මතුපිටින් පිටු කිහිපයක් ඉක්මනින් කියවූ පසු එය අ.පො.ස. උසස් පෙළ ඉගෙන ගනිමින් සිටින මගේ මිනිබිරියට තිළිණ කරන්නට සිතා මිලයට ගත්තෙමි.
එම කෘතිය මානව සංහතිය අද යුගයේ මුහුණ දී සිටින විශ්වයේ පැවැත්ම පිළිබඳ බැරෑරුම් අභියෝගයන් ජයගැන්ම සඳහා එකමුතුව මුහුණ දීමට දැක්මක් සමාජගත කරන කෘතියක් ලෙස මම සැබැවින්ම දකින්නෙමි. "The ministry for the future" නම් වූ මෙම කෘතිය ලියා ඇත්තේ කිම් ස්ටැන්ලි රොබින්සන් ය.

විශේෂයෙන් දේශගුණික විපර්යාසයන් මිනිස් සංහතියට ඇතිකරන විනාශයන් ගැන ඇසින් දුටු සාක්ෂි පාදක කරගනිමින් නව කතාවක් ලෙසින් ලියා ඇති මේ කෘතිය, විශ්වය අද ගමන් කරමින් සිටින්නේ මහා ඛේදවාචකයක් දෙසට බව හේතු සාධක ඇතිව පෙන්වා දෙන්නේ අප්‍රමාදව මේ තත්වය ආපසු හැරවීමට එකමුතුව පියවර ගැන්මේ අවශ්‍යතාව අවධාරණය කරමින්.
මෙම දේශගුණික විපර්යාසයන් නිසා ඉන්දියාවේ පමණක් මිලියන ගණනක ජීවිත බිලිගැනීම් සිදුව ඇත. මේ අයුරින් දේශගුණික විපර්යාසයන් නිසා බිලිවී ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව පළමු ලෝක සංග්‍රාමයෙන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණයද ඉක්මවා යයි.
Heat wave වලින් සිදුවූ ඉමහත් ජීවිත විනාශ වලින් පසු පැරිස් සම්මුතිය සඳහා වූ ඉන්දියානු නියෝජිත පිරිසෙහි ප්‍රධානී චන්ද්‍රා මුකර්ජී කියා සිටියේ,

"මේ Heat wave වලට වගකිවයුත්තේ යුරෝපය, අමෙරිකාව සහ චීනය මිසෙක ඉන්දියානු අපි නොවේ. අපි පසුගිය දශක කිහිපය තිස්සේ ගල් අඟුරු බොහොමයක් පුලුස්සා දමා තිබෙනවා. එහෙත් එය බටහිර සමග සසඳන කල සැලකිය යුතු තරමක් නොවෙයී. කෙසේ වෙතත් අපේ කොටස ඉටුකිරීම සදහා අපි දැන් පැරිස් සම්මුතියට අත්සන් කර තිබෙනවා. එහෙත් ඔබලා එකඟ වූ දෑ ඉටුකරන්නේ නැහැ. සංවර්ධනය වෙන රටවල් සඳහා ගෙවීම් කරන්නේ නැහැ. දැන් අපි මේ Heat wave එකට මුහුණ දී සිටිනවා. ලබන සතියේ තවත් එකකට මුහුණ දෙන්නට අපට සිදුවේවි. තත්වයේ වෙනස්වීමක් නැහැ. එහෙම්මමයි."
මේ තත්වයන් ඇමතීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ඇතිකරගෙන ඇති පැරිස් සම්මුතියේ එකඟතාවයන් ක්‍රියාවට නැගීම සඳහා මෙම පරිසර දූෂණයන් සිදුවන බලගතු රටවල්වල දායකත්වය සම්මුතියට එකඟව සිදු නොවීම ප්‍රහේලිකාවකි. මෙම පාරිසරික දූෂණය වැඩිමනක් සිදුවන්නේ ලොව බලගතු රටවල්වලය.
ලොව බලගතු රටවල අවංක සහය ලැබෙන්නේ නම් අද මිනිස් සංහතිය මුහුණ දී ඇති අභියෝගයන් බොහොමයක් නිරාකරණය කරගැන්ම අපහසු කරුණක් නොවන්නේය.
නිරායුදකරණය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා වූ ප්‍රයත්නය ඒ ආකාරයෙන් සාර්ථක කරගත හැකිවන්නේ නම් අද අපි ලොව පුරා දකිමින් සිටින යුද්ධ වලට නැවතීමේ ලකුණක් දමා, මිලියන ගණනින් සිදුවන ජීවිත බිලිගැනීම නතර කරගත හැකිය. මේ විනාශයන් වෙනුවට ලොව පුරා සාගින්නෙන්, විරැකියාවෙන් සහ වෙනත් දුක් පීඩා වලින් වේදනා විදින මිනිස් ජීවිත වලට සැනසීමක් ලබාදෙන ව්‍යාපෘති වලට මේ මුදල් කන්දරාව යොදාගත හැක. එහෙත් එය සිදුනොවන්නේ මහා පරිමාණයෙන් ආයුධ නිපදවන්නන්ගේ මුදල් බලය ඉදිරියේ ප්‍රතිපත්ති සම්පාදකයන් විකිණී ඇති හෙයිනි.
මෙහිදී මට අරන්දතී රෝයිගේ කියමණක් සිහිපත් වෙයි.
“Once weapons were manufactured to fight wars. Now wars are manufactured to sell weapons.”
“අතීතයේ යුද්ධ සඳහා අවි නිපදවූහ. වර්තමානයේ නම් අවි අලෙවි කිරීම සඳහා යුද්ධ නිර්මාණය කරනු ලබයි.”

ලෝක සාමය, කුඩා රටවල ආරක්ෂාව ආදිය සඳහා පිහිටුවාගෙන ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ජනමතයට අනුව ගන්නා වූ තීන්දු තීරණයන්, මහා බලවතුන් තමන්ගේ ආත්මාර්ථය සඳහා පාවිච්චි කරන නිෂේධ බලය හේතුවෙන් ගෝලීය යුක්තිය රජකරන ලෝකයක් සඳහා වන අපේක්ෂාවන් සුනුවිසුනු වෙමින් පවතී.
ගෝලීය යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති ජාත්‍යන්තර අධිකරණය, මානව හිමිකම් කොමිසම,එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළඳාම, ආයෝජන සහ සංවර්ධන කටයුතු පිළිබඳ සංවිධානය(UNCTAD), එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ සංවිධානය (UNHCR) වැනි පද්ධතීන් සියල්ල බලවතුන්ගේ තර්ජන සහ ජාත්‍යන්තර නීතිය හා සම්මුතියට එරෙහි හැසිරීම් නිසා බොහොදුරට අකර්මණ්‍ය කර තිබීම අද අප දකිනවා.
තම වගකීම් නිවරැදිව සහ නිර්භීතව ඉටුකිරීමෙහිලා ගෞරවය දිනා සිටි කීර්තිමත් ශ්‍රී ලාංකිකයන් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධූරයට ඉදිරිපත්ව සිටි ජයන්ත ධනපාලයන්ගේ සහ ජගත් අධිකරණ විනිසුරු වීරමන්ත්‍රීගේ ඉරණම තීන්දු කළ ලෝක බලවතුන්ගේ හැසිරීම්ද මෙහිදී මගේ මතකයට නැගේ.
ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින කුඩා රටවල එකතුවෙන් පිහිටුවාගෙන තිබූ නොබැඳි ව්‍යාපාරය උපායශීලීව දුර්වල කිරීමට බලගතු රටවල ක්‍රියාදාමයද රහසක් නොවේ.
ජාත්‍යන්තර නීතිය කුඩා රටවල්වලට පමණක් බලපාන, එහෙත් බලගතු රටවල් වලට එය අදාළ නොවන පසුබිමක් අද නිර්මාණය වී තිබීම අද අපි දකින යථාර්තයයි.
"War, death and terror;
The world is filled with hate;
We’d better get things straightened out:
Before it comes too late"
"යුද්ධය, මරණය සහ භීතිය
මුළු ලෝකයම වෛරයෙන් පිරී ඇත.
වැඩි ප්‍රමාදයට පෙර සියල්ල ප්‍රකෘතිමත් කරගැන්ම අගනේය."
| ඉම්තියාස් බාකීර් මාකාර්දේශපාලන හා විශ්ලේෂක
හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකි
Imthiaz@gmail.com




