The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කොට, දිට්වාවට වියදම් කරමු - IMF රාජ්‍ය මූල්‍ය සීමාවන්ගෙන් බේරෙමු | P Samarasiri

T

The Leader Desk

December 17, 2025 • 11:57 AM

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කොට, දිට්වාවට වියදම් කරමු - IMF රාජ්‍ය මූල්‍ය සීමාවන්ගෙන් බේරෙමු | P Samarasiri

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ලිපියේ අරමුණ වනුයේ, දිට්වා ආර්ථිකය ගොඩ නැගීම සඳහා ඉදිරියේ දී දැරීමට සිදු වන අතිවිශාල රාජ්‍ය වියදම් පියවීමට හැකි වන ලෙස රාජ්‍ය දේශීය ණය නැවත ප්‍රතිව්‍යුහගතකරණ ලෙස යෝජනා කිරීම යි.
  • ඊට හේතුව, 2023/24 දී විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණයට අනුකූල ලෙස සිදු කළ දේශීය ණය ප්‍රශස්තකරණය දිට්වා සුළි සුළඟ හේතු කොට අවතැන් වීම යි.
  • එබැවින්, මෙම යෝජනාව තුළින් IMF නව ලිබරල් ක්‍රමවේදය තුළම ආර්ථිකය නැවත ගොඩ නැගීමට උත්සාහ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • ලිපියේ පසුබිම   දිට්වා ස්වාභාවික විපතින් පසු නැවත එවැනි විපතකින් බේරීම සඳහා දේශපාලන නායකයන් සහ විද්වතුන් විසින් ඉදිරිපත් කරන අදහස් අනුව ඉදිරි වසර කිහිපය තුළ ආර්ථිකය සහ ජන ජීවිතය නැවත සැකසීම අවශ්‍ය වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ලිපියේ අරමුණ වනුයේ, දිට්වා ආර්ථිකය ගොඩ නැගීම සඳහා ඉදිරියේ දී දැරීමට සිදු වන අතිවිශාල රාජ්‍ය වියදම් පියවීමට හැකි වන ලෙස රාජ්‍ය දේශීය ණය නැවත ප්‍රතිව්‍යුහගතකරණ ලෙස යෝජනා කිරීම යි.

ඊට හේතුව, 2023/24 දී විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණයට අනුකූල ලෙස සිදු කළ දේශීය ණය ප්‍රශස්තකරණය දිට්වා සුළි සුළඟ හේතු කොට අවතැන් වීම යි. එබැවින්, මෙම යෝජනාව තුළින් IMF නව ලිබරල් ක්‍රමවේදය තුළම ආර්ථිකය නැවත ගොඩ නැගීමට උත්සාහ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

ලිපියේ පසුබිම

ditwah 3

 

දිට්වා ස්වාභාවික විපතින් පසු නැවත එවැනි විපතකින් බේරීම සඳහා දේශපාලන නායකයන් සහ විද්වතුන් විසින් ඉදිරිපත් කරන අදහස් අනුව ඉදිරි වසර කිහිපය තුළ ආර්ථිකය සහ ජන ජීවිතය නැවත සැකසීම අවශ්‍ය වනු ඇත. සමහරුන්ට අනුව ඉංග්‍රීසි පාලන සමයේ සිට මෙතෙක් ලබා ඇති ආර්ථික සහ පොදුජන සංවර්ධනය ස්වභාව ධර්මයට එරෙහි වූ තිරසාර නොවන සංවර්ධනයකි. මෙය ද අතිවිශාල රාජ්‍ය වියදම් සහ ණය ප්‍රසාරණයක් මත අත්කර ගෙන ඇත.

එබැවින්, යෝජනා කෙරෙන පරිදි දිට්වා හානි පූරණය ඇතුළු නව නගර, යටිතල පහසුකම්, වගා, කර්මාන්ත, ගොඩනැගිලි, අපදා කළමනාකරණ ව්‍යාපෘති සඳහා අතිවිශාල ප්‍රමාණයක රාජ්‍ය වියදම් සහ ණය ප්‍රසාරණයක් අවශ්‍ය වනු ඇත. දෙස් විදෙස් මුදල් ආධාරවලින් එවැනි මහා පරිමාණ ජාතික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ නොහැකිය.

Indian Help

 

එහෙත්, වත්මන් IMF නව ලිබරල් ධනවාදී ක්‍රමය තුළ රාජ්‍ය වියදම් සහ ණය ප්‍රසාරණයකට අවකාශය නොමැත. එසේම, රජය විසින් අපේක්ෂිත දේශීය සහ විදේශීය මුදල් ආධාර ද තවමත් ඉතා සුළු ප්‍රමානයක් බවට වාර්තා වෙයි.

එබැවින්, IMF වෙතින් ඉල්ලා ඇති ඩොලර් මිලියන 200 ක සීග්‍ර මූල්‍යකරණ ණය මුදල ලැබීමේ සම්භාවිතාව ද සුළු ය. ඊට හේතුව, IMF ණය තිරසර විශ්ලේෂණයට අනුව රාජ්‍ය ණය මට්ටම තවමත් තිරසර මට්ටම්වලට ඉතා ඉහළ වන බැවිනි.

එබැවින්, මෙම අවස්ථාවේ දී රජයට ඇති එකම විකල්පය වනුයේ, කඩිනමින් දේශීය ණය නැවත ප්‍රතිව්‍යුහගත කොට, නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රාජ්‍ය වියදම් අවකාශය උපයා ගැනීම යි.

 

kdvsb jnbdsvkj vsbjbv
2023/24 දේශීය ණය ප්‍රශස්තකරණය කෙටියෙන්

2021/22 විදේශ මුදල් අර්බුදයට මුහුණ දීමේ පියවරක් ලෙස 2022 අප්‍රේල් 12 දින සියළු වෙළෙඳ සහ ද්විපාර්ශවීය විදේශ ණය පැහැර හරින ලද අතර එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විදේශ ණය හිමියන් පැනවූ කොන්දේසියක් අනුව දේශීය ණය කොටසක් ද දේශීය ණය ප්‍රශස්තකරණය ලෙස ප්‍රතිව්‍යුහගත කරන ලදි.

ඒ අනුව, වාර්තා වූ තොරතුරු අනුව රාජ්‍ය බැංකු තුන හැර රජයට කෝකටත් තෛල ණය සැපයුම් කරුවන් දෙදෙනෙකු වූ මහ බැංකුවට ගෙවිය යුතු රුපියල් බිලියන 2,713.1 ක් ද, සේවක අර්ථ සාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් බිලියන 3,204.4 ක් ද, කිසිම ගැටළුවකින් තොරව ප්‍රතිව්‍යුහගත විය. එය හුදෙක් පොලී අනුපාතය සහ පරිණත කාලය ප්‍රතිව්‍යුහගත කිරීමක් ලෙස වාර්තා විය. ඉන් රජය ලැබූ වාසිය පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් නොවීය. ඊට අදාළ මුල් ණය මුදල් පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ නොවූ බැවින් එවැනි ඇස්තමේන්තුවක් කිරීම අපහසු වෙයි.

ඊට අමතරව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ශ්‍රී ලංකා සංවර්ධන ඩොලර් බැඳුම්කර වෙනුවෙන් රුපියල් බිලියන 252.2 ක ද, ජාත්‍යන්තර ස්වෛරීත්ව ඩොලර් බැඳුම්කර දේශීය ආයෝජකයන් වෙනුවෙන් රුපියල් බිලියන 155.7 ක ද, දේශීය ණය පරිවර්තනයක් සිදු විය.

 


සමස්තයක් ලෙස රාජ්‍ය ණය තොගය 2021 දී රුපියල් බිලියන 17,614 සිට පසුගිය 2025 ජුනි අවසාන වන විට රුපියල් බිලියන 29,634 දක්වා 68.2% කින් ඉහළ ගොස් ඇත. එය ද.දේ,නි. යෙන් 100% සිට 95.7 දක්වා සුළු පහළ යාමකි. එහෙත්, මේ වන විට දිට්වා බලපෑමෙන් ආර්ථිකය සංකෝචණය වී, විනිමය අනුපාතය ඉහළ ගොස් ඇති බැවින් 2025 ද.දේ.නි. දත්ත සැකසූ පසු මෙම ප්‍රතිශතය ඉහළ යනු ඇත.

එසේම, මුළු ණය තොගයෙහි දේශීය ණය ප්‍රමාණය 2021 දී රුපියල් බිලියන 11,907 සිට මේ වන විට රුපියල් බිලියන 18,806 දක්වා 57.9% කින් ද, විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,517 සිට මේ වන විට රුපියල් බිලියන 10,828 දක්වා 66.2% කින් ද ඉහළ ගොස් ඇත. එම කාලය තුළ විදේශීය ණයවල ඩොලර් වටිනාකම ඉහළ ගොස් ඇත්තේ, ඩොලර් බිලියන 32.5 සිට 36.1 දක්වා ඩොලර් බිලියන 3.6 ක් හෙවත් 11.1% කිනි. එබැවින්, IMF ණය වැඩසටහන හරහා විනිමය අනුපාතය පහළ දැමීම හේතු කොට විදේශීය ණයවල රුපියල් වටිනාකමේ ප්‍රසාරණය පහළ මට්ටමක විය. උදාහරණ ලෙස 2022 අවසානයේ දී විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,458 දක්වා 91.1% කින් ඉහළ යාමට ප්‍රධාන හේතුව විනිමය අනුපාතයේ අධි විදීම යි.

2026 අයවැය සැලසුම් අනුව අපේක්ෂිත රාජ්‍ය අයවැය හිඟය රුපියල් බිලියන 1,757 ක් වන අතර ඉන් රුපියල් බිලියන 1,522 ක් දේශීය ණය මගින් පියවීමටත්, 2026 දී මුළු දළ ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 3,740 ක් ද වෙයි. අයවැය හිඟය පියවීම සඳහා බැංකු නොවන දේශීය ණය ගන්නා බව දැක්වෙයි. එහෙත්, වත්මන් රාජ්‍ය මූල්‍ය වාතාවරණය අනුව මෙම ඇස්තමේන්තුවල ප්‍රයෝගික වැදගත්කමක් නොමැත. එසේම, දේශීය බැංකු ණය නොමැතිව අයවැය පියවීමට සැලසුම් කිරීම මිථ්‍යාවකි.

bangladesh debt 23822
එබැවින්, යෝජිත රාජ්‍ය වියදම් අවකාශය ඉහළ දැමීම පිණිස කඩිනම් නව ණය ප්‍රතිව්‍යුහගත කිරිමට හැකියාව ඇත්තේ, රජයේ පාලනය යටතේ පවතින දේශීය ණය සඳහා ය. ප්‍රතිව්‍යුහගත කරන ලද විදේශ ණය ආපසු ගෙවීම තවම ආරම්භ වී නොමැති බැවින් එම විදේශ ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට යාම ප්‍රයෝගික නොවේ.

යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ යෝග්‍යතාවය

සමස්ත ජාතිය මුහුණ දී ඇති ජාතික අර්බුදයේ වපසරිය සහ පරිමාව දෙස බලන විට, දැනට ඉදිරිපත් කෙරෙන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු රාජ්‍ය වියදම් සහ දේශීය ණය ප්‍රසාරණයක් ඉදිරි වසර පහ තුළ අවශ්‍ය වනු ඇත. ඊට සරිලන ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සැලසුම් කළ යුතුය.

දැනට පවතින දේශීය ණයවල පොලී සහ කාල ව්‍යුහය හුදෙක් මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් ලෙස තීරණය කළ බැවින් වත්මන් ණය තොගයෙහි පොලී සහ කාල ව්‍යුහය රාජ්‍ය ණය සඳහා යෝග්‍ය නොවේ. උදාහරණ ලෙස 2022 සහ 2023 වර්ෂවල අතිධාවනකාරී  මුදල් ප්‍රතිපත්තිය හරහා 20%-30% මට්ටමේ රාජ්‍ය ණය පොලී ප්‍රතිශතයන් පවතී. එබැවින්, යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ පොලී අනුපාතයන් සැලකිය යුතු ලෙස පහළ දැමීම සහ ආපසු ගෙවීමේ කාලය සැලකිය යුතු ලෙස ඉහළ දැමීම අවශ්‍ය වෙයි.

වත්මන් රජය විසින් ධනවතුන්ගේ මුදල් ආධාර බලාපොරොත්තු වන බැවින් ගෙවිය යුතු රාජ්‍ය සුරැකුම්පත් වටිනාකම යම් ප්‍රතිශතයකින් කපා හැරීම ද රජයට කෙරෙන මුදල් ප්‍රදානයක් ලෙස සැලකිය හැකිය.

දිට්වා පුනරුත්ථාපනය සඳහා ගන්නා ණය සඳහා පහළ පොලී අනුපාතයන් නියම කළ හැකිය. රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ස්වාධීන බැවින් එය රජයේ වියදම් සහ ණය ඉලක්කයන් අනුව කළ හැකිය. නව රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව වෙළෙඳපොළ හෝ තරඟකාරී ප්‍රසිද්ධ වෙන්දේසිවලින් පිටත ණය රැස් කිරීමේ හැකියාව රජයට පවතී.

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම හරහා දේශීය ණය සේවාකරණ සහ ප්‍රතිමූල්‍ය අවශ්‍යතාවය ඉදිරි දශකය තුළ සැලකිය යුතු ලෙස පහළ දැමීම තුළින් පහළ රාජ්‍ය ණය පොලී අනුපාතයන් මත දිට්වා පුනරුත්ථාපන වියදම් පියවීමේ නිදහසක් රජයට ලැබෙනු ඇත.

 

රජය විසින් විදේශ ණය සහ ප්‍රදානයන් දිට්වා පුනරුත්ථාපනය සඳහා භාවිතා නොකළ යුතුය. ඊට හේතුව, එම මුදල් සුපුරුදු පරිදි පහළ විනිමය අනුපාතයක් මත ආනයනය මූල්‍යකරණය තුළින් විදේශ මූල්‍ය ස්ථායිතාවය සඳහා අවශ්‍ය බැවිනි.

සමාප්ත සටහන

සැලකිය යුතු මට්ටමේ රාජ්‍ය වියදම් ප්‍රසාරණයක් නොමැතිව දිට්වා ආර්ථික සහ සමාජීය අවපාතයෙන් ගොඩ ඒමට නොහැකිය. වත්මන් සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය තුළ මෙවැනි අවපාතයන්ගෙන් ගොඩ ඒමේ එකම මෙවලම රාජ්‍ය වියදම් සහ මුදල් ප්‍රසාරණය යි.

නූතන මුදල් ආර්ථිකයන් ගොඩ නගා ඇති ආකාරය අනුව ඒ සඳහා යෝග්‍ය වෙනත් ආර්ථික කළමනාකරණ මෙවලම් හෝ ආර්ථික විද්‍යා න්‍යායන් නොමැත. නූතන මුදල් යනු සම්ප්‍රදායික ආර්ථික විද්‍යා න්‍යායන්හි විග්‍රහ කෙරෙන අතරමැදි භාණ්ඩයක් නොව, රජය විසින් රාජ්‍ය වියදම් සහ ණය හරහා මුද්‍රණය කෙරෙන ඒකාධිකාරී දේශපාලනික අවියකි. ඒ අනුව, ගෙවීමට ඇති රාජ්‍ය ණය තොගය යනු ආර්ථිකයෙහි සැබෑ ලෙස ගනුදෙනු වන මුදල් සැපයුම යි.

මෙවැනි අවපාත අවස්ථාවල සංවර්ධිත රටවල් විසින් කිසිම පැකිලීමක් නොමැතිව රාජ්‍ය වියදම් ප්‍රසාරණය කරනු ඇත. ඊට හොඳම උදාහරණය 2007/09 මූල්‍ය අර්බුදය සහ 2020/22 ගෝලීය කොරෝනා වසංගතය යි. මූල්‍ය අර්බුදය වෙනුවෙන් දශකයක කාලය තුළ ඩොලර් ට්‍රිලියන 12 ක් ද, කොරෝනා වසංගතය වෙනුවෙන් 2020/22 කාලය තුළ ඩොලර් ට්‍රිලියන 7 ක් ද පමණ නව මුදල් මුද්‍රණය කරන ලදි.

එහෙත්, ශ්‍රී ලංකාව වැනි නොදියුණු රටවල් IMF නව ලිබරල් ධනවාදී සහ ගෝලීය ඩොලර් ණය දාමයක හිර වී, ඔවුන් නියම කරන ලද රාජ්‍ය වියදම් සහ මුදල් විනය ඉලක්කයන් මත ආර්ථිකය කළමනාකරණය කරන බැවින් දිට්වා ආර්ථික කළමනාකරණයක් රජයෙන් බලපොරොත්තු විය නොහැකිය. එහෙත්, යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් යම් ආර්ථික සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබේ. ඒ සඳහා රජය විසින් දිට්වා ආර්ථික සහ සමාජීය හානිය පිළිබඳ කඩිනම් ඇස්තමේන්තුවක් සහ හානි පූරන සැලසුමක් ප්‍රසිද්ධ කළ යුතුය.

යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා 20% ක ණය සේවාකරණයක් ඉතිරි කර ගත හොත්, රුපියල් බිලියන 3,760 ක රාජ්‍ය වියදම් අවකාශයක් උපයා ගත හැකිය. එය, IMF ණය වැඩසටහනට සහ ඩොලර් මිලියන 200 ක අපේක්ෂිත IMF සීග්‍ර මූල්‍යකරණ ණය මුදලට ද හිතකර සාධකයක් වනු ඇත.

 

debt restructuring
මේ දිනවල සියළු ධනවත් කොටස් ජාත්‍යාලයෙන් දිට්වා ආධාර රැල්ලේ පසු වන බැවින් තම තමන් රජයට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කිසිවකු විරුද්ධ නොවනු ඇත. එබැවින්, දිට්වා ජාත්‍යාල රැල්ල සෝඩා බෝතලයක් මෙන් වාෂ්ප වීමට පෙර යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කළ යුතුය.

නව රාජ්‍ය වියදම් සඳහා ඉහත දැක්වූ පරිදි දැනට පවතින ණය තොගය තුළින්ම මුදල් සපයා ගන්නා බැවින් මහ බැංකුව ගැන බිය වීමට කාරණයක් නොමැත. ඊට හේතුව, උද්ධමන ඉලක්කය 7% දක්වා කාල නියමයක් නොමැතිව පවත්වා ගැනීමට මහ බැංකුවට හැකි බැවිනි. එසේම, උද්ධමනය 7% ඉක්මවා ගිය ද, ඒ පිළිබඳ ව කිසිම වගකීමක් මහ බැංකුවට නොමැත. මෙම අවස්ථාවේ ජාතික ප්‍රමුඛත්වය වන්නේ, සංකල්පීය උද්ධමනය පාලනය කිරීම නොව, ආර්ථිකය සහ පොදුජනයා නැවත ගොඩ නැගීම යි.

ලෝක ආර්ථික විද්‍යාඥයන් විසින් 2022 දී ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ දුප්පත් රටවල් නාමාවලියට ඇතුළත් කොට ඇත. එබැවින්, එය අනාගතයේ දී වරින් වර සිදු වන දේශපාලනික අභ්‍යාසයක් වනු ඇත. එබැවින්, මෙම අවස්ථාවේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සාධාරණීය කිරීම අපහසු නොවේ. පවතින සාර්ව ආර්ථික සහ සමාජීය සාධක අනුව තීරණ දෝෂයන් ආශ්‍රිත නඩු පැවරීමේ අවදානමක් ද නොමැත.

එසේ නොවුව හොත්, සියළු ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් අත් දැක ඇති පරිදි රාජ්‍ය දේශපාලනික ස්ථායිතාවය බිඳී යනු ඇත.

(වත්මන් ශ්‍රී ලංකා අර්බුදකාරී ආර්ථික සහ පොදුජන ගැටළු නිරාකරණයට අවශ්‍ය නව්‍ය ආර්ථික ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

(සටහන | පි සමරසිරි)
Psamrahu@gmail.com
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

(උපුටා ගැනීම ; economydiscovery - -December 16, 2025)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කොට, දිට්වාවට වියදම් කරමු - IMF රාජ්‍ය මූල්‍ය සීමාවන්ගෙන් බේරෙමු | P Samarasiri | The Leader