවන් යවන දෙමාපියන්ට මේ බර දැරිය හැකි වුනත් 10,150 ක් වන රජයේ පාසල් අතුරෙන් සාමාන්‍ය පෙළ දක්වා පමණක් පංති පැවැත්වෙන 3,204 ක් පාසල් වලට ළමුන් යවන්නේ සීමිත ආදායමක් උපයා ගන්නා දෙමාපියන්. ඔවුන්ට දෛනික අවශ්‍යතා වෙනුවෙන් දැන් බරපතල වියදමක් දරන්න සිදුව තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට එක දරුවකු ජනවාරියේ පාසල් යවන්න රුපියල් 15,000 ක් වැය කරන්නට දැන් බැහැ. එහෙම උනාම විසඳුම වෙන්නේ ළමයා පාසල් අධ්‍යාපනය අත හැරීමයි. ලබන වසරේ එහෙම පාසල් අත හැරෙන ළමයි සංඛ්‍යාව 7,48,000 ක් පමණ විය හැකියි.
 
 
අවාසනාවකට මේ ඛේදවාචකයට කිසිදු මනුස්සකමක් නැති විදුහල්පතිවරුන් සහ ගුරු සමූහයන්ද එකතු වෙනවා. කිසිදු අඩුවක් නැතිව ළමුන් පාසල් එවන්නට අහිංසක දෙමාපියන්ට බලපෑම් කිරීම බොහෝ ප්‍රදේශ වලින් දැනටම අසන්න ලැබෙනවා. සුබෝධිනි වාර්තාවට අනුව වැටුප් වැඩිකර ගැනීමට විරෝධතා කැඳවූ, සත්‍යග්‍රහ කළ, පෙළපාලි ගිය ගුරු සංගම් නායකයින් තවම මේ ළමුන් ගැන කතා නැහැ. පාර්ලිමේන්තුවේ විපක්ෂයද ජා.මූ. අරමුදලේ යෝජනා හා කොන්දේසි ගැනත් ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2023 අයවැයෙන් තොරම්බල් කෙරෙන කාටවත් වැඩක් නැති යෝජනා ගැනත් කතා කරනවා මිස අයවැයෙන් අනාගත පරම්පරාවට සිදුවන මේ විපත් ගැන කතා කරන්නේ නැහැ.
 
 
ආරක්ෂක වැය හා බදු බර අඩු කරන හැටි ගැන වෘත්තීය සමිති යෝජනා
 
රටේ ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 390.7 ක්
 
 
කිසිදු යුද්ධයක් කැරැල්ලක් නැති රටේ ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 390.7 ක් සමග ආරක්ෂක අමාත්‍යාංශය යටතේම සිවිල් ආරක්ෂාවට කියලා රුපියල් බිලියන 19.9 ක් වෙන් කරලා තියෙනවා. ඒ කියන සිවිල් ආරක්ෂාවට අමතරව පොලීසියට කියලා බිලියන 129.2 ක් වෙන් කරලා තියෙනවා. ‘71 කැරැල්ලෙන් සහ උතුරේ යුද්ධය සමග පොලීසිය වැඩියෙන් යොදා ගන්නේ නීතිය හා සාමය සඳහාවන සිවිල් දෙපාර්තමේන්තුවක් හැටියට නෙවෙයි. පොලීසිය යොදා ගන්නේ අතුරු හමුදා කටයුතු වෙනුවෙන් බව මානව හිමිකම් ගැන කතා කරන අය තේරුම් ගන්නේ නැහැ. ආරක්ෂක හා පොලීසියේ කටයුතු වෙනුවෙන් වන මුළු මුදල රුපියල් බිලියන 539.2 ක් වෙනවා.
 

නමුත් විපක්ෂයේ කිසිවෙක් අහන්නේ නැහැ උසස් අධ්‍යාපනයට වෙන් කළ රුපියල් බිලියන 65.7 හැර පාසල් අධ්‍යාපනය සඳහා 2023 අවුරුද්දට තියෙන්නේ රුපියල් බිලියන 166.3 යි නේද කියලා. එයින් බිලියන 124.3 ක් පාසල් පරිපාලනයට, නිළධාරීන්ට, විදුහල්පති සහ ගුරු සේවාවේ පඩි නඩි ඇතුළු පුණරාවර්තන වියදම් සඳහාවන මුදලයි. වතුර නැති, වැසිකිළි නැති පාසල්වල දවසට එක කෑම වේලක්වත් නැතිව අනාථවන ළමුන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනයේ දියුණුවට වෙන් කරන මුදල කොපමණද කියලා අහන්නෙත් නැහැ.
 
 
ආරක්ෂක කටයුතු වෙනුවෙන් වික්‍රමසිංහ දක්වන දැඩි අවධානය හා සැළකිල්ල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොදක්වන විට පාසල් අධ්‍යාපනයේ මේ විනාශය ආර්ථික අර්බුදයට වඩා බරපතල බැව් විදුහල්පතිවරුන්, ගුරුවරුන් (ඔවුන්ද දෙමාපියන්) සහ දෙමාපියන් තේරුම් ගත යුතුයි. ලබන අවුරුද්දේ දෙවන වසර වනවිට බඩු මිල තව තවත් ඉහළ යාමත් සමග පාසල් හැර යන ළමුන් සංඛ්‍යාව සියයට 30 ක් 35 ක් විය හැකි බව හැමෝම තේරුම් ගත යුතුයි. පාසල් සිසු සංඛ්‍යාවෙන් සියයට 30 ක් යනු ළමුන් 1,24,000 ක් පමණ වන විශාල සංඛ්‍යාවක්. එවන් විශාල ළමුන් සංඛ්‍යාවක් මාස කිහිපයක් අවුරුද්දක් ඇතුළත පාසල් අධ්‍යාපනයෙන් එළියට වැටෙන්න ඉඩ ඇතැයි කියන්නේ අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් තබන්නට නොහැකි අවලං රටක් බවට මේ රට පත්වෙමින් තියෙනවා කියන එකයි.
 
 
 
ඒ නිසා වික්‍රමසිංහ ආණ්ඩුවට කිව යුත්තේ,


01. නොවැම්බර 15 සිට ක්‍රියාත්මක කෙරෙන ඉහළ දැමුණු සෙස් බදු ප්‍රමාණය අත්හිටුවා ඒ වෙනුවට කෝටි ගණන් බදු නොගෙවන, බදු වංචා කරන ජාවාරම්කාරයින්ගේ නාම ලේඛනය විස්තර සමග වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, අධ්‍යාපනය සුරැකීමේ විශේෂ අරමුදලකට ඔවුන් මෙතෙක් නොගෙවපු බදු වෙනුවෙන් සියයට 100 ක දඩයක් අයකරන්නත්

02. පාසල් පොත් පත් උපකරණ, ළමා පාවහන් ආදි සියල්ලට බලපාන “වැට්” (VAT) බද්ද සහ “සමාජ සංරක්ෂණ බද්ද” වහා ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නත්

03. ආහාර සහ දෛනික පරිභෝජනයට ගැනෙන භාණ්ඩ සියල්ලට බලපාන “වැට්” (VAT) බද්ද සහ “සමාජ සංරක්ෂණ බද්ද” වහා ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නත් කියලා.



මේ අධ්‍යාපන අර්බදුයට විසඳුම් මොනවද කියලා හිතා ගන්න බැරි ගුරු සංගම් නායකයින්ට එනිසා ඉහත ඉල්ලීම් වික්‍රමසිංහ ආණ්ඩුවට ඉදිරිපත් කරන සමාජ විරෝධයකට මුල පුරන්න කියලා මම යෝජනා කරනවා.      



ජා.මූ. අරමුදලේ 'බේල් අවුට්' කියන්නේ 'පට්ට රැවටිල්ලක්' -(කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 නොවැම්බර 19


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...